ජන කවියා බුදුරදුන් දුටු හැටි..


සිංහල බෞද්ධ පැරණි ජනසමාජයේ ගැමියන් ජනවහර - සිවුපදය උපයෝගී කරගෙන පෑවාවූ පෙරළි අති විශාලය. ඔවුහු සිව්පදයෙන් කළ බණකතා, ජාතක කතා, තේරවිලි ආදිය ජන වියත්තු ගැමි වදන් උපයෝගී කරගෙන දහම් ගැට ගැට ගසා දහම් රසය දනවමින් ජන මුවගට සිනහවද ගෙන දීමට සමත් වූහ. 

 
ගැමි දනහට සිනහවට කරුණවන දහම් ගැට උගතාම වටහාගත හැක්කේ ඊට ඉඳුරාම වෙනස්වන ගැඹුරු අරුතකිනි. දහම් ගැට පබැඳුමෙන් වෙසෙසින් දැකිය හැක්කේ මතුපිට අරුතින් සිනහව උපදවන අතරම යටි අරුතින් බණ දහම් පද මගින් ගිහි දිවිය - සසර තතු - පැවිදි දිවිය - නිවන් රසය යන කරුණක් දැහැමිව ගලපා විවරණය කළ බවයි. හෙළ බොදු ජන සමාජයේ එදා ගැමියෝ ජන දිවියෙන් නොයෙක් අවස්ථාවන්ට කවිය උපයෝගී කරගත්හ. තේරවිලි, දහම් ගැට, උපහාස ආදී අසිරිමත් වූ හරවත් වූ කියමන්හි ඔවුහු රුසියෝ වූහ.  
ජන කවියා බුදු හිමියන් සහ දහම විවරණය කළ ජන සාහිත්‍යයේ පවතින දහම් ගැට පිළිබඳව මෙම වෙසක් සතියේ විමසා බැලීම දෙලොවටම යහපතක් වනු නොඅනුමානය.  


සිදුහත් බෝසතාණන් වහන්සේගේ ලුම්බිණි සල් උයනේදී සිදුවූ උපත ජ්‍යෙතිෂ ඇසින් ජන කවියා දුටු අන්දම පළමුව විමසා බලමු. 

 
ගුරු හාමි ඇද වැටුනයි කකුළු වලේ  
හඳ හාමි බඩු කිරුවයි වෙළෙඳ සලේ  
රතු හාමි ගත කියමින් මෝරවලේ  
කළු හාමි නොන්ඩි ඇනගෙන වැටුණි කලේ  
මනමාලයා මාළු ගොඩකම යටවෙච්චී  
සොම් සුන් එදා එළු ගාලට කොටුවෙච්චී  
වන මැද ගොස් දෙව්බඹ මුණගැස්සෙච්චී  
එවැනි දාක ඉපදුනි බුදු අප්පොච්චී  


මෙහි සඳහන් ගුරුහාමි නම් බ්‍රහස්පති ග්‍රහයාය. කකුළු වල යනු කටක රාශියයි. සඳ හාමි යනු චන්ද්‍රයාය. වෙළෙඳ සලේ යනු තුලා රාශියයි. රතුහාමි නම් අඟහරු ග්‍රහයාය. මෝරවලේ යනු මකර රාශියයි. කළු හාමි නම් සෙනසුරු ග්‍රහයාය. වැටුණ කලේ යනු කුම්භ රාශියයි. මනමාලයා නම් සිකුරු ග්‍රහයාය. මාළු ගොඩ යනු මීන රාශියයි. සොම්පුත් නම් බුද ග්‍රහයාය. එළු ගාල යනු මේෂ රාශියයි. විශ්වයේ මෙසේ ග්‍රහයින් පිහිටා ඇති දවසක මහ වන මැද දෙව් බඹුන් පිරිවරා සිටියදී සිදුහත් බෝසතුන්ගේ උපත සිදුවිය.  


ගුරු කටකයේත් සඳු තුලාවේත්, කුජ මකරයේත්, ශනි කුම්භයෙත්, කිවි මීනයේත්, රවි - බුද මේෂයේත් යන රාශිවල තැන්පත් වී සිටින අවස්ථාවේ ලුම්බිණි සල් උයනේදී බෝසත් උපත ජන කවියා කොතරම් චමත්කාර ලෙසද සිව්සඳ ප්‍රහේලිකා ශෛලියෙන් විස්තර කර ඇත්තේ.   


අප කුඩා කාලයේ අනේකවාරයක් කියා ඇති සිත් බඳවන ගීතයක් මෙන්ම කවියක් ලෙස.  


අම්බලමේ පිනා පිනා  
වලං කදක් ගෙනා ගෙනා  
ඒක බිඳපු ගොනා ගොනා  
ඒකට මට හිනා හිනා  


මෙය සඳහන් කළ හැකිය. එයින් දනවන අරුත මතුපිට අරුත නොවේ. දහමට බර වූ ගැඹුරු අරුතකි.  
මෙම කවියේ සඳහන් අම්බලම යනු මිනිස් ලොවයි. පිනා යනු මෙහි උපදින්නට වාසනාව ලත් තැනැත්තාය. ඔහු ගෙනා වලං කද නම් කර්ම රැසයි. එම වලංකද බිඳීම නම් කර්මය වැනසීමයි. මෙහි ගොනා ලෙස දන්වා ඇත්තේ කර්මය බිඳ දැමූ තන්හාව නැතිකළ රහතන් වහන්සේය. තෘෂ්ණාව වනසා කර්මය බිඳ දැමූ උතුමන් වහන්සේට හරි හිනාවක්ම පෑ හැකිය. සසරින් ගැලපීම නිසා ඇති වන මහ සතුට අත්කර ගත්තාහු රහත්හු වෙති.   


​මෙම ජන කවියේ සඳහන් ගැඹුරු දහම් අරුත වන්නේ. පෙර කළ පිණින් මිනිසෙකු වී ලෝකය නමැති අම්බලමට ගෙනා කුණුකය නමැති වලංකද බුදුන් වහන්සේ විසින් බිඳ දමනු ලැබූ හෙයින් කෙළෙසුන් නැසූ ජීවිතය දැක ප්‍රීතියට පත්වීමයි.   


දහම් ගැටයක් ලෙස ලියා ඇති මෙම ජනකවිය හා එහි යටි අරුත දැන් විමසා බලමු.  


දෙමලෙක් ඇත පෙර සිට මෝ වෙත සිටින  
මෝ මැරුවොත් දෙමලා කුමට රඳවන  
මෝ රැකුමක් නැත දෙමලා මැරු වොතින  
නෑ රැකුමක් මෝ රඳවන්නෝ මෙතන.  


මෝඩකම හෙවත් මෝහය සමග පවතින රාග හා ද්වේෂ මළ දෙකකි. මෝහය නැසුව හොත් රාග - ද්වේෂ යන මළ දෙවඟ නවත්වන්නේ කුමටද? රාගය හා ද්වේෂය යන දෙමළයන් නැසූවිට මෝහය රැකෙන්නේ නැත. මෝහය රඳවා ගන්නෝ රාග - ද්වේෂ මළ දෙක රැකිය යුතු නැත.  


අප අතර නිතර භාවිතවන පහත සඳහන් ජන කවියෙන් කියැවෙන නියම දහම් අරුත කෙසේදැයි දැන් විමසා බලමු.   


ඉස්සන් මරාපිය  
රා කලයක්ම බීපිය  
මෙව්ව තම්බාපිය  
මෙතුන කරලා මාව කාපිය. 

 
මෙම ජන කවියෙන් කියැවෙන ඉස්සන් යනු ඊර්ෂ්‍යාවයි. මරාපිය යන්නෙන් විනාශ කළ යුතු බව කියැවේ. රා යනු රාගය හෙවත් කාමයයි. රාගය විනාශ කළ යුතු බව දෙවන පදයෙන් කියැවේ. මෝ යනු මෝහය හෙවත මෝඩකමයි. අවිද්‍යාව හා නොදැනීම මෝහය නැති කොට නුවණ දියුණු කළ යුතුය. මින් කියැවෙන් ඊර්ෂ්‍යාව - රාගය හා මෝහය දුරු කළ විට මම කියා කෙනෙක් නැතිවෙයි. ඒ නිවනට පත්වීමයි.  


විෂඝෝර සර්පයා දැක නාරු මෝඩයා ගැමියන් අතර පවතින ජනප්‍රිය කියමනකි. සර්පයෙකු දුටු වහාම පැරණි ගැමියෝ මෙය පවසති. ඒ මතුපිට අදහස අනුවයි. නමුත් මෙයද ජනකවියාගේ දහම් ගැටයකි. එයලිහා බැලීමට උත්සාහ කරමු.  


දෙරණ මත තුඹසයා  
තුඹස තුළ නාගයා  
විෂඝෝර සර්පයා  
දැකනාරු මෝඩයා.  


දෙරණ යනු මහ පොළොවයි. තුඹස යනු මහ පොළොව මත ජීවත් වන මිනිසුන්ය. තුඹස තුළ නාගයා මිනිසා තුළ ඇති තෘෂ්ණාවයි. තෘෂ්ණාව විෂඝෝර සර්පයෙකි. එම නිසා මෝඩයෙක් නොවී තෘෂ්ණාව නමැති සර්පයා විනාශ කර විමුක්තිය ලබාගන්න. ඒ මෙම කවියේ අභ්‍යන්තර ගැඹුරු අරුතයි.   


ජය ශ්‍රී මහා බෝධි මූලයේදී සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගත් අයුරු අපූරු නිර්මාණයකින් ජන කවියා එය අප වෙත ඉදිරිපත් කරන්නේ මෙසේ දහම් ගැටයක් ලෙසිනි.  


ගසක් ළඟදී සතුරන් සහ දබර කර  
ඊයේ රෑ හඳපානේ උදය වර  
නෑනා සමග සිතු සැටියට මගුල් කර  
තනා නැති රාලහාමිට වදිම් මෙවර

  
ජය ශ්‍රී මහා බෝධි මූලයේදී රාත්‍රියක් මුළුල්ලේ කෙළෙස් නමැති මාර සේනාව සමග යුද වැදී අලුයම් වේලේ සර්වතාඥනයේ බලයෙන් ඔවුන් පරාජය කර තෘෂ්ණාව විද්වංශනය කළා වූ රාලහාමිට (බුදු රජාණන් වහන්සේට) මම නමස්කාර කරමි. එම දහම් ගැට කවියේ ගැඹුරු අරුත එසේ දැක්වේ. 

 
එම සිද්ධියම තවත් ජනකවියකින් මෙසේ විස්තර කෙරේ.  


බෝගහ මුලදී තන පොඩිකර ජිනරතන  
කෑගහ ගියේ අඹුනෙක සතුටින් එදින  
මෝගනු ලබන්නට රිසිනම් තොප විසින  
ඒ මහ මගුල නරඹනු අද මෙහි පැමිණ  


ජිනරතන නම් වූ අප මහ බෝසතාණන් වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී තෘෂ්ණාව විද්වංශනය කර සම්‍යක් සම්බුද්ධත්වයට පත් වූ අවස්ථාවේ මහී කාන්තාව හෙවත් මහිකත සතුටින් ඉපිල කම්පා වී ගියාය. මෝක්ෂය ලබාගැනීමට කැමැති සැදැහැවතුන් ඒ අසිරිමත් මංගල්‍යය නැරඹීමට මෙහි පැමිණෙන්න.   
වෙසක් උත්සවයකට ඉදිකළ තොරණක් පිළිබඳ විස්තර ප්‍රකාශ කරන ජනකවියා එම තොරණ නැරඹීමට ජනතාවට ආරාධනා කර ඇත්තේ එසේ දහම් ගැට කවියකිනි. 

 
සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ශ්‍රී මහා බෝධි මූලයේදී සම්‍යක් සම් බුද්ධත්වයට පත්ව එම ප්‍රීතිය පළකරනු සඳහා උදාන වාක්‍යයක් දේශනා කළහ. එය ඇසුරු කරගෙන ජන කවියා මෙසේ සිවු පදයක් නිර්මාණය කළේය.  


කන්දේ ලියන නයිදේටයි කියන්නේ  
දිරණ ගෙවල් නුඹ කුමටද තනන්නේ  
ගෙයක් ඇර ගෙයක් නොතනා ඉඳින්නේ  
ගෙන් ගියදා ගේ ගිනි ලති බොලන්නේ  


ජරාවට පත්වන දිරායන මෙම ශරීරයද ගෙයක් වැනිය. තන්හාව නමැති වඩුව නුඹ මේ ගෙවල් තනන්නේ කුමටද? ශරීරය දිරා මරණයට පත් වේ. යළිත් ඉපදී යළිත් මැරේ. මළ පසු සිරුර ගිනි තබා අළු බවට පත් කෙරේ.  


බුදු හිමි දෙසූ දහම් අසා ඒ මාර්ගයේ නොයන මිනිසුන් ගැන ජන කවියා මෙසේ සඳහන් කරයි.  


නුඹ වන්නා කොතනත් කල් බඳින් දැයි  
අප ඉන්නා ගෙය ඉන්නට නොදෙන් දැයි  
ගැන දුන්නා අට සහ දෙක නොදන් දැයි  
හොඳ දක්නා අය කී මග නොයන් දැයි  


තන්හාව හැම තැනමය. මේ ආත්මයේ ඉන් මිදී ඉන්නට බැරිය. තන්හාව නිසා පන්සිල් අටසිල් රැකිය නොහැකිය. බුදුන් දෙසූ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේද යාමට නොහැකිය. එම දහම් ගැට කවියේ යටි අරුත එසේ දැක්වෙයි.  


දහම් ගැට වදන් වහරට අනුව ජන කවියා පදබැඳ ඇති පහත සඳහන් කවිය අපූර්ව නිර්මාණයක් නොවේද? 

 
සාවක පස් දෙන මරණෙට හසුකර පෙරයම බෙර තුන එක ගැසුවොත්  
අටවක අටදෙන මාසෙට පස්දෙන දෙපෝදාට දසදෙන මැරුවොත්  
මෙතුන බලාගෙන සැම මස් බුදිනට කෙමනට ගුරිවැල් තුන ලුවහොත්  
සුරසැප විඳුමට ඇත මේ පින්කම මවුපිය මැරු අය නිවන් දකිත්   


පෙරයට හෙවත් පළමුවන වයසේ පටන් පළමුවන තුන හෙවත් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන එකම සැදැහයෙන් සිතෙහි තැන්පත් කරගෙන පස් දෙනාය කී පස් පව් නමැති කෙලෙස් නසනු සඳහා සිත යොමු කර, අට දිනකට වරක් හෙවත් අටවක පෝය දිනවල අට සිල්ද, පසළොස්වක දෙපෝ දිනවල දසසිල්ද, මාසයේ අනෙක් දිනවල පන්සිල්ද යන මෙකී තුන් ලෙසින් සිල් රැක සැප වැළඳීමට කමටහන් ලෙසින් අනිත්‍ය දුක්ඛ - අනාත්ම යන තිලකුණු මෙනෙහි කර බවුන්හි යෙදුන හොත් දෙව් සිරි සැප සඳහා මෙම පිංකම ප්‍රමාණවත් වෙයි. මවුපිය නමැති තන්හාව හා මෝහය නැසූවාහු නිවන් දකින්නේය යන්න මෙම කවියේ ගැඹුරු අරුතයි. මෙම පැදියෙහි සඳහන් මවුපිය මැරූ අය නිවන් දකිත් යන්නෙන් අදහස් වනුයේ තන්හාව හා මෝහය මිස අප මෙලොවට බිහිකළ මවුපියන් නොවේ.  


හෙළ වෙදකමක් සඳහා බෙහෙත් ඖෂධ වර්ග ගන්නා ලෙසින් ලියැවුන දහම් ගැට ගැටගසා ඇති මෙම ජන කවිය අපූරු නිර්මාණයක් නොවේද?  


කිතුලුත් පස සුවඳ රස ලවන ගනිමින  
බබලන නවරත්න දසමුල් සමව ගෙන  
අඹරා සිහ තෙලෙන් වේලා සැම පැසෙන  
වළඳනු මැනවි ඉන්හැම රෝග වැනසෙන  


තිසරණ සහිත පන්සිල් දසසිල් රැක බණ දහම් අසා ඒ අනුව පිළිපදින අය සෑම රෝගයකින්ම තොර නිවන දකිති යන කියමන එසේ දැක්වෙයි.  


දහම් ගැටයක් තේරවිල්ලක් ලෙස ඉදිරිපත් කර ඇති අවස්ථාද අපට ජනකවි සාහිත්‍යයේදී දක්නට ලැබේ. එසේ දහම් තේරවිල්ලක් පහත පළවෙයි.  


උන්න තැන අටයි සිටිතැන නමයයි පාද  
මුන් වතු තුනක් ගොන් දෙන්නෙක් කෑ වාද  
ඉන් ඇට පතක් ගොළුවෙක් බැද කෑ වාද  
අන් විස් අටක් ඇති මීමෙක් ඔහෙ යාද  
එම තේරවිලි කවියට ලැබී ඇති පිළිතුර  
උන් තැන අට අට සීලේ නොවේදෝ  
මුන් වතු තුන තුන් සරණේ නොවේදෝ  
ඉන් ඇට පත නව ගුණවැල නොවේදෝ  
අන් විසි අට අට විසි බුදු නොවේදෝ

 

 

ගම්පහ - අබේසේන හේරත්