1978 ජූනි මාසයේ 23 වැනිදා කලා පුවත් පතක පළවූ ප්‍රවෘත්තියක මෙසේ සඳහන් වෙයි.
පසුගියදා ප්‍රදර්ශනය කරන ලද ‘චණ්ඩි ශ්‍යාමා’ චිත්‍රපටය මෑතදී තිරයට ආ සියලුම චිත්‍රපටවල ආදායම් වාර්තා බිඳ දමමින් ප්‍රමුඛස්ථානය දිනාගෙන සිටියි.
ඇම්.ඇස්. ආනන්දගේ නිෂ්පාදනයක් වන ‘චණ්ඩි ශ්‍යාමා’ දැනට රුපියල් ලක්ෂ හතළිස් එකක් පමණ උපයා ඇති බව වාර්තා වෙයි.
එම පුවත අනුව ආදායම් වාර්තා අතින් දෙවැනි ස්ථානය ලබා ඇත්තේ කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා නිෂ්පාදනය කර අධ්‍යක්‍ෂණය කළ ‘ජනක සහ මංජු’ චිත්‍රපටයයි. තුන්වැනි සහ හතරවැනි තැනට ආදායම් වාර්තා තබා ඇත්තේ අමරනාත් ජයතිලකගේ ‘සිරිපාල හා රන් මැණිකා’ හා නීල් රූපසිංහගේ ‘යකඩයා’ය. ඒ චිත්‍රපට දෙකම තිරගත වූයේ 1977 වසරේදීය.
ශ්‍යාමා ආනන්ද ප්‍රධාන චරිතය රඟපෑ ‘චණ්ඩි ශ්‍යාමා’ කොතරම් ඉහළ ජනප්‍රියත්වයක් ලබා ඇද්දැයි එයින් සිතාගත හැකිය. වර්තමානයේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නටවත් බැරි මුදලක් එකල ඉහළම ආදායම ලැබූ චිත්‍රපටයකින් එනම් ලක්‍ෂ හතළිස් එකක් ලැබීම එදා - මෙදා මුදලේ වටිනාකම ගැනද අපට ඉඟියක් ලබාදෙයි.
අවුරුදු හතළිස් ගණනක් ඇතුළත අපේ රුපියලේ වටිනාකම කොතරම් බාල්දු වී ඇද්ද?
ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පියකු වූ එම්.එස්. ආනන්ද එකල අධ්‍යක්‍ෂණය කළ බොහෝ චිත්‍රපට ආදායම් වාර්තා පිහිටුවීය. ඔහු කැමරා ශිල්පියකු, තිර කතා රචකයකු, අධ්‍යක්‍ෂවරයකු පමණක් නොව නිෂ්පාදකවරයකු හැටියටද ප්‍රකට වූවෙකි.
1933 අප්‍රේල් 21 වැනිදා උපන් ආනන්ද අප අතරින් වියෝ වූයේ 2016 ජූනි 24 වැනිදාය.
ඔහු මුල් යුගයේ කිරුළ පරේ පිහිටි සිලෝන් ස්ටුඩියෝ නොහොත් ලංකා චිත්‍රාගාරයේ ප්‍රධාන කැමරා ශිල්පියා විය. ඒ 1959 දීය. ඔහු කැමරා ශිල්පියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ ‘ගැහැනු ගැට’ චිත්‍රපටයෙනි. ඉන්පසු ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපය වූ ‘රන් මුතු දූවේ’ සහාය කැමරා ශිල්පියකු විය. පසුව කැමරා අධ්‍යක්‍ෂවරයකු ලෙස ඔහු දායකත්වය දුන් විශිෂ්ට චිත්‍රපට රාශියකි.
නිධානය, ගොළු හදවත, මඩොල් දූව, ගැහැනු ළමයි, අක්කර පහ ඉන් කිහිපයකි.
ඔහු චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙස දොරට වඩින්නේ 1964 දී තිරගත වූ ‘සිතක මහිම’ චිත්‍රපටයෙනි. 1965 දී තිරගත වූ ‘සත පනහ’ චිත්‍රපටයෙන් ඔහු ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.
අදද ඉමහත් ජනප්‍රියත්වයක් ලබා ඇති එච්.ආර්. ජෝතිපාල හා සුජාතා අත්තනායක ගයන ‘චන්ද්‍රා මෙ රෑ පායා ආවා’ ගීතය එන්නේ ‘සත පනහ’ චිත්‍රපටයේය. ඉන්පසුව ඔහු ‘ඇතුල්වීම තහනම්’ අධ්‍යක්‍ෂණය කළේය. එහි එච්.ආර්. ජෝතිපාල සන්ධ්‍යා කුමාරි සමග ප්‍රධාන චරිතයක් නිරූපණය කළේය. ජෝති හා සුජාතා ගයන ‘තරුණ නෙත් ජය මංගලේ’ යන ගීතය එන්නේ ‘ඇතුල්වීම තහනම්’ චිත්‍රපටයේය.
ඔහු නිෂ්පාදනය කරමින් අධ්‍යක්‍ෂණය කළ ප්‍රථම චිත්‍රපටය ‘ප්‍රවේසම් වන්න’ය. ඔහුගේ වැඩිමහල් දියණිය ශ්‍යාමා ආනන්ද මේ චිත්‍රපටයේ ද්විත්ව චරිත නිරූපණය කළාය. මෙහි ටෝනි රණසිංහ, මාලිනී ෆොන්සේකා හා ජෝ අබේවික්‍රම ප්‍රධාන චරිත නිරූපණය කළහ. තිරගත වූයේ 1969 දීය. ඉන්ද්‍රානි විජේබණ්ඩාර ගයන ‘හොඳ හොඳ ළමයින් අපි වාගේ’ නම් ජනප්‍රිය ගීතය එන්නේ එම චිත්‍රපටයේය.
ඉන්පසු ආනන්ද අධ්‍යක්‍ෂණය කරමින් නිෂ්පාදනය කළ චිත්‍රපටය වූයේ මගෙ නංගි ශ්‍යාමා, චණ්ඩි ශ්‍යාමා, හලෝ ශ්‍යාමා හා මම බය නෑ ශ්‍යාමා ය.
‘ශ්‍යාමා’ චිත්‍රපට ඉමහත් ජනප්‍රියත්වයක් ලැබීය. ඉන්පසු ශ්‍යාමා ආනන්ද පිළිබඳව සිනමා රසිකයෝ වඩාත් කතා කරන්නට පටන් ගත්හ.
ආනන්දගේ බිරිඳ වූයේ වයලට් ආනන්දය. ඔවුනට දියණියන්ම දෙදෙනෙකි. මින් වැඩිමහල් දියණිය ශ්‍යාමා ය. ඇගේ නැගණිය සන්ධ්‍යා ය.
ශ්‍යාමා තම පියා වූ ආනන්ද අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලින් ජනප්‍රියත්වයක් ලැබූවද ඇය රඟපෑමට පිවිසෙන්නේ මාස තුනක බිළිඳියකව සිටියදීය. ඒ රොබින් තම්පෝගේම නිෂ්පාදනයක් වූ ‘වෙන ස්වර්ගයක් කුමටද?’ චිත්‍රපටයෙනි. ඉන්පසුව ඇය රොබින් තම්පෝගේම චිත්‍රපට වූ ‘සුවිනීත ලාලනී, සුහද දිවි පෑම’ ආදී චිත්‍රපටවල රඟපෑවාය. ඊට අමතරව ‘සිතක මහිම, සත පනහ, ඇතුල්වීම තහනම්, සෙනෙහස, පේනවා නේද?’’ චිත්‍රපටවල රඟපෑවාය.
ශ්‍යාමා මුල්වරට ප්‍රධාන චරිතය රඟපෑවේ ප්‍රවේසම්වන්න චිත්‍රපටයේය. ලැබුණේ ද්විත්ව චරිතයකි. ඒ වෙනුවෙන් වසරේ හොඳම ළමා නිළිය ලෙස 1969 දී ‘ලංකාදීප දීපශිඛා’ සම්මානයෙන් ඇය පුද ලැබුවාය.
ආනන්ද වාණිජ චිත්‍රපට අධ්‍යක්‍ෂණය හා නිෂ්පාදනය කරමින් ජනප්‍රියත්වයට පත්වූ අතර ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සම්මානනීය චිත්‍රපට වූ ‘නිධානය, ගොළු හදවත, මඩොල්දූව, අක්කර පහ’ ආදී චිත්‍රපට ගණනාවකම කැමරා ශිල්පියා ලෙස කටයුතු කිරීමෙන් පෙනී යන්නේ ඔහු කැමරා අධ්‍යක්‍ෂවරයකු ලෙස කොතරම් ප්‍රවීණයකුද යන්නය.
එම්.එස්. ආනන්ද එතරම් කතාබහක් නැති නිහඬ පුද්ගලයෙකි. ඔහු අප ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන්නා මිස එතැනින් එහාට වැඩිදුර කතා කරන්නට ගියේ නැත.
එකල ඔවුන් පදිංචිව සිටියේ මරදාන ඩාලි පාරේ නිවෙසකය. එහි ඉහළ තට්ටු දෙකක ආනන්ද පවුල පදිංචිව සිටි අතර පහළ තට්ටුවේ ඔවුන්ගේ ව්‍යාපාරික ආයතනය පිහිටා තිබුණේය. එය මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරයකි. නමින් එය ‘වින්ජය මෝටර්ස්’ විය.
ශ්‍යාමා රඟපෑ චිත්‍රපට නිෂ්පාදන සමාගම හැඳින්වූයේ ‘වින්ජය චිත්‍රපට’ යනුවෙනි. ඒ නිසා ‘වින්ජය’ නම එකල බෙහෙවින් ප්‍රසිද්ධ විය. බොහෝ විටෙක අප එකල ආනන්දගේ නිවසට ගියේ ශ්‍යාමාගේ ඡායාරූප ගන්නටය. නැතිනම් ඇගේ සම්මුඛ සාකච්ඡාව ලබා ගන්නටය. ඇගේ ඡායාරූපවලට සම්මුඛ සාකච්ඡාවලට එකල මහත් රසික ආකර්ශනයක් තිබිණ. එම්.එස්. ආනන්ද මද සිනාවක් පා ඔහුගේ කටයුතුවල නිතර වූවා මිසෙක අප සමග වැඩි කතාබහට නාවේය. එහෙත් ඇගේ මව වයලට් ආනන්ද මහත්මිය අප සමග ඉතා සුහදශීලී වූවාය.
එහෙත් ඡායාරූප ශිල්පියා ඡායාරූප ගැනීමේදී නම් එම්.එස්. ආනන්ද ඇගේ අසල සිටින්නට අමතක නොකළේය.
ශ්‍යාමා අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයෙන්, ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන් හා විශාඛා විද්‍යාලයෙනි.
ශ්‍යාමා නිළියක ලෙස කොතරම් ජනප්‍රිය වුවද, චිත්‍රපට සඳහා ඇයගේ රඟපෑම් දායකත්වය ලබා ගන්නට නිෂ්පාදකවරුන් හා අධ්‍යක්‍ෂකවරුන් උත්සාහ කළද ගෙදරින් ඊට බුරුලක් ලැබුණේ නැත.
වරෙක වයලට් ආනන්ද මහත්මිය අප සමග සඳහන් කළේ ‘‘වෙන අයගේ චිත්‍රපටයකට’’ ගිවිසුම් අත්සන් කළාම අධ්‍යක්ෂවරයා, නිෂ්පාදකවරයා කියන හැම දෙයක්ම කරන්නට සිද්ධ වෙනවා. එහෙම කරන්න අකැමැති වුණොත් ඒ අය අපට දොස් කියනවා. සමහර විට ඒ අය කියන හැම ජවනිකාවක්ම රඟපාන්න ගියාම එවැනි සිද්ධි දුවගෙ විවාහ ජීවිතයට, අනාගතයට ප්‍රශ්නයක් වේවි කියල තියෙනවා’’ කියාය.
‘‘සල්ලි, ජනප්‍රියත්වය, කීර්තිය අපට කවදහරි ලබා ගන්න පුළුවන්. ඒත් නැතිවුණ ආත්ම ගෞරවය ආපසු ගොඩ නඟා ගන්න බැහැ. දුව චිත්‍රපට නිළියක් හැටියට ලබා ගන්න හැම දේකටම වැඩිය ඇගේ ආත්ම ගෞරවය වටිනවා. ඒ නිසයි දුවට පිට චිත්‍රපටවල රඟපාන්න ඉඩ නොදෙන්නෙ.’’ ඒ ආනන්ද යුවළ ඇය රැක ගත් හැටිය.
ශ්‍යාමාට කිසිම දිනක පිට චිත්‍රපටයක රඟපෑමට පමණක් නොව ප්‍රේම ජවනිකා රඟපෑමටද ඉඩ නොලැබිණ.
විවාහයෙන් පසු ශ්‍යාමාට රඟපාන්න ඉඩ දෙනවා දැයි ඇසූ විට ඇගේ මව පැවසුවේ ‘‘ශ්‍යාමා විවාහයෙන් පස්සෙ රඟපානවට මගේ අකමැත්තක් නෑ. ඒක තීරණය කරන්න ඕනෙ ඒ දෙන්නයි. ඒත් කිසිම දවසක පිට චිත්‍රපටයක රඟපාන්නවත්, ප්‍රේම ජවනිකා රඟපාන්නවත් නොයන ලෙස අපි ශ්‍යාමාට කියා තිබෙනවා. ශ්‍යාමා අපේ වචනෙකට පිටින් කවදාවත් යන්නෙ නෑ’’ කියාය.
‘ප්‍රවේසම් වන්න’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් ශ්‍යාමාට හොඳම රඟපෑම වෙනුවෙන් ‘දීප ශිඛා’ සම්මානය ලැබුණේ ඇයට වයස අවුරුදු අටක් වෙද්දීය. ‘ගැහැනු ළමයි’ චිත්‍රපටයේද රඟපෑම වෙනුවෙන් ජනාධිපති සම්මාන උළෙලේදී කුසලතා සම්මානයක් ලැබිණ.
ශ්‍යාමාට සිය සැමියා සාලිය හමුවන්නේ ආදර සම්බන්ධයකිනි. ඔහු එකල තර්ස්ටන් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ නායකයාය. ශ්‍යාමාගේ ගෙදරින් ඔහුට කැමැත්ත ලැබිණ.
ශ්‍යාමාගේ ආදරණීය සැමියා සාලිය ‘හලෝ ශ්‍යාමා’ චිත්‍රපටයේ ගී ගයන දර්ශනයක රඟපාන බව එදා දැක ගන්නට ලැබිණ.
ශ්‍යාමාට පමණක් නොව සාලියටද පිට චිත්‍රපටවල රඟපානවාට ගෙදරින් කැමැත්තක් නොලැබිණ.
‘‘සාලිය චිත්‍රපටවල රඟපානවාට අපේ අකමැත්තක් නෑ. ඒත් එයා පිට චිත්‍රපටවල රඟපානවට කැමැත්තක් නෑ. ශ්‍යාමා නම් එයා චිත්‍රපටවල රඟපානවට විරුද්ධයි’’ ඒ මවගේ අදහස්ය.
ශ්‍යාමාද විවාහයෙන් පසු කියා තිබුණේ ‘‘එයා නළුවෙක් වුණොත් මට බෑ ආදරය කරන්න. එයා නළුවකුට වඩා මට හොඳයි’’ කියාය.
ඇය චණ්ඩි චරිතවලින් මිදී පාසල් දැරියක ලෙස රඟපෑවේ ගැහැනු ළමයි චිත්‍රපටයේය. කරුණාසේන ජයලත් විසින් ලියන ලද ගැහැනු ළමයි නවකතාවේ එන පද්මිනී නම් දඟකාර දැරිය ලෙස ඇය එහි රඟපෑවාය. ඇය චරිත නිරූපණයේදී කොතරම් දක්ෂ නිළියක දැයි ගැහැනු ළමයි බැලූවකුට සිතා ගත හැකිය.
හැත්තෑව දශකයේ අගභාගයේදී ආනන්ද සිරිසේන විසින් ලියන ලද ‘වජිරා’ ගුවන් විදුලි නාට්‍යය බෙහෙවින් ජනප්‍රිය වූවකි. එකල රූපවාහිනී මාලා නාටක නොතිබිණ. ශ්‍රී ලංකාවේ ප්‍රථම මාලා නාටකය වන ‘දිමුතු මුතු’ විකාශය වන්නේ 1982 දීය. එහෙත් මහත් ජනප්‍රියත්වයක් ලැබුවේ ‘වජිරා’ වැනි ගුවන් විදුලි නාට්‍යය.
එනිසා ‘වජිරා’ එකල ශ්‍යාමාගේ ජනප්‍රියම ගුවන් විදුලි නාට්‍යයක් විය. ඒ නිසා පසුකල ‘වජිරා’ චිත්‍රපටයකට නගද්දී, ඇයට එහි ප්‍රධාන චරිතය වූ ‘වජිරා’ රඟපාන්නට ආරාධනා ලැබිණ. එහෙත් එය ගෙදරින් ප්‍රතික්ෂේප විය.
‘‘මට මතකයි ශ්‍යාමා හරිම ආශාවෙන් අහන ‘වජිරා’ නාට්‍යය චිත්‍රපටයට නගද්දී ශ්‍යාමාට කතා කළ හැටි. ශ්‍යාමා වජිරා චරිතය රඟපාන්න කැමැත්තෙන් හිටියා. ඒත් ඒ චරිතයේ ප්‍රේම ජවනිකා තිබීම නිසා අපි කැමැති වුණේ නෑ. එදානම් මගේ හිතට ලොකු වේදනාවක් ආවා’’ ආනන්ද මහත්මිය කීවේ ඒ අයුරිනි.
එදා දඟකාර ශ්‍යාමා අද මිත්තනියකි. ඔවුන් පදිංචිව සිටින්නේ කැනඩාවේය. ඒ ටොරොන්ටෝ නගරයට කිට්ටුවය. දැන් නිවසේ සිටින්නේ සාලියත් ශ්‍යාමාත් පමණකි.
ඇගේ දියණිය මන්දිරා විවාහකය. මන්දිරාද දුවකගේ හා පුතකුගේ මවකි. පුතු තවමත් අධ්‍යාපනය ලබයි. සාලියත්, ශ්‍යාමාත් කැනඩාවේ ව්‍යාපාර කටයුතුවල නිතර වෙති.
ශ්‍යාමාට යම්තම් වසර 20 පිරෙනවාත් සමගම ඇය විවාහ වූවාය.
‘‘පසුගියදා ඇය හා කතා බස් කරද්දී මා ඇසුවේ නිළියක වන්නට ගෙදරින් බලපෑම් කිරීම ගැන දැන් දුකක් දැනෙවද?’’ කියාය.
‘‘නෑ මේ ජීවිතය හොඳයි. ගෙදරින් කැමැති වෙලා මම නිළියක් වුණා නම් මේ ජීවිතය වෙනස් වෙන්න තිබුණා. සමහර විට මගේ විවාහය ප්‍රමාද වෙන්න තිබුණා. ඒත් තාම මට කැමැති පිරිසක් ඉන්නවා. මුහුණු පොතේ බැලුවත් ඔවුන් තාමත් මට කැමති බව පේනවා. මගේ පරණ චිත්‍රපට ගැන ඔවුන් නිතර නිතර මතක් කරල එවනවා’’ ශ්‍යාමා කියයි.
‘‘අපි කැනඩාවේ හිටියට නිතර ලංකාවට එනවා. මාස කීපයක් ඇවිත් ඉන්නවා. ඒත් මේ කොරෝනා ප්‍රශ්නය නිසා එන්න බැරිවයි ඉන්නෙ. සාලියටයි මටත් දෙන්නටම එන්න විදියක් නැත්තෙ දෙන්නම ආවම අපේ ව්‍යාපාර බලා ගන්න කෙනෙක් නැති නිසයි’’ ඇය කියයි.
එම්.එස්. ආනන්ද නම් ප්‍රවීණ කැමරා අධ්‍යක්‍ෂවරයා අභාවප්‍රාප්ත වනවිට ඔහුගේ වයස අවුරුදු 83 ක්. ඇගේ මව වන වයලට් ආනන්ද ශ්‍රී ලංකාවේ පදිංචිව සිටියි. ශ්‍යාමා විවාහ වන්නට පෙර ඇගේ මව සමග මා පැවැත්වූ සාකච්ඡාවේදී ඇය කී මේ අදහස් කාලයත් සමග කොතරම් අප වෙනස් වී සිටී දැයි කියන්නට උදාහරණයකි.
‘‘ශ්‍යාමාට දැන් අවුරුදු විස්සට ලබලා. ඒත් එයාගෙ දඟකාරකම්වල නම් කිසිම අඩුවක් දකින්න නෑ. විවාහයට ඉස්සර වෙලා ‘‘ඩාලිං ශ්‍යාමා’’ වර්ණ චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කරනවා. (මේ චිත්‍රපටය නිම කළාදැයි නොදනිමි).
ශ්‍යාමාගේ විවාහයෙන් පස්සෙ අපි කොල්ලුපිටියේ අලුත් ගෙදරකට යනවා. විවාහ වුණා කියලා ශ්‍යාමා අපෙන් වෙන්වෙන්නෙ නෑ. විවාහයෙන් අවුරුදු දෙකක් වෙනකම්වත් අපි ශ්‍යාමා ළඟ ඉන්නයි බලාපොරොත්තුව. ශ්‍යාමා ටිකක් දැනුම් තේරුම් ඇති බිරිඳක් වුණාට පස්සෙ ඒ දෙන්නගෙ ජීවිත හැඩ ගසා ගන්නට ඉඩ දීලා අපි අයින් වෙනවා.’’
1980 දී වයලට් ආනන්ද මහත්මිය පැවසූ වදන් අද සෑබෑවී ඇත. කාලය මොනතරම් ඉක්මණින් ගෙවී ගොස් ඇද්ද? පසුකල ඔවුන් ඩාලි පාරෙන් කොල්ලුපිටියේ අලුත් නිවසකට ගොඩ වැදුණහ. අදද මරදාන ඩාලි පාර දිගේ යන විට මට ‘වින්ජය මෝටර්ස්’ මෙන්ම ශ්‍යාමාගේ නිවෙසද සිහිපත් වෙයි.
රොඩ්නි විදානපතිරණ