නයිල් ගඟෙන් උපන් විද්‍යාවේ දායාදය


 

අද පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන්ගේ සොයා ගැනීම් වලට අනුව ඊජිප්තු ශිෂ්ටාචාර යුගය ක්‍රි.පූ. 5000 පටන් ක්‍රි.පු. 1100 දක්වා කාලයකට දිවයන බව පිළිගැනේ. ඔවුන්ගේ ශිෂ්ටාචාර සමයේ පැවති ශ්‍රේෂ්ඨ නිර්මාණ ලෙස සැලකෙන්නේ පාරාවෝ රජ පරපුර ගොඩනැගූ පිරමීඩ සමූහයයි. පැරණි ඊජිප්තුවේ පාරාවෝ හෙවත් රජු රාජ්‍යනායකයා වශයෙන් පමණක් නොව ප්‍රධාන පූජකවරයා ද වශයෙන් දෙවියන්ගෙන් වරම් ලත් මෙලොව නියෝජිතයා ලෙස සැමගේ ගෞරවයට පාත්‍ර විය.   


ඈත යුගයේ පටන්ම ඊජිප්තු ජනතාව උසස් කාර්මික දැනුමක් සහිත දියුණු ශිෂ්ටාචාරයක් පැවැති බවට සාක්ෂි ලැබේ. නයිල් ගඟ පිටාර ගැලීම හේතුවෙන් දියුණු කෘෂිකර්ම ව්‍යාපාරයක්ද ඔවුන් සතු විය. මෙකල විස්මිත නිර්මාණ ලෙස පිරමීඩ ගොඩ නගා ඇත්තේ මූලික තාක්‍ෂණ දැනුමෙන් හෙබි විශාල කම්කරුවන් සංඛ්‍යාවක ශ්‍රමය වැය කිරීම මතය. දැවැන්ත නිර්මාණ ලෙස මෙම පිරමීඩ ගොඩනැගීම සඳහා පැතලි හුණුගල් කුට්ටි එකක් ටොන් දෙකහමාරක් බරැති ගල් කුට්ටි 2300000ක් යොදා ගෙන ඇත. ත්‍රිකෝණ හැඩයට ඉදිකර ඇති එහි මූණත උස අඩි 481කි. එහි පාදම අක්කර 13.1ක බිම් ප්‍රමාණයක් වසා සිටී. මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම් කටයුතු නිම කිරීමට වසර 20ක් ගත වූ අතර ඒ සඳහා කම්කරුවන් 12000ක් වූ බවත් සඳහන් වේ.   


මොවුන් විසින් ඉතා දියුණු උපකරණ හා මෙවලම් භාවිතා කළ බවට සාක්‍ෂි තිබේ. විවිධ හැඩයේ මැටි බඳුන් නිපදවීමට කුඹල් සකය යොදා ගනු ලැබීය. ඔවුහු රෙදි විවීම දියුණු කර භාවිතා කළේය. පොරව, හෙල්ල, පිහිය බඳු මෙවලම් ලෝකඩ වලින් තනා ගත්හ. නයිල් ගඟ දෙපස ඉවුරුවල වැඩුණු පන් වර්ග තලා මට්ටම් කර කඩදාසි වැනි පත් ඉරු සකස් කොට ඒවා අකුරු ලිවීමට භාවිතා කළහ. ඔවුහු ලෝකඩ භාවිතා කර වීදුරු භාණ්ඩ ගෘහ උපකරණ සෑදීමේ කලාවද දැනි සිටියහ. පැරණි ඊජිප්තුවාසින් සම්භාණ්ඩ නිපදවීමේ ද නිපුණත්වය ලබා තිබුණි. ලොව ප්‍රථමවරට රුවල් සහිත බෝට්ටු තැනූ ඔවුහු එමගින් සිය නිෂ්පාදන මුහුදින් එතෙර දුර බැහැර රට වලටද යැවූහ.   


ඔවුන්​ගේ නිෂ්පාදන බෝට්ටු මගින් සිරියාව, ෆිනිසියාව, ලෙබනනය වැනි රටවලට යැවීය.   


එවක ඊජිප්තුවේ ඉතා දියුණු භාෂාවක් හා ලේඛන කලාවක් භාවිතා කළ බවටද සාක්‍ෂි ඇත. ඔවුහු ලිවීමේ කලාව ප්‍රථම වරට ලෝකයට නිර්මාණය කර දුන්නා පමණක් නොව කඩදාසි පෑන් හා තීන්ත වැනි ලිවීමේ උපකරණද භාවිතා කර ඇත. උල් කළ බටකූරු පෑන් වශයෙන් යොදා ගත්හ. එලවළු මැලියම් හා දුඹුල් (දැලි) සංයෝග කර තීන්ත සාදා ගත්හ.   
නයිල් ගඟ පිටාර ගලන නිසා ඔවුන්ගේ බිම් මායිම් නිතරම මැකී යාම හේතුවෙන් එය බරපතළ ප්‍රශ්නයක් වී තිබුණි. එනිසා ඔවුහු භූමිතිය විෂය වර්ධනය කළේය. ඊට ගණිත ක්‍රමයක්ද භාවිතා කළේය. ඔවුහු ගණිත ක්ෂේත්‍රයේ වැදගත් ප්‍රගතියක් අත් කර ගත්හ. එකතු කිරීම, සුළු කිරීම, වැඩි කිරීම, බෙදීම වැනි ගණිත විද්‍යාවේ මූලික අංග හොඳින් දැන සිටියේය. ත්‍රිකෝණ හා ඍජුකෝණමිති ක්‍රමද  දැන සිටියහ. මේ සියලු දැනුම් නිසා ඔවුනට සිය ඉඩකඩම් ගෘහ නිර්මාණ ශිල්පය, ඉංජිනේරු ශිල්පය පිළිබඳ පුළුල් දැනුමක් තිබුණි. එවැනි දැනුමක් එදා ඊජිප්තු වැසියන්ට නොතිබුණේ නම් අහස උසට පිරමීඩ වැනි සොහොන්කොත් හා ආගමික ගොඩනැගිලි ඉදිකළ නොහැකි වනු ඇත. වෘත්තයක ක්ෂේත්‍රඵලය වැනි විශ්කම්භයේ 8/9 හි වර්ගයට සමාන බව ඔවුන් විසින් ගණනය කර තිබිණි. 

 

 
ඊජිප්තුවාසීන් නක්ෂත්‍ර විද්‍යා දැනුම ද වර්ධනය කර තිබුණි. ඊජිප්තුවරුන්ගේ දිනය දහවල පැය 12ක් හා රාත්‍රී පැය12 කින් යුත් පැය 24ක දිනයක් විය. ලෝකයේ ප්‍රථම වරට චන්ද්‍රයාගේ ගමන් මාර්ගය පදනම් කරගෙන දින දර්ශනයක් සකස් කළේ පැරණි ඊජිප්තුවයි. එය ප්‍රමාණවත් නොවන බව දැනගත් ඔවුහු ඊළඟට සූර්යාගේ ගමන් මග පදනම් කර ගෙන දින දර්ශනයක් නිර්මාණය කළහ. සෑම මාසයකටම දින 30ක් ද සෑම ඍතුවකටම මාස හතරක් ද ඇතුළත් විය. අන්තිම දවස් පහ නිවාඩු දින බවට පත් කර ඇත. ඔවුන්ගේ සූර්ය වර්ෂ දින දර්ශනය අනුව අවුරුද්දට ඇති දින ගණන දින 365ක් විය. පැරණි ඊජිප්තුවාසීහු දෛනික ජීවිතයේදී කාලය ගැන බෙහෙවින් සැලකිලිමත් වූහ. එම කාර්යය සඳහා සූර්යයාගේ ඡායාවේ ප්‍රමාණය අනුව වෙලාව දක්වන ඔරලෝසුවක් සහ වේලාව දක්වන වීදුරුවක්ද ඔවුන් සතුවිය.   


සොහොන් කොත් අතුරින් ඉතාම අලංකාර ලෙසින් ඉදිකොට ඇති පාරාවෝවරුන්ගේ සොහොන් කොත් දැකිය හැකිය. මේ අතර ළාබාල අවිධියේදී මිය ගිය ටූටන්කාමන් නම් පාරාවෝවරයාගේ සොහොන් කොත සොයා ගත්හ. ඒ වන විටත් ඊට කිසිදු හානියක් සිදුවී නොතිබුණි. අඟල් 1/4ක් ඝනකමට රන්පත් වලින් නිමවා ඇති මිනී පෙට්ටියක් තුළ බහා දිරාපත් ​නොවී බොහෝ කලක් තබාගැනීම සඳහා බෙහෙත් ගල්වා තිබූ ඔහුගේ මල මිනිය සොයාගත හැකි විය. මිය ගිය සිරුර නරක්නොවී කල් තබා ගැනීමේ ක්‍රම ඔවුන්ගේ දැනුමේ විශිෂ්ට ඥ‌ානයක් විය.   


පැරණි ඊජිප්තුවරුන් වෛද්‍ය විද්‍යාව හා ශල්‍යකර්ම ක්ෂේත්‍රයේ විශ්මයජනක දැනුමක් ලබා සිටියේය. රෝග ලක්‍ෂණ අධ්‍යයනය කිරීමෙන් රෝග නිශ්චය කිරීමේ හැකියාව තිබුණි. එඬරුතෙල් සහ තවත් බෙහෙත් වට්ටෝරු ඇතුළත් ප්‍රතිකර්ම මිමී 700ක් පමණ සොයා ගෙන තිබේ. සොසර් රජුගේ උපදේශකයා වූත් මහ පිරමීඩය සැලසුම් කළ ඉංජිනේරුවරයා වූයේත් ඉම්හොමෙප් නමැති ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාය. ඔහු මිය ගිය පසු දේවත්වයලා සැලකීය. ඊජිප්තු වෛද්‍යවරුන් සිදු කර ඇති ශල්‍යකර්ම 48ක් පිළිබඳ තොරතුරු එඩ්වින් ස්මිත් පැපිරස්හි සඳහන් වේ. එරට වෛද්‍ය විද්‍යාව කොතරම් ප්‍රචලිතද යත් මධ්‍යධරණී ප්‍රදේශවල හා වෙනත් විදේශීය රටවල රෝගීන්ද ප්‍රතිකාර සඳහා මෙහි පැමිණ ඇත. වෛද්‍ය විද්‍යාව මුළුමනින්ම පාහේ පැවතියේ පූජකයන්ගේ ඒකාධිකාරිය යටතේය. තුවාල වලට ප්‍රතිකාර සඳහා පුස්පාන් බැඳීමද, විරේකය සඳහා එඬරු තෙල් පානය කිරීමද, වේදනා නාශකයක් ලෙස පොපිමල් යුෂ පෙවීමද විය. ශල්‍යවෛද්‍ය ක්‍රම සැලකිය යුතු වර්ධන මට්ටමක පැවතියේ කල් තබා ගැනීම සඳහා මෘත ශරීර සැකසීම මගින් සිරුරේ ව්‍යූහය පිළිබඳ ලැබූ අවබෝධය නිසා යයි සිතිය හැකිය. මානව වංශ ඉතිහාසයේ පියා ලෙස සැලකෙන ග්‍රීක ඉතිහාසඥයකු වූ ෂෙරඩෝටස් විසින් ඊජිප්තු ශිෂ්ටාචාර අවධිය නයිල් ගඟේ දායාදය ලෙස හැදින්වූයේ එකල එමගින් ලොවට දායාද කළ විශිෂ්ට නිර්මාණ හේතුවෙන් යයි නිගමනය කළ හැකිය.

 

 

කැනීෂියස් පලිහවඩන