කැමැත්තෙන්ම නොම්මර තුනට ගිය ටෝනි


සුප්‍රකට රංගවේදී ටෝනි රණසිංහගේ සම්පූර්ණ නම වන්නේ රණසිංහ හෙට්ටිආරච්චිලාගේ ඉග්නේෂස් ඇන්තනී සිල්වා ය. පසුකලෙක එය තරමක් කෙටි වී ඇන්තනී ඉග්නේෂස් රණසිංහ විය.   


ඇන්තනී ඉග්නේෂස් රණසිංහ, ටෝනි රණසිංහ වූයේ කෙසේදැයි මම දිනක් ඔහුගෙන් ඇසුවෙමි. ඒ පිළිතුර මෙසේය.   


“මෙය ඉංග්‍රීසි භාවිත නොකරන අයට තරමක ගැටලුවක්. දැන් අපි බලමු ජෝන් කීවොත් ජැක් කියලයි ලේසියට පාවිච්චි කරන්නෙ. ඒ වගේම රොබට් බොබ්, එඩ්වඩ් ටෙඩී අන්න ඒ විදියට ඇත්නනී කියන නමටත් ටෝනි කියලයි කෙටියෙන් භාවිත වෙන්නෙ. මේ ක්‍රමය සිංහල ව්‍යවහාරයෙ සමහර නම්වල වුණත් දකින්න පුළුවන් දෙයක්. මගේ සමහර මුල් වේදිකා නාට්‍යවල ඇන්තනී රණසිංහ කියලයි සඳහන් වෙන්නේ.”  


ඔහු එකල මේ අදහස් පළ කළේ මරදානේ සිරිධම්ම මාවතේ පිහිටි ඔහුගේ ගෙදර තිබූ කුඩා පුස්තකාලයේ පොත් අසුරමිනි. වරින්වර ගෙනත් එකතු කරගෙන ඇති ඔහුගේ පොත් රාක්කයේ එකල වඩාත්ම දක්නට තිබුණේ ලෝකයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ චරිතාපද‌ානය.   
මහත්මා ගාන්ධි, ලෙනින්, කාල් මාක්ස්, ඩී.එස්. සේනානායක වගේම විශිෂ්ට රංගවේදීන් වූ ලෝරන්ස් ඔලිවියර්, මාලන් බ්‍රැන්ඩෝ, රිචඩ් බර්ටන් ආදීන්ගේ ජීවිත කතා එහි තිබූ බව මට මතකය.   


“මම සිනමා ශිල්පියෙක්. ඉතින් නළුවෙක් හැටියට තව ටිකක් ඉදිරියට යන්නට මේ පොත් කියවල ලැබෙන අත්දැකීම් විශාලයි. මට මතක් වෙනව රිචඩ් බර්ටන් වරක් මාධ්‍යවේදියකුට කී අදහස.”   
‘මගේ එකම බලාපොරොත්තුව ජීවිතයේ එක සැරයකට හරි විශිෂ්ට රඟපෑමක් ඉදිරිපත් කරන්නයි. මට දැන් අවුරුදු හතළිහක් වෙනවා. (ඒ 1977 දී ඔහුගේ වයසය.) ඉතින් මගේ ඉදිරි අවුරුදු දහය තුළ හොඳ රඟපෑම් දහයක්වත් ඉදිරිපත් කරන්න ලැබුණොත් මට ඇති.’   
ඔහු තම නිවසින් එළියට ආවේ බොහෝ කලාතුරකිනි. එකල මා නැවතී සිටියේ ඔහුගේ නිවස ආසන්නයේම බෝඩිම් කාමරයක වුවත් ටෝනි දැක ගැනීමට ලැබුණේ අහම්බෙනි. ඒ කිට්ටුව ජනතාව පවා ඔහු නිතර දැක ඇතැයි මම නොසිතමි.   


 “මම දවසක් වැලිගම ෂූටින් ගිය වෙලාවෙ ‘විරාගය’ පොත හොයගන්න කඩමණ්ඩියට ගියා. පොත් අවුස්සනකොට සුගතපාල ද සිල්වාගේ නිල් කට්රොල් මල් නාට්‍යයේ සමරු කලාපයක් තිබුණා. මම ඒ නාට්‍යයේ රඟපෑවත් ඒ සමරු කලාපය මා ළඟ තිබුණේ නෑ. මම එය මිලදී ගත්තා.” ඔහු වරෙක කීවේය.   
 ආචාර්ය තිස්ස අබේසේකරයන් ‘විරාගය’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට පෙර විරාගයෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමග චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ටෝනි තුළ අදහසක් තිබුණේය. එකල තරුණ වියේ සිටි ටෝනි ‘අරවින්ද’ගේ චරිතය රඟපාන්නට අදහස් කරගෙන සිටියේය.   
“හන්තානෙ කතාව’ කරන කාලෙ විජය මට කිව්වේ මම තමයි ඔහුගේ හොඳම නළුව කියලා” ටෝනි මා සමඟ දිනක් පැවසීය.   
හන්තානේ කතාවේ ටෝනි රඟපෑවේ අනුර නම් සරසවි ශිෂ්‍යයකුගේ චරිතයකි. එය බොහෝ විට මානසික වශයෙන් ඇතුළු හදටම සීමාවූ අමුතු චරිතයක් විය. ඇතැම් විචාරකයන් එකල කීවේ සිරි ගුණසිංහගේ හෙවණැල්ල නවකතාවේ කිසියම් ආභාෂයක් එහි දැකිය හැකි බවය. ටෝනිට තිබුණේ සියුම් හැඟුම් නිරූපණ මගින් අනුරගේ චරිතය තිරයේ මැවීමය.   
 විජය සිනමාවට හඳුන්වා දෙන චිත්‍රපටය ලෙස සැලකෙන්නේ හන්තානේ කතාවයි. බන්දු නම් කෙළිලොල් සරසවි සිසුවකුගේ චරිතයක් විජය එහි රඟපෑවේය. විජයට වඩා ටෝනිට හන්තානේ කතාවේ චරිතය අභියෝගයක් විය.   
 කෙසේ වුවත් ටෝනි සියුම් හැඟුම් නිරූපණයේදී දස්කම්පාන විශිෂ්ට රංගධරයෙකි. හන්තානේ කතාව පමණක් නොව දුහුළු මලක්, අහසින් පොළොවට, දෙලොවක් අතර වැනි චිත්‍රපටවල ද ඔහුගේ එම ලක්ෂණය විශේෂයෙන් දැකිය හැකිය.   


“හුඟ දෙනෙක් කියන්නෙ මචං ගාමිණී - ජෝ ඊළඟට මම කියලා.” ඔහු මට වඩා ජ්‍යෙෂ්ඨ වයසින් වැඩිමහල් රංගධරයකු වුවත් බොහෝ විට ඇමතුවේ ‘මචං’ කියායි. ඔහු කිසිදිනක ‘මම තමයි නොම්මර එක’ කියා කීවේ නැත. ඔහුම කියන පරිදි තුන්වැනි ස්ථානයේ සිට හොඳ රඟපෑමක් ඉදිරිපත් කරන්නට ටෝනි නිතරම උත්සාහ කෙළේය.   
“සමහරු ‘වැලිකතර’ බලල කියනව මචං ගාමිණීට වැඩිය ජෝ හොඳයි කියලා. එහෙම කියන්න බෑ. මොකද මචං ගාමිණී ඔය වගේ චරිත රඟපාල තියෙනවා. ජෝ පළවෙනි වතාවටයි ගෝරිංගේ වගේ චරිතයක් රඟපාන්නෙ. එතකොට ඒ කැරැක්ටර් එකේ වෙනසක් පේනවා. ගාමිණී ඉහළම විදියට රඟපාලා තියෙනවා ‘වැලිකතරේ’.” මේ ටෝනි මට ‘ඕෆ් ද රෙකෝඩ්’ කී කතාය.   


මා කිසියම් කාර්යයකට බෝඩිමෙන් එළියට බහින විට ටෝනි ගේට්ටුව අසල හිටියොත් ‘උඹ වැඩක් නැත්නම් මචං වරෙන් යන්න ටිකක් කතා කර කර ඉන්න.’ යයි මට අඬගසයි.   
වරක් ගාමිණී ෆොන්සේකා නම් විශිෂ්ට රංගධරයා මට කීවේ ‘උඹ මොනවද බං සිනමාව ගැන දන්නේ?’ කියාය.   
“උඹල ප්‍රතිභාපූර්ණ කියල පත්තරවල ලියනවා. කොහෙද ලංකාවේ ප්‍රතිභාපූර්ණ නළු නිළියො ඉන්නෙ. ඔන්න චාලි චැප්ලින් ගත්තොත් ප්‍රතිභාපූර්ණ කියල කියන්න පුළුවන්. මොකද චැප්ලින් චිත්‍රපටවල රඟපෑවා විතරක් නොවෙයි චිත්‍රපට අධ්‍යක්ෂණය කළා. තිර පිටපත් ලිව්වා. සංස්කරණය කළා. නිෂ්පාදනය කළා. උඹ දන්නව ද සමහර නිළියො හිටියා පිරිමි චරිත චිත්‍රපටවල රඟපාන.” (ඔහු කියන්නට ඇත්තේ බල්ගේරියානු චිත්‍රපටයක් වූ ‘ගෝට්හෝර්න්’ ගැන විය යුතුය. එය 1972 තැනූවකි. එහි ප්‍රධාන නිළිය වූ කට්යාපස්කැලේට චිත්‍රපටයේ මුල් කොටසේ රඟපාන්නේ පිරිමියකුගේ චරිතයකි. එය කාලෝවරි ජාත්‍යන්තර සිනමා උළෙලේදී විශේෂ ජූරි සම්මානයක් දිනා ගන්නා ලදී. පසුකලෙක මාලිනී ෆොන්සේකා ප්‍රධාන චරිතය රඟපෑ ‘රක්තා’ චිත්‍රපටයට මෙහි ආභාෂය ලැබී තිබිණ) 


ගාමිණී එද‌ා මා නැත්තටම නැතිකර දැමුවේය. එකල මට ‘ගෝට්හෝර්න්’ නරඹන්නට අවකාශයක් නොලැබිණ. පසු කලෙක එය මා නැරඹුවේ රුසියානු මිත්‍රත්ව මන්දිරයේදීය.  
ගාමිණීගේ මේ සරදමත් සමඟම මගේ සිත දිරිමත් විය. මා ටෝනි රණසිංහයන් සොයා ගියේ ඔහු ළඟ ඇති ඇතැම් සිනමා තොරතුරු ලබා ගන්නටය.  
ඔහු වරෙක මාලන් බ්‍රැන්ඩෝ ගැන මට කීවේ විශාල පොතක් දිග හැරගෙනය. පීටර් ඔටූල්, සර් ලෝරන්ස් ඔලිවියර්, ජෝර්ජ් සී ස්කොට්, රිචර්ඩ් බර්ටන් ගැන මා සමඟ කතා කළේය.  
බොහෝ ශ්‍රේෂ්ඨ නළුවන් ශේක්ස්පියර් නාට්‍යවල රඟපෑමෙන් අත්දැකීම් උකහා ගත් බව ඔහු මට පැවසීය.  
ඔහු සුප්‍රකට ශේක්ස්පියර් නාට්‍යවල කැසට්පට ගෙන්වා ගෙන නැරඹුවේය. (එකල සීඩී පට හෝ ඩී.වී.ඩී. පට නොවීය) එහෙත් ඔහු මට කීවේ වෙනමම කතාවකි.  
“ලෝක සිනමාව පිළිබඳව මගෙ තියෙන දැනුම පටුයි. ලංකාවෙ පෙන්වන ඇමෙරිකානු චිත්‍රපටයක් දෙකක්, චිත්‍රපට උත්සවයකදී ඉඳහිටල පෙන්නන ඉතාලි, ජපන්, රුසියානු, චෙක් චිත්‍රපට හැරෙන්නට මට නිතර හොඳ චිත්‍රපට බලන්න ලැබෙන්නේ නෑ. මේ නිසා පිටරට පොතකින්, සඟරාවකින් ගන්නා කරුණුවලින් තමයි ලෝක සිනමාව ගැන මට ඉඟියක් ලැබෙන්නේ.”  


ටෝනි තවත් කාලයක ශේක්ස්පියර් කෘති පිළිබඳව දැඩි උනන්දුවකින් යුතුව හද‌ාරමින් සිටියේය. ඔහුගේ අදහස වී තිබුණේ ශේක්ස්පියර් නාට්‍ය විස්සක්වත් වේදිකාවට ගෙන ඒමය. ඒ ඔහු ‘දොළොස්වැනි රාත්‍රිය’ නාට්‍යය වේදිකාවට ගෙන ඒමට සූද‌ානම් වූ කාලයයි.  
“අපි සරච්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු ද‌ා නවකතා පොත් දෙක ශ්‍රී ලංකා ජපන් නිෂ්පාදනයක් ලෙස ඉදිරිපත් කරන්න උත්සාහ කළා. ඒ ලංකාවේ අධ්‍යක්ෂවරයකුත්, ලංකාවෙ නළුවෙකුත් එක්ක. ඉතිරි ශිල්පීන් සෑම කෙනෙක්ම ජපානයෙන් ගන්නයි බලාපොරොත්තු වුණේ. ඒත් වියදම් ගැන හිතන විට ඒ චිත්‍රපටය අඩුම තරමේ ලංකාවෙ මාස හයක්වත් නොකඩවා පෙන්විය යුතුයි. බෲස් ලී වැනි නළුවකු යොද‌ා ගත්තා නම් අඩුම තරමින් තුන් මාසයක්වත් පෙන්වන්න පුළුවන්. ඒ නිසා ඒ අදහස අත්හැර ගත්තා.”  


“ලංකාවෙ සිනමාවේ මේ අසාධ්‍ය තත්ත්වය නිසා මම හිතාගත්තා චිත්‍රපටවලින් හොඳ රඟපෑම් ඉදිරිපත් කරන්න අවස්ථාවක් නැත්නම් ඊට හොඳම තැන වේදිකාව කියලා.”   
අපේ කට්ටිය සමග එකතු වී සුගතපාල ද සිල්වාගේ බෝඩිංකාරයෝ, තට්ටුගෙවල්, නිල්කට්රොල් මල් ආදී වේදිකා නාට්‍ය ගණනාවක රඟපා ජනප්‍රියත්වයට මෙන්ම විචාරක ප්‍රශංසාවට ද ලක්වූ ටෝනි පසුකලෙක සිනමාවට පැමිණ යළිත් අසූව දශකයේදී වේදිකාවට එන්නට උත්සාහ කිරීමේ රහස එය විය.  
 “සුගතපාල ද සිල්වාගේ මධ්‍යම පාන්තික නාට්‍ය දෙක තුනක රඟපා ඒ කාලේ තරුණ පෙනුම නිසා ගොඩ ආ මම ආයෙමත් වේදිකාවට පැමිණීම සියදිවි නසා ගැනීමක් බව සමහරු කීවා. ඒත් මා යළි වේදිකාවට සම්බන්ධ කළ ‘වැනීසියේ වෙළෙන්ද‌ා’ නාට්‍ය නැරඹූ කිසිම කෙනෙක් ඒ චෝදනාව කරන එකක් නෑ.” ඔහු මා සමඟ කීවේය.  
 ඔහු ඒ අනුව දොළොස්වැනි රාත්‍රිය, ජුලියස් සීසර් වැනි ශේක්ස්පියර් නාට්‍ය කීපයක් නිෂ්පාදනය කළේය. ගාමිණී ෆොන්සේකා නම් සිනමා රංගධරයා මුල්වරට රංගනයට කැඳවාගෙන ආවේ ටෝනිගේ ‘ජුලියස් සීසර්’ නාට්‍යය තුළිනි.  
 ටෝනි මුල් යුගයේ සිනමා තිරයේ අහිංසක පෙම්වතා විය. එහු ඉතා කඩවසම් නළුවෙකි. තරුණ තරුණියන් පමණක් නොව බොහෝ රසිකයෝ ඔහුගේ පෙනුමට වහ වැටී සිටියහ. ඔහුට චිත්‍රපට ගලා ආවේ ඒ නිසාය.  


 පසුකලෙක සාර්ථක රඟපෑම් පසුපස ගිය ටෝනි ඇතැම් විටෙක ඔහුගේ කඩවසම් පෙනුම අමතක කළේය.  
 ඔහු ‘වැනීසියේ වෙළෙන්ද‌ා’ නාට්‍යයේ රඟපාද්දී තට්ටය පෙනෙන පරිදි හිසකෙස් සකස්කර ගත්තේය. ඇතැම් චරිතවලදී ඔහු කටහඬ වෙනස්කර චරිත නිරූපණයේ යෙදුණේය. තවත් විටෙක ඔහු හිසකෙස් සම්පූර්ණයෙන්ම සුදුකර ගත්තේය.  


ඔහුගේ ඉංග්‍රීසි දැනුම ඉතා පුළුල් විය. ඒ නිසා ඔහුට ඉංග්‍රීසි පොත්පත් කියවීමට එය මහත් සහායක් විය.  
 ඒ දැනුම ඔස්සේ ඔහු කිසියම් පරිවර්තනයක යෙදෙන විට සෑම මූලාශ්‍රයක්ම පරිශීලනය කරන්නට උත්සාහ කළේය. ඔහු විලියම් ෂේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍යය පරිවර්තන කිරීමේදී පිටු 160 කට ආසන්න ප්‍රමාණයක් එනම් පොතෙන් අඩක් පමණ වෙන් කරන්නේ ෂේක්ස්පියර්ගේ ජීවිත තොරතුරු ඔහුගේ නිර්මාණ තොරතුරු ගෙන එන්නටය.  
“මා ළඟ තිබුණ මචං රුක්මණී දේවිගෙ තොරතුරු ගොඩක්. ඩේසි අක්ක ජීවත්වෙලා ඉන්න කාලෙ මට කියපුවා. සමහර අතිශය පෞද්ගලික කරුණු පවා එහි ඇතුළත් වෙලා තිබුණා. මම හිතාගෙන හිටියෙ රුක්මණීගෙ ජීවිත කතාව ලියන්න. ඒත් ඒ අතරතුර හදිසියේ එයා නැතිවුණ නිසා මට ඒ සේරම නවත්තන්න සිද්ධ වුණා. එඩීත් මා එක්ක බොහොම ළඟින් හිටිය නිසා ඒ තොරතුරු හරි අගේට ලියන්න තිබුණා. ඒත් මම ඩේසි අක්කා ජීවත්වෙලා ඉන්න කාලෙ නිකම් හරි ලියුම් කෑල්ලක් අත්සන් කරගෙන තිබුණා නම් හරි අගේට රුක්මණීගෙ ජීවිත කතාව ලියන්න තිබුණා. ඒත් දැන් මට ඒ වැඩේට සම්බන්ධ වෙන්න ටිකක් කල්පනා කරන්න ඕනැ. මොකද නීති ප්‍රශ්න එන්න පුළුවන්.”  
ඔහු එසේ පැවසුවද රුක්මණී දේවියගේ ජීවිත කතාව ලිවීමේ කාර්යය කෙරුණේ නැත.  


 දයා රාජපක්ෂගේ ‘හතේ වසම’ චිත්‍රකතාව ටෙලිනාට්‍යයක් ලෙස නිර්මාණය කිරීමේදී ඔහු හා වඩාත් සමීපව වන්නට මට අධ්‍යක්ෂවරයකු ලෙස අවස්ථාව ලැබිණි. ඒ ගැන කතා කරන්නට ගොස් යළි මා කාර්යාලයට පැමිණි විට ඔහු මට දුරකථන ඇමතුමක් දුන්නේය.  
“මචං ඕකෙ මෝටර් සයිකල්වල යන්න, කාර් එලවන්න, බල්ටි ගහන්න එහෙම නෑ නේද?” ඔහු මගෙන් ඇසුවේය.  
හතේ වසමේ චරිතය එවැන්නක් නොවේ යැයි කී විට ඔහු ඊට කැමැති වූවේය.  
ඊළඟ සාකච්ඡාවේදී ඔහු කීවේ මේ චරිතය වඩාත් ප්‍රබල ලෙස නිරූපණය කිරීම සඳහා ඔහු ‘තට්ටය’ පෑදෙන සේ හිසකෙස් සකස් කරගත යුතු බවයි.  
 “මං මචං කාට හරි කියල තට්ටය පේන විදියට හද‌ාගන්නම්.” ඔහු කීවේය.  
එවෙලේ මා සමඟ සිටි කතා රචක දයා රාජපක්ෂ මගේ මුහුණ දෙස බැලුවේය.  
“අනේ එපා ටෝනි අයියෙ. මම කැමැති ඔය තියෙන ‘ග්ලැමර්’ ගතියට.” මම කීවෙමි. ඔහු ඊට එකඟ වූයේය.  
ඔහු මා සමඟ ඉංගිරියේ දර්ශන තලයේ මාසයක්ම සිටියේය. ඔහු රඟපෑම් සඳහා දින දුන් විට කිසිවිටෙක ඒ දින වෙනස් කළේ නැත. දර්ශන තලයට ආ යුතු නියම වෙලාවටම ඔහු ආවේය. වාහනය ප්‍රමාද වුණොත් ඔහු නොසන්සුන් වෙයි.   
“උඹ මචං කලබල නොවී වැඩේ කරගනින්. මම උඹ එක්ක මේ මාසෙම ලොකේෂන් එකේ ඉන්නවා.” මා කලබලකාරයකු බව දන්නා ඔහු මා සන්සුන් කළේ එසේය.  
ඔහු දයාගේ දෙබස් ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොකර හරියටම කීවේය. හැබැයි රූගත කිරීම් අවසන් වී යන විට ඔහුට පසුද‌ා කරන දර්ශන සියල්ල හරි හැටි දිය යුතුය.  
 ඔහු දර්ශන තලයට එන්නේ සියල්ල හද‌ාරා සැදී පැහැදීය. දර්ශන තලය සූද‌ානම් වූ වහාම ඔහු කැමරාව ඉදිරියේ තිතටම එම චරිතය නිරූපණය කරයි.  
 වරක් ඔහු කෝප වූයේ පෙරද‌ා ඔහුට දුන් දර්ශන පසුද‌ා වෙනස් කිරීම නිසාය. එද‌ා ඔහු රූගත කිරී​ෙම් කණ්ඩායමට තදින්ම කෑ ගැසුවේය.  
 ‘හතේ වසමේ’ පොලිස් නිලධාරියාගේ චරිතයට ඔහු බොහෝ සේ ඇළුම් කෙළේය. ඒ සඳහා සම්මානයක් ලැබේවි යැයි ඔහුගේ සිත තුළ කිසියම් බලාපොරොත්තුවක් තිබුණු බව ඔහුගේ කතාබහෙන් මට හැඟී ගියේය.  


 සුමති සම්මාන උළෙලේදී ටෝනි රණසිංහ රඟපෑ ‘හතේ වසම’ චරිතයට හොඳම නළුවා ලෙස නම නිර්දේශ වුව ද ඒ සම්මානය ඔහුට නොලැබිණ.  
පසු කලෙක ඔහුට ඒ ගැන මතක් කළ විට ‘ඒක මචං මිස් වුණා.’ යි ඔහු කීවේ හැඟීමකින් තොරවය.  


වර්තමානයේ බොහෝ තරුණ නළු නිළියන් සමඟ වැඩ කිරීමේදී මේ ප්‍රවීණ නළුවන් එකල අපට දුන් සහයෝගය කොතරම්දැයි මට සිහිපත් වෙයි.  
අපේ ළමා විය, ගැටවර විය, තරුණ විය ආනන්දයට පත් කළ මේ තාරකා කෙතරම් සොඳුරු දැයි, නිහතමානී දැයි කලාව වෙනුවෙන් මොනතරම් කැපකිරීම් කළාදැයි දැන් සිහිපත් කරන විට ඔවුන් පිළිබඳ ආදරයෙන් නෙත කඳුළකින් පිරී යයි. 

 

 

 රොඩ්නි විද‌ානපතිරණ