ගාමිණී ෆොන්සේකා නම් අද්විතීය රංගධරයා ගැන කොතරම් ලිව්ව ද ඔහු හා සම්බන්ධ සිදුවීම් වරින් වර සිතට නැගෙයි.
මා ඔහුගේ සමකාලීනයකු නොවුව ද ඇසුරු කළ කාලය වසර කිහිපයකට සීමා වුව ද ගාමිණී සිතට අපූරු මතක සටහන් තබා යන්නට සමත් කලාකරුවෙකි.
ඔහුගේ වැඩ අමුතුය. සිනමාව ඔහුගේ ජීවිතය විය.
දිනෙක මම ගාමිණී හමුවීමට ඔහුගේ රත්මලානේ නිවෙසට ගියෙමි. ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය නළුවාගේ නිවෙස වුව ද එය තට්ටු ගණනාවකින් පිරි මහා මන්දිරයක් නොවීය.
ගෙය වටා ඇති වඩා උස නැති තාප්පයට කාටවත් නගින්නට නොහැකි වන සේ විවිධ ගස් වවා තිබිණි. වඩා උස් නොවූ පොල් ගස් ද ඒ අතර තිබිණි.
එකල බොහෝ කලා පුවත්පත්වල සඳහන් පරිදි ගාමිණීගේ සුප්‍රසිද්ධ තොප්පි රාක්කය යන විටම දැකගත හැකිය. ගාමිණී එකල විවිධ තොප්පි එකතු කළේය.
එමෙන්ම ගාමිණීගේ විශාල උඩු කය ඡායාරූපයකි. කමිසයකින් ආවරණය නොවූ එය ඔහුගේ එකල සිරුරේ හැඩය කදිමට පෙන්වයි.
මා එන වේලාව කලින් දන්වා තිබූ නිසා ඔහු මගේ පැමිණීම බිරිඳ සුමිත්‍රාට දන්වා තිබිණි. ඇය ඉස්තෝප්පුවට පැමිණ මට වාඩි වෙන්නට කීවාය. තවත් ටික වේලාවකින් මට කිරි තේ කෝප්පයක් ලැබිණ. ගාමිණී තවමත් නැත. තේ කෝප්පය තොල ගා හමාර වෙත්ම ගෙතුළ කිසියම් තැනක සිට ගාමිණී මට නම කියා කතා කළේය.
මම හඬ ඇසුණු පැත්තට ඇවිද ගියෙමි. ගාමිණී මට පිටුපා එතැන තිබූ යකඩ වැටට හේත්තු වී මිදුල දෙස බලාගෙන සිගරැට්ටුවක් උරමින් සිටියේය. ඒ දර්ශන පෙළ චිත්‍රපටයක ෂොට් බ්‍රේක්ඩවුන් (රූප කැඩීමක්) එකක් මෙනියි මට සිතෙයි.
මගේ අඩි ශබ්දය ඇසී ගාමිණී බාගෙට බිවූ සිගරැට්ටුව අළු බඳුනට දැම්මේය. ඔහු කවදාවත් සම්පූර්ණ සිගරැට්ටුව බිව්වේ නැත.
‘වංචල රේඛා’ චිත්‍රපටය 1979 අග භාගයේදී පමණ රූගත කරද්දී ශ්‍රී ලංකාව පුරා විශාල සිගරැට් හිඟයක් පැවැතිණ. කඩවල සිගරැට් ගැනීමට නොහැකි විය. එකල චිත්‍රපට දර්ශන තලවලදී අනිවාර්යයෙන්ම හැම කෙනකුටම උදේටත් හැන්දෑවටත් සිගරැට් පැකැට්ටුවක් දිය යුතු විය. එහෙත් මේ සිගරැට් හිඟය නිසා එය සීමා කරන්නට සිදු විය.
ගාමිණී එකල ද බිව්වේ ලංකාවේ මිල අධිකම සිගරැට් වර්ගයකි. එම සිගරැට් වර්ගය හිඟ වූ විට ඔහුට පිටරට සිගරැට් ලැබිණ.
එකල සිනමා නළුවන් සිගරැට් බීම ප්‍රෞඪත්වයේ සංකේතයක් මෙන් විය. ඒ නිසා චිත්‍රපට දර්ශනවලදී පවා බොහෝ නළුවෝ සිගරැට් බොති. ඇතැම් විට මෙය හොලිවුඩ් සිනමාවෙන් බෝවී ඉන්දියාවට ද පැමිණ ලංකාවට ද බෝ වූවකි. දැනට වසර කිහිපයකට පෙර ශාරුක් ඛාන් ශ්‍රී ලංකාවට පැමිණි විට මාධ්‍ය හමුවේදී ද සිගරැට් බිව්වේය. සංජේ දත් අයිෆා උළෙලට පැමිණි විට වේදිකාවට ආවේ සිගරැට් පැකැට්ටුවක් අතේ තබාගෙනය. එකල ලංකාවේ බොහෝ පැරැණි නළුවෝ ද සිගරැට් ටින් එකක් අතේ රැගෙන ආහ.
ගාමිණී අත ද බොහෝ විට සිගරැට් පැකැට්ටුවක් විය. අද ඒ සංස්කෘතිය දක්නට නොලැබීම වාසනාවකැයි සිතමි.
ගාමිණී බොහෝ විටෙක තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් වූවෙකි. එකල බොහෝ විටෙක බෝතල් කළ වතුර ප්‍රචලිත වී නොතිබුණු නිසා පිරිසුදු වතුර නැති වූ විට ඔහු පානය කළේ සෝඩාය. සිගරැට්ටුවක් වුව ද බාගෙට බිව්වේ නිකොටින් ප්‍රමාණය ශරීරගත වීම අඩු කරගැනීමටය. මධුවිත පවා ඔහු අපූරුවට පානය කළේය. ආහාර ගැන සැලකිලිමත් වූවේය. රතු ලූනු අමුවෙන් ආහාරයට එක් කරගත්තේය. එහෙත් ගාමිණීට නිකොටින් ශරීරගත වීමෙන් නම් වැළකී සිටින්නට නොහැකි විය. ඔහුගේ ශරීර සෞඛ්‍යයේ හැටියට තවත් වසර පහළොවක් පමණ කිසි කරදරයකින් තොරව ජීවත්ව සිටින්නට හැකියාව තිබිණි. එහෙත් හෘදයාබාධය ඔහු අප වෙතින් රැගෙන ගියේය.
දැන් ගාමිණීගේ හමුව වෙත යළිත් හැරෙමු. ඔහු මවෙත හැරුණේය. සිගරැට්ටුව අළු බඳුනට දමා ඉන් පසුව එතැන තිබූ වේවැල් පුටුවේ වාඩි වෙන්නට මට අතින් සන් කළේය. එය ද හොලිවුඩ් චිත්‍රපට නළුවකුගේ මෙනි. හැඩකාරය. මම පුටුවේ වාඩි වුණෙමි.
ගාමිණී සිටියේ උඩු කය නිරාවරණවය. ඒ කාලයේ ඔහුගේ වයස අවුරුදු හතළිස් තුනක් පමණ වෙතැයි සිතමි. එහෙත් ඔහුගේ ප්‍රෞඩත්වය, කඩවසම් බව බිඳකුදු අඩු නොවී පැවැතිණ. ඔහු සරම අඳින්නේ තරමක් කෙටි වන්නටය. එදා ද ඔහු කොට වන්නට බතික් සරමකින් සැරැසී සිටියේය. ඔහු එතැන තිබූ පුටුවේ වාඩිවූයේ දෙපා පුටුව මතට ගනිමිණි. ඒ ඔහු කැමැති පහසුම ඉරියව්වටයි.
“ඉතින්...” ඊළඟට ඔහු මගෙන් ඇසුවේය. එය ඇත්තටම චිත්‍රපටයක දර්ශනයකට රූප කැඩීමක් මෙනි.
තවත් දිනෙක ඔහුගේ සම්මුඛ සාකච්ඡාවකට මා රැගෙන ගියේ ඔහුගේ නිදන කාමරයටය. එහි රවුම් ඇඳක් විය. බොහෝ විට එවැනි ඇඳක් මා දැක ඇත්තේ චිත්‍රපටවලය.
මම රවුම් ඇඳේ කොණක වාඩි වී ප්‍රශ්න ඇසුවෙමි. ගාමිණී එරමිනිය ගොතාගෙන මගේ ප්‍රශ්නවලට උද්වේගකර පිළිතුරු දුන්නේය.
චංචල රේඛා චිත්‍රපටයේදී විවිධ ආකාරයේ උණුසුම් වාද විවාදවලදී වාග් ප්‍රහාරවලට මා ලක් වුව ද මගේ ප්‍රශ්න ඇසීම ඔහු ප්‍රිය කළ බව මට හැඟිණි.
ඒවාට වරින් වර සරදම් කළ ද ඔහු එසේ ප්‍රශ්න කරනු අසන්නට ප්‍රිය කළේය.
“අද උඹ වාර්තාකාරයෙක් හැටියට මගෙන් ප්‍රශ්න අහනවා. හෙට උඹ කර්තෘ කෙනෙක් වෙනවා. ඒක තමයි කර්මය. කර්මය කියන්නේ කරන දේ. ඒක අනුව තමයි විපාක දෙන්නේ.” ඔහු කිව්වේය.
‘ඒක එහෙමම වෙන්නේ නෑ.’ මා හරස් ප්‍රශ්නයක් නැගූ විට ඔහු මා හා වාදයකට පැටළුණේය. ඔහු දිගටම කර්මය ගැන කතා කරන්නට විය.
තවත් දිනෙක මා සේවය කළ පුවත්පතට පාඨකයකු එවූ ලිපියකින් අසා තිබුණේ ගාමිණි වැනි ප්‍රබුද්ධ නළුවන් ගස් වන්දනා කිරීම වැනි මිථ්‍යා විශ්වාස පසුපස යන්නේ ඇයි කියාය.
එකල ඔහු මීටියාගොඩ ගුණරතන හිමි සමග බෝධි වන්දනා වැඩසටහනකට එක්ව සිටි කාලයයි. ඇතැම් විට එම ප්‍රශ්නය දේශපාලන වුවමනාවක් නිසා කවුරුන් විසින් හෝ එවා තිබුණා වන්නටත් ඇත.
එහෙත් ඔහු ඒ ප්‍රශ්නයෙන් කෝපයට පත් වූයේය. ඔහු සැක කළේ පාඨකයකුගේ නමින් එය මා විසින් අසන ලද ප්‍රශ්නයක් බවය.
“මේක නම් පාඨකයකුගේ ප්‍රශ්නයක් වෙන්න බෑ.” කියමින් මුලින්ම කතාව පටන්ගත්තේය. ඔහු දැඩි සේ ආවේගශීලීව පිළිතුරු දුන්නේ මටය.
“උඹ දන්නවා ද ගස් සෙවණක හිටියාම සමහර ලෙඩ සනීප වෙනවා කියලා.” ඔහුගේ ආවේගශීලී පිළිතුරේ මගේ සිතට වැදුණු කොටස එය විය. පාඨකයා එවූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ මටය.
ගාමිණීට හැමවිටම අමුතු දෙයක් කරන්නට වුවමනා විය. ඔහු චිත්‍රපටයක චරිතයක රඟපෑමේදී පවා එයට උපරිමය ඉටුකරන්නට උත්සාහ කළේය.
‘සන්දේශය’, ‘රන්මුතුදූව’ ආදී ගාමිණීගේ මුල් කාලයේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයකම සහාය අධ්‍යක්ෂවරයකු වූයේ පසු කල ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ තිස්ස ලියනසූරිය ය.
“ගාමිණී කවදාවත්ම දර්ශන තලයේදී කරදරයක් කළේ නෑ. හැබැයි ඔහු රඟපාන චරිතය චිත්‍රපටයේදී ගොඩනගා ගන්න තව තවත් දේවල් එකතු කළා. ඒ චරිතය සාර්ථක කර ගැනීමට. චරිතය සාර්ථක කරගැනීමට ඔහු හැමවිටම කා එක්ක හරි කතා කළෙත් එයාව හඳුනා ගැනීමෙන් පස්සේ. බොහොම සියුම් විදියට එයා තමන්ට මුණගැහෙන අය හැදෑරුවා...” තිස්ස කියයි.
පසු කල ඔහු තමා රඟපාන චිත්‍රපට සඳහා සෙසු චරිත රඟපාන නළු නිළියන් ගැන සැලකිලිමත් විය. මුල් කාලයේදී ඇතැම් විට දර්ශන තලවලදී මතු වූ විවිධ අර්බුද වන්නට විය හැකිය. තමාට හරි හැටි සහාය නොදෙන ශිල්පීන් සමග ඔහු වැඩ කරන්නට අකැමැති විය.
දයා රාජපක්ෂ ලියූ ‘හුලවාලි’ චිත්‍රපටයට නගද්දී එහි ප්‍රධාන චරිතයට ගාමිණීට කතා කරන්නට ගියේ එහි අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා සහ සතිස්චන්ද්‍ර එදිරිසිංහ ය.
ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා සුප්‍රකට කැමරා ශිල්පියකු විය. සතිස්චන්ද්‍ර ඔහුගේ අධ්‍යක්ෂ කාර්යයට සහයවන්නට ආවේ ඩබ්ලිව්.ඒ.බී.ගේ ඉල්ලීම පරිදිය. සතිස් ගාමිණී හමුවී තම අරමුණ කීවේය. ගාමිණී එම චරිතය රඟපාන්නට කැමැති විය.
සතිස් හුලවාලි කතාව හා එහි චරිත ගැන ද පැහැදිලි කරන්නට විය. බිබිලෙ ඇත්තෝ හුලවාලි චිත්‍රපටයේ ප්‍රබල චරිතයක් විය.
ධාරාට තම බිරිඳ අහිමි වන්නේ සිදාදියේ සිට පැමිණෙන බිබිලෙ ඇත්තෝ නිසාය. එය ඛේදවාචකයකින් අවසන් වූවකි. ගාමිණී ඇසුවේ බිබිලෙ ඇත්තෝ රඟපාන්නේ කවුද කියාය. සතිස් එකල ජනප්‍රිය නළුවකුගේ නමක් යෝජනා කළේය. ගාමිණී ඊට අකැමැති විය.
“ගන්න ටෝනි” ගාමිණීගේ පිළිතුර විය. ඇතැම් විට එම නළුවා ගාමිණී සමග ද ප්‍රශ්න ඇතිකරගත්තා විය යුතුය. ඔහු සතිස් සමග ද ප්‍රශ්න ඇතිකරගන්නට ඇත.
නිර්මාණයකදී ඊට පූර්ණ දායකත්වය නොදී වෙනත් ප්‍රශ්න දර්ශන තලයේදී ඇතිකරගත්තා නම් සාර්ථකව එය නිම කළ නොහැකිය.
ටෝනි බිබිලෙ ඇත්තෝ වූයේ ඒ ආකාරයෙනි.
ඇතැම් විට ගාමිණීගේ අදහසට ඩබ්ලිව්.ඒ.බී. සහ සතිස් අකැමැති වූයේ නම් ගාමිණී එම චරිතය ප්‍රතික්ෂේප කරන්නට ඉඩ තිබිණ. ගාමිණීට චිත්‍රපටයක චරිතයක් අත හැරීම ඉතා සුළු දෙයකි.
හුලවාලි චිත්‍රපටයේ චරිතය නිරූපණය ඉතාමත් සාර්ථක විය. ගාමිණීත් සුවිනිතා වීරසිංහත් ටෝනිත් මනාව එම චරිත නිරූපණය කළහ.
ටෝනි ද ඉතා සාර්ථක චරිතාංග නළුවෙකි. ඔහු තම චරිතය වෙනුවෙන් සැබැවින්ම ඉතා මහන්සි වන්නෙකි.
චරිතය හරිහැටි නිරූපණය කිරීම සඳහා ඔහු තම රූප ස්වභාවය ඕනෑම ආකාරයකට වෙනස් කරගන්නට කැමැතිය.
තිර පිටපත කලින් හදාරා ඔහු දර්ශන තලයට එන්නේ දෙබස් ආදිය හොඳින් මතක තබාගෙනය. දර්ශන තලයේදී කැමරා කෝණය ලබාදීමෙන් පසු ටෝනි ඉතා නිවැරැදිව දෙබස් කියමින් සාර්ථකව චරිතය නිරූපණය කරයි.
ඔහු කෝපයට පත්වන්නේ එදිනට නියමිත දර්ශන වෙනස් කළහොත් පමණි.
ගාමිණී-ටෝනි සුසංයෝගය කොපමණ ද යත් ගාමිණී අධ්‍යක්ෂණය කළ ‘රෑ මනමාලි’ චිත්‍රපටයේ ටෝනි රහස් පරීක්ෂකයකු ලෙස ප්‍රධාන චරිතය රඟපෑවේය.
ගාමිණී සිනමාවේ කිරුළු දරා සිටිය ද ඔහු ‘රෑ මනමාලි’ චිත්‍රපටයේ රඟපෑවේ නැත.
“මම රඟ නොපා අධ්‍යක්ෂණය කළ පළමු වැනි චිත්‍රපටය ‘රෑ මනමාලි’යි. එහෙම වුණේ සම්පූර්ණ අවධානයම චිත්‍රපටය යොමු කරන්න මට වුවමනා වූ නිසායි. මගේ චිත්‍රපටවල උප ප්‍රධාන රඟපෑ ටෝනිගේ දක්ෂතාවලින් උපරිම ප්‍රයෝජන ගන්නට ප්‍රධාන චරිතයකට යොදා ගැනීමේ අදහස කාලයක සිට මා තුළ තිබුණා.”
ගාමිණී රඟ නොපා අධ්‍යක්ෂණය කළ ‘රෑ මනමාලි’ ගැන කීවේ එසේය.
‘රෑ මනමාලි’ එකල සම්භාව්‍ය චිත්‍රපට ප්‍රදර්ශනය කළ පස්වැනි මණ්ඩලයේ තිරගත කිරීමට ඉල්ලුම් කෙරිණි. ගාමිණී ඒ පිළිබඳව කීවේ අපූරු කතාවති.
“රෑ මනමාලි පස්වැනි මණ්ඩලයට සුදුසු දැයි තීරණය කිරීම සඳහා චිත්‍රපට සංස්ථාවෙන් බලන්න ඇවිත් හිටියේ එක් සාමාජිකයෙක් සහ ඔහුගේ බිරිඳ පමණයි. රාජ්‍ය චිත්‍රපට සංස්ථාවේ වාර්තාවල තියෙනවා මුළු මණ්ඩලයම චිත්‍රපටය බැලුවයි කියලා. මේක කොහොම වුණා ද කියලා සංස්ථාවේ ලොකු අයටවත් හිතාගන්න බෑ. ඒත් එය මණ්ඩලයේ තීරණයක් ලෙස අනුමත වී ‘රෑ මනමාලි’ පස්වැනි මණ්ඩලයට නුසුදුසු යයි කියා තිබුණා.”
ගාමිණී කිසියම් ප්‍රශ්නයක් ඇති වූ විට ප්‍රසිද්ධියේ තම අදහස් කියා පෑමට බිය නොවන්නෙකි. ඒ ඔහුගේ හැටිය. එයින් වන ප්‍රතිඵලයට ඔහු බිය නොවෙයි.
රොඩ්නි විදානපතිරණ