රණවිරුවන්ගේ නොමැකෙන මතකය:
- ප්‍රහාරයෙන් දිවි බේරාගත් විශ්‍රාමික හමුදා නිලධාරියකු කියන කතාව
- සහායක හමුදා එයි කියා බලා සිටියත් ආවේ නෑ
- දින විසි හයක් කෑමක් බීමක් නැතුව අපි එක දිගටම යුද්ධ කළා
- තුවාල වූ සෙබළුන් අතහැර දාලා පසු බසින්න අලදෙණිය සර් කැමති වුණේ නෑ
මෙරට යුද ඉතිහාසයේ ලෙයින් කඳුළින් ලියැවුණු කතා බොහොමයකි. කුරිරු ත්‍රස්තවාදය හමුවේ සිය රුධිරයෙන් හා ජීවිතයෙන් වන්දි ගෙවමින් අද වන විට මාතෘ භූමිය එක්සේසත් කිරීමට උදාර රණවිරුවන් ලබාදුන් දායකත්වය ශ්‍රී ලාංකිකයින් වශයෙන් කිසිවෙකුටත් අමතක කළ නොහැක්කක් වනු නොඅනුමානය. මන්ද එම උදාර කැප කිරීම් නොවන්නට අද වන විට මෙරට තවමත් මරණයේ පාරාදීසයකි. මෙරට යුද ඉතිහාසයේ වඩාත්ම සංවේදී හා වීරත්වය මුසුවූ බිහිසුණුම ප්‍රහාරයක් පිළිබඳවත් ඊට සම්බන්ධ වූ හා ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන උදාර රණවිරුවෙකු ඒ පිළිබඳ සිය අද්දැකීම් විස්තර කිරීම මෙහිදී අපි ඉදිරිපත් කරන්නෙමු.
එම ප්‍රහාරය වූ කලී කොකාවීල් ප්‍රහාරයයි. 1990 වසරේ එල්ල කෙරුණු මෙම කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට සිය පපුව දී ඔවුන් මිය ගියේ උදාර රණවිරුවන් ලෙසින් බවට මෙරට එම ප්‍රහාරය පිළිබඳ අසා ඇති සියලු දෙනා දන්නාවූ කරුණකි.
මේ එම ප්‍රහාරය පිළිබඳව ඊට සම්බන්ධ වූ හා එම ප්‍රහාරයට දින 26ක් අඛණ්ඩව මුහුණදී ඉන් දිවි ගලවාගත් වර්තමානයේ විශ්‍රාමික රණවිරුවකු වන එස්. නිමල් සිරිවර්ධන මහතා තම අද්දැකීම් පිළිබඳව දැක්වූ අදහස්ය.
කොකාවිල් කඳවුරට ගහන අවස්ථාව වෙනකොට අපේ කෑම්ප් එකේ අණදෙන නිලධාරියා වුණ ලෙෆ්ටිනන්ට් (ලුතිනන්) ජයන්ත රත්නායක “සර් නිවාඩු ගිහිල්ලා හිටියේ. ඒ වෙනකොට කඳවුරේ හිටියේ ලෙෆ්ටිනන්ට් (2 වන ලුතිනන්) සාලිය අලදෙණිය සර්. මම ඒ දවස් වල අවුරුදු 18ක විතර තරුණයෙක්. මටත් යුද අද්දැකීම් කිසිවක් ඒ කාලේ වෙනකොට නෑ. නමුත් මට අද වාගේ මතකයි. අපේ රත්නායක සර් යන්න කලින් අපි පෝලිම් කළා. ඊට පස්සේ අපිට කිව්වා යුද්ධය අද හෙට ඇති වෙන්න පුළුවන් ඒ වාගේම ඇති නොවෙන්නත් පුළුවන්. නමුත් අපි ඒ හැම දේටම සූදානම් වෙන්න ඕනැ කියලා.”
ඒ නිසාම සර් කිව්වට පස්සේ අපි කඳවුරේ බන්කර් හදන්න කොට කීපයක් ගන්න කඳවුරෙන් එළියට ගියා. අපි ඒ ගමනට අරන් ගියේ ටී 56 එක අවියකුත් පතුරම් 60 ක් විතරයි. මොකද ඒ දවස්වල යුද්ධයක රාවයක් තිබුණත් යුද්ධයක් නොතිබුණ නිසා. අපි යනකොට කොටි අත් බෝම්බයක් ගහලා අපට ගහන්න පටන් ගත්තා. අපි තිබුණ පතුරම් 60න් ප්‍රතිප්‍රහාරයක් දුන්නා. ඊට පස්සේ අපි කඩාගෙන ආපහු කැම්ප් එකට ආවා. ඒ තමයි අපට කොකාවිල්වලින් එල්ල වුණ පළවෙනි ත්‍රස්තවාදී ප්‍රහාරය.
අපේ කෑම්ප් එක හුදකලා කඳවුරක්. කෑම්ප් එකට සහයට කණ්ඩායම් එන්න බෑ. ඒක කොටි හොඳට තේරුම් අරගෙන තිබුණා. ඒ නිසාම කොටි පස්සේ අපේ කෑම්ප් එක වට කළා. අපිට දවල් කාලයට එළියට බහින්න බැරි වුණා. මොකද කොටි දිගට හරහට ස්නයිපර් ගහනවා. ඔහොම වට කරගෙන කොටි ස්පීකර් දාලා. අපට සිංහලෙන් කියනවා යටත් වෙන්න කියලා. ඒ වෙලාවේ අලදෙණිය සර් කිසි මොහොතක යටත් වෙන්න කැමති වුණේ නෑ. සර් කිව්වේ උන් ගැහුවොත් අපිත් ගහමු කියලා. අපිට තිබුණ ලොකුම ප්‍රශ්නය වුණේ අපේ සැපයුම් මාර්ග නැති එක. අපේ ළිඳ තිබුණේ කඳවුරෙන් එළියේ. ඒ නිසා අපිට වතුරවත් නැතිව හිටියේ. අපිට කන්න වාගේම පතුරම් ඇතුළු වෙඩි ද්‍රව්‍යවල ලොකු හිඟයක් තිබුණා. ඒ නිසා අලදෙනිය සර් ඒ දේවල් සංඥා මැදිරියේ ඉඳලා ඉල්ලුවා. ඒත් එක්කම කොටි අපිට ගහන්න පටන් ගත්තා.
කොකාවිල් කඳවුර පිහිටි ස්ථානයේ වර්තමානයේ ඇති රණවිරු ස්මාරකය
අපිත් කොටින්ට ගැහුවා. ඒ ප්‍රහාරය වැඩි වෙලා තිබුණේ නෑ. ඒ වෙලාවේ අපේ සර් දැනගත්තා කොටි අපේ වෙඩි ද්‍රව්‍ය අවසන් කරන්න තමයි ඒ වාගේ ප්‍රහාර එල්ල කරන්නේ කියලා. කොහොම වුණත් අපිට හිටපු ලොකුම ශක්තිය සාජන් ඩිංගිරිබංඩා. එයා මේ ප්‍රහාරවලට හොඳින් මුහුණ දෙන්න අපට උපදෙස් දුන්නා.
පස්සේ අලදෙණිය සර්ගේ ඉල්ලීමට අපට ගුවනින් ආහාර වාගේම පතුරම් දමන්න පටන් ගත්තා. වතුර ගුවනින් දමන්න බැරි නිසා අපට අයිස් කැට තමයි දැම්මේ. ඒ වෙනකොට කෑම්ප් එකේ වතුර තිබුණේ නෑ. අපේ අය බිම වැටුණු අයිස් කැට වැලි එක්කම කටේ දා ගත්තා. පිපාසය ඉවසගන්න බැරිවම. කොහොම වුණත් ඒක අසාර්ථක වුණා. මොකද අාපු හෙලිකොප්ටර්වලට කොටි ගහන නිසා. ඒවා බිමට පාත් කරන්න බෑ. බත් කූරෙක් වගේ හෙළිකොප්ටර් එක පේන තරම් උඩ ඉඳලා තමයි ඒ ආහාර අයිස් කැට වාගේම පතුරම් දැම්මේ. ඉතින් ඒ නිසා ඒ බොහෝමයක් කඳවුරෙන් පිටට තමයි වැටුණේ වැටුණ පතුරම් සෑහෙන්න විනාශ වුණා. භාවිත කරන්න බැරි තරමටම.
මේ විදියට සති දෙකක් විතර රෑ දවල් නැතුව කොටි අපිට වරින් වර ගැහුවා. අපි බංකර් වලට වෙලා කඳවුර අල්ලගෙන හිටියා. අපි සෑහෙන්න බලාපොරොත්තුවෙන් හිටියා සහයක කණ්ඩායම් ඇවිත් අපි බේරාගනියි කියලා. නමුත් අපේ කඳවුර ළඟට එන සෑම මාර්ගයක්ම කොටි අවහිර කරලා. එන සහයක කණ්ඩායම්වලට ගහන්න පටන් ගත්ත නිසා ඒ දේ කරන්න බැරි වුණා. ගුවනින් එන්නත් බැරි වුණා. ඔවුන් ගුවන් යානාවලටත් දැඩි ප්‍රහාර එල්ල කළා.
කොහොම හරි දින ගාණක් අපි කඳවුර අල්ලගෙන ඉද්දි අපිට කන්න දෙයක් නැති වුණා. ඒ නිසා කඳවුරේ තිබුණ ගස්ලබු ගහට නැගලා ගස්ලබු ගෙඩියක් තම්බගෙන කන්න කියලා කොප්‍රල් හීන්අප්පු ගහට නගින්න ගියා. ඒ වෙලාවේ හිතුවේ නැති විදියට හීන්අප්පුට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වුණා. හීන්අප්පු එතනම මැරුණා. අපි ඔහුගේ මිනිය ආදාහනය නොකර ගෙදර යවන්න දින 04ක් තියාගෙන හිටියා. නමුත් ඒ දේ කරන්න බැරි වුණා. ඒ නිසාම අපි කඳවුරේම හීන්අප්පුගේ මිනිය ආදාහනය කළා.
ඒ වෙනකොට කඳවුරේ තත්ත්වය එන්න එන්නම දරුණුයි. අපි කෑම දිනකට එක වේලක් බැගින් කන්න තීරණය කළා. පස්සේ ලුණු කැඳ විතරක් හදලා බිව්වා. අවසානෙට අපිට වැල්දොඩම් කොළ (ෆැෂන්) තම්බලා කන්න පවා සිද්ධ වුණා. එහෙමත් කරලා දින ගණනක් අපි කඳවුර කොටින්ට දුන්නේ නෑ. කඳවුර වටේ තිබුණේ ඝන කැලෑව. කොටි ඒ කැලෑවේ බංකර් හදලා ඒවාගේ ඉඳලා අපිට දිගින් දිගටම ගැහුවා. කෑම කෙසේ වෙතත් අපිට පතුරම් එන්න එන්නම අඩු වුණා.
එහෙම ඉන්නකොට 1990 ජුලි මාසේ 10 අපේ කඳවුරට බල්ලෝ එන්න පටන් ගත්තා. අපි ඒ වෙනකොට තේරුම් ගත්තා කොටි දැන් කඳවුර ළඟටම ඇවිල්ලා ඉන්නේ කියලා. අපි කඳවුරේ තිබුණ පතුරම් සේරම මැගසින්වලට පුරව ගත්තා. අලදෙණිය සර් අපිට කිව්වා අපි පුළුවන් තරම් ගහලා කඳවුර අල්ලගෙන ඉමු කියලා. එදා අපිට දැඩි ප්‍රහාරයක් එල්ල වුණා. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටුකර ගන්න අපි අවස්ථාව දුන්නේ නෑ. දින විසි ගාණක් එකදිගට යුද්ධ කරලත් අපි කොටින් එල්ල කරපු ඒ දැවැන්ත ප්‍රහාරයට මුහුණ දුන්නා. අද හිතනකොටත් ඒ දේ කළාද කියලා හිතාගන්න බෑ.
10 දා රෑ කොටි එල්ල කරපු ප්‍රහාරයෙන් අපිට හානි වුණා. අපේ තුන් දෙනෙක් මැරුණා. තවත් 12 ක් තුවාල වුණා. අපි එදා දවල් කාලයෙත් වරින් වර කොටි එල්ල කරපු ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර දුන්නා. අපි එදා දවල් තීරණය කළා කඳවුර අත ඇරලා යන්න. අපිට ඒ තීරණේ ගන්න වුණේ අපේ වෙඩි ද්‍රව්‍ය ඉවර වුණ නිසා.
ඒ අනුව අපි තුවාල ලබපු අයත් රැගෙන යන්න තීරණය කළා. ඔහොම ඉද්දි 11 රෑ කොටි අපිට යළිත් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. ඒ වෙනකොට අපි දවස් 26ක් රෑ දවල් නැතුව උන් එක්ක ගහගෙන හරිහමන් කෑමක් නැතුව හොඳටම හෙම්බත් වෙලයි හිටියේ. අපිට කඳවුර අතඅරින්න බැරි වුණා. සර් අපිට කිවුවා තුවාල වුණ සෙබළු සංඥා මැදිරියට අරන් යන්න කියලා.
අපි ඒ අණ අකුරටම ඉෂ්ට කළා. අවසානේ ඒ තුවාල වුණ අය එතන දලා යන්න සර් කැමති වුණේ නෑ. ඒ අනුව තිබුණේ එකම විකල්පයයි. මරාගෙන මැරෙමු කියන එක. ඒ අදහසින් සර් සංඥා මැදිරියේ ඉඳලා කඳවුරට ගුවන් ප්‍රහාර එල්ල කරන්න කියලා ඉල්ලීමක් කළා අලදෙණිය සර් තුවාල වුණ සෙබළු දාලා යන්න කැමති වුණේම නෑ. ඒ නිසා කවුරුවත් කඳවුරෙන් ගියේ නෑ. මැරෙනකම්ම ගහගත්තා.
ඒ අතරේ අපේ එක කොල්ලෙක් කිව්වා හොඳ කෑම වේලක් කාලා මැරෙන්න තිබ්බානම් මරු කියලා. මට අද වාගේ ඒ කතාව මතකයි. මමත් තවත් හතර දෙනකුත් බංකරේකට වෙලා කොටින්ට ගැහුවා. ඒත් එක්කම අපේ පිටිපස්සෙන් කොටි ලයින් කඩාගෙන කෑම්ප් එක ඇතුළට ආවා. අපේ බංකරේටත් මෝටාර් ප්‍රහාරයක් එල්ලවුණා. මගේ කන් අගුලු වැටිලයි හිටියේ. මම යුද අගලක ඉඳලා බලනකොට කෑම්ප් එකේ කොටි හිටියේ. මම ඒ වෙලාවේ මගේ තුවක්කුව අරන් කෑම්ප් එකෙන් එළියට බඩගෑවා. එතකොට වෙඩි ශබ්දයක් වත් නෑ.
මම ඒ 09 පාරට සමාන්තරව මාන්කුලම් එන්න පටන් ගත්තා මම දින නවයක් පයින් මාන්කුලමට ආවා. ඒ අතරේ ගෙදරකට පැනලා හොරෙන් බත් මුට්ටියක් අරන් කෑවා. අනික් සෑම අවස්ථාවකම දින නවය පුරාවටම මම කුරුම්බා වතුරයි පොලුයි තමයි කෑවේ. අද මම බේරුණත් එදා අපි කරපු කැප කිරීම වාගේම ඒ මැරුණු සහෝදරවරු මගේ ජීවිතේ මරණය වෙනකම්ම මගේ මතකයේ ජීවත් වෙයි යනුවෙන් ඒ මහතා පැවසීය.
එම වික්‍රමාන්විතය වෙනුවෙන් මෙරට යුද් ඉතිහාසයේ ප්‍රථම වතාවට පරම වීර විභූෂණ පදක්කමින් පිදුම් ලද නිලධාරියා බවට සාලිය අලදෙණිය නම් ඒ ශ්‍රේෂ්ඨ සෙන්පතියා පිදුම් ලබන අතර පසුව ඔහු II ලුතිනන් නිලයේ සිට කපිතාන් නිලය දක්වා උසස් කරන ලදී. වීරයන් එසේ හිස නොනමා යටත් නොවී මිය ගියද ඔවුන්ගේ වීරත්වය සදා අමරණීයව ඇත. එම කොකාවිල් ප්‍රහාරයෙන් හමුදා භටයන් 54ක් හා සිවිල් සේවක මහතුන් සිව් දෙනකු සිය ජීවිත මාතෘ භූමිය වෙනුවෙන් කැප කොට තිබේ. ප්‍රමාණවත් ආහාර පාන හා පතුරම් නොමැතිව පුරා දින 26ක් සතුරන්ට මුහුණ දුන් අලදෙණිය මහතා ඇතුළු එම විරු කැල කඳවුර අතහැර පලා ඒමට උපදෙස් ලබාදී තිබියදී පවා තම තුවාල ලැබූ සගයින් දමා පලායෑමට නොහැකිව අවසන් සෙබළා මිය යනතුරුම සටන් කොට සිය ජීවිත මාතෘ භූමියට පුද දී වසර ගණනක් ගත වුවද ඔවුන්ගේ අමරණීය වීරත්වය අද මේ රටේ නිදහස භුක්තිවිඳින අප කාගේත් සිත් සතන් තුළ පැලපදියම් වනු නොඅනුමානය.
මෙහිදී සාලිය අලදෙණිය නම්වූ ඒ අභීත සෙන්පතියාටත් දින විසි හය පුරාවටම සහය දුන් අභීතව සටන් වැදුණු සාජන් ඩිංගිරිබංඩා මහතාගේ වීරත්වය පිළිබඳවත් මෙහිදී නිමල් සිරිවර්ධන මහතා නැවත නැවත ප්‍රකාශ කරමින් ඔහු පිළිබඳව සටහනක් ලබන ලෙසටද අපගෙන් ඉල්ලීය. අවසන අපට සිදු කළ හැක්කේ එම උතුම් විරුවන් වෙනුවෙන් සමස්ත ජාතියේම උපහාරය පිරිනැමීමයි
සටහන හා ඡායාරූප
යාපනය ප්‍රදීප් කුමාර