ජපානයේ මරණයේ වන පෙත


රටකින් රටකට

 

‘‘ජීවිතය ඔබේ දෙමාපියන් ඔබට දුන් වටිනා දායාදයක්. දිවි තොර කර ගැනීමේ ඒකායන අභිලාෂයෙන් මේ වන පෙතට පිවිසි ඔබටයි මේ සංවේදී ආයාචනය. වන වදුලේ සිසිලසින් ප්‍රමුදිතව, දැඩි ආත්ම විශ්වාසයක් වඩවාගෙන නොපමාව යළි නිවසට පියමන් කරනු මැන දරුව’’  


ජපානයේ හොන්ෂු දිවයිනේ මිසාකා කඳුකරයෙහි පිහිටි ඔකිගහරා ජුකායි වනාන්තරය ජපානයේ සියදිවි නසා ගන්නන්ගේ වන පියස ලෙසින් ලොව ප්‍රචලිතය. එහි පිවිසුම් ද්වාරයෙහි ජපන් රජය විසින් ස්ථාපිත කර ඇති දැවැන්ත දැන්වීම් පුවරුවෙහි ඉහත උපුටා ගැන්ම තුළින් මෙම වන පියස වෙත පැමිණෙන්නන්ගේ මානසික අපේක්ෂාවන්ගේ ස්වභාවය මැනැවින් ප්‍රකට වේ. රුක් සයුර ලෙසින් ද හැඳින්වෙන අක්කර 7400 ක් පුරා පැතිරි මෙම වනාන්තරය පිහිටියේ ෆුජි කඳුවැටියට වයඹ දෙසින් යමානෂි ප්‍රාන්තයේ සයිකෝ විල ආසන්නයෙහිය.  


විද්වතුන් පෙන්වා දෙන්නේ සියදිවි නසා ගැනීම ගෞරවණීය යැයි සැලකෙන ජපානයේ ඉපැරණි සමුරායි සංස්කෘතිය ඔකිගහරා වනාන්තරය වෙත ජපන් ජාතිකයන් ආකර්ෂණය කර ගැනීමට අනියම් වශයෙන් බලපෑම් සිදුකර ඇති බවයි.  


දෙවසරකට පමණ ඉහත ශීත ඍතුවේ මැද භාගයේදී ජපානයේ සංචාරයක නිරත අවස්ථාවක දිවි තොර කර ගන්නන්ගේ වනාන්තරයට පිවිස එහි තථ්‍ය ස්වරූපය රිසි සේ දැක බලා ගැනීමට මා වෙත අවස්ථාවක් උදා විය. එම මතකයන් ඇසුරෙන් මෙම ලිපිය සැකසිණි. එම අවස්ථාවට මගේ මිත්‍ර ජපන් විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරයක් ද සහභාගි වීම නිසා වන පියස තැන තැන සවිකර තිබූ ජපන් බසින් සැකසුණු විවිධ නාම පුවරුවල අරුත් මැනැවින් වටහා ගන්නට මෙන්ම වනය පිළිබඳව අප්‍රකට ඓතිහාසික තොරතුරු සමුදායක් දැනගන්නට ද අවකාශයක් සැලසිණි.  

 

ෆූජි කඳුවැටිය පාමුල සයිකෝ විල ආසන්නයේ පිහිටි ඔකිගහරා මරණයේ වනාන්තරය

 


වන අසිරිය නැරඹීමට පැමිණෙන අමුත්තන්ගේ වාහන ගාල් කිරීම සඳහා වෙන්කර තිබූ රථ ගාලේ සුවිශේෂිතාවක්ද අප දුටිමු. ඒ දිරාපත් වෙමින් පැවැති මෝටර් රථ, මෝටර් බයිසිකල් සහ පාපැදි රාශියයි. ඒ සියල්ල සිය අපේක්ෂාවන් සපුරා ගැනීමට මෙම වනයට පිවිස යළි පිටතට නොපැමිණි සියදිවි තොර කර ගත් පුද්ගලයන්ගේ බව අපට දැන ගන්නට ලැබිණි.  


ප්‍රධාන ද්වාරයෙන් වන පියසට ඇතුළු වූ විගස විසල් ගස් වටා දිවි නසා ගන්නවුන් විසින් කාඩ් බෝඩ්වල ලියා එල්ලන ලද සිය උද්වේගකර මානසික විප්‍රයෝගයන් සටහන් කළ පුවරු නෙත් ගැටේ. තම උද්වේග ප්‍රකාශයන් මෙහි පැමිණෙන ජනතාවට කියවා ගත හැකි පරිදි වැස්සෙන් ආරක්ෂා වීම පිණිස ඒවා පොලිතින් කවරවලින් ආවරණය කිරීමටද ඔවුහු සැලකිලිමත් වූ බව හැඟේ  


මා ප්‍රේමනීය හිමරි මාවත දිගේ   
දෑඟිලි බැඳ පියමන් කළ  
අප දෙදෙනාට නිබඳවම  
දෑලේ සුපිපි සකුරා මල් කිනිති  
සුළඟේ දැවටී සුබ පැතුම් මිමිණූ විලස  
දෝංකාර දෙවයි දෙසවන ඔබ මා අතැර   
වෙනතක වෙළුණු සඳ මාවත පතිත  
මිලින සකුරා  මල් පෙති  
පාවාඩ මතින් පිය නගමි වන පෙතට  
වැලඳ ගන්නට මරණයේ දෙව් දුව  
මහද බැඳි ඔබද  මුළු ලොව ද සදහට  
හැරපියා යන්නෙමි පිය සොඳුර  


ඉහත ජපන් හයිකු පද්‍යය ප්‍රේම විප්‍රයෝගය දරාගත නොහැකිවූ තරුණ පෙම්වතෙක් වනපෙත තුළ දිවි නසා ගැනීමට පෙර ජපන් බසින් තැබූ සමරු සටහනක සිංහල අනුවාදයකි.  


මෙම වන පියසේම සියදිවි හානි කරගත් ජපන් තරුණයෙක් මරණයට පෙර තබන ලද මෙවන් අපූර්ව සටහනක් කෙරෙහි ද අප අවධානය යොමු විය.  


කලක් මා දිවිය එකලු කළ  
මා පළමු පෙම්වතිය මට පිටුපෑ විලසින්ම  
යුමේ සොඳුරිය ඔබද  


දිවි මග අඳුරු කර  මා හැර ගියේ  කිනම් හිතකින්ද  ඇගෙන් සහ ඔබෙන්ද  මුළු ලොවින්ද  සමුගනිමි මම  
කයිතෝ නාගොයා  


මිනිස් සන්තානයෙහි සියුම් උද්වේගයක් ජනිත කරවන සුලු මෙවන් ප්‍රතිභාපූර්ණ ශෝකී ජපන් හයිකු කාව්‍ය සම්ප්‍රදායට ගැණෙන පද්‍ය සිය ගණනක් වන පෙත ගස් කඳන් වටා දවටා තිබෙනු අප දැක ගතිමු.  


දෑසින් දකින දෑ ඡායාරූප ගත කරමින් සටහන් තබා ගනිමින් අප ක්‍රමයෙන් වනය තුළට පියමන් කළෙමු.  
වනාන්තර භූමිභාගය, ෆුජි ගිනි කන්දෙන් විවිධාකාර වූ ලාවා පාෂාණවලින් නිර්මිත ගැටිතිවලින් ගහණව පැවැතිණි. එම ගැටිති මත ලිස්සන සුලු පාසි ඝනව බැඳී තිබීම නිසා අපට ඇවිදීමට සිදුවූයේ ඉතා සීරුවෙනි. සයිප්‍රස් සහ පයින් රුක් වියන් නිසා වනය තුළට හිරු රැස් පතිත නොවීමෙන් මුළුමහත් වන පරිසරයම අඳුරු ස්වභාවයක් ඉසිලීය. ඇසිල්ලකින් වනයේ නිහඬතාවය පළවා හරිමින් සමුදුරු රළ පෙරළෙන හඬට සම ඝෝෂාවක්ද අප සවන් වැකිණි. ඒ ෆුජි කඳුකරය පිසගෙන හමනා වේගවත් ශීත සුළං කෝඩය, වන පියසේ රුක් මුදුන් කළඹවන ඝෝෂාව බව අප සමග සිටි ජපන් මහාචාර්යවරයා පැහැදිලි කළේය. මෙම වනාන්තරයට ජපානයේ මුතුන් මිත්තන් රුක් සමුදුර යන අර්ථය ගෙනෙන ජුකායි යන අන්වර්ථ නාමය භාවිතා කිරීමට හේතුවක් වන්නට ඇත්තේ වන මැදියමේ මෙම ඝෝෂාව සැලකිල්ලට ගෙන විය හැකිය. විටින් විට හඬන පක්ෂියෙකුගේ නිහඬ පරිසරයට කිසියම් ගුප්ත බියක් මුසුවූ සෙයක්ද අපට හැඟිණි. එම කුරුළු නද මෙරට උලලේනාගේ වැළපීමට බෙහෙවින්ම සමීපය.  


මග සලකුණු ලෙසින් ගස්වල බැඳ ඇති වර්ණවත් පීත්ත පටි සංචාරකයන්ට සහ නිලධාරීන්ට අතරමං නොවී වනාන්තරයේ සැරිසැරීම සඳහා ලබා දෙන්නේ බලවත් පිටුවහලකි. වනයේ අතරමං නොවීම සඳහා වර්ණවත් පීත්ත පටි බැඳි මාර්ග ඔස්සේ ගමන් කිරීමට අපටද උපදෙස් ලැබිණි. වනාන්තරය අභ්‍යන්තරයට පියමන් කළ අප තුළ එහි පැවැති ශුන්‍ය නිහඬ ස්වභාවය සියුම් තැති ගැන්මක් ඇති කරවනසුලු විය. ඒ අතර දැවැන්ත ගසක අත්තක එල්ලමෙන් තිබූ මිනිස් ඇටසැකිල්ල අප හදවත් කම්පනයට පත් කළේය. ගස පාමුල එහි සියදිවි හානි කරගත් පුද්ගලයාගේ පාවහන් යුවළ සහ දිරාපත්වූ ඇඳුම් විසිරී පැවතිණි. ඒ අසලින්ම දැකගත හැකි වූ බියර් කෑන් සහ සකේ මත්පැන් බෝතලය අදාළ පුද්ගලයා ගෙල වැළලා ගැනීමට පෙර සිය සිත දැඩිකර ගැනීමේ උත්සාහයක යෙදී ඇති බවද සනාථ කරවන්නක් විය. අපට වනාන්තරය තුළදී මෙබඳු අතිශය ඛේදජනක දර්ශන රාශියක් දැකගන්නට ලැබිණි.  

 

බකිගහරා මරණයේ වනපෙතට අරක්ගත් “යූරී” භූතාත්මයේ චිත්‍රයක්

 

ජපන් ජනප්‍රවාදයන්ට අනුව වන පියස තුළ සියදිවි නසාගත් අයගේ අවතාර වනාන්තරයේ නිරන්තරයෙන් සැරිසරන අතර එහි ඇතුළු වන අය කිසි විටෙකත් පිටතට නොපැමිණීමේ අවදානමට ලක්වන බවත් පැවසේ. ජනප්‍රවාදයේ පවතින ජපන් කතාවල විශ්වාසයට අනුව මෙම භූතාත්මයන්ගේ ප්‍රධානියා වන්නේ යූරි හෙවත් කුපිතවූ කාන්තා භූතාත්මයයි. මියගිය ජපන් කාන්තාවන්ට අන්දවනු ලබන ධවලමය කිමෝනාවට සමාන ඇඳුමකින් සැරසුණු කේශ කලාපය විහිදා ගත් මෙම අවතාරය රාත්‍රී කාලයේ මෙම වන පියස කඳවුරු බැඳ ගත් ඇතැම් දේශීය සංචාරකයන්ට දැක ගැනීමට හැකිවූ බව ද වාර්තා වේ. 1750 වසරේදී මරුයාමා ඕකායෝ නම් ජපන් ජාතික සම්ප්‍රදායික චිත්‍ර ශිල්පියා විසින් චිත්‍රයකට නැගූ යූරි භූතාත්මය ජපානයේ ටෝකියෝ කෞතුකාගාරයෙහි ප්‍රදර්ශනය කෙරේ.  


දිවි නසාගන්නන්ගේ මෙම භයංකර වනාන්තරය තුළ මාලිමා යන්ත්‍ර හෝ වෙනත් කිසිදු ඉලෙක්ට්‍රෝනික උපකරණයක් ක්‍රියාත්මක නොවීම මෙහි පවත්නා තවත් විශේෂත්වයකි.  


ජපාන රජයේ මෙන්ම විවිධ ස්වේච්ඡා සංවිධානයන්හි නියෝජිතයන්ද ප්‍රදේශවාසීන්ද නිරන්තරයෙන් වනාන්තරයේ මුර සංචාරයේ යෙදෙමින් සිටි අයුරු මෙම සංචාරයේදී අපට දැකගන්නට ලැබිණි. වනයේ තනිව සරන පුද්ගලයන් සමග සුහදශීලීව සංවාදයේ යෙදී මානසික අවපීඩනය දුරුකොට සියදිවි නසා ගැනීමේ මානසිකත්වයෙන් මුදාගැනීමට ඔවුන් ගන්නා උත්සාහය ප්‍රශංසනීය වේ.  

 

බකිගහරා මරණයේ වනපෙතට පිවිසෙන ස්ථානයේ ස්ථාපිත අවවාදාත්මක පුවරුව


වසර මුළුල්ලේ ජපාන පොලිසිය ස්වේච්ඡා සේවකයන් සමග එක්ව වනාන්තරයේ ඇවිද 30 සිට 80 දක්වා දිවි නසාගත් පුද්ගලයන්ගේ සිරුර සොයා ගැනීමේ මෙහෙයුමකදී යෙදී සිටිති. මෙහි සියදිවි නසා ගත් තම ආදරණීයයන් සිහිපත් කිරීම පිණිස ඔවුන්ගේ උපන් දිනයන්හි නෑ හිතවතුන් මෙහි පැමිණ සුවිශේෂී පීඨිකාවක පහන් දල්වන බවද අපට අසන්නට ලැබිණි. කලකිරුණු සිතින් දිවි අහිමි කර ගැනීමේ අපේක්ෂාවෙන් වනගත වන්නන්ට උපදේශනය සහ උපකාර සැලසීමට අදාළ විවිධ ප්‍රචාරක දැන්වීම් පෝස්ටර් වනාන්තර මාවත්වල විවිධ තැන්වල දක්නට ඇත.  


දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු දරුණුතම ආර්ථික අවපාතයට මුහුණදීමට සිදුවීම නිසා ජපානයේ සියදිවි නසාගැනීම් සංඛ්‍යාව ඉහළ ගියේය. 2009 වසරේ සියදිවි නසා ගැනීමේ අනුපාතය එක් ලක්ෂයකට මරණ 25.7 ක් දක්වා ඉහළ ගිය බව පැවසේ. 2019 දී ජපන් වැසියන් එක් ලක්ෂයකට සියදිවි නසා ගැනීම් 16 ක් වාර්තා විය. ආර්ථික ප්‍රශ්නවලට අමතරව පෙම් සබඳතා දෙදරා යාම සෞඛ්‍යමය හේතු සහ රාජකාරි ස්ථානයෙහි අධික ආතතිය යන හේතුන් නිසා ජපානයේ වැඩි වශයෙන්ම දිවි නසා ගැනීමට නැඹුරු වන්නේ පිරිමි පුද්ගලයන්ය.  
මෙම වනාන්තරය තුළ සිය දිවි නසා ගත් පෙම් යුවළක වෘත්තාන්තය පසුබිම් කරගෙන 1960 වසරේදී ජපානයේ ප්‍රසිද්ධ ලේඛකයෙකු වන සීවෝ මැට්සුමෝටෝ විසින් ලියන ලද ටවර් ඔෆ් වේව්ස් නවකතාව ප්‍රකාශයට පත්වීමත් සමගම පෙර අපරදිග රූපවාහිනී සහ චිත්‍රපට නිෂ්පාදකයින්ගේ වැඩි අවධානයක් ​ඔකිගහරා වනාන්තරය වෙත යොමුවන්නට විය.  


සාමාන්‍යයෙන් වනාන්තරයක් මිනිස් සිතට සෞන්දර්යාත්මක හැඟීම් ජනනය කෙරෙන සොබා දහමේ අනුපමේය නිර්මාණයකි. එනමුදු ඔකිගහරා වන පියස මිනිස් සිතට ගෙනෙන්නේ බියකරු හැඟුම් සමුදායකි. 

 

ආචාර්ය ගාමිණී කාරියවසම්