තමන්ගේ පුතා උස්සාගෙන ගහින් මරා දමද්දී මනොරානී ඒක කොහොම දරාගන්න ඇතිද?... ස්වර්ණා මල්ලවාරච්චි


“මට හිටපු එකම රිචඩ් මගෙන් උදුරවා ගත්තට පස්සෙ මට ආයෙ නැති වෙන්න දෙයක් නෑ කියලා මම හිතුවා. ඒත් මම හිතනවා මේ විදිහට අඬලා විතරක් මදි කියලා. අපට ජීවත් වෙන්න ඕනෑ අරමුණක් විතරයි, අපි ජීවත් වෙමු?”

විසිහත් වසරක සිහිනයක් වූ චරිත රංගනයක්, යථාර්ථයක් වූ අයුරුයි ඒ. ‘රාණි’ ලෙස භාවාත්මක රංගනයක යෙදෙන ඇය ස්වර්ණා මල්ලවාරච්චි සම්මානනීය රංග ශිල්පිනියයි. මේ තාක් ලැබූ දැනුම, අධ්‍යාපනය, අත්දැකීම් සියල්ල මේ චරිතයට මුසු කොට ඇති වග ප්‍රායෝගික කර තිබේ. ලයිකා චිත්‍රපට නිෂ්පාදන වෙනුවෙන් අශෝක හඳගමයන් අධ්‍යක්ෂණය කළ ‘රාණි’ චිත්‍රපටයේ ‘රාණි’ වූ ඇයගේ අතීතයෙන්ම මේ පිළිසඳර අපි අරඹමු.

‘‘කුඩා කාලයේදී අපට එක් එක් අරමුණු ඇති වෙනවනෙ. ඒ අරමුණු අතර මට තිබුණෙ යුනිවර්සිටි යාමේ අදහසක්. හැබැයි කොහේ හෝ යුනිවර්සිටි එකකට නෙවෙයි, පේරාදෙණිය සරසවියටයි. සිරි ගුණසිංහ, ගුණදාස අමරසේකර, මහගමසේකර, මහාචාර්ය සරච්චන්ද්‍ර යන වියතුන්ගෙ පොත් කියවීමේ ආභාසය එක්ක තමයි පේරාදෙණිය සරසවියට යාමේ අරමුණ තිබුණෙ. ඒත් මට පේරාදෙණියට යාමට වරම් ලැබුණෙ නැහැ. හැබැයි ‘සත්සමුදුර’ ෆිල්ම් එකේ රඟපාන්න ලැබුණෙ ඒ කාලයේදීමයි. ‘සත්සමුදුරට’ සම්බන්ධව සිටි නළු - නිළියන් විවිධ රැකියාවල නිරතව සිටි නිසා, රූගත කිරීම් යොදාගෙන තිබුණෙ සති අන්තයේ. පාසල් අධ්‍යාපනය ලබමින් සිටි මටත් ඒ නිසා ලැබුණෙ හොඳ අවස්ථාවක්. අපි බොහෝ වේලාවට දර්ශන තලයට එක්කාගෙන ගියේ, සිකුරාදා හවසට. ඉරිදා හවස හෝ සඳුදා උදෑසන දක්වා රූගත කිරීම් සිදු කළා.



එදා ‘සත්සමුදුර’ සිනමා නිර්මාණයෙන් ලාංකීය සිනමා රංගනයට පිවිසි ස්වර්ණා මල්ලවාරච්චි ඇයගේ මුල්ම සිනමා රංග මතක ගෙනහැර දක්වන්නේ එලෙසින්ය. එවකට ඇය අධ්‍යාපනයට බෙහෙවින් දක්ෂ වූ අතර, සා/පෙළ සමත් වූයේ, විශිෂ්ට සාමාර්ථ 8ක් (D-8) සහිතවය. උසස් පෙළ සමත් වූයේ විශිෂ්ට සාමාර්ථ 3ක් (A-3) සහ බී - (B) සාමාර්ථයක් සහිතවය. එසේ වුවද, ඇයගේ ඉලක්කයව තිබූ ‘‘පේරා’’ යුනිවර්සිටි හෙවත් පේරාදෙණිය කැම්පස් යාමට වරම් නොලැබුණි. එහෙත් දෛවය හරි පුදුමාකාරය. සත් සමුදුරේ රඟපා සිටි ඇයට ඇයගේ  දෙවැනි සිනමා රංගනය වන ‘‘හන්තානේ කතාවේ’’ ‘සුභද්‍රා’ ගේ චරිතය රඟපෑම නිසා පේරාදෙණිය සරසවියට යාමට වරම් ලැබුණි. එහි රූගත කිරීම් එහිදී සිදුවූ බැවිනි. එලෙසින් හෝ පේරාදෙණිය කැම්පස් එකට යෑමට වරම් ලැබීම ඇය හට ගෙන දුන්නේ සොම්නසකි. සැබෑ ජීවිතයේදී සරසවි වරම් නොලැබුව ද, ස්වර්ණා මල්ලවාරච්චි යනු රංගනය සහ කලා විෂය ගැන සරසවි ගණනාවකින් දැනුම ලැබූ රංග පාසලක් වැනි රංග ශිල්පිනියකි. ‘සත්සමුදුරෙන්’ එපිටට ගොස්, හන්තානේ කතාව, තුංමං හංදිය, අහස් ගව්ව, හංස විලක්, සිංහබාහු, රිදී නිම්නය, බිත්ති හතර, දඩයම, සුද්දිලාගේ කතාව, මල්දෙණියෙ සිමියොන්, සාගර ජලය මදි හැඬුවා, කැඩපතක ඡායා, මී හරකා, බව දුක – භව කර්ම, චන්දකින්නරි, ඇගේ ඇස අග මේ ප්‍රවීණ රංග ශිල්පිනිය ස්වර්ණමය රංග කුසලතාවන් ඉදිරිපත් කළ නිර්මාණ ගොන්නේ කීපයක් පමණි.



ඇයගේ රංගනයේ පරාසය කියැවීමට තවත් අපූරු පිටුවක් ඇය ලියා තිබේ. ඒ – මේ දිනවල තිරගත වන අශෝක හඳගමයන්ගේ ‘රාණි’ චිත්‍රපටය ඔස්සේය. එම සිනමා කෘතියේ ඇය රඟන චරිතය වෙනුවෙන් සෑම තත්පරයකදීම රඟපා ඇති සියුම් රිද්මය ප්‍රේක්ෂකයා හට වින්දනයක් පමණක් නොව, රංගනය හදාරන අයට ද ලබාදෙන්නේ රංග අභ්‍යාෂයකි. අපේ සිනමාවට ස්වර්ණ – වර්ණ අරුතක් සැපයූ ඇය සමග මේ පිළිසඳර ඇය ‘රාණි’ අම්මා වූ මොහොතක දී ය.

අපි නැවතත් ‘සත්සමුදුර’ රඟපෑ අවදියේ මතක අතරට යමු, පාසල් යන අතරේදීම කළ ඒ රඟපෑම කරද්දී මුහුණදුන් අත්දැකීමක් ගැන අපට කියන්න.

එදා රූගත කිරීම් අතර වාරයේදී, දවසක් සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක, මමයි - හේමමාලි ගුණසේකරයි බීච් එකේ සිටියදී ගත් ඡායාරූපයක් පළ කරලා තිබුණා. එය අරන් තිබුණෙ රෙජී සිල්වා. එදායින් පස්සෙ පාසල් යන්න මට ඇතිවුණේ ලොකු බයක්. අද වගේ නෙවෙයිනෙ. ඒ දිනවල පාසල් අධ්‍යාපනය ඇතුළෙ දැඩි විනයක් තිබුණෙ. ගුරුවරු මට ගහාවි ද, බනීවි ද කියන බය නිසාම යශෝදරාවට නොගිහින්, මමම අයැදුම්පතක් සකස් කරගෙන විශාඛා විද්‍යාලයට සහ අනුලා එකට ගියා. උප්පැන්න සහතිකයවත් තිබුණෙ නැහැ. විදුහල්පතිනියත් මාව දැකලා පුදුම වෙන්න ඇති. පාසලක් හොයාගෙන ආව මේ යොවුන් බාලිකාව කවුද කියලා. උප්පැන්න සහතිකය තිබුණෙ මුල් පාසලේ. උප්පැන්නෙ අරන් ආවොත් ගන්නම් කිව්වා. ඒ ගැන ළතැවෙවී සිටියදී තමයි, සුගතපාල ද සෙනරත් යාපා ‘හන්තානේ කතාව’ට මාව ගත්තෙ. සරසවි සිසුන් පිරිසක් තේමා කරගෙන කෙරෙන චිත්‍රපටයක් කිව්ව නිසා මට පුදුම සතුටක් දැනුණෙ.

පේරාදෙණිය සරසවියට යන්න හිතාන සිටිය මට හන්තානේ කතාව නිසා පේරාදෙණියට යන්න ලැබුණාම ඒක දෛවය විසින් මට ලබා දුන් අපූරු අවස්ථාවක් වුණා.

එතකොට උසස් පෙළින් පසුවද ‘‘හන්තානේ කතාවේ’’ රඟපෑවෙ?

ඔව්, එතැනින් පසුව අධ්‍යාපන කටයුතු කළේ නැහැ. දිගටම සිනමාවේ රැඳී සිටියා.

ඔබගෙ රංගන පරාසය දෙස විපරම්කර බැලූ විට පෙනී යන්නෙ ඔබ හිස් දැනුමක් ඇතිව ආ කෙනෙක් නොවන වගයි. අධ්‍යාපනයට දක්ෂ වූ ඔබ එදා සිට මේ දක්වා කොච්චර නම් ‘පොත්’ සංඛ්‍යාවක් කියවන්න ඇතිද?

මේ මොහොතේදිත් අලුත් පොතක් කියවමින් ඉන්නෙ. අද තාක්ෂණය දියුණු නිසා පොත් කියවීමට ඇති අවකාශය වැඩියි. මගේ දුව මට කින්ඩ්ල් (Kindle) දාලා එකක් දුන්නා (අන්තර්ජාලය ඔස්සේ පොත් කියවිය හැකි සහ ලබාගත හැකි ඇප් එකකි). කින්ඩ්ල් එක බර නැති නිසා, ඩවුන්ලෝඩ් කරගෙන අද මම පොත් කියවන්නෙ කින්ඩ්ල් එකෙන්. මෑතකදි ඔබාමාගෙ බිරිඳ ගැන, ඔබාමාගෙ පොත, එලෝන් මස්ක්, ගැන චරිතාපදාන කියෙව්වා. එදා සිට ගත්තොත් කියවා ඇති පොත් සංඛ්‍යාව නම් බොහෝමයි.



ඉංග්‍රීසි භාෂාව ගැන ඔබට ප්‍රවීණ දැනුමක් ඇති වුණෙත් පොත් කියවීම නිසාමද?

බණ්ඩාරනායක කළ ලොකුම වැරැද්ද තමයි ඉංග්‍රීසි භාෂාව වෙනුවට සිංහල භාෂාව ගෙන ඒම. ඒ නිසා තමයි පංති අරගලයයි, සිවිල් යුද්ධයද, ජේ.වී.පී. ප්‍රශ්නද ඇතුළු රටේ ප්‍රශ්න රැසක් ඇති වුණේ. මට දේශපාලනය වැඩක් නැහැ. මම දේශපාලනයේ ඇත්තෙත් නැහැ. ඒත් එදා වුණේ ලොකු වරදක්. අපිට ඉගෙන ගන්න ලැබුණෙ සිංහල භාෂාවෙන්. කොහොම හරි මට මතකයි ඒ දවස්වල අපේ ගෙවල් ළඟ බර්ගර් පවුලක් හිටියා. එයාලගෙන් මට යම්කිසි ආභාසයක් ලැබුණා.

ඉංග්‍රීසි පොත පත පවා කියවන්න ලැබුණා. හැබැයි පසුව මම එංගලන්තයට ගිහින් හිටියා. මට ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කර ගන්න පුළුවන් වුණේ එහිදීයි. ඉංග්‍රීසි කියන්නෙ කතා කරද්දී වැරදුණොත් හිනාවෙන එකට නෙවෙයි. ඒ නිසා ඒ දිනවල බොහෝ දෙනෙක් ඉංග්‍රීසි කතා කරන්න බයයි. ඒත් අද ඒ තත්ත්වය කොහොමද කියලා මම දන්නෙ නැහැ.

අපි දැන් ‘රාණි’ සිනමා නිර්මාණයට ප්‍රවේශ වෙමු. බොහෝ දෙනෙක් කියන්නෙ ‘රාණි’ගේ චරිතය ඔබගෙ රංගන ජීවිතයේ අපූරු කඩඉමක් කියලයි? ඔබට කොහොමද ඒ ගැන හිතෙන්නෙ?

මේ චරිතය දිහා බලද්දී රංගන විෂයෙහිදී මුහුකුරා ගොස් ඇති වග මට මාව හැඟෙනවා. විවිධ චරිත රංගනයන්හි නිරතවෙලා රංගනයේ ගමනක් ඇවිත් සිටින කෙනෙක් ලෙස, මේ චරිතයට ප්‍රවේශ වීමට පෙර, මම මනෝරාණි සරවනමුත්තු ගැන ලියැවූ, කියැවූ, බොහෝ කරුණු කාරණා, ලිපි සියල්ල එකතු කරගෙන ඒ සියලු මූලාශ්‍ර පාදක කර ගත්තා. ඒවා අධ්‍යයනය කර චරිතය ගැන වටහාගැනීමක් සහ සූදානමක් ඒවා වෙතින් ලබාගැනීමට මට පුළුවන් වුණා.

ඔබට ජීවිතයේ කෙදිනක හෝ මනෝරාණි සරවනමුත්තු වෛද්‍යවරිය මුණගැසී තියෙනවද?

සිව් වතාවකදී මට ඇයව මුණගැසුණා. මුලින්ම මම ඇය හමුවීමට ගියේ මේ වගේ චිත්‍රපටයක් කළාට කමක් නැද්ද කියලා අහන්නයි. ඇයගෙ පුතු වූ රිචඩ් ඩි සොයිසා මරා දැමුණෙ 1990 දි. ඒ කාලයේදී විවිධ තරා තිරම් සහ ක්ෂේත්‍රවලට අයත් අගනා - වටිනා මිනිසුන් මරා දැමුවා සහ අතුරුදන් වුණා. ඒත් කවුද මැරුවෙ කියන එක සොයා ගත නොහැකි වාතාවරණයක් රටේ තිබුණෙ. ඕනෑ කෙනෙක්ට ඕනෑම අපරාධයක් කරලා තමන් කළේ නැහැ වගේ ඉන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වී තිබුණෙ. අපි ජීවත් වුණේ එවැනි කාලවකවානුවක. ඒ කාලයේදී රිචඩ් ඩි සොයිසා ගැන මනෝරාණි ගැන බොහෝ සෙයින් කතා වුණා. 

ඉතින් ප්‍රගතිශීලි අදහස් දරන අපට ඇති ආකල්ප එක්ක ඒ අම්මටයි - පුතාටයි වෙලා තියෙන්නෙ ලොකු අසාධාරණයක් කියලා නිතරම මා විශ්වාස කළා. ‘‘මම කැමතියි ලෝකෙට ඔය දෙන්නගෙ කතාව කියන්න කියලා මම එදා එතුමියට කිව්වා.’’ ඒ නිසා මෙය චිත්‍රපටයක් කළොත් හොඳයි කියලා මම මගේ අදහස ගැන කිව්වා. එතකොට අධ්‍යක්ෂවරයකුවත්, පිටපතවත් නිෂ්පාදකයකුවත් සොයාගෙන හිටියෙ නැහැ. ඒත් මගේ අදහස ගැන කිව්වා. 



එතකොට හඳගමට මේ අදහස එන්න ඇත්තෙ?

2023 වෙනකල් හඳගමට මේ වගේ චිත්‍රපටයක් කිරීමේ අදහසක් අරමුණක් තිබිලා නැහැ. එයාට ඕනෑ තරම් සංකල්ප තියෙනවනෙ. කවුරුවත් ඒ විදිහට චිත්‍රපටයක් කරමුය කියලා යෝජනාවක් කරලා තිබිලා නැහැ.

එදා ඔබට තිබූ අදහස අනුව වෛද්‍ය මනෝරාණි ගැන මේ විදිහට චිත්‍රපටයක් කරන්න යනවාය කියන ආරාධනාව එක්ක මේ චරිතයට අරාධනා ලැබුණාම මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ?

මේ ඇරයුම එද්දී මම හිටියෙ ලංකාවේ නෙවෙයි, ලයිකා ආයතනය වෙනුවෙන් ජානකී විජේරත්න මට ඇමතුමක් අරගෙන, අක්කා ‘මනෝරාණි’ ගැන ෆිල්ම් එකක් කරන්න අදහසක් තියෙනව නේද? මට චන්නදේශප්‍රිය අයියා කිව්වා. ඒ කතා සංකල්පය හොඳයි, අපි කරමු කියලා ඇය කිව්වා. ඒ වන විට ලයිකා චිත්‍රපට නිෂ්පාදන ආයතනය තවත් චිත්‍රපට පහක් කිරීමට නිර්මාණකරුවන් තෝරාගෙන තිබූ බව මම කලින් දැනගෙන හිටියා. ජානකී මට කතා කළේ මගේ උපන්දිනයට පෙර දිනයේදි. හරි ජානකී ඔයාට ඒක කරන්න පුළුවන් නම්, ඒක මගේ උපන් දින තෑග්ග කියලා මම කිව්වා. ඉන්පසුව එයා ලයිකා සමාගමේ සභාපතිට කතා කරලා අවසර අරගන්නම් කියලා මට දැනුම් දුන්නා. හරි මම අවසර ගත්තා. චෙයාර්මනුත් ලංකාවට එනවාය කියලා තවත් දවස් දෙකකට විතර පස්සෙ ජානකී මට කෝල් කරලා කිව්වා.

ඒ අතරවාරයේදී අශෝකට මම ඇමතුමක් ගත්තා. ලෝකෙ කොහෙ ගියත් එයාට කෝල් එකක් දීලා කතා කිරීම මගේ පුරුද්දක්. එතකොට මම හිටියෙ බ්‍රිස්බේන්වල මගේ යාළුවකුගෙ නිවසේ. හලෝ අශෝක කොහොමද කියලා ඇමතුමක් දීලා මම ඇහුවා. එයා අසනීප තත්ත්වයෙන් සිටින නිසා රට යන්න කලින් එයාව බලන්නත් මම ගියා. භීෂණ කාලය ගැන ඉතා හොඳින් දැන සිටින කෙනෙක් එයා. ඉතින් එයා වගෙ කෙනෙකුට මේ චිත්‍රපටය ඉතා හොඳින් කරන්න පුළුවන්ය කියන හැඟීම මට තිබුණා.

“අශෝක මේ චිත්‍රපටය කළොත් නව ජීවනයක්” සහ එයාගේ නිර්මාණකරණයට උත්තේජනයක් වේවි කියලත් මම විශ්වාස කළා.” අශෝක මේ ෆිල්ම් එක කරන්න ඔයා කැමතිද කියලා මම එයාගෙන් ඇහුවා?

හා මම කරන්නම් කියලා ඒ පාර අශෝක කිව්වා. එතකොට පිටපත ලියන්නෙ? මගේ හරස් ප්‍රශ්නයට, එයා උත්තර දුන්නෙ ඒකත් මම කරන්නම් කියලයි.

ඉතින් ඊට පස්සෙ?

ඉන්පස්සෙ මම ජානකීට කතා කරලා, අශෝක මේ ෆිල්ම් එක කරන්න සූදානම් කියලා දැනුම් දුන්නා. ඒ විදිහට තමයි, ‘රාණි’ නිර්මාණයට මුල පිරුවෙ.

‘අද’ මේ චිත්‍රපටය සහ ‘රාණි’ අම්මාගෙ චරිතය දකිද්දි ඔබට දැනෙන්නෙ මොන වගේ හැඟීමක්ද?

සෑම චිත්‍රපට රංගනයකදීම එය රූගත කිරීම් සිදුවෙද්දි, එක් දර්ශනයකට පෙනී සිටීමෙන් පසුව මම බලන්නෙ නිෂ්පාදන කණ්ඩායම දිහා. එයාලගෙ මුහුණුවලින් තමයි මම දැන ගන්නෙ මම ඒ කොටස් හොඳට කළා ද? නැද්ද? කියලා. ඊළඟට මම යන්නෙ අධ්‍යක්ෂ සහ එඩිටර් ළඟට. ගිහින් අදහස් විමසනවා. සිනමාව කියන්නෙ තනියම කිරුළු පලඳින දෙයක් නෙවෙයි. මේ චිත්‍රපටයේ සමස්තය ගැන මට පුදුමාකාර සතුටක් තියෙන්නෙ. අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, සංගීතය, කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ සියල්ල කණ්ඩායම් හැඟීමක ප්‍රතිඵලයක්. මගේ සහෝදර නළු නිළියන්ගෙ රංගන දායකත්වය ඉතා අගනේයි. ඒ අය මගේ චරිතයට ගෙන දුන්නේ ලොකු ධෛර්යක්.



සඳුන් ගමගේ