බොදු සිතුවම් පිළිබඳව කතා කිරීමේදී එම්. සාර්ලිස් මාස්ටර් මෙරට වඩාත්ම ජනප්‍රිය වූ චිත්‍රශිල්පියකු ලෙස හැඳින්විය හැකිය. මන්ද ඔහුගේ සිතුවම් දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ සෑම බෞද්ධ ගෙදරකම පාහේ රාමුකර ප්‍රදර්ශනය කර ඇති බැවින්.
බුදු සිරිතේ විවිධ අවස්ථා නිරූපණය කරන එම සිතුවම් නොදුටු බෞද්ධයකු සිටී දැයි කිව නොහැකි තරම්ය.
එවන් කීර්තිමත් සිත්තරකු වූ සාර්ලිස් මාස්ටර්ගේ පුත්‍රයා සුසිල් ප්‍රේමරත්නය.
සුසිල් ප්‍රේමරත්න අප හඳුනන්නේ ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ගායකයකු හා ලන්දේසි හටන. බිලි පූජාව, රන් දූපත ආදී සුප්‍රකට චිත්‍රකතා එකල ලංකාදීපයට සිතුවම් කළ සිත්තරකු ලෙසටය.
හැත්තෑව දශකයේ කොළඹ කොටුවේ ලංකාදීප කාර්යාලයට යන විට මා දුටු සුප්‍රකට සිත්තරුන් දෙදෙනෙකි. ඒ ජී. ඇස්. ප්‍රනාන්දු හා සුසිල් ප්‍රේමරත්නය.
ජී.ඇස්. බුෂ් කෝට් එකක් හැඳ සුදු සරමකින් සැරසී නිහඬව තම සිත්තර කටයුතුවල යෙදුණේය. එහෙත් සුසිල් මාස්ටර් එසේ නොවීය. හැත්තෑව දශකයේ දී සුසිල්ට අවුරුදු පනස් ගණනක් පමණ වන්නට ඇත. එහෙත් ඔහු ඉතා ප්‍රසන්නය. නිරතුරුවම ඔහුගේ මුහුණ පිරී තිබුණේ සැහැල්ලු ප්‍රසන්න සිනාවකිනි.
ඔහු කඩිසරව කාර්යාලයේ ඔබ මොබ ඇවිද ගියේය. ඔහු ඇඳුම් පැළඳුම් කදිමට තෝරාගෙන තිබිණ. ඇඳුම්වල වර්ණ ගැලපීම සිත්කළු විය.
මා වැනි ආධුනික ලේඛකයකු ඔහු නමින් නොදන්නවා වුව ද මා සමඟ කටපුරා සිනාසෙන්නට අමතක නොකළේය.
හැමෝම අමතන විදියට මා ඔහු ඇමතුවේ ද මාස්ටර් නමිනි.
“මම අවුරුදු 15 ක විතර කොලු ගැටයෙක් කාලෙ ගුවන් විදුලියෙන් මට ඇහුණ ‘සිරි බුද්ධගයා විහාරේ’ ගීතය ඒ ගීතය ගායනා කළේ රූපසිංහ මාස්ටර් සමග රුක්මණී දේවි. මම ඉන් පස්සේ රුක්මණීගේ හඬට වශී වුණා. මම කොයිතරම් රුක්මණීට කැමැත්තක් දැක්වුවද කියතොත් ඇය රඟපෑ චිත්‍රපට පස් හය වතාවකට වඩා නැරඹුවා.
ඊට අවුරුදු කීපයකට පස්සේ හැම ගායකයකුම බලාපොරොත්තු වන පරිදි මට රුක්මණී දේවි සමග යුග ගී කීපයක් ගායනා කරන්න ලැබුණා. ඒ 1939 අවුරද්දෙ දී. ඉන්දියාවේ වාහිනී චිත්‍රාගාරයේ දී.
ඒ ගීත අතරින් මනහර ගීත ගයාලා, පෙම් ලෝකෙ රාජිණී යන ගීත වඩාත් ජනප්‍රියත්වයට පත්වුණි. ඊට ටික කාලයකට පස්සේ මම සැඟවුණු පිළිතුර, පිපෙන කුමුදු වැනි චිත්‍රපට කීපයකටම රුක්මණී සමග යුග ගී ගායනා කළා.”
මේ සුසිල් මාස්ටර් 1978 වර්ෂයේ දී පුවත්පත් සාකච්ඡාවක දී දැක්වූ අදහස්ය. ඒ රුක්මණිගේ හදිසි වියෝව වෙනුවෙන් පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකි. රුක්මණි සුපසන් කටහඬක් මෙන්ම සිත් ඇඳ ගන්නා රූපයකින් යුතු නිළියක මෙන්ම ඉතාමත් අවිහිංසක නිහතමානී ළඳක වූවාය.
මේ නිසා බොහෝ රසිකයෝ ඇයට ආදරය කළහ. එපමණක් නොව ඇය හා නිරතුරුවම කතා බහ කළ ඇතැම් ප්‍රසිද්ධ කලාකරුවෝ ද ඇයට පෙම් කළහ. ඇයට සිතින් පෙම් කළ සුප්‍රකට ලේඛකයෝ ද වූහ. වරක් ගීත පටිගත කිරීමක් සඳහා සුසිල් මාස්ටර්ටත් එඩී - රුක්මනීටත් ඉන්දියාවට යන්නට සිදුවිය.
ඔවුන් තිදෙනාම ඉන්දියාවේ දී නැවතුනේ එකම නවාතැන් පොළකය.
සුසිල් එවකට නව යොවුන් විය තරුණයෙකි. රුක්මණි දේවිය පිළිබඳව ඔහුගේ සිතේ තිබුණේ අපමණ ගෞරවයකි.
දිනක් තිදෙනාම එකම මේසයක ආහාර ගනිමින් සිටියහ.
පිළිසඳරේ යෙදෙමින් ආහාර ගනිද්දී සුසිල්ගේ කකුල කිසිවකු හෙමිහිට පාගනු දැනිණි. සුසිල් හිතුවේ රුක්මණී දේවිය එසේ කකුල පාගන්නට ඇති බවයි. ඇය වැනි රූමත් නිළියක එකල නව යොවුන් වියේ සිටි සුසිල්ගේ කකුල ස්පර්ෂ කිරීම කෙතරම් මිහිරි හැඟීමක් ජනිත කිරීමක් ද? එහෙත් සුසිල්ගේ හිතේ රුක්මණී ගැන තිබුණේ ගෞරවයකි. ඔහු වහා කකුල පසෙකට ඇද ගත්තේය.
පසුව බලන විට හිනාවෙන්න බලාගෙන සුසිල්ගේ කකුල හෙමිහිට පාගා ඇත්තේ එඩී ජයමාන්නය. එඩී තිරයේත්, වේදිකාවෙත් විහිළුකාරයකු වගේම හැබෑ ජීවිතයේත් එවන් විහිළුවලට දක්ෂයෙකි. මේ සුසිල්ම කියන ලද කතාවකි. සුසිල් මාස්ටර්ගේ පියා සාර්ලිස් මාස්ටර් ද සිනමාවට සම්බන්ධය.
1880.06.07 දා අම්බලන්ගොඩ ඉපදුණු සාර්ලිස් මාස්ටර් බෞද්ධ සිතුවම් පමණක් නොව ක්‍රිස්තියන් ආගමට සම්බන්ධ සිතුවම් ද අපූරුවට ඇන්දේය. එපමණක් නොව ඔහු ලංකාවේ නිපදවූ ප්‍රථම චිත්‍රපටය වූ ‘රාජකීය වික්‍රමය’ සඳහා අවශ්‍ය චිත්‍රාගාර දර්ශනන සිතුවම් කෙළේය. මෙහි ප්‍රධාන චරිතය රඟපෑවේ පසුකල සුප්‍රකට දේශපාලකයකු වූ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතායි. ඒ ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සමයේය.
චිත්‍රපටයට අවශ්‍ය සුවිසල් මාලිගා ආදිය ඇතුළු පසුබිම් දර්ශන සියල්ල නිර්මාණය කරන ලද්දේ බම්බලපිටියේ ශාන්ත ජෝන් පටුමගේ පිහිට විශාල මැදුරක බව සඳහන් වන්නේ ආතර් යූ. අමරසේනයන් විසින් ලියන ලද ‘සිංහල සිනමා වංශය’ ග්‍රන්ථයේය.
මේ පසුතල දර්ශන සියල්ල සකස් කරන ලද්දේ ඇම්. සාර්ලිස් මාස්ටර්ය. ඔහුගේ ජ්‍යෙෂ්ඨතම ශිෂ්‍යයා වූ ජී.ඇස්. ප්‍රනාන්දු සහ තවත් ඉන්දියානු කලා අධ්‍යක්ෂවරයෙක් ද සාර්ලිස් මාස්ටර්ට සහාය වූහ. එය එදා දැවැන්ත චිත්‍රාගාරයක සිරිගත් බව පවසා තිබුණේ ආචාර්ය එන්.එම්. පෙරේරා මහතාය.
1925 අප්‍රියෙල් 5 වැනිදා උපත ලැබූ සුසිල් ප්‍රේමරත්නයන් අධ්‍යාපනය හැදෑරුවේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේය. ඉන් පසුව ඔහු ටෙක්නිකල් කොලීජියට ඇතුළත් වන්නේ කලා හා අනෙක් නිර්මාණ කටයුතු පිළිබඳව හදාරන්නටය. වයස අවුරුදු 16 දී හර්බට් එම්. සෙනෙවිරත්න විසින් සුසිල්, සිරි අයියාට (යූ.ඒ.එස්. පෙරේරා) හඳුන්වා දෙනු ලැබිණ. සිරි අයියාගේ මඟ පෙන්වීම ඔස්සේ ගුවන් විදුලියට සම්බන්ධ වන සුසිල් ඒ ශ්‍රේණියේ ගායකයකු ලෙස ගුවන් විදුලි සරල ගී පරීක්ෂණයෙන් සමත් වූවේය.
1940 ගණන්වල දී කාර්ගීල්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ගේබ්‍රියල් මහතාගේ සහාය යටතේ සුසිල්ට එම්.එම්.පී. තැටියක් සඳහා ගීත ගයන්නට අවස්ථාව උදා විය.
1950 දී රීටා ජෙනෙට් ප්‍රනාන්දු ලතා නමින් හඳුන්වා දෙන්නේ සුසිල් ප්‍රේමරත්නය. ලතා වල්පොල නමින් හෙළයේ ගීත කෝකිලාව ලෙස නම් දැරූ ඇය පසුකල පවසා තිබුණේ සුසිල් ලතා කියා ඇය හඳුන්වා දුන්නේ කුමන අදහසකින් දැයි එදා නොතේරුන බවය. ඇත්තෙන්ම ඊට හේතුව ඉන්දියාවේ ලතා මංගේෂ්කාර් මෙන්ම විශාල පරාසයකට යුතු ඉමිහිරි හඬක් ඇයට හිමි වී තිබීමය.
ගුත්තිලයේ එන ‘රූ රැසේ අඳිනා ලෙසේ’ කවි ගීතයක් ලෙස සුසිල් ලතා සමඟ ගායනා කළ අතර රන්වන් කරලින්, කළු කැලණි නදී, සොඳුරු කෝමල, ප්‍රීති මධුර ආදී ගීත ගණනාවක්ම ලතා සමග ගයා ඇත.
සුසිල් මල්ලිකා කහවිට, ඉන්ද්‍රානි විජය බණ්ඩාර ආදී ජනප්‍රියම ගායිකාවන් සමඟ ගැයූ කෝ අද මැණිකා, නාරන් දොඩම් අඹ, සක්මන් මළුවේ දී ආදී ගීත අද ද ජනප්‍රියය. ඔහුගේ ජනප්‍රිය ගීත 100 ක් පමණ අද ද අපට ඇසෙයි.
1957 දී තිරගත වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ සැඟවුණ පිළිතුර චිත්‍රපටයේ ප්‍රධාන පසුබිම් ගායකයා වූයේ ද සුසිල්ය. එහි දී ඔහු ගීත ගායනා කළේ රුක්මණී දේවිය සමඟය.
තරුණ වියේදීම ප්‍රවීණ මාධ්‍යවේ දී ඩී.බී. ධනපාලයන්ගේ මඟ පෙන්වීම ඔස්සේ ඔහු චිත්‍ර ශිල්පියකු ලෙස ලංකාදීපයට බැදුණේය. චිත්‍රකතා නිර්මාණකරුවකු ලෙස ඔහු වඩාත් ජනප්‍රිය වුවද ඔහුගේ දිය සායම් චිත්‍ර ද ඉතා මනරම් විය. ගායකයකු ලෙසත්, චිත්‍රකතා ශිල්පියකු ලෙසත් වඩාත් ජනප්‍රිය වීම නිසා සුසිල්ගේ අනෙකුත් සිතුවම් රසිකයන්ට එතරම් ඇස ගැසුණේ නැත.
සුසිල් මාස්ටර් ජනප්‍රිය කලාකරුවකු වුව ද ඔහු එදත් ලැජ්ජාශීලිය.
ටයිම්ස් ආයතනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ද ඔහු කැමිලස් ප්‍රකාශන සඳහා චිත්‍රකතා ඇන්දේය. ඒ හැරුණු විට ඔහුගේ ප්‍රධානන විනෝදාංශයක් වී තිබුණේ ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීමය.
එකල රීගල්, මැජෙස්ටික්, සැවෝයි ආදී සිනමාහල්වල දී අලුත් බටහිර චිත්‍රපට තිරගත කරද්දී සුසිල් ඒවා නරඹන්නට අමතක නොකළේය.
පසු කළ වැඩිපුර කාර්යාලයට නොආ සුසිල් මාස්ටර් බොහෝ විටෙක මට හමුවූයේ ඉංග්‍රීසි චිත්‍රපට පෙන්වන සිනමා ශාලාවලදීය. ඔහුගේ ඇතැම් චිත්‍ර කතා බටහිර ඌරුවක් ගත්තේ මේ ඉංග්‍රීසි චිත්‍රපට නැරඹීම නිසා විය යුතුය. සිනමා හලක දී මා හමු වූ විටෙක ‘කොහොම ද මාස්ටර්’ යි මා ඇසූ විට ‘ෆිල්ම් එක බලන්න ආවා කීම මිස වැඩි යමක් කතා කළේ නැත.
“දැනට අවුරුදු කීපයකට පෙර (1978) රීගල් සිනමා හලේ මම ඉංග්‍රීසි චිත්‍රපටයක් නරඹන්නට ගියා. මම දැක්කා රුක්මණී දේවි තවත් මිතුරියක් සමඟ ෆිල්ම් එක බලන්න ඇවිත් හිටියා. චිත්‍රපටය අවසානයේ දී මා ඇයට කතා කළ යුතු නැතැයි සිතුවේ ඇයට ඉන් කරදරයක් වේ යැයි සිතූ නිසයි. ඒත් ඇය හදිසියේම මාව දැක්කා. වහා තම යෙහෙළිය අතහැර ඇය මාළඟට පැමිණ සුහදව කතා කළා. එතරම් ජනප්‍රිය කලාකාරියක වුවත් ඇය කොතරම් නිහතමානී දැයි මට සිතුණේ එදැයි. ගීතයක් ගායනා කරන්න ගියත් ඇගේ සහාය අගේට පේනවා. සමහර වෙලාවට මට ගීතය අමතක වුවත් වහා එය නිවැරදි කරනවා.” ඒ සුසිල් රුක්මන් ගැන පැවසූ අන්දමය.
හැත්තෑ ගණන්වල මැද භාගයේ දී පමණ ලංකාදීප කාර්යාලයෙන් වෙසක් භක්ති ගී සංදර්ශනයක් පැවැත්විණ. ඒ සඳහා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් සහභාගි වූහ. ටයිම්ස් ගොඩනැගිල්ලේ ඉහළ මාලයක සඳළු තලයේ පැවැති එම සන්දර්ශනයට රුක්මණී ගීත ගායනා කළාය.
“මට අන්තිමවරට රුක්මණී මුණ ගැසුණේ එදායි. ගීත කීපයක් ගැන රුක්මණී මා ළඟට පැමිණ මෙසේ ඇසුවා. සුසිල් අපි දෙන්න සිරි බුද්ධගයා විහාරේ කියමු ද?”
ඒ ඇය කිසිදා නොකළ ඉල්ලීමක්. “රුක්මණී මට අවසන්වරට හමු වුණෙත් ගීත ගායනා කෙළත් එදායි. ඒක දෙයියනේ මම හීනෙකින්වත් හිතුව ද රුක්මණි සමග මම ගායනා කළේ අන්තිම ගීතය එදා කියලා” සුසිල් රුක්මණී ගැන කීවේ එසේය.
ප්‍රවීණ චිත්‍රකතා ශිල්පී දයා රාජපක්ෂයන්ගේ මූලිකත්වයෙන් ඇරඹි චිත්‍ර කතා ශීල්පී සංසදය මගින් 2008 දී පමණ සුසිල් වෙනුවෙන් උපහාර උළෙලක් පැවැත්විණි. එදා සුසිල් මාස්ටර් ඊට සහභාගි වුව ද ඔහු වියපත්වීම නිසා මඳක් දුර්වලව සිටියේය. එහෙත් ඔහුගේ ප්‍රසන්න බව නම් අඩුවක් නොතිබිණ.
40, 50, 60, 70 දශකවල ගායකයකු ලෙසත්, චිත්‍රකතා ශිල්පියකු ලෙසත් වඩාත් ජනප්‍රියත්වයට පත්වූ සුසිල් ප්‍රේමරත්නයන් අභාවප්‍රාප්ත වූයේ 2010 පෙබරවාරි 11 වැනිදාය. එවිට ඔහුගේ වයස අවුරුදු 85 කි. සිරි බුද්ධදගයා ගීතයෙන් රුක්මණීගේ හඬ පෙම් බැඳි සුසිල් මාස්ටර්ට අවසන් වතාවට ඇය සමඟ එම ගීතයම ගයන්නට ලැබීම දෛවයේ තීරණයක් මෙනි.
රොඩ්නි විදානපතිරණ