කටු ඉඹුලේ ජේමිස් - ජනක් ප්‍රේමලාල්


ඩී එස් සේනානායක මහතාගේ සංකල්පයකට අනුව රාජාංගණයෙන් ගොඩින් අක්කර දහයක් සහ මඩින් අක්කර දහයක් වශයෙන් ලැබෙන ගොවීන් අතරට සිය නමත් එක් වී තිබීම පිළිබඳව ජේමිස් බොහෝ සතුටට පත් වූයේය. අඹුදරුවන් පසුව ගෙන්වා ගැනීමේ චේතනාව ඇතිව ඔහු කුරුණෑගල ප්‍රදේශයේ ඉඩම්ලාභී  අනෙක් ගොවීන් ද සමඟ රාජාංගණයට ගියේ ලොරියකිනි. බෙදා දුන් කැලෑ ඉඩම්වල පැල් අටවා ගන්නා තෙක් ඔවුන්ට ප්‍රජා ශාලාවක නවාතැන් පහසුකම් ලැබිණි. ඔවුහු එකිනෙකාට උදව් කර ගනිමින් කටුමැටි ගසා පැල් සාදාගෙන ගොවිතැන් ඇරඹූහ. එහෙම පිටින්ම කැලෑවක් අස්වැද්දීම පහසු කටයුත්තක් නොවේ. සමහරු සාර්ථකව ඒ දුෂ්කර ක්‍රියාවේ නිරත වූ අතර පැල් ගෙවල් බවට හරවාගෙන සිය අඹුදරුවන් ද ගෙන්වා ගත්හ. එසේ නොකළ ඇත්තෝ අනෙක් අයගේ ඉඩම්වල කුලී පදනම මත වැඩ කළහ.  කටු ඉඹුල ටෙලි නාට්‍යයෙන් පිළිබිඹු වන්නේ ඒ ගොවි ජනපද වාසීන්ගේ සංකීර්ණ ජීවන වෘත්තාන්තයයි. සරත් ධර්මසිරිගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය කෙරුණ එහි ජේමිස් ගේ චරිතයට පණ පෙව්වේ ප්‍රවීණ රංගන ශිල්පි ජනක් ප්‍රේමලාල්ය. අධ්‍යක්ෂවරයා සුදත් රෝහණය. 

“කටු ඉඹුල ටෙලි නාට්‍යය මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් කිව්වොත් නිවැරදියි.. ඇත්තටම සුදත් රෝහණ මුලින්ම මට ආරාධනා කළේ සිකුරාජපති කියන උප ප්‍රධාන චරිතය රඟ පාන්න.. ආචාර්ය ජයලත් මනෝරත්න තමයි ජේමිස් ගේ චරිතයට තෝරාගෙන හිටියෙ.. ඒත් අසනීප තත්ත්වයෙන් පසු වුණ හින්දා ඔහු චරිතය බාර ගන්න කැමති වුණේ නෑ.. ඊට පස්සෙ ජැක්සන් ඇන්තනිට කතා කළත් ඒ දවස්වල අබා චිත්‍රපටියේ රූගත කිරීම් කිරීම් හින්දා ඔහුත් බාර ගන්න බෑ කිව්වා.. අන්තිමට සුදත් රෝහණ කිව්වා සිකුරාජපති චරිතය වෙන කෙනෙකුට දෙන්නම්, මට ජේමිස් ගේ චරිතය බාර ගන්න කියලා.. ඉතින් මම බාර ගත්තා..”

තමා කටු ඉඹුලේ ජේමිස් බවට පත් වූ ආකාරය විස්තර කරමින් ජනක් ප්‍රේමලාල් පැවසුවේය. අවුරුදු තිස් පහේ සිට හැත්තෑව තෙක් දිවෙන ඒ චරිතය රඟපෑම බොහෝ සංකීර්ණ කටයුත්තක් බැව් ඔහුට වැටහිණි. රූගත කිරීම් තිබුණේ රාජාංගණයේ නවගත්තේගම, ඉඟිනිමිටිය ප්‍රදේශවලය. සුදත් රෝහණගේ ස්වභාවය වන්නේ ඉතා සියුම් දේවල් පිළිබඳව පවා දැඩි අවධානයක් යොමු කිරීමය. එක් කථාංගයක් රූගත කරන්නට දින තුන හතරක කාලයක් ඔහුට අවශ්‍ය වන්නේය. 

“මේ ටෙලි නාට්‍යය කථාංග තිස් හතක එකක්.. එතකොට ඒ තිස් හතම රූගත කරන්න දවස් එකසිය විස්සක් ඒ කියන්නෙ මාස හතරක් ගත වෙනවා.. ඒ දර්ශන තල තියෙන පැත්තෙම නවාතැන් ගන්නත් ඕන.. හෝටල් පහසුකම් නෑ.. අපි නැවතිලා හිටියේ වාරිමාර්ග  දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලාවක.. තවත් ඒ වගේ තැන් කීපයක්ම තිබ්බා අනිත් කට්ටියට නවතින්න.. පහසුකම් ඉතාමත්ම අඩුයි.. වැවට බැහැලා නාන්නෙ.. පෙනඩෝල් පෙත්තක් ගන්නත් කිලෝ මීටර් කීපයක් දුර යන්න ඕන.. අමුඩය ඇඳගෙන අව්වේ පිච්චි පිච්චී හේන්වල, කුඹුරුවල වැඩ කරන ආකාරය රඟපෑම ඉතාම දුෂ්කර ක්‍රියාවක්.. ඒ දවස්වල මම එහෙම පිටින්ම කළු වෙලා හිටියෙ..” ජනක් පැවසුවේය. 

“අමුඩය අඳින්න, කැත්ත උදැල්ලෙ වැඩ කරන එක අමාරු වුණේ නැද්ද..?” මම විමසීමි. 

“ඒකනම් අමාරු වුණේ නෑ.. මොකද මම ගැමියෙක්.. කැත්ත උදැල්ල මට අරුම දේවල් නෙමෙයි.. අපේ  වගේ ඝර්ම කලාපීය රටක ගොවීන්ට හොඳටම ගැළපෙන ඇඳුම තමයි අමුඩය.. ඒක බොහොම සරලයි.. සැහැල්ලුයි..” ඔහු කීවේය.  

ඔවුන්ට අසීරු වූයේ ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරයෙකු වන සුදත් රෝහණගේ ක්‍රමයට හැඩ ගැසෙන්නටය. රූගත කිරීම් ආරම්භ කළාට පසුව සුදත් රෝහණට කෑමබීම පිළිබඳවවත් හැඟීමක් නැත. උදේ පටන් ගන්නා රූගත කිරීම් අවසන්ව උදේ කෑම වේල ගනිද්දී දහයත් පසු වන්නේය. දවල් කෑම කන්නේ හතරට පමණය. රෑ දොළහට රාත්‍රි ආහාරය ගෙන නිදා ගන්නා ඔවුහු පාන්දර තුනට හතරට යළි අවදි වෙති. සත්තකින්ම ටෙලි නාට්‍ය කලාව එපා වෙන තරමටම ඔවුහු සිරුරට වද දුන්හ. 

“කෑම, නින්ද හැම දේම අහිමි වුණ දුෂ්කර කාලයක් ඒක.. සුදත් රෝහණ කියන්නෙ සරල සාමාන්‍ය කැමරා රීති භාවිතා කරලා සෑහීමකට පත් වෙන කෙනෙක් නෙමෙයි.. ඔහු ඒ සඳහා සංකිර්ණ රීති යොදා ගන්නවා.. හුඟක් අය දොඹකරය භාවිත කරන්නෙ නෑ.. ඒත් සුදත් රෝහණ දොඹකරයත් භාවිත කළා.. ඒකේ උඩට නැග්ම මුළු පරිසරයම හොඳට බලා ගන්න පුළුවන්.. අපි ස්ථානගත වෙන තැන්, ආලෝකය, කැමරාකරණය. රංගනය සීයට සීයක්ම එකිනෙකට පෑහෙන්න ඕන.. අපි හරියට අපේ කොටස කළත් අපිත් එක්ක රඟපාන අනිත් නළුවට වැරදුණොත් හරියනකම්ම ඒක කරන්න සිද්ද වෙනවා.. මම හේන් වැඩ කරලා ඇවිත් වැවේ බැහැලා නාන දර්ශනයක් තිබ්බා.. ඒ වෙනුවෙන් වරුවක්ම වැවේ බැහැලා ඉන්න සිද්ද වුණා.. අව්වේ කර වෙලා ඇවිත් වතුරේ බැහැලා ඉන්න එක ශරීර සෞඛ්‍යයට අහිතකරයි.. ඒත් හාස්කමකට වගේ අපිට කිසිම අසනීපයක් වැලඳුණේ නෑ.. මං හිතන්නෙ අපි වැඩේටම ඇපකැප වෙලා හිටිය හින්දා වෙන්න ඇති.. ඒ පළාතේ සර්පයෝ, වන අලි බහුලයි.. උන්ගෙන්වත් අපිට කිසිම හානියක් සිද්ද වුණේ නෑ..” ජනක් පැවසුවේය. 



එක් දිනෙක ජේමිස් රෑ පැල් රකින දර්ශනයක් රූගත කරනු ලැබිණි. එය නිමා වෙද්දී රාත්‍රි දොළහත් පසු වී තිබිණි. නවාතැන් පොළට යා යුතුව තිබුණේ කැමරා උපකරණ ආදියත් කර ගසාගෙන කිලෝ මීටර් කිහිපයක් මඟ ගෙවාගෙන පයින්මය. ඔවුන් පැමිණි පාරට අලි පැමිණ ඇති බැව් ආරංචි වූයේ ඒ අතරය. පැල තිබූ රූස්ස ගස අවට තැන්තැන්වල වැටී පාන්දර වෙන තුරු නිදි කිරන්නට ඔවුන්ට සිදු වූයේය. එහෙත් ඒ කළ කැප කිරීම්වලට තිළිණයක් ලෙස 2006 වසරේදී රයිගම් සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස ද, සුමති සම්මාන උළෙලේ හොඳම නළුවා ලෙස ද ජනක් ප්‍රේමලාල් සම්මානයට පාත්‍ර වූයේය.  ඒ ඔහු ලද ප්‍රථම සම්මානයයි. 

“චරිතාංග නළුවෙක් විදියට මට පිළිගැනීමක් ලැබුණේ කටු ඉඹුල ටෙලි නාට්‍යයෙන් පස්සෙ තමයි..”

ඔහු කියන්නේ කෘතඥතාපූර්වකවය. 

අධ්‍යක්ෂවරු 144 ක් යටතේ ටෙලි නාට්‍ය තුන් සියයකට අධික සංඛ්‍යාවක සහ චිත්‍රපටි 11 ක ඔහු රඟ පා තිබේ. අබුද්දස්ස කෝලම, රාජකපුරු, රජගහේ නාඩගම, සක්වළ කැලඹිලා, ආඬි හතයි කැඳ හැළියයි ඔහු අධ්‍යක්ෂණය කළ වේදිකා නාට්‍යයන්ය. මේක අපේ ආණ්ඩුවක් වේදිකා නාට්‍යය ලබන වසරේදී වේදිකාගත වෙන්නට නියමිතය. 


චන්දි කොඩිකාර