ට්‍රම්ප්ගේ කටට එරෙහිව නැගී සිටි මන්ත්‍රීවරියෝ


 

 

ඇමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිතරම කුමක් හෝ ආරවුලක පැටලී සිටින අයෙකි. ඔහු කාලයෙන් කාලයට කිසියම් අර්බුදයක් නිසා අන්තර්ජාතික පුවත් මවන්නට සමත් වෙයි. කොංග්‍රස් සභික කාන්තාවන් සිවු දෙනෙකුට අපහාස හා චෝදනා කිරීම නිසා පසුගිය සතියේ ඔහු ලෝක ප්‍රජාවගේ දැඩි අප්‍රසාදයට ලක්විය. ඔවුන්ගේ සමේ වර්ණය හා වාර්ගිකත්වය පදනම් කරගෙන එම අපහාස හා චෝදනා එල්ල කරනු ලැබිණි. ඔවුන් අයත් අර්බුදකාරී රටවලටම නැවත යා යුතු යැයි ඔහු කියා සිටියේ ඔවුන් අදක්ෂ අය නිසා ඇමෙරිකාවේ ආරක්ෂාවට තර්ජනයක් බවට ඇනුම් පද කියමිනි.   


“මේ කණ්ඩායම හරිම ජාතිවාදී, අත්දැකීම් අඩු, අදක්ෂ පිරිසක්. කාලයක් හොඳට තිබුණු ඩිමොක්‍රටික් පක්ෂය එයාලා විනාශ කරනවා. දේශ සීමාවෙ සිද්ධ වෙන මානුෂවාදී වැඩවලට එයාලා අකැමතියි. දැන් රටේ ආරක්ෂාවටත් විරුද්ධව වැඩ කරන්නෙ. ඒක අපේ රටට හානියක්.”   


“අපේ රට ඉරා දැමීමට සැරසෙන වෛරී අන්තවාදීන්ට මා ළඟ යෝජනාවක් තිබෙනවා. ඒ අය කවදාවත් හොඳ දෙයක් කියන්නේ නැහැ. ඒ නිසයි මං මෙහෙම කියන්නෙ. ඔයාලා අකමැතියි නම් යන්න. ඔවුන්ට යන්න දෙන්න. ....” ඔහු මෙසේ කියා තිබුණේ අතිවිශාල ජනකායක් ඉදිරියේය.   


ඔහු මෙසේ රටෙන් පිටත් වෙන්නැයි කියන්නේ එක්සත් ජනපදයේ පුරවැසියන්ටය. නිව්​ෙ‌යා්ර්ක් හි ඇලෙක්සැන්ඩ්‍රියා ඔකෑසියෝ කෝර්ටේස්, මිචිගන්හි රෂිඩා ට්ලයිබ්,

මැසචුසෙට්ස්හි අයන්නා ප්‍රෙස්ලි හා සුඩානයේ උපන් ඉල්හාන් ඔමාර් යන ඩිමොක්‍රටික් සහ කොංග්‍රස් සභික කාන්තාවෝ සිවුදෙනා ඇමෙරිකාවට ආදරය කිරීමට නොදන්නා අය බව ඔහුගේ අදහසයි. කිසිදු සාක්ෂියකින් තොරව කරන ලද මෙම චෝදනාව ජන වර්ග සතරක් නියෝජනය කරන එම සාමාජිකාවන් වෙත එල්ල කරන ලද දරුණු ප්‍රහාර මාලාවක අලුත්ම තත්ත්වයයි. මෙම සිවු දෙනාම ඔහුගේ ජනාධිපතිත්වය දැඩි ලෙස හෙළාදකින්නන් වීමද විශේෂත්වයකි.   


ඔහු පසුගිය සතියේ කියා සිටියේ ඔවුන් සියලු දෙනාම තම තමන් පැමිණි රටවලටම නැවත යා යුතු බවයි. එයින් තිදෙනෙක්ම ඇමෙරිකාවේ උපන් අය වෙති. ඉල්හාන් ඔමාර් පමණක් සෝමාලියාවේ උපත ලැබූවෙක් වන අතර යුද්ධය නිසා ළමා සංක්‍රමණිකයෙකු වශයෙන් අවුරුදු 12දී ඇමෙරිකාවට පැමිණ, වසර පහකට පසුව ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගත් අයෙකි. උතුරු කැරොලිනාවේ පැවති රැළියකදී ට්‍රම්ප් හිතවාදීන් ඇය නැවත යැවිය යුතු යැයි කියමින් කෑ ගැසූහ. මේ සිවුදෙනාම ජනවාරියේදී කොංග්‍රස් පක්ෂයට එකතු වූ අයයි.   
වොෂිංටනයේ රිපබ්ලිකන් සභිකයන් මේ අවස්ථාවේදී ට්‍රම්ප්ට සහයෝගය දක්වා ඇති බව වාර්තා වේ. ඔහුගේ ජාතිවාදී ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීමට රිපබ්ලිකන් සභිකයන් අතර මත විවාරණයක් පැවති අවස්ථාවේ ට්‍රම්ප්ට එරෙහිව සිටියේ සාමාජිකයන් 197 දෙනාගෙන් සිවු දෙනෙක් පමණයි.   


මේ සිද්ධියත් සමඟ අතීත ඇමෙරිකාවේදී කළු ජාතිකයන්ට එල්ල වූ විරෝධය පිළිබඳ මතක ඇවිලෙන්නට විය. වෙනත් රටවලින් පැමිණ ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා සිටින ජාතීන් මෙවැනි සිද්ධි නිසා වැඩියෙන් නොසන්සුන් බවට පත් වෙති. ඇමෙරිකාව වැනි විවිධ ජාතීන්ට අයත් ලෝකයේ රටවල් රැසක පුද්ගලයන් ජීවත් වෙන රටක පුරවැසියන්ගේ වර්ණය හෝ ජාතිකත්වය සම්බන්ධයෙන් එවැනි කතාවක් කිරීම එහි පුරවැසියන්ට කොතරම් තදින් බලපාන්නේද යන්න ගැන ට්‍රම්ප් නොසිතන හැඩයි.   


ට්‍රම්ප් සහ ඔහුට සහයෝගය දක්වන්නන් කියන ආකාරයට ඔහු කොංග්‍රස් සාමාජිකාවන්ට පහර එල්ල කරන්නේ වත්මන් ඇමෙරිකාව ගැන ඔවුන්ගේ විවේචන නිසාය. ධවල මන්දිරයේ ආධාරකරුවන් හා ට්‍රම්ප්ගේ උපදේශකයන් කියන්නේ ට්‍රම්ප් කියූ කිසිවක් ජාතිවාදී නොවන බවයි.   


ඇමෙරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතා නායිකාව වන නැන්සි පෙලෝසි ප්‍රකාශ කළේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ ජාතිවාදී බවයි.   


“මේ ආයතනයේ හැමෝම මේ ජාතිවාදී ප්‍රකාශය හෙළාදකින්න එකතු විය යුතුයි.” නැන්සි එසේ කියා සිටියාය.   


නැන්සිගේ ප්‍රකාශය පාර්ලිමේන්තු නිල වාර්තාවට පවා එකතු වූ අතර රිපබ්ලිකන් සභිකයන් ප්‍රකාශ කළේ ඇගේ කතාව වාර්තාවෙන් ඉවත් කරගත යුතු බවයි. රිපබ්ලිකන් පක්ෂයේ ට්‍රම්ප් හිතවාදීන් විසින් ට්‍රම්ප්ව හෙළාදුටු පුද්ගලයන් නිහඬ කරවනු ලැබ හෝ විශ්‍රාම ගන්වා ඇත.   


ඔහු කළ ප්‍රකාශයන්ට අමතරව ට්විටර් ගිණුම ඔස්සේ තවත් විවේචන එල්ල කිරීම අන්තර්ජාල උණුසුම වැඩි වෙන්නට හේතු විය.   


සිදුකර තිබෙන පර්යේෂණයක ප්‍රතිඵලවලට අනුව වත්මන් කොංග්‍රස් සභිකයන්ගෙන් සියයට 13ක්ම විදේශවල උපන් අය හෝ සංක්‍රමණිකයන්ගේ දරුවෝ වෙති. සභාවන් දෙකෙහිම නීති සම්පාදකයන් 68න් 57ක්ම විදෙස් රටවලින් සංක්‍රමණය වූවෝ හෝ එවන් අයගෙන් පැවත එන්නෝය.   


2018දී අප්‍රිකාවේ සමහර කොටස් කිහිපයක් ඇතුළුව සමහර රටවල් ජරා වළක් ලෙස හැඳින්වූ ට්‍රම්ප්, එවැනි රටවලින් සිය රටට සංක්‍රමණිකයන් ගෙන්වා නොගත යුතු බව ප්‍රකාශ කිරීම නිසා ලෝක ජනතාවගේ අප්‍රසාදයට ලක් විය.   


“ඒ ට්විටර් පණිවිඩ ජාතිවාදී නැහැ. මගේ ඇඟේ ජාතිවාදී අස්ථියක් නැහැ..” සිය පණිවිඩ පිළිබඳව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියි. මෙම සිදුවීම් ඔහුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදාගැනීමේ අරමුණක් තිබෙන බව ට්‍රම්ප්ගේ ක්‍රියාව විශ්ලේෂණය කරන්නෝ කියා සිටිති.   


මෙම සිදුවීමෙන් පසුව ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වූ ට්‍රම්ප් හිතවාදීන් ඔහුගේ නුගුණ වසා දමමින් සුදු හුණු ගාන්නට උත්සාහ කළහ.   

 

 


අන්තර්ජාලය ඇසුරිනි.   
නිසංසලා දිසානායක