කතෝලික ආගමේ ඇති උතුම් චරිත රඟ පෑ මොරීන් චාරුණි සහ ක්ලීටස් මෙන්ඩිස්



මෙය සිදු වූයේ ඈත අතීතයේ ඉතාලියේ එක්තරා කන්‍යාරාමයක් තුළය. කන්‍යා සොයුරියන් මෙන්ම කන්‍යා සොයුරියන් වීමේ බලාපොරොත්තුවෙන් සිටි යුවතියෝ ද එහි වූහ. ඔවුන් තුළ විවිධ දක්ෂතා තිබිණි. එක් කන්‍යා සොයුරියක් දක්ෂ වූයේ චිත්‍ර අඳින්නටය. දිනක් ඇය චිත්‍රයක් අඳිනවා බලන්නට කන්‍යාරාමයේ ප්‍රධාන මව්තුමිය පැමිණියාය.

“මොනවද තමුන් මේ අඳින්නෙ..?” ඇය ඇසුවේ හිසේ අත ගසාගෙනය.  

“ඇයි මව්තුමියනි.. මම මේ අඳින්නෙ දේවමාතාවනෙ..”

කන්‍යා සොයුරිය පිළිතුරු දුන්නේ පුදුමයෙනි. ප්‍රධාන මව්තුමිය මෙතරම්  කම්පනයට පත් කරන්නට තරම් වරදක් තමා අතින් සිදු වූයේ නැති බැව් ඇය දැන සිටියාය.

“දේවමාතාවගෙ ඇඳුම නිල් පාටයි කියලා කන්‍යාරාමයේ ඉඳලත් දන්නෙ නැද්ද..? තමුන් දේවමාතාවට ලොකු අපහාසයක් කරලා තියෙන්නෙ.. මේක දඬුවම් ලැබිය යුතු වරදක්..”

මව්තුමිය සැරෙන් කියද්දී කන්‍යා සොයුරිය බියපත් වූවාය. ඇය දේවමාතාව සිතුවම් කර තිබුණේ රෝස පැහැයෙනි.

“සමා වෙන්න මව්තුමියනි.. මගේ හිතට ඉබේම ආවේ රෝස පාට හින්දයි ඒ පාටින් ඇන්දේ.. දේවමාතාවට අපහාස කරන අදහසක් මගේ තුන් හිතකවත් තිබ්බෙ නෑ.. මම ඒක දැන් මකලා දාන්නම්..” කියූ කන්‍යා සොයුරිය වෙනත් පින්සලක් අතට ගත්තාය.

“එපා.. එපා.. ඇන්දට පස්සෙ එහෙම මකලා දාන එක හොඳ නෑ.. කාටවත් පේන්නෙ නැති වෙන්න තිරයකින් වහලා දාන්න..”

මව්තුමියගේ අණ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වූයේය. රෝස වර්ණ ගැන්වූ දේවමාතා සිතුවම තිරයක් පිටුපස සැඟවිණි. එය නරඹන්නට කිසිවෙකුට අවසරයක් නොවිණි.

එක් දිනක් ඒ කන්‍යාරාමයට පාප් වහන්සේ වැඩියහ. උන් වහන්සේ සිතුවම ඇති කාමරය දෙසටම ඇදෙනු දුටු සියල්ලෝම තැති ගත්හ. බැරි වීමකින් හෝ දේවමාතා සිතුවම දුටහොත් උදහසට ලක් වෙන්නට සිදු වෙනවා නොඅනුමානයයි ඔවුහු සිතූහ.

“කමක් නෑ.. සිතුවම තිරේකින් වහලනෙ තියෙන්නෙ..” ප්‍රධාන මව්තුමිය එසේ හිත හදා ගන්නට වෑයම් කළත් පාප් වහන්සේ ගේ දෑස නිතැතින්ම එල්ල වූයේ එතැනටමය.

“මොකක්ද අර තිරේකින් ආවරණය කරලා තියෙන්නෙ..?” උන් වහන්සේ විමසූහ.

“උතුමාණන් වහන්ස, ඒ අපේ කන්‍යා සොයුරියක් ඇඳපු දේවමාතා සිතුවමක්.. යම් වරදක් ඇති නිසායි ආවරණය කර තියෙන්නේ..” මව්තුමිය පැවසුවේ බැගෑපත් ස්වරයෙනි.

එය නිරාවරණය කරන ලෙස පාප් වහන්සේ අණ කළහ. ඔවුන් ඒ අණ පිළිපැද්දේ ඉතා අකැමැත්තෙනි. ඒ සමඟම සිදු වූයේ ආශ්චර්යයකි. සිතුවමෙන් ආලෝකයක් විහිදී දේවමාතාව දර්ශනය වූයේය. පාප් වහන්සේ එතැනම දණින් වැටුණහ. අනෙක් සියල්ලෝමත් ඒ අනුව දණින් වැටුණහ.

ඒ ආශ්චර්යය සිදු වූ දේවස්ථානයේ නිර්මාණය කර තිබෙන දේවමාතා පිළිරුව රෝස පැහැතිය. එවැනිම පිළිරුවක් සහිත දේවස්ථානයක් ශ්‍රී ලංකාවේත් තිබෙන්නේය. ඒ කඳාන හපුගොඩ ආශ්චර්යය යුක්ත වූ දේවමාතා දේවස්ථානයයි. එහි ඇති දේවමාතා පිළිරුව රෝස පැහැති වන අතර කකුලක් පිට කකුලක් දමාගෙන සැහැල්ලු ඉරියව්වකින් සිටින ආකාරය පිළිබිඹු වී තිබේ.

මේ දේවස්ථානයට සිය වසක් පිරීම නිමිත්තෙන් ඒ ආශ්චර්යමත් පුරාවෘත්තය කතා තේමාව කර ගත් චිත්‍රපටියක් නිර්මාණය  වී ඇත.  මෙහි පාප් වහන්සේ ගේ චරිතය රඟ පාන්නේ ප්‍රවීණ නළු ක්ලීටස් මෙන්ඩිස්ය.

“මම පියතුමන්ලා ගේ චරිත සෑහෙන සංඛ්‍යාවක් රඟපාලා තියෙනවා.. ඒත් පාප් වහන්සේ ගේ චරිතය රඟ පාන්න ආරාධනාවක් ලැබුණම මම ටිකක් එකෙළමෙකෙළ වුණා.. ඒ වගේ උතුම් චරිතයක් මීට ඉස්සර කවුරුවත් රඟ පාලා තිබුණෙ නෑනෙ.. ඒත් මේ චරිතය මට දෙන්න තීරණය කළේ පල්ලියේ පියතුමා, බිෂොප් උන්නාන්සේ ඇතුළු හැමෝම සාකච්ඡා කරලා කාදිනල් තුමාගෙනුත් අවසර අරගෙන  කියලා චිත්‍රපටියේ නිෂ්පාදන කණ්ඩායම කිව්වම මට ප්‍රතික්ෂේප කරන්න බැරි වුණා..” පාප් වහන්සේගේ චරිතයට තමා තෝරා ගත් ආකාරය පිළිබඳව මතකය අවදි කරමින් ක්ලීටස් මෙන්ඩිස් පැවසුවේය.

රවීන්ද්‍ර රන්දෙනිය ක්ලීටස් ගේ ජීවිතයේ වැදගත් චරිතයකි. ඔහුගේ සිනමා ගමනට බොහෝ ගුරුහරුකම් ලැබුණේ රවීන්ද්‍ර අයියාගෙනි. එහෙයින් ක්ලීටස් මේ චරිතය පිළිබඳවවත් ඔහුට පැවසුවේය.

“ලෝකයේ හුඟක් නළුවෝ ජේසුස් වහන්සෙගෙ චරිතයත් රඟ පාලා තියෙනවා.. ඒත් පාප් වහන්සෙගෙ චරිතය රඟ පාලා නෑ.. ඒ හින්දා මේක ක්ලීටස්ට හුඟක් වටිනා අවස්ථාවක්.. පාප් වහන්සේගේ චරිතය රඟ පෑව පළවෙනි නළුවා විදියට ඔයා ඉතිහාසගත වෙයි..”

රවීන්ද්‍ර රන්දෙනියගේ ඒ දිරිමත් වදන් ක්ලීටස්ට ලොකු ශක්තියක් වූයේය.

එවන් උතුම් චරිත රඟ පාන්නට බොහෝ දෙනා අකැමැති වන්නේ ඒවායින් වස් වදින බවට මතයක් සමාජගත වී ඇති නිසාය. ක්ලීටස් මෙන්ඩිස්ට එවන් හැඟීමක් ඇති නොවූයේදැයි දැන ගන්නට මට වුවමනා විණි.

“ඒ මතය හින්දා නම් නෙමෙයි.. ඒත් මං තුළ චකිතයක් තිබුණා.. පාප් වහන්සේ කියන්නෙ කතෝලික ආගමේ උසස්ම තනතුර.. එවන් ගෞරවනීය, පූජනීය උත්තමයෙකුගේ නිල ඇඳුම ආවටගියාට අඳින්න බෑනෙ.. ඒ හින්දා මම හුඟාක් යාඥා කරලා එහෙම තමයි ඇඳුම ඇන්දෙ..” ක්ලීටස් කීවේය.

ආශ්චර්යය යුක්ත වූ දේවමාතාවෝ චිත්‍රපටියේ ප්‍රධාන මව්තුමියගේ චරිතයට පණ පෙව්වේ මොරීන් චාරුණිය. ඇය මීට පෙර කන්‍යා සොයුරියක ලෙසින් සිව් වතාවක් සහ මරියතුමී ලෙසින් පස් වතාවක් රඟ පා තිබේ. ඇයත් ප්‍රධාන මව්තුමියකගේ චරිතය රඟ පෑවේ පළමු වතාවටය. ශාන්ත පෙනුමක් සහ සන්සුන් ඉරියව් ඇති නිසා ඇයට මෙවන් චරිත ලැබෙන්නේදැයි මම ඇසීමි.

“වෙන්නත් ඇති.. හැබැයි මේ ෆිල්ම් එකේනම් මම ටිකක් සැර චරිතයක්.. කන්‍යා සොයුරියන්, වෙන්නට නියමිත අය හුඟක් ඉන්නවා මගෙ යටතේ.. ඉතින් සැර වෙන්නෙ නැතුව බෑනෙ..” මොරීන් චාරුණි පැවසුවේ සිනාසෙමිනි.

ආගමික චරිත රඟ පාද්දී මොරීන් මුදල් පිළිබඳව අවධානයක් යොමු කරන්නේම නැත. ඇයට වුවමනා කරන්නේ කාගෙන්වත් දෝෂාරෝපණයක් එල්ල නොවෙන ආකාරයට චරිතය රඟ පාන්නට පමණකි.

“මේ වගේ චරිතවලට ප්‍රේක්ෂක, විචාරක හැමෝගෙම අවධානය යොමු වෙනවා.. ඒ හින්දා පුංචි වරදක්වත් වෙන්නෙ නැතුව රඟ පාන්න ඕන.. මට ඒ අත්දැකීම තියෙන බව දන්න හින්දා වෙන්න ඇති මාව තෝරා ගන්නෙ.. දේවස්ථානෙට අවුරුදු සීයක් පිරෙන දවසේ මුලින්ම එහිදීම චිත්‍රපටිය තිරගත කරන්න තමයි නිෂ්පාදන කණ්ඩායම තීරණය කරලා තියෙන්නෙ..” මොරීන් චාරුණි කීවාය.

මේ චිත්‍රපටියේ තිර රචනය කරනු ලැබ ඇත්තේ අමාලි තමෙල් විසිනි. ඇය බොහෝ සෙයින් පොතපත කියවන, ගීත රචනා කරන තැනැත්තියකි. ආශ්චර්යය යුක්ත වූ දේවමාතාවෝ චිත්‍රපටිය පිළිබඳ අදහස ඇගේ සිතට නැඟී ඇත්තේ අහම්බෙනි.

“ලබන අවුරුද්දේ සැප්තැම්බර් මාසෙට අපේ දේවස්ථානෙට අවුරුදු සීයක් පිරෙනවා.. ඒ වෙනුවෙන් මොනවා හරි මතක හිටින දෙයක් කරමු කියලා මායි මගේ සැමියයි සාකච්ඡා කළා.. එතකොට තමයි චිත්‍රපටිය ගැන අදහස ඔළුවට ආවේ.. ඉස්සර වෙලා අපි හිතුවේ වාර්තා චිත්‍රපටියක් කරන්න විතරයි.. ඒත් ක්ලීටස් අයියා, මොරීන් අක්කා, රොෂාන් රණවන ඇතුළු හැමෝම ලොකු සහයෝගයක් දුන්න හින්දා මේක සාමාන්‍ය චිත්‍රපටියක් විදියටම පුළුවන් වුණා..” තමාලි කීවාය.

ඇගේ සැමියා දිල්ෂාන් තමෙල් සංගීත අධ්‍යක්ෂවරයෙකි. එහෙත් නාට්‍ය අධ්‍යක්ෂණයට ඔහු තුළ ඇති දක්ෂතාවත් ආශාවත් නිසා චිත්‍රපටිය අධ්‍යක්ෂණය කිරීමේ වගකීම ඔහු බාර ගත්තේය. ඔවුන්ගේ නිවසේම චිත්‍රාගාරයක් ද තිබෙන්නේය. එම නිසාම චිත්‍රපටියේ කැමරාකරණය, සංස්කරණය, වර්ණ සංයෝජනය සියල්ලම කරන්නට දිල්ෂාන්ට අසීරුවක් නොවිණි.

“අපේ දේවස්ථානේ දේවමාතා පිළිරුව වෙනස් කියලා දැක්කම මගෙ හිතේ ඒ ගැන කුතුහලයක් ඇති වුණා.. ලංකාවේ වෙන කිසිම තැනක ඒ වගේ පිළිරුවක් මම දැකලා නෑ..  ඒ හින්දා මම ඒ ගැන තොරතුරු හෙව්වා.. එතකොට තමයි ඉතාලියේ සිද්ද වුණා කියන අර ආශ්චර්යය ගැන තොරතුරු දැන ගන්න පුළුවන් වුණේ.. ඒ පුරාවෘත්තයට මගේ පරිකල්පනයත් එකතු කරලා ලංකාවට ගැලපෙන විදියට තිර රචනය කරන්නයි මම උත්සාහ ගත්තෙ.. ඒ උත්සාහය සාර්ථකයි කියලා මට හිතෙනවා.. ” ඇය කීවාය.

2013 වසරේ ඔවුන්ගේ දහතුන් හැවිරිදිව සිටි ලොකු දුව ඩෙංගු රෝගය වැළඳීමෙන් මිය ගියාය. තමාලි ගීතිකා කිහිපයක් ලියා නිෂ්පාදනය කර දියණියගේ පාසලට දුන්නේ ඇය සැමරීමටය. තමා තුළ ලිවීමේ ආශාව කුළු ගැන්වුණේ ඉනික්බිතිවයයි ඇය පැවසුවාය.

ආශ්චර්යය යුක්ත වූ දේවමාතාවෝ ලබන වසරේදී තිරගත කරන්නට ඇයත් සැමියාත් බලාපොරොත්තු වෙති.  


චන්දි කොඩිකාර