දහ අටේ කැරැල්ල සංවිධානය කළ බකිණිගහවෙල රටේ රාළගේ වලව්ව


 ලංකාවේ පුරාණ වලව් 

බකිණිගහවෙල වලව්ව

බකිණිගහවෙල වලව්වේ ඉස්තෝප්පුව​

 

මෙරට ප්‍රථම නිදහස් සටන ආරම්භ වූයේ ඌව වෙල්ලස්සෙනි. ඒ 1818 දී ය. එහෙත් අරගලය ආරම්භ කළ වීරයෝ නිහඬය. අප්‍රකටය. මෙවර ලංකාවේ පුරාණ වලව් යටතේ, ඊට නායකත්වය ලබා දුන් “බකිණිගහවෙල රටේ රාළගේ වලව්ව” ගැන තොරතුරු සොයා ගියේ මෙරට බොහෝ දෙනෙක් නොදන්නා කරුණු රැසක් එහි අන්තර්ගතව පවතින බැවිනි. 


අංගම්පොර සටන් කලාවෙන් කෙළ පැමිණි සුගලාදේවිය, පොළොන්නරුවේ සිට රෝහණයට දන්ත ධාතුන් වහන්සේ රැගෙන එන්නේ 12 වැනි සියවසේ දී ය. එහිදී දන්ත ධාතුන් වහන්සේ ගේ ආරක්ෂාවට සිටියේ කොහුකුඹුරේ, බූටෑවේ සහ බකිණිගහවෙල පරම්පරා තුනේ සාමාජිකයෝ ය. ඔවුහු ඌවේ ප්‍රභූන්ය. බකිණිගහවෙල උපසේකර මුදියන්සේ, බකිණිගහවෙල හීන්අප්පුහාමි යන අය එහි ප්‍රධානත්වය ගත්හ. අවසානයේ දී දන්ත ධාතුන් වහන්සේ මයුරගිරි ලෙනේ තැන්පත් කරන ලදී. 


වලව්ව ගැන කතා කිරීමට ප්‍රථම, බකිණිගහවෙල රටේ රාළ මොන වගේ චරිතයක් ද යන්න ගැන අවබෝධයක් ලබා ගත යුතු යැයි සිතේ. 


බකිණිගහවෙල රටේ රාළ අතුළු ප්‍රභූන්, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ විශ්වාසය දිනා ගත්, ළඟින් ඇසුරු කළ පුද්ගලයෝ වූහ. රජතුමා අත්අඩංගුවට ගත්ත ද, එතුමාට තිබූ හිතවත්කම් අමතක කළේ නැත. ඊට ප්‍රතිචාර දැක්වීමට වේලාවක් එලඹෙන තෙක් ඉවසා සිටිය මොවුන්ට ඊට හොඳ අවස්ථාවක් උදාවිය. ඒ 1815 අස්සන් කළ උඩරට ගිවිසුමේ 4, 5, 6 වගන්ති උල්ලංඝණය කිරීම නිසා නිදහස රැක ගැනීමට කටයුතු කිරීම සඳහාය. මෙය ඊට හොඳ අවස්ථාවකි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, එක් දහස් අටසිය දහ අටේ අරගලය ආරම්භ විය. 


එවකට වාරියපොළ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ දන්ත ධාතුන් වන්සේගේ තේවාව භාරව කටයුතු කළහ. එනපොට හොඳ නැති බව අවබෝධ කරගත් උන් වහන්සේ දළදා වහන්සේ රැගෙන දඹුලු වනයට ගොස් සැඟවෙන්නේය. කෙසේ හෝ ඉංග්‍රීසින් උන් වහන්සේ අත්අඩංගුවට ගෙන, ඌරාතොට හැමන්හිල් බලකොටුවේ සිරගත කළේය. ඒ වෙනකොට නාපේ රේවත හාමුදුරුවන් වැඩ වාසය කරන්නේ පොතුබන්ධන රජමහා විහාරස්ථානයේය. 


ඉංග්‍රීසින් බුදු දහම ආරක්ෂා කරන බවට පොරොන්දු වුවත් එය ඉටු කරන්නේ නැති නිසා, අරගලය කිරීමට උපදෙස් ලබා දෙන්නේ නාපේ රේවත හාමුදුරුවෝය. පළමු වෙඩිල්ල පත්තු කරන උන්වහන්සේ, බකිණිගහවෙළ රටේ රාළ ඇතුළු ඌවේ ප්‍රභූන් විහාරස්ථානයට කැඳවා උපදෙස් ලබා දුන්හ. 
එම අරගලය මැඩ පැවැත්වීමට මොනරවිල කැප්පෙටිපොළ දිසාව, ඌවට පිටත්කර යැවුවත්, අවසානයේ ඔහු අරගලයට එකතු විය. ඌවේ අරගලයට නායකත්වය ලබාදුන් කිවුලේගෙදර මොහොට්ටාල, බූටෑවේ රටේ රාළට හිමිව තිබූ මුහන්දිරම්, මඩිහේ තනතුරු මුස්ලිම් ජාතිකයන් බලෙන් හිමිකර ගති. එපමණක් නොවෙයි අරගලයට නායකත්වය ලබාදුන් නායකයින්ගේ ගොඩ, මඩ ඉඩම්, හරකා බාන අත්පත් කර ගන්නේ බලෙන්ය. සිංහල මිනිසුන්ට ගහනවා. එය ඉවසා ගෙන ඉන්න බැරිම තැන හජ්ජි මරික්කාර් සහ සිල්වෙස්ටර් ඩග්ලස් ඌවේ නායකයන් විසින් මරලා, ඔවුන්ගේ හිස් දෙක පත්තිනි දේවාලයට රැගෙන ගොස් එහි තබා පූජාවක් තබනවා. 


එහිදී සේනා සංවිධානය කිරීම ඇතුළු සියලු රහස්‍ය දේවල් සංවිධානය කර තිබෙන්නේ බකිණිගහවෙල වලව්වේ දී වීම විශේෂත්වයක්. අවසානයේ නාපේ රේවත හාමුදුරුවෝ ද අත්අඩංගුවට ගෙන හැමන්හිල් බලකොටුවේ සිරගත කරනවා. වාරියපොළ සුමංගල හාමුදුරුවෝ සමග එකම සිර මැදිරියක දඬුවම් විඳිනවා. ඒ අතරේ එම සිර මැදිරියට දුම්කොළ වෙළෙන්දෙක් පැමිණෙනවා. ඔහු සමග හිතවත් වන රේවත හාමුදුරුවෝ, ඌවේ අරගලය අත්නොහරින ලෙසට දුම්කොළ කැබැල්ලක සටහනක් තබා මහනුවරටත්, එතැණින් පොතුබන්දන විහාරය හරහා ඌවේ නායකයන්ට ලැබීමට සලස්වනවා. 

 


මෙම අරගලය සංවිධානය කිරීමෙන් පැහැදිලි ​ෙවන්නේ, ඌවේ ප්‍රදේශයේ එවකට පැවති ප්‍රධානියා ඔහු බවය. එනම් ඌව ප්‍රදේශයේ මහා අධිකාරම් ධුරයට පත්කර සිටියේ ද බකිණිගහවෙල රටේ රාළය. එහෙත් අප්‍රකට චරිතයකි. විශේෂයෙන්ම ඉංග්‍රීසින් මොවුන් ගැන දැන ගෙන සිටිය ද, කතා කිරීමට බිය වූයේ සිංහලයන් යළි නැගී සිටීවි යැයි බියෙන් විය යුතුයි. ඉතිහාසයේ මොවුන් ගැන වැඩිපුර යමක් සඳහන්ව නොමැත්තේ ඒ නිසාය. 


රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ කාලයේ කතරගම දේවාලයේ ආවතේව කළ මහාබෙත්මේ, ඉංග්‍රීසින්ගේ යුද්ධ අධිකරණයේ දී සාක්ෂි දෙමින් පවසා සිටියේ, බකිණිගහවෙල උපසේකර මුදියන්සේ, බකිණිගහවෙල හීන්අප්පුහාමි යන පහළ ඌවේ ප්‍රභූවරුන් ඇතුළු පිරිසක් භාරහාරයට පත් වූ බවය. 


කෙසේ වෙතත් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව කැරළි ගසන ලදැයි චෝදනා කරමින්, ලංකාවේ එවකට සිටි ආණ්ඩුකාරවරයා 1818 ජනවාරි මස 10 දින දේශද්‍රෝහීන් වශයෙන් පහත සඳහන් නායකයින් නම් කරන ලදී. 


කැප්පෙටිපොළ දිසාව, ගොඩගෙදර අදිකාරම්, කැටකැලේ මොහොට්ටාල, කුඩාබෙත්මේ රාළ, මහාබෙත්මේ රාළ, පලුගොල්ලේ මොහොට්ටාල, පොල්ගහගෙදර රෙහෙනරාළ, පොස්සරවත්තේ විදානේ, වටකැලේ මොහොට්ටාල, කොහුකුඹුරේ රටේ රාළ, බූටෑවේ රටේ රාළ, බකිණිගහවෙල රටේ රාළ, මහබදුල්ලේගම්මන රටේ රාළ, පලුමල්හේන ගම් ඇතිරාළ, කිවුලේගෙදර මොහොට්ටාල, යාලගම මොහොට්ටාල සහ උඩමැදුරේ මොහොට්ටාල යන අය එම විරුවෝයි. පසුව ඔවුහු ගාල්ලේ සිර ගෙදරට පිටුවහල් කර තිබේ. නිදහස් ශ්‍රී ලංකාවක් උදෙසා දේශානුරාගයෙන් සටන් වැදුණු ඉහත සිංහල නායකයන් රණශූරයන් වශයෙන් 2016 දෙසැම්බර් මස 08 දින, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 


උපුල් වසන්ත නිශ්ශංක බකිණිගහවෙල (55) 


‘‘බකිණිගහවෙල වලව්ව පිහිටා තිබෙන්නේ බිබිලේ. ඌව වෙල්ලස්ස කැරැල්ල පටන් ගත් මුල් කාලයේ දී, අණ දුන්නේ බකිණිගහවෙල රටේ රාලයි. එම කැරැල්ල ආරම්භ කළ අය වශයෙන් ඉතිහාසයට එක් වෙනවා. ඔහු මගේ මී මුත්තායි. කැරැල්ල මැඩපැවැත්වීමට ගිය කැප්පෙටිපොළ දිසාව, ඔවුන්ට එකතු වීම නිසා, ඉංග්‍රීසින් කැරැල්ලේ නියම නායකයා ලෙස ඔහු හඳුන්වනු ලැබුවා. එම කැරැල්ලට නායකත්වය ලබාදුන් වීරයන් රාජද්‍රෝහීන් ලෙස බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් නිවේදනය කරනු ලැබුවා. එම කැරළිකරුවන් දාහත් දෙනාගෙන් දාහතර දෙනෙකුම ඌවේ ප්‍රභූන්. 


කොහොම හරි බකිණිගහවෙල වලව්වේ මුලින්ම ජීවත්වෙලා තියෙන්නේ බිකිණිගහවෙල රටේ අදිකාරම්. ඊළඟට ඉඳලා තිබෙන්නේ බකිණිගහවෙළ රටේ රාළයි. ඒ කාලේ තමයි කඩු, කිණිසි, යකඩ බෝල, සේසත්, හෙල්ල, මහා විශාල කල්දේරම්, මුට්ටි වගේ දේවල් ගෙනත් තියෙන්නේ. රටේ රාළට පස්සේ ඔහුගේ පුතා පුංචි බණ්ඩා බකිණිගහවෙල, ඊට පස්සේ රාජ්‍ය වෛද්‍ය තෙන්නකෝන් බණ්ඩාර බකිණිගහවෙල, ඔහු වෙල්ලස්සේ ගම්සභා නඩුකාර උන්නාන්සේ, ඒ කියන්නේ අපේ ලොකු අත්තා. එයාගේ පුතා බකිණිගහවෙල තැපැල් මහත්තයා. ඔහු බිබිලේ පළමුවෙනි තැපැල් ස්ථානාධිපති වශයෙන් ඉතිහාසයට එක් වෙනවා. ඒ මගේ පියා. මට සහෝදර සහෝදරියන් 8 දෙනෙක් ඉන්නවා. මම පවුලේ දෙවෙනියා. හයවෙනි පරම්පරාව නියෝජනය කරනවා. බදුල්ල ධර්මදූත ජාතික පාසලේ පුස්තකාල සහායකවරයෙක් වශයෙන් සේවය කරනවා. 


වර්තමානයේ වලව්වක පවතින සමහර අංග ලක්ෂණ බකිණිගහවෙල අපේ වලව්වේ දක්නට ලැබෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස මැද මිදුලක් නැහැ. මට හිතෙන විදියට එම ලක්ෂණ පසුකාලීනව වලව්වට එකතු වුණා වෙන්නට ඇති. කොහොම හරි කාමර පහක්, ඉස්තෝප්පුවක්, මැද සාලයක්, මුළුතැන්ගෙයක්, ගැරේජ් එකක් තිබුණා. සිංහල උළු සෙවිලි කර තිබුණා. මෝඩ ගඩොල්වලින් බිත්ති ගොඩ නගල තිබෙනවා. මැද බිත්ති අඩි 30 ක් පමණ උසයි. වටේ බිත්ති අඩි 15 ක් පමණ උස ඇති. ඉස්සර තිබුණේ ලීවලින් ගරාදි ගහල. පස්සේ බිත්ති බැඳගෙන කපරාරු කළා. කොස්, කරුවල ලී භාවිතා කර තිබෙනවා. 

 


1818 නිදහස් අරගලය සඳහා පාවිච්චි කළ කඩු කිහිපයක්ම මෙහි තිබෙනවා. එම කඩු දුර්ලභ වන අතර සටනේ දී මුවහතට හානි වී ඇති ආකාරය අදට ද දැක ගත හැකියි. මට හිතෙන විදියට එවන් කඩු කිහිපයක් හෝ තිබෙන්නේ මෙහි පමණයි. එපමණක් නොවෙයි එදවස භාවිතා කළ ට්‍රේස්, වලව්වේ පැරණිතම උලුවස්ස ඇතුළු තවත් භාණ්ඩ කිහිපයක්ම අප සතුයි. 


මුත්තෙට්ටුවේ, වක්කුඹුර, ගොයිබිම්, කරඳගහමුල්ල, කමත්ගොඩ, කෝන්ගහකුඹුර, අගලේ කුඹුර, ළිඳමුල්ල ආදී කුඹුරුවල වැඩ කරනවා මට මතකයි. බකිණිගහවෙල වැව බොහොම ලස්සනයි. ඒ විතරක් නොවෙයි බකිණිගහ එක්කත් අපේ ලොකු බැඳීමක් තිබුණා. මල් පිපෙන කාලෙට මල් ගුලි වගේ. අපේ සහෝදර සහෝදරියන් එක්ක ගත කළ ඒ කුඩා කාලය අද වගේ මතක් වෙනවා. 


වලව්ව ඉදිරියෙන් වෙල්යායක් සහ එහි විශාල කුඹුක් ගහක් තිබෙනවා. සටනට යන්න කලිං ඔය කුඹුක් ගහ යට ඉඳල සටන සැලසුම් කර තිබෙන බවට කතාවක් තිබෙනවා. එතැනින් තමයි අරගලය පටන් අරගෙන තිබෙන්නේ. වලව්ව ඉදිරියෙන් විශාල නෙල්ලි ගසක් තිබුණා. එහි හජ්ජි මරික්කාර් නමැති මුස්ලිම් ජාතිකයා එල්ලා තිබෙනවා. තවත් බෝ ගහක් තිබුණා. එහි බොහෝ දෙනෙක් මරලා එල්ලලා තිබෙනවාලු. 


බකිණිගහවෙල රටේ රාළගේ සොහොන හදල තිබුණේ මාලිගාවක් වගේ කියලයි අපේ අත්තා කියන්නේ. වලව්ව පිටුපස එය පිහිටා තිබුණා. 
ස්තුතිය- ජනිත් කළිඳු නිශ්සංක බකිණිගහවෙල, සරත් ලක්ෂ්මන් නිශ්සංක බකිණිගහවෙල ඉතිහාස පර්යේෂණ, ගවේෂක චන්දිම බිබිලේ යන මහත්වරුන්ට. 

 

අරගලයට පාවිච්චි කළ කඩු කිහිපයක්

 

 

සටහන සහ ඡායාරූප
සිසිර කුමාර බණ්ඩාර