නැටුමට හපන් පවුලක කතාව


තල්ගහගොඩ පවුල නර්තනයේ යෙදෙමින්...

 

‘‘රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදි විදුලිය පබා   
රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබ තබා   
කම්පසේ දෙන සැර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා   
මං කෙසේ පවසම් එසේ වර සුරළදුන් දුන් රඟ සොබා. ”‍   


උඩරට රංගනයේ සියලු‍ම නර්තනාංග පාහේ අපූරුවට දක්වමින් කළ ඒ පෙළහර පෑම, එම අසිරිමත් රඟ සොභාව වචනවලින් කෙසේ නම් පවසන්න ද.... එය එතරම්ම සුන්දරය. එතරම්ම අපුර්ව ය.   
ලී පටි මත කැටයම් කපා, ඒ මත රිදී ඔබ්බවා විවිධ වර්ණවත් සහ සුන්දර ලෙස සකස් කරන ලද සාම්ප්‍රදායික උඩරට නර්තනයේදී එම නර්තන ශිල්පීන් ශිල්පිනියන් පළදින වෙස් තට්ටු, පායිම්පත, තෝඩුපත්, කරපටි, සිලම්බු, ජටාව, පොත්පොට, ජෝතිය, ඉණපටි නෙත්තිමාලය, කරපටි, මේ ආදි විසිතුරු ආකර්ශනීය ආභරණ පැළඳ රංගභුමියට අවතීර්ණ වන නර්තන ශිල්පීන් ශිල්පිනියන් එම රංගභූමියේ සිටියේ නැත. එහෙත් ඔවුන් පෑ නර්තනයේ සුන්දරත්වය බිඳක් හෝ අඩුව නොතිබිණ. 

 
බුද්ධ රාජය වැන්දෙ පළමුව දෙවනු සද්ධර්මය වදිම්   
සුද්ධ සංඝ රත්නෙ වැදලා ගත්තු තිසරණ අත් මුදුම්   
සිද්ධ වෙයි ජය ගුරුන් පා වැඳ ගත්තු සක්වල දෙවි වරම්   
සුද්ධ දෙරණත පා තබන්නට පොළව මිහිකත් දෙව් වරම්”‍ මංගලම්   


ආධුනික නර්තන ශිල්පියකු කලඑළි බැසිමේදී පළමුව ඉදිරිපත් කරන මංගලම් නර්තනය ඇතුළු ශාස්ත්‍රීය නර්තන අංග කිහිපයක්ම අපුරුවට සංකලනය කරමින්   


මෙසේ රංගභුමිය වර්ණවත් කළේ විශ්ව විද්‍යාල කථිකාචාර්යවරුන්, ගුවන් හමුදාවේ සිටි නිලධාරින්, වෛද්‍යවරුන්, අධ්‍යාපන කලාප අධ්‍යක්ෂවරුන්, විදේශයන්හි පදිංචි වෘත්තියවේදීන්, ගණකාධිකාරිවරුන්, අධ්‍යපන ක්ෂේත්‍රෙය් ගුරු උපදේශකවරුන් ඇතුළු එකිනෙකට වෙනස් වෘත්තින් ගණනාවක රැකියා කරන, එකම පරම්පරාවක මවුපියන්, සහෝදරයන් සහෝදරියන්, ඔවුන්ගේ දූ දරුවන් වීම ය. එහෙත් පුදුමය එය නොවේ මේ සියල්ලන්ම වෙනස් ක්ෂේත්‍රයන්හි රැඳී සිටිය ද ඔවුන් සියලු‍ දෙනා රන් හූයකින් මෙන් අපූරුවට එක්ව සිටියේ ඔවුන් මහත් භක්තියකින් මෙන්ම විශාල කැපවීමකින් රැකගත් නර්තන කලාව නිසා ය.   
මාතලේ, අළුවිහාරයෙන් හැරි, දුල්ලෑව පසුකළ විට සැතැපුම් අටක් පමණ දුරින් රිටිගල කන්ද පාමුල පිහිටි සුන්දර ගම්මානයක් වු තල්ගහගොඩ ගමේ, හත්මුතු පරම්පරාවක සිට පැවතෙන එම පරපුරේ ඇත්තන්ගෙන් සමහරුන් මේ වන විට සත්සමුදුරෙන් එහා රටවලත්, තවත් සමහරුන් කොළඹ ගෙන්දගම් පොළවේත්, තවත් විවිධ ප්‍රදේශ ගණනාවක විහිදී විසිරි සිටියත් ඔවුන් මෙසේ නර්තනයට එක්ව සිටියේ, එම පරපුරේම දියණියක් වන නර්තන ශිල්පිනි ගුරු උපදේශිකා ප්‍රේමා තල්ගහගොඩ මහත්මියගේ ශිල්ප අසපුවේ නර්තනය හදාරන සිසු දරු දැරියන්ගේ රංගාභිෂේක උත්සවයේ දීය.   


මෙම කතාවේ කතා නායිකාව තල්ගහගොඩ පරපුරේ නැසිගිය සෝමගුරු තල්ගහගොඩ මහතාගේ දයාබර දියණියකි. ඇය ප්‍රේමා තල්ගහගොඩය. හිටපු නර්තන ගුරු උපදේශිකා, මහවෙල මහින්ද කලායතනයේ අධ්‍යක්ෂිකාව ඇයයි. ඇයගේ කලායතනයේ සිසු දරු දැරියන්ගේ රංගාභිෂේක කලඑළි මංගල්‍යයට ඇය කළ ආරාධනාවට පවුලේ සියලු‍ දෙනාම සහභාගි වූයේ ඔවුන් එම ආරාධනයට මෙන්ම දේශීය පාරම්පරික නර්තනකලාවට තිබු අසීමිත ගෞරවය ද පෙරදැරිව ය.   


අපි ඔවුන්ගේ අතීතය හාරා ඇවිස්සුවෙමු.   


“වළගම්බා රජු කාලයේ සිට පැවත එන ශ්‍රී ලංකාවේ එකම කොහොඹා දේවාලය මේ කන්ද පාමුල තමයි පිහිටා තිබෙන්නේ. කොහොඹා කංකාරිය ශාන්ති කර්මයට මුල්වෙන ප්‍රධාන දෙවිවරුන් සිටින දේවාලයක් හැටියටයි ඒ පුරාණ දේවාලය හැඳින්වෙන්නේ. මේ පරම්පරාව වෙනුවෙන් ඇපකැපවුණු මියගිය කලාකරුවන් පිරිසක් සිටිනවා. මියගිය ප්‍රධාන නර්තන උපදේශකවරයා හැටියට හිටපු සෝමගුරු තල්ගහගොඩ ඒ දේවාලය භාරව වැඩ කටයුතු කළේත් එතුමා තමයි. ඒ පරම්පරාවට විශාල සේවයක් කරපු පුංචි ගුරු තල්ගහගොඩ, ජොනි තල්ගහගොඩ, ජෝතිපාල තල්ගහගොඩ, සිරිවර්ධන තල්ගහගොඩ, ගුණසේන තල්ගහගොඩ, ගුණදාස තල්ගහගොඩ යන මේ අය විශේෂයෙන් සිහිපත් කළ යුතුයි. මේ පරම්පරාව ගොඩ නගන්නට පුරෝගාමි වූ අය. ප්‍රවීණ ශිල්පීන් පිරිසක්. සෝමගුරු තල්ගහගොඩගේ දරුවන් 10 සිටියා. පිරිමි 6 ගැහැනු 04 යි. ඒ දහදෙනාම මේ නර්තන කලාව වෙනුවෙන් යොමු කරලා මේ විෂය හැදෑරුවා   


වෙස් පැළඳවීම සඳහා පවුලේ සියලු‍ දෙනාම සහභාගි වුණා. නර්තන ගුරු උපදේශිකා, මහවෙල මහින්ද කලායතනයේ අධ්‍යක්ෂිකා ප්‍රේමා තල්ගහගොඩගේ පවුලට සම්බන්ධ සහෝදරයන් සහ ඔවුන්ගේ දූ දරුවන් මේ ආභරණ පැළදවීමේ උත්සවයේ ප්‍රධාන අමුත්තන් විදියට උත්සවයට සහභාගි වුණා. එදා එම කලායතනයේ සිසුන්ගේ රංගාභිෂේක කලඑළි මංගල්‍යයක් තිබුණේ. ඒ උත්සවයේදී තමයි මේ නර්තන රංගනයන් මෙසේ එම රංග භුමිය ආලෝකමත් කළේ. මෙහි ප්‍රධාන ඇදුරා විදියට හිටියේ මගේ වැඩිමහල් සහෝදරයා ඔහු ජෝතිපාල තල්ගහගොඩ. පොඩි මල්ලි සුනිල් තල්ගහගොඩ, දෙවැනි මල්ලි මාතලේ හිටපු සෞන්දර්ය අධ්‍යක්ෂ දයාරත්න තල්ගහගොඩ, ලොකු අයියාගේ දරුවන් වූ චමින්ද තල්ගහගොඩ දැනට ඇමෙරිකාවේ වොෂින්ටන්හි ගණකාධිකාරිවරයෙකු ලෙස රැකියාව කරනවා. දෙවනි පුතා වතුපිටිවල රෝහලේ ප්‍රසව හා නාරි වෛද්‍ය සංජිව තල්ගහගොඩ, ජොනි තල්ගහගොඩ කියන්නේ මගේ ස්වාමි පුරුෂයා ඔහු හිටපු නර්තන ගුරු උපදේශක, අපේ දරුවන් වූ මහින්ද කුමාර තල්ගහගොඩ ඔහු සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරයවරයෙක්. සනත් විමලසිරි ඔහු ප්‍රවීණ රංගනවේදියෙක්. ප්‍රේමදාස තල්ගහගොඩ මකුළොලු‍ව සර්ගේ කාලයේ එනම් 1970 සිට 80 දශකය අවසානය දක්වා රාජ්‍ය නැටුම් කණ්ඩායමේ හිටියා. නන්දා තල්ගහගොඩ, කමලා තල්ගහගොඩ, සුරපාල තල්ගහගොඩ ඇතුළු සහෝදර සහෝදරියන් ඔවුන්ගේ දූ පුතුන් මුණුපුරු මිනිපිරියන් වගේම පසුකාලීනව අපේ පවුලට සම්බන්ධවූ නෑනාවරුන් මස්සිනාවරුන් මේ සියලු‍ දෙනාම පාහේ එදා එම නර්තනයට සහභාගි වුණා’’ ඇය පවසන්නී මහත් සෙනෙහසකිනි.   


“ආධුනික නර්තන ශිල්පීන් ශිල්පිනියන් නර්තන කලාව විෂයක් විදියට හදාරා එය කලාවට එළිකරන මංගල්‍ය කලාවට හඳුන්වා දීමේ උළෙලට කියනවා රංගාභිෂේක කලඑළි මංගල්‍ය කියලා. මෙය කාන්තාවන්ට පළන්දීම කියන්නේ පායිම්පත් පළන්දන මංගල්‍ය විදියට හඳුන්වනවා. පිරිමින්ට වෙස් බැඳීමේ මංගල්‍ය විදියට හඳුන්වනවා. පොදුවේ මේ දෙකටම කියන්නේ රංගාභිෂේක කලඑළි මංගල්‍ය කියලයි. මේ වන විට නර්තන ශිල්පිනියන් කාන්තාවන් මේ විෂය හදාරන්නට වැඩිපුර යොමු වෙලා සිටින නිසා වැඩිපුර පැවත්වෙන්නේ පායිම්පත් පළන්දන උත්සවයි. පිරිමි අය දැන් මේකට යොමු වීම ටිකක් අඩුයි. ඒ නිසා ඔවුන්ට වෙස් තැබීමේ මංගල්‍යයන් අඩුවෙන් පැවැත්වෙනවා. නමුත් පොදුවේ ගත්තහම රංගායතනයක් ගත්විට එහිදී ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම එකට සහභාගි වෙන උළෙලකදී වෙස් පැළන්දීමේ උත්සවය පිරිමින්ටත් පායිම්පත් පැළන්ඳවීම කාන්තාවන්ටත් කරනවා. පාරම්පරික නර්තන ශිල්පින්ගේ සමහර දරුවන් මෙම නර්තන කලාවෙන් බැහැර වෙලා වෙනත් පැත්තකට නැඹුරු වෙනවා. මේ කලායතයේ ඉගෙන ගත් දරුවන් වෛද්‍යවරුන් ලෙස සිටිනවා. ත්‍රිවිධ හමුදාවේ සිටිනවා. නර්තන ගුරුවරුන් වි සිටිනවා. අමාත්‍යංශවල ලේකම්වරුන් වි සිටිනවා.”‍ ඇය පවසන්නී ය.   


සුනිල් තල්ගහගොඩ මහතා හිටපු ගුවන් හමුදා නිලධාරියෙකි. දෙස් විදෙස් හි නර්තන ප්‍රසංග ඉදිරිපත් කරමින් දීර්ඝ කාලයක් පුරා නර්තනයේ යෙදෙන කලාකරුවෙකි. 2002 වර්ෂයේදී ක්‍රෝෂියාවේ රටවල් 36 ක සහභාගිත්වයෙන් පැවති නර්තන ප්‍රසංගයකදී ශ්‍රී ලංකාවට ප්‍රථම ස්ථානය ලබා දුන්නේ ඔහුය. දැනට මීගමුව පුරවරයේ සුනිල් තල්ගහගොඩ කලායතනයේ දහස් ගණන් දරු දැරියන්ට දේශීය නර්තනයන් මෙන්ම ලතින් ඇමැරිකන් ෆ්‍රී ස්ටයිල් බටහිර නර්තනයන් උගන්වන්නේ නර්තන ශිල්පිනියක් වු සිය ප්‍රිය බිරිය නිර්මලා තල්ගහගොඩ මහත්මිය ද සමග එක්වය.   


“ගුවන් හමුදාවේ ප්‍රථම වරට 1988 දී සංස්කෘතික කණ්ඩායමක් බිහිකළා. එහි පළමු නර්තන උපදේශකවරයා මමයි. ත්‍රිවිධ හමුදාවේ ගුවන් හමුදාවේ පළමු සංස්කෘතික කණ්ඩායම ඒ විදියට බිහිවුණේ එවකට සිටි ගුවන් හමුදාපති එයාර් මාෂල් වෝල්ටර් ප්‍රනාන්දු මහතාගේ යුගයේදියි. තරුණ සේවා සභාවෙන් ශිල්පීන් සහ නර්තන හැකියාව ඇති තවත් පිරිස් එක්කරගනිමින් 15 දෙනෙකු බඳවා ගනිමින් මෙම නර්තන කණ්ඩායම ස්ථාපිත කළේ. 1989 ප්‍රංශයේ පැරිස් නගරයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලිය උළෙල 2002 ක්‍රොෂියාව 2014 ජපනයේ නරිටා නගෝයා පැවති නර්තන උළෙලකදී ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකි වුණේ මේ අපේ සාම්ප්‍රදායික නර්තන කලාව ඉදිරිපත් කිරීම නිසයි.   


 “ විශේෂයෙන් අද නර්තනය හදාරණ දරු දැරියන්ට කියන්න තියෙන්නේ මේ අපේ පාරම්පරික නර්තනය මුලින්ම හැදෑරිය යුතුමයි. ඒ පාරම්පරික දේශීය නර්තනය රැකගනිමින්, එයට හානීයක් නොවෙන ආකාරයෙන් නව නර්තනයන් ඉගෙන ගැනීම නව නර්තන කලාවේ දියුණුව උදෙසා කළ යුතුම දෙයක්. නව නිර්මාණ කරන්න නම් නව නර්තනයන් හැදෑරිය යුතුයි. 

 

 


විශේෂයෙන් දේශීය නර්තනය බටහිර නර්තනය ඉන්දියානු නර්තන ශෛලීන් මේවා හැම එකක්ම ඉගෙන ගැනීම තුළ නව නර්තන නිර්මාණයන් බිහිකිරීමේ නියැලෙන්නන්ට මේ වර්තමානයේදී දේශීය නර්තන කලාව රැකගනිමින්, ඒ අපේකම රැකගනිමින් අලු‍ත් නිර්මාණයන් කළ යුතුයි. නමුත් ජාත්‍යන්තරයට යන්න නම් ලෝකයට අපේ සාම්ප්‍රදායික නර්තන අපේ කලාව රැගෙන යන්න නම්, හැදෑරිය යුතුමයි. මේ නර්තනය නිසා මා ඇතුළු අපේ පරම්පරාවේ නර්තන ශිල්පීන් රැසක් ලෝකයේ රටවල් 50 කට පමණ සංචාරය කරමින් අපේ දේශීය නර්තනකලාව ගෙන යන්නට හැකිවුණා අපිට එම අවස්ථාව ලැබුණේ වෙනයම් නර්තනයන් ඉදිරිපත් කරලා නෙමෙයි. මේ අපේ පාරම්පරික දේශීය නර්තන සම්ප්‍රදාය නිසා කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ.   


මුල්ම කාලේදී ලංකාවේ සතර දිග් භාගයේම තිබුණේ නර්තන පරම්පරාවක්. ඔය නර්තන පරම්පරාවල බිහිවෙන දරුවන් පමණයි මේ නර්තනය හැදෑරුවේ. නමුත් කාලයක් යන විට මේ නර්තනය විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය ජාත්‍යන්තරයට ගොස් මේ නර්තනය අගය කරන්න පටන් ගත්තට පස්සේ, මේ පාරම්පරික නර්තන ශිල්පින් පමණක් නොව බාහිරව වෙනත් අයත් මේ විෂය හදාරන්නට පටන් ගත්තා. මේ විෂය හැදැරීම තුළ මම පෞද්ගලිකව දකින්නේ මේ විෂය වඩාත් දියුණු වීමක් විදියටයි. අද ලංකාවේ ප්‍රවීණ නර්තන ශිල්පින් ඉන්නවා. ඔවුන් සියලු‍ දෙනාම පාරම්පරික නර්තන ශිල්පීන් නෙමෙයි. නමුත් ඔවුන් ඒක නිවැරදිව අධ්‍යයනය කරලා අද ජයග්‍රහනය කරලා තියෙනවා. මේක විවෘත විෂයක්. පාරම්පරික නර්තන ශිල්පින්ම විය යුතු නැහැ මේ නර්තන විෂය හදාරන්නට. තමන්ට කැමැත්ත, හැකියාව තියෙනව නම් ඒ විෂය හැදෑරීමක් කර ඉදිරියට යන්න පුළුවන් .මේ වන විට ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයකට පත් වී තිබෙනවා.   


සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය නර්තන හා නාට්‍ය කලා පීඨයේ උඩරට නර්තන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර විමලසිරි:   


“උඩරට නර්තන කලාව කවදා කොතැන ආරම්භ වුණාද කියලා නිශ්චිතවම කියන්න අමාරුයි. සාම්ප්‍රදායික මතයක් තියෙනවා විජය කුවේනි කතා ප්‍රවෘත්තියෙන් ඇතිවුණා කියලා. කොහොඹා කාංකාරිය මුල් කරගෙන තමයි මේ උඩරට නර්තන සම්ප්‍රදාය පිළිබඳව දැන් කතා කරන්නේ. කොහොම වුණත් උඩරට වැසියන්ට ඒ අයගේ අනන්‍යතාව හෙළි කරන්න තිබුණ විශේෂම සංස්කෘතික අංගය තමයි උඩරට නර්තන කලාව. මෙම උඩරට නර්තන කලාවේ ප්‍රධාන ශාන්ති කර්මය තමයි කොහොඹා යක් කංකාරිය. ඊට අමතරව කඩවර කංකාරිය, බලි ශාන්ති කර්මය, බත් මාලා පිදීම, ගොටු පහ පිදිම, පන්දම් දොළහ පිදිම. අළු වීදිය මේ ආදි වශයෙන් ශාන්ති කර්ම ගොඩක් තියෙනවා. මේ ශාන්ති කර්ම පිළිබඳව මේ යකුන් හා දෙවියන් සහ ග්‍රහයන් වෙනුවෙන් සිදුකරනු ලබන ශාන්ති කර්ම විදියට වෙන් කරලා හඳුනා ගන්නත් පුළුවන්. කොහොම වුණත් ලංකාවේ තියෙන නර්තන ශෛලීන් වගේම ලෝකයේ තියෙන අනික් නර්තන ශෛලීන්ගෙන් වෙන් කොට හඳුනා ගැනීමට පුළුවන් විශේෂ අනන්‍යතා ලක්ෂණ මේ උඩරට නර්තන සම්ප්‍රදායේ තිබෙනවා. ඒක හස්තපාද වලින්, ඇඳුම් පැළඳුම් වලින්, චාරිත්‍රවාරිත්‍ර, අංගප්‍රත්‍ය උපාංග මගින් ප්‍රකාශ කරන ලීලාවන්ගෙන් මේවා හඳුනා ගන්න වෙන් කරලා පුළුවන්.   


එදා තිබුණේ මාතලේ මගේ අම්මගෙයි තාත්තගෙයි කලායතනයක් මහින්ද කලායතනය නමින්. අම්මා ප්‍රේමා තල්ගහගොඩ. අප්පච්චි ජොනි විමලසිරි. දෙන්නම විශ්‍රාමික නර්තන ගුරු උපදේශකවරුන් . කොහොඹා කංකාරිය නටන්න ශිල්පියෙකුට පුළුවන් ‍වන්නේ වෙස් පැළඳවීමෙන් පසුවයි. උඩරට නර්තන සම්ප්‍රදායේ ඉගෙන ගන්න ආධුනික නර්තන ශිල්පියෙක් එයාගේ ප්‍රාමානික ඉගෙනීමෙන් පස්සේ, හිස වෙස් පැළඳවීමේ අවස්ථාව ලබා ගන්නවා. හිස වෙස් පැළඳවීම කියලා කියන්නේ වෙස් නැට්ටුවන්ගේ ශීර්ෂාභරණ කොටස.   
මගේ දියණියන් දෙදෙනාටත් අපූරුවට නර්තනය පුළුවන්. එක් දියණියක් රබන් කරකැවීමට අති දක්ෂයි. ඉස්සර දැක පුරුද්ද, අහ පුරුද්ද, කළ පුරුද්ද සහ ජානවලින් ආපු පුරුදු විදියට තිබුණේ. දැන් වර්තමනායේ ශාන්ති කර්මයක් දකින්නේ නැති අය ඒ ශාන්ති කර්මයේ නර්තන උගන්වන්න යනවා. ඒ පිළිබඳව දැකලා නැති අය ඇසීමෙන් පමණක් මේ දේ කරන්න යනවා. එහි තිබු පූර්ණ රසය ශාන්තිකර්මවල තිබු හැඩය, ඒවා කෙමෙන් අඩු වෙලා තියෙනවා. ඉස්සර ගුරුවරු සල්ලි හම්බු කරන්න මේ වැඬේ කළේ නැහැනේ. ගෝලයෝ හැදුවේ නැහැනේ. වර්තමානයේ වෙන විට මේක මුදල් උපයා ගැනීමේ ක්‍රමවේදයක් විදියට යන්නේ. පරිබාහිර කලාකරුවනුත් නැටුම් පංති කරගෙන යනවා. කොහොම වුණත් නර්තනය මේ තුළ ඉදිරියට ගෙන යාමක් වුණත් මේ තුළ බිස්නස් එකක් තියෙනවා. ඒ මුදල් හම්බ කිරීමේ පරමාර්ථය තුළ ළමයන්ට දෙන්නේ අර ප්‍රධාන, දිය යුතු දේ නෙමෙයි . නර්තනයේ තියෙන ගුණාත්මක භාවය හීන වෙලා තියෙනවා. ඒකේ මූලධර්ම ටිකක් තියෙනවා. කස්තිරමක් හෝ අඩව්වක් හෝ අපි නටන්න ආරම්භ කරන්නේ දකුණු කකුලෙන් නම්, වම් කකුලෙන් තමයි අවසාන වෙන්නේ. ගතයුතු ආකාරය මේ නර්තනයේම මුල ධර්ම විදියට තියෙනවා. මේවා ගැන තැකීමක් නැතුව මුදල් හඹාගෙන නටනවා. දැන් සිංදුවලට නටනවා. ඒක කමක් නැහැ ඉන්දියාවේ භරත මනිපුරි කථක් වගේම බටහිර නර්තනයේ හිපොක් මේ වගේ හැම තැනින්ම අහුලාගත් ඒවා ජෑම් එකක් ෆෟට් සැලඩ් එකක් හදාගෙන මිනිස්සු ඉදිරියට යනවා. අපේ අනන්‍යතා ලක්ෂණ නැති කරගෙන තියෙනවා. නමුත් නර්තන හැකියාව ඇති අලු‍ත් ගුරු පරපුරකුත් මේ අතර නැතුවා නෙමෙයි. ඔවුන් ඒ කටයුත්ත හොඳින් කරනවා.   


ප්‍රවීණ රංග ශිල්පි සනත් විමලසිරි ඔබ තවත් හොඳීන් දන්නා හඳුනන කලාකරුවෙක් . මනමේ, සිංහබාහු, වේදිකා නාට්‍යවල ප්‍රධාන චරිතය රඟපාමින්, බොහෝ ටෙලි නාට්‍ය ගණනාවක ද සිය රංගනය අපූරුවට පෙන්වන ඔහු අඩව් කස්තිරම් අල්ලමින් කළ නර්තනය ද එදින බොහෝ දෙනාගේ සිත් සතන් එක් සැනින් සොඳුරු ලෙස පැහැරගත් හෝරාවක් විය. 

 
“එදා ඇත්තටම අතිශය සොඳුරු හෝරාවක්. ලොකු අප්පච්චිලා මාමලා නැන්දලා ලොකු අම්මලා නෑනල මස්සිනාලා සහෝදරයෝ මේ හැමෝම එක්ක අඩව් කස්තිරම් අල්ලන්න ලැබුණු එක ජීවිතේ හුඟාක්ම සුන්දර මොහෙතක් කියලා මම විශ්වාස කරනවා.   


රංගන ශිල්පියෙක් විදියට උඩරට නර්තන කලාව හැදෑරීම තුළ කලා ශිල්පියෙක් විදියට වඩාත් හොඳින් මතුවෙන්න මට ඉඩ විවර වුණා. මෙම උඩරට නර්තන කලාව තුළ ගායනය, වාදනය, නර්තනය වගේම ඊට අමතරව සැරසිලි කලාව, අංග රචනය , ඇඳුම් නිර්මාණය මේ සියල්ල තිබෙනවා. ඒ හුරුව කුඩා අවදියේ සිටම මම දැක්කා අත්වින්දා. නාට්‍ය පෙළපාලි දැකලා ලබා ගත් ඒ හුරුව රංගන ශිල්පියෙක් විදියට මට මේ ක්ෂේත්‍රෙය් මේ තාක් දුර යන්න විශාල පිටිවහලක් වුණා.”‍  

 

 

පද්මිණි මාතරගේ