ඇඟිල්ල උරන්න අමතක කළාට ටයි මහත්තයාගෙන් ප්‍රහාරයක්


 

හඳයා තිරගත වී දැන් අවුරුදු 42 කට ආසන්නය. හඳයා තිරගත වූ දිනය හැටියට සැලකෙන්නේ 1979 නොවැම්බර් 16 වැනිදාය. මේ තරම් කාලයකට පසුවද හඳයා තවමත් ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ අමරණීය චිත්‍රපටයකි.   


එය ළමා චිත්‍රපටයක් ලෙස හැඳින්වුවද එහි නිෂ්පාදක හා අධ්‍යක්ෂ ටයිටස් තොටවත්තයන් එකල හඳයා තේමා පාඨය කර ගත්තේ 8 - 80 දක්වා කියාය. ඉන් අදහස් වන්නේ හඳයා ළමයින්ට පමණක් නොවන බවය.   
ජාතික චිත්‍රපට සංස්ථාවේ සියයට සියයේ ණය පහසුකම් යටතේ නිෂ්පාදනය වූ හඳයා නැවත එම ණය ගෙවු චිත්‍රපට දෙකින් එකක් විය.   


ප්‍රේක්ෂක සහභාගීත්වයෙන් ද හඳයා මුල් වටයේ ආකර්ෂණයක් දිනා ගත්තේ නැත. එ් පිළිබඳව සුප්‍රකට ලේඛක කරුණාසේන ජයලත් සඳහන් කළේ මෙසේය.   


“හඳයා මුදා හළ මුල් දිනවල උගේ ගමන් වේගය අප බලාපොරොත්තු නොවුණු බව සැබවි. එහෙත් සිංහල සිනමාවෙත් එහි දියුණුව පතන අප හැමගේත් සිත් තුටු පහටු කරමින් ගතවූ සතිය හමාර ඇතුළත හඳයා අලුත් පිම්මක් පනින්නට විය.”  

 


පසුගිය දිනෙක මා දෙවැනි වරට හඳයා බලන්නට ගිය අවස්ථාවේ ශාලාව පිරී තිබිණ. එදා එහි සිටි වැඩි දෙනකු මා මෙන් එක් වරකට වඩා හඳයා බැලූ අය බව පැහැදිලි විය. මා එසේ කීවේ හිනායන හැම සිද්ධියකදීම එම සිද්ධිය තිරයේ වැටෙන්නට තත්ත්පර කීපකයට කලින් ප්‍රේක්ෂකාගාරයේ සිටි පිරිසකගෙන් වැඩි දෙනෙකු සිනාසෙන්නට වූ බැවිනි.”


හඳයා දින 150 කට වඩා තිරගත වූ බවට වාර්තා වෙයි. ටයිටස් තොටවත්තයන් කොහොමටත් විප්ලවවාදී සිනමාකරුවෙකි.   


ඔහු ළමා චිත්‍රපටයකට අත ගැහුවේ වාණිජ බලාපොරොත්තු පිළිබඳව අවදානමක් ගනිමිනි. එහි ප්‍රවීණ ශිල්පීන් ලෙස රඟපෑවේ හෙන්රි ජයසේන, ජේ.එච්. ජයවර්ධන, පර්ල් වාසුදේව්, ගැමුණු විජේසූරිය වැනි කීප දෙනෙකු පමණකි. ඉතිරි සියල්ලෝම ආධුනිකයෝ වූහ.   


“බේරේ මැද තිබෙන දූපත හඳයා චිත්‍රපටයට ඇතුළත් වන විශේෂ ස්ථානයක්. චිත්‍රපටයේ එන වැදගත් චරිතයක් වන පොල්දූවේ හාමුදුරුවන් ජීවත් වෙන්නේ මේ දූපතේයි. පැල්පත් වාසීන්ගේ ජීවන ප්‍රශ්නවලට සහභාගී වන මේ හාමුදුරුවෝ ඔවුන්ට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරනවා.” ටයිටස් තොටවත්තයන් මේ බව පැවසුවේ දර්ශන තල සොයන්නට බෝට්ටුවකින් බේරේ වැව වටා ගිය ගමනකින් පසුවය. බොහෝ අධ්‍යක්ෂවරු දර්ශන තල සඳහා පිට පළාත් සොයා යද්දී ඔහු දර්ශන තල සෙවුවේ බේරේ පැල්පත් අතරය.   
“බේරේ වැව අවට පැල්පත් වාසීන්ගේ ජීවිත වනාතමුල්ලේ හෝ තොටළඟ පැල්පත් වාසීන්ගේ ජීවිතවලට වඩා වෙනස්. ඔවුන් හැම විටම නගරය දකිනවා. දකින්නේ ජලාශයෙන් එපිට පේන නගරයේ ඇතුළු පැත්තයි. පහළ සිටින ඔවුන්ට නගරය පෙනෙන්නේ ඉහළින්. නගරයේ සිටින අයට මේ පැල්පත් වාසීන් පෙනෙන්නේ පහළින්.”   
ඒ ටයිටස් තොටවත්තයන්ගේ දර්ශනයයි. අද හඳයා චිත්‍රපටයේ එන බොහෝ දර්ශන තල වෙනස් වී ඇත. බේරේ වැව වටා තිබූ බොහෝ පැල්පත් ද අද දක්නට නැත. 

 
ටයිටස් තොටවත්තයන්ට මුලදී බොහෝ සම්මාන උළෙලවලදී ඇගැයීමක් ලැබුණේ නැත.   
එහෙත් ඔහු කළු සුදු චිත්‍රපටයක් වන හඳයා ඉංග්‍රීසි උප ශීර්ෂ ද නොමැතිව ඉතාලියේ ගිෆොන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට ඉදිරිපත් කළේය. හඳයා ජයග්‍රාහී චිත්‍රපටය විය. 

 
බොහෝ සම්මාන ඔහු සොයා ආවේ ඉන් පසුවය. හඳයා ලද දේශීය සම්මාන ප්‍රමාණය ද විශාලය. ඒ සරසවි සම්මාන හතක්, ජනාධිපති විශේෂ ජූරි සම්මානය, ඕ.සී.අයි.සී. සම්මාන සමගය.   
හඳයා සිංහල සිනමා​වේ පළමු වැනි ළමා චිත්‍රපටය දැයි ඇසූ විට ටයිටස් තොටවත්තයන් කීවේ මෙවැනි අදහසකි.   

 

 

 

“මීට පෙරත් ළමා චිත්‍රපට කීපයක් තිරගත වුණු බව හැබෑව. ඒත් ඒ චිත්‍රපට ළමයින්ට තියා වැඩිහිටියන්ටවත් වැටහුණාද? කොටින්ම කියනවා නම් ඒ ළමයි කතා කරන දේවල් ඒ ළමයින්ට තියා බලන අපිටවත් තේරුණේ නෑ.”   


ටයිටස් කොහොමටත් විප්ලවකාරයෙකි. ඔහු හඳයා මහජන ප්‍රදර්ශනයට කලින් අනාථ දරුවන්ට පෙන්වන්න තීරණය කළේය.   


ඔහු එය පළාත් ළමුන් සඳහා තිරගත කරන්න තීරණය කළේය. ප්‍රථම දර්ශනය එවකට අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා හා එම මැතිනියගේ ප්‍රධානත්වයෙන් කොළඹදී තිරගත විය.   
හඳයා රූගත කරන සමයේ දිනෙක මට හමු වූ සයිමන් නවගත්තේගම නමැති විශිෂ්ට ලේඛකයා මා සමග පැවසුවේ ඔහු ඒ දිනවල සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ හදාරන බවයි. ඒ ටයිටස් තොටවත්තයන්ගේ හඳයා හා එක්වීමෙනි නවගත්තේගමයන්ට ඇතැම් විටෙක චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වීමේ අදහසක් තිබෙන්නට ඇත. එහෙත් ඔහු ඒ සඳහා දිගටම සහභාගී වූවා දැයි තොරතුරු නැත.   


හඳයා චිත්‍රපටයට එක් වූ බොහෝ ළමා නළු නිළියන් අද වියපත් වූවන් බවට සැකයක් නැත. එහෙත් තවමත් ඔවුන් අප හදවත් තුළ ජීවත් වන්නේ ළමයින් වශයෙනි. සිනමාවේ විශේෂත්වය එයයි.   
මුල් වටයේ හඳයාට සෙනඟ අඩු වීම නිසා අවංකවම කම්පාවට පත් වූ සිත්සර පත්‍රයේ එවකට කර්තෘ ආතර් යූ. අමරසේනයන් මට පැවරුවේ ළමා නළු නිළියන් සියල්ල හමු වී ලිපියක් ලියන ලෙසටය. පොදු බස් රථවලින් තැනින් තැනට යමින් ඔවුන් සොයා යෑම දුෂ්කර වුවද තෘප්තිමත් කටයුත්තක් විය.   
හඳයා චිත්‍රපටයේ වයස වැඩිම ළමා නළුවා වූයේ සූප්පුවා ලෙස රඟපෑ කිත්සිරි මෙවන් ජයසේනය. ඔහුට එවකට (1979) වයස අවුරුදු 23 කි. ඔහු සුප්‍රකට පුවත්පත් කලාවේදී චින්තන ජයසේනගේ සොහොයුරා විය.   
“මම කවදාවත් චිත්‍රපටයක රඟපාන්න හිතුවේ නෑ. ඒත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නට නම් බලාපොරොත්තුවක් තිබුණා. මම වඩාත්ම ප්‍රිය කළේ චිත්‍ර ඇඳීමටයි. මේ නිසා මම චිත්‍ර කලාව පිළිබඳව උපාධි පාඨමාලාවක් හදාරන්නට ශ්‍රී ලංකා සෞන්දර්ය අධ්‍යාපන ආයතනයට ඇතුළත් වුණා.   
අවසාන විභාගයට පෙනී සිටින කාලයේයි සයිමන් නවගත්තේගමගේ මාර්ගයෙන් සූප්පුවාගේ චරිතයට ටයි මහත්තයා මාව තෝරා ගත්තේ.”


ඔහු මොරටුවේ ඉපිද කොළඹ තර්ස්ටන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත. හඳයා රඟපාද්දි ඔහුට නිතර ඇඟිල්ල උරන්නට සිදු විය.   


“හඳයා රඟපාද්දි මම මොනවද දන්නේ කියලා හිතුණා. මට ඇඟිල්ල උරන්නට අමතක වූ අවස්ථාවලදී ටයි මහත්තයා බැන්න වාර අනන්තයි. එක් දර්ශනයකදී ඔහු මට පහර දුන්නා. ඒත් මට හඳයා දකින කොට ටයි මහත්තයා ගැන ඇතිවෙන්නේ ආදරයක්” කිත්සිරි ඉන් පසුව රූ රටා සැලසුම් ශිල්පියකු ලෙස මට හමු වූ බව මතකය. ඔහු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමට බලාපොරොත්තු වන බව කීවද එය ඉටුකර ගත් බවක් මතක නැත.   


බොහෝ විටෙක හඳයා චිත්‍රපටයේ නළුවන් අතරින් ජනප්‍රිය නළුවකු ලෙස ඉදිරියට එතැයි බලාපොරොත්තුව තිබුණේ සේන ලෙස රඟ පෑ ප්‍රදීප් රොෂාන්ය. ඒ සිනමා තිරයට ඔබින කඩවසම් පෙනුමක් ඔහුට තිබූ නිසාය. එවකට ඔහු 15 වියේ පසු විය. ඔහු කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ ඉගෙනුම ලැබීය.   
එමෙන්ම ඔහු සිනමාවේ අමරණීය පෙම්වතා වූ විජය කුමාරතුංගයන්ගේ සොයුරිය රූපාගේ හතර වැනි දරුවාය.   


“මාව ටයි මහත්තයාට හඳුන්වල දුන්නේ පියසේන අහංගම. හඳයා රඟපාන්න ඉස්සර අපිට පෝනි පිට යන්නට කැම්බල් පිටියේදී හොඳ පෙර පුහුණුවක් දුන්නා. ඒත් පෝනි රේස් එක වෙලාවේ මාව පෝනියගෙ පිටින් වැටිලා තුවාල වුණා. පස්සේ මම ආයෙත් ඒ දර්ශනයට සහභාගී වූයේ දොස්තර ගෙදර ඉඳන්.”   
ප්‍රදීප් මට එදා මුණගැහුණේ පොල්හේන්ගොඩ තලකොටුවවත්තේ නිවසේදීය.   


පසු කාලයකදී ප්‍රදීප් මට මුණගැසුණේ ආචාර්ය ධර්මසේන පතිරාජගේ චිත්‍රපට දර්ශන තලයකදීය. මතක විදියට අතර මඟ දී විනාශ වී ගිය “සිර කඳවුර” නම් චිත්‍රපටය රූ ගත කරද්දි ප්‍රදීප්ට සිනමාව එපා වුණා ද සිනමාවට ප්‍රදීප් එපා වුණ ද යන්න ප්‍රශ්නයකි.   


උක්කුං ලෙස රඟ පෑ දර්ශන පනංගල මට හමුවන විට ඔහුගේ වයස අවුරුදු 11 කි. ඔහු එවකට පදිංචිව සිටියේ දෙමටගොඩ කොළොන්නාව පාරේය.   


හඳයා චිත්‍රපටයේ දර්ශනගේ රඟපෑම් ප්‍රබල විය. එය ප්‍රේක්ෂකයා තුළ ආකර්ෂණයක් ඇති කරන සුළු විය.   
“මගේ තාත්තා නැති වෙලා තියෙන්නේ මට අවුරුදු දෙක ලැබුණු හැටියේයි කියලා අම්මලා කියනවා. මේ නිසා මම කාටවත් තාත්තා කියලා නෑ. හඳයා චිත්‍රපටයේ මුල් වතාවට හෙන්රි ජයසේන අන්කල්ටයි මම තාත්තා කිව්වේ. මට ඒ වෙලාවේ හරියට දුක හිතුණා. හඳයා බලද්දි ඒ දුක තවත් වැඩි වුණා.”   
එවකට ඔහු දෙමටගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ හතර වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියේය. ඔහුට සහෝදර සහෝදරියන් තිදෙනෙකි. දර්ශන පවුලේ තුන්වැනියාය.   


දර්ශන හඳයාට හඳුන්වා දී ඇත්තේ කාලයක් තරුණයා, සිරිකත ආදී පුවත්පත්වල ඡායාරූප ශිල්පියකු ලෙස සේවය කළ ලෙස්ලි අමරසිංහය.   
දර්ශන පසු කලෙක රිදී තැල්ල චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකාගේ ළමා කාලය රඟපෑ අතර රූපවාහිනී නාට්‍ය කීපයකම චරිත නිරූපණය කළේය.   


චුට්ටේ ලෙස රඟපෑ කසුන් මදුරසිංහ මට අමතක නොවන්නේ ඔහු හා කතා කරන්නට දෙහිවල වෛද්‍ය පාරේ ඔහුගේ නිවසට යන විට ඔහු හඬමින් පසු වීමය. කිසියම් වරදක් නිසා මව ඔහුට බැණ වැදී තිබිණි. ඒ නිසා ඔහුගෙන් යමක් අසා ගන්නට පෙර ඔහු සනසාලන්නට සිදු විය.   
එවකට කොළඹ මහානාම විද්‍යාලයේ 5 වැනි ශ්‍රේ‍ණියේ අධ්‍යාපනය ලබමින් සිටි ඔහු කුවේනි, හිම කුමාරි ආදී පාසල් නාට්‍ය ගණනාවක රඟපා තිබිණි. අනුර කුමාර එදිරිසූරියගේ මාවැනි බිලින්දා නාට්‍යයේ ඔහු පොඩි සාදු ලෙස රඟපෑවේය.   


“ටයි අන්කල් මාව තෝරා ගත්තේ අපේ ඉස්කෝලෙට ඇවිදින්. මට හරියට සතුටු හිතුනා. රඟපාන අතරේදි ටයි අන්කල් අපිට චොක්ලට් එහෙම ගෙනත් දෙනවා. ටයි අන්කල් කියා දෙන විදියට රඟපාන කොට මහන්සියක් නෑ.”   


කසුන් පසුව රිදී තැල්ල චිත්‍රපටයේ ලයනල් දැරණියගලගේ බාල කාලයත් “චමිලා” චිත්‍රපටයේ සනත් ගුණතිලකගේ බාල කාලයත් රඟපෑවේය.   
ටයි මහත්තයා බොහෝ විට ඉතා සැරට කතා කරන්නෙකි. ඔහුගේ උපහාසය රැගත් වදන් ඇතැම් විටෙක ඉතා තියුනුය.   


එහෙත් හඳයා චිත්‍රපටයේදී ඔහුට ඒ වදන්වල සැර තරමක් බාල කර ගැනීමට සිදු වූ බව එකල ඔහු හා කටයුතු කළ කලාකරුවන් පවසන්නේ සිනාසෙමිනි.   


දිනක් එක් ළමා නිළියක් රඟපාන්නට බැරි බව කීවාය.   


“මම පුතා උඹට ටොෆි ගෙනත් දෙනවා.”  
“එපා.”   
“මම පුතා බිස්කට් ගෙනත් දෙන්නම්.”  
“මට බෑ.”   
“එහෙනම් චොක්ලට්.”  
 “මට බෑ.”   
“එහෙනම් පුතා උඹට බෑ.  
ඔහු අහක බලාගෙන නළලට අත තබා ගත්තේය.   


හඳයා චිත්‍රපටයේ බෝලයා ලෙස රඟ පෑ මුදිත බෙහෙවින්ම කැපීපෙනෙන චරිතයක් විය. ස්වභාවයෙන්ම මහත දෙහෙත ඇඟ පතක් තිබූ මුදිත රණසිංහ ප්‍රවීණ නළු ටෝනි රණසිංහයන්ගේ වැඩිමහල් පුතාය.   
එවකට 15 වැනි වියේ පසුවූ මුදිත මට හමු වූයේ මා නිතර ආ ගිය ටෝනිගේ සිරිධම්ම මාවතේ නිවසේදීය.   
ඔහු සාකච්ඡාවට එක් වූයේ ද එතරම් කැමත්තකින් නොවේ.   


“මුදිත දිගටම රඟපානවද?”   
“අපොයි නෑ. මම මීට පස්සේ රඟපාන්නේ නෑ.”  
“ඇයි මුදිතට පන්තියේ ළමයි විහිළු කරනවාද?”   
“ඒක හින්දම නෙමෙයි. මම රඟපාන්න ආස නෑ.”  
“හඳයා බලන වෙලාවෙ මුදිතට මොකද හිතුණේ.”  


“සන්තෝෂ හිතුණ. එ්ත් දිගටම රඟපාන්න ඕන කියලා නම් නිකමටවත් හිතුණේ නෑ. මම රඟපාන්න කවදාවත් හිතාගෙන හිටියේ නෑ. ටයි මහත්තයාම ගෙදරටම ඇවිත් මාව තෝරා ගත්තා.”   
මා වඩාත්ම අපහසුතාවට පත් වූයේ සේනගේ නැගණිය ලෙස රඟ පෑ එවකට අට වැනි වියේ පසු වූ ඉඳුනිල් ගම්මන්පිල සමග කතා කරද්දිය.   


එවකට මොරටුවේ සොයිසාපුර පදිංචිව සිටි ඇය හඳයාට සම්බන්ධ කර තිබුණේ සයිමන් නවගත්තේගම විසිනි.   


ඇය මුලින්ම රඟපාන්නට අකමැති වූ නිසා දිනෙක සයිමන් විසින් ඇය ටයි මහත්තයාගේ ගෙදරට රැගෙන ගියේය.


“ටයි අන්කල් මගෙන් ඇහුව පෝනි පිට යන්න කැමැතිද කියලා. මම ඔව් කිව්වා. ඊට පස්සේ කරන්න ඕනෑ දේවල් කියලා දුන්නා.   


මට සමහර දාට හරියට මහන්සියි. ඒ වෙලාවට ටයි අන්කල් මට චොක්ලට් ගෙනත් දීලා පැත්තකට වෙලා ඉන්න කියනවා.   


හෙන්රි අන්කල් කඹයකින් බැඳපු වෙලාවෙ මම ඇත්තටම බය වෙලා ඇඬුවා. දැන්නම් රඟපාන්න ආසයි. මම හඳයා තුන් පාරක් බැලුවා” ඇය එදා කීවාය.   


මේ ළමා නළු නිළියන් තවමත් අපේ සිතේ ජීවත් වන්නේ ඒ ස්වරූපයෙන්ම වුවද ඔවුන් ද කාලය සමග වියපත් වී ඇත. බොහෝ විට අද ඔවුන් සැබැවින්ම දුටුවද හඳුනා ගන්නට නොහැකි වනු ඇත.   
එහෙත් ටයිටස් තොටවත්තයන්ගේ හඳයාත් එහි නළු නිළි කැලත් අප සිත් තුළින් මැකී නොයනු ඇත.

 

රොඩ්නි විදානපතිරණ