කිරි බැබලෙන හඳපානේ කිරියි බතුයි කෑ අපේ ආදි සිංහලයෝ


ඉපැරණි සංස්කෘතියකට හිමිකම් කියන මේ හෙළ බිම විසූ අපේ මුතුන් මිත්තන්ට ආවේණික වූ ආහාර සංස්කෘතියක් අවට තිබුණි. එය සකස් වූයේ ස්වභාව ධර්මයා විසින් අපට උරුම කළ අවට පරිසරයට අනුගත වෙමිනි. ඇළ දොළ ගංගා කඳු ගහ කොළ වැව් ඕවිටි වෙල් ඉඟුරු නියර හෙල්වැටි මෙන්ම සතා සීපාවාද මිනිසාට ආහාර සපයා දෙන අටුකොටුය. අපට ඇත්තේ ඒවා නිසි පරිදි පරිහරණය කොට ප්‍රයෝජනයට ගැනීමය.  


මිනිසාට මෙන්ම ජීවීන්ට ද ආහාර සපයා දෙන ස්වයංපෝෂිත වූ පරිසරයක් ශ්‍රී ලංකාව තුළ ඇති බව දැන් අපේ පැරැන්නෝ කාලයට දේශයට උචිත පරිදි සිය ආහාර වට්ටෝරුව සකස් කර ගත්හ.  


හෙළ දිව වැසියන්ගේ ආහාර පාන ගැන සඳහන් කරන ක්‍රී.ව. 1284 දී ලංකාවට පැමිණි දේශ ගවේෂකයකු වූ මාර්කෝපෝලෝ බත් කිරි හා මාංශ ලක්වැසියන්ගේ ආහාර වී යැයි සඳහන් කරයි.  


කිරි හා ගිතෙල් නොමැති විටක සිංහලයෝ රහසේ ආහාර ගනිති. යි මහුවාන් නමැති චීන ජාතික දේශ ගවේෂකයා සඳහන් කරයි.  


පොදු වේ ගත් කළ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය බත් යැයි සම්මතයක් පවතී. එහෙත් සත්‍ය එය නොවේ. තුන් වේලටම බත් කෑ සිංහලයෝයි ඇතමෙක් වහසි බස් දොඩති. මඩ සෝදාගත් කළ සිංහලයා රජ කමටත් සුදුසු යැයි, රොබට් නොක්ස් කියු කථාවක් සාඩම්බර ප්‍රස්ථාව පිරුළක් බවට පත් කර ගත් ඇතමුන් මෙන්ම අපේ පැරැන්නන් බත් බැලයන් බවට පත්කරලූ බොහෝ දෙනෙක් රට ස්වංපෝෂිත කිරීම උදෙසා වැව් අමුණු බැඳ ගොවියන්ට කුඹුරු ඉඩම් දී පොහොර සහනාධාරය ද දිය යුතු බව පමණක් කියති. රට විසෙන් සහලෙන් ස්වයංපෝෂිත විය යුතු බව අපිදු පිළිගනිමු. දැනුදු මෙරට වැසියන්ට කෑමට තරම් අවශ්‍ය වී සහල් මෙරට නිපදවේ.  


එහෙත් වර්තමානයේ ගොවියෝ පවාතුන් වේලටම බත් නොකති. වී ටික විකුණන අතමිට සරු කරගන්නා බොහෝ ගොවි පුත්තු කඩෙන් කොත්තු ගෙන යති. ප්‍රයිඩ් රයිස් ගෙනයති. පීසා ඇණවුම් කරති. එසේ නැතහොත් චිකන් හා මාගරින් බාස්මතී කීරි සම්බා ගෙනයති.  
ඒ තුන් වේලටම බත් කා එපාවීම නිසා නොව ටෙලිවිෂනයේ ආහාර සංකෘතිය ඔවුන්ගේ ඉහමොළ ද කා දමා ඇති හෙයිනි.  


දශක කිහිපයකට පෙර ලද්දිව් වැසියන්ගේ ආහාර වට්ටෝරුව තුළ බතට මෙන්ම කුරක්කන්, බඩ ඉරිගු, උඳු, මුං, මෑ, තණ, මෙනේරි, කොල්ලු ආදී කටුසර ධාන්‍ය වර්ගවලට ද මුල් තැනක් හිමිව තිබුණි. එකල ඔවුනගේ ආහාර පාන විවිධාකාර විය. එකල බත් වර්ගම 36 ක් පමණ විය. කැඳ වර්ග සූ සැටකටත් අධිකය. තලප, පිට්ටු, රොටි වර්ග ද විවිධාකාර විය. සිංහල ගැමි කාන්තාවන් තරම් සූපවේදයේ කෙළ පැමිණියෝ ලෝකයේ කිසිදු රටක ගෘහණියන් අතර නැතැයි කීවොත් එය අතිශයෝක්තියක් නොවේ.  


ලක්වැසියන් සිය ආහාර පාන සකස් කර ගැනීමේ දී එහි ප්‍රමුඛස්ථානය හිමි කළේ බතට නොව කිරිවලටය. ඒ අන් කිසිවක් නිසා නොව සොබා දහමට අනුගත වී මෙනි. සෑම මිනිසෙකුගේම ප්‍රථම ආහාරය මවු කිරිය. ක්ෂිරපායි සතුන්ගේ ද ප්‍රථම ආහාරය වන්නේ ද කිරිය. ඒ උරුමය රකිමින් අපේ සිංහලයන්ගේ ආහාරයේ ප්‍රමුඛස්ථානය කිරිවලට හිමිකර දීමට අපේ මවුවරු උත්සුක වූහ.  


නැන්දේ මාමට බඩ ගිනි නැන්දේ  
රෑ ඉවු හැළියේ දං කුඩ නැද්දෝ  
එවුවා කන්නට දී කිරි නැද්දෝ  


දී කිරි නැත්නම් කොහොමට කද්දෝ’’ යැයි එදා දරුවන් ගැයූ මේ ජන කවියෙන් කියැවෙන්නේ ආහාරයක් වශයෙන් දී කිරට (මුදවපු මී කිරි) එදා තිබූ ප්‍රමුඛත්වයයි. උඩරට මධ්‍යම කඳුකරයේ නැගෙනහිර කලාපයේ සිට මාතලේ දඹුල්ල පොළොන්නරුව, නුවර කලාවිය දිගාමඩුල්ල ඇතුළු වියළි කලාපයේ විසුවෝ තුන්වේලටම බත නොකෑවෝය. ඔවුන්ගේ ආහාර තලප, පිට්ටු, රොටි, අල බතල, මුං මෑ ආදියයි. එකල වියෙන් සහලෙන් ස්වයංපෝෂිත ව තිබූ වෙල්ලස්ස බින්තැන්න දිගාමඩුල්ල පෙදෙස් වැසියන් අතරින් පතර බත් කෑව ද වැඩිමනක් කෑවේ කටුසර ධාන්‍ය වර්ගවලින් සකස් කරගත් ආහාරය නැත හොත් අල බතල වර්ගය. ඒ හැම ආහාරයක් සමගම කිරි ගිතෙල් දුන්තෙල් වෙඬරු මෝරු ආදී පස්ගෝ රසයත් මුසුකර ගැනීමට ඔවුහු අමතක නොකළහ.  
කටුක දේශගුණික තත්ත්වයන්ට මුහුණ දෙමින් කය වෙහෙසා ගොවිතැන් කටයුතු කිරීමටත් එම ප්‍රදේශවල පැතිර ගිය කොරෝනාවටත් වඩා භයංකර අප්‍රිය ජනක දරුණු වසංගත ​රෝග කාරකයන්ට ඔරොත්තු දීමේ ශක්තියක් ඔවුනට ලැබුණේ අන්කිසිවක් නිසා නොව පස්ගෝ රස හා මුසුකර ගත් කටුසර ධාන්‍ය වර්ගවලින් සැකසූ පිට්ටු, ​රොටී, තලප, ඉරුං බත්, අල බතල වැනි ආහාර පානවලිනි. ඔවුන් උසස් තත්ත්වයේ උත්තම ආහාරයක් ලෙස සැලකූ ඇල් හාලේ බත ද රතු කැකුළු හාලේ බතද ආහාරයට ගත්තේ කිරි සමගය.   
​බොටා යහමින් කිරි හට්ටියක් එක්ක කැකුළු හාලේ බත් අතෝරයක් ඇල්ලුවොත් ඔයි හේනේ යායෙන් බාගයක් අපි දෙතුන් දෙනාට කපා හෙලන්නට බැරියැ යි ගැමියෙක් කියන්නේ කිරි සමග මුසුකර ගතක් බත් පතක තිබෙන ශක්තිය ගැන උජාරු කතාවක් නොව සත්‍යයකි.  


මෑත භාගය තෙක්ම ලාංකික ජන සමාජයේ කිරිආහාරවලට ලැබී තිබුණේ අග්‍රගණ්‍ය ස්ථානයකි. මුදවන ලද මී කිරි ප්‍රණීත ආහාරයක් ලෙස සැලකූ එකල භික්ෂුන් වහන්සේලා උදෙසා පිරි නැමෙන දානයක දී මෙන්ම කොටහළු මංගල්‍යයක දී ද විවාහ මංගල්‍යයක දී ද මංගල මේසයට කිරි පැණි නැතුවම බැරි අංගයක් ලෙස සැලකීය. කිරි පැණි ඇති මඟුල මනාල යුවළක් නැති මඟුල් ගෙයැකැයි කීමට එකල ගැමියෝ පුරුදුව සිටියහ. කොපමණ දුගී දුප්පත් වුවත් දී කිරි ගිතෙල් නැති ගෙදරත් ඒකල ගැමි සමාජයේ දක්නට නොවීය. තෙලින් කා කිරෙන් අත සෝදාගත් ධනවතුන් ද විසූ කිරි ඉතිරෙන සෞභාග්‍යමත් කාලයක් මෙරට පැවැතියේ බටහිර ජාතීන් ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට පෙරය.  


එහෙත් එම සෞභාග්‍යවත් කාලයේ තිබූ සසිරිබවේ සේයාවන් ලෙස එකල පැවැති ආහාර රටාව මෑතක් වන තෙක් ලක්දිව පුරාම තැනින් තැන ගම් දනව්වල දක්නට ලැබුණි.  


කුඹුරෙන් හේනෙන් ලැබෙන වී සහල් ඉරිගු කුරහන් අලබතල ගඩාගෙඩි ආදියත් ගව පට්ටියෙන් ඉපැයෙන කිරෙන් දී කිරි ද ගිතෙල් ද වෙඬරුද මෝරුද දුන් තෙල් ද එක්වූ හෙයින් සිංහලයාගේ කෑම වේල රසයෙන් ද ගුණයෙන්ද පිරී එකක් බවට පත්වී තිබුණි.  


සොබා දහමට අනුකුල වූ පැරණි ගැමියන් දෙපෝදාට මැඩිල්ලට වී කිරි බැබලෙන හඳපානේ කිරියි බතුයි කෑවේ සඳ දෙවියන් සිහිකර මිනි මැඩිල්ලේ එක්වී සිටින දූ දරු මුණුබුරු මිනිපිරියන් හා එක්වන කිරි අම්මලා මුත්තම්මලා කිරියි බතුයි බෙදමින් ජනගී ගයමින් දරුවන් ප්‍රීති සයුරේ ගිල්වති.  
එදා තිබූ ඒ ජන සංස්කෘතිය හා බැඳුන ආහාර රටාව නිසා ප්‍රීතිමත් නිරෝගී දරු පරපුරක් රටට බිහි වූහ. එදා වැඩි හිටියෙකු ඥාතියකු හෝ හමුවීමට යන ගැමියන් ගෙනියන්නේ කිරි හට්ටි පැසකි. එහෙත් වර්තමාන සමාජයේ ඒ තත්ත්වය වෙනස් වී බිස්කට් කේක් බියර් විස්කි එ් තැනට පත්ව ඇත.  
පැරණි ගැමියන් කිරි පානයක් වශයෙන් ගත්තේ ඉඳ හිටය. ඒ එකල උදේට යාගුව හෙවත් කොළ කැඳ පානය කරන හෙයිනි. එළකිරි මිදවීමට නොගන්නා ගැමියන් එළකිරි පුළුස්සා උණු කර කකාරා ගිතෙල් සාදයි. ගිතෙල් සමග බත්, පිට්ටු, රොටී ආහාරයට ගැනීම සිරිතකි. වැල් පෙණෙල මුරුංගා කොළ ආදිය මලවා ගැනීමටද ගිතෙල් භාවිත කළ ගැමියෝ ඔෟෂධයක් වශයෙන්ද ගිතෙල් භාවිතයට ගත්හ. මී කිරි පානය කිරීමටද ගන්නා අතර මුදවා ගැනීමටද ගනියි. ගෘහ ආශ්‍රිතව මී කිරි මුදවා අලෙවි කිරීම ස්වයං රැකියාවක් ලෙස ව්‍යාප්ත වීමෙන්ම මී කිරිවල ඇති අගය ප්‍රකට වේ. 

 
ප්‍රෝටීන් බහුල ආහාරයක් ලෙස මෙන්ම ශක්ති ජනක ආහාරයක් ලෙසද ඖෂධීය ගූණයෙන් යුතු ගිතෙල් ද ගිතෙල් සිඳීමේදී ඉතුරුවන මුරු කොටසද කැකුළු හාලේ බත් කිරිබත් රොටී තැම්බූ අල වර්ග සමග ආහාරයට ගැනීමට පුරුදුව සිටි ගැමියෝ ගිතෙල්වල මුදා හඳුන්වන්නේ තේ රොඩු නමිනි. තෙල් රොඩු තේ රොඩු වූයේ කටවහරෙනි. මෑතක් වන තෙක්ම ලක්දිව බොහෝ පෙදෙස්වල වැසියෝ වෙසක් පොසොන් පොහෝ දින වලදී ගිතෙල් මුසු කිරි බතින් බලු කපුටු දානය දී පින් පුරවා ගත්හ.  


දී කිරට සිංහල ජන සමාජයේ කෙතරම් තැනක් ලැබී තිබුණේ ද යත් දී කිරට බළලුන් සාක්ෂි කියතියි උපහැරණයක් ද බස් වහරට එක්වී ඇත. දී කිරි ගිතෙල් මෙන්ම වෙඬරුද සිංහලයාගේ ආහාර වේලට එක්වී තිබුණි. වර්තමානයේ බටර් නමින් හඳුන්වන වෙඬරු ඉංග්‍රීසි ජාතිකයන් පාන්වල යාන්තමට තවරා කෑවේ බටර් ගෑමේ කලාව අපට උගන්වන්නට පෙර මෙරට වැසියන් අතකට පුරා වෙඬරු කෑ හැටිත් ඒවා සාදාගත් අන්දමත් රොබට් නොක්ස් සඳහන් කර ඇත්තේ මෙසේය. කිරි උණු කොට වළඳක බහා තිබීමෙන් දීකිරි බවට පත්වේ. ඊට පසු දින ඒවායේ උඩින් තැන්පත්ව ඇති යොදය ගෙන බඳුනක බහා ලී කඩකින් ගට ගටා සැලීමෙන් පදනම් වූ පසු ඇතිළියක තබන දිය සින්දා ගැනීමෙන් පසු වෙඬරු සෑදෙන්නේය. එම වෙඬරු භාජනයක බහා පරිභෝජනය පිණිස ගනු ලැබේ.  


(එදා හෙළදිව)  


ගැමියන් විසින් බුද්ධ බෝගය ලෙස හඳුන්වන බත් කෑමට කිරි යහමින් මුසු ගන්නා සිංහලයෝ දුන්තෙල් මුසුකොට පිස ගන්නා දුන් තෙල් බත් එළවළු මස් මාංශ සමග කෑමට ගනිති. දුන් තෙල් මෙන් ම ගිතෙල් මුසු කොට පිසින බුද්ධ බෝගය පෝෂණ ගුණයෙන් අනුගතය. අග්‍රගන්‍ය ආහාරයක් වූ ගිතෙල් බත භික්ෂූන් වහන්සේලා වෙත පිරී නැවීම පෙර රජ දවස පටන් පැවැති සිරිතකි. ගිතෙල් මුසු කොට පිසූ බත් මෙන්ම ගිතෙල් හා උක් සකුරු මුසු කොට පිසින කිරිබත් ද ගිතෙල් පිසු ව්‍යංජන ද දාන මාන කටයුතු සඳහා පිළියෙළ කෙරෙන අතර සශ්‍රීකත්වයෙන් යුතු ගැමි ජන සමාජයේ වෙසෙන්නන් විසින් උත්සව ප්‍රිය සම්භාෂණ අවස්ථාවල දී මෙවැනි ගිතෙල් මිශ්‍ර ආහාර පාන ද දී කිරි වෙඬරුද භාවිතයට ගනියි.  


උදේට රතු කැකුළු හාලේ බතුත් සමග දී කිරි කන සිංහලයෝ දහවලට ගිතෙල් හා දුන්තෙල් මුසු බතක් සමග ගිතෙලින් දුන්තෙලින් පිසූ මැල්ලුමක් බැදුමක් ව්‍යංජනයක් ආහාරයට ගනිති.  


දුටුගැමුණු රජතුමාගේ දානමය කටයුත්තක දී ගිතෙල් මිශ්‍ර කළ්‍යාණභක්ත බත පිරිනැමූ බව බෞද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත්තේ සුසාළියක් තැනක නිරන්තරයෙන් තෙල් උපුලුවා කිරිබත් තබා දුන්හ. තවද සුසාළසක් තැනක එළඟිතෙලැ බදනා ලද පුළුබදරා සමග සූප ව්‍යංජන සහිත බත් දුන්හ.  
මහ සෑ පින්කමට පැමිණි සඟුන් වැළඳු පාත්‍රා සේදූ අභය වැවේ සතර ගුලක් ඝන ව ගිතෙල් මිදී සිටියේලු.’’ යනුවෙනි.  


වෙනත් කිසිදු රටක දක්නට නොලැබෙන තරම් පස්ගෝ රසයෙන් අනූන වූ කටුසර ධාන්‍ය එළවළු අල බතල ඇට බැට (මාෂ බෝග) ගඩා ගෙඩි පලතුරු මී පැණි බඹර පැණි වනපලා ආදියෙන් සමන්විත ආහාර පාන සමුද්‍රයක උරුමය ලත් සිංහල ජනයාගේ ආහාර වට්ටෝරුව වර්තමානය වන විට ජාතිකකරණය වී ඇත. එහෙයින් උණක් හෙම්බිරිස්සාවක් වැළඳුනත් අන්තිමට ඔවුන් නවතින්නේ ගිලන් ඇඳේය. හේතුව වැරදි ආහාර රටාවය. ප්‍රතිශක්ති කරණයක් සිරුර තුළ ඇතිවීමට බෙහෙවින්ම බලපාන්නේ ආහාර පානය.  


කුරහන් කැඳ කෝප්පයක් බී හේනට කුඹුරට යන ගොවියා හෝරාවක් දෙකක් කය වෙහෙසා වැඩ කර කිරි කොරහක් එක්ක රතු කැකුළු හාලේ බත් මැටි කෝප්පයක් කන්නේ හිටි බීරම තෙක් මහපොළවක් සමග පොර බද්දන්ටය. ඇතැම්විට දහවලට ඔවුන්ට කෑමට ලැබෙන්නේ කුරහන් රොටියක් සහ තේ රොටු සම්බෝලයකි. නැතහොත් ඉරුං බත්ය. ඉරුං හා මෑ ඇට තුම්මුමකි. ඔවුන්ගේ ආහාර වේලට තලප එක්වී තිබුණොත් දඩමස් හෝ ඇට හොද්දක් අනිවාර්ය වේ. ගේ ඇට හොද්ද ලී මෑ කොළ වම්බටු අල බතල තක්කාලි බණ්ඩක්කා තූඹ කරවිල ගැට කරවිල ආදියෙන් කිහිපයක් හෝ එක් වූ මිශ්‍ර ව්‍යාංජනයකි.  


කිරෙහි අගය දන්නා හෙළදිව් වැසියෝ ගවයින් ඝාතනය නොකළහ. ගව මස් නොකෑහ. අශික්ඛිත එකෙකු ගෙරිමස් කෑම ද බෙල්ලේ එල්ලාගෙන ගෙරිමස් කෑවේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව කිරිදුන් මව මරා මස් කෑමට නොහැකි හෙයිනි. උදේ දහවල් හෝ සා පිපාසාව ඇතිවූ විටක අපි කිරි තේ එකක් බීමට පුරුදුව සිටිමු. එහෙත් එවැනි පුරුද්දක් පැරණියන් අතර නොවීය. සිරිතක් වශයෙන් කිරි නොබීව්වට උඩරට හා සබරගමුව ආදී පෙදෙස්වල එළකිරි පානය කිරීම සිරිතක්ව පැවතුණි. සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස සැළකෙන කිරි සිංහල ජන සංස්කෘතිය තුළ කිඳා බැස ඇත්තේ කිරි අම්මා කිරි අත්තා කිරි අයියා කිරි බණ්‍ඩා කිරි මැණිකේ කිරි හොඳා කිරි අප්පුලා ද එහි උරුමකරුවන් කරමිනි.  


අපේ ගම්වල තවමත් පට්ටියේ ගෙදරවල් මෙන්ම කිරිපෝරුවේ ගෙවල් ද එකී පරම්පරා ද සිටිති. ආහාරයක් වශයෙන් මුදවාගත් කිරි වෙඬරු තෙල් රොඩු ගිතෙල් දුන්තෙල් වැදගත් වන්නා සේම පානයක් වශයෙන් එළකිරි හා මෝරු සුවිශේෂී තැනක් ගනියි. මී කිරිද බීමට ගන්නා නමුත් ආහාරයක් වශයෙන් මවුකිරට දෙවැනි වන්නේ එළකිරිය. කිරි අරුණ දරුවන්ට බීමට දෙන එළකිරි උණුකරද්දී මවුවරු කිරිමුට්ටියට කළාඳුරු අල දෙක තුනක් දමති. ඇතැමෙක් අමු ඉඟුරු කැබැල්ලක් මුසු කොට ගනිති.  


වර්තමානයේ පිටරටින් ගෙන්වන පිටිකිරි හැර එළකිරි බිඳක් දරුවන්ට නොපොවන මවුකිරි නොපෙවූ අම්මාවරුන් කෙසේ වෙතත් එදා අපේ අම්මාවරුන් කෙසේ වෙතත් එදා අපේ අම්මාවරුන් තන කිරෙන් හැරුණ සිඟිත්තන්ව පෝෂණය කළේ එළකිරිවලිනි.  


නුඹෙ අම්මා කොතන ගියේ  


කිරි දෝවන් එන්ට ගියේ යන නැලවිලි ගීතයෙන් කියැවෙන්නේ මවුකිරිවලින් පසුව එකල දරුවන්ට දෙනු ලැබුවේ ගව දෙනෙකුගෙන් දොවා ගත් කිරි බවය. එකල අම්මාවරුන් දොවාගෙන ආ කිරි මුට්ටිය ගඟ දෙගොඩින් ගලා ගියේ විදේශික ජාවාරම්කරුවන් ලක්වැසියන්ට ඇබ්බැහි කර වූ පිටිකිරි නිසාය.  


මුල් අවදියේ දී පාසල් දරුවන්ටත් මවුවරුන්ටත් දුගී මගීන්ටත් නොමිලේ පිටිකිරි බෑග් පිටින් දීම නිසා පිටිකිරිවලට වහල් වූ බොහෝ දෙනෙක් තමන් එතෙක් කළ ගව පට්ටි පාලනය අතහැර දැමූහ. කිරි පිණිස ගවයින් ඇති කළ ගම්වැසියෝ ඉන්පසුව මස් පිණිස ගවයින් ඇති කළහ. දැනුදු බොහෝ දෙනෙකු කරන්නේ නිදැල්ලේ හැර දමා සිටින තම ගව රැළෙන් එකෙක් දෙන්නෙකු අල්ලා මුස්ලිම් වෙළඳුන්ට විකුණා දැමීමය.  
මේ නිසා මෙරට ආහාර සංස්කෘතිය උඩු යටිකුරු කරමින් බත් සමග කිරි කෑ යුගය පස්ගෝ රස ආහාරයට ගත් සමය හමාර කරමින් පීසා යුගයක් රට පුරා ව්‍යාප්ත විය.  


උක් සකුරු රස තනා  
වැළ ද වරකා ගෙනා  
දී කිරි වෙඬරු නා  


මෙසේ භෝජන තනා යැයි ගණ දෙවිහැල්ලෙහි කියැවෙන පරිදි දි කිරි වෙඬරු තබා වැළ වරකා වැනි පළතුරු හෝ උක් සකුරු හෝ ආහාරයට ගන්නා කෙනෙක් සිරිබර මෙලක්පුරයෙන් සොයා ගත නොහැක.  
රතු කැකුළු හාලේ බතක් කිරි කොරහක්ම කෑ ගැමියෙකු ගැන කියැවෙන ජන කතාවලින් හෙළිවෙන්නේ පස්ගෝ රසයෙන් යුක්ත සිංහල ගැමියන්ගේ ආහාර පාන ආදියේ හැඩ රුවයි.  


කිරිත් සමග ආදී අපේ මුතුන් මිත්තෝ බතින් පමණක් යැපෙන්නෝ නොවූහ. අනාදිමත් කාලයක සිට හේන් ගොවිතැනින් රැකුණු වියළි කලාපීය ගොවියන්ගේ ප්‍රධාන ආහාරය වූයේ තලප හා පිට්ටුය. ඉරිඟු හා කුක්කන් පිටිවලින් තලප හා පිට්ටු සකස් කර ගන්නා සුපවේදිනියන් ගොග්ගුළු නොවන්නට ඉරුං හා කුරක්කන් තලප හැඳි ගා ගැනීමට දනියි. ඔවුන් වැඩිමනක් පිරුම් තම්බා ගන්නේ කඩපින්ය. විවිධාකාර වූ වෑංජන සමග මෙන්ම දී කිරි කිරි සමග ද පිට්ටු කෑමට ගන්නා ගැමියන් කිසිවිටක පැණි හෝ සීනි රස කාරකයක් ලෙස යොදා නොගනියි. මේ නිසාම කාය ශක්තියෙන් පිරි පැරණි ලක්වැසියෝ කිසි දිනක දියවැඩියාව රුධිර පීඩනය අාදී රෝගාබාධයන් ගෙන් නොපෙළුණේය.  


පෝෂණ ගුණයෙන් යුතු එකල ලක්වැසියන්ගේ ආහාර රටාව ගැන කියැවෙන  


කුරහන් තලප දඩමස් හොද්දෙන් කන්නේ  
ඉරුං තලප හෝ ඇට හොද්දෙන් කන්නේ  
රොටිය උයා වම්බටු හොද්දෙන් කන්නේ  
පිරුම් උයා දීකිරි එක්කයි කන්නේ   


ජනකවි අපේ ආහාර සංස්කෘතියේ අතීත හැඩරුව විචිත්‍ර ගෙන හැර දක්වයි.  


කිරිත් සමග බත් පිට්ටු ද ගිතෙල් සමග කුරක්කන් රොටී හා දඩමස් ද තැම්බූ අල පතල හා ගිතෙල් හෝ කිරි මුසුකර ගෙන කෑමට පුරුදුව සිටි ලක්වැසියන් බො​හෝ විට රෝදුක් වසංගතවලින් අත්මිදුණේය. රටක ජනතාව නිරෝගී පිරිසක් වීම එම රටේ සංවර්ධනයට රුකුලක් විය. එදා පස්ගෝ රසයෙන් යුක්ත ආහාර පාන හා කටුසර ධාන්‍යවලින් සැකසුණ ආහාර පරිභෝජනයට ගත් අපේ මුතුන් මිත්තෝ යෝද බල ශක්තියෙන් යුක්ත වූහ. හෙල්වැටි එක්කර මහ බැමි බැඳ සිය දෑතේ සවියෙන් ඔවුහු යෝද වැව් ඉදි කළහ. කෙත්වතු නැගූහ. ඔවුනගේ සිතේ ගතේ සවියෙන් අස්වැද්දූ කෙත්වතු තවමත් රන්වන් කරලින් බර වූ වියෙන් සහලෙන් අපේ රට ස්වයංපෝෂිත කරන්නේය. එහෙත් එ් සහලෙන් පිසූ උතුම් බත කරිත් සමග කෑමට ගන්නා බව බොහෝ දෙනෙක් නොදනිති. 

 

 

 

සඳරුවන් ලොකුහේවා