ඇත්ත වශයෙන්ම ඇමෙරිකාවේ ජාති භේද වාදය හිස ඔසවා ඇද්ද? මෙය දිර්ඝ කාලයක් තිස්සේ ඇමෙරිකාව මුහුණ දෙන බලවත් අභියෝගයක්ද? අප්‍රිකානු ඇමෙරිකානුවන් (African American) යනුවෙන් හඳුන්වන්නේ කවරුන්ද? කළු ජාතිකයන් ඇමෙරිකාව විසින් කුණු බක්කියට දමා තිබේද? මෙහි කළු ජාතිකයන්ට රජයේ සමාජයේ හෝ පුද්ගලික ආයතනවල ඉහළටම යාමට ඉඩ ලබාදී නැද්ද? ඇමෙරිකාවේ පාතාල කල්ලි මෙහෙයවන්නේ, මත් ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන්නේ බොහෝ අපරාධවල නිරතවෙන්නේ, රැකියා නොකර රජයෙන් වැඩි වැඩියෙන් ආධාර මුදල් හා සහනාධාර ලබා ගන්නේ සොරකම්වලට ස්ත්‍රි දුෂණවලට මුල් තැන දෙන්නේ මේ කළු ජාතිකයන්ද? මෙම ලිපිය මාර්ගයෙන් ඉහත සඳහන් ප්‍රශ්නවලින් ප්‍රශ්න කීපයකට හෝ වසර 38ක මගේ ඇමෙරිකා අත්දැකීම් අනුසාරයෙන් ගවේෂණාත්මකව පිළිතුරු ඉදිරිපත් කෙරේ. 2020 මැයි 25 දා මිනියාපොලිස් මිනිසෝටා හිදී සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් (GEORGE FLOYD) බෙල්ල පාගා ගෙන සිටිමින් හුස්ම හිරකර මරා දැමුවේය.
තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද එය බලාගෙන සිටියහ.
මේ අමානුෂික මිනීමැරුම ඇතමුන් විඩීයෝ ගත කළේ හොලිවුඩ් චිත්‍රපටයක් රූ ගත කරන අයුරිනි.
මැයි 25 දා ඩෙරෙක් චවින් (DEREK CHAUVIN) නැමැති සුදු ජාතික පොලිස් නිලධාරියා විනාඩි 2 යි තත්පර 53 ක කාලයක් මෙසේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ බෙල්ල පාගා ගෙන සිටි බව කියනු ලැබේ.
කළු ජාතිකයාගේ මරණය සිදුකළ ඩෙරෙක් චවින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුට ඇප ලබාදීම උසාවිය මගින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව බලධාරින් නිවේදනය කළහ. මේ මුළු මහත් සිද්ධි සමුදායේ සම්පිණ්ඩනය මෙයයි.
මේ සිද්ධියෙන් පසු මුළු ඇමෙරිකාවම ගිනි ගත්තේය.
කොරෝනා මකරා ගේ ග්‍රහණයට හසුවී ලක්ෂ 19 ක් පමණ (18,22,392) රෝගීන් බවට පත්වී එක් ලක්ෂ පන්දාහකට (1,05,704) වැඩි පිරිසක් මියගොස් ඇති මොහොතක ඇමෙරිකාවේ සිදුවෙමින් පවතින මේ භීෂණකාරී වාතාවරණය කෙසේ සමතයකට පත්වනු ඇද්ද? කෙසේවුවත් මුළු මහත් ඇමෙරිකාවේ ප්‍රධාන නගර 60 ක පමණ දැන් පවතින්නේ යුද්ධයක් වැනි කෝලාහලයකි. වඩාත් බිහිසුණු ස්වභාවයක් පවතින්නේ ලොස් ඇන්ජලිස්හි සාන්ත මොනිකා (LA-SANTA MONICA) චිකාගෝ, නිව් යෝර්ක් හා වොෂින්ටන් ඇතුළු තවත් නගර 47කය.
මිනසෝටාහි පොලිස් මිනිමැරුම සිදුවී දින 5කට පසු එහි සිට කි.මී. 1000, 2000, 5000 හා කි.මී 6000ටත් වැඩි දුර පිහිටි විවිධ නගරවල මෙසේ හොරුන්, මංකොල්ලකරුවන්, අපරාධකරුවන්, කුඩු කාරයින්, පාතාල කල්ලි මෙහෙය වන්නන් ම්ලේච්ඡ අයුරින් නීතිය සියතට ගනිමින් හැසිරීම ඉමහත් ඛේදවාචකයකි.
පොලිසියට එරෙහිව ඇරඹූ කැරැල්ල දැන් ඇමෙරිකා රජයට එරෙහි විප්ලවයක් බවට පත් වෙමින් පවතී. බලධාරීන් පොලිසියට නියෝග කර ඇත්තේ කුමන හේතුවකටවත් උද්ඝෝෂකයන්ට වෙඩි නොතබන ලෙසටද ගිනි අවි භාවිත නොකරන ලෙසටයි. නගර 50කට වැඩි සංඛ්‍යාවක ගොඩනැගිලි 1000කට වඩා ගිනි තබා ඇත. විවිධ ප්‍රාන්තවල තුවාල ලබා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 900 ඉක්මවා තිබේ.
පොලිස් වාහන රාශියක් ගිනි තබනු ලැබීය. දැවැන්ත වෙළෙඳ ශාලා කඩා සොරකම් කළ භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන ගණනකි.
උද්ඝෝෂකයන්ගෙන් සියයට 90ක් පමණ කළු ජාතිකයන්ය. සුදු ජාතිකයන් සහ ස්පාඤ්ඤ භාෂාව කතා කරන (SPANISH) අයද දීප ව්‍යාප්ත උද්ඝෝෂණවලට සහභාගි වී සිටිති. පොලිස් රථ ගිනි තැබිම, පොලිස් නිලධාරීන්ගේ මුහුණට කෙළ ගැසීම, පොලිස් වාහනවල තීන්ත ගෑම, ගල් මුල්වලින් පහර දීම, පොලිසියට ජල ප්‍රහාර එල්ල කිරීම, පොලිසියට ලංකාවේ පාර්ලිමේන්තුවේ මෙන් මිරිස් කුඩු ප්‍රහාර එල්ල කිරීම, කළු ම්ලේච්ඡයින් (කළු ජාතිකයන් සියල්ලන්ම නොවේ.) බී.එම්.ඩබ්ලිව්, බෙන්ස් ආදී වාහන සොරකම් කරගෙන පැමිණ දැවැන්ත සාප්පු සංකීර්ණවලින් ඩොලර් කෝටි ගණන් වටිනා විද්‍යුත් උපකරණ (ඇපල් ජංගම දුරකථන, ලැප්ටොප්, කොම්පියුටර්, රූපවාහිනී යන්ත්‍ර ආදිය) සොරකම් කර එම රථවලට පටවාගෙන නීතිය බල්ලට දමා පලා යාම කොරෝනා මරගාතයට මුවාවී මුහුණ ආවරණ (මාස්ක්) සහ වෙස් මුහුණු හඳුනා ගැනීමට නොහැකි අයුරින් දමා ගෙන අවිනීත ලෙස හැසිරීම මා පසුගිය දෙදින තුළදී ඇමෙරිකාවේදී දුටු අප්‍රසන්න සිද්ධීන්ය. එමෙන්ම මේ ජරමර අස්සේ නීති විරෝධී සංක්‍රමණිකයන්ද කොරෝනා වසංගතය නිසා රැකියා අහිමි වූවන්ද තම ඉල්ලීම් ඉදිරිපත් කරමින් ට්‍රම්ප් ජනපති පතුරු ගසමින් මහමගට බැස ඇති අයුරු ද දුටුවෙමි. මෙසේ රටේ අවදානම් තත්ත්වයක් පවතිද්දී රාජ්‍ය බලය අල්ලා ගැනීමට දේශපාලකයන් රිපබ්ලික් (අලියා) සහ ඩිමොක්රැටික් (බූරුවා) වශයෙන් දෙපිලකට බෙදී ගහ මරා ගනිමින් කුළල් කා ගන්නා අයුරුද දුටුවෙමි.
බොහෝ මාධ්‍ය වාර්තා දක්වා තිබුණේ ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වය පහත බසිමින් පවතින බවය.
1906 අට්ලාන්ටා 1917 සෙන්ට් ලුවිස් 1919 ඔමාහා හා චිකාගෝ 1921 ඔක්ලහෝමා, 1943 ඩෙට්රෝයි, 1967 නෙවාර්ක්, 1968 නගර 125 ක, 1991 ලොස් ඇන්ජලිස්හිදි කළු ජාතිකයන්ගේ පීඩනය ඉස්මතු විය. කළු ජාතිකයන්ගේ උන්නතිය උදෙසා උදාර සටනක නිරත වූ මාටින් ලූතර් කිං 1968 අප්‍රේල් 4 දා මරා දැමූවිට එදා ඇමෙරිකාව පුරා සති කීපයක්ම මෙසේ උද්ඝෝෂණ සිදුවිය.
ඇමෙරිකාවේ කළු ජාතිකයන් වෙනුවෙන් ඔහු එදා දිවි පිදූ විට ඔහුගේ වයස අවුරුදු 39කි. වොෂින්ටන් හි ලින්කන් චතුරශ්‍රය අසලදී මීට වසර 53කට ඉහතදී ‘‘I HAVE A DREAM’’ මට සිහිනයක් ඇත යනුවෙන් ඔහු පැවැත්වූ කතාව ලොවට කිසිදාක අමතක නොවේ. ඔහුගේ මරණයෙන් පසු එදා ඇමෙරිකාව පුරා සුදු කළු යුද්ධය ඇරඹුණේය. ගිනිතබා පොළවට සමතලා වූ ගොඩනැගිලි සංඛ්‍යාව 1200කට අධිකය. කළු ජාතිකයන් අතිවිශාල සංඛ්‍යාවක් මරා දමනු ලැබීය. 1991 මාර්තු 3දා නිව් යෝර්ක්හිදී කළු ජාතික රොඩ්නි කිංට (RODNEY KING) දස වද දුන් අවස්ථාවේ දීද රටේ කලබල සිදුවිය. රොඩ්නි කිංට වද දුන් පොලිස් නිලධාරීන් දීර්ඝ කාලයකට සිර භාරයට යවනු ලැබූහ. රොඩ්නි කිංට ඩොලර් මිලියන 3.8 ක වන්දි මුදලක් රජයෙන් ගෙවනු ලැබීය.
ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට එරෙහිව මෙසේ විවිධ අයුක්ති සහගත ක්‍රියාවන් රාශියක් සිදුවී තිබේ. අද ඇමෙරිකාවේ කළු ජාතිකයන්ගේ ජනගහනය ලක්ෂ 500ක් හෙවත් කෝටි 5කට අධිකය. 2018 සංඛ්‍යා ලේඛන දක්වන්නේ කළු ජනගහනය 4,78,41,851ක් බවය.
මීට පෙර ඇමෙරිකාවේ ආරක්ෂක උපදේශක පදවිය දැරුවේ කළු ජාතික කොන්ඩලීසා රයිස් ය. දෙවරක්ම මුළු මහත් ඇමෙරිකාවේ නීතිපති පදවියද රාජ්‍ය ලේකම් තනතුර ද දැරුවේ කළු ජාතිකයන්ය. ඇමෙරිකාවේ සියලුම හමුදාවල ප්‍රධානියා වූයේ ද කළු ජාතිකයෙකු වූ ජනරාල් කොලින් පවල්ය. (COLIN POWELL) මා මෙම උදාහරණ කීපය ඉදිරිපත් කළේ ඇමෙරිකාවේ කළු ජාතිකයන්ට එහි ඉහළටම යාමට ඉඩ ලැබී ඇති බව පෙන්වා දීමටය. ඇමෙරිකාව ගිනි ගෙන අවසන් ය. මුළු මහත් ඇමෙරිකාවේ කෝටි 33කට අධික ජනතාවගේ ආරක්ෂාව තකා තමා ගන්නා පියවර කවරේදැයි ඉදිරි දින කීපය තුළ බලාගත හැකි බව ජනපති ට්‍රම්ප් ජනතාව අමතා පැවසීය.
කෝටි 5 ක් පමණ වූ කළු ජාතිකයන්ගෙන් සුළු පිරිසක් සහ තම දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පිරිසක් රට අස්ථාවර කිරීමේ අසාර්ථක උත්සාහයක නිරත වී සිටින බවද ඔහු පැවසීය.
මුළු ලෝකයේ හැම රටකම පාහේ හැම කුණු ගොඩකටම පාහේ කර දෙන්නට සිදුවී ඇත්තේ පොලිස් නිලධාරීන්ටය.
ජනතාවගෙන් වැඩිපුරම බැණුම් අහන්නේද පොලිසියයි. පොලිසිය දරු පවුල් පිටින් ජීවත් වෙන සාමාන්‍ය මනුෂයින් බව ජනතාවට අමතකය. මෙම කරුණු මා සඳහන් කළේ ඇමෙරිකාවේ පොලිස් නිලධාරීන් එරට සාමය රැකීමට දරන උත්සාහය දැක ඇති නිසාය. මොවුන් අතර නීතිය කඩන සේවය වෙනුවට ජනතාව පීඩනයට පත් කරන්නන්ද සිටිති. මේ අතර ට්‍රම්ප් ජනපති උද්ඝෝෂකයන්ට මුහුණ දීමට නොහැකිව වයිට් හවුස් හී භූගත බංකරයක සැඟවී ඇතැයි යනුවෙන් අසත්‍ය පුවත් ඇමෙරිකාවේ සිටම ප්‍රධාන ජන මාධ්‍යයන් ලොව පුරා පතුරුවා හැරීම අරඹා තිබේ.
ජනතාව දස දහස් ගණනින් නීතිය සියතට ගනිමින් පොලිස් වාහන හා ගොඩනැගිලිවලට ගිනි තබමින් සිදුකරන විනාශය අතිමහත් ය. ට්‍රම්ප් ජනපතිවරයාට අයත් නිව්යෝර්ක් හි ට්‍රම්ප් ටවර් ගොඩනැගිල්ල ආරක්ෂා කිරීමට අද විශේෂ පොලිස් බළ ඇණියක් යොදවන ලදී. ධවල මන්දිර ප්‍රකාශකයෙකු ප්‍රශ්න කළේ ඇමෙරිකාවේ නගරයක පොලිස් මිනීමැරුමක් සිදුවූ විට එය ජනපතිවරයා පිට පැටවීම සාධාරණ වන්නේද යනුවෙනි. මෙය ඇමෙරිකාවේ පවතින ප්රජාතන්ත්රවාදී නිදහස ලොව හමුවෙහි විදහා දක්වන අවස්ථාවක් වශයෙන් අර්ථ දැක්විය හැක. මීට සති කීපයකට පෙර රටේ කොරෝනා මැඩ පැවැත්වීමට අපොහොසත් වූවායයි කියමින් උද්ඝෝෂකයන් මිනී පෙට්ටි කර තබාගෙන ධවල මන්දිරය ඉදිරිපිට නිදහසේ පෙළපාළි ගියහ. අද ලෝකය පුරා වැඩියෙන්ම ප්‍රචාරය වන්නේ ඇමෙරිකාවට විරුද්ධ පුවත්ය. දස දහස් ගණනින් ජනතාව රතිඤ්ඤා පත්තු කරමින්ද පොලිස් නිලධාරීන්ට ගල් මුල්වලින් පහර දෙමින්ද අසභ්‍ය වචනවලින් බැණ වදිමින්ද, දේපොලවලට ගිනි තබමින්ද තමන්ට ලැබී ඇති නිදහසින් අයුතු ප්‍රයෝජන ලබාගත් නමුත් හැම නගරයකම පාහේ පොලිස් නිලධාරීන් ඉතා ඉවසීමෙන් රාජකාරී කළ අයුරු දක්නට ලැබිණි.
සිරි හීන්පැල්ල
නිව් යෝර්ක් නුවර සිට ලියයි