ඒ කාලේ කොළොම්පුරේ ශ්‍රියා


(මෙහි මුල් කොටස පසුගිය සතියේ පළවිය)

 

කැලණි ගඟේ පැරැණි පාරු පාලම

බ්‍රිතාන්‍ය රාජ්‍ය නිලධාරීන්, පෘතුගීසීන් සිය ප්‍රථම ලංකා ගමන සිහිපත් කරන්නට ඔවුනගේ රාජ්‍ය ලාංඡනය කෙටූ ගල් කුටියෙහි ඓතිහාසික වැදගත්කම අවබෝධකර ගත්හ. ඒ අනුව ඔවුහු, 1912 දී තත් ගල් කුල කොළඹ කොටුවේ රජ ගෙදර ආසන්නයේ ගෝර්ඩන් උද්‍යානයේ තැන්පත් කිරීමට පියවර ගති. පසු කාලයේදී ගෝර්ඩන් උද්‍යානයට මහ ජනතාවට පිවිසීමේ අවසර අහිමි වූ හෙයින්, මෙම පෘතුගීසි ස්මාරකය කොළඹ වරාය පරිශ්‍රයේ ස්ථාපනය කරනු ලැබිණි. එය මහ ජනයාට පහසුවෙන් දැක ගත හැකි ස්ථානයක තැන්පත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුවීම යෙහෙකි. 


උතුරු දිශාගතව පිහිටි කොළඹ වරාය සහ දකුණු දිශාගතව විහිදී බේර වැව අතර පිහිටි ලන්දේසින් විසින් ද පවත්වා ගෙන ගිය පෘතුගීසි ප්‍රථම බලකොටුව බ්‍රිතාන්‍ය පාලකයින් විසින් එහි ඓතිහාසික වැදගත්කම සැලකිල්ලට නොගෙන නගරය පුළුල් කිරීම පිණිස 1870 දී කඩා බිඳ දමන ලදී. බල කොටුව විද්‍යාමාන නොවුනද වර්තමානයේ පවා කොළඹ කොටුව යනුවෙන් හැඳින්වෙන්නේ එම ප්‍රදේශයයි. යාපනය සහ ගාල්ල වැනි ප්‍රදේශයන්හි අධිරාජ්‍යවාදීන්ගේ බලකොටු ඒවායෙහි පවත්නා ඓතිහාසික වැදගත්කම සලකා සංරක්ෂණය කරනු ලැබිණි. කොටුව චැතම් වීදියේ ඔරලෝසු කණුව අධිරාජ්‍ය යුගයේ ‘ප්‍රදීපාගාරයක් ලෙසින් ‘ක්‍රියාත්මක විය. වත්මන් ‘ජනාධිපති මන්දිරය බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන්ගේ නිවහන ලෙසින් භාවිතයට ගැනිණි. 


කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ කෞතුකාගාර භූමි භාගයේ දක්නට ලැබෙන වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදීන්, ඔවුන්ගේ මහා රැජිණිය වෙත යටත් විජිතයේ ජනතා බුහුමනට බඳුන් කිරීමේ අපේක්ෂාවෙන් ස්ථාපිත කරන ලද්දකි. 


1887 ජූනි 20 වැනිදා වික්ටෝරියා මහා රාජිණිය තමන්ගේ පාලන කාලය අවුරුදු 60 ක් සැපිරීම වෙනුවෙන් මහා බ්‍රිතාන්‍යයේ මෙන්ම තම යටත් විජිතයන්හීත් රිදී ජුබිලි ජයන්තිය පැවැත්වීමට රාජ්‍ය ආඥාවක් නිකුත් කරනු ලැබුවාය. 

 


එම උත්සවය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ මෙන්ම සිය යටත් විජිතවලත් ජනතා ආකර්ෂණය පිණිස ප්‍රදර්ශනයට තමාගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමා නිර්මාණය කරවීමට වික්ටෝරියා මහා රාජිණියගේ උපදෙස් මත සිදුවූ බැව් පැවසේ. මාර්බල් වලින් නිර්මිත, එම ප්‍රතිමා සමූහයෙන් එකක් ලංකාවට එවනු ලැබිණි. මෙම ප්‍රතිමාව ගෝර්ඩන් උද්‍යානයේ ස්ථාපිත කර, ජුබිලි උත්සවය යෙදී තිබූ 1902 ජූනි 25 වෙනිදා නිරාවරණය කරනු ලැබිණි. ගෝර්ඩන් උද්‍යාන

ය, එවකට ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ශ්‍රීමත් ආතර් හැමිල්ටන් ගෝර්ඩන් ආණ්ඩුකාර නිල නිවස ආසන්නයේ පිහිටි අක්කර 4 ක වපසරියකින් යුක්ත භූමි භාගයකි. 
මහජනතාවට විවෘත පොදු උද්‍යානයක්ව පැවති ගෝර්ඩන් උද්‍යානය, 1980 දී ජනාධිපති මන්දිරයේ කොටසක් බවට පත් කිරීමත් සමග එම උද්‍යානයට පිවිසීමට මහා ජනතාවට තිබුණු ඉඩ ඇවිරිණි. 


එහි ප්‍රතිඵලයක් ලෙසින් ‘වික්ටෝරියා මහා රාජිනියගේ ප්‍රතිමාව 2006 වර්ෂයේදී එතැනින් ඉවත් කර ජාතික කෞතුකාගාර භූමියේ ස්ථාපනය කිරීමට සිදුවිය. 
1864 දී ඉදි කළ ගාලු‍ මුව දොර හෝටලය ද බ්‍රිතාන්‍ය යුගයේ නිර්මිත, වික්ටෝරියානු සහ ගොතික් සම්ප්‍රදායන් ප්‍රකට කරවන සුළු ආකර්ශනීය ගොඩනැගිල්ලකි. එය සැලසුම් කර තිබුණේ සාමාන්‍ය බ්‍රිතාන්‍ය තානායමක ස්වරූපයෙනි. බ්‍රිතාන්‍ය පුනරුද ගෘහ නිර්මාණ ශිල්පයේ ශ්‍රේෂ්ඨ නිමැවුමක් ලෙසින් කොළඹ ජාතික කෞතුකාගාරයට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. ශ්‍රීමත් විලියම් ග්‍රෙගරි ගේ සැලැස්මකට අනුකූලව ඉදිකරන ලද මෙම කෞතුකාගාරය 1877 වසරේදී විවෘත කරනු ලැබිණි. 1873 දී විවෘත කරන ලද, පිටකොටුව නගරයෙහි පිහිටි පැරණි නගර ශාලාවේ ගෘහ නිර්මාණ ශිල්පය, නව-ගොතික් ගොඩනැගිලි ලක්‍ෂණ වලින් අනූන විය. එහි උස් ආරුක්කු සහ වාත්තු යකඩ තීරු සිත් ඇදගන්නා සුළුය. පැරණි නගර ශාලාව අසල ඉදිකර ඇති එඩින්බරෝ වෙළඳපොළ විවෘත කරන ලද්දේද 1873 වසරේදීය. මෙම ගොඩනැගිල්ලෙහි පැරණි බ්‍රිතානයන් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ දැක ගත හැකිය. බ්‍රිතාන්‍යයින් 1906 දී කොටුව කාගිල්ස් ගොඩනැගිල්ල ඉදිකළේ එංගලන්තයේ සාප්පු සංකීර්ණයකට අනුරූප වන පරිද්දෙනි. කොළඹ විශ්ව විද්‍යාල පැරණි ගොඩනැගිලි සංකීර්ණය ද බ්‍රිතාන්‍ය යුගයෙහි නිර්මාණයකි. කොළඹ පැරණි දුම්රිය පර්යන්තය 1858 දී ඉදි කරන ලද්දේ ද වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය අනුව යමිනි. 1908 දී එම පර්යන්තයට යාබදව කොටුව දුම්රිය ස්ථානය ඉදි කරන ලද්දේ ද බ්‍රිතාන්‍යයන් විසිනි. 

 

එදා ට්‍රෑම් කාර්

 


දුම්රිය පෙට්ටියකට සමාන, මහා මාර්ගයේම පීලි දෙකක් මත දිවෙන විදුලි ට්‍රෑම් කාරය ද මෙරට ප්‍රවාහනය සඳහා හඳුන්වා දෙනු ලැබුවේ බ්‍රිතාන්‍යයන් විසිනි. 1900 ජනවාරි 13 වැනි දින ට්‍රෑම් රථ මහජනතාවට විවෘත විය. ශ්‍රී ලංකාවේ 1950 ගණන්වලදී ට්‍රෑම් රථ ධාවනය නතර වූයේ ට්‍රොලි බස් සේවාව හඳුන්වා දීමෙන් අනතුරුවය. 
1948 පෙබරවාරි 04 වැනි දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන යුගය නිමා කරමින් අප ලද ස්වාධීනත්වය සංකේතවත් කරන නිදහස් අනුස්මරණ මන්දිරය පිළිබඳ වූ පාඨක මතකය අලුත් කරමින් ස්මාරක පිළිබඳව වූ මෙම ලිපිය නිමා කිරීමට අදහස් කළෙමි. ශ්‍රී ලංකාවේ දීර්ඝ හා ආකර්ෂණීය ඉතිහාසය ප්‍රකට කෙරෙන ස්මාරකයක් ඉදිකිරීමේ ජාතික අවශ්‍යතාව මුලින්ම අවධාරණය කරනු ලැබුවේ, මෙරට ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතා විසිනි. 


නිදහස් මන්දිර ගොඩනැගිල්ල සැලසුම් කරනු ලැබුවේ ටොම් නෙවිල් වයින් ගේ නායකත්වයෙන් යුත් අද්විතීය ගෘහ නිර්මාණ ශිල්පීන් අට දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසිනි. ෂර්ලි ද අල්විස්, ඔලිවර් වීරසිංහ, ජස්ටින් සමරසේකර යන කීර්තිමත් සිංහල ගෘහ නිර්මාණ ශිල්පීන් තිදෙනා ද මෙම කණ්ඩායමට ඇතුළත් වූහ. නිදහස් මන්දිරය නිර්මාණය කිරීමේදී එහි දේශීයත්වය මතු කිරීම පිණිස, (1815 මාර්තු 5 වැනි දින බ්‍රිතාන්‍යයන් සහ උඩරට ප්‍රධානීන් උඩරට සම්මුතිය අත්සන් කරනලද) මහනුවර මගුල් මඩුවේ ආකෘතිය මූලික වශයෙන් සැලකිල්ලට ගනු ලැබිණි. ග්ලූස්ටර් හි ආදිපාදවරයා වූ හෙන්රි කුමරු විසින් මෙරට පළමු පාර්ලිමේන්තුව විවෘත කිරීමත් සමඟ ස්වයං පාලනයේ ආරම්භය සනිටුහන් කළ රාජ්‍ය උත්සවය, මෙම මන්දිරය ඉදිකිරීමට යෝජිත භූමි භාගයේදී, 1948 පෙබරවාරි 4 වැනි දින විශේෂ වේදිකාවකදී සිදු විය. එම ජය බිම, නිදහස් මන්දිරය ඉදිකර විවෘත කරනු ලැබුවේ 1953 වසරේදීය. 

 

කයිමන් දොරකඩ

 


මෙම ස්මාරකයේ සෑම වාස්තු විද්‍යාත්මක වර්ග අඟලක්ම දිවයිනේ ප්‍රෞඩ ඉතිහාසය සහ ජාතික නිදහස පිළිබඳ විචිත්‍රවත් සංකේත ඉස්මතු කරවන සුළුය. ගොඩනැගිල්ලට ඇතුළු වන ස්ථානයේ ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ප්‍රතිමාව පිහිටියේය. එහි, ආරක්ෂකයන් ලෙසින් තේජාන්විත පාෂාණමය සිංහයන් සිවු දෙනෙකු සිව් කොනේ නිර්මිතය. මෙම සිංහ රූප ප්‍රතිනිර්මාණය කර ඇත්තේ, 13 වැනි සියවසේ යාපහුව රාජධානියේ සිංහ රූප ආශ්‍රය කර ගෙනය. ස්මාරකයේ ප්‍රමුඛතම අංගය වන රැස්වීම් ශාලාව ඉදිකර ඇත්තේ, මහනුවර රජුගේ රාජකීය මළුව වන මඟු‍ල් මඩුවේ ප්‍රතිනිර්මාණයක් ලෙසිනි. අහඹු ලෙස, 1815 දී උඩරට අධිපතීන් විසින් දිවයිනේ ස්වෛරීභාවය බ්‍රිතාන්‍ය කිරීටයට පවරා දෙනු ලැබුවේ මහනුවර මගුල් මඩුවේදීය. පවරා දෙනු ලැබූ එම ස්වෛරීභාවය 1948 දී යළි ශ්‍රී ලාංකිකයන් වෙත පිරිනැමීම සංකේතවත් කිරීම පිණිස ද එවන් ප්‍රෞඩ මන්දිරයක් නිර්මාණය කිරීම අතිශයින්ම අර්ථවත් පියවරක් ලෙස අගය කළ යුතු වේ. 


රැස්වීම් ශාලාවේ බාහිර පෙනුම සෞභාග්‍යය සහ සමෘද්ධිය සංකේතවත් කරන “පුන්කලස” සමූහයකින් සරසා ඇත. ශාලාවේ අභ්‍යන්තරය 14 වැනි සියවසේ ගම්පොළ රාජධානියේ සුප්‍රසිද්ධ ඇම්බැක්කේ ලී කැටයම් වලට අනුගතව සරසා ඇති කුළුණු 60 කින් සමන්විත වේ. 


කිසියම් යුගයක, නිමවූ භෞතික ඉදිකිරීම්, ලියැවුණු පත පොත, දනන් මුව මුව රැව් දුන් ජන කවි, ජන ප්‍රවාද, ජනශ්‍රැති ආශ්‍රයෙන් විහිදෙන ආලෝකය තුළින් එම යුගය හා සබැඳි සජීවී චිත්‍රයක් මවා ගන්නට වර්තමානිකයින්ට සැලසෙන්නේ නොමද පිටිවහලකි. යුග යුග වෙනස් වෙමින්, එහෙත් අවිච්ඡින්නව විකාශනය වන ජාතික, ආගමික මෙන්ම සංස්කෘතිකමය හා සමාජයීය ප්‍රවාහයේ ස්වභාවය මනසින් හා දෑසින් ස්පර්ශ කිරීම තුළින්, අපගේ ජාතික උරුමයන් හා සබැඳි ජීවන පරිඥානයේ නිම් වළලු‍ පුලු‍ල්වන්නේ නිතැතිනි.

 

 

ආචාර්ය ගාමිණී කාරියවසම්