දුලීකා මාරපන කියූ විගසම අපට මතක් වන්නේ වේදිකාවේ සිට රූපවාහිනිය, සිනමාව දක්වා පියවරෙන් පියවර පැමිණ පුංචි තිරය ජනකාන්ත රංග පෞරුෂයෙන් හැඩ කළ නිළියකි. එහෙත්, ඇය ගැන නොදන්නා පැති ගණනාවක් තිබෙන බව ‘මං ගැන නොදන්නා දේ’ විශේෂාංගයෙන් අපට දැන කියාගත හැකිය.
“ඉස්කෝලේ යන කාලේ මං ගොඩක්ම දක්ෂ වුණේ චිත්‍ර විෂයට. උසස් පෙළට කළෙත් චිත්‍ර. ඊට අමතරව පාසලේදී නැටුම් සහ සංගීතය හැදෑරුවා. රඟපෑම කියන්නේ ඉස්කෝලේදී මම අත නොගහපු විෂයක්. අපේ ඉස්කෝලේ ඒ විෂය තිබුණෙත් නැහැ. මං සංගීතයට යොමු වෙන්න හේතුව තමයි අපේ ගෙදර හැමෝටම සිංදු කියන්න පුළුවන්. නැටුම් පුළුවන්. චිත්‍රවලට අපේ අම්මත් දක්ෂ නිසා මටත් ඒ හැකියාව පිහිටලා තිබුණා. මං ඒ කාලේ ඇඳපු චිත්‍ර යාළුවෝ තවම තියාගෙන ඉන්නවා.
ඒ කාලේ මගේ චිත්‍ර ගුරුවරුන් වුණේ කුමුදුනි මිස් සහ බණ්ඩාර සර්. මං උසස් පෙළට චිත්‍ර තෝරා ගත්ත හේතුව බණ්ඩාර සර්. ඒ චිත්‍ර පන්තිය අපි හැමදාම පටන්ගත්තේ සිංදු කියලා. ඒ සර් හැමදාම කිව්වේ චිත්‍ර විෂය පුළුවන් කෙනාට අනිත් හැම සෞන්දර්ය විෂයම පුළුවන් කියලා. මගේ අපිළිවෙළ චිත්‍ර කලාව පිළිවෙළක් කළේ ඒ සර්. ඉස්සර චිත්‍ර තරග ගොඩකට ගිහිල්ලා තෑගි අරන් තියෙනවා. ඒ අතර ජාත්‍යන්තර චිත්‍ර තරගත් තියෙනවා. සංගීත විෂයයෙනුත් බොහෝ විට සමස්ත ලංකා එක දෙක අරන් තිබෙනවා. නැටුම්වලිනුත් සමස්ත ලංකා ජයග්‍රහණ ලැබී තිබෙනවා. රඟපෑම කියන එක මම හඳුනාගත්තේ විශ්වවිද්‍යාලයේදී. ඒත් මම විශ්වවිද්‍යාලයේදී හදාරන්නේ සමාජ විද්‍යාව.
උසස් පෙළ අවසන් වෙද්දීම වගේ මට ගුරුවරියක් විදිහට වැඩ කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ, චිත්‍ර විෂයෙන්. ඒ කාලේදී තමයි මගේ අම්මාට වුවමනා වෙන්නේ මට සංගීතය උගන්වන්න. නන්දා මාලිනී මහත්මිය ළඟට මාව යොමු කරන්නේ අපේ අම්මා. එතැනදී තමයි මම රාගධාරී සංගීතය හදාරන්නේ. විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණාමත් මම විශාරද දක්වා එතුමියගෙන් සංගීතය හැදෑරුවා. රංගනය, විශ්වවිද්‍යාල ජීවිතය, රැකියාව එක්ක සංගීතය හෑදැරීම නතර වුණා. පසුව මම ටෙලිනාට්‍යවල තේමා ගීත කියන්න යොමු වුණා. ‘තාලය සොයන ගීතය’ ටෙලිනාට්‍යයේ අමරසිරි පීරිස් එක්ක තේමා ගීතය ගායනා කළා. සුමිත්‍රා පීරිස්ගේ ‘සාරා’ ගීත තුනක් ගායනා කළා.
සඳ අමාවකයි, සුදීරා වගේ ටෙලි නිර්මාණ, සුදීරා සඳහා හොඳම ගායනයටත් මම වතාවක් නිර්දේශ වුණා. ගීත ගායනය මම පසු කාලීනව නවත්වන්නේ කටහඬ වෙනස් වීම නිසා. පසු කාලීනව මට සිනමාපටයක ගීත ගායනා කිරීමට ලැබෙනවා. ඒ, සුපර්ණා සිනමාපටය. ඒ සඳහා හොඳම ගායිකාව ලෙස නිර්දේශ වෙනවා. ශෂිකා තමයි එහි සම්මානය දිනා ගත්තේ. එතකොට තමයි මම හිතන්නේ නැවත මගේ වෙනස් වූ කටහඬෙන් වැඩක් ගන්න ඕනෑ කියලා. ඒක වෙනම හැඩයක් කියලා මම කල්පනා කරලා තමයි නැවත ගායනයට පිවිසුණේ.
තව මං ගැන නොදන්න කාරණයක් තමයි, මට හොඳට උයන්න පුළුවන්. මට ඕනෑම කෑම ජාතියක් හදන්න පුළුවන්. මං ගැන දන්න අය දන්නවා මට හොඳට උයන්න පුළුවන් කියලා. ඒ වගේම මට හොඳට ඇඳුම් මහන්න පුළුවන්. ගැහැනියකට පුළුවන් ගැහැනියක් ඉගෙනගත යුතු යැයි කියන ඕනෑම දෙයක් මට පුළුවන්. අම්මා මට නිතරම කියපු දෙයක් තමයි තව කෙනෙක්ගෙන් වැඩ ගන්න නම් තමන් ඒ දේ දැනගෙන ඉන්න ඕනෑ කියලා. අම්මා හරිම කැමැතියි මම හදන කෑම කන්න.
ඒ වගේම මට හොඳට ගොවිතැන් බත් කරන්න පුළුවන්. හොඳට වත්ත පිටියේ වැඩ දන්නවා. ඒ හැම වගාවක්ම කරන්නේ කාබනික විදිහට. කුඹුරු කරන්නෙත් එහෙමයි. තාමත් මම කුඹුරු වැඩ කරනවා. මෙදා අම්මා නැති වුණු නිසා කුඹුර කළේ නැහැ. ඒත් ඉදිරියට කරනවා. වත්තපිටිය, පොළොව, ගස්කොළන්, බේත්හේත් ගැන මට හොඳ අවබෝධයක් තිබෙනවා. අපේ පවුලේ හැමෝටම ඒ අවබෝධය තිබෙනවා. කොහේ හරි බෙහෙත් පැලෑටියක් දැක්කොත් මම ඇවිත් ඒක මගේ වත්තේ හිටව ගන්නවා. කවදා හරි දවසක දුර්ලභ ඔසු උයනක් නිර්මාණය කරන්න කැමැතියි.
පසුගිය කාලේ දේශීය ගොවිතැන ගැන ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහන් කළා. ඒක මම බොහොම ආසාවෙන් කරන එකක්. සිංහල භාෂා ඥානනය ඉතාම හොඳයි. මට ලියන්න පුළුවන්. ඉස්සර රඟපාන්න එන්න කලින් මම ජාතික පුවත්පතකට කවි ලිව්වා. දේශාංජලී නමින්. විශ්වවිද්‍යාලයට ආවාම ගුවන්විදුලි නාළිකාවකට අවුරුදක් තිස්සේ කවි කිව්වා. එතැනින් පස්සේ කවි ලිවීම නතර වුණත් පිටපත් රචනයට මම යොමු වුණා. මම මේ දිනවලත් නවකතාවක් රචනා කරමින් යනවා. ලබන වසරේදී බොහෝ විට මගේ නවකතාව එළිදකිවී.
අමිල චින්තක ගමගේ