දෙවියන්ට පූජා තියද්දී බිය වෙන්නේ ඇයි?


 

පූජා ක්‍රම විවිධය. ඒ ඒ සංස්කෘතීන් විසින් උරුම කර දෙන ලද චාරිත්‍ර වාරිත්‍ර අනුව මෙම පූජාවන් මහත් ඕනෑකමින් ඉටුකරනු ලබයි. අප රටෙහිද එම පුද පූජාවන් ආගමික වශයෙන්ද සංස්කෘතික අංග වශයෙන්ද ඉටු කරන්නේ ඒ පිළිබඳව විශ්වාසයෙනි. පෙරහර මංගල්‍ය පැවැත්වීම, නානුමුර මංගල්‍යය, ගම්මඩු දෙවොල් මඩු නැටීම, අංකෙළිය ආදී තවත් පූජා රැසකි. කොයි කව්රුත් බොහෝ ගෞරවයෙන් ‘දෙවියන් උදෙසාද’ පුද පූජා ඉටු කරති.   


දෙවියන්ට බාරහාර වීමෙන් අනතුරුව තම කරුණු ඉටුවීමෙන් පසු මෙලෙස පූජා පවත්වයි. මෙම පූජා අතර පලතුරු පූජාවන් ප්‍රමුඛය.   
පළතුරු පූජාවන් තැබීමේදී බොහෝ දෙනෙක් මේවා ඉටු කරන්නේ බෙහෙවින් බයපක්ෂපාතීත්වය ඇතුවයි. ගෞරවයට අමතරව අනිසි බිය ඇතිකර ගැනීම හෙවත් දෙවියන්ට බියෙන් යුතුව පූජා කිරීම සුදුසුද? බෞද්ධ අප මෙය වඩාත් විමසීමෙන් තේරුම්ගත යුතුය. එනම් දෙවියන් අතරද සම්‍යදෘෂ්ටික හා මිත්‍යා දෘෂ්ටික ලෙස කොටස් දෙකක් සිටියි.   
මේ අතරින් සම්‍ය දෘෂ්ටික දෙවිවරුන් මිනිසුන් හට පිහිට වන්නේ ඔවුන් ශීලාදී ගුණයන්ගෙන් පෝෂිත වූ පුද්ගලයන් වූ විටය. ඔවුන් අපගේ පූජා වට්ටියට සලකන්නේ නැත. යමෙක් උසස් ගුණධර්ම තුළ ජීවත් වෙයිද ඔහු වෙත සම්‍යදෘෂ්ටික දෙවියන්ගේ රැකවරණය උදාවේ.   


ඕනෑම කෙනෙක් ගෞරවයට වන්දනාවට ලක්වීමට ප්‍රිය වෙයි. දෙවියයෝ එසේ වෙති. අප දෙන පලතුරු කැවිලි මත යැපීමට දෙවියන් ලඝු නොවේ. දෙවියන්ට පෙර තමන් කර ගත් පිනෙන් දිව්‍ය භෝජන දිව්‍ය සම්පත්තීන් ලැබී තිබේ. ඒ බැව් විමානවස්තුවේ මනාවට විස්තර කරයි.   


එසේ වුවද යමෙක් දෙවියන්ට ගෞරවයෙන් යමක් පුදයිද ඔහු සීලවන්ත නම් දෙවියන්ගේ පිළිගැනීමට ලක්වනු ඇත. යමෙක් තාන්නමාන්නවලින් පොහොසත් වුවද ඔහුට වඩා යමෙක් දුප්පත් වුවත් භක්තියෙන් කුඩු රොටියක් පූජා කළද දෙවියන් එයට ගරු කරන්නේ ප්‍රතිපත්තියේ ඇති බලය නිසාවෙනි. 

 
පෙර බරණැස් නුවර සැණකෙළි සමයක් විය. සෑම කෙනෙක්ම පාහේ තම තම ශක්ති පමණින් දෙවියන් පිදීම සිදු කළේය. එක් දුගී පුරුෂයෙක් පිදීමට දෙයක් නොමැති තැන කුඩු කැවුමක් සාදා හා පිරුවට ඇඳ මහත් භක්තියෙන් දෙවියන් අධිගෘහිත එරඬු ගස අසලට ගොස් කල්පනා කරන්නට විය. මා දුප්පත් නිසා මගේ පූජාව දෙවියන් පිළිගනීද? මෙය කුඩු කැවුමකි. පිදීමට තරම් සුදුසු නොවෙයි. අහෝ එය මමම අනුභව කරමියි සිත් පහළ කරගනිමින් කනගාටු විය. මෙම යාදින්න ඇසූ වෘක්ෂාධිගෘහිත බෝසත් දේවතාවා අර්ධ ශරීර දක්වා මෙසේ පැවැසීය.   


යතන්තො පුරිසො හොති තථන්තාතස්ස දෙවතා අහරෙතං කණං පුවං මාභොගං විනාසයි

   
ඉදින් තෝ ඉසුරුමත් වී නම් මට මධුර ආහාර දෙන්නෙහිය. තෝ දිළිඳු බැවින් මම තාගේ තෙල කුඩු කැවුම් නොකා කුමක් කන්න දැයි කියූහ. 

 
එවිට දිළින්දා කුඩු කැවුම හා පැන් භාජනය පිදීය. එවිට මී මැස්සකු මලින් රොන් ගන්නා සේ එම ඕජාවෙන් ප්‍රීතිව දේවතාවා මෙම පුරුෂයාට යහපතක් කළ යුතු යැයි සිතීය. යහපත් සිතින් මා හට පූජා කළ මොහුව දිළිඳු බවින් මිදවිය යුතු යැයි සිතා එරඬුගස වටා තිබූ සතර මහානිධාන ඔහුට පෙන්වීය. මේවා රැගෙන සිටු තනතුරු ගනුවයි කියා දේවතාවා අන්තර්ධාන විය.   


පූර්වයේ සඳහන් කළ කතාවට අනුව පෙනී යන්නේ මහත්සේ ණය වෙමින් ලෝකයාට පෙනෙන්නට උජාරුවෙන් පුද පූජා කරනවාට වඩා තමාට ඇති සැටියෙන් පිරිසිදු සිතින් අල්ප දෙයක් පූජා කළද එහි ප්‍රතිඵල යහපවත් වන බවයි. අද බොහෝ දෙනා විවිධ ශාස්ත්‍ර කරුවන් විසින් නියම කරන විවිධ පූජා ණය වෙමින් ඉටු කරති. නමුත් ලද ප්‍රතිඵලයක් නැත. ප්‍රඥාවෙන් බැලූ කල පෙනී යන්නේ මෙම පූජා එකක්වත් දෙවියන් අපට මෙසේ දෙන්න කියා කියූ ඒවා නොව දේවගැතිවරයා විසින් අප මෙසේ දෙවියන්ට දිය යුතුය යන්න නියම කරන ලද ඒවා බවය.  


හැකි හැම විටම තමන්ගේ සිත පිරිසිදුව මානසික සහනයෙන් යුතුව කරන පූජාව ඉතා උසස් ඵල ගෙන දෙයි. දෙවියන් යනු යහපත් පිරිසකි. එනම් ඔවුන්ට අපගේ ඇති නැති භාවයද දැකීමට හැකිනම් අප අපට අවංක වී ඇති සැටියෙන් දේව පූජා කිරීම කිසිදාක දේව උදහසකට ලක් නොවෙනු ඇත.  


එබැවින් සෑම විටම තෙරුවන් වැඳ පුදා පිරිස් සජ්ඣායනා කොට දෙවියන්ට පිං දී හැකි දෙයක් පිරිසිදුව හා ගෞරවයෙන් පූජා කිරීම යහපති. දේව පිහිට ලැබීමේ ප්‍රබල රහස නම් සත්‍යවාදීව ඇති හැකි අයුරින් ගෞරවයෙන් දෙවියන් පිදීමය. පූජා ද්‍රව්‍යයන්ට වඩා ඔබගේ සත්‍යවාදී බව දෙවියෝ වඩාත් අගය කරති.

 

 

කොළඹ සරසවියේ  
ආර්. රධික ජීවන්ත