දහවල් කෑම පැයේ දී පල්ලියට ගිය සිල්වෙස්ටර් කෑම පැය අවසන් වන්නට විනාඩි කිහිපයක් තිබිය දී කන්තෝරුවට පැමිණ තම අසුනට බර වූවේය. කාර්යාලය මගින් සංවිධානය කරන නත්තල් සාදයක් සඳහා උදෑසන සිටම කන්තෝරුවේ සේවක සේවිකාවන්ගෙන් මුදල් එකතු කළ පුන්සිරි නැමති ලිපිකරුවා ළඟ පාතක පෙනෙන්නට නොසිටීම ඔහුගේ සැනසිල්ලට හේතුවක් විය. උදෑසන ඔහු ලැයිස්තුවක් ද රැගෙන කාර්යාලය වටේ යමින් මුදල් එකතු කළ අවස්ථාවේ ඔහුගෙන් ගැලවීම පිණිස සිල්වෙස්ටර් කිහිප වරක් ලොක්කාගේ කාමරයටත් දෙතුන් වතාවක් වැසිකිළියටත් ගියේය. මෙසේ වරින් වර පුන්සිරි මග හරිමින් සිටි සිල්වෙස්ටර් කෑම පැය ඇරඹෙනවාත් සමඟම පල්ලියට යෑම පිණිස කාර්යාලයෙන් බැහැරව ගියේය.
පල්ලියේ සිට පැමිණ නැවත රාජකාරියෙහි නිරත වූවත් සිල්වෙස්ටර්ට මතක් වන්නේ පුන්සිරිවය. ඔහු ළඟ පාතක පෙනෙන්නට නැත. තමා නැති අතර ඔහු වරුවක් නිවාඩු දමා ගොසින්වත්දැයි ඔහුට සිතුණි. ඔහු නිවාඩු අයදුම්පත තම මේසය මත තිබිය යුතුය. සිල්වෙස්ටර් තම මේසය මත තිබූ ලිපිගොනු කිහිපය එහා මෙහා කර නිවාඩු අයදුම්පතක් ඇත්දැයි පරීක්ෂා කළේය.
“ආ සිල්වෙස්ටර් මහත්තයා... කොහෙද ගිහින් හිටියේ... මම හැම තැනම හෙව්වානේ... කොහොද ඉතින් අපි වගේ කැන්ටිමෙන් කන එකක් යැයි.. කොටුව පැත්තට ගිහින් හොඳ හෝටලයක් අල්ලන්න ඇති ලන්ච් එකට.”
හදිසියේම සුරා සැරක්ද සමඟ පුන්සිරිගේ කටහඬ ඇසීම නිසා සිල්වෙස්ටර්ට හීන් දහඩිය දැම්මේය. ඔහු මේසය පසෙක තිබූ උපැස් යුවල පැළඳගෙන පුන්සිරි දෙස බැලුවේය. පුන්සිරි සිනාසෙමින් ඔහු අත තිබු ලැයිස්තුව සිල්වෙස්ටර් වෙත දිගු කළේය.
“තනිකඩයෙක්ගෙන් නම් අපි පන්සියක් ගන්නවා. පවුල් කාරයෙක්ගෙන් නම් දාහයි. පවුල් කාරයන්ට පුඑවනි තමන්ගේ භාර්යාව දරු මල්ලන් එහෙම එක්ක එන්න. ළමයින්ට අපි තෑගිත් දෙනව... ඉතිස් සිල්වෙස්ටර් මහත්තයා අපේ චීෆ් ක්ලාක් නිසාත් ඔබතුමා සහභාගී වන පළවෙනි නත්තල් සාදය නිසාත් වැඩිපුර යමක් දුන්නත් අපි බොහොම සන්තෝසෙන් ස්තූති පූර්වකව බාර ගන්නවා.”
ලැයිස්තුව වෙත නෙත් යොමු කරමින් සිල්වෙස්ටර් මොහොතක් කල්පනා කළේය. රුපියල් දහසක් කියන්නේ පොඩි පහේ මුදලක් ද සතියකට පෙර ගමේ කච්චේරියෙන් කොළඹට මාරුවීමක් ලැබූ දා සිට ඔහු දවාලට කෑම කෑවේවත් නැත. ආහාර ගැනීම ඔහු උදේට හා රාත්‍රියට පමණක් සීමා කළේය. දහවල් කෑම විවේකයේ දී පිටකොටුවේ පිලිප්නේරි පල්ලියට ගොස් යාඤා කරන ඔහු කෑම විවේකය අවසන් වන්නට සුළු වේලාවකට පෙර යළි කාර්යාලයට ඇවි ද ගෙන ඒම පුරුද්දක් කර ගත්තේය. කුසගින්න තදින් දැනුණත් කොළඹ ජීවත් වෙන්නට තිබෙන අමාරුව දන්නා නිසා ඔහු හැම සතයක්ම වියදම් කළේ බොහෝ ප්‍රවේශමිණි. දෙයියනේ කියාගෙන ගමේ කච්චේරියට වී කාටත් යුක්තියත් සාධාරණයත් ඉටු කරමින් සිටි තමා කොළඹට මාරු කර දමන්නට සම්බන්ධ වූ ප්‍රාදේශීය දේශපාලනඥයාට ඔහු සිතින් ශාප කළේය. නීති විරෝධී ලෙස වැලි ගොඩ දමමින් සිට දේශපාලන හිතවතාට වැලි ගොඩ දැමීම පිණිස නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා දෙන ලෙස දේශපාලනඥයා විසින් කරන ලද නියෝගය ප්‍රතික්ෂේප කිරීම ඔහුගේ ස්ථාන මාරුවට හේතුව විය.
“මොකද බොස් කල්පනාවර චීෆ් ක්ලාක් ඔය විදිහට කල්පනා කරනව නම් අපි වගේ තුට්ටු දෙකේ ක්ලාක්ල කොහොම කල්පනා කරන්න එපාද.”
පුන්සිරිගේ කතාවට සිල්වෙස්ටර් තුළ ලැජ්ජාවක් මෙන්ම කෝපයක් ද ඇතිවිය. ඔහු ඒ බවක් නොහගවා සාක්කුවට අත දමා මුදල් පසුම්බිය ඉවතට ගෙන එහි තිබූ රුපියල් දාහේ කොළය අතට ගෙන නහය හකුළුවා ගනිමින් පුන්සිරි අත තැබුවේය. රුපියල් දහස අතට ගත් පුන්සිරි වහා එතැනින් ඉවත්ව ගියේය.
අවුරුදු දහය ලබද්දී ලොකුපුතාට වැළඳුනු අපස්මාරය රෝගය නිසා සිල්වෙස්ටර් මෙන්ම බිරිඳත් මානසිකව ඇද වැටිණි. දරුවා සුව කර ගැනීම පිණිස රට පුරා ඉන්නා බටහිර මෙන්ම දේශීය වෛද්‍යවරුන් වෙත යෑමේදී ඉතිරි කර තිබූ සියලු මුදල් වියදම් කරන්නට සිදුවිය. දරුවන්ගේ ඕනෑ එපාකම් ඉටුකොට තුන්වේල කන්නට මාසික වැටුප කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. වැලි ගොඩ දැමීම පිණිස නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා දුන්නා නම් සන්තෝසම් වශයෙන් රුපියල් ලක්ෂයක් ලබා ගන්නට හැකියාව තිබිණ. එහෙත් එවැනි නීති විරෝධී වැඩ කරන්නට සිල්වෙස්ටර් කැමති නැත. හැමදේටම වඩා ඔහුට ආත්ම ගෞරවය වටී.
ස්ථාන මාරුව ලැබී කොළඹට එන දවසේ බිරිඳගේ මංගල මුද්ද උකසට තබා ලබාගත් රුපියල් එක්දහස් පන්සියයෙන් රුපියල් දහසක් ප්‍රවේශම් කරගෙන සිටියේ නත්තලට ගමේ යන විට දරුවන් දෙදෙනාට මොනවා හෝ රැගෙන යන අදහසිනි. එහෙත් එය බහිරවයා ගිල ගත්තේය. ගමේ කච්චේරියේ දී නම් ඔහු කිසිම දිනක මෙවැනි සම්මාදම් ලැයිස්තු දැක නැත. කොළඹ කන්තෝරුවල තිබෙන්නේ ගමට වඩා වෙනස් සිරිත් විරිත්ය.
ලොවට සාමය උදාකළ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඡන්ම දිනය සමරන්නට ඔවුන් සූදානම් වන්නේ මත්පැන් හා රස මසවුළු පිරී ගිය සාදයක් පැවැත්වීමෙනි. ගමේ කන්තෝරුවේ නොතිබුණු දේවල් කොළඹ කන්තෝරුවේ තිබීම පිළිබඳව සිල්වෙස්ටර් තුළ ඉමහත් කලකිරීමක් මෙන්ම වේදනාවක් ද ඇතිවිය. නත්තල් දවසට පල්ලියට ගොස් ආගමික වතාවත් ඉටුකර අඹු දරුවන් සමඟ එක්ව තියෙන දෙයක් බෙදා හදාගෙන කෑම තරම් සතුටක්, සාදයක් පවත්වා මත්පැන් පානය කර මනස විකෘති කර ගැනීමෙන් ලැබිය හැකිද?
නත්තල් සාදය පැවැත්වුණේ නත්තලට පෙර දින හැන්දෑවේය. එදින ගමේ යන්නට සිල්වෙස්ටර් මුල දී සිතා සිටියත් පසුව ඒ අදහස වෙනස් කර දැමීය. ඒ කාරණා දෙකක් හේතුකොටගෙනය. පළමු කාරණය නම් ප්‍රධාන ලිපිකරුවා වන තමන්ව අන් අය විසින් කොන් කර දමාවිය යන බියයි. අනික් කාරණාව සම්මාදම් කළ රුපියල් දහස වෙනුවෙන් කිසියම් ප්‍රථිලාභයක් ලබා ගැනීමේ අපේක්ෂාවයි. සවස පහට සාදය ආරම්භ කරන බව දන්වා තිබුණත් සිල්වෙස්ටර් එතැනට ගියේ රාත්‍රී හතට පමණය. වෛවාරණ ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු ගැහැණු පිරිමි දෙපාර්ශවයෙන්ම ශාලාව පිරී තිබුණි. විවාහකයන් පැමිණ සිටියේ ඔවුන්ගේ බිරින්දෑවරු හා දූ දරුවන් සමඟය. පුංචි දරුවන් ඔවුන්ට ලැබුණු තෑගි බෝග හා සෙල්ලම් බඩු තුරුළු කරගෙන ප්‍රීති වෙති. සිල්වෙස්ටර්ට බිරිඳත් දරු දෙදෙනාත් මතක් විය. රෝගී ලොකු පුතා සිහිවෙද් දී ළය පැළී යන තරමේ වේදනාවක් ඔහු තුළ ඇතිවෙයි. පුතා බිම ඇද වැටී සෙම පෙරාගෙන දතකට පූට්ටු වී සිටින ආකාරය මැවී පෙනෙයි. ශාලාවේ සිටින පිරිමි සියලු දෙනාම සිටින්නේ මත්පැන් බී අවුල් කරගත් මනසින් යුතුව බැව් ශාලාවට ඇතුල් වූ සැනෙකින්ම ඔහුට අවබෝධ විය. ඔහු හිස්ව තිබූ පුටුවක වාඩි වූවේය. ඒ සමඟම මත්පැන් බී වෙරිවුණු කාර්යාල කාර්ය සේවකයෙක් පැමිණ සිල්වෙස්ටර් අසලින් අරක්කු බෝතලයක් සහ කෑම බන්දේසියක් තබා ඔහු දෙස බලමින් සිනාසුණේය.
“ඇයි පරක්කු වුණේ. වේලාසනින් එන්න තිබුණනේ. කමක් නැහැ. හොඳට බොන්න සිල්වෙස්ටර් හොඳට කන්න.”
ගමේ කන්තෝරුවේ දී නම් මඟුල් ගෙදරකට ගියත් වෙනත් උත්සවයකට ගියත් සිල්වෙස්ටර්ට මුල්තැන ලැබෙයි. එහෙත් මෙහි ඔහුට කිසිම තැනක් නැත. මත්පැන් පානය වැනි නොහොබිනා සිරිත් විරිත්වලින් ඈත්ව සිටීම නිසා තමා සමාජයෙන් කොන්වී ඇතැයි යන හැඟීමක් ඔහු තුළ ඇතිවිය.
සිල්වෙස්ටර් කල්පනා කරමින් සිටින අතර අරක්කු බෝතලය හා කෑම බන්දේසිය ගෙනැවිත් තැබූ සේවකයා යළි පැමිණියේය.
“මොකද සිල්වෙස්ටර් කල්පනාව. ඇයි බොන්නේ නැද්ද ?”
අනතුරුව ඔහු කිසිම ගරුසරුවක් නැතිව ඇසීය.
ඔහු කතා කළ ආකාරයට සිල්වෙස්ටර් තුළ දැඩි කෝපයක් ඇතිවිය. කාර්යාලයේ සිටින සුළු සේවකයා පවා තමාට කිසිම ගරු සරුවක් නැතිව කතා කරන හැටි යැයි ඔහුට සිතින.
“මොකද සිල්වෙස්ටර් අමනාපෙන් වගේ ? මොකෝ බොන්නෙ නැද්ද ?”
ඔහු නැවත ඇසුවේය.
“නැහැ සිල්වෙස්ටර් බොන්නෙ නැහැ.”
සේවකයා දෙස රවා බැලූ සිල්වෙස්ටර් කෝපයෙන් කීවේය.
“මොනවා... බොන්නෙ නැහැයි කිව්ව. එහෙනම් මෙහෙ ගන්නවකෝ ඔය බෝතලේ.”
නැඹුරු වී බෝතලය අතට ගත් සේවකයා එහි මූඩිය ගලවා දමා එය දෙතොලතර තබාගෙන උගුරක් දෙකක් පානය කළේය. සිල්වෙස්ටර්ගේ ඇඟ හිරි වැටී සිරුර පුරා හිරි ගඩු පිපුණු බැවින් ඔහු වහා ඉවත බලා ගත්තේය.
සංගීත රාවය ශාලාව පුරා පැතිර යයි. ඒ අනුව ගැහැණු පිරිමි දෙපිරිසම එක්ව නටති. ඔවුහු ජේසු බිලින්දාගේ ගීතය ගායනා කරමින් එකිනෙකා වෙත තුරුළු වෙති. අනේ මෙහෙමත් නත්තලක් යැයි ඔහු තමාටම කියා ගත්තේය. තමා අසල තිබෙන කෑම බඳුනේ සුවඳ ඉවසා ගෙන ඉන්නට බැරිම තැන සිලේවෙස්ටර් කෑම බඳුනින් පැටිස් එකක් ගෙන හපන්නට විය. එහෙත් ඒ සමඟම පොඩිවුන් දෙන්නා සිහි වූ නිසා ඔහුගේ පපුව දැවෙන්නට විය. තමා එනතුරු දරුවන් දෙන්නා මවට තුරුළු වී කුසගින්නේ බලා ඉන්නා ආකාරය ඔහුට මැවී පෙනෙන්නට විය. ඔහුගේ දෙනෙතට කඳුළු පිරුණි. ඔහු බාගෙට හපපු පැටිස් එක පුටුව යටට විසිකර දැමුවේය.
පොඩි දරුවෙක් ඔහුට ලැබුණු සෙල්ලම් කාරයක් සිල්වෙස්ටර් දෙසට තල්ලු කළේය. සිල්වෙස්ටර්ගේ කකුලේ වැදී සෙල්ලම් කාරය නතර විය. ඒ දරුවාට ඇත්තේ ලොකු පුතාගේ මුහුණමය. ඔහුට යළිත් දරු දෙදෙනා සිහිවිය. ඉක්මණින් ගෙදර යා යුතුයැයි සිතු ඔහු සාදය සංවිධානය කළ ලිපිකරුවා අසලට ගියේය.
“පුන්සිරි මහත්තයා. මම යන්න කියලයි හැදුවේ. ටිකක් දුර බැහැර යන්නත් ඕනෙනෙ. මටත් පොඩි දෙන්නට ගිහින් දෙන්න පොඩි සෙල්ලම් බඩු දෙකක් දෙනවද? මෙලහකටත් පොඩි වුන් මග බලාගෙන ඇති මම එනකම්.”
සිල්වෙස්ටර්ගේ බැගෑපත් ඉල්ලීමට පුන්සිරි මහ හඬින් සිනාසුණේය.
“චීෆ් ළමයි එක්කගෙන ආවේ නැහැනෙ. ඉතින් තෑගි දෙන්නෙ කොහොම ද? අපි තෑගි දුන්නේ අද මෙතනට ආපු ළමයින්ට විතරයි. මම කියන්න ද වැඩක්. තෑගි ඕනෙ නැහැ. තව පොඩි අඩියක් ගහල ඕනෙ නම් ඔය බිත්තියෙ එල්ලල තියෙන බැලුම්බෝල දෙක තුනකුත් කඩාගෙන යන්න.”
එසේ කියු පුන්සිරි නටමින් සිටින පිරිසට එකතු විය. සිල්වෙස්ටර්ගේ දෑසින් කඳුළු කඩා පැන්නේය.
බෙත්ලෙහෙම් පුරේ
බිළිඳු ගව ලෙනේ
ඔරුව තුළේ
ජේසු බිළින්දා
සාමේ රජින්දා
සිල්වෙස්ටර් කිසිවෙකුටත් නොදන්වා ශාලාවෙන් එළියට පැමිණියේ දැඩි සංවේගයෙනි. ඔහු නිවසට පැමිණෙන විට මැදියම් රැයට ආසන්නව තිබිණ.
“ඇයි ඔයා ප්‍රමාද වුණේ. ඔයා එනකම් මෙච්චර වෙලා බලා ඉදළා පුතාල දෙන්න දැන් තමයි නිදා ගන්න ගියේ. මම මෙච්චර වෙලා කල්පනා කළේ. ඔයා අවේ නැතිනම් අපි පූජාවට යන්නෙ කොහොමද කියලා.”
බිරිඳ සැමියාගේ අතඅල්ලා ගනිමින් පැවසූවාය.
“දරුවෝ දෙන්නට මොනවද කන්න දුන්නෙ ?”
ඔහු දරුවන් නිදා සිටින කාමරය දෙසට පා තබමින් ඇසුවේය.
“පොල් සම්බෝලයක් හදලා බත් කන්න දුන්නා. ඒක කාල නිදා ගත්තා. බිත්තරයක්වත් හදලා දෙන්න අතේ සල්ලි තිබුණෙ නැහැ.”
බිරිඳ ඉමහත් සෝකයෙන් යුතුව කීවාය.
“දවල්ට කෑවෙ මොනවාද ?”
“දවල්ටත් ඒවම තමයි”
සිල්වෙස්ටර්ගේ දෑසට කඳුළු ඉනුවේය. ඔහු නිදා සිටින දරුවන් දෙදෙනා එකවර වඩා ගත්තේය. සාදයට දුන් රුපියල් දහස තිබුණා නම් නත්තල් දවසේ දරුවන්ට වේලක් හෝ හොඳින් කන්න දෙන්න තිබුණා නොවේදැයි ඔහුට සිතිණි.
“ඇයි මේ ඇස්වල කඳුළු පුරවගෙන ? ඔයාට අලුත් කන්තෝරුවේ කරදරයක්වත්ද ?”
සැමියාගේ දෙනෙතේ කඳුළු පිරී තිබෙණු දුටු බිරිඳ කනස්සල්ලෙන් යුතුව ඇසුවාය.
“එහෙම මුකුත් කරදරයක් නම් නැහැ.”
“එහෙනම් ?”
ඇය නැවත ප්‍රශ්න කළාය.
දරුවන්ට යමක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් ප්‍රවේශම් කරගෙන සිටි රුපියල් දහස බහිරවයා ගිලගත් අයුරු ඔහු බිරිඳ සමඟ විස්තර කළේය.
“ඒකට කමක් නැහැ. ඔයා ඒ ගැන දුක් වෙන්න එපා. අපි හෙටත් සම්බෝලයි බතුයි කමු. එහෙම කාල හරි සතුටින් සාමයෙන් ඉන්න පුළුවන් නම් එතන තමයි නත්තල් සතුට තියෙන්නෙ. දැන් මූණ කට සෝදගෙන එන්න. ඔයාට මහන්සි ඇතිනෙ. ඊට පස්සේ අපි පල්ලියට යමු. ගිහින් යාඤා කරමු අපට හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා. දෙවියන් වහන්සේ අපට සැනසීම ලබා දේවි. ඒක ස්ථිරයි.”
විදුලි බුබුලින් සරසන ලද ඈත පෙනෙන දේවස්ථානය වෙත දෙනෙත යොමු කරමින් ඇය කීවාය. ඇගේ වදන් වලින් සිල්වෙස්ටර්ගේ පෑරුණු සිතට දැනුණේ බලවත් සැනසීමකි. වඩාගෙන සිටි දරු දෙදෙනා ඔහු තරයේ තුරුඑ කර ගත්තේය.
උපාලි වනිගසූරියගේ සිටු කුමරුන් අතර (1982) කෙටිකතා සංග්‍රහයෙනි
උපාලි වනිගසූරිය