ක්ෂත්‍රියයෝ උපුල්වන් සහ පොසොන් කෙළිය


 

සිංහලයෝ ආර්යන්ගෙන් පැවතෙන්නෝය. ආර්යන්ගේ මුල් වාසභූමිය ලෙස සැලකෙන්නේ දක්ෂිණ රුසියානු ස්ටෙප්ස් තෘණ භූමි ප්‍රදේශයයි. ‘ආර්ය’ යන්නෙහි අර්ථය උතුම් ජාතිය යන්නයි. මුල් යුගයේදී මොවුහු සංචාරයක එ​ෙඬ්රුන් ලෙස සිය අඹුදරුවන්, දැසි දස්සන්, එළු, බැටලු හා ගව රැළවල් සමඟ නව තෘණ භූමි සහ සශ්‍රීක ප්‍රදේශ සොයා සංචාරය කරමින් ක්‍රමයෙන් කණ්ඩායම් වශයෙන් වාර ගණනාවකදී එක් පසෙකින් බටහිර දෙසට ද, අනෙක් පසින් පෙරදිගට ද සංක්‍රමණය වූහ.   


බලවත් අසුරයින්ගේ පාලන බලය පෙරදිග දකුණු දෙස පැවැති බැවින් මොවුනට නැගෙනහිර දෙසට සංක්‍රමණය වීමට සිදුවිය. මෙසේ මධ්‍ය ආසියාතික විවිධ ප්‍රදේශවල ස්ථිර පදිංචිය ඇතිකර ගැනීමත් සමග කල් යාමේදී එම රටවල්වල නමින්ම ඔවුහු හඳුන්වන ලදහ. ඒ අනුව පාර්සි, මීඩියන්, සගර්තියන්, කොරස්මියන්, බැක්ට්‍රියන්, සොග්ඩියන්, හිර්කානියන්, සරංගියන්, ගන්ධාරියන් හා ඉන්දියන් ලෙස මෙම ආර්ය ජනයා ප්‍රභේදනය වූහ.   


ඉහත වැසියන් අතුරින් මීඩියන්වරු සහ පාර්සියන්වරු එකම භාෂාවක් කතා කළ එකම මානව වර්ගයකට අයත්වූවෝ වූහ. ඔවුන්ගේ කථන භාෂාව සිංහල විය. ස්ටෙප්ස් තෘණ භූමිවල සිට ගෙන එන ලද එය දැනට වසර 6000 කටත් පෙර භාවිත වූ කථන භාෂාවක් විය. මෙම දෙවර්ගයා සිය දීර්ඝ සංක්‍රමණයේදී එවකට ශිෂ්ටාචාරයන් උසස් තත්ත්වයේ පැවැති උරාටු දේශය සහ මනු දේශය වැනි රටවල වසර ගණනාවක් තිස්සේ තාවකාලිකව පදිංචි වීමට සිදුවිය.   


 එමගින් ඔවුහු එම රටවල පැවැති ජල පාලනය, බැමි බැඳීම සහ ගොවිතැන් කටයුතු ආදිය පිළිබඳ දැනුම උරාටු දේශයෙන් ද, රාජ්‍ය පාලනය සහ මනු නීතිය මනු දේශයෙන් ද උගත්හ. මීටත් වසර සිය ගණනකට පසු මොවුහු ‘ආර්ය භූමිය’ යන අර්ථ ඇති ආර්මේනියාවෙහි පදිංචි වූහ. එයිනුත් වසර සිය ගණනකට පසු වර්තමාන ඉරානයට නුදුරු ‘එළාම් දේශය’ හෙවත් එළවයිට්වරුන්ගේ රට වූ එළාම් රටට ආසන්න ප්‍රදේශ දෙකක් වූ මීඩියාවෙහි එක් පිරිසක් ද හක්ත්‍රා නම් වූ කඳුකර පෙදෙසෙහි තව පිරිසක් ද වශයෙන් ස්ථිර පදිංචිය ඇතිකර ගත්හ.  


මීඩියාවෙහි (වර්තමාන අසර්බයිජේන් සහ කර්මන්ෂාන්වලින් කොටසකින් සමන්විත වූ ප්‍රදේශය) පදිංචි වූවෝ එම රටෙහි ඇති ශුෂ්ක භාවය නිසා එහි පැවැති සාම්ප්‍රද‌ායික ජලපාලන කටයුතු උගත්හ. අධික වියළි කාලගුණය නිසා ගොවිතැන් කටයුතුවලට අවශ්‍ය ජලය පොළොව යට ගබඩා කිරීමෙන් ඒවා කානු පද්ධති මගින් (උමං මගින්) සැතපුම් සිය ගණන් දුරට ගෙන යාමත් පොළොව යට ඇති ජල නිධි සහ ගබඩා කළ ජලය පොළොව මතුපිටට ජල නළ මගින් ලබා ගැනීමත් ඔවුහු එහිදී උගත්හ. පෙණ කීපයක් සහිත නාග ලාංඡනය මෙම ජල තාක්ෂණය හා සම්බන්ධ සංකේතයක් විය.  


 හක්ත්‍රා පෙදෙසෙහි පදිංචි වූ අනෙක් ආර්ය පිරිස පසු කාලයේදී පාර්සියන් ආර්යන් ලෙස ප්‍රසිද්ධ වූහ. මෙම පිරිස් පදිංචි වූ හක්‍ර කඳු හෙවත් හක්ත්‍රා පෙදෙස වර්තමානයේදී හඳුන්වනු ලබන්නේ ‘සාර්ගොස්’ කඳු වළල්ල වශයෙනි. මෙම උස් භූමිය මැදින් ගලා බසින රලන්ඩා ගඟ එම කාලයේදී හඳුන්වන ලද්දේ හක්‍ර ගඟ යන නමිනි. මෙම හක්‍ර ගඟ දෙපස සිය ජනාවාස ඉදිකර ගැනීම නිසා ඔවුහු හක්‍ර හෙවත් ශක්‍ර වැසියන් බවට පත්වූ බව මානව විද්‍යාඥයෝ ප්‍රකාශ කරති. සඳහන මෙසේය.  


 ."In ancient Elam; Zaqros might have been 'Sacros' the earlier Olympus and above of 'Sacra' the king of the gods connected with the Latin 'Sacer'. Hackra was so known up to the first tributary of the river from where it become known as the Sindu after 'Sin' or 'Sinhala'...."  


World Ethnology from 6000 B.C. Cultural and racial - Rama Press, 2/11, Mount Road, Madras (1954) - P.15   


හක්‍ර යනු සංස්කෘතයේදී ‘ශක්‍ර’ නමින් ද සිංහලයේදී ‘සක්ක’ යන නමින්ද ව්‍යවහාර කෙරේ. ක්‍රමයෙන් ඉන්දියාවේ සින්ධු නදී තීරයට පැමිණ එහි පදිංචි වූ පසු ඔවුහු සිංහ වැසියන් බවට පත්වූහ. පසුකාලීනව ලංකාවට පැමිණි මෙම පිරිස් සිංහලයින් බවට පත් වූ අතර ඒ අනුව අප රට ‘සිංහලේ’ බවට පත් විය.  


 මෙම කාලවකවානුවේදී බැබිලෝනියා සහ ඇසිරියා (අසුර) අධිරාජ්‍යයන් හි භාවිත වී ඇත්තේ ‘හැමිටෝ සෙමිටික්’ හෙවත් අප්‍රිකාසියා භාෂා පවුලට අයත් උප භාෂාවක් වූ ‘අක්කාඩ්’ නමින් හැඳින්වූ බසකි. සිංහල බස ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයත් ඉන්දු ආර්ය භාෂාවකි. ඉන්දු යුරෝපීය භාෂා සමානත්වය පිළිබඳව පර්​ෙ‌ය්ෂණ පැවැත්වීමේ ගෞරවය හිමිවන්නේ 1786 දී එම කාර්යට මුල පිරූ බ්‍රිතානය ජාතික විලියම් ​ෙජ්න්ස් පඬිවරයාටය.  


 ඔහු විසින් බෙංගාලයේ රාජකීය ආසියාතික සංගමය ආරම්භ කරන ලදී. යුරෝපයේත් රුසියාව ඇතුළු ආසියාවේත් දැනට අභාවයට ගොස් ඇති භාෂා ඇතුළුව භාෂා විශාල සංඛ්‍යාවක් පර්​ෙ‌ය්ෂණයට භාජනය කර අනාවරණය කළ මතය ‘ආර්ය භාෂා පිළිබඳ මතවාදය’ ලෙස සැලකේ.  


විලියම් ජෝන්ස් ආරම්භ කළ මෙම පර්​ෙ‌ය්ෂණ කටයුත්තට ජර්මන් ජාතික ෆරාන්ස් බොප්, ජාකොබ් ග්‍රීම්, ඩේන් රස්මුස් රස්ක්, මෙන්ම තෝමස් කෝල්බෲක්, සෙලීචර්, හම්බෝල්ට්, මැක්ස්මුලර්, රොට්බොක්ලිස්ක් ආදීහු ද පසුකාලීනව එකතු වූහ. සිංහල බස පිළිබඳව ඔවුන්ගේ මතය මෙසේය.  


‘මහාචාර්ය ෆරාන්ස් බොප් (Franca Bopp) සහ මහාචාර්ය ඕගස්ට් සෙලීචර් (August Seliecher) නම් වූ ජර්මන් ජාතික දෙපොළ විසින් 1861 දී ප්‍රකාශයට පත්කර ඇති එම පර්​ෙ‌ය්ෂණ ග්‍රන්ථය මගින් අපගේ සිංහල බස පිළිබඳව දක්වා ඇති හෙළිදරව්ව ඉතා වැදගත්ය. සිංහල භාෂාවේ මූලය බ්‍රාහ්මී අක්ෂර හෙවත් අශෝක අක්ෂර වේ.  


සිංහල භාෂාවේ ප්‍රභවය වසර 6000 ක් පමණ ඈතට දිව යන බවත් පූර්ව ඉන්දු යුරෝපීය භාෂාවක් වූ එය ක්‍රි.පූ. 4500 - 3500 ක් අතර කාලයේදී දක්ෂිණ රුසියානු ප්‍රදේශවල එඬේරුන් විසින් භාවිත කළ කථන භාෂාවක් වූ බව සත්‍ය වශයෙන්ම පිළිගත හැකි බව ඔවුහු ප්‍රකාශ කරයි. දක්ෂිණ රුසියානු තණබිම්වල වැසියන් ආර්යයන් ලෙස යුරෝපයට සහ ආසියාවට සංක්‍රමණය වූයේ ඔවුන්ගේ එම ව්‍යවහාරික භාෂාව ද සමඟ බව ඔවුහු දෙදෙනා තවදුරටත් සඳහන් කරති.’  


සින්ඩ් හෙවත් සින්ධු නදී තීරයෙහි පදිංචි වූ සිංහ වැසියන් ක්‍රමයෙන් ගංගා නම් ගංගා තැනිතලා පෙදෙස්වලට අවුත් ජනපද පිහිටුවා ගත් අතර. ක්‍රි.පූ. හත් වන ශත වර්ෂය වන විට සුර්සේනි නමින් ජනපදයක් යමුනා ගඟබඩ පිහිටුවා ගන්නා ලදී. මොවුන්ගේ අග නගරය වූ මථුරාව හඳුන්වන ලද්දේ ‘සිංහ පුරය’ යන නමිනි. සාරානාත් කෞතුකාගාරයේ ඇති මෙම පෙදෙසින් සොයා ගත් කෞතුක භාණ්ඩ විස්තර කර ඇත්තේ මථුරාව හෙවත් පැරණි සිංහ පුරයෙන් සොයාගත් ද්‍රව්‍ය වශයෙනි. සුර්සේනි ජනපදයේ සිට පැමිණි පිරිස ලංකාවේ රාජ්‍යත්වයට පත් වූහ. විල්හෙල්ම් ගෛගර් පඬිතුමා ‘ලංකාවට සිංහල නාමය ගෙන එන ලද්දේ පණ්ඩුවාසදේව විසින්’ යැයි පවසන්නේ මේ නිසාය.  


පාර්සි අධිරාජ්‍යයේ සමකාලීන ග්‍රීක් ඉතිහාසකරුවෙකු වූ හැරඩෝටස්ගේ පොත්පත්වලද, හෝමර්ගේ ඉලියාඩ් සහ ඩඩිසි ග්‍රන්ථවලද, ඉන්දියාවේ රාමායණය සහ මහාභාරත ග්‍රන්ථවල ද බුදුරදුන්ගේ බොහෝ සූත්‍ර දේශනාවල ද මෙම ආර්යන් පිළිබඳව බොහෝ විස්තර ඇතුළත්ව ඇත. ඒ අනුව මෙම ආර්​ෙ‌යා් ශිෂ්ටත්වයෙන් සහ යසඉසුරින් යුත් පිරිසක් වූහ. හැරඩෝටස් විසින් මීඩියාව ලෙස හඳුන්වා ඇති පෙදෙසේ පදිංචි වූ ආර්යන් නාග ලෙස හඳුන්වා ඇති අතර මුල් කාලයේදී නාගයා ඇදහූ මොවුහු පුරාණ ලෝකයේ විවිධ දේශ කරා ශිෂ්ටාචාරය ගෙනගිය පිරිසක් වූහ.  


 මුහුදු ගමන් හා ගොඩබිම් මාර්ග ඔස්සේ ජාත්‍යන්තර වෙළෙඳ කටයුතුවල නියුක්තව සිටි මොවුහු ක්‍රි.පූ. 2000 පමණ වන විට පෙරදිග රටවල බලවත් ජන වර්ධනයක් බවට පත් වී සිටියහ. එහෙත් බලවත් අසුරයින් නිසා ක්‍රි.පූ. 835 දී පමණ වන විට මොවුහු දුර්වල ජාතියක් බවට පත්වූහ. එහෙත් ක්‍රි.පූ. 532 දී පමණ වන විට නැවත ප්‍රබල ජාතියක් බවට පත් විය. චර්ක වර්ගයක් වූ සිතියන් හෙවත් ශාක්‍යයන් අසුරයින්ගේ මිත්‍ර පාර්ශ්වයක් විය. ශාක්‍යයන් විසින් මීඩියන්වරුන්ගේ රට වසර විසි අටක් යටත් කරගෙන පාලනය කරන ලදී. එහෙත් මීඩියන්වරු බැබිලෝනියන්වරුන්ගේ සහාය ලබාගෙන ශාක්‍යයන් පලවා හරින ලදී. ඉන්පසු මීඩියන්වරු සහ බැබිලෝනියන්වරු යන දෙපිරිස එකතුව වසර ගණනාවක් තිස්සේ සටන් කොට දෙපිරිස විසින් අසුර රට සම සේ බෙද‌ාගත්හ. ඒ ක්‍රි.පූ. 608 දීය. මෙම කාලය වන විට බැබිලෝනියාව, මිසරය, ලිඩියාව,සහ මීඩියාව මිත්‍ර රාජ්‍යයන් බවට පත් වී තිබුණි.  
හක්ත්‍රා දේශය අසල්වැසි පාර්සා දේශය යටත් කර ගති. ඉන්පසු මුළු රාජ්‍යය කොටස් දෙකකට බෙද‌ා පිය රජු ජීවත්ව සිටියදීම සිය දරුවන් දෙදෙනාට පවරා දෙන ලදී. එහෙත් නොබෝ කලකින් රටවල් දෙක මීඩියාව විසින් යටත් කරගන්නා ලදී. ඒ අනුව රටවල් දෙක එක් රටක් බවට පත් කළ මීඩියන්වරු එක් රජෙකු පමණක් මීඩියාවේ ප්‍රාන්ත රාජයා බවට පත් කර ගත්හ.  


හක්ත්‍රා දේශයේ රාජ්‍යත්වය අහිමි වූ රජතුමා සිය බළසේනා සමඟ උත්තර භාරතයට පැමිණ එහි නේපාල පෙදෙසේ කපිලවස්තු පුරය නමින් නුවරක් කරවා එහි රාජ්‍යත්වයට පත් විය. කපිල යන්නෙන් හැඳින්වෙන්නේ තල හේන්වලටය. නේපාල වැසියෝ සිය ආහාර පාන පිළියෙල කරගැනීම සඳහාත් ඖෂධීය භාවිතයන් සඳහාත් තල තෙල් භාවිත කරති. හැරබෝටස් විසින් මෙම රජුගේ නම ආර්යා රම්නේස් ලෙස සඳහන් කරන අතර බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන්නේ ඔහුගේ නම ජයසේන මහරජු බවය. ඔහු මහා සම්මත පරපුරේ විසිඅට වැනියා වන අතර ශුද්ධෝදන රජ පරපුර ඇතිවන්නේ ඔහුගෙනි.  


හක්ත්‍රා වැසියන් මීඩියාවට යටත්ව සිටියේ ඉතා කෙටි කාලයකට පමණි. මීඩියාවට යටත්ව සිටි හක්ත්‍රා සහ පාර්සා දේශයේ ප්‍රතිරාජයා වූ පළමු වැනි කැම්බීසස් මීඩියාවේ අධිරාජයා වූ අස්නියාගේස්ගේ දියණියක විවාහ කරගනී. එම දෙපොළගේ පුත්‍රයා සයිරස් කුමරු විය. මීඩියන්වරු විවිධ දෙවි දේවතාවුන් ඇදහූ පිරිසක් වූහ. ඔවුන් උදෙසා පෙනී සිටි මඝයින් හෙවත් භාමණ නම් පූජකවරු රටේ පාලකයින්ගේ දුශ්චරිත ක්‍රියාවලට උදහස්ව සිටි මීඩියාවේ සාමාන්‍ය වැසියන් ද සම්බන්ධ කරගෙන හක්ත්‍රා වැසියන් මීඩියානු අධිරාජයාට විරුද්ධව විශාල කැරැල්ලක් ඇති කළහ.  


 ඒ අනුව මීඩියාව යටත් කරගත් හක්ත්‍රා වැසියෝ සයිරස් කුමරුන් රාජ්‍යත්වයට පත් කරගත්හ. ඉන්පසු ඔහු බැබිලෝනියාවේ ආධිපත්‍යය සඳහා අස්නියාගේස් දරුණු සටනක් කෙළේය. එයින් ද ජය ලැබූ සයිරස් කුමරු ‘මහා සයිරස්’ නමින් පෙරදිගට අධිපති විය. නාග ලෝකය නමින් හැඳින් වූ මීඩියාව ද, දේව ලෝකය ලෙස සැලකූ හක්ත්‍රා දේශය ද යන දෙරටෙහිම පාලකයා බවට පත්වූ සයිරස් මහරජු පෙරදිගට අධිපති සක්දෙවිඳු බවට පත්විය. බෞද්ධ සාහිත්‍යයෙනි.  


‘දහසක් දිවැස් ඇති  
දෙදෙව් ලොවටම අධි පති  
මට ඉඳුරු දික් පති  
දනෝ සක් දෙවිඳු යැයි පවසති’  


එසේ සඳහන් වන්නේ එම සිදුවීමයි. මෙහි දහසක් දිවැස් යනු රජුගේ හමුද‌ාවේ සිටි දහසකින් සමන්විත චරපුරුෂ සේවයයි. මහා ඩේරියස් යුගය වන විට එය අධිරාජ්‍යයන් හයක් සහිතව රටවල් විසිඅටක ස්වාධීනත්වය දරන වර්ග සැතපුම් තිස්පන් ලක්ෂයක් පුළුල් වූ ලෝකයේ ප්‍රථම චක්‍රවර්ති රාජ්‍යය බවට පත්විය.  


 දේව ආගම් තහනම් කළ පාර්සියන්වරු ශක්‍ර ධර්මය හෙවත් ක්ෂත්‍රීය ධර්ම සහ ක්ෂත්‍රීය අධ්‍යාපනය මගින් දියුණුවේ ඉහළම තලයට පත්වූහ. මේ නිසා පාර්සි දේශය ‘පාරාදීසය’ හෙවත් ‘පැරඩයිස්’ එනම් ‘දෙව්ලොව’ ලෙස ව්‍යවහාරයට පත් විය. එහි වැසියන්ට මහත් ධන සම්භාරයක් රැස්කර ගැනීමටත් යටත් දේශවාසීන් කෙරෙහි අධිපතිකම් කිරීමටත් හැකියාව ලැබුණි. මේ නිසා පර්සි වැසියන් විසින් ​‘දේව’ හෙවත් ‘දේවයෝ’ ලෙස හඳුන්වනු ලැබිණ. පුරාණ ලංකාවේ ආර්ය ජන කොටස් පිළිබඳව පර්​ෙ‌ය්ෂණ කෘතියක් ඉදිරිපත් කළ ආචාර්ය සරත් අමුණුගම මහතා මෙසේ සඳහන් කර ඇත.  


‘ඉරානය හෙවත් අයිරාණය යන්නෙනි අර්ථය ආර්යයන්ගේ රට යන්නය. එය පුරාණයේදී හඳුන්වන ලද්දේ පර්සියාව යන නමිනි. පාර්සියානු වැසියන් ඉන්දියානු ආර්යන් විසින් හඳුන්වන ලද්දේ ‘දේව’ යන නමිනි.’  


I ancient Times Persia was Known ad 'Iran' Meaning The Country of The 'Aryan' The People of Persia or Iran were Called 'Devas' by The Aryans of India' (The History of ancient Aryans Tribes in Sri Lanka)   


විල්හෙල්ම් ගෛගර් මහතා සඳහන් කරන්නේ ‘දේව’ යන්නෙන් අදහස් කරන්නේ ‘ක්ෂත්‍රියෝ’ යන්න බවය. එසේම එය ‘රජතුමා’ යන්නට සමාන වචනයක් බවය. ඔහු මෙසේ සඳහන් කරයි.  


‘දේව යන්නෙහි පැහැදිලි සහ නිශ්චිත අර්ථය ‘රජ’ යන්නය. එය ක්ෂත්‍රීය කුල පාර්යාය නාමයකි.’  


(Geiger- Mahawansa, The Coming of The Bodhi Tree)  


ඔහු තවදුරටත් සඳහන් කරන පරිදි ක්ෂත්‍රියා හුදු උසස්ම පන්තියේ කෙනෙකි. කුලීනයෙක් හෝ කුමාරයෙක් විය. පාලි බෝධි වංශයෙහි වේදිස දේවියගේ සහෝදරයින් අටදෙනා ඛන්තිය කුමාරවරු ලෙසට සඳහන් කරයි. ඛන්තියන් යන්න සංස්කෘතයෙන් ක්ෂත්‍රීය’ වේ. සිංහලයේදී කැත් කුලය ලෙසද සෙල්ලිපිවල කැත්කුල කොත් ඔකාවස් පරපුරෙන් පැවැතෙන ලෙස ද සඳහන් කර ඇත්තේ මෙම ආර්ය ජනයාය.  


‘සවුළු’ යන්නද ’ක්ෂත්‍රීය’වේ. සවුළු විජයබා, සවුළු පැරකුම්බා ආදී ලෙස සඳහන් කර ඇත්තේ ද එයයි. ආචාර්ය විජය විමලසූරිය මහතා ප්‍රකාශ කරන්නේ,  


 “දඹදෙණි හා කුරුණෑගල යුගවල සිට මුල් ලම්භකර්ණ කුලවතුන්ගෙන් කොටසක් සවුළු නමින්ද, වෙනත් කොටස් කඳවුරු ගම් කුල, මෝරිය කුල, මාපඩි වස ඈ නම්වලින්ද හඳුන්වන ලද්දේය” යනුවෙනි.  


 නිශ්ශංක අලගක්කෝණාරගේ පුත් කුමාර අලගක්කෝණාර සෙල්ලිපිවල හඳුන්වා ඇත්තේ “සිවල්කොළු ලක්දිව් අධිකාරි” යනුවෙනි. නිශ්ශංකමල්ල රජතුමා සිය ගල්පොත සෙල්ලිපියෙහි සඳහන් කරන්නේ ලංකාවේ රාජ්‍යත්වය සෑම විටම ක්ෂත්‍රීයයන් සතු විය යුතු බවය. සඳහන මෙසේය.  


 අන් කුලයන්ගෙන් මෙන්ම ක්ෂත්‍රීය පවුල්වලට හිමි මෙරට රාජ්‍යත්වය නගාසිටුවීම සඳහාත් ඔවුන්ගේ වර්ග පරම්පරාවන්ගේ ගෘහශීල කුලාචාර රැකදී පෙළපතේ ගරුත්වය ආරක්ෂා කර බිය තුරන් කොට සෞභාග්‍යය නැවත ඇතිකර දුන් සූර්ය වංශයට තිලකයක් බඳු වක්කාක රාජවංශ පරපුරෙන් පැවතෙන නිශ්ශංකමල්ල කාලිංග පරාක්‍රමබාහු චක්‍රවර්තීන්ගේ රාජ ප්‍රඥප්තිය මෙසේය.  


(EZ-VOl-ii-1912-1917,P-159-164)  


මෙම ලිපියේ සඳහන් ගෘහශීල කුලාචාර යනු උගත්කම, හික්මීම හා කුලසිරිත් වේ. ගම් සිරිත්, රට සිරිත්, පෙර සිරිත් මෙන්ම ඒ ඒ කුලය සඳහා බැඳුණු කුල සිරිත් ද විය. ක්ෂත්‍රියයෙකු වීමට ක්ෂත්‍රිය ධර්මය මෙන්ම ක්ෂත්‍රිය අධ්‍යාපනය ද ප්‍රගුණ කළ යුතු විය.  


 උපුල්වන්  


 උපුල්වන් යනු දෙවියෙක් හෝ දේවි ආගමක් නොවේ. එය මානුෂීය දහමකි. එය සූර්යා මුල්කොට ගත් දහමක් නිසා සූර්යා හෙවත් ආලෝකය සංකේතවත් කරන්නේ ගිනි සිළුවකිනි. එම නිසා උපුල්වන් දේවාලවල දේවරූප හෝ රූකඩ වන්දනාවක් නොපැවතුණි. දෙළොස්මගේ පහන නිටුපන් පහන වැනි නාම එවැනි දේවාල ආශ්‍රිතව ව්‍යවහාර වූයේ ඒ නිසාය.  
මුල් කාලයේදී ආර්යන්ගේ ආගම වූයේ ස්වභාවධර්මය ඇදහීමය. පසුව එය මානුෂීය ගැඹුරු ධර්මයක් දක්වා සංවර්ධනය විය. පාර්සියන් ආර්යන් උත්තර භාරතයට මෙන්ම ලංකාවට ද පැමිණියේ ඔවුන්ගේ ආගම වූ ශක්‍ර ධර්මය හෙවත් ක්ෂත්‍රීය ධර්මය සමගිනි. පාර්සියාවේදී සරගුප්ත ධර්මය ලෙස හැඳින් වූ එය ලංකාව හා ඉන්දියාවේදී හඳුන්වන ලද්දේ උපුල්වන් ඇදහීම යනුවෙනි.  


 ඉරානයේ මධ්‍ය දේශය හෙවත් මීඩියාවේ (වර්තමාන අසර්බයිජේන් හා කර්මන්ෂාන්) අරාස් ගඟ අසල උපන් සරතුෂ්ත්‍ර තුමා වයස අවුරුදු තිහේදී සත්‍ය සෙවීම සඳහා ගිහිගෙහින් නික්මී කඳුකරයට ගොස් භාවනානුයෝගී විය. සත්වයා හට දුක ඇතිවීමට හේතුව සහ මිනිසා ඉන් ගලවා ගැනීම සඳහා මාර්ගයක් සෙවීම ඔහුගේ අරමුණ විය.  


 කන්දක් මත වූ ගල්ගුහාවක භාවනානුයෝගීව සිටි ඔහුට දිනපතා දක්නට ලැබුණේ උදේම සූර්යා පායා ඒමත් සවසට ඉර බැස යාමත්ය. සූර්යා පායා ඒමත් සමඟ ආලෝකය ඇති වීමත් ඉර බැස යාමේදී අන්ධකාරය ඇතිවීමත් කෙරෙහි සිය අවධානය යොමු කෙළේය. ස්වභාවධර්මයේ සිදුවන මෙම ක්‍රියාවලිය අනුව ලෝක ස්වභාවය මත යහපත සහ අයහපත ඇතිවන අතර ඒ අනුව මිනිස් සිත තුළ ඇතිවන අවිද්‍යාව අන්ධකාරය බවත් ඉන් මිදී සත්‍යාවබෝධය ලබා ගැනීම ආලෝකය කරා යා හැකි මඟ බව ඔහු ප්‍රකාශ කෙළේය.  
මහා ඩේරියෂ්ගේ පිය රජතුමා වූ හක්ත්‍රා දේශයේ විස්කාස්ප රජු හමු වූ සරතුෂ්ත්‍ර තුමා තම ධර්මය උගතුන් සඳහා වූ දහමක් බවත් බොරුව වෙනුවට සත්‍ය පහද‌ා දීමටත් දේව විශ්වාස හා ඒ මත කෙරෙන රූකඩ වන්දනාව වැරදි බවත් එය රාත්‍රීය මෙන් අන්ධකාර බවත් සිය ධර්මය දහවල් එළිය මෙන් දිලෙන බවත් පැවැසීය. මෙහිදී රාජ සභාව අසන්නන් ලෙසත් රජතුමා මැදිහත් විනිශ්චයකරුවෙකු ලෙසත් සිටිමින් දින තුනක් තිස්සේ සිදුකළ විවාදයකින් පසුව සරතුෂ්ත්‍ර තුමාගේ ධර්ම මාර්ගය නිවැරදි බවත් පිළිගත් රජතුමා එම දහම් කොටස් හරක් සම් 12,000 ක ලියවා තැබීමට ද එකඟ විය.  


මේ වන විට පාර්සියානු අධිරාජ්‍ය තුළ විවිධ දෙවිදේවතාවුන් ඇදහීමත් ඒ හා බැඳුණු දේවාල හා පූජක පිරිස් නිසාත් ජනතාව පීඩනයට පත්වී සිටියහ. දෙවියන් අදහන්නෝ කුහක හා ආත්මාර්ථකාමීන් බවට පත්ව සිටියහ. විවිධ දෙවිවරු ඇදහීම මත සමාජය භේද බින්නව සිටීම නිසා රටේ සංවර්ධන කටයුතු අඩාළ වී තිබුණි. මේ නිසා මහා චේරියස්ගේ කාලය වන විට ඔහු විසින් රට තුළ දේව ආගම් ඇදහීම තහනම් කළ අතර සරතුෂ්ත්‍ර දහම රාජ්‍ය ආගම බවට පත් කෙළේය. ඒ අනුව මෙම ධර්මය ක්ෂත්‍රීය ධර්මය හෙවත් ශක්‍ර ධර්මය බවට පත් විය.  


 ශක්‍ර ධර්මයට අනුව මිනිසා දුකෙන් මිදී සුගතියට පත්වීම ස්වර්ග රාජ්‍යයට යාමම විය. ඒ සඳහා මිනිස් සිත තුළ බලපැවැත්වෙන සිතුවිලි වචන සහ මිනිස් ක්‍රියාකාරකම් ක්‍රියාකාරී වන ආකාරය විග්‍රහ කෙරේ. මෙම ධර්මයට අනුව ස්වර්ග රාජ්‍යය හෙවත් දෙව්ලොව පිහිටියේ තමා ජීවත්වන සමාජය තුළමය. තම සමාජය දුකෙන් තොර දෙව්ලොවක් කර ගැනීමට සියල්ලෝම ක්‍රියා කළ යුත්තේ  


 (1) යහපත් සිතුවිලි  
(2) යහපත් වචන සහ  
(3) යහපත් ක්‍රියාවල නියුක්ත වීමෙනි. එමගින් අවිද්‍යාවෙන් මිදීමටත්, සත්‍යාවබෝධය ලබා ගැනීමටත් හැකි වේ. එය අඳුරෙන් ආලෝකය කරා ගමන් කිරීමේ මාර්ගය වේ.  
 යහපත් සිතුවිලි  


(අ) පොදු මිනිසා සමඟ සාමද‌ානයෙන් එක්සත්ව වැඩ කිරීම.  
(ආ) අනතුරකදී ඔහු ආරක්ෂා කිරීම.  
(ඉ) නැති බැරිකම්වලදී ඔහුට උදව් කිරීම.  
(ඊ) සුදුසු අධ්‍යාපනයක් දීමෙන් ඔහුගේ බුද්ධිය උසස් කරමින් සුදුසු කාලයෙහි විවාහ වීමට ඔහුට අනුබල දීම.  
(උ) අපට කළ හැකි සියලු ආකාරයෙන්ම අප අවට සිටින්නන්ගේ යහපත හා සෞභාග්‍යය සලසා දීම.  


යහපත් වචන  


(අ) සියලු වෙළෙහෙළඳ‌ාම් කටයුතුවලදී අවංකකම හා සත්‍ය පාවිච්චි කිරීම.  
(ආ) අනුන්ට නින්ද‌ා අපහාස නොකිරීම.  
(ඉ) අනුන්ගේ සිත් රිදීමට හේතු වන කිසිවක් නොකිරීම.  
(ඊ) සියලු වේලාවලදීම ඊර්ෂ්‍යා, ක්‍රෝධ හා කලහ ඇතිවීමට හේතු වන වචන නොකියා මෙත් සිත හා දයාව උපදවන වචන කීම.  


යහපත් ක්‍රියා  


(අ) සුදුසු නුසුදුසුකම් නොබලා දුප්පතුන්ගේ උවමනා පිරිමැසීම.  
(ආ) අප වෙනුවෙන්ම පමණක් නොව සියලු මනුෂ්‍ය වර්ගයාගේම යහපත සඳහා ජලසම්පාදනය ඇතිකොට පොළොව වගා කිරීම.  
(ඉ) අපට වැඩිපුර ලැබෙන දෙය අන්‍ය ලෝකයාගේ යහපත සඳහා යෙදවීම.  


 මීට අමතරව,  


 (අ) පමණ දැන ස්වභාවධර්මයට එකඟව කෑම බීම හා ස්වභාවධර්මයෙන් ලැබී ඇති අන් සැප විඳීම.  
 (ආ) යහපත් ආගමික ජීවිතයක් ගත කිරීම.  
(ඉ) කායික මානසික හා සද‌ාචාරිය විශ්‍රාමය වැනි සාමාජික සැප ලබා ගැනීම.  
(ඊ) විවාහය සුදුසු බව.  
(උ) පතිවත රැකීම, ස්වාමි පුරුෂයාට කීකරු කීම, භාර්යාවක් සතු ගුණාංග විය යුතු අතර ස්වාමි පුරුෂයා විසින් බිරිය සමාජ තත්ත්වයෙන් සහ කටයුතුවලදීත් ඇය සමාන ලෙස සැලකීම හා නිදහසෙනුත් එසේ සැලකිය යුතු වීම.  
 (ඌ) සිය පරම්පරාවේ ගෞරවය සඳහාම නොව මුළු වර්ගයාගේම යහපත සඳහා දරුවන් සෑදීම හා ඇතිදැඩි කිරීම.  
(එ) ඔවුනට හොඳ ශරීර ශක්තියක් මෙන්ම හොඳ චරිත ශක්තියක් ඇති කරදීමට සමත් අධ්‍යාපනයක් ලබා දීම.  
(ඒ) සතුන් පාලනය සහ ඔවුන්ට සැලකීම.  
(ක) මනුෂ්‍යයාගේ ආහාරය සඳහා සමහර සතුන් පමණක් කාරුණික ක්‍රම සහ කඩිනමින් මැරීමට ඉඩදීම.  


සඟරම්මු  


 වර්තමානික බොදුනුවන් පන්සිල් පද රකින්නාක් මෙන් පාර්සියන් සමාජයේ සෑම ගිහියෙකු විසින් පිළිපැදිය යුතු ශික්ෂා පද හතක් විය. ඒවා නම්.  


(1) දිවිහිමියෙන් මව්පියන් පෝෂණය කිරීම.  
(2) දිවිහිමියෙන් කුලදෙටුවන් පිදීම.  
(3) මෘදු ප්‍රියතෙපුල් බිනීම හා පරුෂ වචනයෙන් වැළකීම.  
(4) කේලාම් කීමෙන් වැළකීම.  
(5) දීමෙහි ඇලුම් වූ දෙවි අන් ඇත්තෙම් දිවිහිමියෙන් පහ වූ මසුරුවලින් යුතුව ගිහිගෙයි විසීම.  
(6) දිවි හිමියෙන් සත්‍ය කතා කිරීම හෙවත් බොරු නොකීම.  
(7) ක්‍රෝධය වැළැක්වීමට වෙර දැරීම.  


මෙම ශික්ෂා පද පිළිපැදීමෙන් රටවැසියා පංච ඉන්දීය සංවර වූවෝ විය. සංඝ යනු සංවර වේ. සංවර වූ සමූහය ‘සඟරම්’ විය. එසේම මෙම සත්වන පද රැකි පුද්ගලයින් ‘සත්පුරුෂයෝ’ ලෙස හඳුන්වන ලදහ.  

 

 


මතු සම්බන්ධයි...


එම්.කේ. ජයසේන
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය