නෙළුම් කුලුනෙ සුලෝචනා වීරසිංහ
එන්න යන්න අපි එක්ක නෙළුම් කුලුන බලන්න, හැබැයි නෙළුම් කුලුන නම් නෙවෙයි. මේක චිත්‍රපටයක්. ඒත් නැතිනම් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හදලා තියෙන්නෙ ඉලංගෝ රාම්. මේ දිනවල තිරගත වන මෙම ෆිල්ම් එක ගැන බොහෝ දෙනෙක් කතා වෙනවා. නැරඹූ අය නම් කියන්නේ මේක කාලයකට පස්සේ දැකපු මාර ෆිල්ම් එකක් කියලයි. මේ ෆිල්ම් එකේ බොහෝ ප්‍රවීණ රංග ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායකව සිටිනවා. ඉතින් ෆිල්ම් එකේ ඒ අයගේ රංගනයන් වගේම නෙළුම් කුලුන මොන වගේ ද කියලා දැනගන්න ඔබට ගිහිල්ලම එය නරඹන්න කියලා කියමින්, මේ සූදානම එහි රංගනයක යෙදෙන ප්‍රවීන රංගන ශිල්පිනී සුලෝචනා වීරසිංහ එක්ක පිළිසඳරක යෙදීමටයි.
ප්‍ර සුලෝචනා, ඉතිං කොහොමද ජීවිතේ’? කාලයක් පෙනෙන්නට ඉන්නවා. ආයෙත් පෙනෙන්ට නැහැ. මේ දිනවල වැඩ කටයුතු එහෙම? කොහොමද?
කියපු එක ඇත්ත. කාලයක් පේන්න ඉන්නවා. කාලයක් පේන්න නැහැ. ඒක මගේ වරද නෙවෙයි. මට නිර්මාණ ලැබෙන ස්වභාවය නිසයි. සමහර ටෙලිනාට්‍ය වගේම වේදිකා නිර්මාණ එක්ක මම කරළියට එනවා. කොහොමටත් වේදිකාවේ මම නිරන්තරයෙන්ම සක්‍රියයි. ඒත් පත්තර සහ අනෙකුත් මීඩියා වලින් මාව දකින්න නැති වගේ ස්වභාවයකුත් තියෙනවා. ඒ කොහොම නමුත් සමස්තයක් ලෙස ගත්තොත් මට නිර්මාණ ලැබෙනව අඩුයි.
ප්‍ර ඇයි එහෙම වෙන්නේ ?
ඒක මම දන්නෙ නැහැ. නිර්මාණ සඳහා බොහෝ වෙලාවට කතා කරනවා. ඒත් ගෙවීම් පිළිබඳව මම දරන වටිනාකම එක්ක ඒවා නොලැබෙනව වෙන්න පුළුවන්. මම මේ විදිහට කතා කරන්නෙ ටෙලිනාට්‍ය ගැනයි. වේදිකාව කියන්නෙ මගේ රංගනයේ තිඹිරිගෙය, එදා ඉඳලාම වේදිකා නිර්මාණවලට නම් නිරන්තරයෙන්ම දායක වීම සිදුවෙනවා. මේ කාලයේ දී වේදිකාවේ බොහොම සක්‍රියයි. චිත්‍රපට නම් ලැබෙන්නෙ කලාතුරකින්.
ප්‍ර වේදිකාවේ මේ දිනවල අපට සුලෝචනාව දැකගන්න පුළුවන්?
පසුගිය වසරේ දී රාජ්‍ය නාට්‍ය උළෙලේ දී හොඳම නාට්‍ය ලෙස සම්මාන 8 ක් දිනූ චාලක රණසූරියගේ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදට’ නාට්‍ය රට වටා දර්ශන වාර පෙන්වමින් තිබෙනවා. ඒ සම්මාන අතර හොඳම සහාය නිළිය සඳහා වූ සම්මානය ලැබුණෙ මට. ඊට අමතරව රජා මං වහලා (සම්මාන දහයක් දිනූ නිර්මාණය) වේදිකාගත වෙනවා. ඒකට මම සම්බන්ධ වුණේ මෑතක දී. ඊට පෙර ඒ චරිතය කළේ උමයංගනා වික්‍රමසිංහ. ඊට අමතරව. කංචුකා ධර්මසිරිගෙ ‘පට්ට ගායිකාව’ නාට්‍යයේ රංගනයකට එක්වී සිටිනවා.
ප්‍ර මේ විදිහට වේදිකාවට සමීපව ජීවිතය ගෙවන සුලෝචනාගේ ගෙදර ජීවිතය ගැන කියමු?
මගේ දියණිය දැන් හතරවැනි වසරේ සිසුවියක්. ඇය යන්නේ නාවින්නේ පොලිමැත් පාසලට. ඇය උදේට ගියාම හවස එනකල් බලා ඉන්නවා. එයා ආවාම එයා එක්ක තියෙන වැඩ ටික කරනවා. මේ වන විට මම රැකියාවෙන් නිවාඩු අරගෙන ඉන්නෙ. ඒ නිසා කලා අංශයේ වැඩවලට වැඩිපුර දායකත්වය ලබා දෙන්න පුළුවනි. දරුවාගේ පාසල් වැඩට උදව් කරමින්, මගේ කලා කටයුතුත් කරමින් දවස ගෙවනවා.
ප්‍ර අපි නෙළුම් කුලුන ගැන කතා කරමු? මේ ඔබගේ කී වෙනි සිනමා රංගනයද?
මම හිතන්නේ හත්වැනි නිර්මාණය.
ප්‍ර මෙහි ඔබගේ චරිතය ගැන කියමු?
මෙහි ප්‍රධාන චරිත ද්විත්වය කරන්නෙ ප්‍රියන්ත සිරිකුමාර සහ තුසිත ලක්නාත්. ඒ කතාවේ හැටියට වලව් පවුලක පුතුන් දෙදෙනෙක්. ඒ පුතුන් දෙදෙනාගේ බාලපුතා ලෙස රඟපාන තුසිත ලක්නාත්ගෙ චරිතයේ බිරිඳගේ චරිතය රඟපාන්නෙ මම. ඇත්තටම මේක වෙනස්ම පිටපතක්. මට පිටපත ලැබුණෙම එය කියවද්දිම ඒ වෙනස දැක්කා. ඊට පෙර එවැනි පිටපතක් ලැබී තිබුණෙ නැහැ. ඒ වගේම මේ චිත්‍රපටයට සම්බන්ධ අනෙකුත් ශිල්පීන් මට විශේෂයි. කෞෂල්‍යා ප්‍රනාන්දු මහත්මිය මගේ ගුරුවරියක්. ඇයගේ මව යටතේ තමයි මම රංගනය හදාරන්න ආවෙ. පසුව කෞෂල්‍යා මහත්මිය යටතේ හැදෑරුවා. චාන්දනී සෙනෙවිරත්න, දිල්හානි අක්කා ඇතුළු ඒ පිරිස එක්ක සහ තුසිතයි, ප්‍රියන්ත සිරිකුමාර අයියා එක්කයි රඟපාන්න ලැබීමම අපූරු අවස්ථාවක්. මේ චිත්‍රපටයට සමාජ මාධ්‍යයේ දී ලැබෙන ප්‍රතිචාර නම් බොහොම ඉහළයි. එහි යම් යම් කොටස් සමාජ මාධ්‍යයේ ප්‍රචාරය වෙනවා. ඒවා වයිරල් වෙලා.
ප්‍ර එහෙම වෙලා තියෙන්නෙ මේ ෆිල්ම් එක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි වගේ පෙනෙන නිසාද?
මම පෙනී සිටි කොටසක් වයිරල් වෙලා තියෙන්නේ නම් ඒකෙ දෙබසක් නිසයි. ඒ දෙබසට ප්‍රතිචාර දැක්වීමක් නිසයි. එක වචන දෙකක් විතරක් අල්ලාගෙන, වැරදි තැනින් අල්ලා ගෙන මඩ ගහන වගේ ප්‍රතිචාර තමයි, ඒ කොටසට ලැබෙන්නෙ. මුළු චිත්‍රපටය නරඹලාවත්, ඒක චිත්‍රපටයක කොටසක් කියලාවත් සමහරු දන්නේ නැහැ.
ප්‍ර මේ ෆිල්ම් එක ‘සුලෝ’ ට දැනෙන්නේ කොහොමද?
මේ ෆිල්ම් එක මේ වන විට මම තුන්පාරක් විතර නරඹලා තියෙනවා. ඉතාම රස විඳි චිත්‍රපටයක්. හාස්‍ය රසය තේමා කරගත් චිත්‍රපට අපි නරඹලා තියෙනවා. ඒත් මේ ෆිල්ම් එක වර්ගීකරණය කරලා තියෙන්නේ ‘ඩාර්ක් කොමඩි’ කියන ගණයටම. හාස්‍ය උත්පාදනය වෙන්නෙ කතාව ගලා යන විදිහට. මෙහි කතාව සීරියස්, ඒ අතරේ, යම් යම් තැන්වලින් සියුම් ලෙස හාස්‍ය මතුවෙනවා. ඉලංගෝ අධ්‍යක්ෂක සහ කැමරා අධ්‍යක්ෂක මෙන්ම පිටපත් රචකයා, ලෙස ඉතාමත් විශිෂ්ට ලෙස නළු නිළියන් මෙහෙයවා ගෙන මෙම නිර්මාණය කර ඇති බව පෙනෙනවා.
ප්‍ර කොහොමද මේ චිත්‍රපටයේ රඟපාද්දි ශේෂ වූ මතකයන්?
සිනමාව, වේදිකාව, ටෙලිනාට්‍ය වගේම මට පුද්ගලික ජීවිතයේදීත් හිතවතුන් වූ රංග ශිල්පී පිරිසක් සමග රඟපාන්න ලැබීමම මට සතුටක්. රූගත කිරීම් සිදුවුණේ මීට අවුරුදු දෙකකට විතර පෙර පානදුරේදී. ඒ දිනවල රටේ ඉන්ධන ප්‍රශ්නයත් තිබුණු නිසා, පානදුර ළඟ වුණත් අපට ගෙදර යන්න ලැබුණෙ නැහැ. අපි හොටෙල් එකක ලොජ් වෙලා හිටියේ. හවසට අපි හොටෙල් එකේදී හමුවෙලා සාකච්ඡා කරලා රිහසල් කරලා තමයි රූගත කිරීම්වලට දායක වුණේ. ඒ ගතකළ දවස් මේ ෆිල්ම් එකේ කතාව වගේම රසබරයි.
ප්‍ර කොහොමද අද ලැබෙන ප්‍රතිචාර?
මාධ්‍ය දර්ශනයේදීම අපට ලැබුණෙ ඉතා යහපත් ප්‍රතිචාර
ප්‍ර සුලෝචනා වෘත්තියෙන් ඈත්වෙලා කලාවට පමණක් සීමා වෙලා මේ ගෙවන ජීවිතය ආර්ථිකමය වශයෙන් පවත්වාගෙන යාම දුෂ්කර නැද්ද?
පහසුම නැහැ. ඒත් කළමනාකරණය කර ගන්න පුළුවනි. මම එදා ඉඳලම සරල ජීවිතයක් ගත කරන්න පුරුදු වී සිටින කෙනෙක්. මගේ රංගන වෘත්තියේ දී ‘කේවල්’ කරන තැන්වල සහ ඒ නිර්මාණවලට මම දායක වෙන්නෙ නැහැ. මට ලැබෙන ආර්ථිකය කළමනාකරණය කරගන්න පුළුවන් නිසා එහෙම ජීවත් වුණාට. ආර්ථික ප්‍රශ්නත් නැතුවාම නෙවෙයි. හැබැයි සරල ජීවිතයකට හුරු වුණාම හරි ලෙහෙසියි. එදා 2013 දී ගත්ත මෝටර් රථයම තමයි අදටත් පාවිච්චි කරන්නෙ. ලෝන් එකක් දාලා හරි නවීන කාර් එකක් ගන්න පුළුවන්. නමුත් තියෙන කාර් එක තවමත් මට හොඳයි. විලාසිතාවක් වුණත් මම කරන්නේ මට දරන්න පුළුවන් විදිහටයි. එහෙම නැතුව රැල්ලට යන්නෙ නැහැ. මගේ විදිහට මට සැහැල්ලුයි. මාසයක ලක්ෂ පහක් හම්බ කරලා වගේම මාසයකට හැට දාහක් ලැබුණත්, ඒ ප්‍රමාණය මට කළමනාකරණය කරගෙන ජීවත් වෙන්න පුළුවනි. ඒ ක්‍රමයට මම පුරුදු පුහුණු වෙලා. මට ඒ ක්‍රමය ලැබුණෙ අපේ තාත්තාගෙන්. ඔහු සේවය කළේ වරාය අධිකාරියේ සේවකයෙක් ලෙසයි. අපි තුන් දෙනෙක් පාසල් යවා උගන්වලා, පසුව මාව කැම්පස් යැවීම දක්වා අපිව යැව්වේ තාත්තගෙ වැටුපෙන්. ඒ කළමනාකරණය. අපි කුඩා කාලයේ ඉඳලම දැක්කා. අද මට යම්කිසි විදිහකට බරක් ඇත්නම් ඒ මම ගත්ත ඉඩමට ගෙවන ලෝන්’ එකේ වාරිකය වෙනුවෙන් විතරයි. ඒ හැර මට ලැබෙන දේ කළමනාකරණය කරගෙන ජීවත් වෙන්න පුළුවන්.
ප්‍ර ඒ භූමිකාව ඇතුළේ ‘මවක්’ විදිහට ඔබ මොන වගේ කියලද හිතන්නෙ?
අද නිවාඩු පිට හිටියට මම සේවය කළේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙ. වසර දහයකට ආසන්න කාලායක් එහි චිත්‍රපට අංශයට සම්බන්ධව රාජකාරි කරනවා. දුව මට ලැබෙන්නෙ 2016 දී. ඉන්පසුව වසර දෙකහමාරක් විතර දියණිය දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට දාන්න මට සිදුවුණා. ඊට පෙර වසර දෙකක් විතර දුව බලා ගත්තේ අම්මා. එදා ඉඳලාම මම මගේ වගකීම් ඉටුකම් සියල්ල දරුවා වෙනුවෙන් කළා. ඇය මට දුරස්ථ කර ගත්තෙ නැහැ. සමහර නාට්‍ය රිහසල්වලදී පවා දුව එක්ක ගෙන ගියා. දුවට තියෙන්නෙ හොඳ රසිකත්වයක්. එයා ‘ප්‍රීතිමත්’ දරුවකු ලෙස වැඩෙනවා දැකීම වෙනුවෙන් මගේ යුතුකම් ඉටු කරනවා. දියණියක් කියන්නේම මහා සම්පතක්. ඒක මට නම් මාර දෙයක්.
සඳුන් ගමගේ