ගුප්ත ආත්ම ගෙන්වා වැඩ ගත්තේ මෙහෙමයි


පෙනෙන නොපෙනෙන ලෝකය  

 

 

​ඉතාම ඈත කාලයේ සිට ලොව බොහෝ රටවල විසූ මනුෂ්‍යයන් නොපෙනෙන ලෝකයේ ගුප්ත ආත්ම සමග සබඳකම් පැවැත් වූ බවට සාක්ෂි කොතෙකුත් පවතී. ඒ සඳහා ඔවුහු නොයෙක් ඇදහිලි විශ්වාස පුද පූජා බලිබිලි මැතිරිලි ආදිය යොදාගෙන තිබේ. ඒ හේතුවෙන් නොයෙකුත් ජනප්‍රවාද රසකතා විස්මිත පුවත්ද විවිධ රටවල ජනතාව අතර පැතිර පවතී. විවිධ ජන කොටස් අතර මෙවැනි කටයුතු කිසියම් ශාස්ත්‍රීය ක්‍රමයකට අනුව භාවිත කොට ඇති බව පෙනී යයි.  


මෙකී ක්‍රමවේදයන්ගෙන් ඇතැම් දේ ගැන සොයා බලන විට අද කාලයේ බොහෝ දෙනා විස්මයට විමතියට පත්වන්නේ මේවා කොහෙන් පැමිණි දේවල්දැයි සිතා ගැනීමට නොහැකි බැවිනි. ඒ කෙසේ වුවත් අප රටේද අති දීර්ඝ කාලයක් තිස්සේ නොපෙනෙන ලොව සමග විවිධ ජන කොටස් නොයෙක් අයුරින් කටයුතු කර ඇති බව පෙනී යයි. විශේෂයෙන් දකුණේ මාතර දිස්ත්‍රික්කය මේ පිළිබඳව දිගු කලක් තිස්සේ ප්‍රකටය.  
හොඳ පැත්තටත් නරක පැත්තටත් යන දෙකටම ඉහත කී නොපෙනෙන බලවේග යොදා ගැනීමට පැරණි සමාජයේ ඇතමුන් අවස්ථානුකූලව කටයුතු කර තිබේ. මේවා සත්‍ය හෝ අසත්‍ය යැයි නිගමනයක් දීම අපගේ කාර්යයක් නොවේ.  


විවිධ ගුරු පරම්පරා අත පැවැති මෙකී ගුප්ත කර්ම පසුකාලයේ ලාබ ලෝභ ඊර්ෂ්‍යා ආදී අයහපත් චේතනාවන්ගෙන් කටයුතු කරන පුද්ගලයන් අතට පත්වීමෙන් සිදුවන විනාශය ගැන සලකා කිසිවකුට ඉගැන්වීමකින් තොරව සිටි අතර ඒවා භාවිත කළ අයගේ අභාවයත් සමග එම ශාස්ත්‍ර සැඟව ගිය බවට පිළිගැනීමක් පවතී. අද දක්වා පවතින්නේ ඒවායෙන් සුළු කොටසක් පමණක් යැයි විශ්වාස කෙරේ. අද මේවා ඇතැම් අය යොදාගෙන ඇත්තේ බඩ වඩා ගැනීමටය.  


ගුප්ත කර්මයන් කොටස් කිහිපයක් පවතින අතර හොඳ නරක අනුව ඒවා වර්ග කර තිබේ. වශී, ආකර්ශන මෝහන, ස්ථම්භන, ශාන්ති කර්ම, විද්වේශන, උච්චාවන, මාරන යන අෂ්ට කර්මයන්ගෙන් අද විශාල වශයෙන් භාවිත කෙරෙන්නේ මිනිසාට සෙත වැඩ සලසන ශාන්තිකර්මයන්ය. සෙත් ශාන්ති හොඳ දෙයකි.  
මේවායෙන් ස්ථම්භන (වැළැක්වීම) විද්වේශන (වෙන් කිරීම, කඩාකප්පල් කිරීම) උච්චාවනය (පැන්නීම) මාරණය (වනසා දැමීම මරණයට පත් කිරීම) අසුභ නරක පැත්තේ වැඩ බව පිළිගැනේ. ඒවායේ යෙදෙන්නත් එමගින් මහත් වූ අකුසලයක් පාපයක් සිදුකර ගනී. මේවා ධර්මයට මුළුමනින්ම පටහැනි දේවල් වේ. එහෙත් අධර්මයත් අධර්මවාදීනුත් ලොව කවදත් පවතී.  


මාරණ කටයුතුවලට අදාළව සතුරන් වැනසීමට රාත්‍රී 2 ත් 6 ත් අතර කාලයේදී දකුණු දිග බලා කොඩිවින අංගං භූමි පාඨ ආදිය කරති. කළු වර්ණය සහිතව මීනී ඇට මිශ්‍ර ධුපයන් (දුම්) අල්ලමින් කොටළුදත්, මිනී දත්, මිනී හිසකෙස් සහිතව මිනී වළ උඩ දපමින් කරනු ලබන මෙම බිහිසුණු ක්‍රියාව ලෙහෙසි පාසු නැතත් මුදලට ලාභ ප්‍රයෝජනවලට එවැනි දේ කළ අය අතීත යුගවල සිටියහ.  


එකිනෙකා වෛර කරවීම භේද කිරීම ඇතුළත් විද්වේෂණ කර්මයේදී මූ දේවිය (සීදේවියට ප්‍රතිවිරුද්ධ) මුල් කරගෙන බකමූණු පියාපත් ඇතුළත් ධූපයකින් දුම් දෙමින් ගඳපානමල්, කුණු මාළු, සුරුට්ටු, නියපොතු, ඇතුළත් පුදයහන ​සොහොන් පිටියක තබා රාත්‍රී 10 ත් 2 ත් අතර ජපකරන බව පැරණි යකදුරෝ කියති. එයට වෙනස් ක්‍රමවලටද පුද්ගලයන් සහ කණ්‍ඩායම් වෙන් කිරීමට භේද කිරීමට ගුප්ත ක්‍රම යොදාගෙන ඇති බව අසන්නට ලැබේ. මෙවැනි ක්‍රියා කරන්නන්ට සහ එවැනි දේ කරවන්නන්ටද ඉන් එක්වන පාපය සහ ශාපය අතිමහත් බව කිව යුතුව තිබේ. පන්සිල් රකින තිසරණ සරණ ගිය නිතර මෛත්‍රී භාවනා වඩන කෙනෙකුට නම් මෙවැනි ගුප්ත ක්‍රමවලින් විශාල හානියක් කළ නොහැකි බව අනාවරණය වී ඇත. ඒ ධර්මයේ ශක්තියයි. ශීල බලයේ විස්මයයි.  


ඉහත කී අෂ්ටකර්මයන්ට නියමිත දිසාවන්ද පවතී. ස්ථම්භනයට නැගෙනහිර දිශාවද වශී කර්මයට ගිනිකොන දිසාවද මරණයට දකුණද විද්වේෂණයට නිරිතද මෝහණයට බස්නාහිරද උච්චාවනයට වයඹද ආකර්ශනයට උතුරද ශාන්ති කර්මයට ඊසාන දිසාවද යොදා ගැනේ.  


මේ හැරෙන්නට හැම මාසයකම සඳෙහි බලපෑම අනුව යෙදෙන ස්වභාවික සංසිද්ධියක් වූ පුර පක්ෂයේ සහ අවපක්ෂයේ දින හොඳ නරක කටයුතුවලට විධිමත් ලෙස යොදා ගෙන විශ්වබලවේගයන්ගෙන් වැඩ ගැනීමට අපේ පැරණි අය කටයුතු කර තිබේ. පුර ලබා තිබෙන විට ශාන්තිදායක කටයුතු සෙත් පැතීම් සෙත්කවි කීම ආදී සෙත සැලසෙන ආගමානුකූල කටයුතු අදත් සිදු කරන බව ප්‍රකටය.  


කිළි අසුවීම හෙවත් බලවත් වූ විෂබීජ දාමයකට මුහුණ දී සිටින අය සෙත සැලසෙන ශාන්ති කර්මයක් කෙරෙන ස්ථානවලට ඒ පරිසරයට නොපැමිණ සිටිය යුතු බව අදත් පිළිගැනේ. දෙවිනුවර ඇසළ මහා පෙරහර වැනි වාර්ෂික පූජා මංගල්‍යයන්හිදී මහ දෙවොලේ පුද පිළිවෙත් මරණ කිල්ල වැනි දේට හසු නොවන ලෙස සිදු කිරීමට විවිධ ක්‍රමෝපායන් අනුගමනය කෙරේ.  


මරණ කිල්ල මාස තුනක්ද දරුවන් ප්‍රසූත කිරීමේ කිල්ල දින 30 ක්ද වැඩිවිය පැමිණීමේ කිල්ල දින 12 ක්ද ස්ත්‍රීන්ගේ ඔසප් වීම නාන තුරුද පවතී යයි පැරණි ජන සමාජයේ පිළිගැනීමක් විය. මේ හැරෙන්නට කහදියර, සඳුන්, කිරිපැන් භාවිත කොට පිරිසිදු පරිසරයක් ඇති කර ගැනීම ගුප්ත කර්මවලදී අද පවා අනුගමනය කෙරේ.  


අදින් බොහෝ කලකට පෙර දෙවිනුවරට සමීප ගමක යකදුරකුට සහ ඔහු ලවා මුදලට නොයෙක් නරක අතේ වැඩ කරවා ගත් පුද්ගලයකුට විඳින්නට සිදුවූ දඬුවමක් ගැන වසර ගණනාවකට පෙර එක් වියපත් තැනැත්තකුගෙන් මට අසන්නට ලැබුණු කතා පුවතක් මෙහිලා සඳහන් කරමි.  


ඒ කාලයේ දකුණේ ගම්වල තොවිල්, පිදේනි, යකැදුරුකම්, බලියාග, ශාන්ති කර්ම, මැතිරිලි, රටයකුම්, සන්නියකුම් නිතර දැකිය හැකි විය. අදමෙන් රාත්‍රියේ රූපවාහිනී, ගුවන් විදුලි මාධ්‍යයන් නොතිබූ එකල තොවිල්පලවල්වලට ජනතාව රොක්වී ඒවා නරඹන්නේ මහත් උනන්දුවෙනි. වෙදකමටත් යකදුරුකමටත් අතිදක්ෂයින් ගම්වල විසූ අතර ඔවුනට සුව කළ නොහැකි ​රෝග පීඩාද නොවීය.  


එකල ජනගහණය අඩු වූ අතර උළු සෙවිලි කොට හොඳ නිවෙස්වල විසූයේ පවුල් දෙක තුනක් පමණි. සෙසු නිවෙස් පොල් අතු සෙවිලි කළ ඒවා විය. රජයේ රැකියාවක් කළේ ගමකට එක් අයෙක් හෝ දෙන්නෙක් පමණි.  
ඒ යුගයේ දෙවිනුවර ඇතුළු ගම්මාන තිහ හතළිහක පැතුරුණු කීර්තියක් ඇති මනා දේහධාරී සිරුරකින් යුත් යකැදුරෙක් විය. සිය පරපුරෙන් පැවත එන මේ ශාස්ත්‍රය තුළින් මහත් විස්කම් දක්වන්නෙකු හැටියට නම් දරා සිටි හෙතෙම නිතර බුලත් විට සපන රැවුල උඩු අතට කරකැවූ සරමට උඩින් ඉනේ ලොකු හම් පටියක් බඳින දකින්නෙකුට නැවත හැරී බලන්නට සිතෙන පැහැපත් සිරුරක් ඇති පුද්ගලයෙකු විය. ඔහු සමග විනාඩි දහයක් පහළොවක් කතා කළහොත් නොවැරදීම ශ්ලෝකයක් දෙකක් කියා එහි තේරුමද පහදා දෙන්නේ මහනාහිමි කෙනෙකු සිහියට නංවමිනි.  


ගෝලබාලයින් හතර පස්දෙනෙකු තබාගෙන ගම් නියම්ගම්වල සැරිසරමින් සියකටයුතු වල යෙදෙන ඔහුගේ ජීවිතය ගෙවී ගියේ ගොක්කොළ, පොල්මල්, පුවක්මල්, දෙහිගෙඩි, අහු ගෙඩි, පිදේනි තටු, දුම්මල- සාම්බ්‍රාණි, පොල්තෙල් පහන්, තැඹිලි ගෙඩි ආදී අඩුම කුඩුම රැසක් අතරය. කාලයාගේ ඇවෑමෙන් වියපත්ව දුක්විඳීමකින් තොරව ඔහු මියපරලොව ගිය පසු ගෝල පිරිස වෙන් වෙන්ව එම වැඩවල නිරත වූහ.  


එක් දිනක් මේ පිරිසෙන් අයකු හමුවීමට ගමේ තැනැත්තෙකු පැමිණියේ දුෂ්ට වූ අදහසක් සිත දරාගෙනය. ඉලක්කය වූයේ වත්පොහොසත්කම් ඇති දැහැමි ජීවිතයක් ගත කළ කිසිවකුට වරදක් නැති පවුලක රජයේ රැකියාවක් කළ පුද්ගලයෙකු හා පවුලේ අය භේදකිරීමයි. යකැදුරු ගෝලයා වැඩය භාරගෙන නියමිත කාලයේ එය ඉටුකර දුන්නේ තුටු පඬුරු රැසක් ලබාගනිමිනි.  


සති තුනක් පමණ යන විට අදාළ පවුලේ ස්වාමි පුරුෂයා සහ බිරිඳ අතර උන්හිටි ගමන් විරසකයක් ඇතිවිය. සුළු වරදකටත් කිසිදා නොවූ පරිදි බිරිඳ ස්වාමියාට බැණ වදින්නට පටන් ගත්තේය. ගෘහ මූලික ස්වාමිපුරුෂයා ඉතාම ඉවසීමෙන් යුක්තව ක්‍රියා කළත් පලක් නොවූ අතර පිටස්තර අයටද පසුව මේ කලබැගෑනි ගැන අසන්නට ලැබිණි. දරුවන්ට ගෙදර අපායක් විය. අවසානයේ ස්වාමිපුරුෂයා ගමේ පන්සලේ නාහිමියන්ගේ පිහිට පැතීය.  


උගත් සිල්වත් මහතෙර නමක වූ උන්වහන්සේ මේ වැදගත් දැහැමි පවුලේ අවුල ගැන මහත් කම්පාවට පත්ව තෙරුවන් ගුණ සහ ධර්ම ශක්තියේ බලය ගැන කියා අනුශාසනා කොට උපදෙසක් ලබා දුන්නේය. දෙවිනුවර​ ​ෙඓතිහාසික පුදබිමට ගොස් බෞද්ධාගමික වතාවත්කොට දෙවියන්ට, මළගිය ඥාතීන්ට පින්දී ඉතා ප්‍රබල ලෙස මෛත්‍රී භාවනාව කරන්නටත් නිවසේදී බිරිඳ අරමුණුකොට මෛත්‍රිය පතුරුවන ලෙසත් කියා සිටියේය.  
 මේ උගත් ප්‍රතිපත්තිගරුක මහතා නාහිමියන් පැවසූ ආකාරයටත් වඩා හොඳින් ඒ දහම් පිළිවෙත ඉවසීමෙන් යුතුව අධිෂ්‍ඨානශීලීව කරගෙන ගියා පමණක් නොව තම පංචශීල ප්‍රතිපත්තිය සිහිපත් කරමින් සත්‍ය ක්‍රියා කරන්නටද විය. ටිකෙන් ටික තරහ වාද භේද අඩු කෙරෙමින් අමනුෂ්‍ය බලය යටපත් කරගෙන ධර්මයේ අසහාය ශක්තිය ක්‍රියාත්මක විය. පින් කැමැති සම්‍යක්දෘෂ්ටික දෙවියන්ගේ අණසක සනිටුහන් කරමින් පවිටු පුද්ගලයන් දෙදෙනා පසුපස හඹා යන බලවේගයක් පැන නැගිණි.  


හිටු පහත් පව්කාර වැඩකරන නීචයා යැයි කියමින් දෙසවන් ​දෝංකාර දෙන හඬක් ඇතිව මැදියම් රැයේ නිදියහනේදී ඇදුරාගේ බොටුව මිරිකන්නට එන ආත්මයක් සිහිනෙන් දුටුවේය. දහඩියෙන් තෙත්ව සිටි ඇදුරා ඇහැරෙන විට සිටියේ ඇඳෙන් බිමය. රැයක් දවාලක් නැතිව ඇහැපියාගන්නට නොදී බියපත් කරන නොපෙනන බලවේගය පවිටු පුද්ගලයන් දෙදෙනාම පසුපස පන්නන්නට වූයෙන් ඔවුනට කරකියා ගත හැකි දෙයක් නොවීය. කිසිදු යාතුකර්ම පිළිවෙතකින් එය වැළැක්විය නොහැකි විය.  


අවසානයේ බියෙන් හෙම්බත්ව සිටි මේ පුද්ගලයන් දෙදෙනා හිස් සෝදා නා පිරිසිදුව සුදු පිරුවට ඇඳ පුද බිමට ගොස් තිසරණ සහිත පංච ශීලයේ පිහිටා පුද පූජාකොට දෙවියන්ට පින්දී මතු දිවි තිබෙන තුරු මෙවන් වැරදි දේ නොකරන බවට පොරොන්දු වී ඒ කරදරයෙන් අත්මිදුනේය.  


නපුරු සිතුවිලිවලින් වැරදි වැඩ වලින් අත්මිදී සිත තුළ පොදි බඳින කෙලෙස් අඳුර තුනී කරගෙන දහම් පිළිවෙතින් ජීවිතය ගෙන යාම කොතරම් සැනසිලිදායකදැයි ඒ සිදුවීමෙන් ඔවුහු තේරුම් ගත්හ. අමනුෂ්‍යයන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්නට ඉඩහැර ගුරුකම් අතේ වැඩ වලින් සදහටම ඉවත්වන්නට ඔවුහු තීරණය කළහ.  

 

 

දෙවිනුවර දම්සිරි කරුණානායක