අවුරුදු හතළිහ ඉක්මවූවාට පසුව ගැබ් ගැනීමේ අවදානම පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවිකාව මෙන්ම වෛද්‍යවරුන් ද ජිනාදරීට පැහැදිලි කර දී තිබිණි. එහෙත් ඇය අබමල් රේණුවක හෝ බියක් ඇති කර ගත්තේ නැත. ඇය සිටියේ හොඳ නිරෝගී සුවයෙනි. නිවසේ කුදුමහත් කටයුතුත්, දරුවන්ගේ කටයුතුත් ඇය නොපිරිහෙළා ඉටු කළාය. ගැබිනි මව්වරුන්ට පෝෂ්‍යදායකයයි කියැවෙන ඕනෑම ආහාරයක් ඇය වෙනුවෙන් සපයන්නට කිත්සිරි සැදීපැහැදී සිටියේය. හිත යටින් මොන තරම් සිනාසුණත්, නැති තැන විවේචනය කළත් ගැබිනියකට කෑම ටිකක් දීම කුසලකර්මයක්යයි සැළකෙන සමාජයක විසූ බැවින් පලතුරු ටිකක්, රස කැවිල්ලක්, කෑම පාර්සලයක් නොලැබුණ දවසක් ජිනාදරීට එළඹුණේම නැත. වෙනත් ගෙවල්වල ගැහැනුන්ට මෙන් සැමියාගෙන් හෝ දරුවන්ගෙන් කිසිදු කරදරයක් සිදු නොවූ බැවින් ඇයට සිත් පීඩාවක් ද නොවිණි. හිටිහැටියේම ඇයට බියක් දැනුණේ මන්දැයි කිත්සිරිට තේරුම් ගත නොහැකි වූයේ එම නිසාය.
ඔහු ඇගේ අත අල්ලාගෙනම සීරුවෙන් මිදුලට බැස අඹ ගහ යට ලෑලි බංකුවේ වාඩි ගත්තේය. වහල කෙළවරේ එල්ලුණ විදුලි බුබුලේ ආලෝකය එතැනට වැටුණේ යාන්තමිනි. සීතල සුළඟක් ද ගත සිසිල් කරමින් හමා ගියේය.
“කවදාවත් නැතුව එහෙම බයක් දැනුණෙ ඇයි නෝනෙ..?”
ඔහු විමසුවේ ඇගේ ගෙල වටා අත යවා හිස උරහිසට හේත්තු කර ගනිමිනි. සිතට දැඩි ආදරයක් ඇතුළු වූ කල නෝනේ වශයෙන් ජිනාදරී අමතන්නට කිත්සිරි පුරුදුව සිටියේය.
“මම ලොකු දුවට කිව්වා හෙට උදේ ආච්චි එයි කියලා එක්ක යන්න.. බඩට ඔළුව තියාගෙන යන්න බෑ කියලා ඇඬුවනෙ.. එතකොට මාව හෝස් ගාලා පිච්චුණා..” ජිනාදරී හීල්ලුවාය.
“ඕක ඉතින් එච්චර හිතට ගන්න දෙයක්යැ.. මාත් ගෙදර ඉන්න හින්දා කෙල්ලට යන්න බෑ කියලා හිතෙන්න ඇති..”
“එහෙම තමයි කියන්නෙ නම්.. තාත්තා තනියම නංගියි මල්ලිලයි බලා ගන්නෙ කොහොමද කියලා කියනවා..”
“මටත් කෙල්ල නැතුව පාළු හිතෙයි.. එක්කො ඔන්න ඔහෙ ගෙදර ඉන්න කියමු ද..? ඔය දවස් දෙක තුනේ මහා ලොකු වෙනසක් වෙයි කියලා මම හිතන්නෙ නෑ..”
කිත්සිරි සුපුරුදු සැහැල්ලුවෙන් පැවසුවේය.
“අම්මා තදින්ම කියලා තියෙන්නෙ මම ඉස්පිරිතාලෙ යන්න ඉස්සර ලොකු දුව එහෙ එක්ක යනවා කියලා.. ඒක වෙනස් කරන්න ගියොත් දන්නවනෙ ඉතින්.. වෙනසක් වුණා නැතා මං එනකම් එහෙ හිටපුවාවෙ..” ඇය අවධාරණයෙන් පැවසුවාය.
“මට නම් මගෙ කෙල්ල තවමත් පොඩියි.. පුංචි කාලෙ කැතකුණු අත ගෑව මට අනිත් මොන රාජකාරියත් මහලොකු දේවල් වෙන්නෙත් නෑ.. ඒත් ඉතින් ඔව්වා අම්මට තේරුම් කරලා දෙනවට වැඩිය හොඳයි එයා කියන විදියකට කරන එක..” එවර ඔහු කීවේ සුසුමක් හෙළමිනි.
“ඔව්.. නැත්නම් පැත්ත පළාතෙ හැරිලා බලන්නෙ නැතුව ඉඳියි.. මේ වෙලාවේ ඉතින් අපිට හයියට ඉන්නෙ අම්මා විතරයිනෙ..”
“ඉස්සර වාගෙ නෙමෙයි දැන් අම්මා කෙල්ලගෙ හිත රිදෙන විදියෙ දේවල් කියනවනෙ.. ඒ හින්දා එහෙ යන්න බෑ කියලා හිතුණ ද දන්නෙ නෑ..” කිත්සිරි සැක පළ කළේය.
ඔහු හැමදාමත් දරුවන් එකම වයසේ සිටිනවා දකින්නට ප්‍රිය කරන තාත්තා කෙනෙකුයයි කියමින් ඇතැම් අවස්ථාවල ජිනාදරී ඔහුට සරදම් කළාය. ඔහුට දරුවන් ඇති වීමක් නැත්තේ ඒ නිසායයි ඇය තනිව සිතූ අවස්ථා ද තිබිණි. නවයේ පන්තියේ ඉගෙනුම ලබන දිනේෂි පිටේ එල්ලාගෙන ලුණු ගෙන යන්නට ඔහු කවදාවත් පැකිලුණේ නැත. එවන් අවස්ථාවල සිනාසෙමින් බලා සිටිනවා මිස ඔහු වළක්වන්නට ඇය උත්සාහ දරන්නේත් නැත.
“උඹට පිස්සු ද බං කිත්තො..? හෙට අනිද්දා ගෙට වෙන්න ඉන්න කෙල්ල පිටේ එල්ලාගෙන ලුණු ගෙනියන, ඔඩොක්කුවේ තියාගෙන නළවන තාත්තලා ඉන්නව ද..? පින් සිද්ද වෙයි රටේ ලෝකේ මිනිස්සු හිනස්සන්නෙ නැතුව හිටපන්..”
කියමින් ඔහුට දොස් පැවරුවේ ඔහුගේම අම්මා හීන් නෝනාය. කිත්සිරිගේ බොළඳ හැසිරීම්වලට උඩගෙඩි දෙන්නේයයි ඇය ජිනාදරීටත් බැණ වැදුණ අවස්ථා තිබිණි.
“මේකි මගෙ ලොකු කෙල්ල මිසක් වෙන කාගෙවත් එකියක් නෙමෙයිනෙ අම්මා.. ඒකිව වඩාගෙන ඉන්න මට බැරිනම් කාට ද පුළුවන්..?” ඔහු විමසන්නේ උදහසිනි.
“උඹත් එක්ක කතා කරන කට ගලක උලා ගත්තා නම් හොඳයි කිත්තො.. අනේ අම්මපා උඹලගෙ ඉහනිකට පැහුණේ නියඟෙට ද මං අහන්නෙ..? ගෑනු දරුවො ලොකුමහත් වෙනකොට තාත්තගෙ තුරුල්ලෙන් ඈත් කරනවා මිසක්කා තුරුල්ලට ගන්න සිරිතක් නෑ.. ආං ඒක හොඳට මතක තියා ගනිං.. කොහෙද ඉතින් අම්මලාටත් එව්වා පහදලා කියලා දෙන්න ඕනැකමක් නෑනෙ..”
ජිනාදරී දෙස ද නොපහන් බැල්මක් හෙළමින් හීන් නෝනා කී දිනයෙක කිත්සිරි බොහෝ කනස්සල්ලට පත් වූයේය. ජිනාදරීගේත් සිත රිදිණි. පියෙකුගේත්, දියණියකගේත් ආදරණීය, සුපිවිතුරු බැඳීමට තහංචි පනවන්නේ කුහක සිත් ඇත්තවුන් නොවන්නේදැයි ඇයට සිතිණි. තමන්ගේම ලෙයින් උපන් දියණිය දෙස කාමුක ඇස්වලින් බලන්නට තාත්තලා පොළඹවන්නේ මෙවන් අමන මතිමතාන්තර විසින්ම විය යුතුය. නැන්දම්මා සමඟ තර්ක කර සිත් පීඩාවක් ඇති කර ගන්නට නොහැකි නිසා ජිනාදරී නිහඬ වුවත් කිත්සිරිනම් බොහෝ දේවල් කීවේය.
“ඇයි තාත්තෙ.. මම තාත්තගෙ කරේ එල්ලුණා කියලා ආච්චිට ඒ තරම් කේන්ති ගියෙ..?”
එදින රැයේ දිනේෂි බියමුසු හඬින් ඇසුවේ වෙනදා මෙන් ඔහු අසළ දැවටෙන්නේ නැතිවය. කිත්සිරිට සිය මව කෙරෙහි තරහක් ද, දියණිය කෙරෙහි මහා අනුකම්පාවක් ද එක්වරම ඇති විය. ඔහු ඇය තුරුළු කරගෙන පිල මත වාඩි වූයේය.
“මේකයි පුතේ.. ආච්චිලා හැදිලා තියෙන්නෙ පිරිමි දේවත්වයෙන් අදහන්න ඕනැ කියලා හිතන සමාජෙක.. එයාලා හිතන්නෙ ගෑනු පිරිමි හරිහරියට කතාබහ කරන එකත් ලොකු පවක්, පිරිමින්ට කරන නින්දාවක් කියලා.. තාත්තා කෙනෙක් දුවෙක් වඩා ගන්න එකත් වරදක් විදිහට දකින්නෙ ඒකයි..”
දියණියගේ සිතත් නොරිද්දා, සිය මවගේ දොස් ද නොඋලුප්පා, තමාත් දියණියත් අතර ඇති බැඳීම ද නොවෙනස් වෙන ආකාරයට සිද්ධිය සැහැල්ලු කර කතා කරන්නට කිත්සිරි උත්සාහ කළේය. එහෙත් ඔහුගේ සිතේ පැවතියේ මහා බර ගතියකි.
“අර පෑලිස් සීයා හොඳටම බීපු දවසට කෑ ගගහ යන්නෙ පිරිමි ජාතිය උතුම් ජාතිය උදේ හවහට මල් පුදාපිය, ගෑනු ජාතිය ජරා ජාතිය ගලේ ගහලා මරා දාපිය කියකියා.. එහෙම කියන්නෙ එයත් දෙවියෙක් කියලා හිතාගෙන වෙන්න ඇති නේද තාත්තෙ..?”
දිනේෂි එය විමසූ ස්වරය කිත්සිරි සිනා ගන්වන්නට සමත් වූයේය. ඇය දැන් සිටින්නේ දැනුම්තේරුම් ඇති වයසේ නිසා සමාජයේ විෂම බව පිළිබඳව ටිකින් ටික තේරුම් කළ යුතුයයි ඔහු ඉටා ගත්තේ එදිනමය.
“තමන්ගෙ අම්මත් ගෑනියක් කියලා අමතක කරන ඒ වාගෙ මෝඩ මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා පුතේ.. ආච්චිලා වාගෙ ගෑනුම ඒවට උඩගෙඩිත් දෙනවා.. හොඳට මතක තියා ගන්න ලෝකේ පවතින්නෙ තනිකර ගෑනු හින්දාවත් තනිකර පිරිමි හින්දාවත් නෙමෙයි දෙගොල්ලම හින්දා.. මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ට, ගස්කොළවලට පවා ගෑනු පිරිමි බේදේ ඕනැ වෙනවා.. ලෝකෙ වෙනස් තැනක් වෙන්නෙත් එතකොට.. ලස්සන තැනක් වෙන්නෙත් එතකොට..”
කිත්සිරි කියාගෙන යද්දී දිනේෂි ඉතා ඕනෑකමින් ඇහුම්කන් දී සිටියාය. ආච්චිගේ කතාවෙන් පසු ඇගේ මුහුණේ ඇති වී තිබූ බයාදු බව හා දොම්නස තුරන් වී තිබෙනු දැක ඔහු සතුටු වූයේය. ඔහු සතුටු ෙවන්නේ බිරිඳ හා දරුවන් තෘප්තියෙන් සිටින්නේ නම් පමණකි.
“ඔය ටික විතරක් කියලා දීලා මදි.. තමන්ගේ තාත්තා, සහෝදරයෝ දිහා ඇරෙන්න අනිත් පිරිමි දිහා ටිකක් සැකෙන්, අවිශ්වාසෙන් බලන විදියත් කියලා දෙන්න ඕනැ..”
කිත්සිරි වෙතින් ඒ විස්තරය දැන ගත්තාට පසු ජිනාදරී කීවේ බැරෑරුම් ස්වරයෙනි.
“එව්වා කියලා දෙන්න ඕනැ තාත්තා නෙවෙයි අම්මා.. හැබැයි දැන්ම කියලා ළමයින්ගෙ ළමා කාලය කාබාසිනියා කරලා දාන්න ඕන නෑ.. ඒ කෙල්ල ඔහේ පාඩුවේ හැදිද්දෙන්.. ඕනැ කෙනෙක් ආස්සරේ කරපුදෙන්.. වැරදි පැත්තකට යනවා කියලා දැනුණොත් විතරක් අවවාද කෙරුවම ඇති..” ඔහු තරයේම කීවේය.
සත්තකින්ම ඔවුන් තුළ තිබුණේ දරුවන් රජුන් හෝ රැජිනියන් කිරීමේ සිහින නොවේ. තමන් අභිමත ලෝක කරා යනු පිණිස දරුවන් ගේ සිතුම්පැතුම් වෙනස් කර ඔවුන් අසරණයන් බවට පත් කරන්නට ඔවුන්ට වුවමනා වූයේ ද නැත. ඔවුන්ට වුවමනා වූයේ කාටවත් අත නොපා, කිසිවෙකුට කරදරයක් නොකර ජීවත් වෙන ආකාරයට දරුවන් හදාවඩා ගන්නට පමණකි. ඉනික්බිතිව යායුතු මංහසර ඔවුන් විසින්ම සොයා ගනු නියතයැයි අඹුසැමියෝ තරයේම විශ්වාස කළහ. කවදාවත් කුසගින්නේ නොසිටියත් අඟහිඟකම් තේරුම් ගන්නට ඔවුන්ගේ දරුවන්ට ශක්තිය තිබිණි. ඔවුන් දෙදෙනා ඔවුන්ට දෝත පුරාම දුන්නේ ආදරය හා රැකවරණය පමණකි.
“ජිනා.. මං උඹට තරහට නෙමෙයි මේ කියන්නෙ.. වැලේ ගෙඩි වැලට බර නෑ කිව්වට ගෙඩි ටික ටික ලොකු මහත් වෙද්දී, වැලේ හයිය අඩු වෙද්දී ඒ බර දැනෙන්න ගන්නවා.. අන්තිමට සිද්ද වෙන්නෙ වැලත් කැඩිලා ගෙඩි ටිකත් සීසීකඩ විසිරිලා යන එක.. පස්සෙ දුක් වෙනවට වැඩිය හොඳයි ටිකක් කල්පනාවෙන් වැඩ කරන එක..”
පසුදා උදේ දිනේෂි සිය නිවසට කැටුව යාම පිණිස පැමිණි හීන් නෝනා කියාගෙන ගියේ කිත්සිරි අහළපහළ ඇද්දැයි සෝදිසියෙන් බලමිනි. ලේලිය රෝහලට යාමට සූදානම් වෙමින් සිටින මේ මොහොතේ පුතු සමඟ සිත් අමනාපයක් ඇති කර ගන්නට ඇය කැමති වූයේ නැත.
“අම්මා කියන්න හදන්නෙ මොකක්ද කියලා මට තේරෙන්නෙ නෑ..” ජිනාදරී නළලත රැළි කළාය.
“නොතේරෙන්න උඹ බබානෙ.. මේ සැරේවත් එනකොට ඔය දරුවෝ නැති වෙන්න කරන ඔපරේසම කරගෙන වරෙන්.. කිත්තට බරක්පතලක් නැති වුණාට උඹට තියෙන්ට එපායැ.. උඹ තිස්සදෙවේලේ බඩක් බැඳගෙන ඉන්නකොට අර හෙට අනිද්දා ගෙට වෙන්න ඉන්න එකීටත් ලජ්ජාවනෙ.. අනිත් එක තව ඉස්සරහට සුළුපටු වියදම් ද කරන්න තියෙන්නෙ..?”
හීන්නෝනා කියාගෙන ගියේ නොරිස්සුම පෙරදැරි කරගෙනය.
“ඔව් අම්මා.. මමත් හිතාගෙන ඉන්නෙ එහෙම තමයි.. මිඩ් වයිෆ් නෝනත් කිව්වා මීට පස්සෙ දරුවො හදන එක අවදානම් කියලා..”
ජිනාදරී නැන්දම්මාට පමණක් ඇසෙන්නට පහත් හඬින් දෙඩුවාය. හීන් නෝනාගේ දෙතොලේ සැනසිලිදායක මඳහසක් ඇඳිණි.
ලබන සතියට.