ධර්ම ගවේෂී
බුදුරජාණන් වහන්සේ සරණ යෑම පිළිබඳව අප ඔබව ලිපි සතකින් යම් පමණකට දැනුවත් කළෙමු. අටවැනි ලිපියෙහි පටන් අප බලාපොරොත්තු වෙන්නේ ධර්ම රතනය සරණ යෑම පිළිබඳව ඔබ විසින් දැනගත යුතු කරුණු සාකච්ඡා කිරීමටයි. බුදුරජාණන් වහන්සේ සරණ යෑම පිළිබඳව ඔබ විසින් දැනගත යුතු කරුණු කෙටියෙන් විස්තර කරමින්, නමුත් දැනගත යුතු කරුණු සියල්ලක්ම පාහේ අපි පෙර ලිපි පෙළින් ගෙන ආවෙමු. එම කරුණු පිළිබඳව තැනින් තැන අධ්‍යයනය කිරීමෙන් ඔබට අවශ්‍ය දැනුම ලබාගත නොහැකි බව අපිද පිළිගන්නෙමු. එම නිසා ආරම්භයේ පටන් යම් යම් කරුණු පිළිබඳව අනවබෝධයක් ඇති වුවත් එම ලිපි පෙළ නැවත නැවතත් අධ්‍යයනය කරමින් වඩාත් නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට උත්සාහයක් ගන්නා මෙන් කාරුණිකව සිහිපත් කර සිටිමි.
‘ධම්මං සරණං ගච්ඡාමි’ යන දහම් සරණ යෑමට ප්‍රථමයෙන් අති විශේෂ කරුණක් ඔබට සිහිපත් කළ යුතුව ඇත. එම කරුණ කෙරෙහි මධ්‍යස්ථව කාරුණික සිතින් සිතා බැලීමෙන් ජිනවචනය වඩාත් හොඳින් ඔබට ඉගෙනගත හැක. ‘සත්ථා ජානාති, අහං න ජානාති’ ශාස්තෘන් වහන්සේ සියල්ල දන්නා දක්නා සේක, මම කිසිවක් නොදන්නේය නොදක්නේය ... ‘ යන්නය. එවිට ඔබ සත්‍ය ගවේෂකයෙකු වෙනු නොඅනුමානය. විය යුත්තේද එයමය. ටිකෙන් ටික වුවද එවිට ඔබට නොදන්නා බොහෝ දේ ඉන් පසුව ඉගෙන ගත හැකිවනු ඇත. මෙය සනාථ කරනු වස් මම ඔබට භාග්‍යවතුන් වහන්සේ ධරමාන කාලයෙහි සිදුවූ සූත්‍ර දේශනාවක නිදානයක් කියා දෙන්නම්. එවිට මෙම වාක්‍යයෙහි වටිනාකම ඔබ මනාව වටහාගනු ඇත.
මෙම කරුණ සඳහන් වෙන්නේ ධම්මපදට්ඨ කථාවෙහිය. තථාගතයන් වහන්සේ ලොවට අනුකම්පාවෙන් දම්සභා මණ්ඩපයෙහි වැඩ වෙසෙමින් චතුරාර්යය සත්‍යය ධර්මයෙන් දෙවි මිනිසුන්ගේ සිත් සතුටු කරමින් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් වැඩ වෙසෙන අවස්ථාවක බ්‍රාහ්මණ වංශික වූ චතුර්වේදයෙහි පරතෙරට පැමිණි බ්‍රාහ්මණවරු පන්සිය දෙනෙක්ද ගෞතම බුදු සසුනෙහි පැවිදිව සිටියහ. ඒ කාලයෙහි තථාගතයින් වහන්සේ යම් තැනක ධර්මය දේශනා කරන්නේද එම ස්ථානයට භික්‍ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන් නිරන්තරයෙන් එළඹ ධර්මය අසති. නමුත් මේ නවක බ්‍රාහ්මණ වංශික භික්‍ෂුන් වහන්සේලා පන්සිය දෙනා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරනු ලබන ස්ථානයන්ට නොපැමිණෙති. මෙය දැනගත් තවත් භික්‍ෂුන් වහන්සේලා පිරිසක් එක්තරා අවස්ථාවක ඔවුන් අල්වාගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට රැගෙන ගොස් කරුණු කාරණා විමසා සිටියහ. එවිට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය සරල බවත් වටහා ගැනීමට ඉතා පහසු බවත් සෑම විටෙකම එක හා සමාන දේශනාවක් කරන නිසාත් තමන් වහන්සේලා ධර්මය ඇසීමට නොපැමිණෙන ඔවුහු බවත් කියා සිටියහ.
මෙම අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ විසින් ධර්මය ඇසීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳව දීර්ඝ විස්තරයක් කොට මෙම බ්‍රහ්මජාල සූත්‍ර දේශනාව දේශනා කළ සේක. එම දේශනාව අසන ලද මෙම බ්‍රාහ්මණ වංශික භික්‍ෂුන් වහන්සේලා කිසිවෙකුටත් එම සූත්‍ර දේශනාවෙහි අකුරක් පමණවත් නොවැටහිණි. එම නිසාම ඔවුන්ගේ එතෙක් පැවති මිත්‍යා දෘෂ්ටිය බිඳිණි. අනතුරු අවස්ථාවක ශ්‍රද්ධාවෙන් හා ශාස්තෘ ගරුත්වයෙන් යුතුව ධර්මය අසා නිවන් සුවය අත්පත්කර ගත්හ. එම නිසා අන්‍ය ශාසනික දේශනාවන් මෙන් බුද්ධ දේශනාව සැහැල්ලුවට ගෙන අධ්‍යනය නොකළ යුතුය. එසේ කිරීමට යෑමෙන් ඔබ බුද්ධ භාෂිතය පිළිබඳව අදක්‍ෂයෙකු වෙනු නොඅනුමානය. එම නිසා නැවත නැවතත් ඉතා පරිස්සමින් සෙමින් වචනයක් වචනයක් පාසා අර්ථය මනාව ග්‍රහණය කර ගැනීමට උත්සාහවත් වීමෙන් පසුව හෝ මනා අවබෝධයකට පැමිණිය හැකි වනු ඇත. ඒ සඳහා උපකාරීවන ගැළපීම් ක්‍රම ටිකෙන් ටික පසුව ඔබට කියා දෙන්නෙමු. ධර්මය යම් පමණකටවත් නොදැන ගැළපීම් ක්‍රම කියා දීමට ගියහොත් මේ කුමක්දැයි වටහාගත නොහැකිව ඔබ අතරමං වෙනු ඇත. සත්‍යය වශයෙන්ම බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධය මහත් සේ ගම්භීර අවබෝධයක්ම වෙන්නේය. එය කිසිවෙකුටත් එසේ නොවන්නේ යැයි ප්‍රතික්‍ෂේප කළ නොහැක.
ධර්මය සරණ යෑමට ප්‍රථමයෙන් ‘ධම්ම’ යන පදයෙහි නිරුක්තිය වටහාගත යුතුය. ‘ධම්ම’ යනු සතර අපායාදී දුක් සහිත ස්වභාවයෙන් මුදවන, දිව්‍ය මනුෂ්‍යාදී සැප සහිත ස්ථානයන්ට පමුණුවන, ජාති-ජරා-ව්‍යාධි-මරණ-සෝක-පරිදේවාදී සියලු සාංසාරික දුක් රැසින් මුදවන නිර්වාණය ගෙනදීමට සමත් අවවාදය - අනුශාසනාව - මාර්ගය වේ. මෙහිදී ධර්මයෙන් සිදු කරන කෘත්‍යන් තුනක් වෙන බව වටහාගත යුතුය. පළමු කටයුත්ත නම් සතර අපායාදී දුක් සහිත ස්වභාවයෙන් නිදහස් කරන බවයි. සසර විමුක්තිය අපේක්ෂා කරනු ලබන යම් අයෙකු වේද ඔහුට ධර්මය අවබෝධ කිරීමට ඇති සියලු බාධා ප්‍රථමයෙන් ඉවත්කරලිය යුතුය. එවිට පමණක් ඔහුට ධර්මය අවබෝධ කිරීමට සුදුසු භවයන්හි ප්‍රතිසන්ධියට අවශ්‍ය කරුණු කාරණා සම්පූර්ණ කරගැනීමට හැකිවනු ඇත.
යමෙක් නිරන්තරයෙන් තිරිසන්ව උපත ලබන්නේ නම් එම භවයන්හි එම සත්ත්වයාට ධර්මාවබෝධය නොවන්නේය. ඒ ධර්මාවබෝධයට අභව්‍ය අවස්ථාවක ප්‍රතිසන්ධිය ලබා සිටින බැවිනි. නමුත් යමෙක් තිරිසන් සම්භවයක් ඇති දිව්‍ය සම්පත් වින්දනය කරන නාග ලෝකයක උත්පත්තිය ලබා ඇත්නම් එහිදී එම සත්ත්වයාට ධර්මය අවබෝධ කර ගැනීමේ හැකියාවක් ඇත. ධම්මපදයේ එන ඒරකපත්ත නා රජුන්ට මෙනි. නමුත් අප නිතර දකින තිරිසන් සත්ත්වයින්ට එසේ ධර්මය අවබෝධ කළ නොහැක. මේ නිසා ඔවුන් ධර්මාවබෝධයට අභව්‍ය සත්ත්වයින් සේ ගැනෙති. යමෙක් සා පිපාසාදී මහත් දුක් පීඩාවන්ගෙන් පීඩිතව සිටින ප්‍රේත උපතක හෝ පංසු පිසාචාදී ප්‍රේත නිකායක හෝ නිජ්ඣාමතන්හික ආදී අභව්‍ය උපතක සිටින්නේ නම් එම සත්ත්වයින්ටද ධර්මය අවබෝධ කරගත නොහැක. එසේම සක්වළ ගල අන්ත කොට ඇති ලෝකාන්තරික නරකයන්හි සක්වළ ගලෙහි වවුලන් මෙන් එල්ලී සිටිමින් මහත් දුක් වේදනා වින්දනය කරන අසුර නිකායික සත්ත්වයින්ටද ධර්මය අවබෝධ කළ නොහැක. අටමහා නිරයන්හි හා ඔසුපත් නිරයන් එකසිය විසිඅටෙහි උපත ලබා සිටින කිසිම සත්ත්වයෙකුටද ධර්මය අවබෝධ කරලිය නොහැක. ඒ අභව්‍ය උපතක සිටින නිසාය.
එසේම යමෙක් මනුෂ්‍ය ලෝකයෙහි උපත ලැබුවත් මන්දබුද්ධික, කෙළතොලු, නියත මිත්‍යා දෘෂ්ටික, ශ්‍රද්ධා රහිත, ප්‍රඥා විරහිත, උග්‍ර නාස්තිකවාදී දෘෂ්ටියකින් හෝ විවිධ සීල වෘත සමාදන් වූවෙකු අරියූපවාදය සිදුකරගත අයෙකු හෝ බුද්ධ ශූන්‍ය - අබුද්ධෝත්පාද කාලයක උපන්නේ වී නම් ඔහුටද ධර්මාවබෝධය නොවේ. කර්මයෙන් - ක්ලේශයෙන් හා විපාකයෙන් ධර්මාවබෝධය වළක්වා ඇති බැවිනි.
මේ නිසා මෙවැනි අභාග්‍ය සම්පන්න අවස්ථාවන්ගෙන් ප්‍රථමයෙන් ලෝක සත්ත්වයා ගලවාගත යුතුය. එසේ භාග්‍යවතුන් වහන්සේගේ අනුසාසනාව කරන බැවින් සියලු සත්ත්වයින් එවැනි අභව්‍ය ස්වභාවයෙන් දුරුකොට භව්‍ය ස්වභාවයට පත් කරවන බැවින් ජිනවචනයට ‘ධම්ම’ යන ව්‍යවහාරය දෙනු ලැබේ.
සතර අපායෙන් ගලවාගත් ලෝක සත්ත්වයා අනතුරුව ධර්මාවබෝධය කළ හැකි සුගතිගාමී උපතකට රැගෙන ආ යුතුය. එම කෘත්‍ය සිදුකරන බැවින් බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව ‘ධම්ම’ නම් වේ. දිව්‍ය - මනුෂ්‍ය - බ්‍රහ්ම තලයන් සුගතිගාමී උත්පත්තීන් ලෙස ගැනෙති. නමුත් ඒ සියලු තැන්හි ධර්මය අවබෝධකළ නොහැක. මනුෂ්‍ය ලෝකයෙහි උපත ලැබුවත් ත්‍රිහේතුක ප්‍රතිසන්ධියකට පැමිණීම වඩාත් වැදගත් වේ. එසේම සංසාරිකව අරියූපවාදයන් සිදුකර ඇත්නම් ඔවුන්ටද ඒ සඳහා සමාව ලබාගන්නා තුරු කිසිම අවස්ථාවක මාර්ගඵල නිර්වාණ සුවය නොලැබේ. පණ්ඩක - නපුංසක - උභතෝ බ්‍යඤ්ජනක ආදී අභව්‍ය අකුසල විපාක වින්දනය කරනු ලබන මනුෂ්‍ය උත්පත්තීන් ලැබූවන්හටද මනුෂ්‍ය උපතක සිටියද ධර්මාවබෝධය නොවේ. මන්දබුද්ධික කෙළතොළු ප්‍රඥා විරහිත, ශ්‍රද්ධා විරහිත, ඉන්ද්‍රිය බල බොජ්ඣංග, මාර්ගාංග ආදිය ධර්මාවබෝධයට සුදුසු ආකාරයෙන් මුහු නොකළ මිත්‍යා දෘෂ්ටික, නියත මිත්‍යා දෘෂ්ටික අන්‍ය තීර්ථක ආදී ස්වභාවයෙන් යුතු මනුෂ්‍ය උපතක් ලැබීම පහසු වුවත් ධර්මාවබෝධයට නිසි පරමාර්ථ ත්‍රිහේතුක ප්‍රතිසන්ධියෙන් යුතු උපතක් ලබාගැනීම වඩාත් දුෂ්කර වේ.
මේ නිසා දිව්‍ය, මනුෂ්‍ය, රූපාවචර, බ්‍රහ්ම ලෝක උපතකට පැමිණියද ධර්මාවබෝධයට නිසි සුගතිගාමී උපතකට ගෙන ඒම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉවහල් වේ. යමෙක් දානාදී පින්කම් සිදුකරමින් සීලාදී ගුණධර්ම වර්ධනය කරමින් සමථමය භාවනා ක්‍රමයන් භාවිත කරමින් මානුෂීය දිව්‍යමය උපතකට නිසි අනෙකුත් ගුණ වගාවන් වර්ධනය කරමින් කටයුතු කළහොත් ඒකාන්තයෙන් බෞද්ධයෙකු වුවත් අබෞද්ධයෙකු වුවත් මිනිසත් බවට හෝ ඉන් ඔබ්බට පැමිණිය හැක. අබුද්ධෝත්පාද කාලයෙහි හා බුද්ධ ශූන්‍ය කාලයෙහි වික්ඛම්භන ප්‍රහාණයෙන් හෙවත් උපචාර අර්පණා ධ්‍යාන මට්ටම් උපදවාගෙන අප මහා බෝධිසත්ත්වයින් වහන්සේ පවා බ්‍රහ්මලෝකයන්හි උත්පත්තිය ලැබුවේ එබැවිනි. අසඤ්ඤ තලයෙහි හෝ අරූප භූමියෙහි උපත ලැබුවත් එය ධර්මාවබෝධයට පිහිටක් නොවන නිසා සුගතිගාමී උපතක් වුවත් ධර්මාවබෝධයට නිසි උපතක් නොවේ. මේ නිසා තථාගත ශ්‍රී සද්ධර්මය තුළ යම් සත්ත්වයෙකු සුගතිගාමී වනවා යනු දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චාතුරාර්ය සත්‍යාවබෝධයට නිසි ආකාරයේ සුගතිගාමී උපතකට පැමිණීමයි.
ධර්මය අවශ්‍ය වෙන්නේ ඒ සඳහාය. එසේම අතීත භවයන්හි යම් සත්ත්වයෙකු පාරමී ගුණ දහම් මනාව පූරණය කොට ඇත්තේද ඔවුනට ප්‍රාර්ථනානුකූලව නිවන් සුවය ලබාගැනීම සඳහාත් වර්තමාන භවයෙහි පාරමිතා ගුණස්කන්ධයන් පූරණය කරගැනීම සඳහාත් අනාගත සම්මා සම්බුද්ධ ශාසනයන්හි මාර්ගඵල නිවන් අවබෝධය සඳහාත් අවශ්‍ය පරිසරය සැකසිය හැකි පරමාර්ථ උපතකට පැමිණීම සඳහාත් උපකාර කිරීම පිණිසය. ඒ සඳහා යම් දේශනාවක් උපකාර වේද එම දේශනාවට ‘ධම්ම’ යන නාමය ලැබේ.
ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, පරිදේවාදී සියලු සාංසාරික දුක් රැසින් මුදවන නිර්වාණය ගෙනදීමට සමත් අවවාදය - අනුශාසනාව - මාර්ගය සඳහාද ‘ධම්ම’ යන නාමය භාවිත වේ. දුගතිගාමී උපතකට පැමිණීමෙන් අනන්ත දුක් දෙන කටුක දුක් වේදනාවන් රැසකට මුහුණ දීමට ලෝක සත්ත්වයාට සිදුවේ. මනුෂ්‍ය උපතකට පැමිණීමෙන් මානසික දුක් දොම්නස් හා කායික දුක් වේදනාවන්ගෙන් අතිමහත් ලෙස පීඩාවට පත්වීමට සිදුවේ. භූමාටු ආකාසට්ඨක දිව්‍යමය උපතකට පැමිණියද චෛතසික දුක්ඛයන්ගෙන් මහත් ලෙස පීඩාවට පත්වීමට සිදුවේ. අරූප තලයෙහි හෝ අසඤ්ඤතලයෙහි උපත ලබා තාවකාලික සුවයක් ලැබුවද නැවත නැවත භයානක සසර ගමනක යෙදිය යුතු වන බැවින් නැවතත් සියලු දුක්ඛයන්ගේ ප්‍රතිලාභයම ලබන්නේය. මේ නිසා සංසාර ගමනෙහි අතරමංවූ ලෝක සත්ත්වයාට ඉන් මිදෙන මාර්ගය සොයාදිය යුතුය. ඒ සඳහා උපකාරීවන යම් අවවාදයක් අනුශාසනාවක් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් වේද ඒ සඳහා ‘ධම්ම’ යන නාමය භාවිතා වේ. මෙසේ තණ්හාවෙහිද අවිද්‍යාවෙහිද ප්‍රතිඵලයක් වශයෙන් සසර ඇවිද යන ලෝක සත්ත්වයාට සත්තිස් බෝධිපාර්ශ්වික ධර්මයන් වර්ධනය කිරීමෙන් හා මාර්ගාංග වර්ධනය කිරීමෙන් යම් සංසාර චක්‍රයේ අර සිඳලීමක් වන්නේද ඒ සඳහා උපකාරවෙන දේශනාවක් ‘ධම්ම’ යන නාමයෙන් අර්ථකථනය කෙරේ.
මෙසේ ‘ධම්මං සරණං ගච්ඡාමි’ යනුවෙන් ධර්මය සරණ යෑමට බලාපොරොත්තුවන යමෙකුට ධර්මය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද එහි කෘත්‍ය කුමක්ද යනාදී වශයෙන් දැනගත යුතු කරුණු පිළිබඳව යම් පමණකට හෝ අවබෝධයක් ඇතිකර ගැනීමෙන් බුදුරජාණන් වහන්සේ සරණ ගියාක් මෙන් නිවැරදි අවබෝධයකින් යුක්තවම සරණ යෑමේ හැකියාව ඇතිකරගත හැක.
මේ ආකාරයට ගත් විට මාර්ගඵල නිර්වාණ ධර්මයන් ‘ධම්ම’ යනුවෙන් විග්‍රහ කෙරේ. ධර්මය සරණ යැමේදී ස්වාක්ඛාතාදී ලක්‍ෂණ පිළිබඳවද අවබෝධයක් ලබාගත යුතුය. එසේම ධර්මය සරණ යන ආකාරයත් එහි ප්‍රභේදයන් හා ඒ ඒ ධර්මතාවයන්ගේ කෘත්‍යයන් පිළිබඳවත් ධර්මය සරණ යෑමෙන් ලැබෙන ප්‍රයෝජන පිළිබඳවත් දැනගත යුතුය. මේ පිළිබඳව අප ඔබට මීළග ලිපියෙන් විස්තර කියාදීමට බලාපොරොත්තුවන අතර බුදුරජාණන් වහන්සේ සරණ යෑම පිළිබඳවත් ධර්මය යනු කුමක්ද එහි මූලික කෘත්‍යය පිළිබඳවත් දැන ඉගෙනගත් සියලුම ධර්ම කාරණා ඔබට මගඵල නිවන් අවබෝධය සඳහාම හේතු වේවායි! අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කර සිටින්නෙමු.