කෙටි කතාව
ඉර බැස යන්නට ආසන්නය. ප්‍රසිද්ධ මහ දේවාලයේ දේව ආශීර්වාද ලබා ගන්නට පැමිණි විසල් පිරිස ක්‍රමයෙන් අඩුවී යයි. නොනවත්වා නැගෙන මිණි හඬ දැන් දැන් නිම වෙන්නට ආසන්නය.
දෙවිඳුන්ගෙන් පිහිට පතා පැමිණි මහ මිනිස් පෙරහර එදිනට නිමා වෙන මොහොතේ අවසන් වශයෙන් දෙවොලෙහි දොරටුවෙන් ඇතුළුවීමට පැමිණියේ යාචක වේශයක් ඇති මහලු මිනිසෙකි. සැබවින්ම ඔහු අතේ දෙවොලේ දෙවිඳුන් හමුවීමට ඇවැසි පූජා භාණ්ඩ කිසිවක්ම නොවූයේය. මහ තෙද බලැති දෙවියන් හමුවෙන්නට හිස් අතින් මිනිහෙක් පැමිණිලා, දිළිඳුව මහලුව ඉරුණු කඩමාළු සහිතව. දේව අපහාසයක් නොවිය හැකිද මොහු?
‘‘බැහැ නුඹට දෙවොල ඇතුළට යන්නට ඉඩ දෙන්න බැහැ.’’ දේව නියෝජිතයෙක් ඔහුගේ ගමන වළක්වමින් කියා සිටියේය.
‘‘මහ දෙවිඳුන් හමුවෙන්නටයි මා ආවේ’’ මගියාගේ හඬ ඒ. බැගෑබර හඬක්.
‘‘බැහැ නුඹට දෙවියන් හමුවෙන්ට’’ දේව නියෝජිතයාගේ තෙද බල හඬ.
‘‘මා ආවේ බොහෝ දුර සිට පයින්ම, කුසගින්නෙම’’
‘‘නුඹ ඇවිත් තියෙන්නේ හිස් අතින්. කෝ දෙවියන්ට පූජාවක්?’’ දේව නියෝජිතයාගේ ප්‍රශ්නය තදින්ම
‘‘මීට ඉස්සර හුඟාක් කල් ඉඳල මම පූජා කළා. මිනිසුන්ට බොහෝ දේ, දෙවියන්ටත් එක්කම, දැන් මම දුප්පත්. හුඟාක්ම දුප්පත් වෙලා.’’
‘‘දෙවියන්ට පූජා කරන්න පූජාවක් අරගෙන වරෙන්. එහෙම නැතුව දේවාලෙ ඇතුළට යන්ඩ දෙන්ඩ බැහැ.’’
‘‘දෙවියන්ට කියන්නම් මම ඔක්කොම. මට යන්ඩ දෙන්ඩ උන්වහන්සේ ළඟට. කරුණාකරලා’’
‘‘අපේ තරහ අවුස්සන්නෙ නැතුව කරණාකරලා මෙතැනින් පිට වෙයන්! මෝඩයා දෙවියෝ කෝප වෙයි උඹ ගැන. තව පාරක් කියන්නේ නෑ නුඹට.’’
ඔහු තවත් වරක් දෙවොල ඇතුළත දිහා බැලුවා. ඉන් පසු දේව නියෝජිතයා දෙස බැලුවා. ගත්තා හෙමින් පස්සට අඩිය.
‘‘හොඳයි කපු මහත්තයා මං ආපහු යන්නම්. තරහ ගන්ඩ එපා. මං නොමළොත් සමහර විට ආයිත් කවදාහරි මට එන්ඩ් පුළුවන් වෙයි දේවාලෙට පූජාවක් අතේ ඇතිව. එතකොටවත් මාව දෙවියන් ළඟට යවන්ඩ. ඔබ කීවා වගේ මම හරිම මෝඩයෙක්. දෙවියන්ට මොකුත් නැතුව හිස් අතින්ම මං ඇවින්. මට සමාවෙන්ඩ. මං යන්නම්.’’
දෙවොල ඉමේ ගේට්ටුව අතරින් දුගියා යනවා ආපසු. හෙමිහිට, මුහුණ බිමට නැඹුරු කොටගෙන මුමුණමින්.
‘‘ඕ මං කොච්චර මෝඩයෙක්ද? දෙවියන්ට පූජාවක් නැතිව හිස් අතින්ම මං ඇවිත්. දෙයියනේ මට සමාවෙන්ඩ.’’
ඉර බැස යමින් ඇත. බැස යන හිරුගේ මළානික හිරුරැස් දුගියා මතට වැටී දිග අඳුරු සෙවනැල්ලක් ඇති කරයි. වෙහෙසුණු සිරුර කොතැනක හෝ සතපවා මදක් වෙහෙස නිවා ගන්නට ඇත්නම් යැයි ඔහුට සිතෙයි. මහ මඟට මදක් ඈතින් පසෙක මහ නුග ගසකි. එහි අතු පතර සතර දිග පැතිරී ඇත. ගමන් විඩාවටත් වඩා ඔහුගේ හිත පීඩාවට පත්කළේ දෙවියන් හමුවීමට ඉඩක් නොලැබීම විය හැකිය.
මහ නුගය යට හුදකලාවම ඔහු සැතපී සිටියි. නින්ද කෙතරම් මිහිරිද? කෙතරම් සුවදායකද? ඔහු බොහෝ වේලා සුවසේ නිදා ගත්තා විය හැකිය. සමහරවිට මිහිරි සිහින ද දක්මින්.
කිසියම් සමීප හඬක් හදිසියේ ම ඔහු අවදි කළේය. නුග ගසේ අනෙක් පැත්තේ කුඩා දරුවෙකු මහ හඬින් හඬයි. තෙත්බර වාතය දෙකන් සිදුරු හිරිවට්ටමින් හමා යයි. නුග රිකිලිවලින් බේරෙන පිණිබිඳු ඔහුගේ කිළිටි කමිසය මදක් තෙත්කර ඇත. නුග ගසේ එහා පැත්තේ කුඩා දරුවා තවමත් කෑගසයි. නුග ගසේ අතු අතරින් පෙරී ආ සඳරැස් කැරලි තැනින් තැන බිම පතිව වී ඇත. දරුවා හුදකලාව විය හැකිද? ඔහුගේ දෙපා නුග ගසේ අනෙක් පැත්තට ඔහු ගෙන ගියේ නිමේෂයකිනි.
ආග් ! හුරතල් දරුවෙක් මෑණි කෙනෙක්ද සමඟ වියළි නුග කොළ මත වැතිරිලා, කිළිටි වැරහැලි ගොඩක් මෙන්. ඔවුන් එකිනෙකාට තුරුල්වෙලා. එත් බිළිඳා සීතලෙන් බේරා ගන්නට ඇත්තේ අම්මාගේ අත පමණයි. සඳරැස් වැටිලා ඔවුන් මතට. සීතල දරාගත නොහැකි බිළිඳා වරින්වර කෑගසනවා. සමහර විට අම්මාට නින්ද ගිහින්. වෙහෙස නිසාම වෙන්න ඇති. නින්දෙන්ම ඈ දරුවා තුරුල් කරගන්නවා.
‘‘හොඳයි අම්මේ අපි දරුවා නිදි කරවමු.’’ මගියා තම උණුසුම මෙතෙක් රැකදුන් කමිසය සිරුරින් මුදනවා. ඒ කමිසය ඉන්පසු රැඳුණේ සීතලෙන් හඬන දරුවා මත, මවගේ සිරුරද මදක් වසාලමින්. දැන් දැන් දරුවා නිශ්චලයි සමහන් වෙලා. දැන් අම්මාට තුරුල් වෙලා මගියාගේ කමිසය යට සඳරැස් කැරලි යට දරුවා සුවසේ නිදයි. මගියාගේ මුහුණ පිපී යනවා. ‘‘ඔව් දෙන්නාම සුවසේ නිදා ගත්තාවේ.’’ ඔහු එතැනින් නික්ම ගියේ සැනසීමෙන්, උඩුකය වසාලු ඇඳුම නැතිවම, පූජා කර.
තමා සැතපී සිටි තැනට ඔහු ගමන් කළේ මහත් සොම්නසිනි. ගත සීතල වුවද ඔහුගේ අභ්‍යන්තරය පරිත්‍යාගයෙන් උණුසුම්ව තිබෙනු ඔහුට දැනුණි. තමන්ව මොහොතකට අමතක කොට අනෙක් අයකුගේ යහපත වෙනුවෙන් ක්‍රියා කළ සෑම විටෙකම හදවත පතුළෙන් මතුවන මේ උණුසුම ඔහු බොහෝ වාරයක් මේ වනවිට විඳ තිබුණේය.
සඳ එළියෙන් නැහැවී තිබුණු නුග මුලක් මත ඔහු හරිබරි ගැහී වාඩි වුණේය. ඒ සමඟම අතීත සිහිවටන ඡායා ඔහුගේ මනස වසාගෙන පැතිර යන සැටි ඔහු බලා සිටියේ වෙනත් හැමදාම මෙන් නිතැතිනි. නිමා නොවන සොම්නස අතරිනි. විවේකීව ඔහු සිටින සෑම මොහොතකම ඒ සැනසිලිදායක අතීතය ඔහුගේ මසන වසාගෙන පැතිරෙයි. එහි නිමග්න වන කල සැනසීම ද ප්‍රීතිය ද සාමය ද නිතැතින් ම ඔහු සොයා පැමිණියේය.
තරුණ කල බිරිඳ හා ඔහු ගතකළ සැනසිලිදායක දිවිය හදිසියේම නිමා වූයේ බිරිඳගේ අකල් මරණයෙනි. ඉන්පසු බිරිඳගේ පවුලේ අයට සිය නිවස පැවරූ ඔහු ලැබෙන කුමන හෝ රැකියාවක් කොට දිවි ගැට ගසා ගත්තේය. පාසල් අධ්‍යාපනයක් ලබන්නට වාසනාවන්ත නොවූ ඔහු අකුරු ලියන්නට හෝ කියවන්නට නොදැන සිටියේය. එහෙත් මිනිසුන් අතර ජීවිතය ඔහුට බොහෝ දේ ඉගැන්වීය. බොහෝ දේ දුටු ඔහු බොහෝ දේ අසාද තිබුණේය.
මිනිසකු මුහුණ නොදෙන ආකාරයේ කටුක පීඩාවලට ඔහු මුහුණ දුන් අතර, එමගින් ජීවිතයේ පතුල අත්දැක ගත්තේය. මිනිසෙකු ලෙස වඩාත් සතුටු විය හැකි බොහෝ උසස් දේ කරන්නට ඔහුට ඔහුගේ ජීවිතය විසින් බල කරන ලද්දේ ඒ ආකාරයෙනි. හැකි සෑම විටම අනුන්ට උපකාර කිරීම තුළින් සැනසීම ලැබීමේ කලාව ඔහු ප්‍රගුණ කළේ කවදා කෙසේදැයි දැන් ඔහුට සිහිපත් කරගත නොහැකිය. එහෙත් එවැනි සෑම විටෙකම තම හදවත පතුළෙන් මතුවන උණුසුම් සොමනසට ඔහු අන් සියල්ලට වඩා ආශා කළේය. කැමති වූයේය.
වරෙක ගඟකට වැටී ගිලෙමින් සිටි දරුවෙකු ඔහු බේරා ගත්තේ දිවි පරදුවට තබා ගඟට පැනීමෙනි. ඒ දෙස බලා දුක්වෙමින් සිටි සිය ගණනක් වූ මිනිසුන් අතරින් කිසිවෙකුට හෝ ඒ දස්කම කළ නොහැකි විය. විසකුරු සර්පයෙකු දෂ්ට කළ මිනිසෙකුගේ දිවි බේරාගන්නට වරෙක ඔහු රෝගියා ඔසවාගෙන සැතපුම් තුනකට වැඩි දුරක් වන මාර්ගයක ගමන් කළේ රාත්‍රියේ කිසිදු ආලෝකයක්ද නැතිවය, අන්‍යයන්ට සැනසීම ලබාදෙන්නටය. වස පානය කොට දිවි නසා ගන්නට උත්සාහ කළ තරුණයෙකුගේ දිවි බේරාගන්නට වරක් ඔහු ක්‍රියා කළ විට කෝප වූ තරුණයා විසින් බෝතලයෙන් පහරදීම නිසා ඔහුගේ එක් ඇසක් තුවාල වූයේය. ඒ ඇසේ පෙනීම ලබා ගන්නට ඔහු බොහෝ කාලයක් රෝහලක නැවතී ප්‍රතිකාර ලබා ගත්තේය.
ඔහු විසින් සිදු කරන ලද මෙවැනි ක්‍රියා කොතෙක් දැයි ඔහුම නොදත්තේය. අතීතයේ දී ඔහුට තමන්ගේම වූ ජීවිතයක් පැවතියේ බිරිඳ සමග දිවි ගෙවද්දීය. ඉන්පසු ඔහුට තමන්ගේම වූ ජීවිතයක් නොපැවතුණාක් මෙනි.
අතීතයේ සෑම මොහොතක්ම සුවදායක ලෙස සිහිපත් කරන්නට ලැබීම තමන් ලද මහත් භාග්‍යයක් බව ඔහුට හැඟී තිබුණේය. තමා දැනසිටි බොහෝ මිනිසුන්ට ඉතිරිව තිබුණේ පරාජිත, පීඩාකාරී අතීතයක් බව ඔහු බොහෝ විට දැක තිබුණේය. තමන් වෙනුවෙන් පමණක් ජීවත් වූ මිනිසුන්ට එසේ සිදුවීම අරුමයක් නොවන බව ඔහුට වැටහී තිබුණේ මීට බොහෝ කාලයකට පෙරදීය.
අද මේ දෙවියන් හමුවන්නට යාමට ඔහු හදිසියේ කල්පනා කළේ මීට දින කිහිපයකට ඉහතදීය. මිනිසුන් ගරු කරන, මිනිසුන් අදහන, දෙවියන්ගේ මුහුණ කෙසේදැයි දැක ගන්නට ඔහුට හදිසි ඕනෑකමක් ඇති වූයේ කුමක් නිසාදැයි ඔහුම නොදත්තේය. මිනිසුන්ට වඩා පහසුවෙන් දෙවියන් විසින් මහලු තමන්ව හඳුනාගනු ඇතැයි ඔහුට සිතුණා ද විය හැකිය. ඈත අහසේ නොව, දෙවියන් තමාට පෙනෙන දුරකින් වෙසෙන්නේ යැයි ඔහුට හැඟුණාදැයි කිව නොහැකිය.
එහෙත් කිසිදු උගත්කමක් නැතිව, කිසිවක් ලියන්නට කියවන්නට නොදැන, දිළිඳුව, මහලුව හිස් අතින් තමා දෙවියන් හමුවන්නට යාම ගැන දැන් ඔහු තමන් ගැනම පුදුමයට පත් වුණේය. දේවාලයේ කපු මහතා තමන්ට දෙවියන් හමුවීමට ඉඩ ලබා නොදුන්නේ කුමක් නිසාදැයි දැන් ඔහුට මනාව අවබෝධ විය.
නුග ගහ එහා පැත්තේ කුඩා දරුවාත් මවත් සුවසේ නිදාගෙන සිටිනු ඇති බව හදිසියේම ඔහුට සිහිපත් විය ඒ සමඟම නැවත ඔහුගේ හදවත මහත් සොම්නසකින් පිරී යන දෙස ඔහු බලා සිටියේය.
හදිසියේම නුග ගස අවට සුදු ආලෝකයකින් බබලන සැටි මගියා පුදුමයෙන් බලා සිටියේය. ඒ සමඟම දිව්‍යමය සුගන්ධයකින් අවට පිරී ගියේය. ඊළඟ මොහොතේ තමන් ඉදිරියෙහි වූ සුදු ආලෝකය මත කිසියම් රුවක් නිර්මාණය වන සැටි මගියා පාෂාණිභූතව බලා සිටියේය. දැන් ඒ රුව සම්පූර්ණ වූයේය. සුදු, උස මහත් තේජසින් බබළන දිව්‍යමය රූපයක් සෙමින් මගියා අසලට පැමිණියේය. ‘‘සර්ව සම්පූර්ණ දෙවියෝ’’ මගියාට කියැවිණි.
සිනාමුසුව තමා අසලට පැමිණි මහා දෙවියා තමන් ඉදිරිපිට දණ නමා දෑත් නළලට තබා තමාට වඳින සැටි ඉනික්බිති මොහොතේ ඔහු දුටුවේ නැගී සිටීමට හෝ කතා කිරීමටද අමතක වී සිටියදීය. සර්ව විභූෂිත දෙවියෝ තමා ඉදිරිපිට දණ ගසාගෙන සිටිමින් තමා වන්දනය කරන මොහොතේ නුග මුලින් නැගී සිටීමට ඔහුට නොහැකි විය. කිසියම් අදිසි බලයකින් තමා මුල මත සවිකළාක් මෙන් ඔහුට දැනුණේය.
මහ දෙවියෝ ස්වකීය සිනාමුසු දිව්‍යමය මුව විවර කළෝය. ‘‘පින්වත් උත්තමයාණෙනි, අද දවසේ ඔබ විසින් සොයා පැමිණි යම් කිසිවෙක් වේද? ඒ මහ දෙවියා මම වන්නෙමි. ඔබ උතුම් දුර්ලභ, පින්වත් මනුෂ්‍යයෙකු නිසා මම ඔබට නමස්කාර කරමි. ඔබ කළ උතුම් පරාර්ථකාමී සත් ක්‍රියාවල ගුණ සුවද දෙව්ලොව කරා ළඟා වී දැන් බොහෝ කාලයක් ගතවී ඇත්තේය. ඔබගේ නිශ්ශරණාධ්‍යාශ මහ පින්කම්වලින් දෙව්ලොව පවා සුවඳවත් වී ඇත්තේය. දෙවිවරු ඒ පිළිබඳව මහ සතුටින් කථා කරති. මා වෙනුවෙන් වෙන්කර ඇති දෙවොල වන්නේ උතුම් මිනිසුන්ගේ. පරාර්ථයෙහි යෙදෙන මිනිසුන්ගේ හදවත්ය. උතුම් දේ සිතන, උතුම් දේ කතා කරන, උතුම් සත් ක්‍රියා සිදුකරන මිනිසුන්ගේ හදවත්වලය, මා නිති වාසය කරන්නේ. උදාර මනුෂ්‍ය පුත්‍රයාණෙනි. තුසිත දෙව්ලොව අද ඔබ බලාපොරොත්තුව සිටින දවසයි. තෙදවත් මහ දෙවියෝ දිව්‍යමය සිනාවකින් යුතුව මගියාගේ දුහුවිලි පිරුණු දෙපා දිව්‍යමය මාලා දාමයකින් පිදුවෝය.
උදෑසන වනවිට නිහඬ නුග ගස මුල වූයේ නිසල සිරුරකි. එහි උඩුකය නිරුවත්ව තිබිණ. දෙපා මත හඳුනාගත නොහැකි මල්වලින් සෑදු සුගන්ධවත් අලංකාර මාලා දාමයක් රැඳී තිබිණ. එහි මුහුණ දිව්‍යමය සිනාවකින් යුතුව ඈත අහසට යොමුව තිබිණ.
විමලසේන ජයලත්
ඉබ්බාගමුව.