“ප්‍රේමසිරි කේමදාසට ගුවන්විදුලිය තහනම්”
“සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට විරෝධය පළකරමින් පෙත්සමක් අත්සන් කිරීම නිසා කේමදාසගේ නම ගුවන්විදුලියෙන් ප්‍රචාරය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ.”
මේ පුවත පළවන්නේ 1986 නොවැම්බරයේදීය. මේ තහනම නිසා එකල තිරගත වූ ‘හංස විලක්’ සහ ‘පාරදිගේ’ යන චිත්‍රපටවල ප්‍රචාරක වැඩ සටහන්වලදී සංගීත අධ්‍යක්ෂ කේමදාසගේ නම ප්‍රචාරය නොවීය. එමෙන්ම ඉදිරියට තිරගත වීමට ඇති ඔහු සංගීතය සැපයූ සෑම චිත්‍රපටයකදීම ඔහුගේ නම ඉවත් කිරීමට සිදුවනු ඇතැයි එදා පවසා තිබුණේ ගුවන්විදුලියේ ඉහළ නිලධාරියෙකි.
මේ නිසා ඔහුට ගුවන්විදුලි වැඩසටහන්වලට සහභාගි වීම, ඒවාට සංගීතය සැපයීම පමණක් නොව ඔහු සංගීතය සැපයූ ගීතවලට ද මෙම තහනම බලපායි.
මෙම තහනම දිගටම පැවැතුණහොත් චිත්‍රපට සංස්ථාව මගින් පවත්වනු ලබන ජනාධිපති සම්මාන උළෙලේදී ඔහුට සම්මාන ද නොලැබී යනු ඇති බවට සිනමා කර්මාන්තයේ කසු කුසු පැවැතිණි.
මේ තහනම දිගටම ක්‍රියාත්මක වූ අනෙක් කලාකරුවා වූයේ විජය කුමාරතුංගය. පෙත්සමට අත්සන් කිරීම නිසා මෙවැනි තහනමකට ලක් වූ තවත් සුප්‍රකට කලාකරුවන් දෙදෙනකු රාජ්‍ය ඇමැතිවරයාට කරන ලද කරුණු පැහැදිලි කිරීමකින් පසු තහනම ඉවත් කරගත් බව ද ඒ පුවතේ සඳහන් වෙයි.
එහෙත් කේමදාස හෝ විජය තහනම ඉවත් කරවාගන්නට ගියේ නැත.
එකල ගුවන්විදුලිය නොමැතිව කිසිදු සංගීතඥයකුට හෝ ගායක ගායිකාවකට හෝ පැවැත්මක් නොතිබිණ. ඒ නිසා ආණ්ඩු මාරුවන වාරයක් පාසා විපක්‍ෂ කලාකරුවන්ගේ නම් කැපෙයි. ගීත ප්‍රචාර ද නැවතෙයි.
ජෝතිපාලට, එම්.එස්. ප්‍රනාන්දුට එවැනි තහනම් කිරීම්වල අපූර්වත්වයක් නොවීය. ආණ්ඩු මාරුවෙද්දී විපක්‍ෂයට උදව් කළ ඔවුහු කැපී ගියහ.
එකල දේශපාලනය කලාවට බලපෑවේ එසේය. දැනුදු එසේ නොවන්නේ යයි එයින් අදහස් නොවේ.
කේමදාස කීවේ අසාධාරණකම් කරන කුමන ආණ්ඩුවකට වුවත් ඔහු විරුද්ධ වෙන බවයි.
ඊට එපිට අවුරුද්දේදී 1979 දී ශ්‍රී ලංකාවේ ගායක ගායිකාවන් ශ්‍රේණිගත කිරීමට ගුවන්විදුලියෙන් ගෙන්වූයේ ඉන්දියාවේ දීපාල් නාග් මහත්මියයි. කේමදාස මේ අදහස් පළ කළේ එකල මා සමග සේවය කළ දයාරත්න රටගෙදරටය.
“මම මේ රටේ ගුවන්විදුලියෙන් බිහිවුණ කෙනෙක් නොවෙයි. ශ්‍රේණිගත කිරීම් මට කිසිසේත්ම බලපාන්නේ නෑ.
මේ රටේ ගායක ගායිකාවන් වර්ග කිරීමට පෙර ඇය පවසා තිබුණා. මෙරට ගායිකාවන් කිහිපදෙනකුටම ඉන්දියාවේ ලතා මංගෙෂ්කාර් මෙන් ගීත ගැයිය හැකි බව.
ඒත් අපේ රටේ ගායක ගායිකාවන් ඉන්දියාවේ ලතා මංගෙෂ්කාර් හෝ කිෂෝර් කුමාර් විය යුතු නෑ. නන්දා මාලනී ඇගේ හඬිනුත් අමරදේව ඔහුගේ හඬිනුත් ගයනා කරනවා මිස ලතාලා කිෂොර්ලා වෙන්න ගියොත් සංගීත ලෝකයෙන් ඒ අය විසිවේවි. අපේ ගායක ගායිකාවන් ඒ තරම් බාල තත්ත්වයක නැති බව නාග් මහත්මියට අමතක වීම ලැජ්ජාවට කරුණක්.
ගීතයක් නිර්මාණය වෙන්නෙ ශබ්ද රසය හා අර්ථ රසයන් එක්ක. ශබ්දයෙන් විතරක් ගීතයක් මේ රටේ බිහි වී ඇති බවක් මම දන්නේ නෑ.”
“ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිඵලවලින් පැහැදිලි වන්නේ අර්ථ රසය අමතක කර ශබ්ද රසයට මුල් තැන දී ඇති බවයි.”
“ශ්‍රේණිගත කිරීමේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු අපේ ගායක ගායිකාවන්ගෙන් සමහරු කෙඳිරිගාන්න පටන් ගත්තා. ඒත් කෙඳිරි නොගා පරීක්‍ෂණය ආරම්භයේදීම ඔවුන්ට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න තිබුණා.”
“ප්‍රතිඵලවලින් පසුවවත් කෙඳිරිගානවා වෙනුවට ඊට විරුද්ධව ප්‍රකාශයක් නිකුත් කරන්න තිබුණා. එයින් පැහැදිලි වන්නේ අපේ ප්‍රබුද්ධ ශිල්පීන්ගේ පිට කොන්දක් නැතිකමයි. බෙලහීනකමයි. කේමදාස මෙසේ ප්‍රසිද්ධියේ අවි අමෝරා ගත්තේ අසාධාරණයට විරුද්ධවයි.
ඔහුගේ නිර්මාණ මෙන්ම ඔහු ද හිතුවක්කාරයෙකි. පාසල් පොත් විසිකර දමා සංගීතය වෙනුවෙන් කොළඹ ආ හැටි කේමදාස සම්බන්ධ සුප්‍රකට කතාවකි.
ඔහු එක් චිත්‍රපටයකින් එළියට විසිවන්නේ එකල බලවත්, සුප්‍රකට නිෂ්පාදක, අධ්‍යක්‍ෂවරයකු හා ගැටීමෙනි. අධ්‍යක්‍ෂවරයා සංගීතය සපයන්නට කියූ දර්ශනයට කේමදාස විරුද්ධ විය. ගැටුම දුර දිග ගියේය. කේමදාස චිත්‍රපටයෙන් විසිවිය.
එහෙත් කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාත්, ධර්ම ශ්‍රී කල්දේරාත් ඔහුට චිත්‍රපට දුන්හ. ඒ ‘සැනසුම කොතැනද’ හා ‘සීතල වතුර’ චිත්‍රපට ය. අදටත් මනරම් පෙම් ගීතයක් වූ ‘සුළං කුරුල්ලෝ’ත්, සීතල වතුරේ ‘සීතල වතුර ගලයි’ ගීයත් කේමදාසගේ එම චිත්‍රපට දෙකෙන් ආ ගීතය. ඔහු පසු කලෙක කේ.ඒ.ඩබ්ලිව්. හා කල්දේරා කෘතවේදීව සිහිපත් කළේය.
ඔහු දකුණු ඉන්දීය සංගීතයට නතුව තිබූ සිංහල චිත්‍රපටයට අලුත් මුහුණුවරක් දුන්නේය. එකල චිත්‍රපට පසුබිම් සංගීතය කීවේ පරණ සින්දු කෑලි වාදනය කිරීම බව ඔහු කීවේය.
‘දුකට වයලින් එකක් හරි සිතාර් එකක් හරි ගන්නවා. සතුටට තව එකක්. ඕක තමා පසුබිම් සංගීතය. චිත්‍රපටයක පසුබිම් සංගීතය කියන්නේ සමහර වේලාවට නිහඬව තැබීමයි.’ ඔහු කීවේය.
එම්.කේ. රොක්සාමි නමැති සංගීත අධ්‍යක්‍ෂවරයා විශිෂ්ට වාදකයා උපන්නේ ඇල්පිටියේය. එහෙත් ඔහුගේ මව වූ ඇනා මේරි මෝසස් හා පියා වූ මරියා කොලන්ඩසාමි දකුණු ඉන්දියාවේ පොන්ඩිඩේරි කොලනියක උපත ලැබුවෝ වෙති. මේ නිසා රොක්සාමි දෙමළ ජාතිකයකු වූ අතර රෝමානු කතෝලික ආගම ඇදහුවේය.
රොක්සාමිගේ මව දක්‍ෂ වාදන ශිල්පිනියක වූ අතර ඒ ආභාෂය ද සමඟ ඔහු මුලින්ම තබ්ලාව හා සැක්සෆෝන් වාදනය ප්‍රගුණ කළේය.
වයස අවුරුදු 17 දී රේඩියෝ සිලෝන් (දැන් ශ්‍රී ලංකා ගුවන්විදුලිය) වාදක මණ්ඩලයට සම්බන්ධව වූ රොක් වඩාත් ප්‍රකට වූවේ විශිෂ්ට වයලින් වාදකයකු ලෙසය.
සැක්සෆෝනය සිංහල ගීතයට ප්‍රථම වරට මුසුකළ රොක්ගේ ජනප්‍රිය වූ ගීත අතර සිංහල අවුරුද්ද ඇවිල්ලා, ජීවන විල මැද, පියාපත් සලා, මධුමල ලෙස ආදී ගීත රැසක් වෙයි.
රොක්සාමි සිංහල චිත්‍රපට 60කට ආසන්න ප්‍රමාණයක සංගීත අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කර ඇත. සන්සාරේ, චණ්ඩාලි, මහරෑ හමුවූ ස්ත්‍රිය, දෙවියනි ඔබ කොහිද, හාර ලක්සෙ ආදී චිත්‍රපට ගණනාවකි.
ඔහු විශිෂ්ට සංගීතඥයකු වුව ද වාදකයකු ලෙස බොහෝ සංගීත අධ්‍යක්‍ෂවරුන්ගේ වාදක කණ්ඩායම්වල වයලීනය වාදනය කළේය. ඔහු කොතරම් විශිෂ්ට වාදකයකු ද යත් බොහෝ චිත්‍රපටවලදී ගීත පටිගත කිරීමේදී පසුබිම් සංගීතය පටිගත කිරීමේදී ඔහු නැතිවම බැරි විය.
රොක්සාමි මාස්ටර් ලෙසත් රොක් අයියා ලෙසත් ඔහු බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වී සිටියේය.
මට ඔහු හමු වී ඇතත් ඔහු එතරම් කතාවට ඇලුම් කරන්නකු නොවීය. බොහෝ විටෙක ඔහු නිහඬ පුද්ගලයකු විය. වැඩිපුර කතා නොකළ ද ඔහු හැමවිටම ලෙන්ගතු සිනාවකින් මුව සරසාගෙන සිටියේය.
1983 කළු ජූලිය අමතක නොවන්නකි. එකල ප්‍රචණ්ඩත්වය එක්වරම ඇවිළී ගියේය. උතුරේ සිදුවීම්වලට කිසිදු සම්බන්ධයක් නැති කොළඹ අහිංසක දෙමළ මිනිසුන් ඝාතනයට ලක්විය. විවිධ පහරදීම්, දේපළ නිවාස කොල්ලකෑම් පාලනය කළ නොහැකි අයුරින් පැතිර යන්නට විය.
එය අහිංසක කලාකරුවන්ට ද එල්ල විය. දමයන්ති, සිරිපතුල ආදී සිංහල චිත්‍රපට ගණනාවක් අධ්‍යක්‍ෂණය කළ ජනප්‍රිය දෙමළ සිනමාකරුවකු වූ කේ. වෙන්කට් කළු ජූලියේ ප්‍රචණ්ඩත්වයට මැදි වූයේය.
ඔහු ජාතිවාදී කල්ලිවලට මැදි වූ විට තමන්ගේ චිත්‍රපට ගැන කීව ද සමාවක් නොලැබිණි. ඔහු මහමඟ කුරිරු ලෙස මරා දැමිණ. එයට හේතුව වූයේ දෙමළ ජාතිකයකු වීමය.
රොක්සාමි නම් අහිංසක විශිෂ්ට සංගීතඥයාට ද ඒ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවන්නට සිදුවිය.
රොක්සාමි මාස්ටර්ගේ බිරිඳ ඉන්ද්‍රාණි පවසන්නේ මේ සියල්ල දූෂමාන ආරංචි නිසා ඇවිළ ගිය බවයි.
අන්තිමේදී රොක්සාමි සොයාගෙන ද මැර කණ්ඩායම් පැමිණියහ. ගෙවල් දොරවල් ගිනි තිබ්බේ නැතිව ද ඔවුනට ද ඒ ප්‍රචණ්ඩත්වයට මුහුණ දීම අසීරු විය.
ප්‍රේමසිරි කේමදාස නම් විශිෂ්ට සංගීතඥයා ඒ කළු ජූලියේ රොක්සාමි සොයා ආවේය.
ඉන්ද්‍රාණි රොක්සාමි මහත්මිය පවසන්නේ එදින කේමදාස, මාලනී ෆොන්සේකා, සනත් ගුණතිලක, සරත් දසනායක රොක්සාමි මාස්ටර්ව සොයා ආ බවයි.
“අපේ පුතා හිටියෙ එයාගෙ යාළුවෙකුගෙ ගෙදර. මමයි දුවයි රොක්සාමි මාස්ටරුයි කේමදාස මාස්ටර් ඇතුළු පිරිස අපිව ගෙදරින් අරගෙන ගියා. එදා මාලනී අපට දිවා ආහාරය සූදානම් කර තිබුණා.
“එතකොට දුවට අවුරුදු 13යි. අපි තුන්දෙනාම ඊළඟට ගියේ කේමදාස මාස්ටර්ගේ ගෙදරටයි. ඊට පස්සෙ මේ කලබල ඉවර වෙනකම් අපි මාසයකටත් වැඩි කාලයක් නැවතිලා හිටියෙ කේමදාස මාස්ටර්ගෙ රාජගිරියෙ ගෙදර. ඔහු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්.”
“එදාම ඒ අතරතුර සරත් දසනායක ඇවිත් තියෙනවා. එතකොට අපි ගෙදරින් ගිහිල්ලා. හොඳ වෙලාවට අපේ ගේ ගිනි තිබ්බේ නෑ. සරත් දසනායක ඇවිල්ලා අපේ මඟුල් පින්තූරෙයි, රොක්සාමි මාස්ටර්ගෙ වයලින් එක ඇතුළු භාණ්ඩ වගයක් ඔහුගෙ ගෙදරට අරගෙන ගිහින් තිබුණා.” ඉන්ද්‍රාණි මහත්මිය කියයි.
එකල පැතිර යමින් තිබූ ප්‍රචණ්ඩත්වය අනුව දෙමළ ජාතිකයකු නිෙවසක රඳවා ගැනීම අනතුරුදායක විය. විවිධ කල්ලි පැමිණ ගෙවල් පවා සෝදිසි කරමින් දෙමළ ජාතිකයන් සොයන්නට වූ බැවිනි. එහෙත් කේමදාස ඒ අභියෝගය බාර ගත්තේය.
අසාධාරණයට අවි අමෝරන තරාතිරමක් නොමැතිව පුද්ගලයන් හා හැප්පෙන කේමදාස මිනිසකුට උදව් කරන්නට වූ විට හිත උණුවන්නේ ද එලෙසය.
බොහෝ විටෙක එකල ඔහුගේ උණුසුම් සම්මුඛ සාකච්ඡා සොයා ගිය මම පසු කාලයේදී වකුගඩු සැත්කමෙන් පසුව ද ඔහු සොයා යන්නට අමතක නොකළෙමි.
සුපුරුදු ලෙන්ගතුකමෙන් ඔහු මා පිළිගත්තේය. ටික වේලාවකින් සම්මුඛ සාකච්ඡාව පටන් ගැනිණි.
ටික වේලාවක් කතා කළ ඔහු “ළමයො ඔය බංකුවක් හරි මොකක් හරි ගේන්න මගෙ කකුල් දෙක තියාගන්න.” යි ගෙදර කිසිවෙකුට කීවේය.
“ඔපරේෂන් එකෙන් පස්සෙ එක දිගට කකුල් පහළට දාගෙන ඉන්න අමාරුයි.” ඔහු කීවේය.
සාකච්ඡාව වූයේ ගීතයේ අයිතිය පිළිබඳවයි.
“ගායකයො ගීතයේ අයිතිය ගැන කතා කරනවා. අපි හදපු, ගීත රචකයො ලියපු ගීත ගායනා කරල පිටරට සල්ලි හොයාගෙන එනවා. ලොකු කාර්වල යනවා. ඒ සින්දුවලට වාදනය කරන මනුස්සයා වාද්‍ය භාණ්ඩයත් අරගෙන මුළු ජීවිත කාලයේම ගෙදර යන්නෙ බස් එකේ දෙකට නැවිලා. ගීතවලට සම්බන්ධ වුණු අයගේ තත්ත්වෙ ඕකයි.
සප්ත ස්වරයවත් හරියට කියාගන්න බැරි එවුන්, තව ගීතයේ අයිතියත් ඉල්ලන්න එනවා.”
වකුගඩු බද්ධයක් කළ ද පෙර තරම් සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවුණ ද ඔහුගේ අදීනත්වය බිඳ වැටී නොතිබිණි.
සිනමාවේ මුල් යුගයේ අපේ ගායක ගායිකාවන් ගීත ගායනා කළේ ඉන්දියානු සංගීත අධ්‍යක්‍ෂවරුන් යටතේය. එහෙත් කේමදාස ඉන්දියාවේ සුප්‍රකට ගායක ගායිකාවන්ට තනු නිමවා ඔහුගේ අධ්‍යක්‍ෂණය යටතේ ගීත පටිගත කිරීමට අවස්ථාව ලැබුවේය.
තිමති වීරරත්න අධ්‍යක්‍ෂණය කළ ‘නැංගුරම්’ දෙමළ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂවරයා වූයේ කේමදාසය. ඔහුගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ ගායනා කළ එක් සුප්‍රකට විශිෂ්ට ගායකයකු වූයේ කොරෝනා වැළඳී පසුගියදා වියෝ වූ එස්.පී. බාලසුබ්‍රමනියම්ය.
රොඩ්නි විදානපතිරණ