නිරෝෂන් ඉලේපෙරුම
“තංගල්ල පොලීසියේ ස්ථානාධිපති විදියට තමයි මම රඟ පෑවේ.. මම බොහොම අවංක, සාධාරණ නිලධාරියෙක්.. රවීන්ද්‍ර රන්දෙනිය රඟ පෑවේ දූෂිත මන්ත්‍රිවරයෙක් විදියට.. විශේෂත්වය තමයි ඒ කාලෙ රවී අයියා ඇත්තටම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්.. මට පළමු වෙනිම දර්ශනේ රඟ පාන්න තිබ්බෙ රවී අයියත් එක්ක.. ඒ වගේ ප්‍රවීණ, දක්ෂ, ජ්‍යෙෂ්ඨ නළුවෙක් එක්ක රඟ පාන්න වෙනකොට ඕනම නවක නළුවෙකුට චකිතයක් දැනෙන එක සාමාන්‍යයිනෙ.. මමත් ක්ෂේත්‍රයට ආව අලුත හින්දා මටත් එහෙම දැනුණා.. ඊටත් දර්ශනයේ තිබුණේ රවී අයියට සැරට බනින්න.. එයාගෙ ගෝලයෝ පිරිසක් කසිප්පු පෙරලා අහු වෙලා පොලිසියට ගේනවා.. එයා එනවා බේරා ගන්න.. මම හොඳටම බැනලා ගහන්නත් යනවා.. ඉතින් මට ඕක අවුල්.. මම රවී අයියා ළඟට ගිහින් කිව්වම එයා කිව්වා හරි හරි මල්ලි.. බනින්න බැරි නම් ගහපන්.. රඟ පෑම කියන්නෙ ඒක තමයි කියලා.. එතකොට තමයි මගේ හිතේ තිබුණ චකිතය නැති වෙලා ගියෙ..”
මෙගා ටෙලි නාට්‍ය ආරම්භ වූ මුල් අවධියේ බොහෝ ජනප්‍රිය වූ නිලංජනා ටෙලි නාට්‍යයේ තමා රඟ පෑ පොලිස් නිලධාරියාගේ චරිතය පිළිබඳ මතක අවදි කරමින් නිරෝෂන් ඉලේපෙරුම පැවසුවේය. ශ්‍රී ලංකා ඉන්දියානු සම නිෂ්පාදනයක් ලෙස 2005 දී නිර්මාණය කෙරුණු නිලංජනා ස්වර්ණවාහිනියේ කොටස් 300ක් පමණ විකාශය වූයේය. එය ලංකාවේ නිෂ්පාදනය කරන ලද්දේ තිලක් අතපත්තු විසිනි. අධ්‍යක්ෂණය කළේ ඉන්දියානු අධ්‍යක්ෂවරයෙකු වූ ආනන්ද් බාබුය. මංජුලා තිළිණි ප්‍රධාන චරිතය රඟ පෑවාය. රවීන්ද්‍ර රන්දෙනිය, ක්ලීටස් මෙන්ඩිස්, රෙක්ස් කොඩිප්පිලි, වසන්ත කුමාරවිල, නිරෝෂන් විජේසිංහ, අර්ජුන් කමලනාත් ඇතුළු ජනප්‍රිය, ප්‍රවීණ මෙන්ම නවක නළුනිළියෝ රැසක් මෙම ටෙලි නාට්‍යයේ රඟ පෑහ. එය රසිකයන් ආශාවෙන් නැරඹූ ටෙලි නාට්‍යයක් වූ නිසාම පීපල්ස් එවෝර්ඩ් සම්මානය ද හිමි කර ගන්නට හැකි විය.
“පළ වෙනි දර්ශනයම හරියාකාරව රඟ පාන්න ලැබුණ එක ගැන මට තිබුණේ ලොකු සතුටක්.. මං විතරක් නෙමෙයි රවී අයියා, ආනන්ද් බාබු දෙන්නත් බොහොම සතුටු වුණා..” නිරෝෂන් ඉලේපෙරුම පැවසුවේය.
මෙහි රූගත කිරීම් තිබුණේ තංගල්ල, දික්වැල්ල, කුඩාවැල්ල අවට පෙදෙස්වලය. තංගල්ලේ චන්ද්‍රා ගෙස්ට් නම් හෝටලයක ඔවුන්ට නවාතැන් සපයා තිබිණි. එය මහල් කිහිපයක ගොඩනැගිල්ලකි. රවීන්ද්‍ර ඇතුළු ජ්‍යෙෂ්ඨ නළුවන් ගේ කාමර තිබුණේ ඉහළම මහලේය. පහළ මහලේ නිරෝෂන්ලා සිටියහ. එදා රාත්‍රියේ රූගත කිරීම් අවසන් කර කාමරවලට ගියාට පසු ක්ලීටස් මෙන්ඩිස් පැමිණ නිරෝෂන් කැඳවූයේය.
“අන්න උඹට සීනියර් කවුන්සිල් එකේ මෙම්බර්ෂිප් එක හම්බ වුණා..”
ක්ලීටස් සිනාසෙමින් කියද්දී නිරෝෂන් උඩ බිම බැලුවේ එහි අරුත වටහා ගත නොහැකි වූ නිසාය.
“උඹට රවී අයියා එන්න කිව්වා.. එයා ලේසියෙන් කෙනෙක් ගැන පැහැදෙන කෙනෙක් නෙමෙයි.. උඹ ගැනනම් පැහැදිලා..”
නිරෝෂන් ගේ සිත සැහැල්ලු වූයේ ක්ලීටස් සිය කියමන එසේ පහදා දුන් කලය. ඔහු රවීන්ද්‍ර ගේ කාමරයට ගියේය.
“ආ.. ඉලන්දාරියා එන්න එන්න..”
කියමින් ඔහු පිළි ගත් රවීන්ද්‍ර ඔහුගේ දක්ෂකම් වර්ණනා කළේය. ඔහුට මේ ක්ෂේත්‍රයේ බොහෝ දුර යා හැකි බව ද කීවේය. මීවිතක් තොල ගාමින් ඔවුහු බොහෝ වේලා කතාබහ කළහ.
“උඹ ඇවිත් තියෙන්නෙ හොඳම ක්ෂේත්‍රයකට.. ඒකෙ ස්ථාවර වෙලා ඉන්නෙ කොහොම ද කියන එක තමන් දැන ගන්න ඕන..”
එදා රවීන්ද්‍ර රන්දෙනිය විසින් දෙන ලද අවවාද අනුශාසනා අතරින් නිරෝෂන් ගේ සිතේ තදටම සටහන් වී තිබෙන්නේ එවදන්ය. ජ්‍යෙෂ්ඨ නළුවෙකුගෙන් පැසසුමක් ලබන්නට තරම් සිය රඟපෑම් ඉහළ තත්වයක තිබීම පිළිබඳව ඔහු ආඩම්බර වූයේය. ආනන්ද් බාබු ද සිටියේත් නිරෝෂන් පිළිබඳව පැහැදීමෙනි. ඒ නිරෝෂන් ඉංග්‍රීසි බස වහරන්නට දැන සිටි නිසාය.
“ආනන්ද් බාබු සිංහල වචනයක්වත් දන්න කෙනෙක් නෙමෙයි.. එයා අපිත් එක්ක සන්නිවේදනය කළේ ඉංග්‍රීසි, දෙමළ භාෂාවලින්.. සමහර නළුනිළියන්ට ඉංග්‍රිසි කතා කරන්න බැරි හින්දා පරිවර්තනය කරන්න කෙනෙකුත් හිටියා..” නිරෝෂන් කීවේය.
නිලංජනා නිෂ්පාදනය කළ තිලක් අතපත්තු අද ජීවතුන් අතර නැති වුවත් නිරෝෂන් ඔහු ගැන සඳහන් කළේ ගෞරවයෙනි.
“තිලක් අයියා අවංක, සාධාරණ කෙනෙක්.. අපිට කෑමබීම, ඉඳුම්හිටුම් ඔක්කොම ඉහළම තත්ත්වයෙන් ලැබුණා.. කලට වෙලාවට ගෙවීම් කළා.. අපි පාරේ ෂූටින් කළත් දර්ශනය අවසන් වෙලා අපිට විවේක ගන්න වායු සමීකරණය කරපු කැරවෑන් එකක් සපයලා තිබුණා.. මට හොඳට මතකයි මකර දඩයම ටෙලි නාට්‍යයේ එක දර්ශනයක් ඉතුරු වෙලා තිබිලා ඒක රඟ පාන්න මට කොළඹ යන්න සිද්ද වුණා.. ඒ වෙනුවෙන් මම යොදා ගත්තෙ නිලංජනා ෂූටින් නැති දවසක්.. ඒත් පහුවදා තියෙන හින්දා ආපහු එදාම එන්නත් ඕන.... තංගල්ලේ ඉඳලා කොළඹ ගිහින් රඟ පාලා එදාම ආපහු එනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි.. මගේ අපහසුව තේරුම් ගත්ත තිලක් අයියා මට සුඛෝපභෝගී වාහනයක් සපයලා දුන්නා..”
නිරෝෂන් සඳහන් කළේ ස්තුතිපූර්වකවය.
මේ අවංක පොලිස් නිලධාරියාගේත්, පොලීසියෙන් කට්ටි පනින පළාතේ මැරවරයෙකුගේ නැඟණියත් අතර විවාහ මංගල්‍යය සිදු වෙන දර්ශනයක් ද මේ ටෙලි නාට්‍යයේ තිබිණි. ඒ මංගල උත්සවය තාත්විකව පැවැත්වීම සඳහා ද නිෂ්පාදකයා බොහෝ වියදම් දැරුවේය.
“ඒක ඇත්තම වෙඩින් එකක් වගේ කළේ.. තුන් සීයක් විතර පිරිස සහභාගි වුණා.. පෝරුවේ චාරිත්‍ර එහෙම හරියටම කළා.. පෝරුවෙන් බැහැලා යනකොට මනමාලිව පොලීසියෙන් අත්අඩංගුවට ගන්නවා එයාගෙ අයියා පොලීසියෙන් කට්ටි පනින හින්දා.. ඒ දර්ශනයත් මට අමතක වෙන්නෙ නෑ.. මගෙ මනමාලිට රඟ පෑවේ ශෂිකා පීරිස්.. මැරවරයා වසන්ත කුමාරවිල..” නිරෝෂන් කීවේය.
මේ වන විට නිරෝෂන් ටෙලි නාට්‍ය තුන්සියයකට අධික සංඛ්‍යාවක, චිත්‍රපටි දොළහක, වේදිකා නාට්‍ය පහළොවක රඟ පා තිබේ. දිවි තුරා, බුද්ධික ජයරත්නගේ සැප්තැම්බර්, ඉරේෂ් ලොකුබණ්ඩාරගේ මා, නිර්මාණවලින් ඉදිරියේදී ඔහු ගේ රඟ පෑම් දැක ගත හැකි වනු ඇත.
“මගේ අධ්‍යක්ෂණයක් වුණ ධරණී ටෙලි නාට්‍යයත් විකාශය වෙන්න සූදානමින් තියෙන්නෙ.. ඒක නිර්මාණය වෙන්නෙ ශාන්ති දිසානායකගේ පොතක් ඇසුරින්..” ඔහු සඳහන් කළේය.
චන්දි කොඩිකාර