කුරුණෑගල කොහිලගෙදර උපන් සිරිල් වික්‍රමගේ නම් අද්විතීය රංගවේදියා මේ මස 26 වැනිදා සිය ජීවිතයේ 88 වැනි වසර සපුරයි.
ඔහු රඟපෑම් ජිවිතයෙන් සමු ගන්නා බව පැවසුයේ 2018 ඔක්තෝබරයේ පැවැත්වූ හිරු සිනමා සම්මාන උළෙලේදීය. එය බෙහෙවින් මසිත සසල කළ ප්‍රකාශයක් විය.
‘බන්ධනය’ චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් සම්මානයක් හිමි කර ගත් සිරිල් එදා වේදිකාවට ගොඩ වූයේ තරමක් අපහසුවෙනි. ඔහු මඳ අසනීප ගතියකින් පසු වන්නාක් මෙන් පෙනිණ.
මා දැක ඇති සිරිල් යකෙකුටවත් බය නැති කිවයුතු දේ කාට වුව එළිපිටම කියන, හයිහත්තිය ඇති චරිතයකි. එහෙත් වේදිකාවට එල්ල වූ සැර විදුලි එළි පවා එදින ඔහුට කරදරයක් මෙන් පෙනිණ.
සිරිල් වික්‍රමගේ රංගධරයා බොහෝ විටෙක අප තිරයේ දන්න රැලි කොණ්ඩයක් සහිත පිරුණු මුහුණකින් යුතු සද්දන්ත පුරුෂයකු නොවේ. එහෙත් ඔහුගේ රංග පෞරුෂය අද්විතීයය.
ඔහු බොහෝ විට කියන්නේ නළුවා යන ප්‍රතිරූපය වෙනස් කළ නළුවා ඔහු බවය.
සත් සමුදුරේ ගුණදාස, බඹරු ඇවිත් හි හෙලන් (මාලිනි) ට ආදරය කරන ධීවර තරුණයා, සොල්දාදු උන්නැහැහේ ටැක්සි මල්ලි, සුද්දිලාගේ කතාවේ සිමියොන් ආදී සිනමා චරිත කීපයක් ගතහොත් ඒ සියල්ල එකිනෙකට වෙනස්ය. සිරිල් වික්‍රමගේ යන පුද්ගලයා අමතක කර ඒ චරිත තවමත් අප සිත තුළ නැගී සිටියි.
සිසිර සේනාරත්නගේ ආරාධනයෙන් ඔහු ‘හඳපාන’ චිත්‍රපටයේ සහාය චරිතයක් මුල් වරට රඟපෑව ද 1967 දී තිරගත වුණු ‘සත් සමුදුර’ ඔහු පිළිබඳව බොහෝ දෙනා කතා කළ චිත්‍රපටය විය.
එහෙත් එම චිත්‍රපට චරිතය සම්මාන උළෙලකදී අගය කෙරුණේ නැත. සත් සමුදුරේ බොහෝ දෙනාට සම්මාන ලැබුණ ද ඔහුට සම්මානයක් නොලැබී ගියේය. එකල ද සම්මාන ජූරිවල තත්ත්වය එයින් සිතාගත හැකිය.
එයින් සිරිල්ගේ සිත සසල නොවුණා යයි කියන්නට මම උත්සාහ නොකරමි.
සත් සමුදුරෙන් පසු සිරිල්ගේ අද්විතීය රඟපෑම් බෙහෙවින් උකහා ගත්තේ ආචාර්ය ධර්මසේන පතිරාජයන් යැයි සිතමි.
වරක් ඔහු පැවසුයේ බඹරු ඇවිත් රූ ගත කළ කාලයේ කල්පිටියේ ඔවුන් ගෙවූ සොඳුරුතම සිදුවීම්ය. කල්පිටියේ කාමර දෙකකින් යුතු පැරණි තානායමේ නැවතී සිටි ඔවුහු මාලිනි, රූබි ආදී රංගන ශිල්පිනියන්ට එක කාමරයක නවාතැන් පහසුකම් සලසා දී කල්පිටියේ වෙරළේ කොහොඹ ගස් සෙවණේ නිදා ගත් බව වරෙක කීවේය.
ඇත්තටම ඔහු සැබෑ චණ්ඩියකු විය. පියසිරි ගුණරත්නගේ ‘මොකද වුණේ’ චිත්‍රපටය රූගත කරද්දි ඔහුට සටන් කිරීමට තිබුණේ එවක සුප්‍රකට සටන් නළුවකු වූ පූජිත මෙන්ඩිස් සමගය. පූජිත කීවේ ඔහු සටන් නළුවකු නිසා චිත්‍රපට ජවනිකාවට ද සැබෑ සටනක් අවශ්‍ය බවය. සිරිල් විශිෂ්ට චරිතාංග නළුවකු මිස සටන් නළුවකු නොවේ. මෙය අධ්‍යක්ෂවරයාගේ ද ගැටලුවක් බවට පත් විය. ‘හරි වැඩේනෙ. මොකද කරන්නේ’ යි පියසිරි ඇසූ විට සිරිල් කීවේ ඔහු සූදානම් බවය. සටන ඇරඹිණ. සටනේදී සිරිල් පූජිතට බිම ඇද වැටෙන්නට පහර දුන්නේය.
සිරිල් හදාරා තිබුණේ නැටුම්, සංගීතය, රඟපෑම පමණක් නොවේ. ඔහු කරාටේ ක්‍රීඩාවද හදාරා තිබුණේය. ‘ඇයි මම ඒ කාලේ කරාටේ ඉගෙන ගත්තනෙ.’ සිරිල් ඒ ගැන ඇසූ විට කියයි.
ගුරුවරයකු ලෙස කටයුතු කරන කාලයේ ඔහු නහයට අහන්නේ නැති සිසුන් මෙල්ල කළේය. දේශපාලන කටයුතුවලදී ඔහු හැබෑවටම සටන් කළේය. ඉහළ පෙළේ පුද්ගලයන් ප්‍රසිද්ධියේ විවේචනය කරන්නට ඔහු බිය නොවුණේය. ඔහු දේශපාලනය පටන් ගත්තේද සටන්කාමී පක්ෂයක් වූ සම සමාජයෙනි. දේශපාලන සටන්වලදී ඔහු පෙරමුණු ගත් හැටි වරෙක කීවේය. සිරිල් කැමරාව ඉදිරියේ කිසියම් චරිතයක් නිරූපණය කරද්දි එය රඟපෑමක් යයි නොසිතෙයි. එවන් අවස්ථාවල දී මට සිතුණේ සිරිල් වැනි නළුවන් ඉපදෙන්නට තිබුණේ ඉන්දියාවේ හෝ ඇමෙරිකාවේ කියාය. ඔහු ඇහිපිල්ලමෙන් පවා චරිතයට ආවේශ වෙයි.
වරක් සිරිල්, ලින්ටන් සේමගේට කුඩයකින් පහර දෙන දර්ශනයක් රූ ගත කළේ නුගේගොඩ ඇඹුල්දෙණියේ මහ පාරකය. ඒ දයා රාජපක්ෂයන්ගේ රූපවාහිනි රචනයක් වූ ‘සාප නොකරව් දරුවනේ’ ටෙලිනාට්‍යය සඳහාය. ඔහු ඇත්තටම ලින්ටන්ට පහර දුන්නේය. එහෙත් පහර දීමේදී කුඩය ඔහුගේ ඇඟේ නොවදින තරමට තියාගන්නට ඔහු පරිස්සම් වූයේය.
‘පල පල පරයා’ යනුවෙන් කෑ ගසමින් ඔහු ලින්ටන් පසු පස එලවාගෙන ගියේය. ඔහුගේ චරිත නිරූපණය කෙතරම් ඉහළින් කෙරුණ ද යත් එය බලා සිටින පිරිසට පවා බියක් ගෙන දෙන්නට සමත් විය. මට සිතුණේ ඔහු ඊළඟ මොහොතේ අපට ද පහර දෙනු ඇතැයි කියාය.
තම බිරිඳ වෙන මිනිසකු සමග ජීවත් වන දූවරුන් දෙදෙනා ඇස් දෙක මෙන් රැක ගන්නා දුප්පත් සිත්තර බාස් කෙනකුගේ චරිතයට ඔහු එහි පණ පෙවුවේ එය සැබෑවටම යයි සිතෙන්නාක් මෙනි.
ඔහු දින 30කටත් වඩා අධික කාලයක් මා සමග වරින් වර රූගත කිරීම්වලට සහභාගී වූයේය. විවිධ ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දුන් එම නිෂ්පාදන කටයුතුවලදී සිරිල් කිසි විටෙක එය මඟහැර නොගියේය.
ඇතැම් දිනෙක සැලසුම් කළ දර්ශන වෙනුවට පිටපතෙන් අහුලා ගන්නා දර්ශන අහුවෙන තැනක රූගත කරන්නට සිදු විය.
මුලදී එය නාරාහේන්පිට ප්‍රදේශයේ පැල්පත් ප්‍රදේශයක රූගත කළ ද මුදල් ප්‍රශ්න නිසා රූගත කිරීම් නැවතිණි. තවත් මාස නවයකට දහයකට පසුව එම දර්ශන තලයට යන විට එය වෙනස් වෙලාය. එවිට සිදුවූයේ ඉතිරි දර්ශන රූගත කිරීම් සඳහා ඒ හා සමාන වෙනත් දර්ශන තලයක් සොයා ගැනීමය. ඇඹුල්දෙණියේ රේල් පාරට කිට්ටුව දර්ශන තලයකට මාරු වූයේ ඒ අනුවය. ඒ වනවිට සිරිල්ගේ කුඩා දියණිය ලෙස රඟපෑ ළමා නිළියගේ ස්වරූපය මඳක් වෙනස් වෙලාය.
සිරිල් මේ අඩුපාඩු සියල්ල දැන සිටියේය.
‘මොකද්ද බං මේකේ තේරුම. බලපන් මේව මෙහෙම කරන්න පුළුවන්ද?’ කියා කීවා මිස රඟපාන්නට බෑ යයි කීවේ නැත. සිරිල් එසේ කියන විට අප කරනුයේ පිටපතින් කොහේ හෝ දර්ශනයක් තෝරාගෙන ඉන්නා තැනම රූගත කිරීමයි. ඔහු අප වෙනුවෙන් නාස්ති කළ කාලය කොතරම් දැයි කිව නොහැකිය.
ඇතැම් දිනෙක සිරිල් දර්ශන තලයට එන විට ප්‍රමාද වෙලාය. ඒ ඔහු ගෙන එන්නට යන වාහනයේ ප්‍රශ්නයකි. ඒ වනවිට ඇතැම් විට සිරිල්ගේ උදේ ආහාරය සූදානම් නැත. ඒවා බලා කියා ගන්නට කෙනෙක් නැත. ‘උඹ මට කියන්නේ මට නොකා වැඩ කරන්න කියලද?’ ඔහු මගෙන් අසයි. ‘විනාඩි දහයක් දෙන්නකෝ.’ මම බිඳුණු හඬින් කියමි.
‘විනාඩි දහයෙන් උඹ කෑම කොහෙන් ගෙන්නන්නද? මං කියන්න ද උඹට, මට කියලා මේ වැඩේ කර ගන්න ඕනෑ නම් අන්න අර කඩෙන් බනිස් ජෝඩුවකුයි ප්ලේටියකුයි ගෙනත් දියන්.’ ඔහු කියන්නේ පැල්පත් නිවාස පේළිය අසල කඩයකට අත දිගු කරමිනි.
‘එහෙම හරි නෑනේ සිරිල් අයියේ.’
‘උඹට ඒ පණ්ඩිතකම් වැඩක් නෑනේ. නැත්නම් තවත් මේක ඇදෙනවා.’ සිරිල්ගේ හැටි එහෙමය.
රූපවාහිනි පිටපත දුන් විට ඔහු එහි ඇති දෙබස් ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර එක දිගටම කියවයි. සිරිල් සමග ආනන්ද වික්‍රමගේ වැනි නළුවකු එක් වූ විට ඔවුන් එක්වර පිටපතේ ඇති දෙබස් පිටු දෙකක් පමණ හරියටම කියවා ගෙන යයි. එය රූගත කිරීමේදී මොන තරම් පහසුවක්ද?
එ් ඔවුන් දීර්ඝ කාලයක් වේදිකා නාට්‍යවල රඟපා ලද පරිචය නිසාය. වරක් සිරිල් කීවේ ‘මුහුදු පුත්තු’ වේදිකා නාට්‍යයේ ඔහුගේ රඟපෑම් නිසා ‘සත් සමුදුර’ චිත්‍රපටයට මූලික අඩිතාලම වැටුණු බවයි.
චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක දර්ශනයක් විවිධ කෝණවලින් රූගත කිරීමේදී දර්ශන සම්බන්ධතාව තබා ගැනීම අතිශයින් වැදගත් වෙයි. එසේ නොවුණහොත් රූගත කිරීම් කාලය දිග් ගැහෙයි. සංස්කරණ කටයුතුවලදී නාගන්නට සිදුවෙයි.
වරක් සිරිල් හා ආනන්ද රඟපෑ ජවනිකාවක දී සිරිල් දෙබස කියමින් කම්මුලක් කැසුවේය. අනෙක් කෝණයෙන් එය රූගත කරද්දි හරියටම එම දෙබස් කියවද්දි එම කම්මුල කැසුවේ කිසිවකුගේ හෝ මතක් කිරීමක් නැතිවය. සිරිල් වැනි ප්‍රවීණ රංගධරයන් සමග වැඩ කිරීම අසීමිත පහසුවක් වාසනාවක් වන්නේ එහෙයිනි.
සම සමාජයෙන් දේශපාලනය පටන් ගත්ත ද ඔහු ඉන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණේය. විජය කුමාරතුංග මහජන පක්ෂය පිහිටුවා ගත් පසු ඔහු එයට එක් වී ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස එක් වී කටයුතු කළේය.
මේ නිසා ඔහුට ජීවිත තර්ජන පවා එල්ල විය. මේ මොන ප්‍රශ්න තිබුණත් ඔහු ඔහුගේ දේශපාලනය වෙනස් නොකළේය. ඔහු ටික කාලයක් ගමෙන් අවුත් කොළඹට වී සිටියේය. ඔහු නැවතුණේ අපූරු නවාතැනකය. ඒ බම්බලපිටියේ ලෝරිස් පාරේ පිහිටි වසන්ත ඔබේසේකරගේ ගෙදරය.
වසන්ත චිත්‍රපටවල වැඩ කටයුතුවල පහසුව හා නිදහස භුක්ති විඳීම සඳහාත් එම ගෙදර තනියම ජීවත් වූයේය.
එකල සිදු වූ ඇතැම් රසවත් සිදුවීම් රැසකි. ඒවා අතරින් ඔහු අපට විස්තර කළ එක් සිදුවීමක් මෙසේය.
කොතරම් තර්ජන ගර්ජන තිබුණ ද එකල පළාත් සභා ඡන්දය පැවැත්වීමට කටයුතු යොදා තිබිණ. දිනක් පළාත් සභා ඡන්දයට කැන්වසින් යන මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසක් වසන්තගේ ගෙදරටත් පැමිණියහ. එවිට ගෙදර සිටියේ සිරිල් පමණකි. වසන්ත කොහේ දෝ ගොසිනි. මේ පිරිස සිරිල් හඳුනා ගත්තේ ද නැත. ඔවුහු නිවසේ තිබූ නාමපුවරුව බැලූහ.
‘ආ වසන්ත ඔබේසේකර. රඟපානවා නේද?’ මන්ත්‍රීවරයා ඇසීය.
‘නෑ. නෑ. එයා නළුවෙක් නෙමෙයි. අධ්‍යක්ෂවරයෙක්.’ සිරිල් කීවේය.
‘හා හා එහෙමද? හොඳයි දැන් මහත්තයා ගෙදර නැද්ද?’
‘නෑ ගමනක් ගිහිල්ලා.’ ඒ සමග මන්ත්‍රීවරයා ගෙතුළට එබුණේය. වසන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය සඳහා දිනාගත් සිංහ සම්මාන ඇතුළු සම්මාන රැසක් මන්ත්‍රීවරයාගේ නෙත ගැටිණි.
‘අර මොනවද?’
‘ඒ මහත්තයා ගත්ත සම්මාන.’
‘හා හා හොඳයි. මහත්තයා ආවම කියන්න මට ඡන්දෙ දෙන්න කියලා. අපි දිනුවොත් ඔයිට වඩා හොඳ සම්මාන ඕනෑ තරම් දෙනවා කියන්න.’
‘හොඳ වෙලාවට වසන්ත හිටියේ නැත්තේ. වසන්තගේ හැටි දන්නවනෙ. හිටියනං පොල්ලක් අරගෙන ගහලා එලවන්නේ.’ කියමින් සිරිල් හිනැහෙයි.
‘සාප නොකරව් දරුවනේ’ ටෙලි නාට්‍යයේ සිරිල් සමග රඟපෑවේ ප්‍රවීණ රංගධර ජේ.එච්. ජයවර්ධන ය. ඒ කාලයේදී ජේ.එච්.ගේ පෙනීම අඩුව තිබුණා පමණක් නොව ඇවිද ගන්නට ද අපහසුව තිබිණ. හිටගෙන සිටියේ කිසිවකුගේ වාරුවෙනි. එහෙත් ඔහුගේ රඟපෑමේ ප්‍රබලත්වය නිසා ඔහු තෝරා ගැනිණ.
සාදිරිස් (සිරිල්) නමැති සිත්තරා බලන්නට එක් අවස්ථාවක හාමුදුරුවෝ පැල්පත් නිවාසයට වඩිති. දයා රූපවාහිනි පිටපතේ ලියා ඇත්තේ එසේය. පැල්පත් සමූහය අතරින් හාමුදුරුවන් වඩින අතර කිසිවකුගෙන් සාදිරිස්ගේ නිවාසය ද අසා දැන ගනියි. එහෙත් ඒ දර්ශන සියල්ල කපා හැරීමට සිදු වූයේ ජේ.එච්.ට ඇවිදීමට නොහැකි නිසාය. ජේ.එච්.ගේ සිවුර පවා අන්දවන්නේ අපහසුවෙනි.
දර්ශනය රූගත කරන්නට සියල්ල සූදානම්ය. ජේ.එච්. පැල්පත අසල වාඩි වී සිටින්නේ දර්ශන තලය සූදානම් වන තුරුය.
හොඳින් තිර පිටපත කියවා ඇති සිරිල් ද ඔහු අසලම බලා සිටියි.
‘දැන් උඹ කොහොමද හාමුදුරුවන්ව පැලට වඩම්මන්නෙ. උඹ අතින් අල්ලාගෙන එනවද?’ ඔහු අසන්නේ සරදම් සිනාවකිනි.
‘දැන් හාමුදුරුවො පැලට වැඩල ඉන්නේ. එතන ඉඳලා දෙබස් යනවා.’ මම කීවෙමි.
ජේ.එච්.ට ඇවිද ගැනීමට බැරි වුවද සිරිල් හා එකතු වූ විට රංගනය අති ප්‍රබලය. එකම ගැටලුව වූයේ ජේ.එච්.ට පිටපත කියවා ගැනීමට අපහසු නිසා දෙබස් වරින් වර කියා දී මතක් කිරීමය.
අවුරුදු දෙකක් ඇතුළත වරින් වර රූගත කිරීම් කළ ද එය අවසන් කරගත හැකි නොවීය. අවසානයේ රූගත කළ කොටස් යොදාගෙන සංස්කරණය කෙරිණ.
එහි අවසන් ගීත දර්ශනය සඳහා නම් සිරිල්ට සහභාගී වන්නට නොහැකි විය. සිරිල් බස් රථයට නගින දර්ශනය වෙනත් නළුවකු යොදාගෙන දුර දර්ශනයක් ලෙස රූගත කෙරිණි.
සාදිරිස් බාස් සියල්ල අහිමිව ආපසු ගම බලා යද්දී පෙන්වන්නේ ඔහුගේ දෑත් පමණය. ඒ වෙනත් නළුවකු යොදා ගනිමිනි. ඒ සමගම පසුබිමෙන් අමරදේවයන්ගේ ගීතය වාදනය වෙයි. ඒ සමගම සාදිරිස් හා සම්බන්ධව අතීත ජවනිකාවලට ඡේදනය වෙයි. එහෙත් ‘සාප නොකරව් දරුවනේ’ එකල ජාතික රූපවාහිනියේ විකාශය වූ ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යයක් විය.
සිරිල් නමැති අද්විතීය රංගධරයාගේ අසීමිත උදව්ව හා දායකත්වය නොවන්නට ‘සාප නොකරව් දරුවනේ’ විකාශය කර ගන්නටවත් නොහැකි වනු ඇත.
සිරිල් පසුගිය කාලය පුරාම මට විවිධ අවස්ථාවලදී හමුවිය. ඒ හැම විටෙකම ඔහුගේ සුපුරුදු සුහදශීලී විධානයක් දෙන්නාක් වැනි හඬ මගේ සවන් හා පතිත විය.
හිරු සම්මාන උළෙලේදී ඔහු රඟපෑමෙන් ඉවත්වනවා යැයි කීම තවමත් මා තුළ කිසියම් සිහින් කම්පනයක් ඇති කරයි. ඒ ඔහු වැනි සුහදශීලී අද්විතීය රංගධරයන් හමුවීම දුර්ලභ හෙයිනි.
මේ ලිපිය ලියන දිනයේ මම ඔහුට යළි කතා කළෙමි.
‘අප්පේ...’ යයි කියමින් ඔහු දුරකථනයට ආවේය. ඒ ඔහුගේ වාග් විලාසයයි. ඔහුට මේ මස 26 වැනිදා අසූඅට සම්පූර්ණ වන බව කීවේ එවෙලේදීය.
‘දැන් රඟපාන්නෙ නැති එක ස්ථීර ද?’ මම ඇසුවෙමි.
‘දැන් බෑනෙ’ යි කියා ඔහු සුපුරුදු ලෙසම මහ හඬින් සිනාසුණේය.
‘මේ දවස්වල මොකුත් කරන්නේ නෑ. ගෙදර පුටුවක් උඩට වෙලා ඉන්නවා.’ ඔහුගේ ජව සම්පන්න කටහඬේ නම් තවමත් වෙනසක් නැත.
අද්විතීය රංගධරයාණෙනි,
සුබ උපන් දිනයක් වේවා.
රොඩ්නි විදානපතිරණ