ගෙල සිරකර මිනිසකු මරාදැමූ මත්ස්‍ය අවතාරය


නොපෙනෙන ලෝකය

 

මිනිසුන්, තිරිසනුන් ජීවත්වන මෙම මහ පොලොව ඉතාමත් ආශ්චර්යමත් සුන්දර වූ තාවකාලික නවාතැන් පලකි. මෙම නවාතැන්පල මිනිසාට තාවකාලික වුවත් ආත්ම ගණනාවකට දකින්න නොලැබෙන දිව්‍ය විමානයක් බඳුය. සිතින් මවා ගැනීමට තරම් අසීරු වූ මහපොලොව දිව්‍ය විමානයකට සමාන කළේ දෙව්ලොව දෙවියන්මය. ඇත්ත වශයෙන්ම මෙයට ප්‍රබල සාක්ෂි අපට හමුවන්නේ බුද්ධ වර්ෂ දෙදෙහස් පන්සීයකට පමණ පෙරදී බුදුවදන් පිරික්සීමෙන් පසුවයි. පෘථිවිය මතදී පියවි ඇසට පෙනෙන දේ බොහෝ ඇත. නමුත් මිනිසා සිතන්නේ මනුලොවේ සියලුම දේ පෙනෙන බවයි. සිහිනුවනින් සිතා බැලුවහොත් පියවි ඇසට පෙනෙන දේ බොහෝය. පියවි ඇසට පෙනෙන දේ සහ නොපෙනෙන දේ අතර විශාල පරතරයක් ඇතිබව අත්භූත දේවල් නිරීක්ෂයේදී මනාව පැහැදිලි වේ.   


අසූව දශකයේදී පමණ මා ඔය දෙපස දුප්පතුන් ජීවන වෘත්තිය සඳහා වැලි දමමින් සිටි කාලයයි. සොච්චම් මුදලක් සොයාගෙන බඩවියත රැකගන්නට අනන්ත දුක් විඳි ජනයාගෙන් කොටසක් මා ඔය මිටියාවතේ ජීවත් වූහ. 


දිනය එක්දහස් නමසිය අසුහයේ සැප්තැම්බර් මස විසිවන දින පසු වූ දවසකි. එක් කල්ලියක කීපදෙනෙකු කල්වේලා ඇතිව සාකච්ඡාකර ගත් ආකාරයටම තුන්දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මා ඔය ඉවුරට සේන්දු වූයේ එදින රාත්‍රිය පහන් වනතුරුම මසුන් ඇල්ලීම සඳහා පෙරදැරි කරගත් අදහස ඇතිවය. මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට අවශ්‍ය විසිදැල, කරක්ගෙඩිය, අතංගුව ආදි ආම්පන්න සහ රාත්‍රි සප්පායමට අල බතල මඤ්ඤොක්කාත් ඒවාට සෑහෙන අවශ්‍ය පදමට සකස් කරගත් ලුණු මිරිස්, කට්ටසම්බල්, ඉස්තරම් කිතුල් රා මුට්ටියකුත් එයට අවශ්‍ය වන කට ගැස්මත් සුපුරුදු පරිදි ගෙනයාමට නම් අමතක කළේ නැත. ගෙනගිය අඩුම කුඩුම ටික ඔය ඉවුරේ තිබූ උස්නොවූ ගසක එල්ලූහ. ඔවුන් තිදෙනා අත තිබූ විදුලි පන්දම්ද නිවා දැමීය. 
මා ඔය දෙපසට විහිදී තිබූ පුරහඳ පෑලවියෙන් පායා තිබිණි. පායා තිබූ කිරි සුදෝසුදුවන් බැබලෙන සඳ දිය දහරින් ඔය ඉවුර දෙපස පමණක් නොව මුලු පළාතම ඒකාලෝකවී තිබිණි. එම නිසා විදුලි පන්දම් වලින් කිසිම ප්‍රයෝජනයක් නොවීය. 


ඇත්ත වශයෙන් රාත්‍රි නවයේ කනිසම පසුවෙනවාත් සමගම එකිනෙකා තමන්ගේ කාරිය ආරම්භ කළ අතර ලූලන්, පෙතියන්, තෙප්පිලිවැනි මසුන් රැසක් ඔවුන් තිදෙනා විසින් අත් අඩංගුවට ගත්හ. මද විවේකයක් ගෙන තම තමන් රැගෙන ආ රාත්‍රී ආහාරය සප්පායම්වී යළිත් මසුන් ඇල්ලීමේ නිරත වූහ. පුර පෑලවිය වුවත් ටික වේලාවකින් රාත්‍රිය මුලුමනින්ම අඳුරේ ගිලී ගිය ගොලුවත රකින ස්වභාවයක් අවට පරිසරයේ දැකගත හැකි විය. පුර වරින් වර වුණත් මතු වූයේ අවට ළඳු කැලයේ සිටින රෑසියන්ගේ හඬ සහ ඉඳහිට කෑගසන මූසල බස්සකුගේ නාදය පමණි. ගෙඹි නාදද අතරින් පතර ඇසිණි. ටික වේලාවකින් අමන නරි රංචුවකගේද බිය උපදවන අමිහිරි හඬ ප්‍රදේශය පුරා පැතිර ගිය සෙයක් දැණින. කෙසේ වෙතත් කිසියම් මූසල සිදුවීමක සංඥාවල පෙර නිමිති පහල වෙමින් තිබිණ. 


“මචං මඤ්ඤොක්කා වලට කැපෙන හොඳ දෙයක් මම ගෙනාවා” රා මුට්ටියෙන් පොල් කටුවකට ගෙන ඇබින්දක් උගුරට හලා ගනිමින් කෙනෙක් පැවසීය. “ඒ මොනාද බං?” ඇයි බං මේ තියෙන්නේ ගහේ බඩු “ඒක නම් මරු” එකෙක් යෝජනාව අනුමත කරමින් මාලු කූරි කීපදෙනෙකුගේ බඩවත පලා ශුද්ධ කර වියලී ගිය දර කෝටු සෑහෙන ප්‍රමාණයක් ගෙන ඔය ඉවුරෙන්ම මැටි හාරා කපාගත් මාලු කූරියන්ට සෑහෙන ලුණු මිරිස්ද පදමට දමා කැන්ද කොළවල ඔතා කැන්ද කොළ කිරිමැටි වලට මැදිකර ගනිමින් ගිනි මැලයට දැමූහ. මා ඔය ඉස්මත්තේ සිට ගලා ආ බිනර මහේ වියලි සුළඟ නිසා ගිනිමැලය එක්වරම නිවෙමින් ඇවිළෙමින් පණ අදිද්දී මැටිමත එතූ මාලුන් ගිනි මැලයේ මැද රෝස් වෙමින් පදමට කරවී ඇතිබව ඉවෙන් මෙන් දැනේ. 
පරගැත්තන් විසින් සිංහල ජනයාට බලෙන් දවටන ලද රලු බොරලු වලින් යුත් සලුපිළි උනා දැමු මොහොතක් බව ඔවුන්ට වැටහි ගියේය. පැරණි සමාජ ශිෂ්ඨාචාරයේ කවදාවත් නූතන සමාජය නොදැකපු තිදෙනෙක් තමන් පුලුස්සන ලද මත්ස්‍ය කොටසුත් සමග අල, බතල, මඤ්ඤොක්කා කට ගැස්මටද එක්කරගෙන කිතුල් රා පදම නිසා තම විඩාවන් නිවාගන්නට සමත් වූහ. 


පදම ඉක්මවාගොස් වෙරිමතින් නැවතත් ධීවර ආම්පන්න අතටගත්හ. දෙවැනි වතාවේ මාලු යහමින් ඇතැයි විශ්වාස කරන වළවල්, තිප්පලවල් කරා යමින් සෑහෙන මත්ස්‍යයින් ප්‍රමාණයක් අල්ලා ගත්හ. 
එක් මිතුරෙකුගේ කරක්ගෙඩියට අසාමාන්‍ය දිගැති මාලු කූරියෙකු මැදිවී ඇති බව වැටහුණේය. අනිවාර්යෙන්ම ඌ විශාල ආඳ මාලුවෙකු යැයි අනුමාන කරමින් ඔහු කරක්ගෙඩියට අතදමා මාලුවාගේ ගෙල ප්‍රදේශයෙන් මිරිකා අල්ලා ගත්තේය. ක්ෂණිකව ඌ ඔහුගේ අතේ සිට ගෙල දක්වා ඉතාම තදින් වෙලා ගත්තේය. ඔහුගේ ගෙලේ මාලුවා එතෙද්දී සිතට විශාල බියක් දැණුනේය. එම නිසා එය පිටකළේ ඔහුගේම මුවින්ය. ඉතාම භයංකර හඬක් යටිගිරියෙන් පිටවිය. මුලු මා ඔය දෙපස එම දෝන්කාරය පැතිර යද්දී එක් සගයෙකු වහා වහා එම ස්ථානයට දුව ආවේය. ඔහුද තම මිතුරාගේ ගෙලවටා එතී තිබූ ආඳ මාලුවා දැක බියට පත් විය. බියට පත් වූ මිතුරා බිමට හේම විය. එකෙනෙහිම අතේ සිට බෙල්ල වටා එති සිටි ආඳාමාලුවා ගෙල ප්‍රදේශයෙන් ගිලිහී අන්ත්‍රස්ධාන විය. මෙම බියකරු හඬ ඇසී තුන්වැනි මිතුරාද එතනට දුව ආවේය. මිතුරන් දෙදෙනා බිම වැටී ඇති අයුරු දැක ඔහුගේ බිය දෙගුණ තෙගුණ වුවත් කරකියා ගත හැකි දෙයක් නොවූයෙන් සිහිසුන් වී සිටි දෙවැනි මිතුරාට ප්‍රකෘති සිහි ලැබී වටපිට බලද්දි තම අනෙක් සගයා දැක සියලු විස්තර කියා පළමු මිතුරා කර මතට ගත් ඔවුන් නතර වූයේ ගමේ කට්ටඬි වෙද මහතාගේ නිවසේය. එවිට පාන්දර යාම එළැඹී තිබිණි. 
සියලුම විස්තර කට්ටඩියා ඉදිරියේ තබන ලදී. බෙල්ලේ එති තිබූ මත්ස්‍යයා යෝධ ආඳා මාලුවකු බවත්, එම සතා ඔහුගේ ගෙල වටා එතී සිට ක්ෂණියකින් අතුරුදන් වූ බවත් කියා සිටියහ. වෙද මහතා අනතුරුව මැනවින් පරීක්ෂා කර බැලීය. කිසිම තුවාල සලකුණක් නොවීය. අඩුම තරමේ සර්පයෙකුවත් දෂ්ඨ කළ සලකුණක්වත් පෙනෙන්නට නැත. අන්තිමට තෙල් මතුරා හිසට දමන ලදී. එවලේම ගෙල ප්‍රදේශයෙන් හිස පහත්විය. වෙද මහතා කාරණාව තේරුම් ගත්තේය. ඔහුගේ ගෙල යම් කිසි කෙනෙකු විසින් මිරිකා ඇති බවත්, එයින් පසු බෙල්ල කැඩී ඇති බවත්ය. ඒ අවස්ථාවේදීම ඔහු මරණයට පත්වී ඇත. වෙද මහතාගේ නිවසට ගෙනවිත් තිබෙන්නේ තම මිතුරාගේ මළකඳ බව ඔවුන් දෙදෙනාම නොදත්තේය. 
මොහු මරා දමා ඇත්තේ මත්ස්‍ය වෙස්ගත් අවතාරයක් බව වෙද මහතාගේ මුවින් පිටවිය. “අම්මෝ” මිතුරන්ගේ මුවින් දීර්ඝ හුස්ම රැලි කිහිපයක් වාතයට මුසු විය. 


මෙය ඉතාම කලාතුරකින් වන අහඹු සිද්ධියකි. මෙවැනි සිද්ධීන් කෙසේ සිදු වන්නේද? නොපෙනෙන ලෝකයේ යම්කිසි බලවේගයක් ක්‍රියාත්මක වූවාද? මෙවැනි සිද්ධීන් අසත්‍ය යැයි කියා බැහැර කළ හැකිද? 
කෙසේ නමුත් අද්භූත බලවේගයක් විසින් ඔහුගේ ප්‍රාණය නිරුද්ධවන තුරු ගෙල මිරිකා කඩා දමා ඇති බව නම් සැබෑය. මෙයද නොපෙනෙන ලෝකයේ සත්‍ය සිදුවීමක් ඇසුරින් අසන්නට ලැබුණු දෙයකි.

 

 

කුලියාපිටියේ 
එස්. ප්‍රබෝධ සමරක්කොඩි