ගැමි රස විත


අතුරුපස

තවත් ඔත්තුවක්


සරදියෙල් ගත කළේ යහපත් ජීවිතයක් නොවේ. රැකියාවට මාළු වෙළඳාම කළත්, සවස් වනවිට බීගෙන ගම පුරා සැරිසැරීම ඔහුගේ පුරුද්දයි. උපයන යමක් වේ නම් ඒවා හොර අඹුවන්ට පුදයි.   


එදා සවස් වරුවේ ගම්සභා පාර දිගේ මැගිලින්ගේ ගෙවල් පැත්තට යන සරදියෙල්ට පන්සලේ ලොකු හාමුදුරුවෝ මූණටම මුලිච්චි විය. මග හරින්නට විදියක් තිබුණේම නැත.   
‘ආ... සරදියෙල්. මාත් මේ හම්බවෙනකල් තමා උන්නෙ. මොනවද ඔය කරන වැඩ? උදේ හිටං රා බීගෙන ඇවිදිනවා. රස්සාවෙන් ඉතුරුවකුත් නෑ. රෑ තිස්සේ ගෙවල්වලට රිංගනවා කියලත් ආරංචියි.‌‌’   


‘අනේ හාමුදුරුවනේ... ඔය එක එකා කියන එව්වා විශ්වාස ගන්ට එපා. මම ටිකක් විතර බොනවා තමයි. ඔය බවලත් දෙතුන් දෙනෙක් මට හිතවත් බවත් ඇත්ත. අපට ඉතින් ඔය බිම්බිසාර වගේ රජවරු කළ විදියට අන්තප්පුර තියාගන්ට බැහැනේ.’ සරදියෙල් වෙරිමතේ කීය.   


‘ඔන්න ඕවා තමයි සරදියෙල් පිරිහීමේ දොරටු. කවුද ඔය කීව බවලත්තු? අර වෙලේ ගෙදර සිරිපිනාද?’   


‘සිරිපිනා? අනේ නෑ හාමුදුරුවනේ.’   


‘එහෙනම් ලන්දේ වත්තේ ලැයිස? ලෙලි තළන මංගොහාමි?’   


‘ඕකනේ මං කීවෙ හාමුදුරුවනේ ඔය එකියක් එක්කවත් මගේ පයුරු පාසානමක් නැහැනේ. ඔය එක එකා කියන ඒවා පිළිගන්න එපා හාමුදුරුවනේ.’ කී සරදියෙල් හෙමින් සීරුවේ ලිස්සා ගියේය.   


ටික දුරක් යද්දී තම ගජයකු වූ කයිතන් ඔහුට මුණගැසිණි.   


‘මං බලාගෙන ලොකු හාමුදුරුවෝ දේශනයක් දුන්න නේද? මොනවද බං කීවේ?’ කයිතන් ඇසීය.   
සරදියෙල් ඇඟිලි තුනක් විදහා පෙන්වීය. ‘පාඩුවක් වුණේ නෑ බං. අලුත් තැන් තුනක් හම්බවුණා.’   

 

 



පරණ පොරවල්   


කඩේට ගිය ගැටවර වියේ පසුවන මුණුබුරා තවමත් නොපැමිණි නිසා ආච්චි සිටියේ විස්සෝපයෙනි. හොඳටම පමාවී ඔහු පැමිණියේ බිම් කරුවලත් වැටුණු පසුවය.   
‘මොකෝ පුතේ කඩමණ්ඩියට ගිහින් එන්ට මෙච්චර පමා වුණේ?’   
‘නෑ ආච්චි... කඩේ ළඟදි පරණ පොරවල් දෙකක් හම්බවුණා. ඒකයි.’  
‘ඉතින් පුතේ... එකක්වත් ගෙනාවේ නැත්තේ ඇයි? මුවත් තියල ගත්තනං දර කෑල්ලක්වත් පලාගන්න තිබුණනේ.’ 

 


 

බැස ගිය හැටි   


කාර්යාලයේ මිතුරෙක් කලකට පසු හේරත් මහතාගේ නිවසට පැමිණියේය. දෙදෙනා එක්ව සතුටු සාමීචියේ යෙදෙන අතර මිතුරා මෙසේ ඇසීය.   
‘ඔයාගේ නෝනා කෙට්ටු වෙන්න බෙහෙත් ගන්නවා කීව නේද? කොහොමද සාර්ථකද?’   
‘අපොයි ඔව්. දවසෙන් දවස ඇඟ බහින්න ගත්තා.’   
‘එහෙනම් දැන් ඉස්සර වගේ හැඩට ඇතිනේ. කෝ එයා...? අද ගෙදර නැද්ද?’ මිතුරා යළිත් ඇසුවේය.  
‘දවස් තුනකට කලින් නොපෙනීම ගියා.’ හේරත් මහතා කීවේ ශෝකයෙනි.   

 

 

 



දෘෂ්ඨි කෝණය   


වනාන්තරය වනසමින් කරගෙන යන පස් ජාවාරමක් පිළිබඳව ජනමාධ්‍ය අවධානය යොමු විය. තොරතුරු රැස්කරමින් ගම පුරා ඇවිදින මාධ්‍යවේදියෝ නිවෙස්වලට ගොඩවැදී ජනතා අදහස් ලබාගත්හ.   
එක් නිවෙසක සිටියේ මහල්ලෙක් පමණි. වොයිස් කට් සොයා ඇවිදින මාධ්‍යවේදීන් ඔහුද අතහැරියේ නැත.   
‘මේ කරගෙන යන මහා පරිමාණ පස් ජාවාරම ඔබතුමා දකින්නේ මොන දෘෂ්ඨි කෝණයෙන්ද?’ මාධ්‍යවේදියෙක් ඔහුගෙන් විමසා සිටියේය.   
මොහොතක් කල්පනා කළ මහල්ලා පිරිස ගෙතුළට කැඳවාගෙන ගියේය.   
‘මෙන්න මේ ජනේලෙන් තමයි මම දකින්නේ. වාහනවල පස් පුරවාගෙන යන හැටි අපූරුවට පේනවා.’   



කැඩෙන බිඳෙන දෑ   


කොළඹ පළාතේ රැකියාව කළ ජාකෝලිස්ට වැඩ අධික නිසා කලකින් ගමේ යන්නට බැරි විය. තම මහලු මවට දහම් පඬුරක් යැවීමට සිතූ ඔහු වටිනා බණ පොතක් මිලදී ගෙන, එය පාර්සල් කර තැපැල් කන්තෝරුවට ගියේය.   
‘මේකෙ කැඩෙන බිඳෙන මොකුත් තියෙනවද?’ තැපැල් මහත්මයා ඇසීය.  
‘ආ... ඔව් ඔව්.’ ජාකෝලිස් පිළිතුරු දුනි.  
‘අටසිල්, පන්සිල්’ එහෙම තියෙනවා.   



පත්තර ප්‍රහාරය   


මාධ්‍යවේදියාට නොමනා ඇමතුමක් ආවේ හිතුවත් දේශපාලකයකුගෙනි.  
‘මගේ වැඩට නිතරම අත දාන අධ්‍යක්ෂකයෙක් ඉන්නවා අමාත්‍යංශෙ. බැරිද මිනිහට මාව ගාවන්නෙ නැතිව පත්තරෙන් ගහන්න?’   
‘එහෙනම් ඉතින් පත්තරෙන් ගහල වැඩක් නෑ ඇමැතිතුමා. පත්තරේ මැද්දට කිතුල් පොල්ලක් තියල ගහමු.’

 

 

 

 

කලණ මිතුසඳ