විශ්ව සාහිත්‍යයෙන්
සාහිත්‍යය නම් අම මී ගඟුල ලොවට බිහිවූයේ කෙසේ ද? එය උපත ලද ස්ථානය සොයා දැනගන්නට නම් දෙව්ලොව යන්නට සිදුවේ. ලොව මුලින්ම බිහිවූ කව් ගී කතන්දර සියල්ලටම පාහේ දෙවියන් සම්බන්ධ වීම ඊට හේතුවයි.
විදු නැණින් තහවුරු කොට ඇති පරිදි, අපි දිගු වලිග ඇතිව රුක් මුදුන්හි වාසය කළ වානර කණ්ඩායමකින් පැවතෙන්නෝ වෙමු. පසුව වානර මානවයකු වී ඔස්ට්‍රලෝපිතිකස්, රැඩල්පෙන්සීස්, හැබිලස්, ඉරෙක්ටස්, නියැන්ඩර්තාල් ආදී ස්වරූප පසුකරමින් හෝමෝ සේපියන් නම් වර්තමාන තත්ත්වයට පැමිණීමට අපට ගතවූ කාලය වසර ලක්ෂ පනහකට ආසන්නය.
ඉරෙක්ටස් මානවයන් ලෝකයේ මුල්ම කලාකාමීන් බවට සාධක හමුවී ඇත. ඔහුගේ මොළය වත්මන් ප්‍රමාණයෙන් අඩක් වුවද, මූලික ජීව හැඟීම් අභිභවා නිර්මාණාත්මක සංවේදනාවන් එහි ජනිත විය. තමන් පරිහරණය කළ උපකරණවලට පවා අලුත් රුවක් දුන්නේ ඒ නිසයි.
වසර ලක්ෂ දෙකක සිට මිහිමත වසන හෝමෝ සේපියන් මානවයෝ සත්ව ඇටවලින් ඉදිකටු තනා සම් ඇඳුම් ඇඟලා, සත්ව දත් - නිය පැළඳ, ගුරුගල්වලින් තම සිරුර ද අලංකාර කරගත්තෝය. මොවුහු හැඟීම් දරන්නෝය. සිහින දකින්නෝය. අත්පොළසන් නදින් මුල පුරා සංගීතයත් නැටුමත් ඔවුහු සොයාගත්හ. නොපෙනෙන බලවේග යදිමින් කව් ගී කතන්දර ද ගොඩනැගුවෝය.
නයිල් ගඟ බඩ ගොවි ගම්මාන ඇරඹුණේ ක්‍රි.පූ. 6000 දීය. ඉන් මද කලකට පසු යුප්‍රටීස් - ටයිග්‍රීස් දෙගංමැදි ශිෂ්ටාචාරය ඇරඹිණි. මැටිපොත්වල රූපාක්ෂරයෙන් ඔවුන් තැබූ සටහන් මුල දී ගණන් හිලව් තැබීම, දැනුම ගබඩා කිරීම ආදී කාරණාවලට සීමා වුවත් පසුව නිර්මාණාත්මක සංකල්ප ද ඒවායේ ලියැවෙන්නට පටන් ගත්තේය.
නයිල් ඉවුරේ ගොවි ජනතාව රූපාක්ෂර කලාවේ මහත් විප්ලවයක් සිදුකළේ ලොව මුල්ම කඩදාසි වර්ගය සොයාගැනීමෙනි. ගං ඉවුරුවල සරුවට වැඩුණු සැපිරස් නම් බට විශේෂය ඊට එකම අමුද්‍රව්‍යය විය. සුදු පැහැති මෘදු මෙහි බඩය තීරු කපා තෙත පිටින්ම ලෑල්ලක් මත අතුරනු ලැබේ. ඊට උඩින් තවත් තීරු අතුරන්නේ පොල්අතු වියන ආකාරයට එකිනෙක සම්බන්ධ කරමිනි. ඉන්පසු එය මිටියකින් කළා, ලී රෝලකින් තුනී කරනු ලැබේ. එය වියලාගත් විට විශාල ප්‍රමාණයේ පැසිරස් කඩදාසියක් නොහොත් ‘පේපර්’ එකකි.
ප්‍රථම ලිඛිත සාහිත්‍යය ඇරඹුණේ මිසරයෙනි. ඒවා නම් පැසිරස් පත්‍රවල සටහන් වූ දේව කතන්දරය. අයිසීස්, ඔසිරිස්, හෝරස් ආදී මිසර දේව පරපුර නියෝජනය කෙරෙන මෙම නිර්මාණ ක්‍රි.පූ. 2000ට පෙර බිහිවූ බව පිළිගැනේ.
මා වූයේ නැත. මෙසපොතේමියාව, චීනය, ග්‍රීසිය සහ භාරතය ද සාහිත්‍යය නම් අමිල මිණ දෙවියන් වෙතින්ම ලබාගත්තේ ඊට සමීප කාල වකවානුවක දීය.
මෙසපොතේමියාවේ හිටපු පාලකයකු යැයි සැලකෙන ගිල්ගමේෂ් රජු වටා ගෙතුණු රසවත් පුරාවෘත්තයක් ද මේ සමයේ ලේඛනගත විය. ඒ කතාවට අනුව ගිල්ගමේෂ් රජු අමරණීයත්වය ලබාදෙන ඔසු පැළෑටියක් සොයා යයි. එය ඇත්තේ සාගර පතුළේය. වීර චාරිකාවකින් පසුව ගිල්ගමේෂ් ඔසුව සොයාගන්නා නමුත්, විශාල සර්පයෙක් එය උදුරාගනී.
මධ්‍යධරණී මුහුද මේ සාගර තටාකයේ, දූපත් රාශියක් පිරිවරා ගනිමින් මුහුදට නෙරා ගිය ගොඩබිම ග්‍රීසියයි. ගිරිහෙල්, ආගාධ, මිටියාවත්වලින් පිරුණු මෙම භූමියේ වාර්ගිකව බෙදුණු ගෝත්‍ර රාශියක් විසූහ. මෙම දේශයට දියුණුව ගෙන ආවේ බැහැරින් ආ ආර්ය නම් ජන සමූහයකි. මධ්‍යම ආසියාවේ සිට තම සතුන් දක්කාගෙන කෙම් බිම් සොයා පහළට පැමිණි ආර්යයෝ දෙකොටසකට බෙදී මධ්‍යධරණී දෙසටත් භාරතය දෙසටත් ගියහ. අවසානයේ ඒ දෙපැත්තම ඔවුන්ගේ ආධිපත්‍යයට නතු විය.
ආර්යයෝ ආගමක් ඇදහූ එඬේර ජනතාවකි. ‘අග්නිය’ ඔවුන්ගේ ආගමේ මුල්තැන ගති. ආර්ය ජනකැල මෙහෙය වූ එඬේරුන් වූයේ බුද්ධිමත් පූජක පිරිසකි. ග්‍රීසියට ආ මොවුහු එහි සිටි ස්වදේශිකයන්ට ද මග පෙන්වමින් වසර පන්සියයක් තුළ රාජ්‍ය ලෙස සංවිධානය වීමට ද සමත් වූහ.
ආර්යයෝ ලෝකයට වැඩිම බලපෑමක් කළ පිරිසකි. මේ පැහැපත් මිනිස් කණ්ඩායම ග්‍රීක ශිෂ්ටාචාරය ඇති කරමින් යුරෝපා ජාතීන්ට උපත දුන්හ. එලෙසින්ම ඉන්දු නිම්නයට පැමිණ භාරතය නම් අභිමානවත් දේශය ද බිහිකළෝය.
ග්‍රීසිය මෙන්ම භාරතයේ ද ආගමික ව්‍යූහය එක සමානය. ස්වභාව ධර්මයේ ජීවමාන වස්තුන් වන ඉර - හඳ - තාරකා - ග්‍රහලෝක ද ගින්න - සුළඟ - ජලය සහ කාලගුණය ද දෙවියන් බවට හරවා අපූරු කතන්දර මාලාවකින් ඒවා සාහිත්‍යමය චරිත බවට පත්කර තිබේ. ඉන්ද්‍ර, වරුණ යම ආදී ලෙසින් හැඳින්වෙන භාරතීය දේව පරපුර ග්‍රීසියේ දී සියුස්, පොසීඩන්, හේඩීස් ආදී නමින් පෙනී සිටිති. ඔවුහු බොහෝ විට මිනිස් හැඟීම් සහ ක්‍රියාකාරකම්වලින් යුක්ත වූහ.
ග්‍රීක දෙවිවරුන්ගේ විමානය පිහිටියේ ඔලිම්පස් කන්දේය. එය තුර්කිය සහ ග්‍රීසිය හරහා වැටී ඇති ජීවමාන කඳුවැටියකි. දෙවිවරු විශ්වය නිර්මාණය කළ බවක් නොඇදහූ ග්‍රීකයෝ විශ්වය විසින් දෙවියෝ නිර්මිත බව විශ්වාස කළහ. ඒ නිසා ඔවුහු දෙවියන් කෙරේ අධික බියක් නොදැක්වූහ. දෙවියන් ගැන සිනහ පහළ කිරීමට වුවත් ඔවුන්ට නිදහස තිබුණි.
ග්‍රීක දෙවිවරු මිනිස් රුවින්ද, මිනිස් ගුණයෙන් ද යුත්තෝය. ඔලිම්පස් කන්දේ සිට දෙව්ලොව සහ මනුලොවත් බලාගත්තේ සියුස් නම් මහ දෙවියායි. ආකාශයට සහ කාලගුණයට අධිපති වූ ඔහුගේ අතෙහි අකුණු සරයක් විය. මනු ලොව රූබරියන් කෙරෙහි පවා නිතර අනුරාගයෙන් සිටි සල්ලාලයෙකි. හේරා නම්වූ ඔහුගේ බිරිය විවාහය සහ දරුවන් පිළිබඳ අධිපතිකම් දැරීම නිසා කතන්දර රාශියකට මේ දෙදෙනා මැදිව සිටිති.
සියුස්ට සොහොයුරන් දෙදෙනෙකි. පොසීඩන් නම් වූ එක් අයෙක් සාගරය, කුණාටු සහ භූමි කම්පා මෙහෙය වීය. හේඩීස් නම් අනෙක් සොහොයුරා යම ලොවට ලොක්කා විය. සියුස්ට දරුවන් රැසක් සිටි අතර ඉන් හය දෙනෙක්ම මහ තනතුරු දැරූ හෙයින් දෙව්ලොව පැවතියේ ද ‘පවුල් පාලනය’කි.
පියාගේ හිස පලාගෙන උපන් ඇතීනා බුද්ධිය - දැනුම - අත්කම් - ගොවිකම් නියෝජනය කළාය. ඇපොලෝ සංගීතය, ධනු ශිල්පය සහ වෙදකමට අධිපති විය. සියුස්ගේ තවත් පුතකු වන හර්මීස් දෙව්ලොව පණිවුඩකරුවාය. හිස්වැසුමේ සහ පාවහන්වල පියාපත් ඇති ඔහු එඬේරුන්ගේ, වෙළෙඳුන්ගේ සහ හොරුන්ගේ ද ආරක්ෂකයාය. ඒරීස් අඟහරු ග්‍රහයා නිරූපනය කරමින් සංග්‍රාමයට අධිපති විය. දඩයමට සහ රාත්‍රියට අධිපතිනිය වූ ආර්ටිමිස්ට රිදී ගෝනුන් බැඳි සිය රථයෙන් සඳ ඇදගෙන යාමද පැවරී තිබිණ.
දෙව්ලොව විශ්වකර්මයා වූයේ ගින්දරට, ලෝහයට අධිපති වූ විරූපී හෙපස්ටස්ය. ඔහුගේ බිරිය ආලයට, සුන්දරත්වයට අධිපතිනිය වූද, දෙව්ලොව අග්‍ර සුරූපිනිය වූද ඇප්‍රොඩයිට් වීම අපූරු එක්වීමකි. ආදරවන්තයින් එක් කරන ඊරෝස්, සුරාවට ලොක්කා වූ ඩයනීසස් ආදී තවත් බොහෝ දෙවිවරුන් මහා සාහිත්‍ය ප්‍රවාහයක චරිත ලෙසින් අද දක්වාත් ජීවමානය.
භාරත දේව මණ්ඩලය ද නොයෙක් කයිකතන්දරවලට මැදිවූ පිරිසකි. රූපකායෙන් ඇතැම් විට වෙනස්වන නමුත් මිනිසුන් මෙන්ම හැසිරෙන හොඳ මෙන්ම නරක ද යහමින් ඇති දේව කුටුම්බයක් ලෙස හඳුනාගත හැකිය.
හින්දු දේව පුරාණයට අනුව ලොව බලගතුම දෙවියා වූයේ, එය මැවූ මහා බ්‍රහ්මයාමයි. ලෝකය සුරකින විෂ්ණු සහ විනාශ කරන්නාවූ ඊශ්වර ද එක්වූ කල ‘ත්‍රිමුර්තිය’ ලෙස ඔවුන් හැඳින් වේ.
මහබඹුගේ බිරිය වූ සරස්වතිය ද ඔහුම මවාගත්තේය. තවුස් වෙසින් සිටින ඊශ්වර නොහොත් ශිවගේ නළල මැද තුන්වැනි ඇසක් ද වෙයි. උමා නොහොත් පාර්වතිය ද ඇයගේ සොයුරිය ගංගා ද ඔහුගේ භාර්යාවෝය. නුවණට අධිපති ගනේෂ සහ යුදයට හපන් කාර්තිකේය ශිව - උමා දෙපළගේ දරුවන් ලෙස සැලකේ.
සදෙව් ලොවට අධිපති ශක්‍ර, ලොව එළිය කරන ඉන්ද්‍ර, ධනයට අධිපති කුවේර, නිර්මාණ ශිල්පී විශ්වකර්ම, අපායට ලොක්කා වූ යම ආදී ලෙසින් නොයෙකුත් බලතල දැරූ දෙවිවරු බොහෝ ගණනකි. මේ අතර මල්සර ද විශේෂ අයකු විය.
මොහුගේ රාජකාරිය වූයේ, මිනිස් ලොව හෝ දෙව් ලොව වේවා ස්ත්‍රී පුරුෂයන් සම්බන්ධ කිරීමයි. සිය උක්දඬු දුන්න ගෙන, බිඟුන්ගෙන් සැදි දුනුදිය ඇද දෑසමන් ආදි මල් හී වර්ග පහෙන් එකක් යවා හදවත් දෙකක් යා කිරීම ඔහුට මහත් විනෝදයකි. එහෙත් ඔහුට වැරදුණේ භාවනායෝගීව සිටි ශිවට මල් හීයක් යැවූදාය. කෝප වූ ඊශ්වරයා තම නළලෙහි වූ තුන්වැනි ඇස විවර කොට අග්නි සරයක් එවීය. එයින් සිරුර දා ගිය මල්සර, ඉන්පසු සිරුරක් නැත්තා වූ ‘අනංග’ නම් විය.
දෙව්ලොව සෘෂිවරු ද සිටියහ. මහබඹුගේ පුතකු වූ නාරද සෘෂිවරයා දේව සභාවේ පිළිගත් සංගීතඥයෙකි. වාශිෂ්ඨ, විශ්වමිත්‍ර, දුර්වාස ආදී ඉසිවරු ඇතැම් විට දෙවියන්ට පවා අභියෝගයක් විය. මොවුන්ගේ කියුම් කෙරුම් වසර දහස් ගණනක් ඉදිරියට ඇදී එන සාහිත්‍ය ගංගාවකට උල්පත් වූයේය.
රන්ජිත් ප්‍රිය