කෙටි කතාව
‘‘මෙන්න අම්මේ අදත් අර කුරුළු පැටියා නිදාගන්න පේර අත්ත උඩට ඇවිල්ලා...!’’
සුමනලතාගේ පොඩිදුව එසේ කියමින් ගෙට දුවගෙන එන හඬ ඇතුළු කාමරයේ ඇඳමත දිගාවී සීලිම දෙසට දෙනෙත් යොමාගෙන සිටි චාලට් නෝනාට ඇසිනි. ගෙතුළ සිටි කීප දෙනෙකුම තරගයකට මෙන් ආලින්දය දෙසට දිවයන හඬ ඇයට ඊළඟ මොහොතේ ඇසුනේය.
‘‘හා...නේ ඇත්තමයි....! මෙච්චර දවසක් කොහේද ගිහින් හිටියේ? යි එම කුරුළු පැටියාගෙන් ඇසූ ලොකු මිණිපිරිය ඊළඟට කී දෑ ඇයට හරි හැටි නෑසුනේ හයයි කාලේ කෝච්චිය ඒ සමගම වාගේ පොල්ඔය පාලම පසුකර ගිය බැවිනි.
තමාටත් එළියට ගොස් පේර අත්තේ වසා සිටින කුරුළු පැටියා දෙස බැලීමට ඇත්නම් හොඳ යැයි ඒ සමගම ඇයට සිතුනේය. එහෙත් ඇයට ඇඳෙන් බැසීමට නොහැකි වූයේ දින දෙකකට පමණ පෙර මැද මිදුලේ ලිස්සාව වැටීම නිසා උළුක්කු වූ කකුලට පත්තුවක් බැඳ තිබූ බැවිනි.
‘‘ඔන්න හාමිනේ නොකිව්ව කියන්න එපා. සතියක්වත් යනතුරු ඇඳෙන් බහින්න තහනම්!’’යි කියමින් මාවැල්ලේ පුංචි වෙද මහත්තයා පණවා තිබූ තහංචිය ඒ සමගම චාලට් නෝනාගේ මතකයට නැගුණේ ඉබේටමය. වෙද මහත්තයාගේ තහංචිය බිඳ දැමුවහොත් අනිවාර්යෙන්ම බැණුම් ඇසීමට සිදුවන බව දැන සිටි චාලට් නෝනා කොර ගසමින් හෝ එළියට යාමට සිත තුළ තෙරපුණ අදහස වෑයමින් යටපත් කර ගත්තාය. ඒ සමගම ඇගේ මුවින් සිහින් කෙඳිරියක් නැගුණේ ඉබේටමය.
තැපැල් මහත්තයා ජීවත්ව සිටියදී නම් තමන්ගේ මුවින් එවැනි කෙඳිරිලි හඬක් නැගුණු විගස දුවගෙන විත් තමන්ගේ නළලට අත තබා බලා ඔහේට මුකුත් අසනීපයක්වත්ද?’’යි අසන බව එසැණින් ඇයට මතක් විය. මේ වනවිට තැපැල් මහත්තයා මියගොස් අවුරුද්දකටත් වැඩි කාලයක් ගතවී ඇතැයි සිහිපත්වූ චාලට් නෝනාට ඉබේටම ඉකි ගැසුණේය.
හා... යි ගා ඇර තිබුණු ජනේලයෙන් සිහිල් සුළං රැල්ලක් කාමරය තුළට හමා ආවේය. ඇය සීතල වැඩිකමට පොරෝනයෙන් දෙවුරම වසා ගනිමින් ඇඳමත ගුලි ගැසුණාය. තමන්ගේ කකුලේ අමාරුව ඒ වනවිට බොහෝ දුරට අඩුවී තිබුණෙන් ආලින්දයට ගොස් පේර ගසේ වසා සිටින කුරුළු පැටියා දෙස බැලීමේ ආශාව ඇගේ සිත තුළ යළිත් පෙරළි කළේය.
තම කුඩා මිණිපිරියන් දෙදෙනා කුරුළු පැටියා ගැන තවත් මොනවාදෝ කියන හඬ ඇසුණද ඔවුන් කීවේ කුමක්දැයි හරියටම වටහා ගැනීමට චාලට් නෝනාට නොහැකි විය. දැනට මාස කීපයක සිට දිනපතාම පාහේ සවස් වරුවට පැමිණි මිදුලේ ඇඹුල් පේර ගසේ ඉහළ අත්තක වසා සිටින කුරුළු පැටියාගේ රුව ඇය සිතින් මවා ගත්තාය.
මේ අතර කුස්සිය පැත්තේ සිට පැමිණි සුමනලතා දොරරෙද්ද මෑත්කර කාමරය තුළට කර පොවා බැලුවේ තම මෑණියන්ට නින්දගොස් ඇද්දැයි දැන ගැනීමටය. ඇඳමත ගුලි ගැසී නිදන තම මව දෙසත්, විවෘත කර තිබූ ජනේලය දෙසත් මාරුවෙන් මාරුවට බැලූ ඇය ‘‘හානේ... මේ ළමයි ජනේල වහලත් නෑ...!’’ යි කියමින් තම වැඩිමහල් දියණියට දොස් නැගුවාය. ගොම්මන් අඳුර හාත්පසම ගිල ගනිමින් තිබුණේය. ඉක්මනින් ජනෙල් පියන් දෙක වසා දැමූ සුමනලතා ඇඳ මත ගුලි ගැසී නිදා සිටි මෑණියන් අසලට ගියේ කනප්පුව උඩ තිබූ ලාම්පුවේ එළියද මදක් වැඩි කරමිනි. තම මෑණියන්ට හොඳටම නින්ද ගොස් ඇතැයි ඇය මුලින් සිතුවාය. එහෙත් ඇය තමා දෙස හොරැ‘හින් බලා සිටින අයුරු අහම්බෙන් දුටු දියණිය මුවට සිනාවක් නගමින් මවගේ ඇඟට අත තබා උණ තිබේදැයි බැලුවාය. ඇය එසේ කළේ නළලට අත තබා උණ තිබේදැයි බලනවාට වඩා තම මෑණියන් වැඩි කැමැත්තක් දැක්වූයේ එසේ කරනවාට බව අත්දැකීමෙන්ම දැන සිටි බැවිනි.
‘‘දැන් නං උණ ගතියක් නෑ...!’’ යි තමන්ට කියාගත් ඇය ‘‘අම්මට තේ ඩිංගක් ගේන්නද...?’’යි තරමක පහත් හඬකින් ඇසුවාය. ඊට කිසිදු පිළිතුරක් නොදුන් චාලට් නෝනා තම දියණිය දෙස රවා බලා මුහුණ පසෙකට හරවා ගත්තේ තරමක නොරිස්සුම් සහගත හැඟීමකිනි.
‘‘ඇයි අම්මේ...?’’
‘‘අනේ බං ඔන්න ඔය මළ ඉළවු ලාම්පුව නිවල දාපන්. ඔය එළිය ඇහැට වැටුණම නින්ද යන්නෙත් නෑ...!’’ යි කී චාලට් නෝනා තම දියණියගේ අතගසා දමා අනෙක් ඇළයට හැරුණාය.
‘‘තේ එපා නං අම්මට මං සුප් ඩිංගක් හදල ගේන්නද?’’
‘‘ඔය එක මළ ඉළවුවක්වත් මට එපා බං’’ යි කී චාලට් නෝනා ‘‘අනේ දරුවො මට කරදර නොකර මෙතනින් පලයන්’’ යි තරමක් උස් හඬින් කියමින් අනෙක් ඇලයට හැරුණාය.
තමන් මෙතරම් ආදරයෙන් සලකද්දී මෑණියන් මෙලෙස අකාරුණිකවීම ගැන සිත රිදවා ගත් සුමනලතා මොහොතක් නිහඬව සිටියාය. ‘‘එහෙම නං දුවේ කහට ඇබිත්තක් ගෙනෙන්. හැබැයි වැඩිය කහට දමන්න නං එපා...’’
චාලට් නෝනා තරමක් උස් හඬින් එසේ කීවේ කහට බීමට ඇති කැමැත්තක් නිසා නොව තම දියණිය කාමරයෙන් පිටතට යවා ගැනීමේ උපාය මාර්ගයක් වශයෙනි.
‘‘ඉන්න අම්මේ මං විජහින් ගේන්නං...’’ යි කී සුමනලතා කනප්පුව මත තිබූ ලාම්පුවේ දැල්ල මඳක් අඩු කර කාමරයෙන් එළියට ගියාය. මද අඳුර මැද තනිවූ චාලට් නෝනා තමන් ගැනම දුක හිතුණේය.
‘‘...මේ යස්ස කෙල්ලො දෙන්නා අර අසරණ සතාට කරදයක් කරයිද දන්නෙ නෑ...?’’යි සිතා ඇය ඊළඟ මොහොතේ එම අවිනිශ්චිත සිතිවිල්ල තුනී කර ගත්තේ දැරියන් දෙදෙනා තමාටත් වඩා එම කුරුළු පැටියාට කැමැත්තක් දක්වන බව සිහිපත් වීමෙනි.
එම කුරුළු පැටියා මිදුලේ තිබූ ඇඹුල් පේර ගසේ අත්තක රාත්‍රියට ලැගීමට පටන්ගෙන තිබුණේ ඊට මාස හයකටත් පෙර සිටය. ඌ මෙලෙස දිනපතා සවස් කාලයේ පැමිණ පේර ගහේ එකම අත්තක නැගීමට පුරුදුවී සිටින බව මුලින්ම දැක තිබුණේ චාලට් නෝනාගේ ලොකු මිණිපිරිය විසිනි.
‘‘අනේ අම්මේ... ෂෝක් කුරුළු පැටියෙක් ඇවිත් අර පේර අත්ත උඩට වෙලා නිදි...!’’ යි කියමින් ගෙදර හැම දෙනාටම ඒ බව පෙන්වූ දැරිය රෑ නින්දට යාමට පෙරත් තම බාල සොහොයුරිය ද සමග මිදුලට බැස කුරුළු පැටියා ගැන සොයා බලා තිබුණාය. එහෙත් පසුදා උදෑසන බලනවිට ඌ එම ස්ථානයේ නොසිටියෙන් ගෙදර සියලුම දෙනාගේ අදහස වූයේ එම කුරුළු පැටියා වෙනත් සතෙකුගේ ගොදුරක් වන්නට ඇති බවය.
‘‘අනේ පවු, ඊයේ හවස මේ පැත්තේ ඇටි කුකුළෙක් හිටියා. එකත් එකටම අර කුරුළු පැටියා ඌ ගිලින්න අැති...!’’
චාලට් නෝනාගේ මිණිපිරියන් දෙදෙනා එසේ කියමින් දුක් වුවද පසුදා හවස් වරුවේ අර කුරුළු පැටියා සුපුරුදු ස්ථානයේ සිටින අයුරු දැකගත හැකිවිය. ඒ දුටු දැරියන් දෙදෙනා සතුටින් උඩ පැන්නේ රටක් රාජ්‍යයක් ලැබුණාටත් වඩා වැඩි හැඟීමකිනි. එදා සිට තවත් මාස කීපයක් යනතුරු කුරුළු පැටියා රාත්‍රිය ගත කිරීම සඳහා එහි පැමිණ තිබුණේය. කෙසේ වෙතත් මුල් දිනවලදී නම් චාලට් නෝනාගේ සිතේ ඒ ගැන කිසිදු හැඟීමක් නොතිබිණි. එහෙත් මාසයකට හෝ දෙකකට පමණ පසු දිනක් චාලට් නෝනාගේ ගම් පළාතේ සිට පැමිණි ලොකු බණ්ඩේ කී කතාවකින් පසු ඇය තුළ එම කුරුළු පැටියා ගැන සුවිශේෂී හැඟීමක් ඇතිවූයේ ඉබේටමය.
චාලට් නෝනා දිනපතා සවස් කාලයේ මෙලෙස මිදුලට වී කල්මරන්නේ ඇඹුල් පේර ගසේ අත්තක රාත්‍රිය ගත කිරීමට පැමිණෙන කුරුළු පැටියා දැක බලා ගැනීමට බව ඒ වනවිට ගෙදර අයට රහසක් නොවීය. එහෙත් ඇයට ලැජ්ජාවක් ඇතිවීමට ඉඩ ඇතැයි සිතූ ගෙදර අය ඒ ගැන ඇයගෙන් කිසිවක් නොවිමසා සිටියහ.
මේ කාලයේ ඇතිවූ තවත් වැදගත් සිද්ධියක් වූයේ එම කුරුළු පැටියාට බීමට යැයි කියමින් චාලට් නෝනා දිනපතාම පාහේ දිය පොල්කටුවක් ගෙනගොස් පේර ගසේ අත්තක් උඩ රඳවා තැබීමය. කුරුළු පැටියා එම දිය පොල් කටුවෙන් දිය බොන බවක් නොපෙනුණ ද ඇය තමන්ගේ රාජකාරිය නොකඩවා කරගෙන ගියාය.
චාලට් නෝනා තැපැල් මහත්තයා ජීවතුන් අතර සිටින කාලයේ පවා සෑම පසළොස්වක පොහෝ දිනකම ගමේ පන්සලේ සමවියේ ගැහැනුන් සමග අටසිල් සමාදන්වීමට හුරුපුරුදුවී සිටියේ යන තැනකට යහපතක් සිදුකර ගැනීමට යැයි කියමිනි. හිමිදිරියේ විහාරස්ථානයට යන ඇය අටසිල් සමාදන් වූ අතර ඇය සිල් පවාරණය කරන ලද්දේ ඊට පසුදා උදෑසනය.
‘‘අම්මගෙ වයසට මුළු දවස පුරාම සිල් රකින එක අමාරුයි. ඒ නිසා උදේ සිල් සමාදන් වෙලා හවසට සිල් පවාරණය කරල ගෙදර එන්න...’’යි සුමනලතා කොතෙකුත් වගපල කීවද චාලට් නෝනා ඊට එරෙහි වූයේ ‘‘උඹලා මහ පවුකාරියෝ. මගේ සිල් ගැනිල්ලටත් විනේ කටින්න හදනවා...’’යි කියමිනි.
ඒ අනුව පසළොස්වක පොහෝ දිනවල අටසිල් සමාදන් වන උපාසක උපාසිකාවන් අතරින් මුළු දවස පුරාම සිල් රැකීමට පුරුදුව සිටියේ චාලට් නෝනා ඇතුළු උපාසිකාවන් තුන් හතර දෙනෙකු පමණි. කෙසේ වෙතත් කුරුළු පැටියා ඇඹුල් පේර ගසේ රාත්‍රිය ගතකිරීමට පැමිණීමෙන් පසු රෑ බෝවීමට පෙර සිල් පවාරණය කර ආපසු තම නිවසට පැමිණීමට ඇය පියවර ගෙන තිබුණේය.
‘‘අනේ මම නැති වුණොත් කවුද අර අසරණ සතාට වතුර ඩිංගක්වත් දෙන්නේ...!’’යි කියමින් පන්සලේ සිට ආපසු පැමිණි වහාම ඇයගේ ප්‍රථම රාජකාරිය වූයේ කුරුළු පැටියාට වතුර කෝප්පයක් තැබීමය. පන්සලේදී හමුවන සමවියේ උපාසක අම්මලා සමග ඇය එම කුරුළු පැටියා ගැන කතා කළේ තරමක උජාරුවකිනි. එසේ වුවද එම කුරුළු පැටියා තැපැල් මහත්තයාගේ පුනරාවතාරයක් බව තම සමවියේ මිතුරියන්ගෙන් වසන් කළ ඇය ඒ ගැන කිසිවකු හා නොපැවසීමට දැඩි ලෙස වග බලා ගත්තාය.
චාලට් නෝනා දැනට සතියකට පමණ පෙර ගෙදර මැද මිදුලේ ලිස්සා වැටී කකුල ඇමැට්ටි කර ගත්තේද කුරුළු පැටියාට වතුර පොල් කටුවක් රැගෙන යමින් සිටි අතරතුරය. ඔයින් මෙයින් සිදුවූයේ එම උළුක්කුවට බෙහෙත් කළ මාවැල්ලේ පොඩි වෙද මහත්තයා ඇයට සතියක් පමණ ගතවනතුරු ඇඳෙන් බැසීම පවා තහනම් කිරීමය.
‘‘අනේ මට දුක අන්න අර අසරණ සතාට වතුර ඩිංගක්වත් දී ගන්න බැරි වෙච්ච එකට’’යි තමන්ගේ ලෙඩ බැලීමට පැමිණි නෑයන් සමග අතොරක් නැතිව පැවසූ චාලට් නෝනා එලෙස ඇඳටවී සිටි කාලය පුරාම කුරුළු පැටියාගේ තොරතුරු අසා දැන ගත්තේ තම කුඩා මිණිපිරියන් දෙදෙනාගෙනි.
‘‘අනේ දුවේ කුරුළු පැටියාට වතුර තියන කොට සීනි ඇබිත්තක් දාල දීපන්...’’යි කී ඇය ඊළඟට කියා සිටියේ ගෙදර වැඩිහිටියන් හමුවේ ඒ ගැන කෙළ බිඳක්වත් නොහෙලන ලෙසය. චාලට් නෝනා එසේ කර තිබුණේ තැපැල් මහත්තයා ජීවත්ව සිටියදී නිතරම පාහේ වැඩි සීනි දැමූ තේ හෝ කෝපි බීමට ඉතා තදින්ම ඇබ්බැහිවී සිටි බැවිනි. තම දියණියන් දෙදෙනාගෙන් ඒ කතාව දැනගත් සුමනලතාගේ මුවට නැගුණ සිනාව නතර කර ගැනීමට තරමක වෙහෙසක් දැරීමට සිදුවී තිබුණේය.
ඒ අතර එම කුරුළු පැටියා පිළිබඳව එක් අසුබ ආරංචියක් චාලට් නෝනාට ඇසී තිබුණේ අහම්බෙනි. තම බාල මිණිපිරිය විසින් ඇයගේ කනට කර කී එම අසුබ ආරංචිය වූ කලී කුරුළු පැටියා කළින්දා රාත්‍රී සුපුරුදු පරිදි පේර අත්තේ ලැගීමට නොපැමිණි බවය.
‘‘ඉතින් ඇයි ළමයෝ ඔය වගක් මට ඊයේ රෑ නොකිව්වේ?’’යි අසමින් ගෙදර වැඩිහිටියන්ට නොසෑහෙන ලෙස දොස් පැවරූ චාලට් නෝනා ‘‘අනේ ඒ අසරණ සතා උගුඩුවෙක් කාලද කියන්නත් බෑ...’’යි කියමින් දැඩි ලෙස කම්පා වූවාය. එම කුරුළු පැටියා ගැන සිහිපත් වනවිට ඇයගේ දෙනෙතින් කඳුළුවැල් කඩා හැලුනේ ඉබේටමය.
‘‘පිස්සුද අම්මේ ඒ සතා වෙන දිහාවකට යන්න ඇති. මොකෝ ඌට කාගෙන් තහනමක්ද?’’
සුමනලතා මෙන්ම අමරපාල ද එසේ කියමින් චාලට් නෝනාගේ සිත සැනසීමට සෑහෙන උත්සාහයක් දැරුවද ඇය දිගින් දිගටම කුරුළු පැටියා ගැන සිහිපත් කරමින් හඬා වැළපුණාය.
එම කුරුළු පැටියා යළි පේර අත්ත මතට පැමිණ ඇතැයි සුමනලතාගේ බාල දියණිය තම මිත්තණිය අසලට පැමිණ කියන තුරුම ඇය සිතාගෙන සිටියේ ඌ උගුඩුවෙකුට ගොදුරුවී ඇති බවය.
‘‘අනේ මටත් එළියට ගිහින් ඒ සතා බලාගන්න ඇත්නං...’’යි සිතූ චාලට් නෝනා තම දියණියගේ නම කියා උස් හඬින් කතා කළාය. විශේෂයෙන්ම ඇයට අවශ්‍ය වූයේ තමන්ගේ සිත සැනසීම සඳහා සුමනලතා තම දියණිය ලවා බොරුවක් කියා ඇද්දැයි සැකහැර දැන ගැනීමටය.
විශේෂයෙන්ම කළු බණ්ඩේ කී තැපැල් මහත්තයාගේ කතාව ඇගේ සිතට තදින්ම වද දුන්නේය. ඇයට ඊළඟට සිතුණේ ලබන පෝයට සිල් ගැනීම සඳහා ගියවිට පණ්ඩිත හාමුදුරුවන්ගෙන් ඒ ගැන සැකහැර දැන ගැනීමටය.
ඒ වනවිට තමන්ගේ කකුලේ වේදනාව බොහෝ සෙයින්ම අඩුවී ඇතැයි චාලට් නෝනාට සිතුණේය. කකුල මදක් සොලවා බැලූ විට පෙර දැනුණු තදබල වේදනාව ඒ වනවිට බොහෝ සෙයින් අඩුවී තිබුණේය. කකුල් මදක් සොලවා බැලුවද පෙර මෙන් රිදුම් කෑමක් නොදැනීම ඇයගේ සිතට තරමක සහනයක් විය. ඇය කළුවරේම අතපත ගාමින් ඇඳෙන් නැගී සිටීමට උත්සාහ කළාය. ඒ සමගම වාගේ කුඩා දැරියන් දෙදෙනා තම මිත්තණියගේ ඇඳ අසලට ආවේ එකිනෙකා පරයමිනි.
‘‘අත්තම්මේ... අත්තම්මේ අර අර කුරුළු පැටියා අද හවස පේර අත්ත උඩට ආවා. අදත් ඩිංගක් වෙලා යනකොට...!’’
කුඩා දැරියන් දෙදෙනා එසේ කියත්ම ඔවුන්ගේ මව තම දියණියන් දෙපළට තරවටු කර ඔවුන් අත්තම්මාගේ කාමරයෙන් පිටමං කළාය.
කෙසේ වෙතත් තම මෑණියන්ගේ උත්සාහයට හරස් කැපූ සුමනලතාට අවශ්‍ය වූයේ තම මවට තවත් කසාය වඩියක් පොවා ඇය කුරුළු පැටියා බැලීමට ආලින්දයට යාම වළක්වා ගැනීමටය. එහෙත් ඇගේ එම උත්සාහය අසාර්ථක වූයේ ඇය විසින් තම මෑණියන්ගේ අතට දුන් තිත්ත කසාය කෝප්පය එක හුස්මට ගිල දැමූ චාලට් නෝනා අනතුරුව තම දියණියගේ ඇඟේ එල්ලී ආලින්දය දෙසට යාමට සූදානම් වූ බැවිනි. එ් මොහොතේ ගෙවත්ත පුරාවටම මද අඳුරක් පැතිරෙමින් තිබුණේය. ඒ සමගම චාලට් නෝනාට සිතුණේ දින කිහිපයකට පසු පැමිණ ඇතැයි කියන කුරුළු පැටියා තම දෑසින්ම දැකබලා ගැනීමටය. ඇය අමාරුවෙන් නොන්ඩි ගසමින් ආලින්දය දෙසට ගොස් කුරුළු පැටියා සුපුරුදු ලෙස වසා සිටින පේර අත්ත දෙස විමසිල්ලෙන් බැලුවාය.
කුඩා දැරියන් දෙදෙනා මදක් ඈතට වී තම මිත්තණිය දෙස බලා සිටියේ කුමකින් කුමක් වේදැයි යන සැකයෙනි.
‘‘කෝ දුවේ අර කුරුළු පැටියා...?’’
දියණිය තමන් ඇසූ පැනයට නිරුත්තරව බලා සිටියදී ඇය යළිත් වරක් එම පැනයම ප්‍රතිරාවය කළාය. තම දියණිය පමණක් නොව කුඩා මිණිපිරියන් දෙදෙනා පවා තමන්ගෙන් යමක් වසන් කිරීමට උත්සාහ කරන බවක් ඒ සමගම ඇයගේ සිතට දැනුණේය.
‘‘ඒ සතා යන්නම ගිහින් අම්මේ...!’’
සුමනලතා වචන පටලවමින් කී ඒ කතාව ඇයට ඇසුණේ යන්තමිනි. තත්පර කීපයක් ගතවනතුරු සිහිය එළවාගත නොහැකිව ගල් ගැසී බලා සිටි චාලට් නෝනාගේ සිත දැඩි ශෝකයකින් වෙලී ගියේ ඉබේටමය. ඒ වනවිටත් තමන්ගේ දෙපා අසල දැවටෙමින් සිටි බැළලිය පයින් පසෙකට තල්ලු කර දැමූ ඇය ඝණ කළුවළාවකින් වැසී ගොස් තිබුණු අහස දෙස බලා දිග සුසුමක් හෙලුවාය. ඒ සමගම තම උළුක්කු වූ කකුලේ වේදනාව පෙරටත් වඩා තදින් දැනුණෙන් සිහින් කෙඳිරියක් නැගූ චාලට් නෝනා ඒ අසල තිබූ පුටුවකට බරවූයේ තම දෙනෙත් කෙවෙනි තුළින් ගලා ආ කඳුළු වැල් පොඩිවුන් දෙන්නාගෙන් වසන් කර ගනිමිනි.
නිහාල් ජගත්චන්ද්‍ර