මළ සිරුරු දැවීම පුරාතනයේ පටන්ම ලොව පැවැති සිරිතකි. සක්විති රජවරුන් මියගිය පසු ආදාහන කරවූ ආකාරය දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයෙහි විස්තර වෙයි. ඒ අනුව සක්විති රජුගේ සිරුර පළමුව අලුත් වස්ත්‍රයෙන් වසයි. පසුව කපු පුලුන්වලින් වසා යළිත් අලුත් වස්ත්‍රයෙන් වසයි. මේ ආකාරයට යුගල පන්සියයකින් සක්විති රජුගේ සිරුර වසා රන්මුවා තෙල් දෙණෙක බහා වෙනත් රන්මුවා දෙණකින් වසා සෑම වර්ගයකටම අයත් සුවඳ දරින් දර සෑයක් තනා සක්විති රජුගේ සිරුර දවයි. ඉතිරි වූ අළු ආදිය නිධන්කොට සිවුමං හන්දියක ස්තූපයක් තනවයි.
මෙම ක්‍රමය අනුවම බුදුරදුන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කෙරිණි. එයම අනුගමනය කිරීමක් ශයෙන් රහතන් වහන්සේලා පිරිනිවන් පෑ විටත් උත්සව ලීලාවෙන් ආදාහනය සිදුවුණි. මෙය පශ්චාත් කාලීන අනෙක් භික්ෂු පරපුර සඳහා ද එලෙසම යොදා ගැනිණ. හින්දු චාරිත්‍රය අනුව හින්දු භක්තිකයකු මියගිය විට ඔහුව ආදාහනය කළ යුතු බවත් ඉන්පසු එම භෂ්මාවශේෂ පුණ්‍ය තීර්ථයක පා කර හැරිය යුතු බවත් ආගමික නියමයයි. භෂ්මාවශේෂ ගංගා ජලයෙහි පා කර හැරීම වෙනුවට බෞද්ධ චාරිත්‍රය වූයේ ඒවා තැන්පත් කොට සොහොන් කොත් බැඳීමයි.
මෙරට පුරාතන බෞද්ධ ජනයා ද ආදාහන උත්සව ඉතා අලංකාරවත්ව සිදු කළහ. භික්ෂූන් වහන්සේ නමකගේ මෘත ශරීරයන් භූමදානය කළ බවක් කිසි තැනෙක සඳහන් නොවේ. එම දේහයන් ආදාහනය කරවීම සාම්ප්‍රදායික සිරිතක් වශයෙන් ක්‍රියාත්මක වෙයි. ආදාහනයෙන් පසු ඉතිරි වන භෂ්මාවශේෂ ගෙන චෛත්‍ය බැඳීම ද සිදු කෙරෙයි. මෙරට ගිහි පැවිදි ප්‍රධානීන්ගේ ආදාහන උත්සව පැවැත්වූයේ පුරාතන උතුරු ඉන්දියානු ආර්යයන්ගේ ආදාහන ක්‍රම අනුවයි. සෑම ආදාහන උත්සවයකදීම පෙරහරක් පැවැත්වීමද මෙරට සාම්ප්‍රදායික සිරිතයි.
මිහිඳු මහරහතන් වහන්සේගේ ආදාහන කෘත්‍යය පුරාතන ලක්දිව ඉතා උසස් ලෙස පැවැත්වූ ආදාහන පූජෝත්සවයකි. සෑගිරියේදී පිරිනිවන් පෑ මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය සිදු කරන ලද්දේ උත්තිය රජු විසිනි. මෙහිදී මහා විහාරය මෙන්ම මුළු අනුරාධපුර නගරයන් අවට තුන් ගව්වක් මාර්ගත් තොරණ බැඳීම, ධජ එසවීම, පුන්කළස් තැබීම හා සුදුවැලි ඉසීම ආදියෙන් අලංකාර කෙරිණි.
ශ්‍රී දේහය සුවඳ තෙල්වලින් පිර වූ රත්රන් දෙණක තැන්පත් කර රන්සිවි ගෙයක් මතින් මහා පූජා පෙරහරකින් සෑගිරියේ සිට අනුරාධපුර මහා විහාරයට වැඩමවීය. මග දෙපස භට පිරිස් රඳවා ඔවුන්ගේ ආචාරය ශ්‍රී දේහයට ලබා දුන්නේය. ශ්‍රී දේහය සත් දිනක් පුරා මහජන පුද සත්කාරය සඳහා වෙන්කර තැබිණ. පසුව අනුරාධපුර ‘බුද්ධ මාලක’ නම් ස්ථානයක සුවඳ දරින් ඉදි කළ දර සෑයක් තුළ තැන්පත් කොට ආදාහනය සිදු කෙරිණි. භික්ෂූන් වහන්සේ නමක වෙනුවෙන් ලක්දිව සිදු කළ ප්‍රථම ආදාහන පූජෝත්සවය මෙයයි.
රජවරුන්ගේ මෘත ශරීරයන්ද ආදාහනය කිරීමේ පුරුද්ද මේ නිසාම ඇතිවුවකැයි, සිතිය හැකිය. කාවන්තිස්ස මහරජුගේ ආදාහන උත්සවය තිස්සමහාරාමයේදී සිදු කෙරිණි. ඉන්පසු ඉතා උසස් අන්දමින් සිදු කෙරුණු ආදාහනය නම් දුටුගැමුණු මහරජුගේ අාදාහන උත්සවයයි. මෙම උත්සවය නිසා අනුරාධපුර කිහිප ස්ථානයකටම අලුත් නම් ලැබුණි. නාටක ස්ත්‍රීන් පැමිණ රජුගේ මකුටය (ඔටුන්න) ඉවත් කළ ස්ථානය ‘මකුටමුත්තසාලා’ නමින් ද මහජනයා විලාප නැගූ තැන ‘රාවවට්ටසාලා’ නමින්ද රාජ ශරීරය ආදාහනය කළ ස්ථානය ‘රාජමාලක’ නමින් ද ප්‍රසිද්ධ විය. අනුරාධපුරයේ භික්ෂූන් වහන්සේලා ආදාහනය කළ ස්ථානය ප්‍රසිද්ධ වූයේ ‘ආදාහන මළුව’ නමිනි. මේ නිසාම ‘ආලාහන පිරිවෙණ’ නමින් විහාරස්ථානයක්ද බිහි විය.
5 වැනි ශත වර්ෂයේදී ලංකාවේ භික්ෂු ආදාහනයක් පිළිබඳ වටිනා කරුණු කිහිපයක් චීන ජාතික පාහියන් හිමියන්ගේ දේශාටන වාර්තාවෙන් හෙළිදරව් වෙයි. එවක වැඩ විසූ රහත් උතුමෙකැයි, සැලකුණු භික්ෂූන් වහන්සේ නමකගේ ආදාහන උත්සවයක් පිළිබඳ එහි වෙසෙසින් විස්තර කෙරෙයි. ආදාහනයේදී පිළිපැදිය යුතු චාරිත්‍ර රජු විසින් ඉටු කරන ලද බවත් ආදාහනය රාජ්‍ය ගෞරව සහිතවම සිදුවූ බවත් එමගින් පැහැදිලි වෙයි.
ආදාහන චිතකය අඩි 30ක් පමණ දිගින් හා පළලින් යුක්ත වූ අතර එහි සඳුන්, දේවදාර ආදී ලී අතුරා තිබී ඇත. මුළු චිතකයම වටිනා සුදු වස්ත්‍රවලින් වට කොට සකස් කර තිබූ අතර චිතතකයට නැගීමට සතර පැත්තෙන් පියගැට පේළි සතරක් ඉදිකොට තිබිණ. පට රෙදි තරම් සිනිඳු සුදු කපු පිළියෙන් ශ්‍රී දේහය වසා පැවතිණ. අවමගුල් රියකට සමාන විශාල රිය මැස්සක් ද සාදා තිබිණ. එහෙත් එහි චීනයේ මෙන් නාග රූප හෝ මත්ස්‍ය රූප නොවීය.
ඉක්බිතිව දෙණ සෑය මත තබා සෑය මතුයෙහි ගිතෙල්, මෙඬරු ආදී සුවඳ තෙල් වත්කොට ගිනි දැල්වීය. සෑය ගිනිගත් විට අවට රැස්වූ ජනයා හොඳින් ගිනි ඇවිලීම පිණිස දුරින් සිට සැදැහැ සිතින් තම උතුරු සළු, කුඩ, විජිනිපත් හා ආභරණ සෑය මතට විසි කිරීමේ සිරිතක් ද විය. ආදාහනය අවසානයේදී ඔවුහු භෂ්මාවශේෂ එකතු කොට ඒවා නිධන් කර දාගැබක් බැන්දහ.
මෙම ආදාහන පෙරහරෙහි රජු සහ රටවැසියා ගමන්ගත් අතර විශාල භික්ෂු පිරිසක් ආදාහන මළුවට රැස්වූහයි ද පාහියන් හිමි සඳහන් කරයි. 05 වන සියවසේදී ලංකාවට සැපත් පාහියන් හිමි ඉදිරිපත් කරන මෙම විස්තරයෙන් එවකට මෙරට පැවති ඇතැම් සංස්කෘතික අංග පිළිබඳ පැහැදිලි විස්තරයක් දත හැකිය.
15 වැනි සියවසේ සිදුවූ ආදාහන උත්සවයක් පිළිබඳ තොරතුරු ‘එළුඅත්තනගලු වංසය’ තුළින් හෙළි වෙයි.
ස්වකීය රාජානුභාවය දක්වමින් ආදාහන භූමිය දේවස්ථානයක් මෙන් සරසවා උදක් සඳුන් දරින්ම ඉතා උස්වූ දර සෑයක් බඳවා කසී සළු හා සමාන වූ මාහැඟි වස්ත්‍රයෙන් අඳවා පොරවා නොයෙක් රන්කම් කරන ලද ඇඳ යානාවකට ආරෝපණය කොට සඳුන් දර සෑය මත්තෙහි තබා ගිනි දල්වා එතැන්හිම සිට සිය ගණන් ගිතෙල් කල වත් කරවා ආදාහන පූජාව විශේෂ විහිතකොට කරවූයේය.
මෙහි විස්තර වන්නේ සිරිසඟබෝ ආදාහන උත්සවයයි. මහාවංසය මේ ගැන යමක් සඳහන් කොට නොමැත. මෙම ආදාහන විස්තරය හුදෙක් එළුඅත්තනගලු වංසයෙහි කතුවරයා ජීවත් වූ වකවානුවෙහි සිදු කළ ආදාහන උත්සවයක විස්තරයක් යැයි විශ්වාස කිරීම වඩාත් උචිතය.
ආගමික හා සාහිත්‍යයික අතින් මෙරට ඉතා පිරිහීමකට පත්ව තිබුණු නුවර යුගයේ පවා ආදාහන උත්සව ඉතා උසස් අන්දමට සිදුකළ බව සංඝරාජ සාධු චරියාවෙහි එන සංඝරාජ ආදාහන විස්තරයෙන් පෙනේ.
‘....... නව මහල් ගිනි ගෙයි චන්දන දාරු ආදීන් බඳනා ලද දර සෑයෙහි මහෝත්සවයෙන් ඒ මෘත දේහය වඩා. උභය විහාරවාසී මහා සඟ පිරිසට බොහෝ සේ පාංශුකූල දෙමින් අවසානයෙහි නොයෙක් භේරී තූර්යාදීන් සහ ගසන ලද මිනී බෙර හඬින් ඒකඝෝෂා කෝලාහල පවත්වමින් ගිනි දල්වා ආදාහන කොට.....’
මෙම කරුණු අනුව විමසා බැලීමේදී පුරාතන යුගයේ පටන්ම ශ්‍රී ලාංකේය ජනතාව මහත් භක්තියකින් සිදු කළ ආගමික උත්සවයක් ලෙස ආදාහන පූජෝත්සවය හඳුන්වා දිය හැකිය.