“ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ තරුණ සිංහයා වැඩිය කලබල නොවිය යුතු බවට අනතුරු ඇඟවීමක් විය. එම සහතිකය සහ දැනුම්දීම ගැන ආණ්ඩුකාර තුමාට ස්තුති කරන අතරම එතුමාටද කාරුණික දැනුම් දීමක් සහ අවංක සහතික කිරීමක්ද කරනු කැමැත්තෙමි. අනතුරු ඇඟවීම මෙයයි - අපව බය ගැන්වීමට හැකිවේ යැයි අතිගරු ආණ්ඩුකාරතුමා කල්පනා නොකළ යුතුයි. රට අයථා ලෙස පාලනය කළේ යයි චෝදනා කිරීම නිසා තමාට අවශ්‍ය ලෙස නිවට සමාවක් මහජන නියෝජිතයෙකු ලවා සිදුකරවා ගැනීමට විජිත ලේකම්ට හැකිව තිබූ කාලය අවසන් වී ඇත.
වඩා පෞරාණික ඉතිහාසයක් සිංහල සිංහයාට ඇති නිසා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලංකාවේ තරුණ සිංහයාට බ්‍රිතාන්‍ය සිංහයාගෙන් වුවත් එවැනි අපහාසයක් ඉවසනු නොහැක. එයයි ඔහුට දැනුම් දීම. මම බලාපොරොත්තු වෙනවා. ඔහු යටත් විජිත ලේකම් ලෙස අප්‍රසාදයට පත්වූ තරම්ම මේ රටේ ආණ්ඩුකාරයා ලෙස ජනප්‍රිය වේය කියා”
ලංකාවේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය ශක්තිමත්ව ස්ථාපිතව තිබුණු 1925 දී එවකට සිටි ආණ්ඩුකාර සර් හියු ක්ලිෆඩ්ට මේ ප්‍රහාරය එල්ල කරනු ලැබුවේ එඩිතර දේශපාලනඥයෙකු ලෙස ඒ වන විටත් ප්‍රකටව සිටි හලාවත අධිනීතිඥ සී.ඊ. වික්ටර් කොරෙයා මහතා විසිනි. අවස්ථාව වූයේ එදා ලංකාවේ ඉහළම දේශපාලන සංවිධානය වූ ලංකා ජාතික සංගමයේ සම්මේලනයකදී ඉදිරිපත් වුණු යෝජනාවක් පිළිබඳව විවාදයයි.
“මීළඟ ආණ්ඩුක්‍රම සංශෝධනයේ දී සම්පූර්ණ ස්වයං පාලනයක් ලබාගැනීම ස්ථීර කරනු සඳහා මෙම සංගමය වහාම පියවර ගත යුතුය.” යන මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ ඔහුගේම වැඩිමහල් සොහොයුරු සී.ඊ. කොරෙයා මහතා විසිනි. එය ස්ථීර කරනු ලැබුවේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසිනි.
රටේ ආණ්ඩුකාරයා වූත්, සේනාධි නායකයා වූත් සර් හියු ක්ලිෆඩ්ට විරුද්ධව වික්ටර් කොරෙයා කළ විවේචනය සර් ජේම්ස් පීරිස්, ඩී.බී. ජයතිලක වැනි වැඩිහිටි නායකයින්ගේ අසතුටට හේතු වුවද මේ තරුණ රැඩිකල්වාදියාට විරුද්ධව ක්‍රියා කිරීමට ඔවුහු අපොහොසත් වූහ. මෙයට කලින්ද සර් හියු ක්ලිෆඩ්ට විරුද්ධව ඔහු අදහස් දක්වා තිබුණි. මැකලම් ආණ්ඩුකාරයාගේ කාලයේ යටත් විජිත ලේකම්ව සිටි ඔහු මෙරටින් පිටවයන මොහොතේදී ඔහුට ලබාදුන් අපකීර්තිමත් සමුදීම ඒ අවස්ථාවයි. මැකලම් හා ක්ලිෆඩ් දෙදෙනාම මෙරට වැසියන් පහත් කොට සැලකූ උඩඟු සුද්දෝ වූහ. මේ සර් හියු ක්ලිෆඩ්ට සමුදුන් අයුරුයි.
“පාලකයෙකු දිවයිනෙන් අස්ව යනවිට අනුගමනය කරන ලද සාමාන්‍ය සිරිත වූයේ ‘රාජපාක්ෂික’ රට වැසියන් උත්සවයක් පවත්වා ඔහු කෙරෙහි වූ සිය කෘතඥතාවය ප්‍රකාශ කිරීමයි. එහෙත් ක්ලිෆඩ්ගේ අස්ව යාම නිමිත්තෙන් පවත්වන ලද්දේ අපූරු උත්සවයකි. එය ඔහු දිවයිනෙන් පිටවී යාම ගැන තෘප්තිය පළ කිරීම සඳහා පවත්වන ලද රැස්වීමක් විය. 4000 ක් පමණ සෙනග ඇදී ආ මේ රැස්වීමේදී ‘ජනතාව කෙරෙහි අනුකම්පාවක් නොතිබීමද ඔවුන්ගේ නිත්‍යානුකූල අභිලාෂයන් මර්දනය කිරීමද උගත් මහජන මතය හිතා මතාම නොතකා හැරීමද’ ගැන යටත් විජිත ලේකම් හෙළාදකිනු ලැබීය. මේ රැස්වීමට සහභාගිවූ ප්‍රමුඛ පෙළේ පුද්ගලයන් අතර කම්කරු ප්‍රශ්න ගැන උනන්දුවක් දැක්වූ අය ඇතුළත්වීම වැදගත් කරුණකි. ඔවුනතර 1983 මුද්‍රණ කම්කරු සටනේ නායකයන් වූ ඒ.ඊ. බුල්ජන්ස් සහ මාටිනස් පෙරේරාද, 1912 දුම්රිය කම්කරුවන්ගේ වර්ජනයේදී ඔවුන්ට ආධාර කළ අනගාරික ධර්මපාල, ආතර් වී. දියෙස්, චාල්ස් බටුවන්තුඩාව සහ එමානුවෙල් ජයවර්ධනද පසු කාලයේ කම්කරු ව්‍යාපාරයට සම්බන්ධ වූ වික්ටර් කොරෙයා සහ ජී.ඩී.එච්. වෙල්ලේ ද වූහ.
දේශ ප්‍රේමය සහ අධිරාජ්‍යවිරෝධය
ලංකාවේ පෘතුගීසි සමයේදී මුලින් ඔවුන්ට පක්ෂව ක්‍රියා කොට පසුව ඔවුන් පළවා හැරීමට මහ සටන් කළ නිසාම මහනුවර විමලධර්ම සූරිය රජුගේ ප්‍රසාදයට පත්ව කෝට්ටේ හා සීතාවක යුවරජ තනතුරෙන්ද පුදනු ලැබුවත්, ද්‍රෝහී සිංහලයන් නිසාම අසවේදු නම් කෲර ප්‍රතිකාල් සෙන්පතියා අතට පත්ව බිහිසුණු මරණයකට පත්වූ එදිරිල්ලේ රාළ හෙවත් ඩොමිනිකස් කොරෙයා තම පරපුරේ ආදිතමයා වීම ගැන හලාවත කොරෙයා වරුන්ට ඇත්තේ අභිමානයකි. ආඩම්බරයකි. එවැනි උරුමයක් ඇතිව උපන් සී.ඊ. වික්ටර් කොරෙයා 20 වැනි සියවසේ ලංකාවේ ප්‍රථම අධිරාධ්‍ය විරෝධී සංවිධානයේ සභාපතිත්වයට පත්වීම පුදුමයට කරුණක් නොවේ.
තරුණ ලංකා සංවිධානය (Young Lanka League)
ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත්වී වසර සියයක් සම්පූර්ණ වුණු 1915 මාර්තු 2 වැනි දා උගත් තරුණයන් කණ්ඩායමක් විසින් මෙම සංවිධානය පිහිටුවනු ලැබීය. එදින මධ්‍යම රාත්‍රියේ රහසිගතව මෙය පිහිටවුණු අවස්ථාවේ දේශයේ ස්වාධීනත්වය සඳහා ජීවිත පූජාවෙන් වුවද කැපවෙමුයි ලේ වලින් අත්සන් කරමින් ඔවුහු ප්‍රතිඥාවක් දුන්හ. මෙහි සභාපති ලෙස වික්ටර් කොරෙයා ද ලේකම් ලෙස ඒ.ඊ. ගූණසිංහ ද පත්වූහ. ඊ.ඒ.පී. විජේරත්න, රෝලන්ඩ් පෙරේරා, ඒ.පී. තම්බයියා ඇතුළු මහත්වරු 15 ක් ඊට සහභාගි වූහ. මෙය රහසිගත සංවිධානයක් ලෙස පිහිටවනු ලැබුවද පොලිස්පති ඩව්බිගින් ට ඒ පිළිබඳ ඉවක් තිබුණු බව පෙනේ. මාස දෙකකට පසුව මැයි මස 29 දින සිංහල මුස්ලිම් කෝලාහලය නිසා රට තුළ ඇති වුණු ව්‍යාකූල තත්ත්වයක් සමග බෞද්ධ ජනනායකයෝ බුරුතු පිටින් අත්අඩංගුවට ගැනුනි. ලේකම් වූ ගුණසිංහ මහතාද තරුණ ලංකා සමාජිකයන් බොහෝ දෙනෙක්ද අත්අඩංගුවට ගැනුන නමුත් සභාපති වික්ටර් කොරෙයා ඉන් ගැලවුනු හැටි ඔහුගේම වචන වලින් මෙසේය.
“අපේ උතුම්ම අපේ හොඳම මිනිසුන් කී දෙනෙකු සිර භාරයට ගත්තාද? ඔවුන්ගෙන් කීදෙනෙකුට දඩ ගැසුවාද? මැරෙන තුරු පහර දුන්නාද? වෙන කිසිම වරදක් නිසා නොව බෞද්ධයන් වූ නිසාම පෝරකයට යැවුවාද? මා ක්‍රිස්තියානි කාරයෙකුවීම ගැන සතුටු වීමට වෙන කිසි හේතුවක් නැතත් 1915 දී මා බෞද්ධයෙකුව සිටියා නම් අද මා ජීවතුන් අතර නොසිටින බව මට හොඳටම විශ්වාසය” (8.11.1926 හැන්සාඩ් 1783 පිටුව)
ජාතික ශෝක දිනයක් පැවැත්වීම.
1915 සිංහල මුස්ලිම් අරගලයෙදී මියගිය අහිංසකයන් වෙනුවෙන් ශෝක දිනයක් පැවැත්වීමට තරුණ ලංකා සංගමය තීරණය කළේය. මේ සඳහා ජුනි 4 වන දිනය තීරණය කෙරුනේ 1915 දී මාෂල් ලෝ නීතිය ක්‍රියාත්මක කළ දිනය එය වූ නිසාය. මේ සටහන ගුණසිංහ ආත්ම කථාවෙනි.
“පළමුවැනි රැස්වීම වික්ටර් කොරෙයාගේ ප්‍රධානත්වයෙන් ටවර් හෝල්හි පැවැත්වුණි. අපි පෙරහැරකින් ගමන් කළෙමු. ‘1915 දී ජීවිත පරිත්‍යාග කළ වීරයින්ගේ පූජනීය මතකයට’ යනුවෙන් සටහන් කළ විශාල කොඩියක් පෙරටුකරගෙන දහස් ගණනක් මිනිස්සු එයට සහභාගි වූහ. මල්වඩම් ද ගෙන ගිය අතර පළමුවන නැවතුම වූයේ දවටගහ පල්ලිය අසලය. එහි ශාන්තුවරයාගේ සොහොන මත මල් වඩමක් තබා මුස්ලිම්වරුන්ට සිදුවුණු විපත පිළිබඳව අපේ ශෝකය පළ කළෙමු. මේ මගින් ජාතීන් දෙක අතර මිත්‍රත්වය සහ සමගිය ඇති කිරීමට අපේක්ෂා කළෙමු. එතැන සිට අපි කනත්ත දෙස පිස නැගුවෙමු. කවර සිංහලයෙකුට වුවද අභිමානයක් ඇතිවන පරිදි ස්වකීය මරණයේදී අසාමාන්‍ය ධෛයර්යක් පෙන්වූ ඩී.ඊ.එච්. ප්‍රෙද්‍රිස්ගේ ද එඩ්මන්ඩ් හේවාවිතාරණ මහතාගේද කලහයේදී මළ අනෙක් අයගේද සොහොන්මත මල්වඩම් තැබුවෙමු.
අපේ මේ ව්‍යායාමය සිංහල හා මුස්ලිම් ජාතීන් දෙක අතර සමාදානය ඇති කිරීමට බෙහෙවින් හේතුවිය. ලංකා තරුණ සංගමයේ මෙහෙයවීමෙන් ජාතික ශෝක දිනය වසර ගණනාවක්ම පවත්වන ලදී.”
1922 වසරේදී මෙය වඩාත් උත්කර්ෂ ලෙස පවත්වනු ලැබුවේ ඇඟ බද්දට විරුද්ධව සටන් කොට සිරගතවී සිට නිදහස ලැබූ වික්ටර් කොරෙයා පිළිගැනීමේ උස්වයක්ද ඊට සම්බන්ධ කොට තිබුණු බැවිනි. එදින කළු හෝ සුදු කොඩි එසවීමටත්, රික්ෂෝ අදින අය සහ කරත්ත දක්කන අය වැඩ නැවැත්වීමටත් සියලු කඩ සාප්පු වසා දැමීමටත් සංවිධායකයෝ මහජනයාගෙන් ඉල්ලා සිටියහ. නොයෙක් ස්ථානවලින් මරදානේ ටවර් ශාලාවට පෙරහැරවල් පැමිණි අතර අපරභාග 2.30 ට වික්ටර් කොරෙයා පිළිගැනීම සිදුවිය. පසුව ඔහුගේ ප්‍රධානත්වයෙන් එහි මහා සභාවක් පැවැත් වුණි. ජාතික ශෝක දිනයට පසුදින ටයිම්ස් ඔප් සිලෝන් පුවත්පත වාර්තා කළේ ටවර් හෝල් ශාලාව මහජනයාගෙන් අතුරු සිදුරු නැතිව පිරිතිබුණු අතර. පිටත ආලින්දයේත් මහපාරේත් විශාල පිරිසක් රැස්ව සිටි බවය. ඔවුන් එදා පොදි කෑවේ වික්ටර් කොරෙයා මහතා දැක ගැනීමටත්, ඔහුගේ දේශනයට සවන් දීමටත්ය. කොරෙයා මහතා කෙතරම් ආකර්ශණීය වීද යත් එහි සිටි පොලිස් භට පිරිස මෙහෙයවනු ලැබුවේ වැඩ බලන පොලිස්පති විසිනි. ලංකාවේ ඔවුන්ගේ කාලය සීමා සහිත බව බ්‍රිතාන්‍යයන්ට අනතුරු හඟවමින් කතා කළ කොරෙයා මහතා තමා සිරගෙදරදී ලැබූ අත්දැකීම්ද විස්තර කළේය.
තමා දනවතෙකු වූ නිසා තමාට යුරෝපීය ආහාරයක් හෝ දේශීය ආහාර වේලක් තෝරා ගැනීමට ඉඩදී තිබුණු බවත් දේශප්‍රේමීයෙකු වූ තමා දේශීය ආහාර තෝරාගත් නමුත් එය ඉතා පහත් ලෙස සූදානම් කර තිබුණු නිසා පළමු පැය 42 සිර ගෙදර නිරාහාරව ගත කළ බවක් ඔහු සඳහන් කළේය. තමා යුරෝපීය ආහාරය තෝරා ගත්තා නම් එය හිරගෙදර තුළ හොර රහසේ භුක්ති විදිය හැකි වුවත් එයින් ලාංකිකයන්ගේ පහත් බවත් බ්‍රිතාන්‍යයන්ගේ උසස් බවත් පැවසෙන්නට තිබුණු බවද තමා තම රට වාසීන්ට ද්‍රෝහී නොවනු පිණිස විශේෂ ආහාර, විශේෂ වස්ත්‍ර, නිදා ගැනීමට ඇඳක් හා තමාට අභිමත යුරෝපීය ආහාරද ප්‍රතික්ෂේප කළ බවද ඔහු කීවේය.
ආණ්ඩුවට විරුද්ධ පෙලපාලි රැස්වීම් ආදිය තහනම් වූ එදා තරුණ ලංකා සංගමය, ජාතික ශෝක දිනයක් පැවැත්වීමෙන් අපේක්ෂා කළේ ආණ්ඩුව කෙරෙහි මහජන අප්‍රසාදය ඇති කිරීමෙන් වහල් භාවයේ පහත් බව හා නිදහසේ අගය පහදා දීමත් බව පැහැදිලිය.
ඇඟ බද්දට විරුද්ධව කළ සටන
1896 ආඥාවකින් වයස 21 ට වැඩි සෑම පිරිමියෙකුටම වසරකට රුපියල් දෙකක ඇඟ බද්දක් ගෙවීමට සිදුවුණි. එසේ නැතහොත් සතියක් මහ පාරේ වැඩ කළ යුතුයි. මේ දෙකම නොකළ හොත් සිර දඬුවම් විඳීමට සිදුවිය. ඉහළම ධනවතාටත් පහළම දුගියාටත් සමාන ලෙසින් මෙය ගෙවීමට සිදු වුවද එදා මෙරට රැකියාව කළ ලක්ෂ සංඛ්‍යාත ඉන්දියානුවෝ බද්දෙන් නිදහස් වූහ. මෙයට විරුද්ධව සහයෝගිතා වර්ජන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තරුණ ලංකා සංගමය තීරණය කළේය. එදා ඉන්දියාවේ මහත්මා ගාන්ධි ඇතුළු නායකයන් අධිරාජ්‍ය ආණ්ඩුවට විරුද්ධව ක්‍රියාත්මක කළ විවිධ සත්‍යග්‍රහ ව්‍යාපාර ඔවුන්ට ආභාසයක් විය. වික්ටර් කොරෙයාත් ඒ.ඊ. ගුණසිංහත් මෙයට නායකත්වය දුන්නෝය.
කලිසම් ඇඳගත් මහත්වරු මහ පාරේ ගිනි අව්වේ දහඩිය හෙළමින් දෑතේ කරගැට මතුවනතුරු වැඩකිරීම දුටු සාමාන්‍ය ජනතාව මහත් ප්‍රබෝධයට පත්වූහ. තමන් පිට පිට වසර හතරක් ඇඟ බද්ද ගෙවීම වෙනුවට මහ පාරේ ගල් කැඩූ හැටිත් සංගමයේ සභාපති වික්ටර් කොරෙයා මහතා ඇඟ බද්ද ගෙවීමත් පාරේ වැඩ කිරීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා සිරගත කරනු ලැබූ හැටිත් ගුණසිංහ මහතා සිය ආත්ම කථාවේ විස්තර කරයි.
උසස් ධනවත් පවුලකට අයත් වූත් අධිනීතිඥයෙකු ලෙස සමාජයේ බැබළුනා වූත් වික්ටර් කොරෙයා මහතා රුපියල් දෙකක් ගෙවනවා වෙනුවට මහජනයා වෙනුවෙන් මහත් ආත්ම පරිත්‍යාගයක් කරමින් සිරගතවීම රටේ මහත් අන්දෝලනයක් ඇති කළේය. ඇඟ බද්ද ගැන නිහඬව සිටි ඉහළ සමාජයේ බොහෝ දෙනෙකුටද මේ සිද්ධිය අපහසුවක් ඇති කළාට සැක නැත.
මේ විරෝධතා ව්‍යාපාරය ආරම්භකළ පළමු වසරේදී (1919) කොරෙයා මහතාද පාරේ ගල් කැඩූ බව අප කළ විමර්ශනයකදී පෙනුනි. ධනවත් අධිනීතිඥයෙකු වූ ඔහු කළ මේ ආත්ම පරිත්‍යාගය මහත්සේ අගයමින් දේශප්‍රේමී ලේඛක පියදාස සිරිසේන මහතා ඔහුට මහත්මා කොරෙයා නමින් උපහාරයක්ද පිදුවේය. මේ සිරිසේන මහතාගේ වචනයයි.
“සත් ගුණවත් කොරෙයා මහතා ලක්ෂ සංඛ්‍යාත සෙනඟක් විඳින දුකත් තමාගේ හිසට ආරෝපනය කරගෙන ඒ දුක තමා විසින්ම විඳ ඒ ලක්ෂ සංඛ්‍යාත සෙනග නිදහස් කිරීමට සිතිනුත් සිතා කයින්ද ඒ දුක වින්දේය. ඉතින් ඒ උතුමාට ‘මහත්ම’ යන නාමය ඒකාන්තයෙන්ම අයිති හෙයින් අපි ඒ ගෞරව නාමය මෙසේ යෙදිමු.
(සිංහල ජාතිය - 24.4.1920)
මහත්මා කොරෙයා යන කවියකින්ද සිංහල ජාතිය පත්‍රයේ මුල්පිටුවේ ඔහුට උපහාර කර තිබුණි.
දුගී දුක් කඳ තමා වෙතටම ගෙන බාර
විකුමන් ලොවට පා සිංහල ගුණ සාර
සදිනක් පහත් මෙහෙවර කළ මහ පාර
සිරිලක්දිව දිනේ කොරෙයා මැති වීර
එහෙත් 1922 දී ඇඟ බද්ද ගෙවීමත් පාරේ වැඩ කිරීමත් ප්‍රකික්ෂේප කිරීම නිසා කොරෙයා මහතා මසක සිර දඬුවමකට යටත්විය. ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥයෙකු මෙන්ම ධනවතෙකුද වූ වික්ටර් කොරෙයා මහතා රුපියල් දෙකක ඇඟබද්ද නොගෙවා මසක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත්වීම සැබවින්ම විප්ලවීය ක්‍රියාවකි. ස්වරාජ්‍ය සටනේදි ආණ්ඩුවේ නීති කඩමින් කිසිම පැකිලීමකින් තොරව සිරගතවූ මහත්මා ගාන්ධි වැනි වීරයන් ඔහුට ආදර්ශ වූ බව පෙනේ.
ඇඟ බද්ද පිළිබඳ මහජන අප්‍රසාදය උග්‍ර වෙද්දී තරුණ ලංකා සංගමයේ සමාජිකයෙක් හා ව්‍යවස්ථාදායක සභා මන්ත්‍රීවරයෙකු වු සී.එච්. ඉසෙඩ් ප්‍රනාන්දු මහතා එය වෙනස් කළ යුතු බවට ගෙනා යෝජනාවක් මැතිසබයේ දී ඒකච්ඡන්දයෙන් සම්මත වූ අතර ඉන්පසුව එය අහෝසි කරන ලද බව ගුණසිංහ ආත්ම කථාවේ සඳහන් වේ.
ඇඟ බද්ද නොගෙවීම නිසා වික්ට කොරෙයා මහතා සිරගතව සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් එදා විකිණීමට තිබුණු බව සිංහල ජාතිය පත්‍රයේ පළවු දැන්වීමකින් කියවුණි. අධිරාජ්‍යවාදීන්ගේ අවනීතියකට විරුද්ධව වික්ටර් කොරෙයා මහතා කළ ආත්ම පරිත්‍යාගය නිසා ඔහු සාමාන්‍ය ජනතාව අතර වීරත්වයට පත්වූ බව මෙයින් පෙනේ.
මහත්මා ගාන්ධිතුමා වරක් ලංකාවට පැමිණි අවස්ථාවක සී.ඊ. කොරෙයා සහ වික්ටර් කොරෙයා මහත්වරුන් හමුවීමට තකහනියක් හලාවතට ගොස් ඇත. එහිදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධ සටන් කරන වීරයන් නම් වූ පෝස්ටරයක් එතුමා ඔවුන්ට ප්‍රදානය කළ බවත් එහි තම පියාගේ මුහුණේ ඡායාරූපයක් අඩංගු වූ බවත් බාලපුත් ශ්‍රී සඟබෝ කොරෙයා වරක් අප සමග පැවසුවේය. එදා ඉන්දීය නායකයන් තුළ වික්ටර් කොරෙයා මහතා කෙරෙහි වූ ගෞරවය මෙයින් පෙනේ.
නිදහසේ අපේක්ෂාවන් සමග ලංකා ජාතික සංගමයට සම්බන්ධව සිටි සී.ඊ. කොරෙයා, වික්ටර් කොරෙයා, ඒ.ඊ. ගුණසිංහ වැනි රැඩිකල් වාදීන්ට මෙවැනි නායකයින් සමග මොන නිදහසක් දැයි සිතෙන්ට ඇත. ඉන්දියාවේ මෙන් සත්‍යග්‍රහ සහයෝගිතා වර්ජන ආදිය සංවිධානය කිරීමට කොරෙයා සොයුරන් කළ උත්සාහද ප්‍රතික්ෂේප කෙරිනි. රාජ්‍යපාක්ෂික ජාතික සංගම් නායකයින් හා අධිරාජ්‍ය විරෝධී වික්ටර් කොරෙයා අතර ගැටුම් ආරම්භ විය.
දේශප්‍රේමී හා අධිරාජ්‍ය විරෝධී චින්තනය
අපේ මිනිසුන් අධිරාජ්‍ය නම්බුනාම කෙරෙහි කෑදර වූ යුගයක වික්ටර් කොරෙයා එයට දැක්වූ පිළිකුල මේ උදාහරණයෙන් පෙනේ. එදා මේ රටේ ශ්‍රේෂ්ඨ නායකයෙකු ලෙස සැලකුනු පොන්නම්බලම් රාමනාදන් මහතා නයිට් නාමයක් පිළිගැනීම විවේචනය කරමින් 16.6.1921 දින ඔහු සිංහල ජාතිය පත්‍රයට ලියූ ලිපියක් අවසන් කළේ මෙසේය. ‘රාමනාථන් තුමාගේ ප්‍රසිද්ධිය හා ජනප්‍රිය බව ‘‘සර් පොන්නම්බලම් රාමනාථන් නෛට්තුමා විසින් මරා දමන ලදි. හෙවත් අවසන් කරන ලදී.’’
වික්ටර් කොරෙයාගේ අධිරාජ්‍ය විරෝධය මැනවින් පැහැදිලි වූ තවත් අවස්ථාවක් වූයේ දළදා මාළිගාවේ හේවිසි අර්බුදයයි. තම බිරිඳගේ නින්දට බාදාවන නිසා මාලිගාවේ හේවිසි වේලාවන් වෙනස් කිරීමට මහනුවර සුදු දිසාපතිවරයා උත්සාහ කළේය. නිවට දියවඩන නිලමේ කෙනෙකුත් බස්නායක නිලමේ කෙනෙකුත් ඔහුට සහාය දුන්හ. රටේ ප්‍රමුඛ බෞද්ධ නායකයන් පවා නිහඬව සිටියදී ඔහු ප්‍රබල ලිපියක් සිංහල ජාතියට ලීවේය. (4.5.1821) හේවිසි පූජාව නිසා නින්දට බාධාවන අය මාලිගාව අසලින් පිටවී යායුතු බවත්, බෞද්ධයන් සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගත යුතු බවත් මේ පිළිබඳව විරෝධතා රැස්වීම් පවත්වනවා වෙනුවට පිළිවන් තරම් හයියෙන් රෑ දවල මුළුල්ලේ බෙර ගැසිය යුතු බවත් ඔහු සඳහන් කළේය. මෙසේ කිරීමට මූලිකයෙක්ව ඉදිරියට ඒමට මගේ සහෝදරයන්ට යම් කෙනෙක් උවමනා නම් මම ක්‍රිස්තියානි කාරයෙක් වුවත් මම ඉතාමත් ප්‍රීතියෙන් මගේ මෙහෙය ඉටුකිරීමට කැමැත්තෙමි. යනුවෙන් ඔහු ලිපිය අවසාන කළේය. මෙයින් පසු හේවිසි අර්බුදය අවසන් විය.
සිංහල කම රැක ගැනීම
අධිරාජ්‍යවාදී පාලනය යටතේ බොහෝ සිංහලයන්ට සිංහලකම අමතකව තිබුණු එදා වික්ටර් කොරෙයා තම සිංහල අනන්‍යතාවය රැකගත්තේය.
ක්‍රිස්තු භක්තිකයෙකු වුවද ඔහු තම දරුවන් නම් කළේ සිද්ධාර්ත්, ශ්‍රී රාහුල, යසෝදරා දේවී, ලලිතා දේවී, ස්වර්ණපාලී, ශ්‍රී වික්‍රම, ශ්‍රී සඟබෝ ආදී වශයෙනි. එදා ශ්‍රීමත් අනගාරික ධර්මපාල, පියදාස සිරිසේන වැනි දේශප්‍රේමීන් ගෙනගිය ආර්ය නාම ගැනීමේ ව්‍යාපාරයට ඔහු දායක වුණා සේය.
ඔහුගේ නිවස සිංහපුර විය. ඒ නිවස පිහිටි පාර අදත් හැඳින්වෙන්නේ සිංහපුර පාර යනුවෙනි. වැදගත් අවස්ථාවලට ඇඳීමට ඔහු උඩරට ප්‍රධානියෙකුගේ වැනි ඇඳුමක් පිළියෙල කරගත්තේය. ඔහු මේ ඇඳුමින් සැරසී සිටින ප්‍රෙෘඩ විලාශය හලාවත අධිකරණය අසල පිහිටුවා ඇති ඔහුගේ ප්‍රතිමාවෙන් නිරූපනය වේ. මෙය කලාසූරි ආරියවංශ විරක්කොඩිගේ අවසාන නිර්මාණයයි. මෙම ප්‍රතිමාව පාදමෙහි මෙසේ සඳහන් වේ.
සී. ඊ. වික්ටර් එස්. කොරෙයා
(1871.01.29 - 1962.6.6)
ශ්‍රී ලංකාවට නිදහස ලබාගැනීමේ ජාතික ව්‍යාපාරය මෙහෙය වූ ලංකා ජාතික සංගමයට ස්වරාජ්‍ය සංකල්පය ප්‍රවිෂ්ඨ කරවමින්ද සෘජුව නිදහස් සටනට දායක වෙමින්ද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් 1922 ක්‍රියාත්මක කළ ඇඟබද්ද අභියෝග කරමින් සිරබත් කා එම නීතිය අහෝසි කිරීමට අභීතව සටන් කළ හලාවත සිංහයා විරුදාවලිය ලත් සී.ඊ. වික්ටර් එස්. කොරෙයා ශ්‍රීමතාණන් සිහි කිරීම් වස් මෙම ස්මාරකය පිහිටුවන ලදී.
කෝට්ටේ සහ සීතාවක යුව රජ වූ එදිරිල්ලේ රාල හෙවත් ඩොමිනිකස් කොරෙයා වීරයාගෙන් පැවත එන ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිනීතිඥ සී.ඊ. වික්ටර් කොරෙයා අධිරාජ්‍යවාදීන්ගේ ඇඟබද්දට විරුද්ධව සටන් කොට
හිරගෙට ගිය අතර
ලංකා තරුණ සංගමයේ සභාපති,
ලංකා ජාතික සංගමයේ විධායක කමිටු සාමාජික,
ලංකා කම්කරු පක්ෂයේ ප්‍රථම සභාපති,
ලංකා ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභාවේ සාමාජික 1924 - 1930,
උතුරු කොළඹ මන්ත්‍රීවරයා වශයෙන්ද තනතුරු දැරුවේය.
හලාවතට සහ මුළු මහත් ශ්‍රී ලංකාවටද කළ උදාර සේවය වෙනුවෙන් රජය මගින් එතුමා ජාතික වීරයෙකු වශයෙන්ද නම් කරන ලදී.
විශේෂ්‍ඥ වෛද්‍ය
බී. ජී. . විද්‍යාතිලක