අනාගතයේ දිනෙක, පෘථිවි කක්ෂයේ රැඳ වූ චන්ද්‍රිකා ආධාරයෙන් මුළු ලොවම ආවරණය වන ආකාරයට, රැහැන් රහිත සන්නිවේදන ජාලයක් නිර්මාණය වනු ඇතැයි ප්‍රායෝගික සංකල්ප මුලින්ම ලොවට ඉදිරිපත් වූයේ 1945 වසරේ ප්‍රකාශයට පත් කළ ‘රැහැන් රහිත ලෝකය‘ විද්‍යා සඟරාවෙනි. බොහෝ දෙනකුට ‘විහිළුවක්‘ වුණු මෙම අපූරු අදහස ඉදිරිපත් කළ තැනැත්තා බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ 27 හැවිරිදි නිලධාරියෙකි. අප ශ්‍රී ලංකාවට මහත් සේ ආදරය කළ, පදිංචිය සඳහා ශ්‍රී ලංකාව තෝරා ගත් ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් ය.
නිරවි යුද සමයේ, 1957 වසරේ ඔක්තෝබර් 4 වැනිදා ඇමෙරිකාවට අභියෝග කරමින් සෝවියට් සමූහාණ්ඩුව ඔවුන්ගේ පළමු චන්ද්‍රිකාව සාර්ථකව පෘථිවි කක්ෂයට යැවීය. ඒ, චන්ද්‍රිකාව ‘ස්පුට්නික් 1‘ ය. චන්ද්‍රිකා යුගයේ පමණක් නොව, අභ්‍යවකාශ ගවේෂණයේ ද ආරම්භය වූයේ මෙයයි.
පළමු චන්ද්‍රිකාව කක්ෂගත කර දශක හතක් පමණ ගතවෙද්දී අද අපේ ජීවන රටාව මුළුමනින්ම වෙනස් කිරීමට චන්ද්‍රිකා සමත් වී අවසන්ය. මේ දශක හත පුරාවට කොතරම් චන්ද්‍රිකා ගණනක් පෘථිවි කක්ෂයට යවා තිබෙනවාදැයි ඔබ දන්නවා ද? ඒ හැම චන්ද්‍රිකාවක්ම සන්නිවේදන චන්ද්‍රිකා නොවෙයි. අපට හොරා, රහසේ ඔත්තු බලන ආවේක්ෂණ චන්ද්‍රිකා ද ඒ අතරේ තිබේ.
මෙම 2021 ජනවාරි පළමු වැනිදා වනවිට පෘථිවි කක්ෂයේ රඳවා ඇති චන්ද්‍රිකා ගණන 6,542 කි. මේ 6,542 න් සක්‍රීයව පවතින්නේ, එසේත් නැතිනම් ක්‍රියාකාරීව පවතින්නේ එයින් හරි අඩක් පමණය. ඒ අනුව, ‘මියගිය‘ චන්ද්‍රිකා බොහොමයක් පෘථිවි කක්ෂයේ ඇති අතර, විවිධ ප්‍රමාණයෙන් යුත් ඒවා නිසොල්මනේ පෘථිවිය වටා කැරකෙයි. මේවාත්, අතහැර දැමුණු රොකට් කැබලි සහ ගගනගාමීන්ගේ මල මුත්‍ර ආදිය සැළකෙන්නේ අභ්‍යවකාශ කසළ ලෙසය.
විද්‍යාඥයන් පෙන්වා දෙන ආකාරයට ඉදිරි දශකයේ දී අප පෘථිවි කක්ෂය සියයට 500 කින් චන්ද්‍රිකාවලින් පිරී යනු ඇති බවය. ඒ සමඟම අපගේ ජීවිත තව තවත් පහු කරමින් අලුත් අලුත් තාක්ෂණය අපේ ජීවිතවලට එක් වනු ඇත.
ලුසිත ජයමාන්න
‘ද සන්‘ ඇසුරිනි