වසර ගණනාවක් තිස්සේ මට දිනපතා හමු වූ කලාකරුවන් දෙදෙනෙකි. එක් අයකු සුප්‍රකට ගායක එච්.ආර්. ජෝතිපාලයන්ය. අනෙක් ජනප්‍රිය කලාකරුවා ඇසු පමණින් මුවගට සිනාවක් කැන්දන බී.ඇස්. පෙරේරාය.
මා එකල නැවතී සිටියේ මාලිගාවත්ත මහල් නිවාසයේය. උදේ පත්තර කන්තෝරුවට යන විට ජෝති ඔහුගේ නිවසේ (දෙවනි මහලේ සිට ජනේලයෙන් පාර දෙස බලා සිටියි. ඒ ජෝති රාත්‍රියේ සන්දර්ශනවලට සහභාගී වී ටිකක් නිදාගන්නට පෙර විවේකීව සිටින අවස්ථාවයි. ජෝතිගේ ජනප්‍රියත්වයේ හැටියට ඔහුට හැමදාම වාගේ සන්දර්ශන තිබුණේය.
එකල මා සේවය කළ පුවත්පත් කන්තෝරුව තිබුණේ සුගතදාස ක්‍රීඩාංගණය කිට්ටුවය. මාලිගාවත්තේ සිට පැමිණ සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිටින් බසයෙන් බැස යද්දී බොහෝ දිනවලදී බී.ඇස්. මුණ ගැසෙයි.
බී.ඇස් ඇතැම් දිනෙක දවසට දෙවරක් මුණ ගැසෙයි. ඒ කාර්යාලය ඇරී හවස ගෙදර යද්දීය. මේ කුමන වෙලාවක වුවද ඔහු හා වචනයක් දෙකක් කතා කර යන්නට මම අමතක නොකරමි. බී.ඇස්ගේ නිවස පිහිටා තිබුණේ සුගතදාස ක්‍රීඩාංගණය ඉදිරිපිට කොළඹ පැත්තට යෑමට නැගිය යුතු බස් හෝල්ට් එක ළඟමය.
බී.ඇස්. සමඟ වචනයක් දෙකක් කතා කරන්නේ හිතවත් කමටය. එක් අතෙකින් ආසාවටය. ඔහු සමඟ කතා කිරීම, හඳුනාගෙන හිතවත් කමට සිටීම එකල අපට මහත් ආඩම්බරයකි. ඔහු එතරම්ම ජනප්‍රියය.
එහෙත් ඒ ජනප්‍රියත්වයේ තරමට මුදල් හදල් ගලා ආවාදැයි නොදනිමි. ඔහුගේ පවුලේ බිරිඳ දූ දරුවෝ ඇතුළු 9 දෙනෙකි. ඔවුන් සඳහා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය විය. ඒ සියල්ල කළ යුතු වූයේ කලාවෙන් ලැබෙන ආදායමෙනි.
‘‘ඇයි බී.ඇස් එකම චරිතම රඟපාන්නෙ?’’ ඇතැම් දිනක මම අසමි.
විකට චරිතම කියල නෑ. මට ලැබෙන කොයි චරිතෙන් රඟපානවා. මගෙ විහිළු දැකල මිනිස්සු හිනාවෙන කොට මට ලොකු සන්තෝෂයක් දැනෙනවා.
‘‘මේක මගේ රස්සාව. ඉතින් චරිත තෝරා බේරාගෙන රඟපාන්න බෑ. ලැබෙන කොයි චරිතෙත් රඟපානවා’’ ඔහු පිළිතුරු දෙන්නේ ඒ අයුරිනි. ඇතැම් සැඳෑවක බී.ඇස්. කොට කලිසමකින් සැරසී උඩුකය නිරාවරණව ගේ පිටුපසට යයි. බස් නැවතුම් පොළේ බසයකට නගින්නට සිටින මගීන්ගේ නෙත හදිසියේම ඔහු වෙත යොමු වෙයි. බලා සිටියාම බසයට නගින්නට සිටින මගීන්ගේ මුහුණේ සිනාවක් මතුවෙයි.
බී.ඇස් ට මිනිසුන් සිනා ගන්වන්නට රඟපාන්නට අවශ්‍ය නොවීය. නිකම් පෙනී සිටීම පමණක් ඇතිය. එක් චිත්‍රපටයක බී.ඇස් තිරයට එන්නේ ඇඟිල්ලක් සොලවමිනි. ප්‍රේක්ෂකයෝ බඩ අල්ලාගෙන සිනාසෙති.
හැත්තැ ගණන්වල අග හිටි ගමන්ම ඉන්ධන මිල වැඩි කෙරිණ. එය බොහෝ දෙනකුට මෙන්ම එදිනෙදා කලා කටයුතුවලින් ජීවත්වන කලාකරුවන්ට බලපෑවේය. එපමණක් නොව යසපාලිත නානායක්කාර වැනි සුප්‍රකට නිෂ්පාදක අධ්‍යක්ෂවරුන්ට ද දැනෙන සුලු විය.
යසපාලිත ඒ දිනවල වාහනවල යාම සීමා කළේය. ඒ වෙනුවට මෝටර් බයිසිකලයක් මිල දී ගත්තේය.
යසපාලිත වැනි කලාකරුවකු එකල මෝටර් සයිකලයක ගමන් කිරීමට පටන් ගත්තා යයි කී විට අද හිතා ගන්නටත් බැරි තරම්මය.
‘‘දැන් ඉතින් පෙට්‍ර්ල් ගාණෙ හැටියට වාහනවල යන්න බෑ. මේ මං ගත්ත බයිසිකලේ’’ යසපාලිත මෝටර් සයිකලය දිනෙක පෙන්වමින් මා හා පැවසීය. මුල් කාලයේ විජය කුමාරතුංගයන් ද ජීවන් කුමාරතුංගයන් ද මෝටර් සයිකල් පාවිච්චි කළ බව මෙහිදී සිහිපත් කළ යුතුය.
මේ සිදුවීම වූයේ හරියටම පෙට්‍රල් මිල ඉහළ දැමූ දිනයේදීමය. එදින මම කාර්යාලය නිම වී හැන්දෑවේ හතරහමාරට පහට පමණ මරදානට යන්නට බී.ඇස්. ගේ නිෙවස ඉදිරිපිට බස් නැවතුම් පොළට ආවේමි. මඳ වේලාවක් යත්ම ගෙතුළ සිට අත් කොට කමිසයක් කලිසමට උඩින් දමාගෙන මා සිටි තැනට ආවේ බී.ඇස්ය.
‘‘කොහෙද යන්නෙ මේ වෙලාවෙ’’ යි මම ඇසුවෙමි.
“ටවර් එකට යනවා. රිහර්සල් එකක් තියෙනවා.”
ඒ කාලෙ ත්‍රීරෝද රථ ශ්‍රී ලංකාවට පැමිණ තිබුණේ නැත. කුලී රථ ලෙස ගමන් ගත්තේ මොරිස් මයිනර් වර්ගයේ මෝටර් රථය. කොහොමටත් එම කුලී රථවල ගණන ටිකක් සැරය.
“ඔයා කොහාටද යන්නෙ?” බී.එස්. ඇසුවේය.
‘‘මරදානට.’’
‘‘ඔව්, මාත් එක්ක ගියහැකි’’ ඔහුගේ අදහස වූයේ ටැක්සියක යාමටය.
බී.ඇස් කුලී රථ කීපයකට ඇත දැම්මේය.
‘‘පෙට්‍රරල් ගණන් ගිහිල්ලා ඔන්න ඔහේ අපි යමු බස් එකේ’’ මම කීවෙමි. ඒ සමගම බස් රථයක් පැමිණියේය. අපි ඊට ගොඩනැගුනෙමු. අපට ඉදගන්නට අසුන් නොවීය. මරදානට යාමට ගතවන්නේ කෙටි වෙලාවක් නිසා අපි හිටගෙන ගියෙමු.
බස් රථයට බී.ඇස්. නගිනවාත් සමඟම එහි සිටි මගීන්ගේ ඇස් තරමක විමතියෙන් මහත් විය. ඒ සමගම ඔවුන්ගේ මුහුණට ආවේ සිනාවකි. එය විකට වැඩසටහනක් නරඹන්නාක් මෙනි. එහි සිටි එක් කාන්තාවක් මුහුණ අතින් වසාගෙන පහළට නැවී සිනාසෙන්නට පටන් ගත්තාය.
බී.ඇස්. ටවර් රඟහල ළඟින් බසින තුරුම මේ ජවනිකාව රඟ දැක්විණ.
එදානම් බී.ඇස්ට තරමක් තරහ ගියේය.
‘‘මොනවට හිනාවෙනව ද මන්ද?’’ ඔහු මා සමඟ කීවේ එතරම් සතුටකින් නොවේ.
ඇතැම් විටෙක ටැක්සිවල ගණන් අසා එයින් නොසතුටට පත්ව සෙනඟ පිරුණු බස් රථයක පැමිණීම ඔහුගේ සිතට කිසියම් අපහසුතාවක් ඇති කරන්නට ඇත.
බී.ඇස්. ලා එකල බස් රථයක යන්නට බැරි තරමට ප්‍රේක්ෂක ප්‍රතිචාරයට ලක්වන විකට නළුවෝ වූහ. විකට රජවරු වූහ.
‘‘මම කවදාවත් විකට චරිත රඟපෑමේදී කිසිම පිටරට නළුවෙක් අනුකරණය කරන්නෙ නෑ. අවුරුදු ගණනක මගේ අත්දැකීම් ඔස්සේ මගේ චරිතයට ගැළපෙන පරිදි ඉරියව් හා අංග චලන සකස් කර ගන්නවා.
‘‘ඒත් මම ප්‍රියකරන විදේශීය නළුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ තමයි නෝමන් විස්ඩම් හා ජෙරී ලුවිස්’’ බී.ඇස්ලා වාණිජ යයි සම්මත යයි චිත්‍රපටවල රඟපෑවද ඔවුන්ට තිබූ සිනමා දැනුම එයින් පැහැදිලි වෙයි.
සර් නෝමන් විස්ඩම් (1915-2010) යන ඕබීඊ නම්බුනාමයක් ද ලැබූ කීර්තිමත් සම්මානනීය බ්‍රිතාන්‍ය නළුවෙකි. ඔහු නළුවකු, විකට නළුවකු, ගායකයකු ගීත රචකයකු වශයෙන් කලා ක්ෂේත්‍ර කීපයක දස්කම් දැක් වූවෙකි. ඔහු රූපවාහිනි නළුවකු ලෙස ද ප්‍රකට වූවකි. බී.ඇස්. මෙන්ම නෝමන් ද කාලයක් හමුදාවේ සේවය කර ඇත.
ජෙරී ලුවිස් (1931-2017) විකට රජු ලෙස නම් දැරූ ඇමෙරිකන් නළුවෙකි. නළුවකු, විකටයකු, ගායකයකු, චිත්‍රපට නිර්මාණකරුවකු වන ඔහු තම දක්ෂතා වෙනුවෙන් ලද සම්මාන රැසකි.
බී.ඇස්. රඟපෑ නළුවකු නොවේ. චරිතයක් තුළ ජීවත් වූ නළුවෙකි. ඔහු නිකම් හිටගෙන සිටිය ද ප්‍රේක්ෂකයාගේ අවධානය ඔහුට යොමුවෙයි. මේ නිසා බී.ඇස් ට ලැබුණේම සහාය චරිතය. සහාය චරිත වුව ද තිරයේ සිටින වෙලාව අඩු වුව ද ඔහු තිරයේ ප්‍රබලය.
උදාහරණයකට ගතහොත් තුෂාරා චිත්‍රපටයේ බී.ඇස් රඟපාන්නේ දර්ශන හයකට අඩු සංඛ්‍යාවක් යයි මම සිතමි. එහෙන් ඔහු විජය - මාලිනි තරමටම අපට තාමත් මතකය.
ඇතැම් විට බටහිර නළුවන්ගේ රඟපෑම් දැකීම ද වේදිකා නාට්‍ය ඔස්සේ ලද පරිචය ද මීට හේතුව වන්නට වීමට පිළිවන.
එහෙත් විකටයන් ලෙස ඔවුන් පැත්තකට කර දැමුවා මිස ඒවායේ වටිනාකමක් එදා විචාරකයන්ට හෝ සම්මාන ජූරිවලට නොවීය.
නෝමන් විස්ඩම්ලා, නයිට් නාම ලබන විට බී.ඇස්ලා කුලී රථවල, බස් රථවල ගියේත් මුදල් සොයා ගැනීමට චිත්‍රපට පමණක් නොව නාට්‍ය, වේදිකා සංදර්ශන ආදියට ගියෙත් එහෙයිනි.
ඔහු මා සමඟ පිළිසඳරේ යෙදුනු වාර ගණනාවකි. ඇතැම් විටෙක නිතර අදහස් හුවමාරු කරගන්නා නිසා ඔහුගෙන් අසන්නට ප්‍රශ්නද නැත. වරක් ඔහු පැවසුයේ ‘‘අනේ අපේ අතපය වලංගු නැති දාට අපට සලකන්නේ කවුද’’ කියාය.
‘‘අප විඳින දුක් වේදනා කරදර ගැටලු මෙතෙකැයි කියා කියන්ට බෑ. විකට නළු නිළියන් වූ අපි චිත්‍රපට සිය ගණනක රඟපෑවත් ලැබෙන්නේ පොඩි මුදලක්. ඒ නිසා අපට මූලික වශයෙන් බලපාන්නේ මුදල් ප්‍රශ්නයි.’’
අතපය වලංගුව තියෙන තාක් කල් මේ වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ “අපිට මොකද වෙන්නෙ. අපට පිළිසරණ වෙන්නේ කවුද? අපට අනාගතය ගැන නිශ්චිත රැකවරණයක් නෑ’’
‘‘චිත්‍රපට සංස්ථාව මේ ගැන සොයා බැලිය යුතුයි. නිෂ්පාදක බල මණ්ඩලයටත් මේ ගැන සොයා බලන්නට අයිතියක් තියෙනවා. මේ සඳහා විශාල මුදලක් යට කළ යුතු නෑ. අප රඟපාන චිත්‍රපටවල මුදල්වලින් කොටසක් ගෙන එය අරමුදලක් වශයෙන් ඇති කොට බැරි වූ දාට ප්‍රයෝජනයට ගන්නට යොදා ගන්නට පුළුවන්’’ ඔහු එදා කීවේය.
බී.ඇස්ගේ මේ අදහස අදටද වලංගුය. අසරණ වූ කලාකරුවන්ට මාසිකව සොච්චම් මුදලක් දෙනවා වෙනුවට අරමුදලක් ඇතිකර කිසියම් රැකවරණයක් සකසාලීම වහා ක්‍රියාත්මක කළ යුතු යෝජනාවකි. බී,ඇස්. මේ අදහස් ප්‍රකාශ කළේ 1979 දීය. දැන් අවුරුදු හතළිස් ගණනක් ගෙවී ඇත.
බාලසූරියගේ ස්ටීවන් පෙරේරා ඔහුගේ සම්පූර්ණ නමය. 1924 මාර්තු 31 වැනිදා කොළඹ උපන් ඔහු අධ්‍යාපනය හැදෑරුවේ මාලිගාකන්ද රජයේ පාසලෙන් හා සංඝරාජ විද්‍යාලයෙනි. 1939 දී ඔහු යුද හමුදාවට බැදුණේය. ඒ දෙවැනි ලෝක යුද්ධය කාලයේය. ඉන් පසුව කොළඹ නගර සභාවේ රැකියාවක් කළේය. සිනමාවට සම්බන්ධ වීමට පෙර ඔහු ට්‍රැම් කාර් රියැදුරෙකු ලෙසටත් ට්‍රොලි බස් පරීක්ෂකයකු ලෙසත් සේවය කළේය.
ඒ කාලයේ සිදු වූ මාර්ග අනතුරකින් ඔහුගේ එක ඇසකට හානි වීමෙන් ශල්‍ය කර්මයකට ලක්විය. එයින් ඇසේ වපරයක් ඉතිරි විය.
ඔහුගේ පියාද ටවර්හෝල් නාට්‍යකරුවෙකි. බී.ඇස් ද කුඩා කාලයේදී ටවර් හෝල් නාට්‍යයක් වූ “ශ්‍රී වික්‍රම”හි මොහොට්ටාල ලෙස රඟපෑවේය. ට්‍රැම් රථ රියැදුරෙකු වූ කාලයේදී ‘‘නිකම් ආවා” නමින් වේදිකා නාට්‍යයක් නිෂ්පාදනය කළේය. ඉන්පසුව සමදත්තර ලංකාපුර, සාලිය අශෝකමාල යන නාට්‍යද නිෂ්පාදනය කළේය.
‘‘ධීවරයෝ’’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂවරයෙකු ලෙස එවකට කටයුතු කළ එස්. සිවනන්දන්ට (පසුව සිවනන්දන් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු විය.) බී.ඇස්. හඳුන්වා දුන්නේ සී.එම්. රූපසිංහ නම් මිතුරකු විසිනි.
සිරිසේන විමලවීරයන්ගේ “රොඩී කෙල්ල” චිත්‍රපටයේ බී.ඇස්. මුලින්ම රඟපෑව ද එය අතරමැද නතර වූයේ විමලවීරයන්ගේ හදිසි මරණ නිසාවෙනි.
“ධීවරයෝ” චිත්‍රපටයේ කුඩා චරිතයකින් සිනමා රසිකයන් හඳුනාගත් බී.ඇස්. ඉන්පසුව චිත්‍රපට 200 කට කිට්ටු සංඛ්‍යාවක රඟපා ඇත. 1974 දී වැඩිම චිත්‍රපට ගණනාවක රඟපෑම වෙනුවෙන් දීප ශීඛා සම්මානය හිමිවිය.
ඔහු අධ්‍යක්ෂ කළ චිත්‍රපටය ‘‘රොඩීගමය.’’
“මම මුල්වරට අධ්‍යක්ෂණ කළ ‘‘රොඩීගම’’ චිත්‍රපටය මුදල් අතින් අසාර්ථක වුණා. මම ආයෙත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. එය සම්පූර්ණයෙන්ම විකට චිත්‍රපටයක්. ප්‍රවීණ නළු නිළියක් යොදා ගැනීමටත් ආධුනිකයන්ට තැනක් දීමටත් මම බලාපොරොත්තු වෙනවා’’ ඔහු එදා එසේ කීව ද එම විකට චිත්‍රපට අධ්‍යක්ෂණ කිරීමට අවස්ථාව ලැබුණු බවක් මට මතක නැත.
ඔහු හලාවතින් ඉඩමක් ගෙන තිබුණේය. එහි තැනු නිවස රූපගත කිරීම්වල දී කණ්ඩායම් සඳහා ලබා දෙන්නට ඔහු උත්සුක විය.
‘‘එන්නකො වෙලාවක, දවසක් දෙකක් ඉදල යන්න’’ ඔහු කිහිප විටක්ම අපට කීවේය.
පසු කල ඔහු යළිත් ටවර් හෝල් නිෂ්පාදන සඳහා රඟපෑවේය.
රුක්මනි දේවිය ප්‍රධාන චරිතය රඟපෑ “සිවම්මා ධනපාල” ඉන් එක් ජනප්‍රිය නාට්‍යයකි. සිවම්මා ධනපාල පසුකල වේදිකාගත වෙද්දි එයට ප්‍රේක්ෂකයෝ බොහෝ සේ සහභාගී වූහ. ඉතා දීර්ඝ නාට්‍යයන් වූ ‘‘සිවම්මා ධනපාල, පානදුර නගර ශාලාවේ දී වේදිකා ගත වෙද්දි එය නරඹන්නට එන ලෙස බී.ඇස්. මට ආරාධනා කළේය. ඒ සවස 6.30 දර්ශනයටය.
මම මදක් වෙලාසන නගර ශාලාව වෙත ගියෙමි. එවිට 3.30 දර්ශනය වේදිකාගත වෙමින් තිබුණි. ඒ විශාල ප්‍රෙක්ෂක සමූහයක් සමගිනි.
මා යන විට බී.ඇස් වේදිකාවේ පිටුපසට වී සිටියේය.
‘‘එන්න එන්න ඉස්සරහට යනව ද?’’
‘‘බෑ දැන් යන එක හරිනෑනෙ’’ මම කීවෙමි.
‘‘එන්න එන්න’’ කියමින් ඔහු මා වේදිකාවේ පසුපසට කැඳවාගෙන ගියේය. එවෙලේ රුක්මනි දේවිය ගීතයක් ගයමින් වේදිකාවේ රඟමින් සිටියාය.
ඇගේ සුන්දර මුහුණ ‘‘මේකප්’’ වලින් කළුකර තිබිණ. ඇය ගීතය ගායනා කළේ හඬමිනි.
එවිට ප්‍රේක්ෂකයෝ කෑ ගසමින් ඇයට මුදල් විසි කරමින් සිටියහ. එය සාමාන්‍යයෙන් මට නුහුරු දර්ශනයක් විය.’’
රුක්මනී දේවිය හැඩූ බව ප්‍රේක්ෂකයන්ට පෙන්වුව ද ඇය කළේ සිය මුහුණ අතින් වසාගෙන සිනාසීමය. එය වේදිකාව පිටුපස සිටින මට පැහැදිලිව පෙනිණ. සිරුර ගැස්සීම නිසා එය ප්‍රේක්ෂකයාට පෙනෙනුයේ රුක්මනි දේවිය හඬන්නියක් මෙනි.
ගීතය හමාරවීමෙන් පසු රුක්මනි දේවිය වේදිකාව පසුපසට ආවේ බොහෝ වෙහෙසකර විලාශයකිනි.
එකල පානදුර නගර ශාලාවේ මෙන්ම බොහෝ නාට්‍ය ශාලාවල වායු සමීකරන පහසුකම් නොතිබිණ.
මේ නිසා නළු නිළියන් වේදිකාවේ රඟපාද්දි දහඩිය ගලා එයි. රුක්මනිගේ මුහුණ පමණක් නොව ඇඳුම් පැළඳුම් පවා දහඩියෙන් තෙමී තිබිණ. දහවල් දර්ශනවල දී මේ තත්ත්වයට මුහුණ දෙන්නට එකල බොහෝ නළු නිළියන්ට සිදුවිය.
මට බී.ඇස්ගේ වැඩිමහල් පුතු සුනිල් වෙස්ලි පෙරේරා ගැන නොලියා බැරිය. ඔහු එකල සිටම චිත්‍ර ශිල්පියකු වීමේ ආශාවෙන් පසු වූයේය. සුනිල් විසින් අඳින ලද චිත්‍රපට කටවුට් බී.ඇස් ගේ නිවස ඉදිරිපිට එකල සවිකර තිබිණ. එය චිත්‍රපටයට ප්‍රසිද්ධියක් මෙන්ම සුනිල්ගේ දක්ෂතා එළි දැක්වීමට ද පිටුවහලක් විය.
පසුකල සුනිල් ගායකයකු ලෙස ගීත තිහකට අධික සංඛ්‍යාවක් පටිගත කළේය. සුනිල් වෘත්තිය ලෙස තෝරා ගත්තේ චිත්‍ර ශිල්පයයි. ඔහු තවමත් චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කරයි. ඔහුද චිත්‍රපට තුනක රඟපා ඇත. ඒ “ඇමැතිකම” “ඔහොම හොඳද” “රෝඩීගම”ය. ඔහු ‘‘සුනිල් ගී සිසිල’’ නමින් සංගීත නාට්‍යයක්ද බෞද්ධ සිතුවම් දැක්මක් ද පැවැත්විය.
සුනිල් දැන් විවාහ වී ඇත. ඔහුගේ දුවත් පුතාත් දැන් විවාහ වී ඇත. සුනිල් බිරිය සමග සොයිසා පුර ජීවත්වෙයි.
බී.ඇස්. නළුවකු වුවද ඔහුගේ දරුවෝ සිනමා රංගනයේ දිගටම යෙදී නොසිටියහ. බී.ඇස්ගේ දෙවැනි පුතු රවීන්ද්‍ර ‘‘යකඩයා” හා ‘‘දුප්පතාගේ හිතවතා’‘ යන චිත්‍රපටවල රඟපෑව ද වෘත්තියක් ලෙස නළුකම තෝරා නොගත්තේය.
බී.ඇස්. නළුවකු මෙන්ම ගායකයකු වෙයි. “ක්‍රිස්මන් පුරසර - කේක් බුරුදර” නම් පෘතුගීසි ගීතයක් ඔහු නිතරම ගයයි.
ඔහු එම ගීතය කේ. වෙන්කට් අධ්‍යක්ෂණ කළ ‘‘මගේ අම්මා’’ චිත්‍රපටයේ ගායනා කරමින් රඟපෑවේය. සංගීතය සැපයූවේ රොක්සාමි විසිනි. එම ගායනය සඳහා බී.ඇස් ට සහාය වූයේ මිල්ටන් පෙරේරාය. ෆ්‍රෙඩී සිල්වා රඟපෑමෙන් සහාය විය.
අනූව දශකයේ ද වැඩිම චිත්‍රපට ගණනක රඟපෑ නළුවා වූයේ බී.ඇස්ය. මෙය බී.ඇස්. පිළිබඳ සම්පූර්ණ විස්තරයක් නොවේ. ඔහු හා බැඳුණු ඇතැම් සිදුවීම්වල මතකයක් පමණි.
බී.ඇස්. මෙළොවින් සමුගත්තේ 1982 ජූනි 24 වැනිදා හලාවතදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 59 කි. දැනට වසර හතළිහකට පමණ පෙරදීය.
එහෙත් දැනුදු ඔහුගේ රඟපෑමක් පමණක් නොව ඡායාරූපයක් දුටු විට පවා මුවඟ සිනාවක් උපදියි. එහෙත් ඔහු අපට මේ සිනහව ලබා දුන්නේ දහසක් දුක් කරදර, දුෂ්කරතා. කඳුළු අතරිනි. බී.ඇස්ලා මුළු ජීවිතයම කැප කළේ අප සතුටින් තැබීමටය. එහෙයින් ඔවුහු සිංහල සිනමාවේ විකට රජවරු වෙති.
රොඩ්නි විදානපතිරණ