ඕස්​ට්‍රේලියාවේ ළැව් ගිනි කාලගුණය විපරිත කරලා


ජනතා කේන්තිය අගමැති මොරිසන් පිටින් යයි

 

 

ඕස්​ට්‍රේලියාවේ ළැව් ගිනි දරුණුවට පැතිරෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අන්දමට ඕස්​ට්‍රේලියාවේ හෙක්ටයාර් මිලියන 13 ක් පුරා ළැව් ගිනි පැතිරෙයි. ඔබට බ්‍රසීලයට අයත් ඇමසන් වැසි වනාන්තරයේ ළැව් ගිනි මතකද? ඇමසන් වනාන්තරයේ පැතිරුණු එම ළැව් ගිනි මෙන් ඕස්​ට්‍රේලියාවේ පැතිරෙන ළැව් ගිනි 6 ගුණයක ප්‍රමාණයකින් වැඩිය. 


ඕස්ට්‍රේලියාවේ ළැව් ගිනි අභ්‍යවකාශයට පවා පැහැදිලිව පෙනෙන බව ඇමෙරිකාවේ නාසා ආයතනය පවසා ඇත. ළැව් ගිනිවලින් බලපෑම් එල්ල වී ඇත්තේ ඕස්ට්‍රේලියාවට පමණක් නොවෙයි. එය මුළු ලෝකයටම බලපෑම් ඇති කරනු ඇති බවත් ගෝලීය උණුසුම තවත් ඉහළ යනු ඇති බවත් කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඕස්ට්‍රේලියාවේ ළැව් ගිනි නිසා මේ වනවිට විපරිත කාලගුණ තත්ත්වයන් ද නිර්මාණය වී තිබේ. ජගත් කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, කාලගුණ අනාවැකි කීමට ඔවුන් සකස් කළ පරිගණක දත්ත සැකසුම් සියල්ල අවුල් වී ඇති බවත්, ඉදිරියේ දී නව දත්ත ඇතුළත් කරමින්, කාලගුණ අනාවැකි කීමට නව පරිගණක වැඩසටහන් සකස් කිරීමට සිදුවනු ඇති බවත්ය. 


නවසීලන්තය ඕස්ට්‍රේලියාවේ අසල්වැසියෙකි. සාමාන්‍යයෙන් මේ කාලයේ එරට සීතල කාගුණයක් ඇති නමුත් අද ඒ තත්ත්වය වෙනස් වී ඇති බව පැවැසෙයි. ඕස්ට්‍රේලියා ළැව් ගිනි දුමාරය නවසීලන්තය තෙක් පැතිර ගොසිනි. නවසීලන්තයේ උතුරු දිවයිනට ළැව් ගිනි දුමාරයෙන් බලපෑම් එල්ල වී ඇති බවත්, අහස ද රතු තැඹිලි පැහැයක් සහ මූසල අඳුරු ස්වභාවයක් ගෙන ඇති බවත් නවසීලන්ත වැසියෝ කියති. 

 

අගමැති මොරිසන් ලැව්ගිනි නිරීක්ෂණයේ

 


තවත් ඛේදවාචකයක් ඇත. ගණන් බලා ඇති අන්දමට ඕස්ට්‍රේලියාවේ සතුන් මිලියන 480 ක් ළැව් ගිනි නිසා මියගොසිනි. ඕස්ට්‍රේලියාව මහද්වීපයකි. ඕස්ට්‍රේලියාවට පමණක් ආවේණික සතුන් බොහොමයකි. පැසිපොව්වන් සහ බිත්තර දමන ක්ෂීරපායීන් දකින්න ලැබෙන්නේ ඕස්ට්‍රේලියාවේ පමණය. බිත්තර දමන ක්ෂීරපායීයා ප්ලැටිපස් ය. ප්ලැටිපස් ඇතුළු සෙසු ක්ෂීරපායීන් පැසිපොව්වන් ලෙස සැලකෙයි. ඒ, කුඩා පැටවුන් ලොකු වනතුරු මවගේ උදරයේ පිටතින් ඇති පැසක් තුළ ජීවත් වෙයි. හොඳම උදාහරණය කැන්ගරු ය. අහස අහිමි යෝධ කුරුල්ලා එමූ, කෝලා වලසා (පෙනුමින් වලසකු වැනි වුණත් කෝලා වලස් පවුලේ සාමාජිකයකු නොවෙයි.) වොම්බැට්, එකිඩ්නා ආදිය ඕස්ට්‍රේලියාවේ පමණක් ජීවත් වන සතුන්ය. ඇතැම් සත්ව විශේෂ ළැව් ගිනි හේතුවෙන් සදහටම ලොවෙන් සමුගෙන ඇති බව ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කෝලා වළසුන් ගහණයෙන් තුනෙන් එකක් මුළුමනින්ම විනාශ වූ බව ද පැවැසෙයි. 


වියළි කාලගුණය සහ වියළි සුළං හේතුවෙන් ළැව් ගිනි පාලනය කිරීමට නොහැකි අයුරින් පැතිර යද්දී, මීටර් 70 ක් පමණ උස ගිනිදැල් සමඟ ගිනි නිවන භටයන්ට සටන් වැදීමට සිදුවුණු බව ද වාර්තා වේ. ඉදිරියේ දී වැසි ඇදහැලීමට නියමිත බව ද පැවැසෙයි. ඕස්ට්‍රේලියාවේ ළැව් ගිනි පැතිරෙන්නේ පසුගිය සැප්තැම්බරයේය. ළැව් ගිනි හේතුවෙන් රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවේදී ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන් සිටියේ පවුලේ අය හවායි දූපතේ නිවාඩුවකට ගොසිනි. මොරිසන්ට ඕස්ට්‍රේලියානු වැසියන්ගෙන් විරෝධයක් එල්ල වෙද්දී ඔහු කඩිනමින් ආපසු පැමිණියේය. එම සිදුවීමෙන් පසු, ළැව් ගිනි හේතුවෙන් විපතට පත් අසරණ ඕස්ට්‍රේලියානුවන්ගේ ‘තරහා’ පිටවූයේ අගමැතිවරයා පිටිනි. ළැව් ගිනි හේතුවෙන් මියගිය ගණන 23 කි. තවත් බොහෝ දෙනකු අතුරුදන් බව ද පැවැසෙයි. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොබාර්ගෝ නගර වැසියෝ ළැව් ගිනිවලින් පීඩාවට පත් වූහ. නගරයට සිදුවුණු හානිය මෙන්ම නගරය අවට පැතිරෙන ළැව් ගිනි සමඟ ගිනි නිවන භටයන් ගෙන යන සටන නිරීක්ෂණයට අගමැති මොරිසන් ගියේය. එහිදී නගර වැසියන්ගෙන් මොරිසන්ට එල්ල වූයේ අප්‍රසාදයකි. නිවාස අහිමි බොහෝ දෙනෙක් අගමැතිවරයාට බැණ වදින්න වූ අතර, ඔහුට අතට අත දීම පවා ප්‍රතික්ෂේප කළහ. 

 


ලුසිත ජයමාන්න
ඕස්​ට්‍රේලියා පුවත් සේවා