ප්‍රතිචාර
ශ්‍රී දළදා වහන්සේට පුද සත්කාර කිරීම, ආරක්ෂා කිරීම භාරව ඇත්තේ මල්වතු මහ නාහිමි අස්ගිරි මහ නාහිමි ඇතුළු මහා සංඝරත්නයටත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ වරයාටත්ය. ශ්‍රී දළදා මාලිගාවේ විශේෂිත වූ කුටිය තුළ රන් කරඬුවක තැන්පත් කර ඇති ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ තවත් රන් කරඬු කීපයකින් ආවරණය කර යතුරු දමා ඇත. එම යතුරු නාහිමිවරු දෙපළ හා දියවඩන නිලමේ භාරව පවතී. නාහිමිවරු දෙදෙනා හා දියවඩන නිලමේවරයා එක්ව මිස එම කරඬු විවෘත කිරීමට නොහැකි බව ශ්‍රී දළදා වහන්සේ පිළිබඳව විස්තරවල පැවසේ. එම කරඬු තබා ඇති කුටිය තුළටවත් බාහිර පුද්ගලයකුට ඇතුළුවීමට නොහැකිය.
එහෙත් පසුගිය ජූලි මස 28 දින ලංකාදීප ඉරිදා පුවත්පතේ රසවිත අතිරේකයේ පළවූ එප්පාවල රත්න බී. ඒකනායක මහතාගේ දළදා වහන්සේ කුඩු පට්ටම් කරන්න ගිය චාමස් ආණ්ඩුකාරයාට සිදුවූ විපත ඒ ලිපියේ සඳහන්ව ඇති අන්දමට ශ්‍රී දළදා වහන්සේ ඕනෑම අයෙකුට ඕනෑම වෙලාවක කිසිවෙක්ගේ අනුදැනීමක් බාධාවක් නොමැතිව පිටතට ගෙනගිය හැක. ඉහත කී චාමස් ආණ්ඩුකාරවරයා නියෝග කළ විගසින් කිසිවෙක් ශ්‍රී දළදා මාලිගාවට පිටින් ශ්‍රී දළදා වහන්සේ මාලිගය ඉදිරිපස ඇති පිටියට ගෙන එයි. එය කිණිහිරයක් මත තබා තැලීමට ආණ්ඩුකාරවරයා නියෝග කරයි. කෙසේ වෙතත් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ නිරුපද්‍රිතව වැඩවාසය කරයි.
ලියුම්කරු පරසුද්දායයි හඳුන්වනු ලබන රොබට් චාමස් ආණ්ඩුකාරවරයා මෙරට පාලනය කර ඇත්තේ 1913 - 1916 කාලය තුළය. එනම් මෙම සිදුවීම සිදුවන්නේ ඉන් අවුරුදු පහකට පමණ පසුවය. එනම් ඒ වනවිට ඔහු රට හැර ගොසිනි. ලියුම්කරු පවසන මෙම සිදුවීම සිදුවන්නේ 1921.05.12 වැනි වෙසක් පොහොය දිනයේය. ඔහුට මෙකී සිදුවීම ගැන පවසන්නේ එම සිදුවීම සියැසින් දුටු මොරගොල්ලේ රංඑතනා නම් ඔහුගේ මිත්තණියයි. එවිට ඇය අවුරුදු 6 ක් වයස දැරියකි.
පුදුමය නම් වෙසක් පොහොය දිනක දෙනෝදාහක් පිරිස රැඳෙන දළදා මාලිගාව අසල මෙය සිදුවීමයි. ඉහත කී රංඑතනා මිත්තණිය හැර එහි සිටි කිසිවෙක් හෝ මෙම සිදුවීම දුටු බවට කිසිම තොරතුරක් මේ දක්වා කිසිවකුට දැන ගැනීමට නොමැති වීමය. මෙවැන්නක් සැබවින්ම සිදුවූවා නම් එය මෙරට පමණක් නොව එකල පැවැති ජනමාධ්‍ය වන පුවත්පත් මගින් ලොව පුරා ප්‍රචාරය වීමට පවා ඉඩ තිබුණි.
එහෙත් එදා ලංකාවේ පැවති සිංහල හෝ ඉංග්‍රීසි පුවත්පතක මෙවැනි සිද්ධියක් පිළිබඳව වාර්තා කර නොමැත. ශ්‍රී දළදා වහන්සේ පිළිබඳ අනන්තවත් වූ ලේඛනවල හෝ කිසියම් ඉතිහාස පොතක මෙවැන්නක් ගැන සඳහනක් නොමැත. මෙවැන්නක දී ජන විරෝධයක් ඇතිවිය හැකි වුවත් එවැන්නක්ද සිදුව නොමැත. අඩුම ගණනේ එකල සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය ජනමාධ්‍ය හැටියට පැමිණි කවිකොළයක් පවා මෙවැනි සිදුවීමක් පිළිබඳ වාර්තා කර නොමැත.
දැනට වසර 104 ක් වූ රංඑතනා මිත්තණිය මීට වසර 48 කට පෙර වූ සිද්ධියක් ලෙස මෙවැන්නක් පැවැසීම පුදුමවිය යුතු නොවේ. මන්දයත් ඇයගේ වියපත් බව නිසා ඇයට මනෝ ව්‍යාධි තත්ත්වයක් තිබිය හැකි බැවිනි, එහෙත් කිසියම් ඉතිහාස ගත සිදුවීමක් ගැන වදනක් ජනමාධ්‍යයට ලියන විට ඒ පිළිබඳව සොයා බැලීම ලියුම්කරුවකු විසින් කළයුත්තකි.
විජේසිරි රුද්‍රිගෝ