ඇමෙරිකානු ජනපතිවරණ පොරපිටියේ ලාංකික තරුණිය


උපජනාධිපති අපේක්ෂිකාවගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වන  රෝහිණී ලාංකික දෙමළ පවුලක උපන් තරුණියක්   

 

කමලා හැරිස්  

 

 

‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය මැද ඇමෙරිකාව ජනාධිපතිවරණයට සැරැසෙයි. රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යනු ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක ය. සිය දෙවැනි සහ අවසන් ධුර කාලය අපේක්ෂාවෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නොවැම්බර් 3 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වනු ඇත. ඇමෙරිකානු ජනාධිපතිවරණය ඉතා සංකීර්ණ ක්‍රියාදාමයකි. එහිදී තෝරා ගැනෙන්නේ ඇමෙරිකන් ජනාධිපතිවරයා පමණක් නොවෙයි. උපජනාධිපති ධුරය වෙනුවෙන් ද තරගයක් පවතී. 74 හැවිරිදි ට්‍රම්ප්ගේ දෙවැනියා මෙන්ම උපජනාධිපතිවරයා ලෙස ද කටයුතු කරන 61 හැවිරිදි මයික් පෙන්ස්, ට්‍රම්ප් සේ ම යළි උපජනපති ධුරය අපේක්ෂාවෙන් සිටී. ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස ජනපතිවරණයට ඉදිරිපත් ​ෙවන්නේ 77 හැවිරිදි ජෝ බයිඩන් ය. බැරැක් ඔබාමා ඇමෙරිකා ජනපති ධුරය හොබවද්දී, ඔබාමාගේ දෙවැනියා සහ උපජනාධිපතිවරයා ලෙස කටයුතු කළේ බයිඩන් ය.   


ජෝ බයිඩන්, සිය දෙවැනියා සහ උපජනාධිපති ධුරය සඳහා තෝරා ගෙන ඇත්තේ කාන්තාවකි. මෙය සුවිශේෂී සිදුවීමකි. බයිඩන්, නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණය ජයගත්තොත්, ඇමෙරිකාවේ උප ජනපති ධුරය පළමු වරට කාන්තාවකට හිමි​ෙවනු ඇත. උපජනපති ධුරය සඳහා බයිඩන් විසින් නම් කරනු ලැබ ඇත්තේ කමලා හැරිස් ය. 55 හැවිරිදි කමලා හැරිස්, ජැමෙයිකා සහ ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තියකි. ඇය නීතිවේදිනියකි. එමෙන්ම, කැලිෆෝනියා සෙනෙට් සභිකයෙකි.   


නොවැම්බර් ජනාධිපතිවරණය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් ජනපති ධුර අපේක්ෂකයන් නම් කළ අවස්ථාවේ කමලා හැරිස් ද ඒ අතර වූවාය. කෙසේ නමුත් පසුබෑමට ලක් වෙද්දී, කමලා හැරිස් ජනපති සටනින් ඉවත් වූවාය. ඇය යළිත් වරක් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ ඔල්වරසන් මැද දේශපාලන වේදිකාවට පිවිසියේ ජෝ බයිඩන්ගේ ඇරැයුමිනි. ඒ, උපජනපති ධුරයට නම් කිරීමෙන් පසුවය. කැලිෆෝනියාවේ පළමු නීතිපති ධුරයට පත් කළු ජාතිකයා සහ කළු ජාතික කාන්තාව ලෙස සැලකෙන්නේ ද කමලා හැරිස් ය. දකුණු ආසියානු සම්භවයක් ඇති ඇමෙරිකන් සෙනෙට් මණ්ඩලයට තේරී පත්වුණු පළමු සෙනෙට් මන්ත්‍රීවරිය වන්නේ ද කමලා හැරිස් ය.   


කමලා හැරිස් උපන්නේ 1964 වසරේ කැලිෆෝනියාවේ ඕක්ලන්ඩ් නුවරදීය. ඇගේ මව ශ්‍යාමලා ගෝපලාන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ දකුණු ඉන්දියානුවෙකි. කමලාගේ මව පියයුරු පිළිකා සම්බන්ධ විශේෂඥවරියකි. සිවිල් අයිතීන් වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියකි. අද ඇය ජීවතුන් අතර නැත. කමලාගේ පියා ජෝන් හැරිස් ජැමෙයිකාවෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වූ ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකි. මව සහ පියා දික්කසාදවීමෙන් පසු කමලා තනිවම ලොකු මහත් කළේ මව ශ්‍යාමලා ය. කමලා හැරිස්ට මායා නමින් සොහොයුරියක ද සිටී. දැන් ඇගේ වයස අවුරුදු 53 කි. ඉන්දියානුවකු වුවත්, තම මව ඕක්ලන්ඩ් කළු ජාතිකයන්ගේ ජීවන රටාවට ප්‍රිය කළාය. ඒ අනුව, කමලා සහ මායාට ද කළු ජාතිකයන්ගේ ජීවන රටාව උරුම විය. කමලා අධ්‍යාපනය ලැබුවේ ඇමෙරිකාවේ කළු ජාතිකයන් සඳහා වෙන්වුණු කීර්තිමත් විද්‍යාලයක් ලෙස සැලකෙන හොවාඩ් විශ්ව විද්‍යාලයෙනි. 

 
කමලා හැරිස් සෙනෙට් සභිකයකු වූයේ 2014 දී ය. ඇය විවාහ වූයේ ඉන්පසුවය. කමලාගේ සැමියා ඩොග් එම්හොෆ් නීතීඥවරයෙකි. ඩොග් ට සිය පළමු විවාහයෙන් දරු දෙදෙනෙකි. කමලා හැරිස් ඔවුන්ගේ සුළුමවය. කමලා හැරිස්ගේ මව ශ්‍යාමලා, දකුණු ඉන්දියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූයේ 1960 දීය. කමලා හැරිස්ගේ ඥාතීන් සිටින්නේ තමිල්නාඩුවේය. කමලාගේ මාමා කෙනකු නවදිල්ලියේ පදිංචි වී සිටී. ඔහු කීර්තිමත් ශාස්ත්‍රඥයකු වන බාලචන්ද්‍ර ගෝපලාන් ය. කමලා හැරිස් අවසන් වරට ඉන්දියාවට ගොස් ඇත්තේ 2009 දීය. ඒ, මවගේ අළු පා කිරීමටය. ‘ඉන්දියානුවෝ බොහෝ දෙනකු ලොකු ලොකු තැන්වල සිටිනවා. ඒත් දේශපාලනික වශයෙන් ලොකු තැනකට යන්න කාටවත් හැකි වී නැහැ. කමලා ගැන අපට ආඩම්බරයි’ යැයි කමලා හැරිස්ගේ නැන්දා සරලා ගෝපලාන් පවසා තිබේ. මැය චෙන්නායි නුවර වෛද්‍යවරියකි. 

 
කමලා හැරිස් සම්බන්ධයෙන් ඉන්දියානුවන්ගේ වැඩි උනන්දුවක් හට ගැනීමත් සමඟ ජෝ බයිඩන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පවසා ඇත්තේ තමන් ඇමෙරිකන් ජනාධිපති ධුරයට පත්වුවහොත් ඉන්දු-ඇමෙරිකා මිත්‍රත්වය තවත් ශක්තිමත් කරන බවය. 


කමලා හැරිස් ගැන කවුරුත් කතා වෙද්දී, රෝහිණී ලක්‍ෂ්මි කොසොග්ලූ ගැන ද අවධානය යොමු විය. රෝහිණී ලක්‍ෂ්මි කොසොග්ලූ ගැන පළමුවෙන් කාගේත් අවධානය යොමු වූයේ පසුගිය දෙසැම්බර් 10 වැනිදාය. ඒ, තම මාණ්ඩලික ප්‍රධානියා ලෙස කමලා හැරිස්, රෝහිණී තෝරා ගැනීමත් සමඟ ය. ඇමෙරිකන් සෙනෙට් සභිකයකුගේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස එම තනතුරට පත් වුණු පළමු ආසියානු ජාතික කාන්තාව පමණක් නොව, පළමු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාව වන්නේ රෝහිණී ය. රෝහිණී විවාහකය. ඇය පුතුන් තිදෙනකුගේ මවකි.   


කමලා හැරිස්ට ඇත්තේ දකුණු ඉන්දියානු සම්භවයක් වන අතර රෝහිණීට ඇත්තේ ශ්‍රී ලාංකික සම්භවයකි. රෝහිණී ඇමෙරිකානුවකු වුවත් ඇගේ මව සහ පියා යාපනයේ දෙමළ වැසියන් ය. රෝහිණීගේ පියා වෛද්‍යවරයකු ද වන විජයදේවාන්ද්‍රම් රවීන්ද්‍රන් වන අතර මව ෂොබානා රවීන්ද්‍රන් ය. රෝහිණීගේ මව සහ පියා ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇත්තේ 1980 දශකය ආරම්භයේදී ය. රෝහිණී මිචිගන් විශ්වවිද්‍යාලයෙන් පමණක් නොව, ජෝර්ජ් වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් ද උපාධි හිමිකරගෙන තිබේ. කමලා හැරිස් යටතේ සේවයට පැමිණීමට පෙර, රෝහිණී මිචිගන් සෙනෙට් සභික ඩෙබී ස්ටෙබෙනෝ යටතේ සේවය කළාය. රෝහිණී දේශපාලන ක්ෂේත්‍රයට පිවිසුණේ ඒ අනුවය. උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු ඩෙබී ස්ටෙබෙනෝගේ උපදේශකවරියක ලෙස කටයුතු කළා ය. ඉන්පසු රෝහිණී කොලරාඩෝ සෙනෙට් සභික මයිකල් බෙනෙට් යටතේ කටයුතු කළා ය. ඒ, සෞඛ්‍ය සේවා උපදේශිකාවක ලෙස ය. ඒ අනුව, ඇමෙරිකාවේ පළමු කළු ජනපති ලෙස බලයට පත්වුණු බැරැක් ඔබාමා විසින් හඳුන්වා දෙනු ලැබූ ‘ඔබාමා කෙයාර්’ සෞඛ්‍ය රක්ෂණ වැඩසටහනට ද රෝහිණී සම්බන්ධ වූවාය.   

 

සෙනෙට් සභිකයන්ගේ මාණ්ඩලික ප්‍රධානීන් ලෙස කටයුතු කරන දකුණු ආසියානුවෝ.

 


වසර 7 ක් පුරාවට, බෙනට්ගේ කාර්ය මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරමින් සිටිද්දී, රෝහිණීට, කමලා හැරිස් හඳුනා ගැනීමට ලැබුණි. හමුවුණු පළමු අවස්ථාවේ පටන් දෙමළ සම්භවයක් ඇති කමලා හැරිස් ගැන තමන්ගේ ලොකු පැහැදීමක් සහ ගෞරවයක් ඇතිවුණැයි රෝහිණී පසුව මාධ්‍ය හමුවේ පවසා තිබුණි. රෝහිණී, පළමුවෙන් කමලා හැරිස්ගේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා ලෙස සේවයට එක් වූවාය. අද ඇය, කමලා හැරිස්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා පමණක් නොව, ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ද වන්නීය. එලැඹෙන නොවැම්බර් 3 වැනිදා ජනාධිපතිවරණයෙන්, ජෝ බයිඩන්, ඩොනල්ඩ් ට්‍රම්ප් පරදවා, ඇමෙරිකන් ජනපති ධුරයට පත්වුවහොත්, කමලා හැරිස් උපජනපති ධුරයට පත් වනු ඇත. ඇමෙරිකාවේ උපජනාධිපති ධුරයට පත් වන පළමු කාන්තාව ලෙස ඉන්දු-ජැමෙයිකා සම්භවයක් සහිත කමලා හැරිස් ඉතිහාසගත වනු ඇත. ඒ සමඟ ඇගේ මාණ්ඩලික ප්‍රධානියා ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් හිමි රෝහිණී ලක්‍ෂ්මි කොසොග්ලූ ද කැපී පෙනෙනු ඇත. ඇමෙරිකා සෙනෙට් සභිකයකුගේ ප්‍රධාන මාණ්ඩලික ප්‍රධානී ධුරයට පත් පළමු ශ්‍රී ලාංකික සම්භවයක් ඇත්තිය රෝහිණී කොසොග්ලූ වුවත්, මේ වනවිට ඇමෙරිකන් සෙනෙට් සභිකයන්ගේ මාණ්ඩලික ප්‍රධානීන් ලෙස කටයුතු කරන ඉන්දියානු සම්භවයක් සහිත ආසියානු තරුණයන් තිදෙනෙකි. වෙනේ නෙරල්ලා, ගෞතම් රග්වාන්, සයිකාත් චක්‍රබෝර්ති යනු ඔවුන් තිදෙනාය.   

 

ලුසිත ජයමාන්න   
ඇමෙරිකන් පුවත් සේවා