නව ලොව හා විදු ලොව
මතුකරගත් නටබුන්
තු ර්කියේ ටයිග්‍රීස් හා යුප්‍රටීස් ගංගා අතර සිරියා දේශසීමාව ආසන්නයේ සැන්ලිඋරුෆා ප්‍රාන්තයේ ගිනිකොණ දෙසින් වූ හුණුගල් කඳු බෑවුමක පිහිටි සානුවක පිහිටි ‘කර්හන් ටෙපේ’ පුරාවිද්‍යාත්මක නටබුන් අතරින් වසර 11,400ක් පැරැණි ගමක් සොයා ගැනීමට පුරා විද්‍යාඥයන් සමත්වී තිබේ.
ලෝකයේ පැරැණිතම දෙවොලවන ‘ගොබෙක්ලි ටෙපේ’ දෙවොලේ සිට කිලෝ මීටර් 35ක් නැගෙනහිරට වන්නට ‘කරහන් ටෙපේ’ පුරා විද්‍යාත්මක භූමිය පිහිටා ඇත. මෙම භූමිය සොයාගෙන ඇත්තේ 1997 වුවද 2019 වනතුරු කැණීම් සිදුකර තිබුණේ නැත. ඒ අතර කාලයේදී පුරා විද්‍යාඥයින් කර ඇත්තේ පුරා විද්‍යාත්මක මැනුම් කටයුතු කීපයක් සිදු කිරීම පමණය. කැණීම්වලින් (ටී) T හැඩයේ ශිලා ස්ථම්භ හා ඉහළට යනවිට ක්‍රමයෙන් සිහින් වූ චතුරශ්‍රාකාර ගල් කුළුණු 250ක් පමණ හමුවී ඇත. පුරා විද්‍යාඥයින් පවසන්නේ ‘ගොබෙක්ලි ටෙපේ’ හා ‘කරහන් ටෙපේ’ අතර යම්කිසි සම්බන්ධතාවයක් ඇති බවය. වර්තමානයේ පුරා විද්‍යාඥයින් මෙම පුදබිම් දෙක අතර ඇති සම්බන්ධතාව සොයා ගැනීමට කටයුතු කරමින් සිටී. ප්‍රාදේශීය ජනතාව ‘කරහන් ටෙපේ’ හඳුන්වා ඇත්තේ 'Kesili Tepe' යනුවෙනි. මෙම භූමියේ ඇති ගොඩනැගිලි වළං භාවිතයට පෙර නවශිලා යුගයේ පෙර හා පසු යුගයන්ට අයත්වන බව පුරා විද්‍යාඥයෝ සඳහන් කරති. කැටයම් කරන ලද සර්පයකුගේ සිරුරක් හා යටි රැවුලකින් යුත් මිනිස් හිසක් හා ඍජු ශිෂ්ණ ආකාරයේ සිත්ගන්නාසුළු ගල් කණු 11ක් මෙහිදී මතුකරගෙන ඇත. මෙම ගොඩනැගිලි සංකීර්ණය කොටස් තුනක් ඇතිවනසේ සම්බන්ධකර තිබේ. ආගමික සංකේතවලින් පිරුණු විශාල වෘත්තාකාර කුටියක් භාවිතාකර ඇත්තේ ආගමික කටයුතු සඳහාය. අතීතයේ මෙම ප්‍රදේශයේ වාසය කළ ජනතාව ගොඩනැගිලි සංකීර්ණය හරහා ආගමික චාරිත්‍රානුකූල පෙරහැරක් පවත්වා ඇති බව මෙහි කැණීම් භාරව කටයුතු කරන ඉස්තාන්බුල් විශ්වවිද්‍යාලයේ ප්‍රාග් ඓතිහාසික පුරා විද්‍යාව පිළිබඳ සහාය මහාචාර්ය ‘නෙක්මි කාරුල්’ පවසයි. හමුවී ඇති පුරා විද්‍යාත්මක සාක්ෂි අනුව මෙහි පැමිණි ජනතාව ගොඩනැගිල්ලේ එක් පැත්තකින් ඇතුළු වී මානව හිස සහිත ප්‍රතිමාව හා ඍජු ශිෂ්ණාකාර කුළුණු ඉදිරියේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර ඉටුකර අනිත් පසින් පිටව ගොස් ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.
කරහන් ටෙපේ දෙවොල අත්හැර දැමීමට පෙර කරන ලද චාරිත්‍රානුකූල පුද පූජාවල කසළවලින් ගොඩනැගිලි පිරීගොස් තිබී ඇත. ගොබෙක්ලි ටෙපේ පුද බිමේ කරන ලද කැණීම්වලින් නිවාසවලට අයත් ගොඩනැගිලි හමුවී නැත. පර්ෙය්ෂණවලින් හෙළිවී ඇත්තේ ‘ගොබෙක්ලි ටෙපේ’ දෙවොල ඉදිකිරීමට පෙර ‘කරහන් ටෙපේ’ ඉදිකර ඇති බවය. ‘කරහන් ටෙපේ’ සිත් ඇදගන්නා ස්මාරක නිසා වැදගත් වනවා පමණක් නොව කැණීම්වලින් සොයාගත් කරුණු අනුව ආදි මානව ශිෂ්ටාචාරයේ ආරම්භය සිදුවූයේ කෙලෙසද යන්න පිළිබඳ අදහසක් ලබා ගැනීමට හැකිවන බව මෙම පර්ෙය්ෂකයන්ගේ අදහසයි. කෘෂිකර්මාන්තයේ ආරම්භය හා නූතන ශිෂ්ටාචාරයේ ආරම්භය පිළිබඳව වූ මතයන් මෙම සොයා ගැනීම් තුළින් ප්‍රතික්ෂේප වන බව පර්ෙය්ෂකයෝ සඳහන් කරති.
කරහන් ටෙපේ භූමියේ කළ කැණීම්වලින් සොයාගත් තොරතුරු අනුව වසර 11,400ක් පැරැණි ග්‍රාමයක් හඳුනාගෙන ඇත. ස්ථිර වාසස්ථාන, භාවිතා කළ මෙවලම් හා ඔවුන් කළ නිර්මාණ යනාදියෙන් මෙම ග්‍රාමය පරිපූර්ණ වී තිබූ බව පර්ෙය්ෂකයෝ සඳහන් කරති. ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ආදිවාසී ජනතාව පළමුව එක් රැස්වී ඇත්තේ ආගමික කටයුතු වෙනුවෙන් බවය. ඉන්පසු ජනාවාස ඇතිවී ඇති අතර පසුව කෘෂිකර්මාන්තය සඳහා යොමුවී ඇති බව තව දුරටත් සඳහන් කර තිබේ. කෘෂිකර්මාන්තය ආරම්භවීමට වසර 1500 කට පෙර ආගමික කටයුතු සඳහා ගොඩනැගිලි ඉදිකළ බව ඓතිහාසික සාක්ෂි අනුව පැහැදිලි වන බව පර්ෙය්ෂකයින් පෙන්වාදී තිබේ.
‘කරහන් ටෙපේ’ ගොඩනැගිලිවල ඇති කැටයම් හා නිර්මාණ සියුම් ලෙස නිරීක්ෂණය කිරීමෙන් ඒවා ඉදි කිරීමට පෙර ඉතා හොඳින් සැළසුම්කර ඇති බව පෙනේ. ඍජු ශිෂ්ණාකාර කුළුණු හා මිනිස් හිසක් ඇති නිර්මාණවලින් ආදි මානවයන්ගේ ජීවිත හා ආගම කෙරෙහි ඔවුන් තුළ තිබූ ගෞරවය හා භක්තිය මනාව පිළිබිඹු වන බව මෙම පර්ෙය්ෂකයන්ගේ අදහසයි.
තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලයෙනි.
පී. ඩබ්ලිව්. ගුණතිලක