හම්බන්තොට සෙල්ලම් පෑ අප්‍රිකානු සිරකරුවා - 2
එංගල්බ්‍රෙක්ට් යාල පාලකයා ලෙස පත්කිරීමට අමරසේකර මහ මුදලිතුමාට දන්වන ලද්දේ එවකට හම්බන්තොට (1907) උප දිසාපතිව සිටි එල්.ඩබ්ලිව්. ශ්රේඩර් විසිනි. එංගල් - උපදිසාපතිවරයාගේ අවසරය ඇතිව මුරකරුවන් කීප දෙනෙකු දවස් පඩියට යාලෙහි වැඩට යොදා ගත්තේය. ඔහුට සහ ඔහුගේ සහායකයින් හට පැවරී තිබූ ප්‍රධාන රාජකාරීන් වූයේ වනසතුන් දඩයම සඳහා බ්‍රිතාන්‍යයෙන් පැමිණි විදේශිකයින්, තේවතු පාලනය කළ සුද්දන් හා ප්‍රභූ පැලැන්තියේ ලාංකිකයින් මුදල් ගෙවා හම්බන්තොට කච්චේරියෙන් ලබා ගන්නා ලද දඩයම් බල පත්‍ර පරීක්ෂා කිරීම, වෙඩි තබා මැරීමට අවසරලත් සතුන් සංඛ්‍යාව ඉක්මවා වෙඩි තබා ඇත්දැයි සොයා බැලීම, බලපත්‍ර කාල සීමාව ඉක්මවූ පසු ඒවා අවලංගු කිරීමය.
බලපත්‍ර නොමැතිව දඩයම් කළ අය හසුවූ පසු එංගල් ඔවුනට දරුණු වධ හිංසා පැමිණවීය. ගසක බැඳ තබා ශරීරයට ‘දිමි ගොටු’ දැමීම, අමු මස් කැවීම, කෝටු පහර දීම වැනි දඬුවම් දීම නිසා හොර දඩයම් අඩු වුවත් ඔහුට විරුද්ධවාදීන් එන්න එන්නම වැඩිවිය. රුහුණු (යාල) ජාතික වනෝද්‍යානයේ භාරකරු හැටියට මා (එනම් 1991 සිට 1995) රාජකාරි කළ වකවානුවේදී උද්‍යානයේ නටබුන් ගවේශන කළ අවස්ථාවක යාල දැන් ආරක්ෂිත භූමිය Strict Naturla Reserve තුළ ‘අතුරු මිතුරු’ වැවට නුදුරින් මුහුදු මට්ටමේ සිට අඩි 800 පමණ උසින් ගල් කඳු ප්‍රදේශයක මුදුනේ දැනටද දැකිය හැකි පුරාණ ‘කණබිසව’ ගල්ගෙය පරීක්ෂා කිරීමේදී වර්ෂ 1815 දී එංගල්බ්‍රෙක්ට් එහි ගිය බවට ඇතුල් බිත්තියේ ඉංග්‍රීසියෙන් සටහන් කර තිබෙනවා මම දුටිමි. මා විසින් නිරීක්ෂණය කළේ එංගල් රක්ෂිතයේ සැමතැනකම සංචාරය කොට ඇති බවය. යාල රක්ෂිත භූමි සංකීර්ණයේ කටගමුව, ජඹුරාගල, මොදරගල, ගෝනගල, මහසීලව, ආකාශ චෛත්‍ය, විලපලා වැව ගල, කොරවක්කාගල, කාවන්තිස්ස රජු විසින් කරවන ලද සිතුල්පව්ව විහාරය (මෙහි දොළොස් දහසක් මහ රහතන් වහන්සේලා වැඩ විසූ බව සඳහන් වේ), විහාරමහා දේවිය සරණ පාවාගෙන කාවන්තිස්ස රජු විවේකයෙන් ගත කල මඟුල් මහා විහාරය ආදී නටබුන් සියල්ල එංගල්බ්‍රෙක්ට් දුටුවත් ඒවා ගැන ඔහුට හැඟීමක් තිබුණේ යයි නිගමනය කිරීම අපහසුය.
බිරිඳ තොසානා දරුවකු බිහි කිරීම
හම්බන්තොට, උප දිසාපතිව සිටි ශ්රේඩර්ගෙන් පසුව එම තනතුරට පත්වූයේ ලෙනාර්ඩ් වුල්ෆ්ය. වුල්ෆ් එංගලන්තයට සංක්‍රමණය වූ යුදෙව් ගෝත්‍රික පරපුරකින් පැවතුණු කෙනෙකි. විනෝදයට සතුන් වෙඩි තැබීම හා වනාන්තර ජීවිතය ප්‍රිය කළ හෙයින් ඔහු යාල දඩයම් රක්ෂිතයේ නිල ක්ෂේත්‍ර සංචාරවල යෙදුනු බව ඔහුගේ නිල දින සටහන් පොත කියවීමේදී (Leonard Wolf Diaries in Ceylon 1908-1911 Colonial Admenistrator) මට පැහැදිලි විය. මේ හේතුවෙන් උපදිසාපති ලෙනාඩ්වුල්ෆ් සහ එංගල්බ්‍රෙක්ට් සමීප මිතුරෝ වූහ. එංගල් තම මාස් පඩිය ගැනීමට හම්බන්තොට වෙත ගිය සෑම වතාවකම උපදිසාපති නිල නිවසේ දින දෙක තුනක් ගත කළේය. සෑම සන්ධ්‍යාවකම දෙදෙනා මස් කමින් විස්කි බොමින් සතුටු සාමීචියේ කතා බස් කළ අතර, වුල්ෆ් උපදිසාපතිවරයාද එංගල්ගේ යාල නිවහනේ එලෙසම ලැගුම් ගැනීම පුරුද්දක් විය. මේ අතර කොසානාගේ දරු ගැබ මෝරා ඇය පිරිමි දරුවකු බිහි කළාය.
සෑම මසකම තම වැටුප ලබාගැනීමට හම්බන්තොට කච්චේරියට ගිය එංගල් දරුවාගේ වියදමට තොසානාට මුදල් දීමට අමතක නොකළේය. තොසානා හමුවූ එංගල් ‘‘ඉඳා... මේ සල්ලි ටික තියාගෙන දරුවට... ඕනැ කරන දේවල් අරගනිං...’’ එම නිවසේ තොසානා (= නම: ගම්හේවාගේ සෙලෝහාමි) සමග තොසානාගේ නැගණිය වූ ගම්හේවාගේ උක්කුං අම්මාද විසුවාය. උක්කුං හා එංගල් පෙම් සබඳතාව හටගත්තේ ඔහු එම නිවසට යනඑන අතර වාරයේදීය.
උප දිසාපති ලෙනාඩ් වුල්ෆ් ළඟින් ඇසුරු කිරීම නිසා හම්බන්තොට පදිංචිකරුවන් එංගල්ට විරුද්ධව කතා කිරීමට බියවූ අතර යාල කැලේ හොර දඩයමට පැමිණි මැලේ ජාතික ගම්වාසීන්ටත් නිරුවතින් නොහොබිනා අන්දමින් හැසිරුණු සුදු ජාතික කාන්තාවන්ට සහ පිරිමින්ට දැඩි දඬුවම් දුනි. කිසිවෙකුට කිසිවිටෙක බියක් නොදැක්වූ මෙවැනි දරුණු මිනිහෙක් තමාට මින් පෙර හමුවී නැතැයි ලෙනාඩ් වුල්ෆ් සඳහන් කර ඇත්තේ එබැවිනි.
කල් යත්ම එංගල් තම දරුවා සහ බිරිය තොසානා බැලීමට යාම ඔවුන්ගේ වියදමට මුදල් දීම පැහැර හැරියෙන් එංගල්ගේ විරුද්ධකාරයින්ගේ උසිගැන්වීම මත තොසානා - එංගලන්ට විරුද්ධව හම්බන්තොට පොලිසියට පැමිණිල්ලක් කළාය. එංගල් පොලිසියට ප්‍රකාශයක් දීම ප්‍රතික්ෂේප කළත් ඔහුව අත්අඩංගුවට ගැනීමට උනන්දුවක් නොගත්තේ ඔහු ආශ්‍රය කළ ප්‍රභූ පැලැන්තියේ පිරිස නිසාය. හම්බන්තොට තංගල්ල උසාවිවල පෙනී සිටි අතිදක්ෂ නීතිඥවරයකු වූ ලුෂියන් පෝලියර් මහතා ඉන් එක් අයෙකි.
තොසානා එංගල්ට විරුද්ධව හම්බන්තොට උසාවියේ නඩුවක් ගොනු කළ අතර එංගල් වෙනුවෙන් උසාවියේ පෙනී සිටියේ ලුෂියන් පෝලියර් නීතිඥ මහතාය. එම නඩු පැවරීමත් සමග එංගල් පෙමින් වෙලී සිටි උක්කුං අම්මා තොසානාගේ නැගණිය කැටුව ඔහුගේ යාල නිවහනට ගොස් අඹුසැමියන් ලෙසින් විසීමට පටන් ගති. දීර්ඝ නඩු විභාගයකින් පසු උපදිසාපති ලෙනාඩ් වුල්ෆ් විනිශ්චයකාරතුමා තම මිතුරු එංගල්ට විරුද්ධව තීන්දුව දුනි. එනම් එංගල් විසින් රු. 17.50 ක මාසික නඩත්තු මුදලක් තොසානාට ගෙවිය යුතු බවය. එම යුගයේ උසාවි විනිශ්චය ආසනයේ වාඩි වූයේ දිස්ත්‍රික්කවල උපදිසාපතිතුමන්ලාය. වුල්ෆ් උපදිසාපතිවරයාගේ දින සටහන් (1909 පෙබරවාරි 19) කියවීමේදී වැදගත් තොරතුරක් මට හමුවින. එනම් යාල රක්ෂිතයේ කුලුහරකුන් හා ගෝනුන් සිය ගණන් කුරලෙඩ ගව වසංගතයෙන් මිය යන බව වුල්ෆ් නිරීක්ෂණය කළා පමණක් නොව ඊට ඔහු ප්‍රතිකර්ම යෙදූ ආකාරයයි. දකුණු අප්‍රිකාවේ මෙම වසංගතය පැතිර ගිය සමයේදී රෝගය වැළැක්වීම සඳහා සතුන්ට බෙහෙත් එන්නත් කළ වැඩසටහනේදී එංගල් බෙහෙත් විදින්නකු (Innoculator) හැටියට වැඩ කළ බව ලෙනාඩ් වුල්ෆ් දැන සිටි බැවින් ඔහු එංගල්ට කතාකොට ‘‘එංගල් තමුන් මේ වසංගතය ගැන හොඳින් දන්නවා... ඒ නිසා යාල කැලෙන් මේ රෝගය තුරන් කොරන්න අවශ්‍ය සියලුම පියවර අරං මට වාර්තාවක් දෙන්න ඕනැ...’’
‘‘එහෙමයි... දිසාපති තුමා... ඒ වැඩේ මම අකුරට කොරන්නම්’’ එතැන් සිට එංගල් රෝගයෙන් මිය ගිය සතුන්ගේ මළ සිරුරු සියල්ල දර දමා පුළුස්සා දමන ලද්දෙන් රක්ෂිතයෙන් ගව වසංගතය තුරන් විය. ඊළඟ චාරිකාවේදී වුල්ෆ් මහතා එංගල් වෙත සිය ප්‍රසාදය පළ කළ බව දින සටහන් පොතේ (Lenard Wolf Diaries) මම කියවූයෙමි.
එංගල්බ්‍රෙක්ට් සිර භාරයට පත්වීම හා අවසාන කාලය
කෙසේ වෙතත් කේශර සිංහයෙක් ලෙසින් යාල වන බිම පාලනය කළ එංගල්බ්‍රේක්ට්ගේ ජීවිතය අවසන් වූයේ ඉතාමත් අවාසනාවන්ත ලෙසය. යාලට පැමිණි විදේශිකයින් විසින් බැහැර කරන ලද රටබීම හිස් බෝතල් සහ මුහුදු වෙරලේ තිබූ රට බීම හිස් බෝතල් එංගල් තම නිවහනට රැගෙන පැමිණියේ, බීමට වතුර එකතු කර ගැනීමට සහ භූමිතෙල් රැගෙන ඒමටය. හම්බන්තොට කච්චේරියෙන් පැමිණි එංගල්ගේ එදිරිවාදී නිලධාරි පිරිසක් මෙම බෝතල් ගොඩ දැක සැක පහල කරගති. ඔවුන් කල්පනා කළේ මුහුදු යාත්‍රාවල ගමන් ගත් නාවික පිරිස් එංගල්ගේ නිවහනට පැමිණ රටබීම බොමින් මෙහි දින ගණන් ගත කොට ඇති බවය. තවද එංගල් ඔවුනට මස් සපයා ඇති බවත් ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව ඔත්තු සැපයූ බවටත් සැක උපදවාගෙන ඔවුන් ඒ බව හම්බන්තොට උපදිසාපති ඒ.ඊ. මිලින්ටන්ට දැන්වීය. මේ අතරතුරේ ජර්මනියට අයත් ‘ඇම්ඩන්’ නමැති නෞකාව ඉන්දියන් සාගරයේ ලංකාවට දකුණින් යාත්‍රා කරමින් ඔත්තු බලන බව බ්‍රිතාන්‍ය රජයට තොරතුරු ලැබී තිබුණි. එංගල් බ්‍රෙක්ට් ජර්මන් සම්භවයකින් පැවත එන බවත් බ්‍රිතාන්‍ය රජයට මුලසිටම විරුද්ධව සිටි බව සියලු දෙනා දැන සිටියහ. උපදිසාපති මිලින්ටන්ට ලැබුණු ආරංචිය කොළඹ යටත් විජිත ලේකම්ට වාර්තා කිරීමෙන් පසුව ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් කපිතාන් මැකන්සි යාලට ගොස් එංගල් අත්අඩංගුවට ගන්නා ලද්දේ ඔහු ‘ඇම්ඩන්’ නැවේ නැවියන් සමග සම්බන්ධතා ඇතිකරගත් බවට උද්ගත වූ සැකය මතය. ඒ අනුව එංගල් වැලිකඩ බන්ධනාගාර ගත කරන ලදී. මෙය ආරංචි වූ තංගල්ලේ නීතිඥ ලුෂියන් පෝලියර් එංගල් නිදහස්කර ගැනීම සඳහා ඉදිරිපත් විය. ඒ අනුව එංගල් වැලිකඩ සිට මහනුවර බෝගම්බර හිරගෙදරට මාරු කරන ලදී. බන්ධනාගාරයේදී ඔහු ඉතාමත් දුක්ඛදායක ජීවිතයක් ගත කළ බව ලුෂියන් පෝලියර්ගේ පැරණි සටහන්වල දැක්වේ. වසර තුනක් බෝගම්බර සිරගතව සිටි එංගල් ඉතාමත් දඩබ්බර ලෙස හැසිරී තිබේ. ඔහුට ආහාර ලැබුණේ ඉතාමත් සීමිත ලෙසය. නීතිඥ ලුෂියන් පෝලියර් යටත් විජිත රජයට කියා සිටියේ නඩු පැවරීමකින් තොරව එංගල් මේ අන්දමින් රඳවාගෙන සිටින්නේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඔහුගෙන් පළිගැනීමට බවය. පෝලියර්ගේ අභියාචනය අනුව අවසානයේ එංගල් නිදහස් කිරීමට ආණ්ඩුකාරවරයා නියම කළේය. 1921 දී එංගල් බන්ධනාගාරයෙන් නිදහස් ෙවනවිට එංගල්ගේ ඇස් පෙනීම ඉතාමත් දුර්වලව පැවති බව කියති. මහනුවරට ගිය ලුෂියන් පෝලියර් මහතා එංගල් හම්බන්තොටට රැගෙන ආවේය. ඔහුගේ සියලුම පෞද්ගලික බඩු බාහිරාදිය තරහකාරයින් මංකොල්ල කා ඇත. ඉතාමත් අසරණව තවත් වසර (04) හතරක් ජීවත් වූ එංගල්බ්‍රෙක්ට් 1925 මාර්තු මස 25 දින මෙලොවින් සමුගති. ඔහුගේ නිසල දේහය හම්බන්තොට වෙරළට යාබද විදේශිකයින්ගේ සොහොන් බිමෙහි මිහිදන් කළ අතර එම අවමඟුල් උළෙලට ලුෂියන් පොලියර්, අල්ලිස් ගම්බාර මහතා ඇතුලු එංගල්ගේ හිතවතුන් රාශියක් සහභාගි වී තිබේ. එම සොහොන් ගැබ අදට ද දක්නට ඇත.
පොලියර් මහතා ඉන් නතර නොවී, එංගල්බ්‍රෙක්ට් චෝදනා විරහිතව සිරගත කර තැබීම පාදක කරගෙන යටත් විජිත රජයට විරුද්ධව නඩුවක් පැවරීය. එම නඩුවේ තීන්දුව මගින් එංගල් සියලු චෝදනාවලින් නිදහස් වූයේ ඔහුගේ මරණයෙන් පසු 1928 වසරේදීය. මෙම ලිපිය ලියන මා 1968 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳී යාල ජාතික වනෝද්‍යානයේ සේවයේ යෙදී සිටි වකවානුවේදී මැණික් ගඟෙන් එගොඩ උද්‍යානයේ II කොටස (Block II Yala National Park) තුළදී නිරන්තරයෙන් විස්සක (20) ක් පමණ වූ එළහරක් රංචුවක් මට දකින්නට ලැබුණි. ඒ ගැන විමසූ විට පැරණි සේවකයින් මා සමග පැවසුවේ ‘‘සර්... ඔය ඉන්නෙ... එංගල්බ්‍රෙක්ට් මහත්තයගෙ.... කැලෑ වැදුණු එළහරක් රංචුවෙන් බෝවුණ හරක්... ඉස්සර හරක් තිහක් (30) විතර හිටියා... කොටි කාලා දැන් අඩුවෙලා. එයා හරක් ඇති කරලා තියෙන්නේ... කිරිබොන්න... මස් කන්න නොවෙයි....’ යන්නය.
යාල ජාතික වනෝද්‍යානයේ හිටපු භාරකරු විශ්‍රාමික වනජිවී නියෝජ්‍ය අධ්‍යක්ෂ එඩ්මන්ඩ් විල්සන් විසිනි