මල්වලට මොකටද නම් - මල ලස්සන නම්
වේදිකා නාට්‍ය නළුවෙකු, කතුවරයෙකු, නිවේදකයකු, ආදී ලෙසින් කලාවේ එකී මෙකී විවිධ අංශයන්හි දස්කම් පෙන්නමින් කලාවේ සලකුණක් වූ වසන්ත දුක්ගන්නාරාලගේ නම මේ දිනවල වැඩිපුරම අසන්නට දකින්නට ලැබෙන්නේ ඔහුගේ අලුත්ම කාව්‍ය සංග්‍රහය නිසාවෙනි. ඒ උණුහුමත් සමග ඔහුගේ කලා කටයුතු සහ මේ අලුත් නිර්මාණය ගැන කතා කරන්නට අපි සිතුවෙමු. ඉතින් මේ මෙවර සැඳැල්ලෙන් ඔහු වෙනුවෙන් වෙන් කළ ඉඩකඩයි.
- ඔබගේ අලුත් ම නිර්මාණ කාර්ය කොට කවි ශතකය. එතැනින් කතා බහ ආරම්භ කරමු.
මගේ අලුත්ම කවි පොත තමයි KMPH32- කොට කවි ශතකය කියල කියන්නේ. මේකේ නම ඇත්තටම KMPH-32 කියන එක. කොට කවි සීයක් තියන නිසා තමයි කොට කවි ශතකය කියලා යෙදුවේ. නමුත් මෙතනදි මිනිස්සු අතර ප්‍රසිද්ධ වුණේ කොට කවි ශතකය කියන කොටස. ඒනිසා තමයි දැන් ඒ නමින් මේ පොත ප්‍රසිද්ධ. කවි පොතක් විදිහට ඉතාම කෙටි කාලයකින් පළවෙනි මුද්‍රණය විකිණී අවසන් වුණ ග්‍රන්ථය විදිහටත් මේක නම් කරන්න පුළුවන්. මම හිතන විදිහට මේ ජනප්‍රියත්වයට ග්‍රන්ථ එළිදැක්වීමේ ස්වභාවය සහ ඒ වෙනුවෙන් පැවති පූර්ව ප්‍රචාරණ විධි ක්‍රමයත් හේතුවෙන්න ඇති. මොකද මම දන්න විදිහට තාමත් මිනිස්සු ඒ ගැන කතා කරනවා. ඒ වගේම තමයි මේ ග්‍රන්ථය එළි දැක්වීමත් එක්ක මේ වෙනකොට සමාජ මාධ්‍ය ඇතුළේ බොහෝ දෙනෙක් කොට කවි ලියන්න පටන් අරන් තියෙනවා. එයින් හැගෙන්නේ මිනිස්සු මේ වෙනස භාර අරගෙන කියන දේයි. ඇත්තටම ඒ ගැන හරිම සතුටුයි.
- ඇත්තටම මොනවද මේ කොට කවි කියන්නේ?
මේක සංෂිප්ත කවි වර්ගයක්. මේක ඔය කියන හයිකුවත්, අන්චිවත් නෙමෙයි. මම මේක කෙටි කවි කියලාවත් නම් නොකර කොට කවි කියල නම් කළේ මේක Epicgram Poems කියන ගණයට අයත් වෙන නිසාවෙන්. තමන්ගේ හදවතට දැනුණු මාතෘකාවක්, චරිතයක්, සිද්ධියක්, කෙටියෙන්- සරලව උත්ප්‍රාසයක් සහ ප්‍රහසන ගතියක් එක්ක කොට රචනා කිරීම තමයි Epicgram Poems වල රටාව. මේ කොට කවි හරියට සූත්‍ර වගේ. දිගට කියන්න තියෙන දේවල් එක පොඩි සූත්‍රයක් ඇතුළට දාලා ලඝු කරල කියනවා. "මල් වලට මොකටද නම්, මල ලස්සන නම්" මේ මගේ එක කවියක්. ඒ වචන දෙක තුන ඇතුළේ කොච්චර දුරට යන්න පුළුවන්ද? කොච්චර දේවල් හිතන්න පුළුවන්ද? මේක තමයි විශේෂත්වය. මේ රටාව ගැන මට වසර ගණනාවක ඉඳන්ම පුහුණුවක් තිබුණා. ඒකට හේතුව අපි ඉස්සර පුවත්පත්වලට මේ විදිහේ කවි ලිව්වා. නමුත් ඒ කාලවල දී ඒවා හුදු වචන පමණයි කියලා ප්‍රතික්ෂේප වුණා. නමුත් අද වෙනකොට ඒ මතය වෙනස් කරලා, එහෙමත් කවි වර්ගයක් තිබේය කියලා සමාජ ගත කරන්න දැන් අපිට පුළුවන් වෙලා තියෙනවා.
- ඇයි ඒ වගේ නමක් දාන්න හිතුණේ?
KMPH32 කියන්නේ මේ පොතේ තියන එක කවියක නම. පැයට කිලෝමීටර් තිස් දෙකක් කියන එක තමයි එකේ තේරුම. ඒ නම යොදා ගන්න මට හිතුණේ ඒක ටිකක් වෙනස් නිසා. මම හිතුවා මිනිස්සු ඒක හොයන්න උත්සාහ කරන නමක් කියලා. මම මීට පෙර සොකරි ලියනකොටත් 2003 වර්ෂයේදී විතර ඇත්තටම සොකරි ගැන දන්න බොහෝ පිරිසක් හිටියේ නැහැ. නමුත් ඒකෙන් පස්සේ ගොඩක් තරුණ ළමයි ඒ ගැන හොයන්න ගත්තා. ඒ ගැන දේවල් ලියන්න පටන් ගත්තා. ඉතින් මේ හැම දේම එක්ක නම ටිකක් ආකර්ෂණීය වෙන්නත් ඕන නිසා මම මේ එක කොට කවියක නම මගේ ග්‍රන්ථයේ නම විදිහට යොදාගත්තා.
- කොහොමද මේ කවි සංග්‍රහයට ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම මම බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ ප්‍රතිචාර මේ නිර්මාණයට ලැබෙමින් පවතිනවා. සමාජ මාධ්‍ය හරහාත් ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කිහිපදෙනෙකුට මේක දරාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. එතිකම් ස්පොයම්ස් කියන එක වටහා ගන්නත් වෙන්නේ මේකෙන්නේ. ඒ නිසා ඒලියන්ස්ගේ කවි ඉගෙන ගත්තා අයට සමහර විට මේක පොඩ්ඩක් දිරවන්නෙ නැතිවෙන්න පුළුවන්. හැබැයි සමස්තයක් විදියට ගත්තොත් යහපත් ප්‍රතිචාර තමයි වැඩිපුරම තියෙන්නේ. කවිය පිළිබඳ ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්, පාඨකයෝ මගේ කොට කවි දිගු කරලා ලියන්න පටන් අරන් සහ මේ කොට කවි ඇතුළේ තියෙන දිග මැන මැන ඉන්නවා. ඇත්තටම මට ඕන වුණෙත් ඒක. වචන හතරක පහක කොටස දිගහැර ගන්න. ඉතින් දැන් ඒ දේ වෙනවා. ඒ වගේම කවි පොතට ලැබුණු ප්‍රතිචාර අතරින් සුවිශේෂීම ප්‍රතිචාරයක් තමයි අගමැති සහෝදරියට ලියපු කොට කවිය. මේක පාර්ලිමේන්තුවෙත් කතා වුණා. උදෑසන පත්තර කාටුන්වල යන තරමටම ඒක ප්‍රකට වුණා. කවි පොතට වගේම ඒ උත්සවයටත් හොඳ ප්‍රතිචාර තියෙනවා.
- අනිත් කලා කටයුතු ගැනත් කියමු?
ඒ උත්සවයේදීම මම තවත් එක සංඥාවක් නිකුත් කළා මගේ ඊළඟ කෘතිය ගැන. ඒක මගේ ඊළඟ නවකතාව සිරි සංඝක්කාර. ඒක දැන් මුද්‍රණයට ලබාදීලා තියෙන්නෙ. ඒකත් මාස තුනක් ඇතුළත එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව සුපුරුදු පරිදි මගේ ගීත රචනා ඒ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම දේශීය- විදේශීය ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා. තවත් අලුත් රියැලිටි ප්‍රෝග්‍රෑම් එකක මම ප්‍රධාන විනිසුරු හැටියට කටයුතු කරනවා. ඒක පාසල් ළමයි සම්බන්ධ කරගෙන ඇග්‍රිකල්චර් පැත්තෙන් කරන වැඩක්. එහි පටිගත කිරීමේ ආරම්භ කරන්නත් සුදානමින් ඉන්නවා. ඒවගේම ඉදිරියේදී එන සිංහල හින්දු අලුත් අවුරුදු වෙනුවෙන් නාළිකා කිහිපයකම වැඩසටහන්වල සම්පත් දායකයෙක් විදිහට වැඩ කටයුතු බාර අරගෙන තියෙනවා.
- දැන් රංගන කටයුතුවලින් දුරස් වෙලා ද?
බාල සමාගම වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කරමින් එහි රගපෑම් කටයුතුවලටත් සම්බන්ධ වුණා. නමුත් කොරෝනා කාලයේ අපිට ඒක නවත්තන්න සිද්ධ වුණා. ඊට පස්සේ මගේ විවේකය අනුව වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න ටිකක් අමාරුයි. මොකද වේදිකා නාට්‍යවලදී සජීවී ලෙසම ඉන්න ඕන නේ. ඒ නිසා ඒවා මගහැරුණා. චිත්‍රපටිවල නම් ඇත්තටම පොඩි පොඩි කොටස්වලට තමයි සම්බන්ධ වෙලා හිටියේ. ටෙලි නාට්‍යවලදී ගත්තොත් දැනට ආරාධනා ලැබෙමින් පවතිනවා. නමුත් මට ඒ සඳහා හිත හදාගන්න අවශ්‍ය කාරණා කිහිපයක් තියෙනවා. ඒ කිහිපය ඉෂ්ට වුණේ නැත්තම් ඒකට යන්නේ නැහැ. ඉෂ්ට වුණොත් මම රඟපාවි. ඉතින් මේ දේවල් නිසා ටිකක් අඩුවෙන් තමයි රංගන කටයුතුවල යෙදෙන්නේ.
- ඔබ කලාවේ විවිධ අංශයන් ස්පර්ශ කළ අයෙක්. ඔබ පෞද්ගලිකව කැමති මොන පැත්තට ද?
ඇත්තටම මම ටෙලිවිෂන් ප්‍රඩියුසර් ඩිරෙක්ටර් කෙනෙක් වීම කියන කොටසට ගොඩක් ආසයි. ඒ කාලේ ඉඳන්ම මම නිවේදන කටයුතු කළා, සමහර අවස්ථාවල අධ්‍යක්ෂණය කරන අතරතුරත් ඒ වැඩසටහනේම නිවේදන කටයුතු කළා. ඒ විදිහට මම අධ්‍යක්ෂණය කරපු සමහර නිර්මාණ සම්මාන පවා ලබාගෙන තියෙනවා. මේ නිසාම වැඩසටහන් අධ්‍යක්ෂණය කිරීමේ ආසාව මේ හැම දේටම උඩින් තියෙනවා. මම දැනටත් ඒ ඉඩ ප්‍රස්තා හොයමින් ඉන්නේ. ටෙලිවිෂනය තුළ පහුගිය කාලයේ ඒ අවස්ථාව තිබුණේ නැහැ. නමුත් දැන් දැන් ටෙලිවිෂනය ඒකාකාරී වැඩසටහන්වලින් මිදිලා ඒ වගේ දේවල්වලට අවස්ථාව ලබා දෙමින් ඉන්නවා. මේ මොන දේ කීවත් මම ඒ කාලේ ඉඳන්ම ලියන්නා, පත්තරකාරයා, පත්තර කවියා, කෙටිකතාකාරයා. ඒ නිසා මම ලියන එකටත් ගොඩක් ආදරෙයි.
- ඔබ කලාව ඇතුළේ ලෙජන්ඩ් කෙනෙක්. වර්තමානයේ කලාව තියෙන තැන ගැන මොකද හිතෙන්නේ?
කලාව කියන්නේත් රටක ආර්ථිකය, සංස්කෘතිය, සම්ප්‍රදාය ඇතුළේ තියන දෙයක්. ඒක වෙනම තියෙන දෙයක් නෙවෙයි. රටක අනිත් දේවල් වැටුණහම කලාවත් වැටෙනවා. නාට්‍යයක් බලන්න සෙනඟ අඩුවෙන්න හේතුව රටේ ආර්ථික සමාජීය ප්‍රශ්න. එහෙම නැතුව නාට්‍යයෙන් මිනිස්සු ඈත් වෙලා නෙමෙයි. සිනමා පට ප්‍රදර්ශනය සඳහා සිනමා ශාලාවක් නොතිබීම, ෆිල්ම් එකක් බලන්න යනකොට තියෙන විය හියදම් සහ චිත්‍රපට සකස්වීමේ අඩුකම, හදන චිත්‍රපටි දුවන්නේ නැතිකම, හදන චිත්‍රපටි බලන්න බැරිකම වගේ කාරණා නිසා චිත්‍රපට කර්මාන්තය බිද වැටෙන්න වෙන්න පුළුවන්. ඉතින් මේ හැමදේකටම මුළු සමාජයම වග කියන්න ඕන. ඉතින් දැන් අපි මේකට පිළිතුරු හොයන්න ඕන. අපි හිතමු කවි පොත් අලෙවි වෙන්නෙ නැහැ කියලා හැමදාම හිත හිත හිටියොත් එතැනින් ඉස්සරහට යන්න වෙන්නේ නැහැ. හැබැයි අපි අලුත් දෙයක් දුන්නොත් මිනිස්සු ඒ අලුත් දේවල් කියවන්න පටන් ගන්නවා. මාර්කටින්, සේල්ස් දැනගෙන කලාවට සම්බන්ධ වීම කියන කාරණය එතැනදි වැදගත්.
- කලාකරුවෙක් කියන්නේ නිදහස ඕන කෙනෙක්. ඉතින් පවුලෙන් ඒ ලැබෙන නිදහස, සහයෝගය ගැනත් මතක් කරමු?
ඒ නිදහස මම බොහෝ කලක ඉඳන් හදාගත්තු දෙයක්. මේ අපේ හැටි. අපිව හදන්නත් බැහැ. නමුත් එතැනදි වුණේ සැබෑ යුතුකම් වගකීම් ඔක්කොම ඉෂ්ට කරලා බිරිඳ සහ ළමයි එක්ක ඉන්න තියෙන කාලය ටිකක් අඩු වුණ එක. මගේ කාර්යබහුලත්වයත් එක්ක ඒ දේවල් සීමා වුණත් එයාට මම කිසිම අඩුපාඩුවක් කළේ නැහැ. නමුත් ජීවිතයේ මඟහැරුණු තැන් තියෙනවා. හැබැයි ඒ කාර්යබහුලත්වය නොතිබුණා නම් මේ විදිහේ මල්ටි ටාස්කින් වැඩ කරන්න බැරි වෙනවා. ඒක අපි වගේ කලාකරුවන්ට ආත්මයෙන්ම ලැබෙන කරුමයක්. මට තව ජීවත් වෙන්න කාලයක් තිබුණොත් දැන් මට මගේ වැඩක් ඉවර වුණාම මගේ නිදහස විදින්න අවස්ථාවක් හදාගෙන තියෙනවා.
- ඔබ හරි සංවේදී පියෙක් බව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බොහෝ වීඩියෝ පට සාක්ෂි දරනවා. ඉතින් ඒ ආදරේ ගැනත් කියන්න?
ඔව් මම හිතන්නේ මට එහෙම වෙන්නෙම ඒ දෙන්නා ගොඩක් වෙලාවට මඟ හැරුණු නිසායි. ඒ දෙන්නත් එක්ක හරි අඩු කාලයක් ගත කිරීම නිසා මට එයාල වෙන්ව යනකොට තමයි තේරුණේ අනේ මුන් ලොකු වෙලානේ කියලා. දැන් එයාලා උසස් අධ්‍යාපනය සඳහා පිටරටත් යනවානේ කියලා. එතකන් මම කොච්චර පැය ගාණක් මගේ දුවයි පුතයි වඩන් ඉදල තියෙනවද, ඒ දෙන්නව තුරුලු කරන් ඉඳලා තියෙනවද, ඔය වගේ ප්‍රශ්න මගේ ඔළුවට ආපුවහම තමයි මට වේදනාවක් ඇතිවෙන්නේ. මට ඇඬෙන්නේ. මේ ගැන මගේ පොතේ කවියකුත් තියෙනවා අන්‍යෝන්‍ය අවබෝධය කියලා.
දුලක්ෂි ලියනගේ