උඩවලව ජාතික වනෝද්‍යානයක් වුණේ මෙහෙමයි


 

වපසරිය හෙක්ටයාර් 30820 කින් සමන්විත උඩවලව ජාතික උද්‍යානය පිහි​ටා තිබෙන්නේ සබරගමුව හා ඌව පළාතේ, රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්ක තුළය. 2017 වසරේ එම උද්‍යානය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයන් 128000 කට වැඩි සංඛාවක් පැමිණියහ. ඉන් රජය ලැබු ආදායම (වසර 2017) රුපියල් මිලියන 496 කි.   


1972 එම උද්‍යානය පිහිටුවීමට පුරෝගාමී වූ හතර දෙනාගෙන් කෙනෙකු හැටියට එය සිදුකළ ආකාරය පවසමින් මගේ කතාව ආරම්භ කරමි. ඊට උරදුන් අනික් තිදෙනා වූයේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂජනරාල් (නැසීගිය) ලීන්ද අල්විස්, නැසීගිය සහකාර අධ්‍යක්‍ෂ චිල්ඩර්ස් ජයවර්ධන සහ මීගමුවේ පදිංචි වනජීවී සහකාර අධ්‍යක්‍ෂ ඒ.බී. ප්‍රනාන්දු මහතුන්ය. දෙපාර්තමේන්තුවේ මගේ සේවා කාලය හතළිස් (40) වසරකි. මාගේ අධීක්‍ෂණයට ලක් නොවූ වනජීවි රක්‍ෂිත අභය භූමියක් නොමැත.   
උඩවලව උද්‍යානයේ ප්‍රධාන භෞතික ලක්‍ෂණය ජල ධාරිතාව අක්කර අඩි 217000 කින් යුත් උඩවලව ජලාශයයි. (Reservoir) එම ජලාශය නිර්මාණය වූයේ මධ්‍යම කඳුකරයේ ශ්‍රී පාද අඩවිය හෙවත් සමනල කන්ද (උස අඩි 7300) (Adam's peak) සහ මහවැලි තැන්න හෙවත් හෝටන් තැන්නෙන් (Horton plains) පෝෂණය වෙන වලවේ ගඟ හරස් කරමින් ලක් රජය විසින් කි.මී. 137 දිගින් යුත් වේල්ලක් (Dam) ඉදිකිරීමෙනි සමනළ අඩවියෙන් පටන්ගෙන කටුපත් ඔය, කිඩොල්කැටිය ගඟ කලන්දා ඔය, මව් ආර ශාඛාවන් ගෙන් සහ හෝටන් තැන්නේ දී ආරම්භ වෙන බෙලිහුල් ඔය බේකර්ස් ඇල්ල (Bakers falls) නිමවමින් පහළට ගලායන ජලයෙන් ද පෝෂණය වෙමින් වලවේ ගඟ අම්බලන්තොටින් ඉන්දියන් සාගරයට එක් වෙයි. වලවේ ගගේ ද්‍රෝණිය වර්ග සැතපුම් 956 ක් විශාලය.   

 

 


වර්තමානයේ උඩවලව ජාතික උද්‍යානය හැටියට ප්‍රකාශයට පත්වී ඇත්තේ උඩවලව ජලාශයේ ආසන්න ජලාධාර ප්‍රදේශයයි. (Immediate catchment) උද්‍යානයේ ප්‍රධාන අරමුණ වුයේ එම ජලාධාර, ප්‍රදේශයේ පස සෝදා පාළු වීම (පංශු ඛාදනය) වළක්වාලීමය. 1972 ජුනි 30 උඩවලව ජාතික උද්‍යාන ප්‍රකාශයට පත්කළ අවධියේ එකී ජලාධාර ප්‍රදේශයේ වනාන්තරයක් නොතිබූ අතර ඉඳහිට දුටු ගෝනකු තිත් මුවන් කිහිප දෙනෙකු හැර වන සතුන් එහි විසුවේ නැත. අලි පෙනෙන තෙක් මානයේ සිටියේ නැත.   
සම්පූර්ණ ප්‍රදේශය පිරී පැවතියේ අනවසර හේන් වගාවලිනි. සෑම තැනකම දිස්වූයේ වගා කළ ගස්ලබු, අලු කෙසෙල්, මයියොක්කා පඳුරු සහ මිරිස්ය. මා කිසි දිනක එවැනි විශාල ප්‍රමාණයේ අලු කෙසෙල් කැන් වෙනත් ප්‍රදේශයක දැක නැත. ගස් ලබු වගා කරන ලද්දේ කිරි (Papane) එකතු කිරීමටය. සතියකට වරක් ලොරිවලින් පැමිණි වෙළෙඳුන් ඒවා මිලදී ගෙන කොළඹට ප්‍රවාහනය කෙරිණි. එ් තරමට පස සාරවත් විය. මෙසේ අනවසරයෙන් වාඩි පැල්පත් ඉදිකරගෙන පදිංචිව සිටි සංඛ්‍යාව 2000 ඉක්ම විය.   
ජාතික උද්‍යානයක් හැටියට සංවර්ධනය කිරීමට පෙර පදිංචිව සිටි අනවරස වගාකරුවන් සහ වගාවන් ඉවත් කළ යුතුව තිබිණි. එහෙත් ඉදිරියේ එලඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණය හේතුවෙන් එය ක්‍රියාවට නැංවීම පසුවට කල් තැබීමට තීන්දු කළේ පැවති රජය විසිනි. මගේ ප්‍රධානියා වූ ඒ.බී. ප්‍රනාන්දු මහතා මට කියා සිටියේ ‘‘ විල්සන් එහෙනම් අපි ඡන්දෙන් පස්සේ වැඩේ කොරමු’’ හොඳමයි බොස් මගේ ප්‍රතිචාරය විය.  
1977 මහ මැතිවරණයෙන් පසු අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමේ වැඩසටහන ආරම්භ කෙරිණි. එවකට මා සේවය කළේ උඩවලව ජාතික උද්‍යානයේය. අපි තීන්දු කළේ මුලින්ම ඔවුන් පදිංචි වාඩි/ පැල්පත්වලට ගොස්, ප්‍රධාන පදිංචිකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත යුතු බවයි. ප්‍රකාශ සටහන් කිරීම මා වෙත පැවරිණි. මගේ සහයට වනජීවී නියාමක ආසදීන් ජෝතිපාල සහ සෝමරත්න ලැබිණි.   


දිනක් සන්ධ්‍යාවේ මගේ ප්‍රධානියා වූ ප්‍රනාන්දු මහතා අමතමින් ‘‘බොස් මම හිතා ඉන්නේ  හෙට උදේ ඉදන් අර වාඩි පැල්පත් වලට ගිහින් ප්‍රකාශ සටහන් කරගන්න.   
‘‘ඒක හොඳයි විල්සන්’’ ඉක්බිතිව මගේ සගයින් තිදෙනාට කතා කළෙමි.  


‘‘ආසාදීන්, ජෝතිපාල, සොමරත්න හෙට උදේ (7) හතට යන්න සූදානම් වෙන්න තුවක්කු දෙකක් සහ ​පත​ෙරාම් සූදානම් කරගන්න.   
‘‘කොහාට ද ඉස්සේල්ලම යන්නේ සර්’’ ‘‘ගෝණ විද්දගල හරියෙ මම දන්න කියන කට්ටිය ඉන්නවා. ඒ පැත්තට යමු’’  

 

 


‘‘හරී සර් අපි සූදානම්’’ ඔවුන්ගේ ප්‍රතිචාරය විය. පසුදින අපි ජීප් රථයෙන් ගෝණ විද්දගලට ගොස් පා ගමනින් යමින් ආසන්නයේ පිහිටි වාඩියකට ඇතුල් වූයෙමු. මා ගැන දැන සිටි වාඩි හිමියා හා එන්න මහත්තයලා වාඩිවෙන්න.’’ වාඩි වීම සඳහා ලී බංකුවක් තැබිණි. ඒ අතර තුරේ වාඩියේ සිටි ඉලන්දාරියෙක් කලබල වී වාඩිය තුළ තිබූ පොහොර මල්ලක් රැගෙන ඉවතට දුවන්නට විය. ‘‘මහත්තයලා තේ කහට ටිකක් බොනව ද බුලත් විටක් කනව ද? ‘‘තේ හදන්න එපා බුලත් විටක් කමු..’’ මගේ ප්‍රතිචාරය විය. ඉවතට රුගෙන දිවු පොහොර මල්ල ගංජා විය යුතු බව මට ඉවෙන් දැනුනි. එහෙත් ඊට ​එරෙහිව කටයුතු කිරීමට එය සුදුසු අවස්ථාවක් නොවු බැවින් මම සැමට ඇසෙන සේ ‘‘දැන් අපි ආපු වැඩේ කොරන්න පටන් ගමු’’ පැවසීමි. එසේ​ නොකීවේ සෝමරත්න ගංජා මල්ල පසුපස හඹා යාමට ඉඩ තිබුණි. ඔහු කලින් සේවය කොට තිබුණේ ද සුරාබදු දෙපාර්තමේන්තුවේය.  
වාඩියේ ප්‍රධාන පදිංචිකරුගෙන් නම ගම ඇතුළු පෞද්ගලික තොරතුරු සටහන් කරගත් පසු ඔහු විසින් දැන දැනම නීතියට පටහැනිව ජාතික උද්‍යානය තුළ රැඳී සිටින බවට පාපෝච්චාරණයක්ද මාස (03) තුනක් ඇතුළත ඔහු සතු සියලු දේ රැගෙන ඉඩමෙන් ඉවත්ව යන බවට පොරොන්දුවක් ප්‍රකාශයට ඇතුළත් විණි. එසේ ඉවත්ව යායුතු බවට (කලින් මුද්‍රණය කරවා තිබූ) නිවේදනයක්ද භාරදී එය භාරගත් බවට අත්සන් ලබා ගතිමු.  


ප්‍රකාශ ලබාගැනීම සඳහා ඔවුන්ගේ වාඩි කරා පියමං නගන විටදී ‘‘අන්න අරුං අදත් එනවා. (පරුෂ වචන කෙළවරක් නැත) එසේම ප්‍රකාශය සටහන් කරගෙන අපි පිටව යන විටත් පරුෂ වචනයෙන් මා ඇතුලු කණ්ඩායමට බැණ වැදුණු ආකාරය සිහිපත් කරන විට මා ලබන්නේ සියුම් වින්දනයකි.  
කෙසේ වෙතත් අපගේ ක්‍රියාදාමය සාර්ථක විය. මාස තුනක් ගතවීමට පෙර ඔවුන් සියලු දෙන ඉඩම්වලින් ඉවත් වූහ.  
වසර 2 1/2 පමණ ගෙවී යාමේදී ප්‍ර​දේශය වනාන්තරයෙන් වැසී ගියේය.  


උඩවලව ජලාශයේ ආසන්න ජලාධාර ප්‍රදේශය (එනම් වත්මන් ජාතික උද්‍යාන ප්‍රදේශය) මිනිස් ක්‍රියා කාරකම් වලින් තොරවී ප්‍රදේශයේ නීතිය රජ කරන්නට විය.  
උද්‍යාන මායිම දිගේ උඩවලව ජාතික උද්‍යානය බල පත්‍ර නොමැතිව ඇතුළු වීම තහනම් සංඥ පුවරු දිස්වෙන්නට විය.  
කල් යත්ම නිජ බිම් අහිමි වූ වන සතුන් අවට වනාන්තර භූමිවල සිට උද්‍යානය කරා සංක්‍රමණය වූහ. අලි ඇතුන් ඉන් ප්‍රධාන විය. විවිධ මාලිදියේ තණ කොළ (Grass) විශේෂ උද්‍යානය තුළ හට ගැනීම අලින්ගේ ආකර්ශනයට හේතුවක් හැටියට මම දකිමි. ඒ 1978 වසර අවසානය යයි. එතැන් සිට උද්‍යානය සංවර්ධනය කොට සංචාරකයන් සඳහා විවෘත කරන ලද්දේ 1980 වසරේදීය. ​මේ වන විට උඩවලව උද්‍යානය අලි නැරඹීම සඳහා කදිම ස්ථානයකි. රංචු සහිතව වෙසෙන අලි සංඛ්‍යාව 500 ක් බව ගණන් බලා ඇත. මේ තරම් අලි සංඛ්‍යාවක් කොතැනක සිට උඩවලවට සංක්‍රමණය වූයේ ද?  


වලව බහු කාර්ය සංවර්ධන ව්‍යාපාරය යටතේ මිනිස් ජනාවාස පිහිටුවීම, වී වගාව ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා වනාන්තර එළි පෙහෙළි කරන්නට යෙදිණි. එම ප්‍රදේශය නිජ බිම් කොට ගෙන විසු අලි ඇතුන් ඒ සමගම එළි පෙහෙළි නොවු වනාන්තර බිම් සොයා සංක්‍රමණය වූහ.  
උඩවලව ජාතික උද්‍යානයේ ස්වාභාවික තණ බිම් (Grass land) සහ වනාන්තරය පැතිරී යාමත් (Forest regeneation) එසේම මිනිස් ක්‍රියා කාරකම් වලින් තොර වීමත් සමග සරණක් සොයා සැරිසරමින් සිටි අලි රංචු උද්‍යානය කරා සංක්‍රමණය වූ බව මා සියැසින් නිරීක්‍ෂණය කළ බව මෙහිලා සඳහන් කරමි.  
උඩවලව බහු කාර්ය සංවර්ධන ක්‍රමය.  


ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු කාර්ය සංවර්ධන ක්‍ර්‍රමය වූයේ (1940) ගල්ඔය සංවර්ධන ව්‍යාපාරයයි. ඉන්පසු ආරම්භ කළ බහු කාර්ය සංවර්ධන (ක්‍රමය) ව්‍යපාරය උඩවලව ව්‍යාපාරයයි. එය ක්‍රියාවට නැංවීම විශේෂ පනතක් හරහා සිදුවිණි. උඩවලව ජලාශය ඉදිකිරීමේ කටයුුතු එවකට ඉඩම් වාරිමාර්ග හා විදුලිබල ඇමති සී.පී. ද සිල්වා මැතිඳුන් විසින් ආරම්භ කරන ලද්දේ 1963 ජුනි 12 දින දීය.  


වලවේ ගඟ හරහා බැඳ ඇති වේල්ල සැතපුම් 2 1/2 ක් දිගය. උස අඩි 130 කි. ජලාශය පිරුණු පසු අක්කර 8400 ප්‍රදේශයක් පැතිර පවතී. ජල විදුලි බලාගාර දෙකකි.   
මෙම බහුකාර්ය සංවර්ධන ක්‍රමය තුලින් ජනතාවට සැලසුන සෙත අපමණය. ලියන්ගස්තොට අමුණ මගින් කුඹුරු අක්කර 78000 ට වාරි ජලය සැපයෙන අතර චන්‍ද්‍රිකා වැව යටතේ කුඹුරු අක්. 5000 ට අතිරේක වාරිමාර්ග පහසුකම් සැලසී ඇත. පසෙහි යෝග්‍යතාව අනුව අක්කර 15000 උක් වගාව, අක් 15000 කපු වගාව, අක්කර 2000 ක් මිරිස්, ලූනු, රටකජු සෝයා බෝංචි අතුරු බෝග හැටියට වගා කෙරිණි.  


උඩවලව උද්‍යානය දෙස් විදෙස් සංචාරකයන්ගේ පාරදීසයකි. උද්‍යානයට ඇතුළුවන සංචාරකයන් අලි රංචු නොදකින්නේ කලාතුරකිනි. දිනපතා එන විදේශීය සංචාරක ජීප් රථ සංඛ්‍යාව 400 ඉක්මවයි.  


මේ සියල්ල යටතේ උත්පාදනය වී ඇති රැකියා අවස්ථා සුලුපටු නැත. විදුලි බලාගාර දෙකෙන් ජාතික පද්ධතියට සැපයෙන විදුලි බල ප්‍රමාණය මෙගා වොට් 04 කි.