සිංහල චිත්‍රපටය ගැන කතා කිරීමේදී එඩී ජයමාන්න හා රුක්මනි දේවිය අමතක කර කතා කරන්නට කොහොමටවත් බැරිය. ඔවුන් අපේ සිනමාව සමඟ ඒ තරම්ම බද්ධ වී සිටියා පමණක් නොව 1947 ජනවාරි 21 වැනිදා කිංස්ලි සිනමා හලේදී ප්‍රදර්ශනය වූ ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව’ චිත්‍රපටයේ ඔවුන් ප්‍රධාන නළු නිළියන් බැවිනි.
එමෙන්ම ඊට පෙර ඔවුන් බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නයන්ගේ මිනර්වා නාට්‍ය කණ්ඩායම සමග එක් වී ලංකාව පුරා යමින් වේදිකා කරනලද ‘කඩවුණු පොරොන්දුව’ ඇතුළු නාට්‍ය රැසක රඟපාමින් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබාගත් හෙයිනි.
ඇත්තෙන්ම එඩීට රුක්මණී හමුවූ හැටි පමණක් නොව ඒ ආදරය විවාහය දක්වා ගලා ගිය හැටි ද චිත්‍රපටයක් මෙනි. ඒ පෙම් කතාවේ ගීත නැටුම් පමණක් නොව සටන්ද ඇත.
රුක්මණි දේවිය 1978 ඔක්තෝබර් 28 වැනිදා ජාඇලදී සිදු වූ වෑන්රථ අනතුරෙන් ඛේදනීය ලෙස අභාවප්‍රාප්ත වූවේ ඇයට වයස අවුරුදු 55 ක් වූ විටය. හරියටම ඊට පසුදා ඔක්තෝබර් 29 දා එකල ‘සිත්සර’ පත්‍රයේ කර්තෘ වූ ආතර් යූ. අමරසේනයන් මට පැවසුවේ වහාම ගොස් එඩී හමුවී රුක්මනිගේ ජීවිත කතාව ලියන ලෙසය.
මා හැඳල පල්ලියවත්තට ඔහු හමුවීමට යන විට එඩී බලවත් සේ තෙහෙට්ටුවට පත්වී නිදිමරා සිටීම නිසා සුව නින්දක පසුවිය. එහෙත් ඔහු ඒ තෙහෙට්ටුව, ශෝකය අමතක කර මා හමුවට ආවේ මගේ ඉල්ලීම ඉටු කිරීමටය.
රුක්මණී සමඟ මාතර ගමනට එඩීද සහභාගී වූ නමුදු ඔහු පල්ලිය වත්තෙන් එදා බැස ගත්තේය. නැත්නම් ඔහු ද මේ අනතුරට ලක්වන්නට ඉඩ තිබිණ. මේ දෛවෝපගත සිදුවීම නිසා ඔහුගේ තිගැස්මද වැඩිවිය.
එහෙත් ඔහු මා ඉදිරියට ආවේ ‘අමරෙ නිසා බෑ කියන්න බෑ’ කියමිනි.
මා මගේ කාරණය කී විට එඩී කීවේ වෙනත් පුවත්පතකින් පැමිණ උදෙන්ම රුක්මණීගේ ජීවිත කතාව ලියාගෙන ගිය බවය.
බලාපොරොත්තු සුන්වූ මා ඊළඟට ඔහුගෙන් ඉල්ලා සිටියේ අපි එහෙනම් ‘එඩී රුක්මණී පෙම්කතාව’ ලියමුයි කියාය.
ඔහු ඊට එකඟ විය.
පැය දෙකහමාරකටත් අධික කාලයක් ඔහු මා වෙනුවෙන් ගත කරමින් ඔහුට රුක්මණී හමු වූ හැටි විස්තර කළේය. ඇත්තෙන්ම ඒ හමුවීම පමණක් නොව මුළු කතාවම චිත්‍රපටයක් වෙතැයි මට සිතුනේ එදාය. එඩී එදා මවෙත කී තොරතුරුවලින් මේ කතාව සැකසෙයි.
කතාව පටන් ගැනෙන්නේද ගීතයකිනි.
නව යොවුන් වියේ පසුවූ එඩී එකල ගත කළේ සැහැල්ලු දිවියකි. තම සොහොයුරු වූ බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්නගේ නාට්‍යවල රඟපෑ එඩී එකල ගුවන් විදුලියේ විකට වැඩසටහන් සඳහාද සහභාගී විය.
එක් දිනෙන ඒ මිහිරි කටහඬ ඔහුට අසන්නට ලැබුණේ අහම්බෙන් ගුවන් විදුලියේදීය. එඩීට මතක විදියට ඒ එක්දහස් නවසිය තිස් ගණන්ය. එඩීගේ උපන්දිනය හා සසදා බලන විට ඒ කාලයේ ඔහුට අවුරුදු 22 ක් පමණ වෙයි. රූපසිංහ මාස්ටර් සමඟ ඩේසි ඩැනියෙල් (රුක්මණී දේවි) ගැයූ එම ගීතය ඇසූ එඩීට කුමක්දෝ අමුත්තක් දැනුනේය. ඇත්තෙන්ම කිසිදා නොදුටු ඒ යුවතියගේ හඬට ඔහු පෙම් බැන්දේය.
‘හරිම ලස්සන කටහඬක්.’ එදා එඩී ඔහු ළඟ සිටි මිතුරකුට පැවසීය.
එඩී සිතුවේ සියල්ල එතෙකින් නිමාවෙතැයි කියාය.
ඒ ගීතය අහම්බෙන් ඇහුනාක් මෙන්ම ඔවුන් මුණගැසුණේ ද නොසිතූ විරූ ලෙසය.
එදින මීගමු වෙරළ සෑම සැඳෑවකදීම මෙන්ම විනෝදකාමීන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබිණ. ඉර බැස යාමත් සමගම සඳත් මෝදු වෙමින් තිබුණ බව හොඳට මතක බව එඩී එදා කීවේය.
මීගමුවේ පෙරියමුල්ලේ උපන් එඩී එදින තම හිතවතකු වූ ස්ටැන්ලි මල්ලවාරච්චි සමඟ මීගමු වෙරළේ ඇවිදින්නට ගියේ සැන්දෑව සැහැල්ලුවෙන් ගත කිරීමටය.
ස්ටැන්ලි මල්ලවාරච්චි යනු කඩවුණු පොරොන්දුව ඇතුළු චිත්‍රපට කීපයකට රඟපෑමෙන් පමණක් නොව ගායනයෙන්ද ප්‍රකට වූ කලාකරුවෙකි. කඩවුණු පොරොන්දුවේ එන “සන්ධ්‍යාවෙ ශ්‍රීය රම්‍යා ලෙස පේනා” නම් ජනප්‍රිය ගීතය රුක්මණී දේවිය සමඟ ග්‍රැමෆෝන් තැටියට ගායනා කළේ ස්ටැන්ලිය. එය චිත්‍රපටයේ ගායනා කළේ තියාගෝ ප්‍රනාන්දු සමඟ රුක්මණීය.
එවකට වයස 22 ක් වූ එඩීට වඩා ස්ටැන්ලි අවුරුදු 12ක් වැඩිමල්ය. ඒ නිසා ස්ටැන්ලිගෙන් අසා දැනගන්නට බොහෝ දෑ එඩීට තිබිණ.
මඳක් ඉදිරියට යත්ම සැඳෑ සුළඟ සමඟ ආවේ සුපුරුදු මිහිරි ගී හඬකි.
එඩීගේ මව වූ මේරි මැන්ඩරින් ගෙදරදී සර්පිනාව වාදනය කරනු අසා කුඩා කල සිටම සංගීතයට දැඩි ලෙස බැඳුණු එඩී මේ මියුරු හඬින් මඳක් සසල වූයේය.
තවත් මඳ දුරක් ඉදිරියට යත්ම ගී හඬ වඩාත් පැහැදිලිව ඇසෙන්නට විය.
‘හරි ලස්සන කටහඬක්.’ ඔහු ස්ටැන්ලිට කීවේය.
‘මම දන්නවා ඔය කෙල්ලව. අපි යමු.’
ඔවුන් ඉදිරියට යත්ම දුටුවේ සුන්දර දසුනකි.
රැල්ලෙන් දෙපා සේදෙන තරම් නුදුරෙන් දැරියන් තිදෙනෙක් මව, පියා සහ තවත් වැඩිමහලු තැනැත්තකු සමඟ ගී ගයමින් හා අත්පුඩි ගසමින් සිටියහ. අර මිහිරි ගීතය ගායනා කළේ අවුරුදු 14 ක තරම් යෞවනත්වයට පා තබමින් සිටි දැරියයි.
මඳ අඳුර නිසා දැරියගේ මුහුණ පැහැදිලිව දැකගත නොහැකි වුවද ස්ටැන්ලි හා එඩී ඔවුන්ට තවත් ළංවෙමින් සිටියහ.
ගී ගැයූ දැරිය පියකරු සිනාවක් පෑවාය. එහෙත් ඒ එඩීට නොවේ. ස්ටැන්ලිටය. එඩීගේ සිත තුළ එයින් මඳ අමනාපයක් ඇති විය.
‘එඩී, මේ ඩේසි ඩැනියෙල්ස් මේ එඩී ජයමාන්න.’ ස්ටැන්ලි ඔහුට ඩේසි හඳුන්වා දුන්නේ එසේය.
එවෙලේ ඩේසි නම් මේ පියකරු යුවතිය එඩී දෙස බැලුවේ ලැජ්ජාශීලිව බව ඔහු එදා මා සමඟ කීවේය.
හැඳුනුම්කම ශක්තිමත් කරගැනීම සඳහා ස්ටැන්ලිටත් එඩීටත් ඩේසිගේ මාමාගේ ගෙදරට එන්නට එදින ආරාධනාවක් ද ලැබිණ.
‘අපි පදිංචිවෙලා ඉන්නෙ මොරටුවෙ ලුනාවේ. මෙහෙ හිරගෙදර වැඩ කරන මාමා කෙනෙක් ඉන්නවා ඒකයි මෙහෙ ආවේ.’ එදා ඩේසි එඩීට කීවාය.
‘මම ඔයාගෙ සිරි බුද්ධගයා සින්දුවට හරි ආසයි.’ එදා එඩී ඩේසිට කීවේය.
‘මම ඔයාගෙ රේඩියෝ එකේ ප්‍රෝගෑම්ස් හැම එකක්ම වගේ අහල තියෙනවා.’ ඇය එවෙලේ කීවාය.
එඩී හා ස්ටැන්ලි ඩේසිගේ මාමාගේ ගෙදරට ගිය දිනයේ ඔහු ජීවිතයේ ප්‍රථම වතාවට ඇගෙන් ඉල්ලීමක් කළේය.
‘ඩේසි සින්දුවක් කියන්න...’
ඇය ආඩම්බර වූයේ නැත. ඩේසි ගීතය ගයන්නට පටන් ගත්තාය. එදා එඩීත් ඩේසිත් මාරුවෙන් මාරුවට ගීත ගායනා කළහ. එදා සැන්දෑවේ සිතට නැගී තිබුණේ විස්තර කළ නොහැකි හැඟුම් සමුදායක් බව එඩී කීවේය.
ඇලෝ අයියා (බී.ඒ.ඩබ්ලිව්. ජයමාන්න) මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායම ආරම්භ කර තිබුණේ ඔය කාලයේදීමය. කලින් විනෝදයට නාට්‍ය නිපදවා නොමිලේ පෙන්වූ ඇලෝට වෘත්තීය නාට්‍ය කණ්ඩායමක් ආරම්භ කිරීමේ අවශ්‍යතාව තිබුණේය. එඩී නාට්‍ය කණ්ඩායමේ සංවිධාන කටයුතු බලාකියා ගත් අතර ඔහු මෙම නාට්‍යවල විකට චරිත රඟපෑවේය.
‘අපි නාට්‍යවල අමතර ජවනිකාවලට ඩේසි ගනිමුද?’ දිනක් ස්ටැන්ලි මල්ලවාරච්චි ඇලෝගෙන් ඇසුවේය. එඩී ඇසිය යුතු දේ ස්ටැන්ලි ඇසූ විට ඔහුට දැඩි සතුටක් දැනින.
‘එයා ඒවිද?’ ඇලෝ ඇසුවේය.
‘මම හොඳට අඳුනන හින්ද බැරිවෙන එකක් නෑ.’ ස්ටැන්ලි කීවේය.
සති දෙක තුනක්වත් ගතවීමට මත්තෙන් ඒ සුබ ආරංචිය රැගෙන ස්ටැන්ලි ආ හැටි එඩීට මතකය.
ඒ දිනවල නාට්‍යයක් පෙන්වීම වෙනුවෙන් සංවිධායකයන් නාට්‍යකරුවන්ට රුපියල් හැත්තෑපහකට වඩා ගෙවූයේ නැත. නාට්‍ය නැරඹීමේ ප්‍රවේශ පත්‍රයක ඉහළම මිල වූයේ ශත විසිපහකි. අඩුම ප්‍රවේශපත්‍ර ගාස්තුව ශත දහයකි.
එඩී වඩාත් සතුටට පත්කරමින් ඩේසි මිනර්වා නාට්‍ය කණ්ඩායමට පැමිණ ගී ගයන්නට පැමිණියාය. ඇය කළේ නාට්‍ය පෙන්වන අතරතුර වේදිකාවට පැමිණ වරින් වර මිහිරි හඬින් ගීත ගායනා කිරීමය. වරෙක එම ගායනාවලට එඩී ද හවුල්විය. ඇගේ ගායනා වෙනුවෙන් මුදලක් ද ගෙවනු ලැබිණ.
දිනෙන් දිනම ඩේසි කෙරේ එඩීගේ අවධානය වඩ වඩාත් යොමු වන්නට විය. එය සුරූපී ඩේසි වෙත බැඳුණ ආදර හැඟීමකි.
‘එයාට සින්දු කියන්න පුළුවන්. සමහරවිට ඉදිරියේදී රඟපාන්නත් පුළුවන් වේවි. එතකොට අපි දෙන්නට එකට රඟපාන්නත් පුළුවන්. අනෙක මේ වගෙ ලස්සන කෙල්ලෙක් ලැබුණොත් මම වාසනාවන්තයි.’ එඩී එකල සිතුවේය.
ගායිකාවක වශයෙන් මිනර්වා නාට්‍ය කණ්ඩායමට එකතු වූ ඩේසි කලින් පදිංචිව සිටි මොරටුවේ ලුනාව අතහැර දමා මීගමුවේ පදිංචියට පැමිණියාය. මෙයින් එඩී - රුක්මණී සම්බන්ධය වඩාත් දැඩි විය.
ඇය එඩීගේ මව මේරී සමඟ බොහෝ කුළුපඟ වූවාය. ගෙදරට එන ඩේසි ඇතැම් විටක මවගේ සර්පිනාවේ එකෝඩියන් වාදනය අනුව ගී ගැයුවාය.
‘හරි ලස්සනයි.’ ගීතය අවසානයේ මව කියන විට ඩේසි හිනාවෙන ලස්සන එඩී හොරෙන් බලා සිටි බව ඔහුගේ කතාබහ අතර කීවේය.
‘ඩේසි දන්නවා හැමෝගෙම හිත් දිනාගන්න. අම්ම ඩේසිට මේ තරම් කැමැති එයාගෙ කටහඬ වගේම ගති ගුණත් හොඳ හින්දා.’ එඩී තනියම සිතුවේය.
‘මෙයා සින්දු කිව්ව කල් මදැයි. නරකද අපි අපේ නාට්‍යවලට පුරුදු කරල ගත්තොත්.’ දිනක් ඇලෝ (බී.ඒ.ඩබ්ලිව්) අයියා එඩීගෙන් ඇසීය. එඩී ඊට කැමැති වූයේ එක පයිනි.
‘මම අයියට කියන්න කියලමයි හිටියෙ.’
එඩී එම ආරංචිය රැගෙන ඩේසි වෙත ගියේ අපරිමිත සතුටකිනි.
‘ඔයාව අපි රඟපාන්න තෝරා ගත්තා.’
‘ඇත්තද?’ ඩේසි සිනාවූයේ දැඩි සතුටකිනි.
‘ඔයා කැමැති නැද්ද?’
‘ඇයි නැත්තෙ. මට හරි සන්තෝෂයි.’
‘මීට පස්සෙ අපි දෙන්නට එකට රඟපාන්නත් පුළුවන්.’
එඩී ප්‍රථම වරට ඇයට ආදරය ප්‍රකාශ කළේ එදාය. ඩේසි මඳ ලැජ්ජාවකින් යුතුව ආරාධනාව පිළිගත්තාය.
‘කඩවුණු පොරොන්දුවේ’ රංජනීගේ චරිතය තුළින් ඇය නිළියක ලෙසින් වේදිකාවේ දස්කම් දක්වද්දී එඩී එයට සහභාගී වූයේ විකට නළුවකු ලෙසය.
නිළියක ලෙසින් වේදිකාවට පැමිණි ඩේසි, රුක්මණී දේවි නමින් ප්‍රසිද්ධියට පත්වූවත් එඩීට ඇය පරණ ඩේසිම වූවාය.
ඩේසි රුක්මණී ලෙස ජනප්‍රියත්වයට පත්වීමත් සමගම ඇයට මිනර්වා නාට්‍ය කණ්ඩායමෙන් දිනක දර්ශන සඳහා රුපියල් පහක මුදලක් ගෙවනු ලැබිණ.
‘මේ දෙවැනි ලෝක යුද්ධ පැවැති සමය නිසා නාට්‍ය දර්ශන අධික විය. මිනර්වා නාට්‍ය කණ්ඩායම නාට්‍ය පෙන්වීමට පටන් ගත්තේ ත්‍රිකුණාමලයෙනි. එතැනින් අනුරාධපුරය, පුත්තලම, හලාවත ආදී සෑම නගරයකම වාගේ දර්ශන සංවිධානය විය.
මේ නිසා නාට්‍ය කණ්ඩායමට නිවාඩුවක් ලැබුණේ මසකට දිනක් දෙකක් වැනි සුළු කාලයකි.
එහෙත් එඩීට එය ගැටලුවක් නොවූයේ සැම දවසකම එඩී සමීපයේ රුක්මණි හිඳීම නිසාය.
ආදරය ගැන බොහෝ සේ කතාබහ කළ එඩී - රුක්මනි යුවළ කියා ගන්නට බැරි හැඟීම්, පෙම් ලිපි මගින් ද හුවමාරු කරගත් බව එඩී එදා පැවසුවේ තම අතීතය සිහිපත් කරමිනි.
රොඩ්නි විදානපතිරණ