ජර්මනියේ සුරංගනා කතා සැණකෙළිය


ලෝකෙන් ටිකක්

 

 

හිම පතනය අවසන්ව, ශීත සමීරය පහව ගොස්, හිරු කිරණ මිහිතලය සිප ගන්නා ග්‍රීෂ්ම සෘතුව, ජර්මන් දේශය කරා පියමන් කරන්නේ ජර්මන් ජනතාව තුළ සතුට ප්‍රමෝදය විකසිත කරමිනි. එම කාල පරාසය ජර්මනියේ සැණකෙළි සමය සේ සැලකේ.


සාහිත්‍ය, සංගීතය, චිත්‍රපට, නාට්‍ය, ආහාර පාන ආදී විවිධ විෂයයික තේමාවන් කේන්ද්‍ර කරගනිමින් සැණකෙළි පවත්වන රටවල් අතරෙන් ජර්මනියට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. මෙම සැණකෙළි අතරෙන් 18 වන සියවසේ දී ආරම්භ වී සෑම වසරක් පාසාම අඛණ්ඩව පැවැත්වෙන විශිෂ්ටතම කලා උළෙලක් වූ සුරංගනා වෘතාන්ත සැණකෙළියේ නෙතින් දුටු දෑ පිළිබඳව සටහනක් තැබීම මෙම ලිපියේ අරමුණ වේ. මෙම ජාත්‍යන්තර සැණකෙළිය කුඩාවුන් පමණක් නොව වියපත් වූවන් ද සුරංගනා පරාදීසයකට කැඳවා ගෙන යන සුළුය.
සෑම වසරකම ග්‍රීෂ්ම සෘතුව එළඹෙන මැයි මස සිට අගෝස්තු මස අවසානය දක්වා වූ කාල පරාසය තුළ සුරංගනා වෘතාන්ත සැණකෙළිය මුළු දෙන්නේ ජර්මනියේ, නැගෙනහිර රයින් ප්‍රාන්තයේ පිහිටි හනව් ග්‍රාමීය නගරයෙහිය. එම ගම් පෙත ජර්මනියේ සුරංගනා වෘතාන්ත නිර්මාතෘන් සේ බුහුමන් ලබන ග්‍රීම් දෙසොහොයුරන් ගේ නිජබිම ලෙස සැලකේ. ඔවුන් වෙතින් ළමා සාහිත්‍යයට ඉටුවූ මෙහෙවර අනුස්මරණය කිරීමේ අධ්‍යාශය පෙරදැරිව සුරංගනා කතා සැණකෙළිය වාර්ෂිකව හනව් ගම් පියසේ පැවැත්වේ.
ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයට කිලෝමීටර් 25 නැගෙනහිර දිශාගතව පිහිටි හනව් ප්‍රදේශය සොබාදම් දිනිතියගේ අනුපමේය ආශිර්වාදය ලද සොඳුරු ඉසව්වකි. මේන්-කින්සිග් ගංගා ද්වය මේන් උප නගරය මැදි කරමින් දෙපසින් ගලා බසින්නේ ප්‍රදේශය සශ්‍රීක කරමිනි. මේන් නගරය ජර්මන් බසින් හැඳින්වෙන්නේ 'BRUDER GRIM STADT' හෙවත් ග්‍රීම් සහෝදරයන්ගේ නගරය යනුවෙනි. කුඩා අවදියේ මොවුන් ජීවත් වූ නිවස සංචාරකයන්ට නැරඹිය හැකි පරිද්දෙන් සංරක්ෂණය කර ඇත. නගර චතුරශ්‍රයේ පිහිටි 1700 දී ඉදිකළ පිලිප්ස් රුච්ස් මාලිගයට මෙම ප්‍රදේශයේ පිහිටි කෞතුකාගාර අට අතරින් ප්‍රධාන ස්ථානයක් හිමිවේ. ග්‍රීම් සහෝදරයන්ගේ ජීවන රටාව හා සබැඳි තොරතුරු ඔවුන් භාවිතා කළ ගෘහ ඇතුළු විවිධ දෑ අත්අකුරු ඔවුන්ගේ නිර්මාණ කෘතීන්ගේ මුල් අත්පිටපත් සහ මේන් ග්‍රාමීය නගරයෙ කලා ශිල්ප සහ ඓතිහාසික තොරතුරු නූතන පරපුරට මෙහිදී දැක බලා ගැනීමට අවස්ථාව සලසා ඇත. පාරම්පරික රන් හා රිදී ස්වර්ණාභරණ කර්මාන්තය සහ මුර්ති ශිල්පය පිළිබඳව ද මෙම ගම්මානය ඉමහත් ප්‍රසිද්ධියක් උසුලයි. මෙම කෞතුකාගාරය අභිමුව 1896 වසරේදී ග්‍රීම් සහෝදරයන් සිහිපත් කිරීම පිණිස, ජාතික සංකේතයක් ලෙසින් ඔවුනගේ ජීවමාන ප්‍රමාණයේ තඹ පිළිරුවක් ඉදිකරනු ලැබිණි.
මෙහි වන සතුන්ගෙන් ගහන වනාන්තර මැදියමේ පිහිටි සුවිසල් මාලිගා අතිගුප්ත, අද්භූත ස්වරූපයෙන් යුක්තය. රිද්මයකට ගලා බස්නා ගංගා ඇළ දොළ, මල් ගොමු පොකුණුවලින් සුසැදි රම්‍ය උද්‍යාන, පලබර ඇපල් යායන්, ශීත ඍතුවේ තුරු හිස් අග රැඳි හිම කැටි සපිරි මෙම ගම් පියසේ මිහිරියාව, ග්‍රීම් දෙසොහොයුරන්ගේ පරිකල්පන ශක්තිය පුබුදුවාලන්නට නිසැක වශයෙන් ම හේතු වූවා විය හැකිය.

 


ජර්මන් රාජ්‍ය නායිකා ඇන්ජෙලා ඩී. මර්කෙල් විසින් සුරංගනා වෘතාන්ත සැණකෙළිය මින් වසර කිහිපයකට පමණ පෙර මහත් අභිමානනීය ලෙසින් විවෘත කරනු ලැබූ උත්සවයට මට ද සහභාගි වීමට අවස්ථාවක් සැලසිණි. එම උත්සවය සඳහා නිල ආරාධනාවක් ලැබීමට මා භාග්‍යමත් වූයේ එවකට මා ජර්මනියේ බොන් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ලෙසින් රාජකාරියේ නියැලී සිටි හෙයිනි. එහිදී මා සියැසින් දැක බලාගෙන, සිතින් ග්‍රහණය කර ගත් සහ මගේ කැමරා කාචයට හසුකර ගත් තොරතුරු මෙම ලිපිය මගින් පාඨක ඔබගේ අත්දැකීමක් බවට පමුණුවාලන්නට ගත් ප්‍රයන්තයක් ලෙසින් මෙම ලිපිය නිර්මාණය විය.


ප්‍රවීණ ශිල්පීන් 200 කට ආසන්න සංඛ්‍යාවක් සහ ළමා සාහිත්‍යකරණයේ නියැළී ප්‍රකට ගත්කරුවන් විශාල පිරිසකගේ ක්‍රියාකාරී අනුග්‍රහය ද උත්සව සංවිධාන සඳහා ලද බව එහිදී අපට දැනගන්නට ලැබිණි.


මෙම සැණකෙළිය හුදු විනෝද‌ාස්වාදය ලබා දීම උදෙසාම පැවැත්වෙන්නක් නොවේ. එමඟින් ළමා පරපුරේ නිර්මාණ ශක්තිය හා සන්නිවේදන නිපුණත්වය වැඩිදියුණු කිරීම, ලිවීමේ හා කියවීමේ හැකියාව ප්‍රගුණ කරවීම, සිය අදහස් නිරවුල්ව පැහැදිලි කිරීමේ හැකියාව ලබාදීම, මානව දයාවෙන් හා මානව භක්තියෙන් පිරිපුන් පුරවැසියන් බිහිකිරීම, ආපද‌ා අවස්ථාවන් හිදී ඊට මුහුණ දිය හැකි ආත්ම ශක්තියක් වර්ධනය කිරීම ආදී උද‌ාර පරමාර්ථ රාශියක් සපුරා ගැනීම මෙම වාර්ෂික සැණකෙළියේ ප්‍රධානතම අරමුණු විය.
ජනශ්‍රැති, සුරංගනා වෘත්තාන්ත තේමා කොට ගත් වැඩමුළු, චිත්‍ර ප්‍රදර්ශන, සංගීත ප්‍රසංග, නාට්‍ය මෙන්ම විවිධ සුරංගනා කථා නිරූපනය කෙරෙන රංගන, රූකඩ නැටුම්, ප්‍රදර්ශනයන්ගෙන් මෙම උත්සව අලංකෘත විය.


ජර්මනියේ පාසල් සිසුන් අතර පවත්වන ලද සුරංගනා වෘතාන්ත තේමාකොට ගත් තරගයෙන් ජයග්‍රහණය කළ නිර්මාණ ඇතුළත් දර්ශනීය ළමා ග්‍රන්ථයක් ද ආරම්භක උත්සවයේ දී ප්‍රකාශයට පත්කළේය. විසිතුරු ඇඳුමින් සැරසී, හිස ඔටුනු දරමින්, මුහුණු වර්ණවත් කරගත් වැඩිහිටි කතාකරුවන් විසින් දිනපතා එහි රැස්වෙන ළමුනට ග්‍රීක, රෝම, ඉතාලි, ජර්මන් සුරංගනා කථා ඉදිරිපත් කරද්දී දරු දැරියන් අසීමිත වින්දනයකින් යුතුව ඒවාට සවන් දෙනු දක්නට ලැබිණි.


අහස, හිරු, සඳු පහළ වීම, ශීත, සිසිර, වසන්ත, ගිම්හාන සෘතු නිර්මාණය පිළිබඳව වූ ඉපැරණි සුරංගනා කථා ඉදිරිපත් කිරීමේදී කථනයට අමතරව සංගීත හා ශිල්පීන්ගේ රංගනයන් තුළින් ප්‍රේක්ෂකයින්ගේ කතා රසය කුළු ගන්වනු ලැබිණි. ළමා ළපටීන්ට විනෝදවීම පිණිස සුරංගනා මාලිගා, සතුන්ගේ ආකෘති ගල්ගුහා, හිම කුමාරි, මායාකාරී මිත්තණිය වැනි ආකර්ශනීය නිමැවුම් ද සැණකෙළි භූමියෙහි තැන තැන දක්නට ලැබිණි. ඉතා රසවත් සුරංගනා කථාවලින් ලොව නන් දෙස ළමයින් අමන්ද‌ානන්දයට පත් කළ ලෝක ප්‍රකට ජර්මනයේ ග්‍රීම් දෙසොහොයුරන් පිළිබඳව ද අප්‍රකට ජීවන තොරතුරු මෙම ප්‍රදර්ශනයේ දී ග්‍රහණය කර ගැනීමට අපට කදිම අවස්ථාවක් උද‌ා විය.
ග්‍රීම් දෙසොහොයුරන්ගේ ජීවන වෘත්තාන්තය ද සුරංගනා කථාවක් හා සමාන යැයි හැඟේ. කුඩා අවධියේ ඔවුන් මුහුණපෑ කටුක ජීවන අත්දැකීම්, ඔවුනගේ නිර්මාණ කුසලතාව, ප්‍රතිභාව පුබුදුවන්නට සමත් වූවාට සැක නැත.


ග්‍රීම් සහෝදරයෝ යන ආරූඪ නාමයෙන් සුරංගනා කථා ගෙතූ මෙම ලේඛකයින්ගේ සැබෑ නාමයන් ජේකබ් ලුඩ්විග් (1785-1863) සහ විල්හෙල්ම් කාර්ල් (1786-1859) වශයෙන් අපට දැනගන්නට ලැබුණේ බර්ලින් හි සැණකෙළියෙහි පැවැති වැඩමුළුවකදීය.
ග්‍රීම් සොහොයුරන් කුඩා අවදියේ සිට ජර්මනියේ ග්‍රාමීය ප්‍රදේශවල සැරිසරමින්, ගැමි ජනතාව ඇසුරෙන් මිත්‍යා කතා, ජන විශ්වාස සහ සුරංගනා කතා සංකල්ප එක්රැස් කර ගැනීමට යුහුසුලු වූහ. එම කථා ආශ්‍රිතව ළමා මනසෙහි චමත්කාරය හා කුතුහලය ජනිත වන අයුරින් ළමා කථා ප්‍රබන්ධ කිරීමට ඔවුන් තුළ නිසඟ කුසලතාවක් පිහිටියේය. ඔවුන්ගේ පියා පිලිප් විල් හෙල්ම් ග්‍රිම් (1751-1796) වෘත්තියෙන් නීතිඥයෙකි. මව ඩොරෝනියා ඩීමර්ය. දරු දැරියන් 9 දෙනෙකුගෙන් යුක්ත පවුලක වැඩිමහල් දරුවන් වූයේ ග්‍රීම් දෙසොහොයුරන්ය.


මෙම දෙපළ සිය ජීවිතයේ මුල් දොළොස් වසර ගත කළ බව වාර්තා වන්නේ හනවූ නම් වූ ඉහත විස්තර කළ ගම්මානයේය. 1796 දී පියා නිව්මෝනියා රෝගයෙන් මියගිය පසුව ග්‍රීම් සහෝදරයින්ට දුර්භාග්‍ය සම්පන්න කාලයක් උද‌ා විය. ඉමහත් අගහිඟකම් මධ්‍යයේ ඔවුහු කසෙල්හි ලයිසියම් පාසලෙන් උසස් අධ්‍යාපනය ලබා ගත්හ. අනතුරුව ග්‍රීම් සොහොයුරන් මර්බර්ග් විශ්වවිද්‍යාලයට පිවිස නීතිය පිළිබඳව උපාධිය ලබා ගැනීමට සමත්වූහ.


1808 දී දෙසොහොයුරන් අතරෙන් ජේකබ්ට, ජිරොම්ස් රජුගේ පෞද්ගලික පුස්තකාලයාධිපති ලෙස සේවයෙහි යෙදීමට අවස්ථාව උද‌ාවිය. ඔහු එම කාලය තුළ දී විවිධ සාහිත්‍ය කෘති පරිශීලනයෙහි යෙදෙමින් නිර්මාණ කරණය සඳහා අත්දැකීම් සම්භාරයක් එක්රැස් කර ගැනීමට සමත් විය.
1809 - 1813 ග්‍රීම් සොහොයුරෝ සුරංගනා කතාවන්ට අමතරව, තමන් කළ පර්​ෙ‌ය්ෂණයන් ආශ්‍රිතව ග්‍රන්ථ කිහිපයක් ද ප්‍රකාශයට පත් කළහ. ජර්මන් ජනතාව ජාතියක් වශයෙන් එක්සේසත් කිරීමට පාරම්පරික චාරිත්‍ර වාරිත්‍ර අතිශයින්ම වැදගත් වන බව ඔවුහු තරයේ විශ්වාස කළහ.


1825 ග්‍රීම සොහොයුරන් අතරින් විල්හෙල්ම් ඩෝර්ට් වයිල්ඩ් සමඟ විවාහ වූ අතර ජේකබ් මුළු ජීවිතයම සාහිත්‍යකරණය කෙරෙහි කැප කරමින් අවිවාහකව දිවි ගෙවීය. ග්‍රීම් සොහොයුරන් ‘හිම කුමාරි’, ‘සින්ඩ්‍රේල්ලා’, ‘පයිඩ් පයිපර්’ වැනි ලෝ සුපතල සුරංගනා කථා ඇතුළත් කථා 156 කින් සමන්විත ග්‍රන්ථ දෙකක් ළමා සාහිත්‍ය ක්ෂේත්‍රයට ද‌ායාද කළහ. ඔවුහු ජනකතා සංකල්ප එක්රැස් කිරීම පමණක් නොව ඒවා සිය කල්පන ශක්තිය මෙහෙයවා අපූර්ව නිර්මාණ ලෙස එළිදැක්වීමට සමත් වූ ප්‍රතිභාපූර්ණ ලේඛක දෙපළක් වූහ.
ජනශ්‍රැති සහ සුරංගනා වෘතාන්ත පිළිබඳ සැණකෙළියේදී ග්‍රීම් සොහොයුරන්ගේ ග්‍රන්ථ මෙන්ම ඔවුන්ගේ අත්අකුරුද දැක බලා ගැනීමට රසිකයින්ට අවස්ථාව උද‌ා විය.
මෙම සැණකෙළියේ දී විශ්ව සම්මානිත සුරංගනා කථා රචකයෙක් වූ හැන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ගේ නමින් ද ප්‍රදර්ශන කුටියක් වෙන්කර තිබිණි. ඔහුගේ ජීවන වෘතාන්තය මෙන්ම ඔහු අතින් නිර්මාණය වූ සුරංගනා වෘතාන්ත ද ළමා සිත් සතන්හි අමරණීය ලෙස සනිටුහන් වන අන්දමින්, විවිධ ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් සජීවිකරණයෙන් යුක්තව මෙම ප්‍රදර්ශන කුටිය සකසා තිබිණි. ලොව ළමා පරපුර සුරංගනා ලොවකට කැඳවා ගෙන ගිය හෑන්ස් උපත ලද්දේ 1805 අප්‍රේල් දෙවන දින, ඩෙන්මාර්කයේ ඕඩේන්ස් නම් දිළිඳු ගම්මානයකය. පියා දිළිඳු සපත්තු මහන්නෙකි. හෑන්ස් 11 වන වියේ දී පියාගේ අභාවය සිදුවීම නිසා හේ ඉමහත් අසරණ භාවයකට පත් වූ බව පැවසේ. කුඩා වියේ හෑන්ස් තම ජීවනෝපාය සලසා ගැනීම පිණිස වීදි ගානේ ඇවිදිමින් ගී ගායනයට යොමු වූ බව පැවසේ.


අනතුරුව ඔහු කුඩා ළමුන් ගැවසෙන ස්ථානවලට ගොස් ඔවුනට රසවත් කථා කියාදීම නිසා ඔහු ළමුන් අතර ජනප්‍රියත්වයට පත්විය. හෑන්ස් තම 17 වන වියේදී එනම් 1822 දී සිය කුළුඳුල් සුරංගනා කතාව ප්‍රකාශයට පත්කළේය. හෑන්ස් සුරංගනා වෘතාන්ත 160 කට ආසන්න සංඛ්‍යාවක් නිර්මාණය කර ප්‍රකාශයට පමුණුවා ඇත. හෑන්ස් ක්‍රිස්ටියන් 1875 අගෝස්තු 04 වන දින අභාවප්‍රාප්ත වූ අතර ඔහු සිහිපත් කිරීම පිණිස යුරෝපයේ රටවල් ගණනාවක ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමා ඉදිකර ඇත. ලුවිස් කැරොල්, ඔස්කාර් වයිල්ඩ් වන් ලොව ප්‍රකට සුරඟන කථා ගත්කතුවරයින්ගේ දිවි පෙවෙත් පිළිබඳව මෙන්ම ඔවුන්ගේ කෘතීන් පිළිබඳවත් තොරතුරු මෙම ජාත්‍යන්තර වෘත්තාන්ත සැණකෙළිය තුළින් දැකබලා ගැනීමට හැකි විය.


මෙම සැණකෙළිය නැරඹීම පිණිස දරු දැරියන් ඔවුන්ගේ දෙමව්පියන් පමණක් නොව සුරංගනා කථා ජනශ්‍රැති ප්‍රියකරන වැඩිහිටියන් පවා දසදහස් ගණනක් පැමිණ සිටියහ.
මීළඟ වසරේ ජාත්‍යන්තර ළමා දිනයෙහි ළමා සාහිත්‍ය හා දේශීය ජනශ්‍රැති තේමා කරගත් මෙවන් සැණකෙළියක් සංවිධානය කිරීම කෙරෙහි රජයේ අද‌ාළ අංශයන්හි අවධානය යොමුවන්නේ නම් එය අපේ ළමා පරපුර වෙනුවෙන් ඉටුවන මහඟු ජාතික මෙහෙවරක් වනු නිසැකය.

 

 

ආචාර්ය ගාමිණී කාරියවසම්