කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ ගැන සුනිල් එදිරිසිංහයන් කී විදිහ



කලා ක්ෂේත්‍රයේදී මෙවැනි සහෝදරයින් දෙදෙනෙකු දැක ගැනීමට ලැබෙන්නේ කලාතුරකිනි. ලාංකීය කලා ක්ෂේත්‍රයට දායාද වූ විරල චරිත දෙකක් ලෙස මේ ප්‍රවීණයින් දෙදෙනා නම් කළ හැකිය. ඔවුන් දෙදෙනා කවුරුදැයි යන්න අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු ද නොවන්නේ, මුළු රටක් ඔවුන් ගැන දන්නා නිසාවෙනි. ලාංකීය රංගන කලාවට, ලාංකීය සංගීත කලාවට රස අරුතක්, මහ ගුණයක් මුසු කළ මේ සහෝදර කලා ශිල්පි - ප්‍රවීණයින් දෙදෙනා හට රටක් ආදරය කරන බව කිව හැකිය. අයියා වන කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් සිනමා නාට්‍ය හා රංග කලාව සුපෝෂණය කිරීමට දායක වූ මහ බර චරිතයකි. ඔහුගේ පවුලේ බාල සහෝදරයා හෙවත් චූටි මල්ලි නමින් සතිස්චන්ද්‍රයන් අමතන සුනිල් එදිරිසිංහයන් යනු ලාංකීය සංගීතය සහ ගීතයට රස අරුතක් – මහ ගුණයක් මුසු කළ චරිතයකි. අපට එලෙසින් දැනෙන සුනිල් එදිරිසිංහයන් ඔහුගේ පොඩි අයියා වන සතිස්චන්ද්‍රයන් ගැන කෙසේ පවසාවි ද? මෙවර අයියයි - මල්ලියි විශේෂාංගයට අදහස් දක්වන්නේ, සුනිල් එදිරිසිංහ සූරින්ය.


මල්ලිට මේ අවස්ථාව  අපි දෙමු ! එයා අසාර්ථක නම් විතරක්  අපි ප්‍රවීණ යකුට දෙමු !
එදා පොඩි අයියා  සඳකඩ පහණක ගීතය ගයන්න චූටි  මල්ලිව ගත්ත හැටි 


  •  පවුලේ සහෝදර සහෝදරියන් ඔක්කෝම කී දෙනෙක් ද?

“සහෝදර – සහෝදරියන් ඔක්කෝම අට දෙනයි. ලොකු අයියා ධර්මසිරි, ලොකු අක්කා සඳශීලි, ඊළඟට ෆ්ලෝරිඩා, සිරිමා, මේරි අක්කලා තුන්දෙනා. ඊළඟට සතිස් අයියා. නිමල් අයියා හත්වැනියා. මම පවුලේ බාලයා හෙවත් අටවැනියා.”

  • කලා ලොවේ සුපිරි තරු වුණේ ඔබ දෙපළ විතර ද?

“පවුලම කලාවට බොහොම ළැදියි. කලා ක්ෂේත්‍රයේදී ජනප්‍රිය වුණේ සතිස් අයියයි, මමයි.”

  • සතිස් අයියාට ඔබ කතා කරන්නෙ?

“පොඩි අයියා කියලයි.”

  • එතකොට ඔහු ඔබ අමතන්නෙ?

“චූටි මල්ලි කියලා.”

  •  පොඩි අයියා ගැන සහ ඔබ ගැන ළමා වියේ මතක අතරට ගියොත්?

“ඒ කාලයේ නාට්‍ය, චිත්‍රපට එහෙම නරඹලා ආවාම, පොඩි අයියා ඒවායේ තිබූ චරිත රඟපාලා පෙන්නුවා. නිකම්මත් නෙවෙයි, සිංදු කියමින් රඟපාලා පෙන්නුවේ. ඉතින් පොඩි අයියගෙ ඒ හැකියාව ගැන මට හිත ගිහින් තිබුණේ. අනෙක් අය ප්‍රසිද්ධ නොවුණාට අපේ පවුලම කලාවට හරි ළැදියි. එක අක්කා කෙනෙක් සංගීත අංශයේ ගුරුවරියක්. නිමල් අයියා ජීවතුන් අතර නැහැ. එයා රජයේ ලලිතකලායතනයේ සෞන්දර්ය අංශයේ හැදෑරූ කෙනෙක්. මේරි අක්කා සහ සංගීත ගුරුවරියක වූ අක්කා ඒ කාලයේදී අමරදේව සර්ගෙ සති අන්ත පන්තිවලට පවා ගියා. හවසට අපේ අම්මයි තාත්තයි දරුවන්ගෙ කලා හැකියාවන් දැක ගන්න ආසයි. ඒ වෙලාවට තමයි ගෙදර හැමෝම හැකියාවන් පෙන්නුවේ. අයියගෙන් තමයි කලාවේ ආභාෂය ආවෙ. රංගනයට මට ආසාවක් තිබුණෙ නැහැ. පොඩි කාලයේ ඉඳලම දක්ෂ වුණේ සංගීතයට.”

  • දෙදෙනාම එකම පාසලට ද ගියේ?

“ඔව්, අපි ඉගෙන ගත්තෙ කැලණිය ධර්මාලෝක විද්‍යාලයෙන්. පාසලේදිත් අයියා නාට්‍යවල රඟපෑ හැටි මතකයි. ගුරුවරු ඒවා අගය කළා. හැබැයි අයියා පාසලින් පිට වුණේ මට වඩා අවුරුදු කිහිපයකට කලින්. අයියා ප්‍රේමදාස මුදුන්කොටුව සර් යටතේ පාසලේ නාට්‍යවල නිර්මාණවලට එහෙම දායක වුණා.”

  • පොඩි අයියා පාසලෙන් සමු අරගෙන ඊළඟට මොනවා ද කළේ? ඔබ පාසලෙන් සමුගත්තාම මොනවා ද කළේ?

“විශ්වවිද්‍යාලයට යාමේ අරමුණක් අයියට තිබුණා. ඒත් අපේ තාත්තා මියගියේ තරුණ වයසේදී. එතකොට මගේ වයස අවුරුදු 13යි. අයියාගෙ වයස 19ක් හෝ 20ක් විතර වුණා. තාත්තාගේ වියෝවෙන් පසුව ආර්ථික ප්‍රශ්න ආවා. අම්මාට ඔක්කෝම කරන්නත් බැහැනේ. ඒ නිසා පොඩි අයියා රැකියාවක් කරන්න පෙලැඹෙන්න ඇති.”

  • ඔබට මොන වගේ ක්ෂේත්‍රයක නියැළෙන්න කියාද එදා පොඩි අයියා කිව්වේ?

“ඒ කාලයේදීම පොඩි අයියා වේදිකා නාට්‍ය කරන්න පටන්ගෙන තිබුණේ. සමහර නාට්‍යවල සංගීතය සහ ගායනය ඇතුළත් වීම නිසා මාව ගායනයෙන් ඒවාට දායක කරගත්තා. එවැනි දේ නිසා මගේ සංගීත හැකියාවට ලොකු ආභාසයක් ලැබුණේ. පාසලේදී ඉගෙනගත් සංගීත දැනුමට අමතරව පොඩි අයියා මාව නාට්‍යවලට දායක කරවා ගත්ත නිසා මගේ සංගීත දැනුම දියුණු කරගන්න පුළුවන් වුණා. ඒ විදිහට කටයුතු කරගෙන යද්දී කවදා හරි චිත්‍රපටයක් කරන්න ඕනෑ, දැන් නාට්‍ය ගොඩක් කළානේ, ඒ නිසා මගේ එකම ආසාව චිත්‍රපටයක් කිරීම කියලා පොඩි අයියා දවසක් මට කිව්වා. එහෙම කරන දවසට ඔයාව සිංදුවකට ගන්නවාය කියලත් කිව්වා.”

  • එයාගෙ පළවැනි චිත්‍රපටය වන ‘මාතර ආච්චි’ චිත්‍රපටයේ ගීතයක් ගයන්න අවස්ථාව ලබා දුන්නෙ ඒ විදිහට ද?

“ඔව්. ඒ අනුව තමයි මට ඒ අවස්ථාව දුන්නේ. ‘සඳකඩ පහණක කැටයම් ඔපලා’ ගීතය ගැයීමට අයියා මට අවස්ථාව දුන්නේ ඒ විදිහටයි.”

  • ‘සඳකඩ පහණක කැටයම් ඔපලා’ ගීතය තමයි ඉනික්බිතිව ඔබගේ සංගීතය ඒකාලෝක කළේ? හැරැවුම් ලක්ෂ්‍යය වුණේ?

“ඊට පෙර මැලිබන් ගී තොටිල්ල වැනි ආධුනික ගී තරගවලට ඉදිරිපත් වෙලා හිටියේ. ඒ නිසා යම් - යම් ජයග්‍රහණ පවා ලැබුවා. ඒත් ‘සඳකඩ පහණ’ තමයි හැරැවුම් ලක්ෂ්‍යය වුණේ. හැබැයි ඒ ගීතය මට ලබා දුන්නාම වෙච්ච සිදුවීමක් තියෙනවා.”

  • අපට ඒ ගැනත් කියන්න?

“මම ආධුනික කෙනෙක් නිසා චිත්‍රපටයට සම්බන්ධ අයියගෙ මිතුරන් අපි මේ ලොකු වගකීමක් නේද ගන්නෙ කියලා අයියාට කියලා තිබුණා. මේ වැඩේ හරියාවි ද දන්නෙ නැහැ නේද කියලා. එයාලා මට ඊර්ෂ්‍යාවට නෙවෙයි එහෙම කියලා තිබුණේ. ඇත්තටම ඉතින් එදා මම වගේ ආධුනිකයකු හට ඒ වගේ අවස්ථාවක් දීම ලොකු අවදානමක්නේ. අයියා ඒ අයට ඒ වේලාවෙ දුන්නෙ වටිනාම පිළිතුරක්. ‘අපි මල්ලිට මේක දීලා බලමු. එයා අසාර්ථක වුණොත් වෙන කෙනෙකුට දෙමු’ කියලා අයියා ඒ වේලාවෙ කිව්වා. මට අවස්ථාවක් දීමට තිබූ අදහස අයියා කිසිම වේලාවක අත්හැර ගත්තෙ නැහැ. කොහොම හරි අඩුපාඩුකම් අවම කරගෙන එදා මට ඒ ගීතය ගයන්න පුළුවන් වුණා. ඒක ගයද්දි එදා ඇත්තටම මටත් තිබුණෙ භයක්. කාගේත් සහයෝගය ඇතිව, එදා එය පටිගත කරන්න සරසවි ශබ්දාගාරයට ගියා. එදා හරියට ප්‍රසංගයක් බලන්න වගේ අයියගෙ යාළුවො සහ හිතවතුන්ගෙන් එහි ශාලාව පිරී තිබුණා. රෙකෝඩින් ඉවර වුණාම වික්ටර් රත්නායක අයියා මං ළඟට ඇවිත් ‘ඔයාට දුර ගමනක් යන්න පුළුවන් ලකුණු මම දැක්කා. ඔයා තවදුරටත් සංගීතය ඉගෙන ගෙන එය දියුණු කරගන්න’ කිව්වා. ඒ වේලාවෙ පොඩි අයියා කිව්වෙත්, ‘අනිවාර්යයෙන්ම ඔයා සංගීතය ඉගෙන ගන්නම ඕනෑ. නැත්නම් මගේ ඊළඟ චිත්‍රපටවලට ගන්නේ නැහැ’ කියලා විහිළුවක් කළා. මාව උනන්දු කරවන්නයි එහෙම කිව්වේ. ඉන් පසුව තමයි මම පී.වී. නන්දසිරි සූරින්ගේ යටතේ සංගීතය ඉගෙන ගන්න ගියේ.”

  • එදා - මෙදා තුර ඔබ ගැයූ ගීත අතරින් පොඩි අයියා වඩා කැමැති මොන ගීතයට ද?

“ගීත කොච්චර කළත් අපි දෙන්නම කැමැති ‘සඳකඩ පහණක කැටයම් ඔපලා’ ගීතයටයි. මගේ ගීත ගොන්නේ ඇති ගීත අතරින් ඉන් පසුව මා ගැයූ ලෙන්චිනා, පැන මඩ කඩිති, ලක්වැසියන් කෙරෙහි නැමී ඇතුළු බොහෝ ගීවලට අයියා කැමැතියි. බොහෝ වේලාවලදී ඒ ගීත ගැන සාකච්ඡා වෙලා තියෙනවා.”

  • විශේෂයෙන්ම අයියාව හමුවන දිනයක් එහෙම තියෙනවා ද?

“අපි ඔක්කෝමලා එකතු වෙන දවසක් තමයි අයියාගේ උපන් දිනය දවසට. අනෙක් දිනවලදී හමු නොවෙනවා නෙවෙයි. පවුලෙ අය එකතු වෙලා විහිළු - තහළුවල යෙදෙමින් අතීත කතා සිහි ගන්වමින් ගෙවන දවසක් තමයි අයියගේ උපන් දිනය දවස. අයියා ඒ දිනවල නාට්‍ය ලෝකයේ ගත කළ විදිහ, ඒවාට වෙච්ච මහන්සිය, මුදල් නැතිව ණය පවා අරගෙන නාට්‍ය කළ විදිහ ගැන වගේම එයාට ජනප්‍රියත්වය ලැබුණු විදිහ ඇතුළු බොහෝ දේ ගැන සම – සමව අපි එක්ක කතා කරලා තියෙනවා. සමහර අවස්ථාවලදී ඔක්කොම එකතු වෙලා ගීත එහෙමත් ගයනවා. පොඩි අයියා රංගන දක්ෂතාව උපතින්ම රැගෙන ආ කෙනෙක් නිසා එයා කතා කරද්දි අපට ඒ දිහා බලා ඉන්නත් ආසයි. ඒ තරමට රිද්මයක් ඇතිව තමයි එයා අදහස් ප්‍රකාශ කරන්නේ. හරි ප්‍රියජනකයි එයාගෙ කතා අහන්න.”

  • මේ ගෙවූ සම්පූර්ණ ජීවිත ගමන දිහා පසු විපරමක් කරද්දි ඔහු මොන විදිහේ සහෝදරයෙක් කියලා ද ඔබට හැඟෙන්නේ?

“මට නම් හිතෙන්නෙ පොඩි අයියයි - මායි අතර, අපේ මොකක්දෝ සංසාර බැඳීමක් ඇති. පොඩි අයියත් ඒ ගැන කියලා තියෙනවා. මම ගායනා කළේ එදා එකම ගීතයයිනේ. ඒ අවස්ථාව අයියා නැති නම් මට ලැබෙන්නෙ නැහැනේ. එතකොට මම ආධුනිකයෙක්නේ. අද කාලයේ ආධුනික ළමයින් තැනකට එන්න කොච්චර මහන්සියක් - වෙහෙසක් වෙනවා ද? ඒත් එදා මට අයියා නිසා මට කිසි මහන්සියක් වෙන්න සිදු වුණේ නැත්තෙ, මගේම පවුලේ කෙනෙක් ලෙස අයියා මගේ හැකියාව හඳුනාගෙන මට ඒ අවස්ථාව ලබා දුන්න නිසයි. ඒක මම ලැබූ පුදුම වාසනාවක්.
‘ඔයාට මම මේ ගීතය ගයන්න අවස්ථාව දුන්නෙ මගෙ සහෝදරයා නිසාම නෙවෙයි, ඔයාගේ හැකියාව මම දැකපු නිසයි’ කියලා අයියා මට කියලා තියෙනවා.

ඒක හරි සාධාරණ කතාවක්නෙ. මට සිංදු කියන්න බැරි නම් අවස්ථාව දුන්නට ඇති වැඩකුත් නැහැනෙ. අයියා හරි සියුම්ව ඒ හැකියාව දකින්න ඇති. ඒ වගේම ඒ සියලු දේ වුණේ සංසාරගත බැඳීම නිසානේ. එහෙම නොවන්නට මේ කිසිවක් නොවෙන්න ඉඩ තිබුණා.

‘චූටි මල්ලිගෙයි - මගෙයි තියෙන්නෙ ආධ්‍යාත්මික බැඳීමක්’ කියලා මේ ළඟකදි පවා අයියා එයාගෙ යාළුවෙකුට කියනවා මම අහගෙන.”


කලාසූරි සතිස්චන්ද්‍ර එදිරිසිංහ ශූරීන් 
මේ දිනවල පසුවන්නේ අසනීප තත්වයෙනි. ප්‍රතිකාර ලබමින් සිටින එතුමාට ඉක්මන් සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.!

 


සඳුන් ගමගේ