දළදා වහන්සේගේ නිජ බ්මේ පෙරැළිය


 

  • එදා කාලිංගයේ දළදා වහන්සේ තැන්පත් කර තිබූ දළදා මන්දිරය අද කෝවිලක්...   

 

 

බෞද්ධයන් වන අප සැවොම අසා ඇත්තේ, බුදුරජාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලද්දේ, කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ කාලයේ, ගුහ සීව රජුගේ දියණිය හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් කාලිංග දේශයේ සිට බවය. එය සත්‍යයකි. එහෙත්, දළදා වහන්සේ ලංකාවට වැඩමවන තෙක්, දීර්ඝ කාලයක් කාලිංග දේශයේ කුමන ස්ථානයක පිහිටි දළදා මන්දිරයක තැන්පත් කර තිබුණේ ද, අද එතැන තත්ත්වය කුමක්ද යන්න ගැන බොහෝ දෙනෙක් දන්නේ නැත. ඉතිහාසඥයින් විසින් මෑතක දී, සොයා ගන්නා ලද එම ස්ථානය පිළිබඳ තොරතුරු විමසා බැලීම කාලීන අවශ්‍යතාවයකි.   


ඊට පෙර ඉන්දියාවේ වත්මන් බෞද්ධ පරිසරය ගැන පළමුව අවබෝධයක් ලබා ගැනීම වැදගත් යැයි සිතේ. ඒ අනුව ඉන්දියාව පුරා සොයා බැලූ විට බෞද්ධ සිද්ධස්ථානවල අඩුවක් ඇති බව පෙනී යයි. අතීත භාරතයේ බුදු දහම මැනවින් පැතිර තිබූ ගයාව, කාලිංගය, මගධය වැනි ස්ථානයන් හි සංචාරය කිරීමේදී, දැකිය හැකි වන්නේ බෞද්ධ සිද්ධස්ථාන ඉතා සුළු ප්‍රමාණයකි. බුදුන් වහන්සේ උපන්, බුද්ධත්වයට පත්වූ මෙන්ම පිරිනිවන් පෑ භාරතයේ මෙබඳු තත්ත්වයක් ඇති වීම කනගාටුදායක තත්ත්වයකි.   


භාරතය දික් විජය කළ අශෝක අධිරාජයා බුදු දහම වැළඳ ගැනීමෙන් අනතුරුව භාරතයෙන් නොනැවතී ඉන් පිටත ද බුදු දහම ව්‍යාප්ත කිරීමට කටයුතු කළේය. එබඳු පසුබිමක එතුමා බුදු දහම වැළඳ ගැනීමට මුල් වූ කාලිංගදේශය බෞද්ධාගමේ තෝතැන්නක් බදු විය. පසු කාලීනව බුදු දහම සඳහා වූ රාජ්‍ය අනුග්‍රහය හා ඒ සඳහා සිදු කළ දීමනා ක්‍රමයෙන් අඩු වූ නිසා, හින්දු දහම වඩාත් බලවත් ලෙස පැතිර ගියේ ය. අනතුරුව දිගින් දිගටම සිදු වූ හින්දු මෙන්ම ඉස්ලාම් බලපෑම් නිසා භාරතයේ බුදු දහම ඉතා ශීඝ්‍ර ලෙස පසුබෑමකට ලක් විය. එවකට කාලිංගයෙහි පිහිටා තිබුණු බෞද්ධාගමික ප්‍රබෝධය, සංචාරක අවධානය ලබාගැනීම සඳහා රත්නගිරි, උදයගිරි හා ලලිත ගිරි යන වඡ්‍ර ත්‍රිකෝණය නමින් හඳුන්වනු ලබන ස්ථානයන්හි ඇති බෞද්ධ අවශේෂයන්ගෙන් පැහැදිලි වෙයි.   


බුදු දහම සමෘධිමත්ව තිබූ අශෝක අධිරාජයාගේ කාලයේ එහි තිබූ තත්ත්වය මෙයින් අනුමාන කළ හැකිය. පසු කාලෙක හීනයාන හා මහායාන වශයෙන් බෙදී වෙන්වූ බුදු දහමෙහි මහායානයෙහි උපත අතීත කාලිංගය හෙවත් වර්තමානයේ ඔරිස්සාව හෝ ඔඩිෂා වශයෙන් හඳුන්වන පළාතේ ජජ්පුර් දිස්ත්‍රික්කයේ සිදු වූ බව පිළිගැනීමයි. මෙබඳු පසුබිමක, ඉතිහාසඥයන් පිළිගන්නා පරිදි බුදුන් වහන්සේ පවා නොවැඩි කාලිංගයේ අද ද බෞද්ධ නටබුන් වූ සිද්ධස්ථාන, වෙහෙර විහාර සෙල් ලිපි 200කට වඩා දක්නට ලැබේ. ඓතිහාසික මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේදී පෙනි යන්නේ මෙම අති විශාල බෞද්ධාගමික ප්‍රබෝධයට හේතුව හුදෙක් අශෝක අධිරාජයා විසින් සිදු කළ බෞද්ධාගමික කටයුතු පමණක් නොවන බවයි. එනම් ලෝවැසි බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ සේ සැලකෙන දන්ත ධාතූන් වහන්සේ කාලිංගයට රැගෙන විත් තැන්පත් කිරීම, ඊට බොහෝ සේ හේතු වන්නට ඇති බවයි. 

 

 


බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් වන්නේ ඛේම රහතන් වහන්සේ විසින් බුදුන් වහන්සේගේ දන්ත ධාතුවක් කාලිංගයට රැගෙන ආ බවත්, ඒ නිසා එම ප්‍රදේශය දන්තපුරී නම් වූ බවත්ය. මේ පිළිබඳව අධ්‍යයනය කළ පර්යේෂකයකු වන එච්.කේ. මහාතබ් පවසන්නේ කාලිංග ප්‍රදේශයේ විසූ සවරා වරු නම් ගෝත්‍රික ප්‍රජාව අශෝක අධිරාජයාගේ කාලයේ දී, බුදු දහම වැළඳ ගෙන දන්ත පූරි හි (නූතන ඔඩිෂා ප්‍රාන්තයේ පුරී පළාතේ) ඉදි කළ බෞද්ධ ස්තූපයෙහි ත්‍රිවිධරත්නය වන්දනා මාන කළ බවය. එම ප්‍රදේශයෙන් හමු වූ බුද්ධ, ධම්ම, සංඝ සංකේත සහිත අශෝක කුලුණ ඊට දෙස් දෙන බවත් ඔහුගේ අදහසයි. මෙම බෞද්ධ ස්ථූපයෙහි කාලිංගයට ඛේම රහතන් වහන්සේ විසින් රැගෙන ආ දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙන්නට ඇති අතර, ඒ නිසා මෙම නගරය දන්ත පූරි වශයෙන් හඳුන්වන්නට ඇති බව ජේ. ස්ටීවන්සන් නම් පර්යේෂකයා පවසයි.   
පසු කලෙක ලංකාවට වැඩමවන්නේ බුදුන් වහන්සේගේ එම වම් අකු ධාතුව බව දාඨවංශයට අනුව පෙනී යයි. ඒ අනුව කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ රාජ්‍යත්වයෙන් 9 වැනි වසරේ දී කාලිංගයේ ගුහ සීව රජුගේ දියණිය වන හේමමාල කුමරිය හා දන්ත කුමරු ( රජුගේ බෑණනුවන්) විසින් දන්ත ධාතුන් වහන්සේ මෙරටට වැඩමවන ලද බව වංශ කතාවන්හි සඳහන් වේ (දන්ත පුරයෙන් පැමිණි නිසාම එම නම දන්ත කුමරුට ලැබුණැයි සැලකිය හැකිය). පසුව මේඝවර්ණ රජු විසින් ධම්මචක්ක යනුවෙන් හැඳින්වූ මන්දිරයක් තනවා දන්ත ධාතුන් වහන්සේ එහි තැන්පත් කරවන ලදී.   


ලංකාවට මෙසේ වැඩමවන ලද දන්ත ධාතූන් වහන්සේ පිළිබඳව බොහෝ විද්වතුන්ගේ අදහස වන්නේ “දන්තපුරී බෞද්ධ සිද්ධස්ථානයෙහි” තැන්පත්කොට තිබූ දන්ත ධාතූන් වහන්සේ එම ස්ථානයෙන් ලංකාවට ගෙන ඒමෙන් අනතුරුව ඒ හා බැඳී සිටි බෞද්ධාගමිකයන් ඉන් ඉවතට යා නොදී, තවදුරටත් එහි රඳවා තබා ගනු පිණිස බෞද්ධ ලක්ෂණ සහිත ජගන්නාථ දෙවියන් ඇදහීමේ සංස්කෘතිය, එම සිද්ධස්ථානය ආශ්‍රිතවම හඳුන්වා දෙන්නට ඇති බවය. පසු කාලීනව ඇති වූ වජ්‍රයාන ලක්ෂණ එක් වීමෙන් ජගන්නාථ සංස්කෘතිය වඩාත් තාන්ත්‍රික ලක්ෂණ සහිත වන්නට ඇති බවත් විද්වතුන්ගේ අදහසයි. ක්‍රිස්තු වර්ෂ 7 සහ 8 පමණ වනවිට වෛෂ්ණව දහම බලවත් වූ විට, බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස සැලකීම ඇරඹි බවත්, ක්‍රමයෙන් ඔඩිෂාවේ බෞද්ධ ලක්ෂණ වෛෂ්ණව දහම තුළ සැඟවී ගිය බවත් ඕ.එම්. ස්ටාර්සා සඳහන් කරයි.   
ඒ අනුව ජගන්නාථ දෙවියන් උදෙසා කැපවුණු ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පුරි නගරයේ පිහිටි “ජගන්නාත් හෙවත් ශ්‍රී මන්දිරය” වශයෙන් හඳුන්වන සිද්ධස්ථානය දන්ත පූරි නම් ස්ථානයෙන් දන්ත ධාතූන් වහන්සේ ලංකාවට ගෙන ඒමෙන් පසුව එහි වෛෂ්ණව සම්ප්‍රදායයේ හින්දු දේවාලයක් ඉදිකර ඇත.   


පුරාණ බෞද්ධ සිද්ධස්ථානයේ එකදු සලකුණක් වත්, බාහිරට විවෘත නොකරමින් ඒ මත, ඉදිවූ බව සැලකෙන මෙම සුවිසල් හින්දු ආගමික සිද්ධස්ථානය, අද ඉන්දියාවේ ප්‍රමුඛ සංචාරක ආකර්ෂණ දිනාගත් ස්ථානයකි. වර්තමානයේ එහි වැඩ සිටින්නේ ලොව මැවූ විෂ්ණු දෙවිඳුන්ගේ අවතාරයක් යැයි සැලකෙන ජගන්නාථ නමැති දෙවි කෙනෙකි. එතුමන්ගේ සහෝදරයා සහ සහෝදරිය සමඟ එම සිද්ධස්ථානයෙහි වැඩ වසන බවට හින්දු භක්තිකයන් විශ්වාස කරයි. විචිත්‍ර දැව කඳක තැනූ මෙම ජගන්නාථ දේව රූපය විශාල නෙත් යුවළකින් හා සමමිතික මුහුණකින් යුක්ත වන අතර, එහි අත් පා දක්නට නොමැත. ඒ නිසා ගෝත්‍රික ඇදහිල්ලක ලක්ෂණ සහිතව පැවත එන්නක් බව විද්වතුන්ගේ අදහසයි.   


හින්දු ආගමට අනන්‍ය වූ අනෙකුත් දෙවි දේවතාවන්ගෙන් වෙනස් වන මෙම ප්‍රතිමාව කෙරෙහි සිදු කරන චාරිත්‍ර වාරිත්‍ර ද හින්දු ආගමට ආවේණික ඒවා නොවේ. වාර්ෂිකව ඇසළ මාසයේ මෙම දෙවියන් තුන් කට්ටුව මහජන දැක්ම පිණිස වාර්ෂිකව වීදි සංචාරය කරයි. ඒ සඳහාම සාදා ඇති රථ ත්‍රිත්වයට යා කළ, අති විශාල කඹ ආධාරයෙන් මිනිසුන් විසින් ඇදගෙන යයි. රථ යාත්‍රා නමින් හැඳින්වෙන මෙම අති උත්කර්ෂවත් උත්සවය දින දහයක් පුරා පැවැත්වේ. මේ සඳහා හයදහසකට වඩා පූජකවරුන් පිරිසකගේ සේවය ලැබේ. විවිධ බ්‍රාහ්මණ පූජකවරුන්ට අමතරව විවිධ ගෝත්‍ර නියෝජනය කරන පූජකවරුන් ද මීට සහභාගි වේ. අශෝක අධිරාජයාගේ සමයේ බුදු දහම වැළඳ ගත් සවරා වරුන්ගේ නියෝජිතයන් ද, මෙහි පූජකවරුන් ලෙස සේවය කරන බව අදට ද දක්නට ලැබේ.   


මෙම සිද්ධස්ථානයෙහි ඉතිහාසය ක්‍රිස්තු වර්ෂ 12 දක්වා අතීතයට දිව යන බව පැවසුන ද, චීන දේශාටකයන් වන ෆාහියන් මෙන්ම හියුන් සෑං ද පිළිවෙලින් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ හා 7 වන සියවසේ පැවති රථ යාත්‍රා උත්සවය පිළිබඳව සඳහන් කරයි. මෙම රථ යාත්‍රා උත්සවය චීනයේ කොටාන් ප්‍රදේශයේ පැවති බෞද්ධ උත්සවයට සමාන බව ඔවුන්ගේ අදහසයි. මුරාරි මිස්රා විසින් ලියන ලදැයි සැලකෙන අනර්ඝ රාඝව නාටකම් ග්‍රන්ථයෙහි ක්‍රිස්තු වර්ෂ 9 වන ශත වර්ෂයේ වෙරළබඩ පැවති රථ යාත්‍රා උත්සවයක් ගැන සඳහන් වේ. එය ඔඩිෂා ප්‍රාන්තයේ පුරී වෙරළ තීරයේ පැවතුණු රථ යාත්‍රා උත්සවය බව පිළිගත් මතයයි. ඉතිහාසඥයන්ගේ අදහස ඉහත සඳහන් කාලයට බොහෝ පෙර ජගන්නාත් සිද්ධස්ථානයේ ප්‍රභවය සිදු වී ඇති බවය. ඊට අමතරව එහි ආරම්භයේ සිට ඉතා වැදගත් බෞද්ධ සිද්ධස්ථානයක් වශයෙන් පැවති බවකි.   


ජගන්නාත් ප්‍රතිමාවේ ලක්ෂණ පිළිබඳව අධ්‍යයනය කරන, බී මොහන්ටි, එන්.කේ සාහූ, කේ.සී. මිස්රා ආදී පර්යේෂකයන්, මෙම ප්‍රතිමාවේ දක්නට ඇති ගෝත්‍රික සම්භවය සවරා වරුන්ට අයත් බව සඳහන් කරයි. අශෝක අධිරාජයාගේ යුගයේ බෞද්ධාගම වැළඳ ගත් සවරා වරුන් දන්ත ධාතූන් වහන්සේ ලංකාවට රැගෙන ගිය පසු, තම ගෝත්‍රික දේව රූපයක් එම ස්ථානයේ තබා, බෞද්ධාගමික චාරිත්‍ර වාරිත්‍ර දක්වමින් ඊට වන්දනා කරන්නට ඇති බවය.   


ජගන්නාථ දෙවියන්ගේ බෞද්ධ සම්භවය පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමේ ප්‍රමුඛයකු වන්නේ ඉන්දියාවේ පුරාවිද්‍යා කටයුතු පිළිබඳ ප්‍රමුඛයකු වූ ලොව පසිඳු ඇලෙක්සැන්ඩර් කනින්ග්හැම් ය. අනතුරුව ආනන්ද කුමාරස්වාමි, ඩබ්ලිව්.ඩබ්ලිව්. හන්ටර්, ඩබ්ලිව්.ජේ. විල්කින්ස්, ආර්.අයි. මිත්‍රා, එච්.කේ. මහතාබ්, එම්. මන්සින්හ්, එම්.කේ. සාහූ වැනි විද්වතුන් ද සාහිත්‍යමය හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ඔස්සේ ඊට පක්ෂව කරුණු දක්වා ඇත. ජගන්නාථ සිද්ධස්ථානය පිළිබඳ 1843 දී අධ්‍යයනය කරන ජේ. ස්ටීවන්සන් පවසන්නේ, එහි විෂ්ණු දෙවියන්ගේ අස්ථි තැන්පත් කර ඇති බවට බැතිමතුන් අදහන බවත්, ධාතු වන්දනාව කිසිම හින්දු දේවාලයක සිදු නොවන බැවින් මෙම ස්ථානයෙහි අනිවාර්යයෙන්ම බෞද්ධ සම්භවයක් ඇති බවත්ය.   


ජේ. ෆර්ගසන් ජගන්නාථ සිද්ධස්ථානයේ මුදුනෙහි සුදර්ශන චක්‍රය බෞද්ධාගමේ ධර්ම චක්‍රයේ ආභාෂයෙන් නිර්මාණය වූවක් බව හා එහි ගෘහ නිර්මාණ ශිල්පය බුදු දහමට නෑකම් කියන බව ද පවසයි.   
එල්ලෝරා හි දක්නට ඇති බුද්ධ ප්‍රතිමාවක් ජගන්නාථ යනුවෙන් හැඳින්වෙන අතර, ජගන්නාථ, ලෝක නාථ, ජින, බුබනෙස්වර යනු බෞද්ධ මූලාශ්‍රවල බුදුන් වහන්සේ හැඳින්වීමට භාවිත කළ නම් බව, මේ පිළිබඳව පර්යේෂණ කරන්නෝ පෙන්වා දෙති. අද ද ඔඩිෂා ප්‍රාන්තයේ අගනුවර බුවනෙස්වර යන නමින් හැඳින්වෙන්නේ අතීතයේ එම ප්‍රදේශයේ බහුතරයක් ජනයා බෞද්ධාගම සරණ ගිය නිසා විය හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි. එමෙන්ම ඔඩිෂා සාහිත්‍යයෙහි බුදුන් වහන්සේ ජගන්නාථ දෙවියන්ගේ අවතාරයක් බව දක්වා ඇත. බුද්ධගයාවේ ඇති නිම නොකළ බුද්ධ ප්‍රතිමාව අනුව යමින් ජගන්නාථ ප්‍රතිමාව ද නිම නොකර ඇති බව විද්වතුන්ගේ මතයයි.   


බුදු දහමෙහි මෙන්ම ජගන්නාථ සංස්කෘතිය තුළ ද දක්නට ඇති සමානතාවයන්ගෙන් එකක් වන්නේ කුල භේදය බැහැර කිරීමය. එදා සිට අද දක්වා සමාජයේ සෑම ස්ථරයකම කුල භේදය මුල් බැස ඇති ඉන්දියාවේ එවැනි හින්දු සිද්ධස්ථාන විරලය. ජගන්නාථ සංස්කෘතිය තුළ වන්දනා කෙරෙන, ජගන්නාථ, බලභද්‍ර සහ සුභද්‍ර යන දෙවියන් ත්‍රිත්වය බුදු දහමෙහි බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්න සංකල්පයෙන් පැවත එන බව ද විද්වතුන්ගේ අදහසයි.   


මේ පිළිබඳව අදහස් දක්වන ඉතිහාසඥයන් පවසන්නේ, බුදු දහම ඉතා ප්‍රබලව තිබූ පැරණි කාලිංගයෙහි දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කොට තිබූ, බෞද්ධ සිද්ධස්ථානයක් මත හින්දු කෝවිලක් තැනීම නිසා එය හින්දු මෙන්ම බෞද්ධ ජනතාවගේත් බහුමානයට පාත්‍ර වීම සිදු වූ බවයි. ක්‍රමයෙන් එම සිද්ධස්ථානයෙහි බෞද්ධ ලක්ෂණ වියැකී යාම සිදු වන්නේ හින්දු ආගමිකයන් බහුතරයක් සිටින රටක එවැනි තත්ත්වයක් වළක්වාලීම අසීරු බැවිනි. එසේ වුවත්, වසර සිය ගණනාවකට පසුව ද, එම රථ යාත්‍රා පූජෝත්සවයෙහි බෞද්ධ ලක්ෂණ ඉතිරිව පැවතීම ගැන පුදුම විය යුතු නැත.   


 

රථ යාත්‍රා යනු බෞද්ධ උත්සවයක් බව ද එය බෞද්ධයන්ගේ දළදා පූජෝත්සවයෙහි අනුපිටපතක් බව ද සර් විලියම් හන්ටර්ගේ අදහසයි. මේ පිළිබඳව අදහස් දක්වන එච්.එල්. සෙනෙවිරත්න පවසන්නේ ශ්‍රී ලංකාවේ දළදා පූජෝත්සවය ඇසළ මාසය, හෙවත් සංස්කෘත භාෂාවෙන් අෂාධ නමින් හැඳින්වෙන මාසයේ පැවැත්වෙන බවයි. ඒ අනුව පුදුමයකට මෙන්, ජගන්නාත් පුරිහි රථ යාත්‍රා උත්සවය ද, මෙරට පැවැත්වෙන්නේ ඇසළ උත්සවයට සමගාමීව එම මාසයේම වීම විශේෂත්වයකි. මෙම ඇසළ යන වචනය අෂාධ යන වදනින් සැකසුනක් බව විද්වතුන්ගේ අදහසයි. එදා සිට අද දක්වා ඇසළ පෙරහර වශයෙන් දළදා පෙරහර හැඳින්වීම එහි කාලිංග උරුමය විදහා පෑමකි.   


ඒ අනුව, මෙරට, සෙංකඩගල පුරවරයේ වැඩ වාසය කරන, දන්ත ධාතූන් වහන්සේ රන් සිවි ගෙයක තැන්පත් කර, ඇතකු මත තබා වීදි සංචාරය කරද්දී, කාලිංග දේශයේ රථ යාත්‍රා උත්සවයේදී ජගන්නාථ දෙවියන් ඇතුළු ත්‍රිත්වය දැවයෙන් තැනූ කරඬු මත තැන්පත් කර, රථයෙහි රෝදවලට ගැට ගැසූ අති විශාල කඹ ආධාරයෙන් මිනිසුන් විසින් අදිමින් වීදි සංචාරය කරනු ලැබේ. ශ්‍රී මේඝවර්ණ රජු විසින් ප්‍රථම වරට ඉදි කළ දළදා මන්දිරය ධම්මචක්ක වශයෙන් හඳුන්වා ඇති අතර, රථ යාත්‍රා පෙරහරේ දී දෙවියන් වැඩම කරවන රථවල රෝද ධර්ම චක්‍රයක හැඩය ගන්නා බව විද්වත්හු පෙන්වා දෙති. එසේම ලංකාවෙහි ධම්මචක්ක මන්දිරයෙහි තැන්පත් කළ දන්ත ධාතූන් වහන්සේ වාර්ෂිකව අති අලංකාරව සැරසූ වීදි ඔස්සේ අභයගිරි විහාරය දක්වා රැගෙන යන ලද බව මහාවංශයේ සඳහන් වේ.   


මේ අනුව රටවල් දෙකෙහි බෙහෙවින්ම සමාන චාරිත්‍රයක් වාර්ෂිකව ඉටු කිරීම තුළින්, සිද්ධස්ථාන දෙකෙහි බෞද්ධ ඥාති සම්බන්ධතාව තහවුරු කරයි. ජගන්නාථ දෙවියන් හා ඔහුගේ සහෝදරයා හා සහෝදරිය වාර්ෂිකව පූරි හි පිහිටි ඔවුන්ට අයත් සිද්ධස්ථානයේ සිට ගුන්ඩිචා නමින් හැඳින්වෙන සිද්ධස්ථානය කරා රැගෙන ගොස් නැවත පැමිණේ. මෙම චාරිත්‍රය ඉටු කිරීම සඳහා දින නවයක කාලයක් ගත වන අතර, ඇසළ පෙරහර දින දහයක කාලයක් පුරා පවතී. දිනපතා දන්ත ධාතූන් වහන්සේට වෑංජන, අතුරුපස 32 සහිතව දානය පූජා කරනු ලබන අතර ජගන්නාථ දෙවියන්ට 56 වර්ගයක ආහාර පාන දිනපතා පූජා කරනු ලැබීම ද, දෙරට අතර චාරිත්‍ර වාරිත්‍රයන්හි ඇති සමානාත්මතාවයට තවත් උදාහරණයකි.   


මෙබඳු සමානකම් කෙතරම් තිබුණද, ජගන්නාත් පූරි සිද්ධස්ථානයේ ඉතිහාසයට අයිතිවාසිකම් කියන බොහෝ දෙනෙක් සිටිති. ඔවුන් අතර, වෛෂ්ණව, සීක ආගම් අදහන්නෝ ප්‍රධානය. එහෙත් බෞද්ධ ජනතාව අතර මහනුවර දළදා මාළිගාවෙහි වැඩ සිටින ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ නිජ බිම පිළිබඳව ඇත්තේ අනවබෝධයකි. එමෙන්ම බුදුන් වහන්සේගේ අක්මුල් සොයා දඹදිව සංචාරය කරන බෞද්ධයන්ට, අතීත කාලිංගය හෙවත් වර්තමාන ඔඩිෂාව අමතක වී තිබේ. ඒ අනවබෝධය නිසා විය හැකිය.

 

සටහන: සිසිර කුමාර බණ්ඩාර