ගැමි රසවිත
ලෝක සත්වයාගේ පැවැත්ම පිණිස ජලය අත්‍යවශ්‍ය වේ. මෙම විශ්වයේ ආරම්භයේ සිටම ස්වභාවය එයයි. ‘‘ජලය ධනය මෙන් සුරකිමු’’ අතීතයට වඩා බෙහෙවින් මෙම වාක්‍ය ඛණ්ඩයේ අගය වර්තමානයට වටී. ඒ මන්දයත් අනාගතයේ ජලය රන් හා සමාන මාතෘකාවක් බවට පත්වී ඇති හෙයිනි. මිනිසා ඇතුළු සෑම සත්වයෙකුටම නිදහසේ භුක්ති විඳීමට අයිති දෙය ජලය වුවත්, දැන් දැන් ඛනිජ තෙල් මෙන් ජලය ධන උල්පතක් බවට පත්කරගෙන හමාරය.
ලොවට ප්‍රථමයෙන්ම විශ්වයේ උපත පිළිබඳව අදහස් දැක්වූයේ බටහිර රටවල පඬිවරුන්ය. යම් යම් ලෝක දාර්ශනිකයින්ගේ ඒකායන මතය වූයේ ජලය විශ්වයේ උපතට හේතු පාදක වූ බවයි. මුල් බැසගත් ජලය හා බැඳි අතීත සංකල්පනා රාශියක්ම ඇත.
මෙම සියලුම මාතෘකාවලට එහා ගිය හින්දු දහමේ කියැවෙන මිනිසා වාසය කරන මහ පොළාවට අයත් මහමේරු පර්වතය කිරි සයුරේ ගිලා බැසීමෙන් පසු එය බේරා ගැනීමට හින්දුන්ගේ ත්‍රීමූර්ථියේ විශ්ව තලයේ පැවැත්ම ආරක්ෂා කරනු පිණිස විෂ්ණු දෙවියන් ඉදිරිපත් වූ බව සඳහන් වේ.
සිතා ගැනීමටවත් නොහැකි ඉදිබුවකුගේ වේශයක් මවාගෙන එම ඉදිබුවාගේ පිට මත්තට අති මහත් දැවැන්ත ඇතුන් අටදෙනෙකු නංවාගෙන, එම හස්ති රාජයන්ගේ පිටමතට අප වාසය කරන මහ පොළොවට අයත් මහමෙර නොහොත් ස්වර්ණ පර්වතය තබාගෙන කිරි සාගරයේ විෂ්ණුගේ ඉදිබු අවතාරය එහා මෙහා ගමන් කළ බව කියැවේ. එම විශාල හස්ති රාජයන් වන්නේ සූත්‍ර තීක්ත, පුන්ඩරීක වේරාවන, මාවන, කුමුදිය, අංජන, පුෂ්පද්ත, සර්ව හනුම යන හස්තීන් ය.
මුලු මහත් විශ්වයම අනාදිමත් කාලයකට පෙර දී පටන් මහ ජල කඳකින් යටවී තිබූ බවත්, එම ජල කඳ බ්‍රහ්ම ලෝකය දක්වා විහිදී පැතිරී තිබූ බවත් සඳහන් වේ. මුලු මහත් විශ්වයම මේ හේතුව නිසා ඝන අන්ධකාරයේ ගිලී ගොස් තිබුණේය. එයින් කාලයකට පසු හිරු දෙවියන්ගේ උදාවත් සමඟ එම ආලෝකය මුලු මහත් විශ්වය පුරා විහිදී ගොස් අන්ධකාරය අතුරුදහන් වී ඇති බව විස්තර වේ.
සූර්ය ආලෝකය පැතිරීමෙන් පසුව බ්‍රහ්ම ලෝකය දක්වා විහිදී තිබූ ජල කඳ ක්‍රමයෙන් බැස ගොස් මහමෙර පත්ලෙන් පැන නැගී ආ අම්බුජ දණ්ඩක් (නෙළුම්) ක්‍රමක්‍රමයෙන් ඉහළට ගොස් බ්‍රහ්ම ලෝකය දක්වා විහිදී අම්බුජ මලක් පිපී ඇත. එම අවස්ථාවේ සිට නෙළුම් මලේ උපත සිදුවී ඇති බව හින්දු විශ්වාසය වේ. ඉන්පසු පෘථිවි වසර කෝටි ට්‍රිලියන ගණනකට පසු එම නෙළුම් දණ්ඩ ඝන වී ඉතා දැඩි නොසෙල්වෙන මහමේරු පර්වතය ඇතිවූ බව සඳහන් ය. එසේ හෙයින් මහමේරුවට ඊෂ්ධර, සුගන්දර, කරවික, සුදර්ශන, චින්තක, අශ්වකරණ යන නාමයන් ද භාවිත වේ. මහමේරු පර්වතයට ඉහළින් තුසිත දිව්‍ය ලෝකයත් මහමේරුව මැද කොටසේ මහ පොළොවත්. මහමේරුව පත්ලේ පාතාලය හෙවත් සියලුම අපාය ලෝකත් පිහිටා ඇති බව පැරණි හින්දුවරුන් අදට ද විශ්වාස කරති.
පෘථිවියේ පිහිටා ඇති හිමාල පර්වතය කේන්ද්‍ර කොටගෙන හින්දු සාහිත්‍ය කථාවල සහ බෞද්ධ කථාවල සඳහන් වන අනෝතත්ත විල පිහිටා ඇති ප්‍රදේශය බෞද්ධයන්ගේ සහ හින්දු භක්තිකයන්ගේ අති උතුම් පූජනීය වස්තුවක් බවට පත්වී ඇත. අප මහ බෝසතාණන් මහමායා දේවියගේ කුස තුළ පිළිසිඳ ගැනීමට පෙර දින ඇය දුටු සිහිනය වන්නේ අනෝතත්ත විලෙන් ජලස්නානය කළ බවකි. එම නිසා අනෝතත්ත විලෙහි ජලය ශූද්ධ වූ වස්තුවක් ලෙස සැලකීම පුරාණතමයන්ගේ සිරිත විය.
අනෝතත්ත විලෙහි ජලය ශුද්ධ වස්තුවක් ලෙස සැලකූයේ අනෝතත්ත විල හෙවත් ‘‘අනවතත්ත’’ විලට මාර්ග සතරකින් ජලය ගලා ආ බැවිනි. අනෝතත්ත විලේ උතුරු කොටසට ජලය ගලා ආයේ උතුරුසිංහ මුඛයෙන් ය. දකුණු පැත්තට ජලය ගලා ආයේ අශ්ව රූප මුඛයෙන් ය. අැත් රූප මුඛයෙන් ගලා ආයේ නැගනෙහිරටයි. ගව මුඛයෙන් ගලා ආයේ බස්නාහිර කොටසටයි. එහි ජලය ශුද්ධ වස්තුවක් ලෙස තහවුරුවීමට තවත් හේතුවක් වූයේ අනෝතත්ත විලට ජලය ලැබීමේ හාස්කම සහ ක්‍රමවේදය කරණකොට ගෙන යැයි තවත් විශ්වාසයක් පවතී.
ශිව දෙවියන්ගේ ජටා මඩුල්ලෙන් ඇරඹෙන ඉන්දියාවේ ගංගා නම් ගඟ හිමාලයේ කඳු මුදුන තමන්ගේ වාස භවන කරගත් ‘‘කයිලාශකූඨ’’ නම් ස්ථානයේ පිහිටා ඇති නිසාත් ජලය ශුද්ධ වස්තුවක් ලෙස සැලකීමට ද හින්දුහු පුරුදුව සිටිති. මෙය හින්දුන්ගේ පුරාණ විශ්වාසයකි. එය එදා සිට අද දක්වාම පවත්වා ගැනීමට කටයුතු යොදා ඇත.
ගංගා නම් ගඟෙහි ජලය දැක බලා ගැනීමට ලැබුණහොත් වාසනාව ළඟා වන බව කියැවේ. එවගේම එහි ජලය පානය කිරීමට ලැබීම පෙර පින් බලයක් බව ද හින්දු ජනයා අතර විශ්වාසයක් පවතී. එහි ජලය ස්නානය කිරීමෙන් සියලුම රෝග දුරුවී යන බවට අදටත් ඉන්දියාවේ විශ්වාසය ගිලිහී ගොස් නොමැත.
බරණැස් නුවර යම් පුරවැසියෙකු මියගිය පසු ගංගා නම් ගඟේ ජලයෙන් දෝවනය කිරීම සහ යමෙකුගේ මෘත ශරීරයේ දැවුන අලු ගංගා නදියට මුසු කිරීම සිදු කරනු ලබන්නේ මළගිය ප්‍රාණකාරයාගේ ආත්මයට සුගතියක් වේ යැයි සිතන බැවිනි.
විශ්වයේ මහා ජල ගැලීමක් පිළිබඳව ඉන්දියන් සාහිත්‍ය කතා උපුටා දක්වයි. මේ බව මනාව හින්දු සාහිත්‍යයෙහි ද, ක්‍රිස්තියානි සාහිත්‍යයෙන් ද විශාල තොරතුරු ප්‍රමාණයක් මිනිසුන් අතරට මුදාහැර ඇත. මහ පොළොවේ ජීවත් වන මනුසතාගේ පැවැත්ම පිණිසම නීති මාලාවක් සකස් කළ ‘‘මනු’’ නමැති ඍෂිවරයා දිනක් ජලය දෝතක් තම දෑතට ගත්විට එහි කුඩා මත්සයෙකු දැක කුඩා භාජනයකට දමා ඇති දැඩි කරන්නට විය. කල්යත්ම මෙම කුඩා මත්ස්‍යයා අති විශාල විය. මේ විශාල මාළුවා භාජනයෙන් පොකුණට ද පොකුණෙන් විශාල ජලාශයකට ද ජලාශයෙන් ඇළකට ද ඇළෙන් දොළකට ද දොළෙන් ගංගාවකට ද ගංගාවෙන් මහ මුහුදට ද ක්‍රමයෙන් ඇදී ගියේය. එම වකවානුවේ දී විශාල ජල ගැල්මක් සිදුවී ඇති අතර, එම මත්ස්‍යයා විසින්ම ඍෂිවරයාව තමාගේ පිට මත රඳවාගෙන බ්‍රහ්ම ලෝකය දක්වා ගමන්කර ඍෂිවරයාව බේරගත් බව තවදුරටත් සඳහන් වේ. ඔහුව බේරා ගත්තේ විෂ්ණු දෙවියන් බවත්, එම මත්ස්‍යයා විෂ්ණු දෙවියන්ගේ පළමු අවතාරය බවත්. තවත් තැනෙක සඳහන් කර ඇත.
මේ අනුව අපට පෙනී යන්නේ පුරාණ හින්දු ජාතිකයින් ජලය සම්බන්ධ කරගෙන ජීවය ලැබූ බවයි. පළමුව ජීවීන් ඇති වූයේ ජලයේ බවත් පසුකාලීනව ජලජ ජීවීන් ගොඩබිම් දක්වා විකාශනය වී ගොඩබිම ජීවය ඇරඹි බවත් ඉතිහාසය උපුටා දක්වයි. එය සත්‍ය යැයි හැඟෙන්නේ වත්මන් පරිනාමවාදයේ බොහෝ දේවල් මෙතෙක් සොයාගත් කරුණුවලට සමාන බවක් දක්වන නිසයි.
අප ජීවත් වන මහ පොළොව නවග්‍රහ මඩුල්ලේ ද පිහිටා ඇත්තේ ජලජ රාශියක් හැටියටයි. ජ්‍යොතිෂ විද්‍යාවට අනුව ග්‍රහලෝක වර්ගීකරණයේ දී මේ මහ පොළොව ආරක්ෂා කිරීම සඳහා ග්‍රහයින් නවදෙනාගේ නොමද සහය ලැබේ. එසේ වන්නේ පෘථිවියේ හතරෙන් තුනක්ම ජලයෙන් යටව ඇති නිසාත් වියළි ග්‍රහයින්ගේ ආකර්ෂණය ජලය කෙරෙහි ඇදී ඒමත් බව විශ්වාස කළ හැකිය. පෘථිවියේ භූමි ප්‍රමාණය හතරෙන් එකකට සීමා වී ඇත්තේ ද පෘථිවියේ ජීවය පවත්වා ගැනීමට ජලය අවශ්‍යම නිසා වන්නට ඇති.
ජලය ලැබීම මහඟු සම්පතකි. එම නිසා අනෙකුත් සියලුම සම්පත්වලට වඩා ජල සම්පත උතුම් කොට සැලකේ. සිංහල භාෂාවේ ජලය සඳහා නම් කීපයක් ඇත. එනම් සමාන අරුත් දෙන වචන පෙළකින් අර්ථවත් වේ. දිය, අඹ, වතුර, පැන්, සිසිල්, උදක ආදී වශයෙන් ව්‍යාවහාරයේ එන වචන වේ. තවද යම් රටකට ජලය ලැබීම නිසා සමෘද්ධිය ළඟා වේ. රටක දැහැමි පාලනයක් ඇතිවුවහොත්, එය ප්‍රති උපකාරයක් වශයෙන් දෙවියන් විසින් ලබාදෙන දායාදයක් කොටත් සැලකේ. දෙවියන් විසින් කලට වේලාවට වැසි ලබා දී රටක් ධන ධාන්‍යයෙන් ආඪ්‍යය වීම, පාලකයා දැහැමිවීම, මහා සංඝයා සිල්වත්වීම ආදී දේවලට මහජනයාගේ ඉහළම සැලකීමක්, පිළිගැනීමක් එකල තිබිණි. වත්මනයේ බොහෝ සෙයින් ඒවා ද පිරිහිමට ලක් වී ඇත.
අප රට තුළ සහ පැරණි සංස්කෘතියෙන් අාඪ්‍ය වූ රටවල් තුළත් නියං සායක් ඇතිවූ විට පිළිපැදිය යුතු වත්පිළිවෙත්, යාගහෝම, බලිතොවිල්, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ආදිය පිළිබඳවත් චාරිත්‍ර වාරිත්‍ර රාශියක් පුරාණ ඇදහිලි අතර පෙනෙන්නට තිබේ.
පන්සිය පනස් ජාතක පොතේ ලියැවී ඇති ජාතක කථා අතරින් ‘කුරුධර්ම’ සහ ‘වෙස්සන්තර’ ජාතක කථාවල එන වැසි ලැබීමේ දී ප්‍රධාන තැනක් ගන්නා අලි ඇතුන් පිළිබඳව සඳහනක් කර ඇත. මේ අතරින් ප්‍රධාන තැනක් ගන්නේ වෙස්සන්තර ජාතකයයි. එහි ලියැවී ඇති අන්දමට කාලිංග දේශයේ ඇති වූ විශාල ඉඩෝරය නිමා කිරීම සඳහා වෙස්සන්තර රජුගේ මංගල හස්ති රාජයා ලබාගැනීමට පැමිණි කාලිංග දේශයේ වැසියන්ට මතු බුදු බව පතන තමා මංගල ඇතා දන්දීම ප්‍රසිද්ධ පුවතකි.
පුරාණ භාරත දේශයේ වැසි ලබාගැනීමට සමත් බමුණන්ට රජු විසින් තාන්න මාන්න දී රාජ සභාවල තබාගෙන සිටි බවට සාක්ෂි සහිතව ඔප්පු වේ. ‘‘වස්කාර’’ නාමයෙන් හැඳින්වෙන ඔවුන් වැස්ස ලබාගැනීමට අවශ්‍ය වත්පිළිවෙත් කරන තනතුරකි. ‘‘වස්කාර’’ යනු වර්ෂාව ලබා දෙන්නා යන අර්ථයයි. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් ආකාරයට භාරතයේ මගධ දේශයේ රාජත්වයට පත් අජාසත්තගේ රාජ්‍ය පාලන සමයේ වස්කාර නමැති ඇමතිවරයෙකු සිටි බවට වැඩිදුරටත් සඳහන්ය. චීන ජාතික පාහියන් භික්ෂුවගේ සංචාර සටහන් විශ්ලේශනයේ දී වැසි වැස්සවීම, වැසි නැවැත්වීම යන කරුණු දෙක සඳහා ද ‘‘සංකස්ස’’ නුවර නාග රාජයෙකුගේ පිහිට ලබාගත් බව වැඩිදුරටත් සඳහන් වේ. පුරාණ කථාවල කියැවෙන ආකාරයට වැසි ලබාදීමට සහ වැසි ප්‍රමාද කිරීමට වනගත තාපසයන් මාර්ගයෙන් එයට අවශ්‍ය වත්පිළිවෙත් නියම ආකාරයෙන් සිදුකර වර්ෂාව ලබාගත් බව සහ අනවශ්‍ය කාලයට වැසි නැවැත්වීම ද සිදු කරගත් බව ඉතිහාසයේ ලියැවී ඇත.
නාග රූප වැසි ලබාදීම වෙනුවෙන් අතිමහත් දායකත්වයක් ලබා දුන් බව කියැවේ. ජල ආශ්‍රිත ප්‍රදේශවල ජලයේ ආරක්‍ෂකයකු හැටියට නයි පෙන පහ සහ නයි පෙන හත ආදී සංඛේත කළුගලින් නෙළා, එම තැන්වල ස්ථාපිත කිරීමට එකල වැඩියෙන් උත්සුක වී ඇති බව පැරණි සාක්‍ෂි තුළින් මනාව තහවුරු කරගත හැකිය. නාගයා වැසි ලබා දෙන්නෙකු හැටියට සහ ජලයේ ආරක්‍ෂකයෙකු හැටියට ඇඳුණු බව මෙයින් ඉතා පැහැදිලිය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාරිකර්මාන්තයක් වන මහවැලි ව්‍යාපෘතියේ දී එවැනි පුරාණයට අයත් නාග රූප හමු වූ බවට පැහැදිලි සාක්ෂි ඇත.
නාග රූප සහ ජලය පිළිබඳ සම්බන්ධය ඇතිවන්නේ යක්‍ෂ ගෝත්‍රිකයින් ජලාශ ආරක්‍ෂා කිරීම සඳහා යෙදවීම හරහායි. නාගයින් නාලොව සිට මිනිස් ලොවට විත් ජලය ආරක්ෂා කළ බවත් පැරණි රජ දරුවන් යක්ෂ ගෝත්‍රිකයින්ව තමන්ට අවනත කොටගෙන ජලාශ්‍රිත ප්‍රදේශ ආරක්ෂා කිරීම සඳහා යෙදවූ බව සඳහන් වේ.
ලංකා ඉතිහාස මූලාශ්‍ර ග්‍රන්ථයක් වන මහා වංශයේ ද යක්ෂ ගෝත්‍රිකයින් පිළිබඳව නිසි තොරතුරු ලියා ඇත. මිනිසුන් අභිබවා යන ශරීර ශක්තියෙන් යුත් කළු පැහැති සිරුරක් හිමි දත් සහ ඇස් ඉදිරියට නෙරා ඇති, විශාල උදරයක් සහිත නිය සහ අක්ෂි රත් පැහැයෙන් යුතු, ශරීරය මවිල්වලින් පිරුණ උස මහත ගෝත්‍රික කොට්ඨාසය යක්ෂයින් හැටියට නම් කර ඇත. අනුරාධපුර පූජා නගර භූමියේ සහ එම ප්‍රදේශයට නුදුරින් ජලය රකින ලද යක්ෂ ගෝත්‍රිකයින් වෙනුවෙන් දේවාල පවා ඉදිකොට තිබූ බව පුරා විද්‍යාඥයින් පෙන්වා දෙති.
වසර හාරදාහකට වඩා පැරණි ‘‘කාම’’ නමැති උත්සවයට වැසි මගින් ජලය ලබාගැනීම සඳහා පවත්වන ලද ඉපැරණි දේව සංස්කෘතික මංගල්‍යයක් බව සටහන් වේ. දරුඵල ඇතිවීම සඳහා ස්ත්‍රී පුරුෂ ලිංගික සම්බන්ධතාවයක් අනුව සිදුවන බව අවබෝධ කරගත් පැරණි මිනිසා ආහාර හට ගැනීමේ ක්‍රියාවලියේ දී එවැන්නක් සිදුවන බව වටහා ගත්තේය. ඉන්පසු මහපොළාවට අහසින් වැටෙන වැස්ස සමඟ එකතු වී ඵලහට ගැනීමේ චක්‍රය සිදුවන බව වටහාගෙන එය ද පැරණි ඇදහිල්ලක් බවට පත්කර ගත්තේය. මේ ක්‍රමය අනුව ලෝකයේ සමහර රටවල ජනතාව පුරාණ දේවාලයන්හි කාම රාග උත්සව පවත්වන්නට කටයුතු කළේය. ඉතාම මිහිරි සංගීත භාණ්ඩ වාදනයෙන් සහ තම හැඟීම් උද්දීපනය වන නැටුම් සහ ගැයුම් ඇසුරු කරගෙන ඇරඹෙන මෙම කාම උත්සවය අතරතුරේ දී ස්ත්‍රීන් හා පුරුෂයින් එම දේවාල තුළදීම ඉතා ප්‍රසිද්ධියේ ලිංගික ක්‍රියාවලි සිදු කළහ. එම ලිංගික ක්‍රියාවලියට ඇප කැප වූ දේවදාසින් එම දේවාල තුළම සිටි බවත් එම කාම උත්සවය රටේ ප්‍රධාන රජුගේ ප්‍රධානත්වයෙන් පැවති බවත්. උත්සවය අවසානයේ දී ධාරානිපාත වැසි ඇදහැලී මහ පොළොව සශ්‍රීකත්වයට පත්වූ බවත් පුරාණ ග්‍රන්ථ පරිශීලනයේ දී ඉතා හොඳින් වැටහේ.
ලෝකයේ පමණක් නොව ලංකාදීපයේ ද මෙවැනි උත්සව පැවති බව ඉතිහාස මූලාශ්‍ර උපුටා දක්වයි. ‘‘සිවිකා’’ නමැති ශාලා විශේෂයක් ඉදිකර මෙවැනි උත්සව පවත්වා ඇත. ‘‘සිවිකා’’ ශාලා යනු ශිව දෙවියන්ගේ ලිංගය තැන්පත් කිරීමට ඉදිකර ඇති දේව මන්දිර විශේෂයක් වේ. මාතා නමැති උත්සවය ද වැසි ලබා ගැනීම සඳහා පවත්වන්නට යෙදුන සැණකෙළියකි. ජගත් මාතා උත්සවය ද කාම උත්සවයක ලක්ෂණ තිබී ඇත. ලංකාව තුළ බුදු දහමේ ව්‍යාප්තියත් සමගම මෙවැනි ආගමික ස්වරූපයක් ගත් සැණකෙළි පැවැත්වීම සම්පූර්ණයෙන්ම අභාවයට ගියේය. කෙසේ නමුත් ඉන්දියාව වැනි රටවල අදට ද මෙවැනි කාම උත්සව ඉතා රහසිගතව සැලසුම්කර එම දේවාල තුළම පවත්වාගෙන යාම කරනු ලබති.
ජලය තමන්ට කිට්ටුම ලොකුම නෑයා සහ ලොකුම ධනය ලෙස සැලකූ පැරණි ජනතාව ධනයට අධිපති ‘‘ඉන්ද්‍ර’’ දෙවියන්ගේ පිහිට ලබාගැනීම වෙනුවෙන් කටයුතු කළේ එම දෙවියා ධනයට අධිපතියා වූ නිසා බව ප්‍රසිද්ධ වී ඇත.
අනුරාධපුර පූජා නගරයට අයත් ඉසුරුමුණි විහාරය බෞද්ධ සිද්ධස්ථානයක් බවට පරිවර්ථනය කිරීමට පෙර එම ප්‍රදේශයේ සශ්‍රීකත්වය පතා ඇදහිලි කරන දෙවොලක් බවට පත්කර තිබූ බව ඉතිහාසය විසින් ප්‍රකට වී තිබී ඇත. එහි ගල් පොකුණේ කොටා ඇති මිනිස් රූප සහ අශ්ව රූප මගින් සංකේතවත් වන්නේ අග්නි දෙවියා බව පුරාවිදු මතය වේ. එම දෙවියා ද වැස්සට අධිපති දෙවියා හැටියට පැරැන්නන් විශ්වාස කළ බව සැලකිය හැකිය. ජලය ලබා ගැනීම සඳහා දෙවියන් උදෙසා කරන පුද පූජා බොහොමයක් පුරාණ කාලයේ ලංකාව තුළ තිබූ බව විශ්වාස කෙරේ.
කුලියාපිටියේ
එස්. ප්‍රබෝධ සමරක්කොඩි